යෙහෝවඃ වහන්සේ සමඟ පක්ෂපාතී ව වැඩ කිරීම
“දෙවියන්වහන්ස, මාගේ යෞවන කාලයේ පටන් ඔබ මට ඉගැන්වූ සේක; මේ දක්වා ඔබගේ ආශ්චර්‍ය්‍ය ක්‍රියා ප්රකාශකළෙමි.”—ගීතාවලිය 71:17.
1. වැඩ කිරීම වනාහි යෙහෝවඃ වහන්සේගෙන් වූ දීමනාවක් බව අපට පැවසිය හැක්කේ මන්ද?
වැඩ කිරීම දෙවියන් වහන්සේ මනුෂ්‍යාට දී ඇති ත්‍යාගවලින් එකකි. අපගේ මුල් මාපියන් වූ ආදම් සහ ඒව හට: “පොළොව පූර්ණ කොට ඒක යටත්කරගනිව්,” යයි යෙහෝවඃ වහන්සේ පැවසූ සේක. එය අභියෝගාත්මක කාර්යය පැවරුමක් වූ නමුදු, ඔවුන්ගේ හැකියාවන් ඇතුළත එය හොඳින් කළ හැකි දෙයක් විය. ඔවුන්ගේ ජීවිතය තුළ ප්‍රීතිය වැඩි කිරීමට අවශ්‍ය කරන ලද ශාරීරික හා මානසික ප්රයත්නය, ඔවුන්ගේ භූමික නිවසේ ජීවත් වූ සත්ත්වයන් අත්දුටුවා වූ ඕනෑ ම දෙයකට වඩා වැඩි විය.—උත්පත්ති 1:28.
2, 3. (අ) අද දින බොහෝ දෙනෙකුට වැඩ කිරීම කුමක් බවට පත් වී තිබේ ද, සහ ඒ මන්ද? (ආ) අප සලකා බැලීමට අවශ්‍ය වන්නේ කුමන විශේෂ වැඩක් කිරීමට ඇති ප්‍රස්තාව ගැන ද?
2 ප්‍රඥාවන්ත සාලමොන් ලීවාක් මෙන්, අපගේ අසම්පූර්ණ තත්ත්වය තුළ පවා, “මුළු වෑයමේදී” “සැපභුක්තිවිඳීම,” “දෙවියන්වහන්සේගේ දීමනාවකි.” (දේශනාකාරයා 3:13) මනුෂ්‍යයාට තමාගේ සිරුරේ හා මනසේ හැකියාවන් යෙදවීමට තවමත් අවශ්‍යතාවය තිබේ. වැඩ නොකර සිටීම අසහනකාරී ය. එහෙත් සියලු වැඩ යහපත් හෝ වටිනා වැඩ නොවෙයි. බොහෝ දෙනෙකුට වැඩ කිරීම වනාහි අප්‍රියජනක, යන්තම් ජීවිතයේ අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට කරන දෙයක් පමණි.
3 කෙසේ වුවද, සැබවින් ම විපාකදායි වැඩක නියැලීමට අප සියලු දෙනාට ම ආරාධනයක් ලැබී තිබේ. නමුත් එහි සහභාගි වෙන අයට ජය ගැනීමට බොහෝ ගැටලු තිබෙන අතර ඊට විරුද්ධවාදීන් ද සිටිත්. අප මෙම වැඩයට සුදුසුකම් ලැබීම වැදගත් දෙයක් වන්නේ මන්ද? අප එසේ සුදුසුකම් ලබන්නේ කෙසේ ද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට පෙර, අපි ප්‍රථමයෙන් මේ දෙය සලකා බලමු:
අප වැඩ කරමින් සිටින්නේ කවුරු උදෙසා ද?
4. යේසුස් වහන්සේට ප්‍රීතිය හා සෑහීම ගෙන ආවේ කුමන ආකාරයේ වැඩක් ද?
4 “මාගේ කෑම නම් මා එවූ තැනන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමය.” යනුවෙන් යේසුස් වහන්සේ පැවසූ සේක. (යොහන් 4:34) යෙහෝවඃ වහන්සේ උදෙසා පක්ෂපාත ව වැඩ කිරීමෙන් යේසුස් වහන්සේ හට ඉමහත් ප්‍රීතියක් හා සෑහීමක් ගෙනා සේක. එය ජීවිතයට අරමුණක් උන් වහන්සේට ලබා දුන් අතර, උන් වහන්සේගේ වසර තුන හමාරක දේව සේවා කාලය අවසානයේ දී, සිය ස්වර්ගික පියාණන් වහන්සේට සැබවින් මෙලෙස කියන්නට උන් වහන්සේට හැකි විණි: “ඔබ මට කරන්ට දුන් වැඩ මම තීන්දු කර පොළොවේදී ඔබ ගෞරවයට පැමිණවීමි.” (යොහන් 17:4) භෞතික ආහාර පෝෂණදායි වන්නාක් මෙන් ම, ආත්මික මිනුමෙන් යුත් වැඩ ද එසේ ම ය. යේසුස් වහන්සේ මෙසේ අවවාද දුන් වෙනත් අවස්ථාවක මෙය අවධාරණය කළ සේක: “නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරපල්ලා.” (යොහන් 6:27) ඊට පටහැනි ව, ආත්මික ව ඵලදායි නොවන්නා වූ වැඩ හේතු කරවන්නේ, නිෂ්ඵල භංගත්වයටත් මරණයටත් ය.
5. යේසුස් වහන්සේ කළා වූ යහපත් වැඩයට විරුද්ධ වූයේ කවුද, ඒ මන්ද?
5 “මාගේ පියාණන්වහන්සේ මේ දක්වා ම ක්‍රියාකරන සේක, මමත් ක්‍රියාකරමි.” අවුරුදු 38ක් ඔත්පල ව සිටි මිනිසෙකු ව සබත් දවසේ දී සුව කිරීම හේතුවෙන් යේසුස් වහන්සේ ව විවේචනය කරමින් සිටි යුදෙව්වන්ට උන් වහන්සේ එම වචනවලින් කථා කළ සේක. (යොහන් 5:5-17) යේසුස් වහන්සේ කරමින් සිටියේ යෙහෝවඃ වහන්සේගේ වැඩ වුවද, ආගමික විරුද්ධවාදීහු එම සත්‍යය පිළිගැනීම ප්‍රතික්ෂේප කර, උන් වහන්සේ ව නැවැත්වීමට තමන්ට කළ හැකි සෑම දෙයක් ම කළෝ ය. මන්ද? සෑම විටක ම යෙහෝවඃ වහන්සේගේ වැඩට විරුද්ධ වී සිටින තැනැත්තා වන ඔවුන්ගේ පියා වූ සාතන් වන යක්ෂයාගෙන් ඔවුන් පැමිණි හෙයිනි. (යොහන් 8:44) “අර්ධ්මිෂ්ඨකමේ සියලු රැවටිලි” භාවිතා කරන සාතන් ‘ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගන්නා බැවින්,’ ඔහුගේ වැඩ මොනවාද යන්න හඳුනා ගැනීමට ආත්මික විචාර බුද්ධිය සහ පැහැදිලි ලෙස සිතීමේ හැකියාව අපට අවශ්‍ය ය. එසේ නොවුවහොත්, අප යෙහෝවඃ වහන්සේට විරුද්ධ ව වැඩ කරන බව අප සොයා ගනු ඇත.—2 කොරින්ති 11:14; 2 තෙසලෝනික 2:9, 10.
විරුද්ධවාදිහු ක්‍රියා කරමින් සිටිත්
6. ධර්මභේදීන් “වංචාකාර සේවකයන්” වන්නේ මන්ද? පැහැදිලි කරන්න.
6 අද දින සිටින සමහරක් ධර්ම භේදීන් මෙන්, ඇතැම් අය, ක්‍රිස්තියානි සභාව සමඟ ඇසුරු කරන නවකයන්ගේ ඇදහිල්ල යටින් කා දැමීමට සාතන්ගේ නියෝජිතයන් මෙන් අපක්ෂපාතී ලෙස ක්‍රියා කරමින් සිටිති. (2 කොරින්ති 11:13) සත්‍ය ඉගැන්වීම්වල පදනම වශයෙන්, සරල ලෙස බයිබලය භාවිතා කරනවා වෙනුවට, ඔවුන් න ව’ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් පරිවර්තනය අප්‍රසාදයට ලක් කිරීමට අර අඳින්නේ, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සහය ලැබීම සඳහා හරියට මුළුමනින් ම ඒ මත ම රඳා පැවත සිටී යන අදහසින් ය. නමුත් තත්ත්වය මෙය නොවේ. වසර වැඩි ගණනක් පුරා, යෙහෝවඃ වහන්සේ සහ උන් වහන්සේගේ අරමුණු පිළිබඳ සත්‍යය ඉගෙන ගැනීම පිණිස සාක්ෂිකරුවෝ මූලික වශයෙන් භාවිතා කළේ, කිං ජේම්ස් ව’ෂන් සහ රෝමානු කතෝලික ඩුවේ ව’ෂන් යන අනුවාදයන් ය. නැතහොත් ඔවුන්ගේ භාෂාවෙන් තිබූ කුමන හෝ අනුවාදයක් ඒ සඳහා භාවිතා කළහ. එමෙන් ම මළ අයගේ තත්ත්වය, දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ පුත්‍රයාණන් අතර සම්බන්ධය, සහ කුඩා රැළක් පමණක් ස්වර්ගයට යාමට හේතුව යනාදිය පිළිබඳ සත්‍යයන් ප්‍රකාශ කිරීමට ඔවුහු මෙම පැරණි අනුවාදයන් භාවිතා කළහ. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් තම ලෝක ව්‍යාප්ත ධර්ම දූත සේවය තුළ බොහෝ පරිවර්තනයන් නොකඩවා භාවිතා කරන බව කරුණු දන්නා පුද්ගලයෝ දනිති. කෙසේ වෙතත්, 1961 සිට, ඊට අමතරව න ව’ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් භාවිතා කිරීමෙන් එහි තත්කාලීන, නිවැරදි පරිවර්තනය සහ කදිම ලෙස කියවීමට හැකි ගතිය ඔවුහු භුක්ති විඳිමින් සිටිති.
7. (අ) යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබනවා යයි කියා සිටින බොහෝ දෙනෙකු ව උන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ මන්ද? (ආ) 1 යොහන් 4:1 හි උපදේශයට කීකරු වීම වැදගත් වන්නේ මන්ද?
7 තමන් කෙරෙහි ඇදහිල්ල තබනවා යයි කියා සිටින බොහෝ දෙනෙකු ව උන් වහන්සේ අත් හැර දමනු ඇති බව යේසුස් වහන්සේ පැවසූ සේක. තමන්ගේ නාමයෙන් ඔවුන් අනාවැකි කියන්නට හැකි බව, යක්ෂයන් දුරු කරන්නට හැකි බව, සහ “බලවත් ක්‍රියා කරන්නට” හැකි බව උන් වහන්සේ පිළි ගත් සේක. එහෙත් උන් වහන්සේ ඔවුන් ව හඳුන්වන්නේ “අධර්මිෂ්ඨකම් කරන්නන්” වශයෙනි. (මතෙව් 7:21-23) මන්ද? ඔවුන් උන් වහන්සේගේ ස්වර්ගීය පියාණන් වහන්සේගේ කැමැත්ත කරමින් නොසිටින නිසා සහ යෙහෝවඃ දෙවියන් වහන්සේ සම්බන්ධයෙන් ඔවුන් නොවටිනා නිසා ය. ප්රාතිහාර්යයන් ලෙසට පවා පෙනිය හැකි, අසාමාන්‍ය ක්‍රියාවන්, අද දින ප්‍රධාන මුළා කරන්නා වූ සාතන්ගෙන් පවා ආරම්භ විය හැක. යේසුස් වහන්සේගේ මරණයෙන් හා උත්ථානයෙන් වසර 60කටත් පසු ව තමාගේ පළමු වෙනි සාමාන්‍ය ලිපිය තුළ, ප්‍රේරිත යොහන් ක්‍රිස්තියනින්ට උපදෙස් දුන්නේ, “සියලු ආත්ම විශ්වාස [අනුභාව ලත් ප්‍රකාශයන් NW] නොකොට ඒ ආත්ම [අනුභාව ලත් ප්‍රකාශන NW] දෙවියන් වහන්සේගෙන්දැයි පරීක්ෂා කරන” ලෙසට ය. අපත් එසේ ම කිරීම අවශ්‍ය ය.—1 යොහන් 4:1.
විපාකදායි නොවන ක්‍රියා
8. මාංසයේ ක්‍රියා සම්බන්ධයෙන් අපට හැඟී යා යුත්තේ කෙසේ ද?
8 ආත්මික ඵලදායි නොවන ක්‍රියාවල අප යෙදී නොසිටිය ද, අප කරන දේවල් අපගේ පහත වැටී ඇති මාංසික ආශාවන්ට නොකඩවා ‘පොහොර දමයි’ නම්, අපගේ ක්‍රියාවල කිසිදු වටිනාකමක් නැත. අප බොහෝ කාලයක් “සල්ලාලකම්වලද, තෘෂ්ණාවලද, බීමත්කම්වලද, නපුරු මංගල්‍යවලද, මත්පැන්බීම්වලද, පිළිකුල්වූ රූපඇදහීම්වලද හැසිර” සිටිය බව ප්‍රේරිත පේතෘස් පැවසී ය. (1 පේතෘස් 4:3, 4) ඇත්ත වශයෙන් ම, දැන් කැපවී සිටින සෑම ක්රිස්තියානිවරයෙකු ම එවැනි ක්‍රියාවන්හි යෙදුනු බවක් ඉන් අදහස් කරන්නේ නැති, නමුත් ඉන් ඇත්තට ම අදහස් කරන්නේ, එවැනි දේවල් කළ අයගේ ආකල්ප ඔවුන්ගේ ආත්මික දසුන දියුණු වීමත් සමඟ ම, ක්රමානුකූල ව වෙනස් වී තිබිය යුතු බවයි. ඔවුන්ගේ වෙනස් වීම ගැන ලෝකයා අපහාසාත්මක ලෙස කථා කරන්නට පුළුවන; එය බලාපොරොත්තු වීමට තිබෙන දෙයකි. එහෙත්, ඔවුන් යෙහෝවඃ වහන්සේගේ සේවය තුළ පක්ෂපාති සේවකයන් බවට පත් වීමට නම්, ඔවුන් වෙනස් විය යුතු ය.—1 කොරින්ති 6:9-11.
9. සංගීත නාට්‍ය ගායිකාවක් ලෙස පුහුණු වීමට පටන් ගත් සාක්ෂිකාරියගේ අත් දැකීමෙන් අප ඉගෙන ගන්නේ කුමක් ද?
9 භුක්ති විඳීම පිණිස බොහෝ දීමනාවන් යෙහෝවඃ වහන්සේ අප හට දානය කර තිබෙන අතර, සංගීතය වනාහි ඒ අතර තිබෙන දෙයකි. කෙසේ වුවද, “මුළු ලෝකයා නපුරා” වන සාතන් වන යක්ෂයා තුළ සිටින බැවින්, සංගීත ලෝකය මීට ඇතුළත් නොවෙයි ද? (1 යොහන් 5:19) එසේ ය, සිල්වානා තේරුම් ගත් ලෙස, සංගීතය කූට මලපතක් විය හැකියි. ඈ හට ප්‍රංශයේ දී සංගීත නාට්‍යයන්හි ගායිකාවක් ලෙස පුහුණු වීමට ප්‍රස්තාව පෑදී තිබිණි. “මා හට තවමත් යෙහෝවඃ වහන්සේට සේවය කිරීමේ බලවත් ආශාවක් තිබුණා.” ඇය විස්තර කරන්නී ය. “මා උපකාරක පුරෝගාමි සේවය භුක්ති විඳිමින් සිටි අතරතුර, මගේ ජීවිතයේ මෙම දේවල් දෙක එකඟ කිරීමට මා බලාපොරොත්තු වී සිටියා. එහෙත් මගේ වෘත්තිය කර ගෙන යාමේදී මට මුහුණ පෑමට වූ පළමු ගැටලුව නම් දුරාචාරයයි. මුල දී, මා ඇසුරු කරන්නන්ගේ දුරාචාර කථාවන් සහ ආදර්ශයන් අනුව නොගිය නිසාවෙන් ඔවුන් මා ව බොළඳ කෙනෙකු ලෙස සැලකුවා. පසු ව, දූෂිත වූ එම වාතාවරණය දේවල්වලට මා ව අසංවේදී කිරීමට පටන් ගත් අතර, යෙහෝවඃ වහන්සේ ද්වේෂ කරන දේවල් ඉවසා සිටීමට මා ව පෙලඹුවා. මගේ ගායනය ආගමක් කර ගන්නා ලෙස මගේ එක් ගුරුවරයෙක් මගෙන් තරයේ ඉල්ලා සිටි අතර, වේදිකාව මත කලහකාරී වී, මා සියලු දෙනාට වඩා උසස් ලෙස සිතීමට මා හට උගන්වනු ලැබුවා. මේ සියල්ල ම මා ව අපහසු තත්ත්වයකට පත් කළා. අවසානයේ දී විශේෂ ශ්‍රාවකයන් පිරිසකට මුහුණ දීමට සූදානම් වීමට මට සිදු වුණා. මා යා යුතු මාර්ගය පහදා දෙන ලෙස මා යෙහෝවඃ වහන්සේට යාච්ඤා කළා. මා හොඳින් ගායනා කළ ද, මට හොඳ ආත්ම විශ්වාසයක් තිබුණ ද, තෝරා ගනු ලැබුවන් අතර මා සිටියේ නැහැ. මේ අතරතුර මා ඊට හේතුව දැන ගත්තා—එනම් තරඟයට බොහෝ කලකට පෙර ප්‍රතිඵල රහසේ කලින් නිශ්චය කොට තිබූ බවයි. මගේ යාච්ඤාවට පැහැදිලි පිළිතුරක් ලැබුණු අතර, නිවසේ දී ගායනය ඉගැන්වීමේ අටියෙන් මා සංගීත නාටක වේදිකාවෙන් පිට වී ඒමට තීරණය කළා.” මෙම සහෝදරිය පසු ව ක්‍රිස්තියානි සභාවක වැඩිමහල්ලෙකු සමඟ විවාහ වූ අතර, දෙදෙනා ම දැන් රාජ්‍යය කටයුතු වර්ධනය කරමින් පක්ෂපාත ව සේවය කරති.
10. යොහන් 3:19-21 හි සඳහන් යේසුස් වහන්සේගේ වචනවලින් ඔබ නිගමනය කරන්නේ කුමක් ද?
10 යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “නපුරුකම් කරන සෑමදෙනම ආලෝකයට වෛරවී, තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොඑති.” අනෙක් අතට, “නමුත් සැබෑව කරන්නා තමාගේ ක්‍රියා දෙවියන්වහන්සේ තුළ කළ බව ප්‍රකාශවෙන පිණිස ආලෝකයට එන්නේය.” (යොහන් 3:19-21) යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත සහ අරමුණට එකඟ ව ක්‍රියා කිරීම මොනතරම් ආශීර්වාදයක් ද! නමුත් එය සාර්ථක ව කිරීම පිණිස, අපගේ ක්‍රියාවන් දෙවියන් වහන්සේගේ වචනයේ ආලෝකයෙන් සියුම් ලෙස පරීක්ෂණයට භාජනය වීමට අප සැම විට ම ඉඩ හළ යුතු ය. යෙහෝවඃ වහන්සේගේ අති වටිනා සේවය සඳහා දී ඇති ආරාධනය පිළිගෙන, අපගේ ජීවිත මාර්ගය වෙනස් කිරීමට අප කිසි දා වඩාත් වයසට ගොස් හෝ ප්‍රමාද නැත.
අද දින “යහපත් ක්‍රියා” කිරීම
11. “යහපත් ක්‍රියා” ලෙස සමහරුන් ලුහු බඳින්නේ මොනවා ද, එමෙන් ම එවැනි දේ නිෂ්ඵල භංගත්වයට පත් වීමට තුඩු දෙන්නේ මන්ද?
11 අද දින කරනු ලබන වටිනා වැඩ, අපගේ කාලයේ හදිසිතාවය පිළිබිඹු කළ යුතු ය. මිනිස් සංහතියට සාමාන්‍යයෙන් ප්‍රයෝජනවත් වන්නා වූ හෝ විශේෂමය හේතුවක් මත කරනු ලබන්නා වූ “යහපත් ක්‍රියා” යනුවෙන් විස්තර කෙරෙන ක්‍රියා අනුමත කරමින් ඒවා සමඟින් අද දින බොහෝ අවංක මිනිස්සු කාර්ය බහුල ව සිටිත්. එහෙත්, මෙවන් ක්‍රියා මොනතරම් ව්‍යාකූලත්වයට පත් කරවන සුලු ද! බ්‍රිතාන්‍යයේ CAFOD (විදේශීය සංවර්ධනය සඳහා කතෝලික අරමුදල Catholic Fund for Overseas Development) ආයතනය, එහි සාගත සහන ව්‍යාපෘතිය ගැන වාර්තා කරමින් මෙසේ පැවසී ය: “වසර තුනකට පෙර . . . සහනාධාර කටයුතු සඳහා පවුම් මිලියන ගණන් එකතු කරන ලදි. ජීවිත දහස් ගණනක් ගලවා ගන්නා ලදි. දැන් එම ජීවිත යළිත් වරක් අවදානමක තිබේ. . . . නමුත් මන්ද? වැරදුණේ කුමක් ද?” එහි තවදුරටත් සිය වාර්තාව ඉදිරිපත් කරමින් CAFOD journal විස්තර කළේ, දිගු කාලීන ගැටලු විසඳීමට කිසි දා උත්සාහ නොකරන ලද බවත්, “මිනිස් වර්ධනයට අනිවාර්යයෙන් ම අවශ්‍ය වූ ප්‍රභවයන් ඉන්ධන සහ අරගලවලට [සිවිල් යුද්ධ] යොදා ගෙන” ඇති බවත් ය. කිසි ම සැකයක් නොමැති ව, එවැනි පුණ්‍ය කටයුතුවල යෙදී සිටින්නන් පළ කළා වූ එවැනි ප්රකාශනයන් ඔබ ද අසා තිබෙනවා විය හැක.
12. අද දින ලෝකය මුහුණ දෙන ගැටලුවලට එකම විසඳුම කුමක් ද?
12 සාගතය වනාහි හදිසි ගැටලුවකි. එහෙත්, අද දින සාගතය නිසා ඇති වී තිබෙන ව්‍යසනයන් සහ යුද්ධ, වර්තමාන දේවල පිළිවෙළේ අවසානය පිළිබඳ යේසුස් වහන්සේගේ අනාවැකියේ ඉටුවීමක් ලෙස හඳුනා ගනිමින් සිටින්නේ කවුද? (මතෙව් 24:3, 7) එළිදරව් නැමැති බයිබල් පොතේ 6වන පරිච්ඡේදයේ චමත්කාරජනක ලෙස විචිත්රනය කර ඇති අශ්වාරෝහකයන් හතර දෙනාගේ ධාවනය සමඟ සම්බන්ධ වී ඇති බවට පැහැදිලි ව පෙනී යන සිද්ධීන් ගැන ලියා පළ කොට ඇත්තේ කවුද? යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරුවන් මෙම සඟරාව තුළින් නිරතුරුව ම පක්ෂපාතී ලෙස මෙය කර තිබේ. මන්ද? කල් පවතින යම් විසඳුමක් ගෙන ඒම මිනිසාගේ හැකියාවන්ගෙන් ඔබ්බෙන් තිබෙන බව පෙන්වීමට ය. මින් අදහස් කරන්නේ ක්‍රිස්තියානින් ලෝක ගැටලු හමුවේ උදාසීන ව ක්‍රියා කරනවා යන්න නොවේ. කොහෙත් ම නැත. ඔවුන් දයානුකම්පිත වන අතර, දුක් වේදනාවන් සමනය කිරීමට ඔවුන් තමන්ට හැකි සෑම දෙයක් ම කරනු ඇත. එහෙත් ඔවුන් යථාර්ථවාදී ලෙස මුහුණ දෙන සත්‍යයක් නම්, දිව්‍යමය මැදිහත් වීමක් නොමැති ව ලෝක ගැටලු කිසිදා විසඳනු නොලබන බවයි. දුප්පතුන් සිටිනවාක් මෙන්, සාතන් මේ ලෝකයේ පාලකයා වශයෙන් සිටීමට ඉඩ හරිනු ලබනතාක් කල්, මෙම ගැටලු රැඳී පවතිනු ඇත.—මාර්ක් 14:7; යොහන් 12:31.
අති මහත් වටිනාකමක් ඇති වැඩය
13. අද දින අතිශයින් ම හදිසි වැඩය කුමක් ද, තව ද එය කරමින් සිටින්නේ කවුද?
13 අද දින අතිශයින් හදිසි අවශ්‍යතාවය නම්, දේව බියැති පුද්ගලයන් ආශාවෙන් බලා සිටින සහනය ගෙනෙන, සියලු ලෝක ආණ්ඩු වෙනුවට අනුයුක්ත වන යෙහෝවඃ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමයි. (දානියෙල් 2:44, 45ආ මතෙව් 24:14) යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේශනා සේවය පලස්තීන දේශයට සීමා වුවද, ස්වර්ගික රාජ්‍යය දේශනා කිරීම උන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ කර ගත් සේක. දේශනා සේවය ලෝක ව්‍යාප්ත වනු ඇති බවට යේසුස් වහන්සේ පුරෝකථනය කළාක් මෙන් ම අද දින එය එසේ වී තිබේ. (යොහන් 14:12; ක්‍රියා 1:8) දෙවියන් වහන්සේගේ වැඩය තුළ, සුළු දෙයක හෝ සහභාගි වීම සැසඳිය නොහැකි වරප්රසාදයකි. ශුභාරංචියේ දේශනාකරුවන් වීමට කිසිදා සිහින නොමැවූ බාල, මහලු, ස්ත්‍රී, පුරුෂ අය යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විසින් අද දින ඉටු කරමින් තිබෙන එවැන්ජලිස්ත වැඩයේ පෙරමුණේ සිටිත්. නෝවා සහ ඔහුගේ පවුල මෙන්, ඔවුන් දෙවියන් වහන්සේගෙන් වූ ආඥාව යටතේ උන් වහන්සේගේ වැඩය පක්ෂපාතී ව උන් වහන්සේගේ ශක්තියෙන් කරමින් සිටින්නේ මෙය දේවල පිළිවෙළේ නිමාවට ප්‍රාරම්භ සිද්ධියක් හැටියට ය.—පිලිප්පි 4:13; හෙබ්‍රෙව් 11:7.
14. දේශනා කිරීම ජීවිත ගලවන වැඩක් වන අතර ම ආරක්ෂාකාරී දෙයක් වන්නේ කෙසේ ද?
14 මෙම අවසාන දවස් අතරතුර යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විසින් කරනු ලබන සාක්ෂි දැරීමේ වැඩය, එයට සවන් දෙන අයගේ හා අසා ශුභාරංචියට අනුව ක්‍රියා කරන අයගේ ජීවිත රැක දෙයි. (රෝම 10:11-15) එය දේශනා කරන අයට ද ආරක්ෂාවක් වෙයි. අපගේ ගැටලුවලට වඩා මහත් ගැටලු තිබෙන ජනයාට උපකාර කිරීමට අප අවංක ව උනන්දුවක් දැක්වීමෙන්, අපට තිබිය හැකි ගැටලු ගැන ඕනෑවට වඩා අප කනස්සලු වන්නට යන්නේ නැත. පිරිහෙමින් පවතින ප්රමිතීන් සහිත මේ ලෝකය ඒවායේ මාර්ගවලට අප ව හසු කර ගැනීමට ඉඩ තිබෙන බව අපි වටහා ගෙන සිටිමු. එමනිසා, අපගේ දේශනා සේවය අතරතුරේ දී, දෙවියන් වහන්සේගේ සිතිවිලිවලින් අපගේ මනස පුරවා ගැනීම, ඇදහිල්ල ශක්තිමත් කරනවාටත් වඩා වැඩි යමක් කරයි; එය අපගේ අතීශය සුභ සිද්ධිය සඳහා ය. එක් සාක්ෂිකරුවෙක් ප්‍රකාශ කළාක් මෙන්: “මට හමුවෙන මිනිසුන් ව වෙනස් කිරීමට මා උත්සාහ නොකළහොත්, ඔවුන් මා ව වෙනස් කරන්නට පුළුවන!”—2 පේතෘස් 2:7-9,සසඳන්න.
සභාව සමඟ වැඩ කිරීම
15. අද දින උප එඬේරුන් හට පැවරෙන වගකීම කුමක් ද, එමෙන් ම 1 තිමෝති 3:1 පිළිබඳ ව සභාවේ පිරිමි සහෝදරයන් හට හැඟී යා යුත්තේ කෙසේ ද?
15 අලුතෙන් උනන්දුව දක්වන අය සභාවට පැමිණෙන විට, ඔවුහු උතුම් එඬේරාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේගේ සහ උන් වහන්සේගේ යහපත් එඬේරාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රැකවරණය යටතට පැමිණෙති. (ගීතාවලිය 23:1; යොහන් 10:11) මෙම ස්වර්ගික එඬේරුන් ව මේ පොළොව මත දී නියෝජනය කරන්නේ සභාව තුළින් ම පත් කරනු ලැබූ රැළේ උප එඬේරුන් ලෙස ක්‍රියා කරන පුරුෂයන් ගෙනි. (1 පේතෘස් 5:2, 3) මෙම අවසාන දවස්වල දී එවැනි කාර්ය භාරයක් ඉසිලීම මිල කළ නොහැකි වටිනා වරප්රසාදයකි. එඬේරෙකුගේ වැඩය බරපතළ එකක් වන අතර, සභාව තුළ ඉගැන්වීමේ දී සහ ශුභාරංචිය දේශනා කිරීමේ දී පෙරමුණ ගැනීම පමණක් නොව, නමුත් ආත්මික ගොදුරු ඩැහැගන්නන්ගෙන් සහ අප ජීවත් වන ලෝකයේ කුණාටු සහිත ප්රහාරයන්ගෙන් රැළ ආරක්ෂා කර ගැනීම ද ඊට ඇතුළත් වෙයි. වර්ධනය වෙමින් තිබෙන්නා වූ ක්‍රිස්තියානි සභාවේ සමාජිකයන්ගේ ආත්මික සුභ සාධනය ගැන රැක බලා ගැනීමේ ලා උපකාර කිරීමට තරම් සභාවේ පිරිමි සාමාජිකයන් හට වීර්යය දැරිය හැකි වෙනත් වටිනා කාර්යයක් තවත් නොමැත.—1 තිමෝති 3:1; යෙසායා 32:1, 2 සසඳන්න.
16. ක්‍රිස්තියානි එඬේරුන් එකිනෙකාගේ අඩු තැන් පුරවාලිය යුත්තේ කිනම් ආකාරවලින් ද?
16 කෙසේ වෙතත්, එවැනි එඬේරුන් මනුෂ්‍යන් බවත්, රැළේ සෙස්සන් මෙන් ම වෙනස් පුද්ගලිකත්වයන් හා දුර්වලකම් තිබෙන බවත් අප කිසි දා අමතක නොකළ යුතු ය. එඬේර වැඩයෙහි එක පැත්තකින් එක අයෙකු දක්ෂ විය හැකි අතරේ දී, තව කෙනෙකු තුළ තිබෙන දීමනාව සභාවට වෙනත් අයුරකින් ප්‍රයෝජන ලබා දෙනු ඇත. ක්‍රිස්තියානි වැඩිමහල්ලන් වශයෙන් ඔවුන් කරන සේවය සභාව ශක්තිමත් කිරීමේ ලා එකිනෙකාගේ අඩු තැන් පුරවනු ඇත. (1 කොරින්ති 12:4, 5) තරඟකාරී ස්වභාවයක් ඔවුන් අතරට කිසි විටෙකත් නොපැමිණිය යුතුයි. රාජ්‍යය කටයුතු දියුණු කොට රැක ගැනීමට ඔවුන් එකට වැඩ කරන අතර, ඔවුන්ගේ සියලු මනාපයන් හා තීරණවල දී යෙහෝවඃ වහන්සේගේ ආශීර්වාද සහ මඟ පෙන්වීම අයැද “පිරිසිදු අත් ඔසවා” යාච්ඤා කරති.—1 තිමෝති 2:8.
17. (අ) අපට තිබෙන වගකීම කුමක් ද? (ආ) ප්‍රමාණවත් ලෙසින් අපගේ වගකීම් ඉටු කිරීමට නම්, අප වැළකී සිටීමට අවශ්‍ය වන්නේ කිනම් දේවලින් ද?
17 සාතන්ගේ අධිරාජ්‍යය එහි අවසානයට ළඟා වීමත් සමඟ ම දේශනා කිරිමේ වැඩය දැන් තව තවත් හදිසි එකක් වෙමින් තිබේ. යෙහෝවඃ දෙවියන් වහන්සේගේ සාක්ෂිකරුවන් වශයෙන් උන් වහන්සේගේ වචනයේ සත්‍යතාවය තිබෙන හෙයින් සෑම ප්‍රස්තාවක දී ම ශුභාරංචිය පැතිර වීමට අපට වගකීමක් තිබේ. දැනට අප අත තිබෙන වැඩය, අවසානය දක්වා ම අප ව වැඩ බහුල ව තැබීමට ප්‍රමාණයටත් වඩා වැඩි ය. සුඛ විහරණාත්මක, දුරාචාරමය ඉඳුරන් පිනවීමෙන් පැත්තකට ගසා ගෙන යාමට හෝ ද්‍රව්‍යවාදී බරවලින් වෙහෙසට පත් වූ ජීවන රටාවකට අප ව හසු වීමට අප කිසි දා ඉඩ නොදිය යුතු ය. අනුමාන සැක සහිත සිතිවිලි, වචන ගැන විවාද කිරීම් කිසි ප්‍රයෝජනයක් නොමැති කාලය කා දමන ඒවා වන බැවින්, අප ඒවායේ හවුල් නොවිය යුතුයි. (2 තිමෝති 2:14; තීතස් 1:10; 3:9) “ස්වාමිනි, මේ කාලයේදී ඔබ ඉශ්රායෙල්ට රාජ්‍යය නැවත පිහිටුවාදෙනසේක්දැයි” ගෝලයන් යේසුස් වහන්සේගෙන් විචාල විට, ඔවුනට කිරීමට තිබෙන වැදගත් වැඩයට ඔවුන්ගේ සිතිවිලි නැවත යොමු කරවමින් යේසුස් වහන්සේ පැවසුවේ: “නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුය” යනුවෙනි. මෙම නියෝගය අද දක්වා විහි දෙයි.—ක්‍රියා 1:6-8.
18. යෙහෝවඃ වහන්සේ සමඟ වැඩ කිරිම එතරම් විපාකදායි වන්නේ මන්ද?
18 යෙහෝවඃ වහන්සේ සමඟ වැඩ කිරීම, අද දින උන් වහන්සේගේ ලෝක ව්‍යාප්ත සභාව සමඟ දේශනා කිරීම, අපගේ ජීවිතවලට සන්තෝෂය, සෑහීම, සහ සැබෑ අරමුණක් ගෙන එයි. යෙහෝවඃ වහන්සේට ප්‍රේම කරන සෑම කෙනෙකුට ම උන් වහන්සේට සිය භක්තිය හා පක්ෂපාතකම පෙන්වීමට එය ප්‍රස්තාවක් වෙයි. බොහෝ අංගයන්ගෙන් සමන්විත මෙම වැඩය කිසි විටෙකත් නැවත කරනු ලබන්නේ නැත. ඉදිරියේ පැහැදිලි ව තිබෙන සදාකාල ජීවනයේ අපේක්ෂාව ඇති ව, අපි පක්ෂපාත ලෙස නොකඩවා උන් වහන්සේගේ ප්‍රශංසාව සහ අපගේ ගැලවීම උදෙසා “ගෞරවයෙන්ද දේවභයින්ද දෙවියන්වහන්සේට ප්‍රසන්නවන ලෙස සේවය කරමු.”—හෙබ්‍රෙව් 12:28. w90 8/15
ඔබගේ පිළිතුර කුමක් ද?
◻ යේසුස් වහන්සේ ප්‍රීතිය හා සෑහීම ලැබුයේ කිනම් වැඩයෙන් ද?
◻ යෙහෝවඃ වහන්සේගේ වැඩයට විරුද්ධ වී ඇත්තේ කවුද? එමෙන් ම ඒ මන්ද?
◻ ලෞකික “යහපත් ක්‍රියා” සහ දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ දේශනා කිරීම සැසඳිය හැක්කේ කෙසේ ද?
[14වන පිටුවේ පින්තූරය]
දේශනා කිරීම සඳහා පිටත් ව යන ලෙස යේසුස් වහන්සේ තම ගෝලයන්ට ආඥා කළ සේක