පාඩම් ලිපිය 38
ගීතිකාව 120 යේසුස් මෙන් නිහතමානී වෙමු
අනිත් අයට ගෞරව කරන්න
“ගෞරවය දිනාගන්න එක රන් රිදීවලටත් වඩා වටිනවා.”—හිතෝ. 22:1.
ලිපියේ අරමුණ
අනිත් අයට අපි ගෞරව කරන්න ඕනෙ ඇයි? අමාරු වෙලාවලදීත් ඒක කරන්න පුළුවන් කොහොමද?
1. ඕනම කෙනෙක් ගෞරවේ ලබන්න කැමති ඇයි? (හිතෝපදේශ 22:1)
අනිත් අය ඔයාට ගෞරවෙන් සලකනවාට ඔයා ආසයිද? ඒකට කවුද අකමැති! අනිත් අය අපිට ගෞරව කරද්දී අපේ හිතට ලොකු සතුටක් දැනෙනවා. එහෙම බලද්දී “ගෞරවය දිනාගන්න එක රන් රිදීවලටත් වඩා වටිනවා” කියලා බයිබලේ කියන එක පුදුමයක්ද!—හිතෝපදේශ 22:1 කියවන්න.
2-3. අනිත් අයට ගෞරවේ පෙන්නන එක හැම තිස්සේම ලේසි නැත්තේ ඇයි? අපි ගෞරවේ පෙන්නන්න ඕනෙ කාටද?
2 සමහර වෙලාවට අනිත් අයට ගෞරවෙන් සලකන එක අපිට එච්චර ලේසි නැහැ. ඒකට එක හේතුවක් තමයි එයාලාගේ අඩුපාඩුකම් අපිට පේන එක. අනිත් දේ තමයි අපි ජීවත් වෙන මේ කාලේ ඉන්න වැඩිදෙනෙක් අනිත් අයට ගෞරවෙන් සලකන්නේ නැහැ. හැබැයි අපි එයාලට වඩා වෙනස් වෙන්න ඕනේ. මොකද “හැම පසුබිමකටම අයිති මිනිස්සුන්ට” අපි ගෞරව කරයි කියලා යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙනවා.—1 පේතෘ. 2:17.
3 අනිත් අයට ගෞරව කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලත් (1) පවුලේ අයට, (2) සභාවේ අයට සහ (3) යෙහෝවාට නමස්කාර නොකරන අයට ගෞරව කරනවා කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලනවා. ගෞරව කරන්න අමාරු වෙලාවලදීත් අපිට ඒක කරන්න පුළුවන් විදිහ ගැන අපි විශේෂයෙන්ම බලනවා.
අනිත් අයට ගෞරව කරනවා කියන්නේ මොකක්ද?
4. අනිත් අයට ගෞරව කරනවා කියන්නේ මොකක්ද?
4 අනිත් අයට ගෞරව කරනවා කියද්දී අපිට එයාලා ගැන හැඟෙන විදිහ, අපි එයාලට සලකන විදිහ ඒකට සම්බන්ධයි. අපි කෙනෙක්ගේ හොඳ ගතිගුණ දකිද්දී, එයා කරන හොඳ දේවල් දකිද්දී, එයාට යම් අධිකාරියක් තියෙනවා කියලා දකිද්දී අපේ හිතේ එයා ගැන ඇති වෙන ගෞරවේ අපි වැඩ කරන විදිහෙන් පේනවා. ඇත්තටම අවංකව කෙනෙක්ට ගෞරව කරන්න නම් ඒක අපේ හදවතින්ම එන්න ඕනේ.—මතෙ. 15:8.
5. අනිත් අයට ගෞරව කරන්න උදව් වෙන්නේ මොකක්ද?
5 යෙහෝවා කැමති අපි අනිත් අයට ගෞරව කරනවා දකින්න. උදාහරණෙකට ඔහු අපිට කියනවා “අපිට ඉහළින් ඉන්න බලධාරීන්ට” ගෞරව කරන්න කියලා. (රෝම 13:1, 7) සමහරු කියනවා “ගෞරවේ දෙන්න නං ඉතිං ගෞරවේ ලැබෙන විදිහට වැඩ කරන්න ඕනෙ” කියලා. හැබැයි එහෙම හිතන එක හරිද? නැහැ. මොකද දෙවියන්ගේ සේවකයන් විදිහට අපි තේරුම් අරන් ඉන්නවා අපි අනිත් අයට ගෞරව කරන්නේ එයාලා කරන නොකරන දේවල් දිහා බලලා නෙවෙයි කියලා. ඒ වෙනුවට අපි අනිත් අයට ගෞරව කරන්නේ අපි යෙහෝවාට ආදරේ නිසයි. අපිට ඕනෙ ඔහු සතුටු වෙන දේ කරන්නයි.—යොෂු. 4:14; 1 පේතෘ. 3:15.
6. ඔයාට ගෞරව නොකරන කෙනෙක්ට ගෞරව කරන්න පුළුවන්ද? පැහැදිලි කරන්න. ( පින්තූරයත් බලන්න.)
6 සමහරු හිතනවා ‘අපිට ගෞරව කරන්නේ නැති අයට ඇත්තටම ගෞරව කරන්න අපිට පුළුවන්ද’ කියලා. ඔව් පුළුවන්. බයිබලේ ඉන්න මේ චරිත ගැන හිතන්න. සාවුල් රජ අනිත් අය ඉස්සරහා එයාගේ පුතා යොනාතාන්ට පහත් විදිහට කතා කළා. (1 සාමු. 20:30-34) ඒත් යොනාතාන් දිගටම එයාගේ තාත්තාට සහය දීලා අන්තිම සටන වෙන කල්ම එයා එක්ක හිටියා. (නික්. 20:12; 2 සාමු. 1:23) උත්තම පූජක ඒලී, හන්නාට චෝදනා කළා එයා ඉන්නේ බීලා කියලා. (1 සාමු. 1:12-14) ඒත් හන්නා එයාට කතා කළේ හරිම ගෞරවනීය විදිහට. ඊශ්‍රායෙල්වරු හැමෝම වගේ දැනන් හිටියා ඒලී හොඳ තාත්තා කෙනෙක්වත් හොඳ උත්තම පූජකයෙක්වත් නෙවෙයි කියලා. ඒත් හන්නා එයාට ගෞරව කළා. (1 සාමු. 1:15-18; 2:22-24) ඇතන්ස්වල මිනිස්සු පාවුල් ‘පිස්සුවෙන් දොඩවනවා’ කියලා එයාට අපහාස කළා. (ක්‍රියා 17:18) ඒත් පාවුල් එයාලට කතා කළේ ගෞරවෙන්. (ක්‍රියා 17:22) ඒ චරිතවලින් පේනවා යෙහෝවා ගැන අපේ හිතේ තියෙන ආදරේ, ඔහුට දුකක් දෙන්න තියෙන අකමැත්ත අපිව පොලඹවනවා අමාරු වෙලාවලදීත් අනිත් අයට ගෞරවෙන් සලකන්න. දැන් අපි බලමු අපේ ගෞරවේ ලබන්න වටින්නේ කවුද සහ ඒ ඇයි කියලා.
තාත්තා අපහාස කළත් රජ විදිහට තාත්තාට ලැබෙන්න ඕන සහයෝගය යොනාතාන් දිගටම දුන්නා (6 ඡේදය බලන්න)
පවුලේ අයට
7. පවුලේ අයට ගෞරවෙන් සලකන්න අමාරු වෙන්නේ මොන දේවල් නිසාද?
7 අභියෝගය. අපි පවුලේ අය එක්ක ලොකු කාලයක් ගත කරන නිසා එයාලාගේ හොඳ පැති වගේම දුර්වල පැති ගැනත් අපි දන්නවා. පවුලේ සමහර අයට තියෙන අසනීප නිසා අපිට එයාලව බලාගන්න අමාරු ඇති. නැත්නම් පවුලේ කෙනෙක් ඉන්නේ මානසික පීඩනයකින් වෙන්න ඇති. පවුලේ තවත් අය අපේ හිත පාරන විදිහට දේවල් කියනවා කරනවා ඇති. සාමාන්‍යයෙන් පවුලක් කියන්නේ හිතේ සැනසීමෙන් ඉන්න පුළුවන්, සාමකාමී තැනක්. හැබැයි ඒ වගේ දේවල් නිසා ඒක යුධ පිටියක් වෙයි. අපේ පවුල හරියට ශරීරයක් වගේ. ලෙඩ වුණාම ශරීරයේ අවයව හරියට වැඩ කරන්නේ නැහැ. ඒ වගේ තමයි පවුලේ අය එකිනෙකාට ගෞරව කරන්නේ නැති වෙද්දී එයාලටත් එක්සත්ව දේවල් කරන්න බැහැ. හැබැයි හුඟක් අසනීපවලට ප්‍රතිකාර තියෙනවා වගේ පවුලේ හැම කෙනෙක්ටම අනිත් අයට ගෞරවෙන් සලකන්න ඉගෙනගන්න පුළුවන්.
8. අපි පවුලේ අයට ගෞරව කරන්න ඕනෙ ඇයි? (1 තිමෝති 5:4, 8)
8 ගෞරව කරන්න ඕනෙ ඇයි? (1 තිමෝති 5:4, 8 කියවන්න.) තිමෝතිට ලියපු පළවෙනි ලියුමේ පාවුල් කිව්වා පවුලේ අය එකිනෙකාව බලාගන්න ඕනෙ කොහොමද කියලා. එයා කිව්වා අපි ඒක කරන්න ඕනෙ රාජකාරියක් විදිහට නෙවෙයි, අපේ හිතේ ‘දෙවියන් ගැන තියෙන භක්තිය’ නිසයි කියලා. ඒ කියන්නේ අපි ඒක කරන්නේ දෙවියන් ගැන තියෙන ආදරේ නිසයි. ඒක අපේ නමස්කාරයට අයිති දෙයක්. පවුල් සැලැස්ම ඇති කළේ යෙහෝවා. (එෆී. 3:14, 15) ඉතින් අපි අපේ පවුලේ අයට ගෞරව කරද්දී අපි ඇත්තටම ගෞරව කරන්නේ පවුල් සැලැස්ම ඇති කරපු යෙහෝවා දෙවියන්ට. පවුලේ හැමෝටම ගෞරවෙන් සලකන්න ඒක හොඳ හේතුවක් නෙවෙයිද?
9. සැමියාටයි, බිරිඳටයි එකිනෙකාට ගෞරව කරන්න පුළුවන් කොහොමද? (පින්තූරත් බලන්න.)
9 ගෞරව කරන්නේ කොහොමද? බිරිඳට ගෞරව කරන සැමියෙක් අනිත් අය ඉස්සරහා විතරක් නෙවෙයි කවුරුත් නැති වෙලාවලදීත් බිරිඳව ගොඩක් වටිනවා කියලා පෙන්නනවා. (හිතෝ. 31:28; 1 පේතෘ. 3:7) එයා බිරිඳට ගහන්නෙවත් අනිත් අය ඉස්සරහා බිරිඳව ලැජ්ජ කරන්නෙවත් බිරිඳගෙන් කිසිම වැඩක් නැහැ කියලා දැනෙන්න සලස්වන්නෙවත් නැහැ. ආර්ජන්ටිනාවේ ඉන්න ආරියල්a මෙහෙම කියනවා. “මගේ නෝනාගේ අසනීපේ නිසා සමහර වෙලාවට එයා දේවල් කියන්නේ පිහියෙන් අනිනවා වගේ. එතකොට මං මතක් කරගන්නවා එයා එහෙම කරන්නේ මාත් එක්ක තියෙන තරහට නෙවෙයි එයාගේ අසනීපේ නිසයි කියලා. 1 කොරින්ති 13:5 කියන දේ මං මතක තියාගන්නවා. ඒක මට උදව් වෙනවා කේන්ති ගන්නේ නැතුව දිගටම එයාට ගෞරව කරන්න.” (හිතෝ. 19:11) සැමියාට ගෞරව කරන බිරිඳක් අනිත් අය එක්ක සැමියා ගැන කතා කරන්නේ ලොකු ගෞරවෙකින්. (එෆී. 5:33) එයා කවදාවත් සැමියාව පහත් කරලා කතා කරන්නේ නැහැ. සැමියාට එක එක නම් කියලා අපහාස කරන්නෙත් නැහැ. එයා දන්නවා ඒ වගේ දේවල් විවාහ බැඳීමක් දිරලා යන්න බලපාන මලකඩ වගේ කියලා. (හිතෝ. 14:1) ඉතාලියේ ඉන්න සහෝදරියකගේ මහත්තයාට මානසික පීඩනය තියෙනවා. ඒ සහෝදරිය මෙහෙම කියනවා. “සමහර වෙලාවට මට හිතෙනවා මහත්තයා ඕනෑවට වඩා දේවල් ගැන වධ වෙනවා කියලා. ඉස්සර මං කියපු දේවලින්, මගේ මූණෙන් පෙනුණේ එයා ගැන මගේ හිතේ කිසිම ගෞරවයක් නෑ කියලයි. හැබැයි අනිත් අයට ගෞරවෙන් සලකන අයව ආශ්‍රය කරද්දී මහත්තයාට තව වැඩියෙන් ගෞරව කරන්න මාත් පෙලඹුණා.”
අපේ පවුලේ අයට අපි ගෞරව කරද්දී අපි ගෞරව කරන්නේ පවුලේ මූලිකයා වන යෙහෝවාට (9 ඡේදය බලන්න)
10. දෙමාපියන්ට ගෞරව කරන්න දරුවන්ට පුළුවන් කොහොමද?
10 යෞවනයෙනි, දෙමාපියන් දාන නීතිවලට කීකරු වෙන්න. (එෆී. 6:1-3) කතා කරන විදිහෙන් ඔයා එයාලට ගරු කරනවා කියලා පෙන්නන්න. (නික්. 21:17) දෙමාපියන් වයසට යද්දී ඔයාගේ උදව් එයාලට තව වැඩියෙන් ඕන වෙයි. ඒ උදව් දෙන්න ඔයාට පුළුවන් හැම දේම කරන්න. මාරියාගේ අද්දැකීම බලන්න. එයාගේ තාත්තා සාක්ෂිකරුවෙක් නෙවෙයි. තාත්තා හොඳටම අසනීප වුණා. ඒ වෙලාවේ තාත්තා වැඩ කරපු විදිහ නිසා එයාව බලාගන්න මාරියාට ගොඩක් අමාරු වුණා. මාරියා මෙහෙම කියනවා. “තාත්තාට ගෞරව කරන්න, ඒක මං වැඩ කරන විදිහෙන් පෙන්නන්න මට උදව් කරන්න කියලා මං යෙහෝවාට යාච්ඤා කරා. මං හිතුවා යෙහෝවා මට කියනවා නම් දෙමාපියන්ට ගෞරව කරන්න කියලා ඒක කරන්න ශක්තියත් ඔහු අනිවාර්යයෙන්ම මට දෙයි කියලා. තාත්තා වෙනස් වුණේ නැතත් මං එයාට දිගටම ගෞරව කරන්න ඕනෙ කියලා මං තේරුම්ගත්තා.” පවුලේ අයගේ දුර්වලකම් දැක්කත් අපි දිගටම එයාලට ගෞරව කරද්දී පවුල කියන සැලැස්ම හදපු යෙහෝවාටයි අපි ගෞරව කරන්නේ.
සහෝදර සහෝදරියන්ට
11. සභාවේ අයට ගෞරවෙන් සලකන එක අමාරු වෙන්න පුළුවන් ඇයි?
11 අභියෝගය. අපි දන්නවා සහෝදර සහෝදරියන් බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්න ලොකු උත්සාහයක් ගන්නවා කියලා. හැබැයි සමහරු අපිට අකාරුණිකව සලකයි. අපි ගැන වැරදියට හිතයි. අපිට නුරුස්සන දෙයක් කරයි. එයාලා වැඩ කරන විදිහ නිසා “අමනාපයක් ඇති වෙන්න සාධාරණ හේතු” තියෙනවා නම් එයාලට දිගටම ගෞරව කරන්න අපිට අමාරු වෙයි. (කොලො. 3:13) එහෙම වෙලාවලදී අපිට උදව් වෙන්නේ මොකක්ද?
12. සභාවේ අයට ගෞරව කරන එක වැදගත් ඇයි? (2 පේතෘස් 2:9-12)
12 ගෞරව කරන්න ඕනෙ ඇයි? (2 පේතෘස් 2:9-12 කියවන්න.) පේතෘස් කිව්වා එදා සභාවේ හිටපු සමහරු “දෙවියන්ගෙන් ගෞරවයක් ලැබිලා තියෙන අය” ගැන, ඒ කියන්නේ වැඩිමහල්ලන් ගැන අගෞරවනීය විදිහට කතා කරනවා කියලා. ඒක දැකපු විශ්වාසවන්ත දේවදූතයන් මොනවාද කළේ? ‘යෙහෝවා ගැන තියෙන ගෞරවය’ නිසා දේවදූතයන් ඒ අයට විරුද්ධව වචනයක්වත් කිව්වේ නැහැ. ඒ ගැන ටිකක් හිතන්න. දේවදූතයන් පරිපූර්ණ අය වෙලත් ඒ උඩඟු මිනිස්සුන්ට නපුරු විදිහට කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ වෙනුවට ඒ අයව විනිශ්චය කරලා එයාලට දඬුවම් දෙන වැඩේ යෙහෝවාට භාර දුන්නා. (රෝම 14:10-12; යූද් 9) මොකක්ද පාඩම? අපිත් අපිට විරුද්ධව වැඩ කරන අයට අගෞරව කරන්න හොඳ නැහැ. එහෙම බලද්දී අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ට අපි කොච්චර නම් ගෞරව කරන්න ඕනද! අපි ඒක කරන්න ඕනෙ “කැමැත්තෙන්මයි.” (රෝම 12:10) එහෙම කරද්දී අපි ගෞරව කරන්නේ යෙහෝවාටයි.
13-14. සභාවේ අයට ගෞරවේ පෙන්නන්න පුළුවන් විදි මොනවාද? (පින්තූරත් බලන්න.)
13 ගෞරව කරන්නේ කොහොමද? වැඩිමහල්ලෙනි, උගන්නද්දී හැම වෙලාවෙම ආදරෙන් ඒක කරන්න. (ෆිලෙ. 8, 9) උපදෙසක් දෙද්දී කාරුණික වෙන්න. ඔයා කේන්තියෙන් ඉද්දී ඒක කරන්න එපා. සහෝදරියනි, සභාව ආදරෙන්, ගෞරවෙන් පිරුණු තැනක් කරන්න ඔයාලටත් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි අනිත් අයගේ වැරදි ගැන, එයාලාගේ නම කැත වෙන විදිහේ දේවල් ගැන කතා නොකර ඉන්න එක. (තීත. 2:3-5) අපි හැමෝටම පුළුවන් වැඩිමහල්ලන් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙලා එයාලට ගෞරව කරනවා කියලා පෙන්නන්න. රැස්වීම්වල කොටස් කරන්න, සේවේ පෙරමුණ ගන්න, “වැරදි පියවරක්” අරන් තියෙන අයට උදව් කරන්න වැඩිමහල්ලන් ගන්න මහන්සිය අගය කරලත් අපේ ගෞරවේ පෙන්නන්න අපිට පුළුවන්.—ගලා. 6:1; 1 තිමෝ. 5:17.
14 සහෝදරි රෝසිඕට වැඩිමහල්ලෙක් උපදෙසක් දුන්නා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “එයා ඒක දීපු විදිහ නිසා මගේ හිත ගොඩක් රිදුණා. ගෙදර අයත් එක්ක මං එයාගේ වැරදි ගැන කතා කරා. මං පෙන්නුවේ නැති වුණාට මට හිතුණෙම එයා ඒ උපදෙස දුන්නේ මට තියෙන ආදරේකට නං නෙවෙයි කියලා. ඉතිං මං ඒ උපදෙස ගණන් ගත්තේ නෑ.” හිතපු විදිහ වෙනස් කරගන්න රෝසිඕට උදව් වුණේ මොකක්ද? එයා මෙහෙම කියනවා. “මගේ බයිබල් කියවීමේදී මං 1 තෙසලෝනික 5:12, 13 කියෙව්වා. එතකොට මට තේරුණා ‘අනේ මං ඒ සහෝදරයාට ගෞරව කරන්නේ නෑනේ’ කියලා. මගේ හිත ගොඩක් වධ දුන්නා. මං යෙහෝවාට යාච්ඤා කරා. මං හිතන විදිහ වෙනස් කරගන්න උදව් වෙන තොරතුරු අපේ ප්‍රකාශනවලින් හෙව්වා. ඒක මට උදව් වුණා ප්‍රශ්නේ තියෙන්නේ ඒ සහෝදරයාගේ නෙවෙයි මගේ ආඩම්බරකමේ කියලා තේරුම්ගන්න. දැන් මං දන්නවා අනිත් අයට ගෞරව කරන්න මට අමාරුයි කියන්නේ මගේ නිහතමානිකමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක හදාගන්න මං තව දේවල් කරන්න ඕනේ. ඒත් අනිත් අයට ගෞරව කරන්න මං ලොකු උත්සාහයක් ගන්න නිසා යෙහෝවා මං ගැන සතුටු වෙනවා කියලා දැන් මට දැනෙනවා.”
වැඩිමහල්ලන්ට කීකරු වෙලා, එයාලාගේ මහන්සිය අගය කරලා එයාලට ගෞරව කරන්න අපිට පුළුවන් (13-14 ඡේද බලන්න)
දෙවියන්ට නමස්කාර නොකරන අයට
15. දෙවියන්ට නමස්කාර නොකරන අයට ගෞරවේ පෙන්නන එක අපිට අමාරු වෙන්න පුළුවන් ඇයි?
15 අභියෝගය. සේවේදී අපිට හුඟක් වෙලාවට හම්බ වෙන්නේ දෙවියන් ගැන, බයිබලේ ගැන කිසිම අගයක් නැති අයව. (එෆී. 4:18) පුංචි කාලේ ඉඳලා උගන්නලා තියෙන දේවල් නිසා සමහරු බයිබලේ ගැන දැනගන්න කිසිම කැමැත්තක් නැහැ. වැඩපොළේ අය එක්ක, ඉස්කෝලේ ළමයි එක්ක පෑහිලා වැඩ කරන එක හරිම අමාරුයි. බොස්ව, ඉස්කෝලේ ගුරුවරුන්ව හැම වෙලාවෙම සතුටු කරන එක ලේසි නැතුව ඇති. ඔය දේවල් නිසා එයාලා ගැන අපේ හිතේ තියෙන ගෞරවේ ටිකෙන් ටික අඩු වෙලා අන්තිමට එයාලට කිසිම ගෞරවයක් පෙන්නන්නේ නැති තත්වෙට අපි වැටෙන්න පුළුවන්.
16. යෙහෝවාට සේවේ නොකරන අයට ගෞරවේ පෙන්නන එක වැදගත් ඇයි? (1 පේතෘස් 2:12; 3:15)
16 ගෞරව කරන්න ඕනෙ ඇයි? තවමත් යෙහෝවාට නමස්කාර නොකරන අයට අපි සලකන විදිහ දිහා යෙහෝවා බලාගෙනයි ඉන්නේ. පේතෘස් ක්‍රිස්තියානීන්ට මතක් කළා එයාලා යහපත් විදිහට හැසිරෙනවා දකින සමහරු “දෙවියන්ට ගෞරව කරයි” කියලා. ඒ නිසා පේතෘස් කිව්වා එයාලාගේ විශ්වාසයන් ගැන ප්‍රශ්න කරන හැමෝටම උත්තර දෙද්දී ‘කාරුණිකව, ගෞරවයෙන්’ ඒක කරන්න කියලා. (1 පේතෘස් 2:12; 3:15 කියවන්න.) අපි අපේ විශ්වාසයන් පැහැදිලි කරන්නේ නිලධාරියෙක් ඉස්සරහා වුණත් විනිසුරුවරයෙක් ඉස්සරහා වුණත් නැත්නම් වෙන ඕනම කෙනෙක් ඉස්සරහා වුණත් අපි ඒක කරන්න ඕනෙ අපි යෙහෝවා ඉස්සරහා ඉඳන් කතා කරනවා කියලා හිතාගෙන. කොහොමත් අපි කියන දේ යෙහෝවාට ඇහෙනවා. අපි ඒක කියන්නේ කොහොමද කියලා ඔහුට පේනවා. එහෙම බලද්දී සත්‍යයේ නැති අයටත් ගෞරව කරන්න අපිට කොච්චර හොඳ හේතුවක් තියෙනවාද!
17. දෙවියන්ට සේවේ නොකරන අයට ගෞරවේ පෙන්නන්න පුළුවන් කොහොමද?
17 ගෞරව කරන්නේ කොහොමද? සේවේදී අපිට හම්බ වෙන අයට බයිබලේ ගැන ලොකු දැනුමක් නැති නිසා අපි එයාලා ගැන අඩුවෙන් හිතනවා කියන හැඟීම කවදාවත් එයාලට දෙන්න හොඳ නැහැ. ඒ වෙනුවට එයාලා අපිට වඩා වැදගත්, එයාලා දෙවියන්ට වටිනවා කියලයි අපි හිතන්න ඕනේ. (හග්. 2:7; ෆිලි. 2:3) කෙනෙක් ඔයාගේ විශ්වාසයන් පහත් කරලා කතා කළොත්? ඇඟට නොදැනී කැපෙන කතාවක් කියලා එයාට එකට එක කරන්න එපා. (1 පේතෘ. 2:23) බැරි වෙලාවත් එයාගේ හිත රිදෙන දෙයක් ඔයාගේ කටින් පිට වුණොත් ඉක්මනින්ම සමාව ඉල්ලන්න. එතකොට වැඩපොළේ අයට ගෞරවෙන් සලකන්නේ කොහොමද? මහන්සි වෙලා වැඩ කරන්න. ඔයාත් එක්ක වැඩ කරන අයගේ, ඔයාගේ බොස්ගේ හොඳ ගතිගුණ ගැන හිතන්න. (තීත. 2:9, 10) ඔයා මහන්සි වෙලා, අවංකව වැඩ කළත් සමහරවිට මිනිස්සු නම් සතුටු වෙන එකක් නැහැ. හැබැයි යෙහෝවා ඔයා ගැන අනිවාර්යයෙන්ම සතුටු වෙනවා.—කොලො. 3:22, 23.
18. අනිත් අය ගැන අපේ හිතේ ගෞරවයක් ඇති කරගෙන ඒක පෙන්නන එක වටින්නේ ඇයි?
18 අනිත් අය ගැන හිතේ ගෞරවයක් ඇති කරගෙන ඒක පෙන්නන්න කොච්චර නම් හොඳ හේතු තියෙනවාද! අපි බලපු විදිහට අපි අපේ පවුලේ අයට ගෞරව කරද්දී අපි ගෞරවේට පත් කරන්නේ අපේ පවුලේ මූලිකයා වන යෙහෝවාව. සහෝදර සහෝදරියන්ට ගෞරව කරද්දී අපි ගෞරවේට පත් කරන්නේ ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාව. තවම දෙවියන්ට නමස්කාර නොකරන අයට අපි ගෞරව කරද්දී කවදා හරි දවසක අපේ ශ්‍රේෂ්ඨ දෙවියන්ව ගෞරවේට පත් කරන්න ඒක එයාලට උදව් වෙයි. මතක තියාගන්න මිනිස්සුන්ගේ ගෞරවේ අපිට ලැබුණේ නැතත් අනිත් අයට හැම වෙලාවෙම ගෞරව කරන එක හරිම වටිනවා. මොකද යෙහෝවා අපි ගැන සතුටු වෙනවා. ඔහු පොරොන්දු වෙන්නේ “මට ගෞරව කරන අයට මාත් ගෞරව කරනවා” කියලයි.—1 සාමු. 2:30.
ගීතිකාව 129 දිගටම විඳදරාගමු
a සමහර නම් වෙනස් කරලා තියෙනවා.