මිලියන ගණන් මළවුන් යළි ජීවත් වනු ඇත
දැන් මිය ගොස් සිටින මිලියන ගණන් යළි ජීවත් වනු ඇත—මොනතරම් හද සසල කරවන බලාපොරොත්තුවක් ද! නමුත් එය ඇත්තට ම සිදු වෙයි ද? ඒ ගැන ඔබ ව ඒත්තු ගැන්වීමට කුමක් අවශ්‍ය වේ ද? පොරොන්දුවක් විශ්වාස කිරීමට නම්, පොරොන්දුව දෙන තැනැත්තා එය ඉටු කිරීමට කැමැත්තෙන් සිටින බවටත්, ඒ සඳහා ඔහු හට හැකියාව තිබෙන බවටත් ස්ථීර වීමට ඔබට අවශ්‍ය ය. එසේ නම්, දැන් මිය ගොස් සිටින මිලියන ගණන් නැවත ජීවත් වන බවට පොරොන්දු වන්නේ කවුද?
මළවුන් නැවත නැගිටුවීමට යෙහෝවඃ දෙවියන් වහන්සේ මඟින් තමන් බලය ලබා සිටින්නේ යැයි පොදු යුගයේ 31 වසරේ වසන්ත සමයේ දී, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිර්භීත ව පැවසූ සේක. යේසුස් වහන්සේ පොරොන්දු වූ සේක්: “මක්නිසාද පියාණන් වහන්සේ මළවුන් නැගිටුවා ජීවත්කරන්නාක් මෙන් පුත්‍රයාත් තමන් කැමතිවූවන් ජීවත් කරන්නේය. මේ ගැන මවිත නොවෙල්ලා, මක්නිසාද සොහොන් [සිහිවීමේ NW] ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ [යේසුස් වහන්සේගේ] ඇසෙන පැය පැමිණ, . . . නැවත නැගිටීමට පිටත්ව එන්නෝය.” (යොහන් 5:21, 28, 29) එසේ ය, දැන් මිය ගොස් සිටින මිලියන ගණන් මේ පොළොව මත යළි ජීවත් වන බවටත්, සදහට ම ඒ මත රැඳී සිටීමේ අපේක්ෂාවක් තිබෙන බවටත් යේසුස් වහන්සේ පොරොන්දු වූ සේක. (යොහන් 3:16; 17:3; ගීතාවලිය 37:29 සහ මතෙව් 5:5 සසඳන්න.) පොරොන්දුව දුන්නේ යේසුස් වහන්සේ නිසා, එය ඉටු කිරීමට උන් වහන්සේ කැමැත්තෙන් සිටින බව නිගමනය කිරීම සාධාරණ ය. එහෙත්, එය කිරීමට උන් වහන්සේට හැකියාව තිබේ ද?
බයිබල් වාර්තාව පවසන ලෙස, යේසුස් වහන්සේ එම පොරොන්දුව දුන් කාලය වන තෙක්, උන් වහන්සේ කිසිදා කිසිවෙකු ව නැවත නැගිටුවා තිබුණේ නැත. නමුත් වසර දෙකක් ගත වෙන්නට පෙර, නැවත නැගිටුවන්නට තමා කැමැත්තෙන් සිටින බවත්, ඒ සඳහා තමාට හැකියාව තිබෙන බවත් බලවත් ආකාරයකින් නිරූපනය කළ සේක.
“ලාසරුස්, පිටතට එන්න!”
එය හෘදය ස්පර්ශ කරවන දර්ශනයක් විය. ලාසරුස් මරණාසන්න ව අසනීප වී සිටියේ ය. ඔහුගේ සහෝදරියන් දෙදෙනා වූ මාර්තා සහ මරියා, යොර්දාන් ගඟෙන් එගොඩ සිටි යේසුස් වහන්සේට පණිවුඩයක් යවමින්: “ස්වාමීනි, ඔබවහන්සේ ආදරේව සිටින තැනැත්තා රෝගීව සිටී” යැයි දැනුම් දුන්හ. (යොහන් 11:3) එසේ ය, යේසුස් වහන්සේ මෙම පවුලට බොහෝ සෙයින් ආදරය කළ සේක. බෙතානියේ වූ ඔවුන්ගේ නිවසේ, සමහරවිට නිතර නිතර පාහේ උන් වහන්සේ ඔවුන්ගේ ආගන්තුක සත්කාරයන් භුක්ති විඳිමින් සිටි සේක. (ලූක් 10:38-42; ලූක් 9:58 සමඟ සසඳන්න) නමුත් දැන් යේසුස් වහන්සේගේ හිතෛශී මිත්‍රයා බොහෝ සෙයින් අසනීප වී සිටියේ ය.
එහෙත්, මරියා සහ මාර්තා යේසුස් වහන්සේගෙන් බලාපොරොත්තු වූයේ කුමක් ද? ඔවුන් උන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ බෙතානියට පැමිණීමට නොවේ. නමුත් යේසුස් වහන්සේ ලාසරුස්ට ප්‍රේම කළ බව ඔව්හු දැන සිටියෝ ය. අසනීපයෙන් පසුවන සිය මිතුරා ව බැලීමට යේසුස් වහන්සේට උවමනාවක් තිබුණේ නැද්ද? යේසුස් වහන්සේ ඔහු ව ප්රාතිහාර්යමය ලෙස සුව කරන බවට ඔවුන් අපේක්ෂා කළ බවට කිසි ම සැකයක් නැත. ඊටත් වඩා, සිය දේව සේවයේ මේ කාලය වන විට, යේසුස් වහන්සේ ප්රාතිහාර්යමය සුවකිරීම් ගණනාවක් සිදු කොට තිබූ අතර, රෝගියා සිටින දුර උන් වහන්සේට බාධාවක් වූවා ද නොවේ. (මතෙව් 8:5-13 සසඳන්න) උන් වහන්සේ එවැනි හිතෛශී මිත්රයෙකුට ඊට වඩා අඩු දෙයක් කරාවි ද? පුදුමය නම්, සැනෙකින් බෙතානියට ගමන් කරනවා වෙනුවට උන් වහන්සේ කළේ, දවස් දෙකකට එහි ම නැවතී සිටීමයි.—යොහන් 11:5, 6
පණිවුඩය යවනු ලැබූවායින් යම් වේලාවකට පසු, ලාසරුස් මිය ගිය අතර, සමහරවිට මෙය සිදුවූයේ යේසුස් වහන්සේ මෙම පුවත ලැබූ වේලාවේ විය හැකි ය. (යොහන් 11:3, 6, 17.) නමුත් තව දුරටත් පණිවුඩ අවශ්‍ය වූයේ නැත. ලාසරුස් මිය ගියේ කිනම් වේලාවේ දැයි යේසුස් වහන්සේ දැන සිටි අතර, ඒ සම්බන්ධව යමක් කිරීමට උන් වහන්සේ අදහස් කළ සේක. ලාසරුස්ගේ මරණය පිළිබඳ ව කථා කරමින් උන් වහන්සේ සිය ගෝලයන් හට පැවසූ සේක්: “අපගේ මිත්‍රවූ ලාසරුස් සැතපී ඉන්නේය; ඔහු පුබුදුවන පිණිස යමි.” (යොහන් 11:11) යේසුස් වහන්සේ මීට පෙර පුද්ගලයන් දෙදෙනෙකුව නැවත නැගිටුවා තිබූ අතර, මේ අවස්ථා දෙකේ දී ම එසේ කළේ ඊට ආදාළ පුද්ගලයන් මිය ගොස් ටික වේලාවකට පසුවයි.a කෙසේ වෙතත්, මේ අවස්ථාවේ තත්ත්වය වෙනස් විය. අවසානයේ දී යේසුස් වහන්සේ බෙතානියට ළඟා වන විට, උන් වහන්සේගේ හිතෛශී මිත්‍රයා මිය ගොස් දවස් හතරක් ගත වී තිබුණි. (යොහන් 11:17, 39) එතරම් කලකට මිය ගොස් සිටි සහ සිරුර ඒ වන විට ම දිරායාමට පටන් ගෙන තිබූ කෙනෙකු ව නැවත ජීවිතයට ගෙන ඒමට යේසුස් වහන්සේට හැකි වී ද?
යේසුස් වහන්සේ පැමිණෙමින් සිටි බව ඇසූ කඩිසර ස්ත්‍රියක වූ මාර්තා උන් වහන්සේ ව මුණ ගැසීමට දිව ගියා ය. (ලූක් 10:38-42 සසඳන්න) ඈ යේසුස් වහන්සේ ව මුණ ගැසෙනවාත් සමඟ ම: “ස්වාමීනි, ඔබ මෙහි සිටි සේක් නම් මාගේ සහෝදරයා නොමැරෙයි” යනුවෙන් පැවසීමට ඇගේ හෘදය ඇය ව පොලඹ වී ය. ඒත් තවමත් ඈ ඇගේ ඇදහිල්ල ප්‍රකාශ කර සිටියා ය: “දැනුත් ඔබ දෙවියන් වහන්සේගෙන් යමක් ඉල්ලනසේක් නම්, ඒක දෙවියන් වහන්සේ ඔබට දෙන බව දනිමි.” ඇගේ ශෝකය දැක සංවේගයට පත් යේසුස් වහන්සේ ඈ සනසමින්: “නුඹේ සහෝදරයා නැවත නැගිටින්නේයයි” ඈට පැවසූ සේක. අනාගත නැවත නැගිටීමක් සම්බන්ධ ව ඈ ඇගේ ඇදහිල්ල පළ කර සිටි විට, යේසුස් වහන්සේ සරල ලෙස ඈට පැවසූ සේක්: “නැවත නැගිටීමද ජීවනයද මම ය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත් වන්නේ ය.”—යොහන් 11:20-25
සොහොන් ගෙය අසලට පැමිණි යේසුස් වහන්සේ, ඊට ඇතුල්වන ස්ථානය වසා තිබූ ගල ඉවත් කරන ලෙස පැවසූ සේක. එවිට ම මාර්තා ඊට විරුද්ධ වෙමින්: “ස්වාමීනි, ඔහු මැරී සතර දවසක් වන බැවින් ගඳ ඇතැයි” පවසා සිටියා ය. නමුත් යේසුස් වහන්සේ ඇය ව සංසිඳවමින්: “නුඹ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්නෙහිය කියා මා කීවා නොවේද” යයි ඈට කී සේක. ඊළඟට, උන් වහන්සේ ශබ්ද නගා යාච්ඤා කොට, “ලාසරුස් පිටතට වරෙන්නැ” යි ආඥා කළ සේක. යේසුස් වහන්සේ අණ කරනවාත් සමඟ ම දවස් හතරක් තිස්සේ මිය ගොස් සිටි නමුත්, ලාසරුස් පිටතට ආවේ ය!—යොහන් 11:38-44.
ඇත්තට ම එය සිදු වී ද?
ලාසරුස් ව නැවත නැගිටුවීම පිළිබඳ වාර්තාව යොහන්ගේ ශුභාරංචියේ ඉදිරිපත් කොට ඇත්තේ ඓතිහාසික සත්‍යයක් ලෙසිනි. මෙහි පැහැදිලි විස්තරාත්මක තොරතුරු වාර්තා ගත වී තිබීමෙන් පෙනී යන්නේ, මෙය හුදෙක් ප්‍රබන්ධ කථාවක් නොවන බවයි. එහි ඓතිහාසිකකම පිළිබඳ ප්‍රශ්න කිරීම, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ම නැවත නැගිටීම ඇතුළු බයිබලයේ සඳහන් සියලු ප්රාතිහාර්යයන් ගැන ප්‍රශ්න කිරීමකි.b තවද, යේසුස් වහන්සේගේ නැවත නැගිටීම ප්‍රතික්ෂේප කිරීම, සමස්ත ක්‍රිස්තියානි ඇදහිල්ල ම එපා කිරීමකි.—1 කොරින්ති 15:13-15.
ඇත්තට ම, ඔබ දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිගන්නෙහි නම්, නැවත නැගිටීමක් කෙරෙහි ඇදහිල්ල පැවැත්වීම පිළිබඳ ව ඔබට ගැටලුවක් නොතිබිය යුතු ය. මෙය නිදර්ශනය කරනවා නම්: පුද්ගලයෙකුට තමාගේ අන්තිම කැමැත්ත සහ ඒ හා සම්බන්ධ ගිවිසුම් ගැන විස්තරයන් වීඩියෝ පටියකට ගත හැකි අතර, ඔහු මිය ගිය පසු, ඔහුගේ නෑයන්ට සහ මිත්‍රයන්ට ඔහුගේ දේපළ කෙසේ හැසිරවිය යුතුදැයි වීඩියෝ පටය තුළ ඔහු ම එය විස්තර කරද්දී එය නැරඹීමෙන් සහ එයට සවන් දීමෙන් දැන ගත හැකි ය. අවුරුදු සියයකට පෙර එවැන්නක් සිතා ගන්නටවත් නොහැකි දෙයක් වූයේ ය. තවද අද දින පවා ලොවේ ඈත පිටිසර පෙදෙස්වල ජීවත් වෙන අය හට, වීඩියෝ පටිගත කිරීමක් වටහා ගත නොහැකි “ප්රාතිහාර්යකි”. එවැනි ශ්‍රාව්‍ය දෘෂ්‍ය දර්ශනයක් ගොඩනැංවීමට, මිනිසා මැවුම්කාරයාණන් විසින් ස්ථාපිත කරන ලද විද්‍යාත්මක ප්‍රමිති උපයෝගී කර ගත හැකි නම්, ඊට වඩා දෙයක් කිරීමට මැවුම්කාරයාණන්ට හැකි නොවන්නේ ද? එසේ නම් ජීවිතය මැවූ තැනැත්තාණන්ට, යමෙකුගේ පුද්ගලිකත්වය අලුතෙන් සකස් කරන ලද සිරුරක ගොඩනංවමින් පුද්ගලයෙකු ව නැවත නැගිටුවීමට හැකිකම තිබෙන බව සාධාරණ නොවන්නේ ද?
ලාසරුස් ව නැවත ජීවිතයට පැමිණ වීමේ ප්රාතිහාර්ය, යේසුස් වහන්සේ සහ නැවත නැගිටුවීම කෙරෙහි ඇදහිල්ල වර්ධනය කිරීමට හේතු විය. (යොහන් 11:41, 42; 12:9-11, 17-19) නැවත නැගිටුවීම සිදු කිරීමට යෙහෝවඃ වහන්සේට සහ උන් වහන්සේගේ පුත්‍රයාණන්ට තිබෙන දැඩි කැමැත්ත ඒ තුළ මොනවට පැහැදිලි වෙයි.
‘දෙවියන් වහන්සේ ආශාවන සේක’
ලාසරුස්ගේ මරණය කෙරෙහි යේසුස් වහන්සේ දැක් වූ ප්‍රතිචාරය, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ පැත්තෙන් වූ අධික සෙනෙහෙබර ගතිය හෙළි වෙයි. මේ අවස්ථාවේ දී උන් වහන්සේට තිබුණා වූ ගැඹුරු හැඟීම්වලින් පෙනී යන්නේ, මළවුන් ව නැවත නැගිටුවීමට උන් වහන්සේ තුළ වූ තදබල ආශාවයි. අපට මෙසේ කියවීමට තිබේ: “එබැවින් මරියා යේසුස් වහන්සේ සිටි තැනට ඇවිත්, උන් වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී: ‘ස්වාමීනි, ඔබ මෙහි සිටි සේක් නම්, මාගේ සහෝදරයා මැරෙන්නේ නැත,’ යි උන්වහන්සේට කීවාය. යේසුස් වහන්සේ ඈ අඬනවාත් දැක, ආත්මයෙන් සුසුම්ලා, කැලඹී, ‘ඔහු කොතන තැබුවහුදැයි’ ඇසූ සේක. ‘ස්වාමිනී, ඇවිත් බැලුව මැනව’ යි ඔව්හු උන්වහන්සේට කීවෝය. යේසුස් වහන්සේ ඇඬූ සේක. [කඳුළු සැලූ සේක NW] එහෙයින් යුදෙව්වරු කථා කොට: ‘මුන්වහන්සේ මොහුට කොපමණ ආදරේවූසේක්දැයි බලාපල්ලායයි කීවෝය.’ ”—යොහන් 11:32-36.
යේසුස් වහන්සේ තුළ වූ හෘදයාංගම දයානුකම්පාව පෙනී යන්නේ: “සුසුම්ලා”, “කැලඹී”, සහ “කඳුළු සැලූ සේක” යන ප්රකාශනයන් තුනෙන් ය. මෙම හද දනවන දර්ශනය පිළිබඳ ව වාර්තා කිරීමේ දී, ප්‍රේරිත යොහන් විසින් භාවිතා කරන ලද මුල් භාෂාවේ වචන, යේසුස් වහන්සේ හැඟීම්වලින් පෙලඹුනු තරම ගෙන හැර පායි.
මෙහි “සුසුම්ලා” යන්න ගෙන හැර පා තිබෙන ග්‍රීක් වචනය එම්·බ්රි·මාʹඔමායි (em·bri·maʹomai) යන වදනේ ක්‍රියා විශේෂණයක් වන අතර, එයින් වේදනාකාරී ලෙස හෝ ගැඹුරු ලෙස පෙලඹවීමක් විශේෂණය කරයි. බයිබල් විචාරක විලියම් බාක්ලේ මෙසේ පවසයි: “එම්බ්රිමාමාඔමේ [em·bri·maʹomai] යන ග්‍රීක් වදන සාමාන්‍ය ව්‍යාවහාරයේ දී අරුත් දෙන්නේ අශ්වයෙකුගේ පිඹීමකට ය. මෙහි දී, මෙම වදනේ අරුත වනු ඇත්තේ, එම ගැඹුරු හැඟීම්වලින් වෙලී ගිය යේසුස් වහන්සේගේ හදවතින් නිරායාසයෙන් ම සුසුම් පිට වී ගියේ ය යන්නයි.”
පරිවර්තනය කොට තිබෙන “කැලඹී” යන වචනය පැමිණෙන්නේ කලහකාරී බවක් අඟවන ටරාස්ʹසෝ (tarasʹso) යන ග්‍රීක් වදනනි. ද න තායර්ස් ග්‍රීක්-ඉංග්ලිෂ් ලෙක්සිකන් ඔෆ් ද න ටෙස්ටමන්ට් පවසන ලෙස එහි අර්ථය නම්, “යමෙකු තුළ අභ්‍යන්තර කැලඹීමක් ඇති කිරීමයි . . . බලවත් වේදනාවකට හෝ ශෝකයකට ලක් කරවීමයි.” ඩ·ක්‍රයිʹඔ (da·kryʹo) යන ග්‍රීක් ක්‍රියා පදයෙන් අඟවන “කඳුළු සැලූ සේක” නම් ප්රකාශනය “කඳුළු සැලීම, නිහඬ ව වැලපීම” යන අරුත් ගෙන දෙයි. මෙය යොහන් 11:33හි සඳහන් මරියා සහ ඈ සමඟ සිටි යුදෙව්වන්ගේ හැඬීමට වඩා වෙනස් ය. එහි භාවිතා වී ඇති ග්‍රීක් වචනය ක්ලාඉʹඕ හි (klaiʹo) අර්ථය නම් ශබ්ද නගා හැඬීමයි”.c
එසේ නම්, යේසුස් වහන්සේ සිය ප්‍රිය මිතුරා වූ ලාසරුස්ගේ මරණින් සහ ලාසරුස්ගේ සහෝදරියගේ වැලපීමේ දසුන දැකීමෙන් ගැඹුරින් පෙලඹුනු සේක. යේසුස් වහන්සේගේ හදවත කොතරම් හැඟීම්වලින් පිරී ගියේ ද කිවහොත් උන් වහන්සේගේ ඇස් කඳුළුවලින් පිරී ගියේ ය. මෙහි තිබෙන විශේෂත්වය නම් යේසුස් වහන්සේ මීට පෙර වෙනත් දෙදෙනෙකු ව මරණයෙන් ජීවනයට ගෙනවිත් තිබීමයි. එමෙන් ම මේ වතාවේ දී ලාසරුස් සඳහා එම දෙය ම කිරීමට යේසුස් වහන්සේ මුළුමනින් ම අදහස් කර තිබූ සේක. (යොහන් 11:11, 23, 25) එහෙත්, උන් වහන්සේ “කඳුළු සැලූ සේක”. මේ අනුව බලන කල, මනුෂ්‍යයන් ව ජීවනයට යළි ගෙන ඒම යේසුස් වහන්සේ නිකම් ම කරන ක්‍රියාවක් නොවේ. මේ අවස්ථාවේ දී උන් වහන්සේ පිළිබිඹු කළ මුදු මොළොක් සහ ගැඹුරු හැඟීම්වලින් පැහැදිලි ව ම පෙනී යන්නේ, මරණයේ සංවේගජනක කැලැල නැති කර දැමීමට උන් වහන්සේට තිබෙන දැඩි ආශාවයි.
යේසුස් වහන්සේ ‘දෙවියන් වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන් වහන්සේගේ දේවත්වයේ ස්වරූපය ද’ වන බැවින්, අප අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේගෙන් ඊට වඩා අඩුවෙන් අපේක්ෂා නොකිරීම සාධාරණ ය. (හෙබ්‍රෙව් 1:3) නැවත නැගිටුවීමට යෙහෝවඃ වහන්සේට තිබෙන දැඩි කැමැත්ත සම්බන්ධයෙන් ඇදහිලිවන්ත මනුෂ්‍යයා වූ යෝබ් පැවසුවේ: “මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත් වේද? . . . ඔබ අඬගසනසේක, මමද උත්තර දෙන්නෙමි; ඔබගේ අත් වැඩයට ඔබ ආශාවන සේක.” (යෝබ් 14:14, 15) “ඔබ ආශාවන සේක” යන්නට ප්රාරම්භක භාෂාවේ භාවිතා වූ වචනය ඉතා උනන්දු කරවන බලවත් ආශාවක් යන අදහස දෙයි. (උත්පත්ති 31:30; ගීතාවලිය 84:2) පැහැදිලි ව ම, යෙහෝවඃ වහන්සේ නැවත නැගිටුවීම සිදු කිරීමට බලවත් ආශාවකින් සිටිය යුතු වන සේක.
නැවත නැගිටුවීමේ පොරොන්දුව ගැන ඇත්තට ම අපට විශ්වාස කරන්නට පුළුවන් ද? එසේ ය, යෙහෝවඃ වහන්සේ සහ උන් වහන්සේගේ පුත්‍රයාණන් එය ඉටු කරන්නට ඉතා කැමැත්තෙන් සිටින බවටත් ඒ සඳහා හැකියාව තිබෙන බවටත් කිසිම සැකයක් නැත. මෙයින් ඔබට අදහස් කරන්නේ කුමක් ද? සාමකාමී තත්ත්වයන් යටතේ මේ පොළොව මත ම මිය ගිය ඔබගේ ප්‍රේමණීයයන් සමඟ යළි එක් වීමේ අපේක්ෂාව ඔබට තිබෙන බවයි!
මෙය දැන් (පෙර ලිපියේ සඳහන්) රොබර්ටාගේ බලාපොරොත්තුව වී තිබේ. ඇගේ මවගේ මරණින් වසර කිහිපයකට පසු, බයිබලය පිළිබඳ ව ප්‍රවේසමෙන් අධ්‍යයනයක් කිරීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයෝ ඈ හට උපකාර කළහ. ඈ මෙසේ මතක් කරන්නී ය: “නැවත නැගිටුවීමේ බලාපොරොත්තුව ගැන ඉගෙන ගත්තායින් පසු ව, මම හැඬුවා. මට මගේ මව ව යළි දැක ගන්නට ලැබේයැයි දැන ගැනීම මට පුදුමාකාර දෙයක් වුණා.” ඔබ ප්‍රේමකළ කෙනෙකු යළි දකින්නට ඔබටත් එවැනි ම හද දනවන ආශාවක් තිබෙනවා නම්, කිසි ම සැකයක් නැති ව මේ පුදුමාකාර බලාපොරොත්තුව ගැන දැන ගැනීමට ඔබට උවමනා වනු ඇත. w90 5⁄1
[පාදසටහන්වල]
a යොහන් 5:28, 29හි සඳහන් යේසුස් වහන්සේගේ පොරොන්දුව දෙනු ලැබීමෙන් හා ලාසරුස්ගේ මරණයත් අතරතුරේ දී, යේසුස් වහන්සේ නායින් නුවර වැන්දඹුවගේ පුත්‍රයා සහ යායිරස්ගේ දියණිය ව නැවත නැගිට වූ සේක.—ලූක් 7:11-17; 8:40-56.
b වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි ඔෆ් න්යූ යෝක්, ඉන්ක්. මගින් ප්‍රකාශිත ද බයිබල්—ගෝඩ්ස් වර්ඩ් ඕ මෑන්ස්? නම් පොතේ 6 වෙනි පරිච්ඡේදය වන “ප්රාතිහාර්යයන්—ඒවා ඇත්තට ම සිදු වී ද?” යන්න බලන්න.
c උනන්දුව ඇතා කරන කරුණක් වන්නේ, ශබ්ද නගා වැලපීම විස්තර කිරීමට භාවිතා කොට ඇති (ක්ලාඕඉ) නම් ග්‍රීක් වදන, යෙරුසලමට පැමිණෙන්නට යන විනාශය සම්බන්ධ ව යේසුස් වහන්සේ පුරෝකථනය කළ අවස්ථාවට භාවිතා වී තිබීම ය. ලූක්ගේ වාර්තාව පවසන්නේ: “උන්වහන්සේ ළංවී, ඒ නුවර [යෙරුසලම] ගැන හඬමින් [වැලපෙමින් NW]” සිටි සේක යනුවෙනි.—ලූක් 19:41.
යේසුස් වහන්සේ යායිරස්ගේ දියණිය ව නැවත නැගිටුවීම, අනාගතයේ මළවුන්ගේ නැවත නැගිටුවීමක් පිළිබඳ ව ඇදහිල්ලට පදනමක් ලබා දෙයි.
ලාසරුස්ගේ මරණය හේතුවෙන් යේසුස් වහන්සේ ගැඹුරින් පොලඹවනු ලැබූ සේක.
නැවත නැගිටුවීම දකින අයගේ ප්‍රීතිය, යේසුස් වහන්සේ නායින් නුවර වැන්ඳඹුවගේ පුත්‍රයා ව නැවත නැගිටු වූ විට, ඈ හට ඇති වූ ප්‍රීතියට සමාන වනු ඇත.