ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lvs 5 පරි. 60-74 පි.
  • ලෝකයේ මිනිසුන්ට සමාන නොවී ඉන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකයේ මිනිසුන්ට සමාන නොවී ඉන්නේ කොහොමද?
  • දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • කියවන්න “දෙවිගේ ප්‍රේමය”
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දේවරාජ්‍යයට පක්ෂව ඉන්න
  • ‘ලෝකයේ අයගේ බලපෑමට’ අහු වෙන්න එපා
  • අඳින පළඳින විදිහෙන් දෙවියන්ව ගෞරවයට පත් කරන්න
  • සල්ලි හම්බ කරන එකට මුල් තැන දෙන්න එපා
  • “මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න”
  • ඔයාගේ විශ්වාසයන් ගැන පැහැදිලි කරන්න සූදානමින් ඉන්න
  • භූතයන්ගෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද?
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අන්තිම දවස්වල මධ්‍යස්ථව සිටින ක්‍රිස්තියානීහු
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන් ඔයාව ආරක්ෂා කරන්නේ කොහොමද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “දෙවියන් වහන්සේගෙන් වූ සම්පූර්ණ යුද්ධායුධ කට්ටලය පැළඳගන්න”
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
lvs 5 පරි. 60-74 පි.
යෞවන සාක්ෂිකරුවන් පිරිසක්

5වෙනි පරිච්ඡේදය

ලෝකයේ මිනිසුන්ට සමාන නොවී ඉන්නේ කොහොමද?

‘ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නැහැ.’—යොහන් 15:19.

1. තමන්ගේ මරණයට කලින් රාත්‍රියේදී යේසුස් කල්පනා කළේ මොනවා ගැනද?

‘ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නැහැ’ කියලා යේසුස් ගෝලයන්ට කිව්වා. (යොහන් 15:19) ඔහු ඒ දේ කිව්වේ ඔහුගේ මරණයට කලින් රාත්‍රියේදීයි. ගෝලයන්ට ඉදිරියේදී මුහුණ දෙන්න වෙන දේවල් ගැන එදා ඔහු කල්පනා කළා. එයාලා ගැන යාච්ඤාත් කළා. ඔහු දෙවියන්ට කිව්වා “මම මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා වගේම ඔවුනුත් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා” කියලා. (යොහන් 17:15, 16) යේසුස් ඒකෙන් අදහස් කළේ මොකක්ද?

2. “මේ ලෝකය” කියලා කියද්දී යේසුස් අදහස් කළේ මොකක්ද?

2 යේසුස් “මේ ලෝකය” කියන යෙදුම පාවිච්චි කළේ දෙවියන්ව දන්නේ නැති, සාතන්ගේ පාලනය යටතේ ඉන්න මිනිසුන්ව විස්තර කරන්න. (යොහන් 14:30; එෆීස 2:2; යාකොබ් 4:4; 1 යොහන් 5:19) “මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී” ඉන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? අපි දේවරාජ්‍යයට පක්ෂව ඉන්නවා. මේ ලෝකයේ බලපෑමට අහු වෙන්නේ නැහැ. අඳින්නේ පළඳින්නේ විනීත විදිහට. සල්ලි හම්බ කරන එකට මුල් තැන දෙන්නේ නැහැ. දෙවියන් දීලා තියෙන යුද්ධායුධ කට්ටලය පැළඳගන්නවා. ඒ කාරණා ගැන මේ පරිච්ඡේදයෙන් බලමු.—16වෙනි අමතර සටහන බලන්න.

දේවරාජ්‍යයට පක්ෂව ඉන්න

3. යේසුස් දේශපාලන කාරණාවලට හවුල් වුණාද? පැහැදිලි කරන්න.

3 ප්‍රශ්න ගැටලුවලින් බැට කන මිනිසුන් ගැන යේසුස්ට ලොකු අනුකම්පාවක් දැනුණා. ඔහුට ඕන වුණේ එයාලට සහනයක් දෙන්න. එහෙමයි කියලා ඔහු දේශපාලනයට හවුල් වුණේ නැහැ. මොකද ඔහු දැනගෙන හිටියා හැම ප්‍රශ්නයකටම විසඳුමක් ලැබෙන්නේ දේවරාජ්‍යයෙන් විතරයි කියලා. යේසුස් තමයි ඒ රාජ්‍යයේ රජ. ඔහු මිනිසුන්ට දේශනා කළෙත් ඒ රාජ්‍යය ගැන. (දානියෙල් 7:13, 14; ලූක් 4:43; 17:20, 21) යේසුස් දේශපාලන කාරණාවලදී කිසිම පැත්තක් ගත්තෙත් නැහැ. ඔහු රෝම ආණ්ඩුකාරයා වුණු පොන්තියුස් පිලාත්ට කිව්වේ “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ” කියලයි. (යොහන් 18:36) ඔහුගේ අනුගාමිකයනුත් දේශපාලනයට හවුල් වුණේ නැහැ. ඒ නිසයි “මුල් ක්‍රිස්තියානීන් ආණ්ඩුවේ නිලතල භාරගත්තේ නැහැ” කියලා එක පොතක සඳහන් වෙලා තියෙන්නේ. (On the Road to Civilization) එදා වගේම අදත් ක්‍රිස්තියානීන් දේවරාජ්‍යයට පක්ෂව ඉන්නවා. එයාලා දේශපාලනයට හවුල් වෙන්නේවත් පැති ගන්නේවත් නැහැ.—මතෙව් 24:14.

යෞවන සාක්ෂිකරුවෙක් තමන් විශ්වාස කරන දේ ගැන පැහැදිලි කරමින්

ඔයා දේවරාජ්‍යයට පක්ෂව ඉන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?

4. සැබෑ ක්‍රිස්තියානීන් දේවරාජ්‍යයට පක්ෂව ඉන්නේ කොහොමද?

4 සාමාන්‍යයෙන් තානාපතියෙක්ට ලැබෙන පැවරුම තමයි විදේශ රටක ඉඳන් තමන්ගේ රට නියෝජනය කරන එක. එයාලා විදේශ රටේ දේශපාලන කාරණාවලට සම්බන්ධ වෙන්නේ නැහැ. අභිෂේක ලත් අයත් තානාපතීන් වගෙයි. “අපි ක්‍රිස්තුස් වෙනුවෙන් තානාපතීන් ලෙස ක්‍රියා කරමින් සිටින්නෙමු” කියලා පාවුල් එයාලට කිව්වේ ඒ නිසයි. (2 කොරින්ති 5:20) යේසුස් එක්ක රජකම් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අභිෂේක ලත් අය දේවරාජ්‍යය නියෝජනය කරනවා. ඒ අය දේශපාලන කාරණාවලටවත් මත ගැටුම්වලටවත් හවුල් වෙන්නේ නැහැ. (ෆිලිප්පි 3:20) ඒ වෙනුවට එයාලා මිලියන ගාණකට දෙවියන්ගේ ආණ්ඩුව ගැන කියලා දෙනවා. මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න “වෙනත් බැටළුවනුත්” අභිෂේක ලත් අයට සහාය දෙනවා. එයාලත් දේශපාලන කාරණාවලදී පැති ගන්නේ නැහැ. (යොහන් 10:16; මතෙව් 25:31-40) සැබෑ ක්‍රිස්තියානීන් දේශපාලන කාරණාවලට සම්බන්ධ වෙන්නේ නැත්තේ ඇයි කියලා දැන් පැහැදිලිද?—යෙසායා 2:2-4 කියවන්න.

5. ක්‍රිස්තියානීන් යුද්ධවලට හවුල් වෙන්නේ නැත්තේ ඇයි?

5 මොන රටක, මොන පසුබිමක හිටියත් සැබෑ ක්‍රිස්තියානීන් එකමුතුව ඉන්නවා. දෙවියන්ට නමස්කාර කරන හැමෝවම එයාලා සලකන්නේ තමන්ගේම පවුලේ අය විදිහට. (1 කොරින්ති 1:10) එයාලා යුද්ධවලට හවුල් වුණොත් ඒක හරියට පවුලේ අයට විරුද්ධව සටන් කරනවා වගෙයි. මොකද යේසුස් පැහැදිලිවම කිව්වා එකිනෙකාට ආදරය කරන්න කියලා. (යොහන් 13:34, 35; 1 යොහන් 3:10-12) ඒ විතරක් නෙවෙයි සතුරන්ට ආදරේ කරන්න කියලත් ඔහු කිව්වා.—මතෙව් 5:44; 26:52.

6. යෙහෝවා දෙවියන්ගේ සෙනඟ ආණ්ඩුවලට කීකරු වෙනවාද? ඒ කොයි තරම් දුරකටද?

6 අපි දේශපාලනයට හවුල් නොවුණත් හොඳ පුරවැසියන් වෙන්න උත්සාහ කරනවා. උදාහරණෙකට ආණ්ඩුවේ නීතිවලට අපි කීකරු වෙනවා, බදු ගෙවනවා. හැබැයි අපි මුලින්ම “දෙවිට අයිති දේ දෙවිට” දෙන්න වගබලා ගන්නවා. (මාක් 12:17; රෝම 13:1-7; 1 කොරින්ති 6:19, 20) ඒ කියන්නේ දෙවියන්ට ආදරය කරන්නත් කීකරු වෙන්නත් නමස්කාර කරන්නත් අපි වගබලා ගන්නවා. මැරෙන්න සිද්ධ වුණත් අපි යෙහෝවා දෙවියන්ට අකීකරු වෙන්නේ නැහැ.—ලූක් 4:8; 10:27; ක්‍රියා 5:29; රෝම 14:8 කියවන්න.

‘ලෝකයේ අයගේ බලපෑමට’ අහු වෙන්න එපා

7, 8. ‘ලෝකයේ අයගේ බලපෑම’ කියන්නේ මොකක්ද? ඒ බලපෑමට අහු වෙලා ඉන්න අය වැඩ කරන්නේ කොහොමද?

7 මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී ඉන්න නම් අපි ‘ලෝකයේ බලපෑමට’ අහු නොවී ඉන්න ඕනේ. ලෝකයේ බලපෑම කියන්නේ සාතන් කැමති විදිහට හිතන, ඒ විදිහට වැඩ කරන අයගෙන් එන බලපෑමයි. යෙහෝවා දෙවියන්ට සේවය කරන්නේ නැති හැමෝම ඒ බලපෑමට අහු වෙලයි ඉන්නේ. හැබැයි දෙවියන් අපිට ඔහුගේ බලය දීලා තියෙන නිසා ලෝකයේ බලපෑමට අහු නොවී ඉන්න අපි උපරිමයෙන් වෑයම් කරන්න ඕනේ.—1 කොරින්ති 2:12; එෆීස 2:2, 3; 17වෙනි අමතර සටහන බලන්න.

8 මේ ලෝකයේ බලපෑමට අහු වෙලා ඉන්න අය හරිම ආත්මාර්ථකාමීයි, උඩඟුයි, මුරණ්ඩුයි. දෙවියන්ට කීකරු වෙන්න ඕන නැහැ කියලයි එයාලා හිතන්නේ. එයාලා කරන්නේ එයාලට ඕන දේ. ඒ විදිහට තමන්ගේ ආශාවන් ඉටු කරගන්න එක තමයි වැදගත්ම දේ කියලා හිතන්න මිනිසුන්ව පොලඹවන්නේ සාතන්. (1 යොහන් 2:16; 1 තිමෝති 6:9, 10) සාතන් විශේෂයෙන්ම වෑයම් කරන්නේ යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන අපිව රවට්ටලා එයා හිතන විදිහට හිතන්න අපිව පොලඹවන්න.—යොහන් 8:44; ක්‍රියා 13:10; 1 යොහන් 3:8.

9. අපි ලෝකයේ බලපෑමට අහු වෙන්න පුළුවන් කොහොමද?

9 අපි හුස්ම ගන්න වාතය වගේ ලෝකයේ බලපෑමත් හැම තැනම පැතිරිලා. පරෙස්සම් වුණේ නැත්නම් අපිත් ඒකට අහු වෙන්න පුළුවන්. (හිතෝපදේශ 4:23 කියවන්න.) අපිට හිතෙන්න පුළුවන් යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්නේ නැති අයව ආශ්‍රය කරන එක වැරදි නැහැ කියලා. එහෙම හිතලා එයාලව කිට්ටුවෙන් ආශ්‍රය කළොත් දන්නෙම නැතුව එයාලා හිතන විදිහටම හිතන්න අපි පෙලඹෙයි. (හිතෝපදේශ 13:20; 1 කොරින්ති 15:33) නැත්නම් අසභ්‍ය පින්තූර බලන එක, සත්‍යයට විරුද්ධව කැරලිගහන අයගේ අදහස් හොයලා බලන එක, ලෝකයේ ආකල්ප අපේ හිත්වලට ලේසියෙන් රිංගවන දරුණු ක්‍රීඩා බලන එක වගේ දේවල් නිසාත් අපි ලෝකයේ බලපෑමට අහු වෙන්න පුළුවන්.—18වෙනි අමතර සටහන බලන්න.

10. ලෝකයේ බලපෑමට අහු නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද?

10 යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙමින් ඔහු එක්ක තියෙන බැඳීම දිගටම ශක්තිමත් කරගත්තොත් විතරයි ලෝකයේ බලපෑමට අහු නොවී ඉන්න පුළුවන් වෙන්නේ. ඔහුගේ බලය ඉල්ලලා අපි යාච්ඤා කරන්න ඕනේ. උද්‍යෝගයෙන් සේවයේ හවුල් වෙන්න ඕනේ. යෙහෝවා දෙවියන් තමයි විශ්වයේ ඉන්න බලවත්ම කෙනා. ඒ නිසා ඔහුගේ උදව්වෙන් අපිට පුළුවන් ලෝකයේ බලපෑමට අහු නොවී ඉන්න.—1 යොහන් 4:4.

අඳින පළඳින විදිහෙන් දෙවියන්ව ගෞරවයට පත් කරන්න

11. කෙනෙක් අඳින විදිහෙන් එයා ලෝකයේ බලපෑමට අහු වෙලා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

11 අපි අඳින පළඳින විදිහෙනුත් ලෝකයේ බලපෑමට අහු වෙලා නැහැ කියලා පෙන්වන්න පුළුවන්. අනිත් අයගේ අවධානය ඇදෙන, හැඟීම් අවුස්සන, වත්පොහොසත්කම ප්‍රදර්ශනය කරන වගේම සමාජයේ පවතින සම්මතයට තමන් විරුද්ධයි කියලා පෙන්වන විදිහේ ඇඳුම් තමයි හුඟක් අය තෝරාගන්නේ. තවත් අය තමන් අඳින විදිහ ගැන පොඩ්ඩක්වත් සැලකිලිමත් වෙන්නේ නැහැ. එයාලා අඳින්නේ පිළිවෙළක් නැති අපිරිසිදු ඇඳුම්. හැබැයි අපි ඒ හැමෝටම වඩා වෙනස්.

පිළිවෙළට ඇඳගෙන ඉන්න සහෝදරියක් පොදු සේවයේදී වීඩියෝ එකක් පෙන්වමින්

මං අඳින විදිහෙන් යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් වෙනවාද?

12, 13. අඳින්න ඕන මොන වගේ ඇඳුම්ද කියලා තීරණය කරන්න උදව් වෙන ප්‍රතිපත්ති මොනවාද?

12 අපි ‘විනීත, සිහිකල්පනාවෙන්’ වැඩ කරන අය කියලා අපේ ඇඳුම්වලින් පේන්න ඕනේ. ඒ නිසා අපි හැම වෙලේම අඳින්නේ අවස්ථාවට ගැළපෙන, පිරිසිදු, පිළිවෙළ ඇඳුම්. අපි දෙවියන්ට ‘ගැඹුරු ගෞරවයක් දක්වනවා’ කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.—1 තිමෝති 2:9, 10; යූද් 21.

13 අපිට ඕනෙ “සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න.” (1 කොරින්ති 10:31) ඒ නිසා අපි අඳින විදිහ දිහා බලලා මිනිසුන් යෙහෝවා දෙවියන් ගැනත් ඔහුගේ සෙනඟ ගැනත් යම් නිගමනවලට එන්න පුළුවන් කියලා අපි මතක තියාගන්නවා. විනීත කෙනෙක් අනිත් අයගේ හැඟීම් ගැනත් සැලකිලිමත් වෙනවා. අපි ඇඳුම් තෝරාගද්දී ඒ දේත් මතක තියාගමු.—1 කොරින්ති 4:9; 2 කොරින්ති 6:3, 4; 7:1.

14. නමස්කාර කටයුතුවලට අඳින ඇඳුම් තෝරාගද්දී අපි හිතන්න ඕනෙ මොනවා ගැනද?

14 මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘රැස්වීම්වලට යද්දී, සේවයේ යද්දී මං අඳින්නේ මොන වගේ ඇඳුම්ද? අනිත් අයගේ අවධානය ඇදෙන ඒවාද? අනිත් අය අපහසුතාවට පත් වෙන ඒවාද? “මං අඳින ඇඳුම් අනිත් අය ප්‍රශ්නයක් කරගන්න ඕනෙ නැහැනේ” කියලා මං හිතනවාද?’ (ෆිලිප්පි 4:5; 1 පේතෘස් 5:6) හැමෝම කැමතියි ලස්සනට අඳින්න. හැබැයි අපි වැඩියෙන් සැලකිලිමත් වෙන්නේ දෙවියන් කැමති ගුණාංග වර්ධනය කරගෙන අපේ “හදවත” ඒ කියන්නේ “ඇතුළාන්තය” ලස්සන කරගන්න එක ගැනයි. ඒ දේ තමයි දෙවියන්ට වැඩියෙන්ම “වටින්නේ.”— 1 පේතෘස් 3:3, 4.

15. අපි අඳින්න ඕන ඇඳුම් ගැන දෙවියන් නීති දීලා නැත්තේ ඇයි?

15 අපි අඳින්න ඕන ඇඳුම් ගැන යෙහෝවා දෙවියන් අපිට නීති දීලා නැහැ. හැබැයි හොඳට හිතලා බලලා ඇඳුම් තෝරාගන්න උදව් වෙන ප්‍රතිපත්ති ඔහු දීලා තියෙනවා. (හෙබ්‍රෙව් 5:14) මොකද ඔහු කැමති අපි ගන්න පුංචිම තීරණයකින් වුණත් අපි ඇත්තටම ඔහුට ආදරෙයි කියලා පෙන්වනවාටයි. (මාක් 12:30, 31 කියවන්න.) ලෝකේ විවිධ රටවල ඉන්න යෙහෝවා දෙවියන්ගේ සෙනඟ තමන් ආස කරන, තමන්ගේ සංස්කෘතියට ගැළපෙන ඇඳුම් අඳිනවා. එයාලා අතරේ තියෙන ඒ විවිධත්වය හරිම ලස්සනයි.

යෞවන සාක්ෂිකරුවන් පිරිසක්

සල්ලි හම්බ කරන එකට මුල් තැන දෙන්න එපා

16. ලෝකයේ මිනිසුන් සල්ලි ගැන හිතන්නේ යේසුස් උගන්වපු විදිහට නෙවෙයි කියලා කියන්න පුළුවන් ඇයි? ඔයා කල්පනා කරන්න ඕනෙ මොන ප්‍රශ්න ගැනද?

16 සල්ලි, දේපළ තිබුණොත් තමයි නියම සතුට ලැබෙන්නේ කියලා මිනිසුන් හිතනවාටයි සාතන් කැමති. හැබැයි ඒක බොරුවක්. ‘කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඒ දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න බැහැ’ කියලා යේසුස් කිව්වා. ඒ උපදෙස ගැන අපිට සැකයක් නැහැ. (ලූක් 12:15) ජීවත් වෙන්න ඕන කරන දේවල් අරන් සතුටින් ඉන්න අපිට සල්ලි ඕනෙ තමයි. ඒත් සල්ලිවලින් සන්සුන් මනසක් ඇතුව ඉන්නවත් හොඳ යාළුවන්ව හොයාගන්නවත් සදාකාල ජීවිතය ලබාගන්නවත් බැහැ. සැබෑ සතුට අද්දකින්න පුළුවන් වෙන්නේ යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගෙන ඔහුට කරන නමස්කාරයට මුල් තැන දුන්නොත් විතරයි. (මතෙව් 5:3; 6:22, පාදසටහන) මේ ප්‍රශ්න ගැන ටිකකට හිතන්න. ‘ලෝකයේ මිනිසුන් සල්ලි ගැන හිතන විදිහටමද මාත් හිතන්නේ? මං වැඩියෙන්ම කතා කරන්නේ සල්ලි ගැනද?’—ලූක් 6:45; 21:34-36; 2 යොහන් 6.

17. සල්ලි ගැන යේසුස් දීපු උපදෙස පිළිපැද්දොත් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

17 සල්ලිවලට මුල් තැන දෙනවා වෙනුවට දෙවියන්ට මුල් තැන දෙන්න කියලා යේසුස් කිව්වා. ඒ දේ පිළිපැද්දොත් සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. (මතෙව් 11:29, 30) ඒ වගේම තියෙන දෙයින් සෑහීමට පත් වෙලා මනසේ සාමය ඇතුව ඉන්නත් අනවශ්‍ය විදිහට කනස්සලු නොවී ඉන්නත් පුළුවන්. (මතෙව් 6:31, 32; රෝම 15:13; 1 තිමෝති 6:9, 10 කියවන්න.) දීමෙන් ලැබෙන සතුට අද්දකින්නත් පුළුවන්. (ක්‍රියා 20:35) අපි ආදරය කරන අයව ආශ්‍රය කරන්නත් කාලය ඉතුරු වෙනවා. සුවබර නින්දකුත් ලැබෙනවා.—දේශනාකාරයා 5:12.

“මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න”

18. සාතන් උත්සාහ කරන්නේ අපිට මොනවා කරන්නද?

18 සාතන් උත්සාහ කරන්නේ අපිට දෙවියන් එක්ක තියෙන බැඳීම නැති කරන්න. ඒ නිසා ඒක රැකගන්න අපි උපරිමයෙන් වෑයම් කරන්න ඕනේ. අපි සටන් කරන්නේ “භූත සේනාවන්ට විරුද්ධව” කියලා අමතක කරන්න එපා. (එෆීස 6:12) අපි සතුටින් ඉන්නවාටවත් සදාකාල ජීවිතය ලබාගන්නවාටවත් සාතන් සහ භූතයන් කැමති නැහැ. (1 පේතෘස් 5:8) එයාලා අපිට වඩා බලවත් වුණත් යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් අපිට පුළුවන් එයාලව පරද්දන්න.

19. දෙවියන් දීලා තියෙන “යුද්ධායුධ කට්ටලය” විස්තර කරන්න.

19 අතීතයේදී සෙබළුන් යුද්ධායුධ කට්ටලයක් පැළඳගෙන තමයි එයාලගේ ජීවිතේ ආරක්ෂා කරගත්තේ. අපිව ආරක්ෂා කරන්නත් දෙවියන් “යුද්ධායුධ කට්ටලයක්” දීලා තියෙනවා. (එෆීස 6:13) ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ඔබ ඔබේ ඉඟටිය සත්‍යය නමැති පටියෙන් බැඳගෙන ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම ඇඳගෙන නොසැලී ස්ථිරව සිටින්න. එමෙන්ම පාවහන් පැළඳගෙන ගමනට සූදානම්ව සිටින්නා සේ සමාදානයේ ශුභාරංචිය නිතරම දේශනා කිරීමට සූදානම්ව සිටින්න. සියල්ලට පළමුවෙන් විශ්වාසය නමැති විශාල පලිහ ඔබේ අතට ගන්න. එයින් දුෂ්ටයා ඔබ දෙසට විදින සියලුම ගිනිමය ඊතල නිවා දැමීමට ඔබට හැකි වේ. ගැලවීම නමැති හිස්වැස්මද දෙවිගේ බලය තුළින් ලබා දී ඇති කඩුවද එනම්, දේවවචනයද අතට ගන්න. ඒ සමඟම දෙවි තම බලය තුළින් ලබා දෙන මඟ පෙන්වීම් ඉල්ලා සෑම අවස්ථාවකදීම ඔහුට යාච්ඤා කරන්න. හැකි සෑම ආකාරයකින්ම යාච්ඤා කිරීමටත් කන්නලව් කිරීමටත් වගබලා ගන්න.”—එෆීස 6:14-18.

20. ‘යුද්ධායුධ කට්ටලයෙන්’ ආරක්ෂාව ලබන්න නම් කරන්න ඕනෙ මොනවාද?

20 සෙබළෙක් යුද්ධායුධ කට්ටලයේ එක කොටසක් හරි පැළඳගෙන නැහැ කියලා දැක්කොත් සතුරන් ඒ තැනට තමයි පහර දෙන්නේ. ඒ නිසා අපිත් ආරක්ෂාව ලබන්න නම් දෙවියන් දීලා තියෙන ‘යුද්ධායුධ කට්ටලයේ’ හැම කොටසක්ම හැම වෙලාවෙම දාගෙන ඉන්න ඕනේ. ඒවා හොඳ තත්වයක තියෙනවාද කියලා බලන්නත් ඕනේ. යෙහෝවා දෙවියන් සාතන්වයි, භූතයන්වයි, මේ දුෂ්ට සමාජයයි සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන කල් අපිට අපේ සටන දිගටම කරන්න වෙනවා. (එළිදරව් 12:17; 20:1-3) ඒ නිසා ඔයා වැරදි පෙලඹීම් එක්ක හරි දුර්වලකමක් එක්ක හරි සටන් කරනවා නම් ඒ සටන අත්හරින්න එපා.—1 කොරින්ති 9:27.

21. අපේ සටන දිනන්න පුළුවන් කොහොමද?

21 යක්ෂයා එක්ක කරන සටන දිනන්න නම් අපිට යෙහෝවා දෙවියන්ගේ උදව් ඕනෙමයි. ඒ නිසා යාච්ඤාව, බයිබලය අධ්‍යයනය කරන එක වගේම සහෝදරයන්ව ඇසුරු කරන එක දිගටම කරමු. (හෙබ්‍රෙව් 10:24, 25) එහෙම කළොත් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නත් අපේ විශ්වාසයන් ගැන පැහැදිලිව කතා කරන්නත් අපිට පුළුවන් වෙයි.

ඔයාගේ විශ්වාසයන් ගැන පැහැදිලි කරන්න සූදානමින් ඉන්න

22, 23. (අ) ඕනම වෙලාවක අපේ විශ්වාසයන් ගැන පැහැදිලි කරන්න සූදානමින් ඉන්න පුළුවන් කොහොමද? (ආ) ඊළඟ පරිච්ඡේදයෙන් බලන්නේ මොනවා ගැනද?

22 අපේ විශ්වාසයන් පැහැදිලි කරන්න කොයි වෙලෙත් සූදානමින් ඉන්න ඕනේ. (යොහන් 15:19) සමහර කාරණා ගැන අපි හිතන විදිහත් කටයුතු කරන විදිහත් අනිත් මිනිසුන්ට වඩා වෙනස්. මේ ගැන හිතන්න. ‘දෙයක් කරන්න හරි නොකරන්න හරි හේතුව මං තේරුම් අරන්ද ඉන්නේ? බයිබලයේ තියෙන දේවලුත් විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කියන දේවලුත් සත්‍යයයි කියලා මට විශ්වාසද? (මතෙව් 24:45; යොහන් 17:17) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න ලැබුණු එක ගැන මං ආඩම්බර වෙනවාද? (ගීතාවලිය 34:2; මතෙව් 10:32, 33) මගේ විශ්වාසයන් ගැන අනිත් අයට පැහැදිලි කරන්න මට පුළුවන්ද?’—1 පේතෘස් 3:15 කියවන්න.

23 මේ ලෝකයේ අයට සමාන නොවී ඉන්න නම් ගන්න ඕනෙ මොන තීරණයද කියලා සමහර අවස්ථාවලදී තේරුම්ගන්න ලේසි නැහැ. විනෝදයට දේවල් තෝරාගන්න අවස්ථාව ඒ අතරින් එකක්. සාතන් බලන් ඉන්නේ ඒ වගේ අවස්ථාවලදී අපිව රවට්ටන්න. ඒ ගැන ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.

බයිබල් ප්‍රතිපත්ති

1 ක්‍රිස්තියානීන් දේවරාජ්‍යයට පක්ෂව ඉන්නවා

“මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.”—යොහන් 18:36

අපි දේවරාජ්‍යයට පක්ෂව ඉන්නවා කියලත් දේශපාලන කාරණාවලදී පැති ගන්නේ නැහැ කියලත් පෙන්වන්න පුළුවන් කොහොමද?

  • යෙසායා 2:2-4; යොහන් 6:15; 1 පේතෘස් 3:15

    අපි දේශපාලනයට හවුල් වෙන්නේවත් යුද්ධවලට හවුල් වෙන්නේවත් නැහැ.

  • නික්මයාම 20:4, 5; 1 යොහන් 5:21

    රට, ජාතිය උසස් කරන කිසිම දේකට අපි නමස්කාර කරන්නේ නැහැ. උදාහරණෙකට අපි ජාතික කොඩියට ආචාර කරන්නේ නැහැ. මොකද ඒකත් නමස්කාරයක්.

  • මතෙව් 26:52

    ප්‍රචණ්ඩකාරී දේවලට මුහුණ දෙන්න වෙද්දී අපි එකට එක කරන්නේ නැහැ. ඒ වෙනුවට යෙහෝවා දෙවියන් හැම ප්‍රශ්නයකටම විසඳුමක් දෙන කල් ඉවසීමෙන් බලන් ඉන්නවා.

  • යොහන් 13:34, 35; 1 යොහන් 3:10-12

    මොන රටකට, මොන ජාතියකට, මොන පසුබිමකට අයිති වුණත් සැබෑ ක්‍රිස්තියානීන් දෙවියන්ට නමස්කාර කරන අයව සලකන්නේ තමන්ගේම සහෝදර සහෝදරියන් විදිහට. අපි කවදාවත් එකිනෙකාට විරුද්ධව සටන් කරන්නේ නැහැ.

2 ක්‍රිස්තියානීන් ‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන වෙන්නේ නැහැ’

“මම මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා වගේම ඔවුනුත් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා.”—යොහන් 17:16

සාතන් යටතේ ඉන්න මේ ලෝකයේ මිනිසුන්ට අපි සමාන නොවී ඉන්න ඕනෙ ඇයි?

  • 1 යොහන් 5:19

    “මේ ලෝකය” කියන යෙදුමෙන් අදහස් වෙන්නේ ලෝකයේ පාලකයා වන සාතන්ගේ බලපෑමට අහු වෙලා ඉන්න ඒ වගේම දෙවියන්ව දන්නේ නැති මිනිසුන්ව.

  • යාකොබ් 4:4

    යෙහෝවා දෙවියන් අපිව යාළුවන් විදිහට සලකනවාටයි අපි කැමති. ඕනෙම දෙයක් ගැන හිතන විදිහ, කතා කරන විදිහ වගේම ක්‍රියා කරන විදිහ සම්බන්ධයෙන් යෙහෝවා දෙවියන්ව සහ යේසුස්ව අනුගමනය කරන්නයි අපි උත්සාහ කරන්නේ.

3 ක්‍රිස්තියානීන් මේ ලෝකයේ බලපෑමට අහු වෙන්නේ නැහැ

“සියලු දේටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. මන්ද ජීවනය නික්මෙන්නේ එයින්ය.”—හිතෝපදේශ 4:23

සාතන් යටතේ තියෙන ලෝකයේ බලපෑමට අහු නොවී ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

  • එෆීස 2:2; 1 යොහන් 2:16

    සාතන් හරිම ආත්මාර්ථකාමීයි, උඩඟුයි, මුරණ්ඩුයි. දෙවියන්ට කීකරු වෙන්න ඕනෙ නැහැ කියලා හිතන්න මිනිසුන්ව පොලඹවන්නයි සාතන් උත්සාහ කරන්නේ.

  • 1 කොරින්ති 10:31

    අපි කරන කියන දේවලින් අපිට පෙන්වන්න පුළුවන් අපි මේ ලෝකයේ බලපෑමට අහු වෙලා නැහැ කියලා. අපි තනිවම ඉන්න අවස්ථාවලදීත් ඒ දේ පෙන්වන්න ඕනේ.

  • 1 කොරින්ති 2:12; 1 යොහන් 4:4

    මේ ලෝකයේ බලපෑමට අහු නොවී ඉන්න නම් අපි යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඕනේ. ඔහු හිතන විදිහට හිතන්න පුරුදු වෙන්නත් ඕනේ.

4 සල්ලිවලින් හිතට සහනයක්වත් සැබෑ ආරක්ෂාවක්වත් ලැබෙන්නේ නැහැ

“කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.”—ලූක් 12:15

යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න නම් ධන සම්පත් ගැන අපිට තියෙන්න ඕනෙ මොන වගේ ආකල්පයක්ද?

  • ක්‍රියා 20:35; 1 තිමෝති 6:9, 10

    ධන සම්පත් තිබුණොත් තමයි නියම සතුට ලැබෙන්නේ කියලා මිනිසුන් හිතනවාටයි සාතන් කැමති. හැබැයි යේසුස් ඉගැන්නුවේ නියම සතුට ලැබෙන්නේ යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න එකෙන් සහ අනිත් අය වෙනුවෙන් දේවල් කරන එකෙන් කියලයි.

  • මතෙව් 6:31, 32; මාක් 12:30, 31; ලූක් 21:34-36

    යෙහෝවා දෙවියන්ට අපි මුල් තැන දෙනවා නම් අර්ථවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. තියෙන දෙයින් සෑහීමට පත් වෙලා මනසේ සහනය අද්දකින්නත් පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න