ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lvs 15 පරි. 200-212 පි.
  • වැඩවලින් සතුටක් ලබන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැඩවලින් සතුටක් ලබන්න
  • දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • කියවන්න “දෙවිගේ ප්‍රේමය”
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ශ්‍රේෂ්ඨතම ආදර්ශ
  • අපි කරන වැඩ ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?
  • මං කරන්න ඕනෙ මොන වගේ රස්සාවක්ද?
  • ‘වඩා වැදගත් දේවල් මොනවාද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න’
  • අපිට කරන්න තියෙන වැදගත්ම දේ
  • වෙහෙස වී වැඩ කරලා ලබන්න සතුටක්!
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි වැඩ කරන්න ඕන ඇයි?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • වෙහෙස මහන්සි වෙලා කරන වැඩෙන් සතුටක් ලබන්න
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • රැකියාව
    2015 පිබිදෙව්!
තව තොරතුරු
දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
lvs 15 පරි. 200-212 පි.
සහෝදරයෙක් වැඩපොළේ කෙනෙක්ට සාක්ෂි දරමින්

15වෙනි පරිච්ඡේදය

වැඩවලින් සතුටක් ලබන්න

‘මිනිසා තමන් වෙහෙස මහන්සි වී උපයා ගත් දේ භුක්ති විඳ සතුටින් සිටීම ඉතා යහපත් දෙයකි.’—දේශනාකාරයා 3:13.

1-3. (අ) තමන් කරන රැකියාව ගැන හුඟක් අයට හැඟෙන්නේ කොහොමද? (ආ) මේ පරිච්ඡේදයෙන් උත්තර බලන්නේ මොන ප්‍රශ්නවලටද?

තමන්ගෙත් පවුලේ අයගෙත් අවශ්‍යතා සපුරාගන්න මිනිසුන් හුඟක් මහන්සි වෙනවා. ඒත් වැඩිදෙනෙක් රස්සාවකට යන්නේ යන්න ඕනම නිසා මිසක් සතුටකින් නෙවෙයි. ඔයාත් එහෙමද? එහෙනම් රස්සාවෙන් සතුටක් ලබන්න පුළුවන් කොහොමද?

2 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “මිනිසා තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීමත් ඉතා යහපත් දෙයකි. එය දෙවිගෙන් ලද ආශීර්වාදයකි.” (දේශනාකාරයා 3:13) යෙහෝවා දෙවියන් කැමති අපි වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා ඒකෙන් සතුටක් ලබනවා දකින්නයි. ඔහු අපිව නිර්මාණය කරලා තියෙන්නෙත් ඒ විදිහටයි.—දේශනාකාරයා 2:24; 5:18 කියවන්න.

3 වැඩවලින් සතුටක් ලබන්න උදව් වෙන්නේ මොනවාද? ක්‍රිස්තියානීන්ට සුදුසු නැත්තේ මොන වගේ රැකියාද? දෙවියන්ට කරන නමස්කාරයත් රැකියාවත් සමබරව කරන්න පුළුවන් කොහොමද? අපිට කරන්න තියෙන වැදගත්ම වැඩේ මොකක්ද?

ශ්‍රේෂ්ඨතම ආදර්ශ

4, 5. වැඩ කරන එක ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

4 යෙහෝවා දෙවියන් වැඩ කරන්න හුඟක් කැමතියි. උත්පත්ති 1:1 කියනවා “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළා” කියලා. තමන් නිර්මාණය කරපු හැම දේම ‘ඉතා හොඳින් සාදා තිබුණා’ කියලා ඔහු කිව්වා. (උත්පත්ති 1:31) ඔහු ඒ වැඩවලින් ලොකු සතුටක් ලැබුවා.—1 තිමෝති 1:11.

5 දෙවියන් වැඩ කරන එක නතර කළේ නැහැ. ඒ නිසයි යේසුස් කිව්වේ “මගේ පියාණන් මේ දක්වා වැඩ කරමින් සිටිනවා” කියලා. (යොහන් 5:17) දෙවියන් මේ තාක් කරලා තියෙන හැම දේම අපි දන්නේ නැති වුණත් සමහර දේවල් ගැන අපි දන්නවා. උදාහරණෙකට යේසුස් එක්ක රජවරු විදිහට වැඩ කරන්න ඔහු සමහර අයව තෝරාගන්නවා. (2 කොරින්ති 5:17) අපේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙනවා. ඕන කරන මඟ පෙන්වීම් දෙනවා. ඒ නිසා ලෝකේ පුරාම සිද්ධ වෙන දේශනා සේවය මාර්ගයෙන් මිලියන ගාණකට දෙවියන්ව දැන හඳුනා ගන්නත් පාරාදීසයේ සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව ඉන්නත් පුළුවන් වෙලා තියෙනවා.—යොහන් 6:44; රෝම 6:23.

6, 7. වැඩ කරන එක යේසුස් සැලකුවේ කොහොමද?

6 යේසුත් වැඩ කරන්න හුඟක් කැමතියි. දෙවියන් ස්වර්ගයෙත් පොළොවෙත් හැම දේම නිර්මාණය කරද්දී ඔහු දෙවියන්ගේ “ප්‍රධාන සේවකයා” විදිහට වැඩ කළා. (හිතෝපදේශ 8:22-31; කොලොස්සි 1:15-17) පොළොවේ ඉද්දිත් යේසුස් මහන්සි වෙලා වැඩ කළා. යෞවන කාලෙදිම දක්ෂ විදිහට වඩු වැඩ කරන්න ඉගෙනගත්ත යේසුස් ලී බඩුත් ගෙවලුත් හදන්න ඇති. ඔහු ඒ වැඩ දක්ෂ විදිහට කරපු නිසා මිනිසුන් ඔහුව “වඩුවෙක්” විදිහට හැඳින්නුවා.—මාක් 6:3.

7 හැබැයි ශුභාරංචිය දේශනා කරන එක සහ යෙහෝවා දෙවියන් ගැන මිනිසුන්ට උගන්වන එක තමයි ඔහු වැදගත්ම දේ විදිහට සැලකුවේ. සේවය කරන්න ඔහුට තිබුණේ අවුරුදු තුනහමාරක් විතරයි. ඒ කාලෙදි ඔහු රැයක් දවාලක් නොබලා වැඩ කළා. (ලූක් 21:37, 38; යොහන් 3:2) කිලෝමීටර් සිය ගාණක් ඇවිදන් ගිහින් පුළුවන් තරම් දෙනෙක්ට ශුභාරංචිය කිව්වා.—ලූක් 8:1.

8, 9. වැඩ කරන එකෙන් යේසුස් සතුටක් ලැබුවේ ඇයි?

8 දෙවියන් දීපු පැවරුම ඉටු කරන එක යේසුස් සැලකුවේ කෑම විදිහට. ඒ වැඩේ කරන එකෙන් ඔහු ශක්තියක්, සතුටක් ලැබුවා. සමහර දවස්වලට ඒ වැඩේ ඉටු කරන්න කොයි තරම් වෙහෙසුණාද කියනවා නම් කෑම කන්නවත් ඔහුට වෙලාවක් තිබුණේ නැහැ. (යොහන් 4:31-38) ලැබුණු හැම අවස්ථාවකදීම ඔහු පියාණන් ගැන මිනිසුන්ට ඉගැන්නුවා. “ඔබ මට කරන්න දුන් වැඩ කොටස සම්පූර්ණ කිරීමෙන් පොළොවෙහිදී මම ඔබට මහත් ගෞරවයක් ගෙන දුන්නා” කියලා පියාණන්ට කියන්න ඔහුට පුළුවන් වුණේ ඒ නිසයි.—යොහන් 17:4.

9 යෙහෝවා දෙවියන් වගේම යේසුත් වැඩ කරන එකෙන් ලොකු සතුටක් ලබනවා කියලා පැහැදිලියි. අපිටත් ඕනෙ “දෙවිව අනුකරණය කරන්න” සහ යේසුස්ගේ “පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය” කරන්න. (එෆීස 5:1; 1 පේතෘස් 2:21) ඒ නිසයි කරන ඕනම වැඩක් වෙහෙස නොබලා කරන්න අපි උත්සාහ කරන්නේ.

අපි කරන වැඩ ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද?

10, 11. රස්සාව ගැන හරි ආකල්පයක් තියාගන්න උදව් වෙන්නේ මොකක්ද?

10 ක්‍රිස්තියානීන් විදිහට අපි අපෙත් පවුලේ අයගෙත් අවශ්‍යතා ඉටු කරගන්න වෙහෙස නොබලා වැඩ කරනවා. ඒත් රස්සාව සතුටින් කරන එක අභියෝගයක් වෙන්න පුළුවන්. ඒක ජය ගන්නේ කොහොමද?

සහෝදරයෙක් රස්සාව සතුටින් කරමින්

හරි ආකල්පයක් තියාගන්න එක ඔයාගේ රස්සාව සතුටින් කරන්න උදව් වෙනවා

11 හරි ආකල්පයක් තියාගන්න. රැකියාවේදී මුහුණ දෙන්න වෙන දේවල් වෙනස් කරන්න බැරි වුණත් ඒ ගැන හිතන විදිහ වෙනස් කරගන්න අපිට පුළුවන්. යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන දේවල් තේරුම්ගන්න එක ඒකට උදව් වෙයි. උදාහරණෙකට ඔහු පවුල් මූලිකයන්ගෙන් බලාපොරොත්තු වෙනවා පවුලේ අවශ්‍යතා ඉටු කරන්න උපරිමයෙන් වෑයම් කරයි කියලා. ඒ දේ නොසලකාහරින කෙනෙක් ‘දෙවිට සේවය නොකරන කෙනෙකුටත් වඩා නරකයි’ කියලයි බයිබලයේ කියන්නේ. (1 තිමෝති 5:8) ඔයාත් පවුලේ අවශ්‍යතා ඉටු කරන්න මහන්සි වෙනවා ඇති. සමහරවිට කරන රස්සාවට ඔයා කැමති නැති වුණත් පවුලේ අවශ්‍යතා සපුරන එක ගැන දෙවියන් සතුටු වෙනවා කියලා දන්න නිසා ඔයාට සතුටු වෙන්න පුළුවන්.

සහෝදරියක් රස්සාව සතුටින් කරමින්

12. මහන්සි වෙලා වැඩ කරන එකෙනුත් අවංක වෙන එකෙනුත් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

12 මහන්සි වෙලා වැඩ කරන්න. අවංක වෙන්න. ඔයා කරන වැඩේ සතුටින් කරන්න ඒ දේවල් උදව් වෙයි. (හිතෝපදේශ 12:24; 22:29) අවංක කෙනෙක් කාලය අපතේ යවන්නෙවත් සල්ලි, දේපළ හොරකම් කරන්නෙවත් නැති නිසා වැඩපොළේ ස්වාමියාත් ඔයා ගැන සතුටු වෙයි. (එෆීස 4:28) ඔයා හුඟක් ආදරේ කරන යෙහෝවා දෙවියන් ඉදිරියේ “අවංක හෘදය සාක්ෂියක්” ඇතුව ඉන්න පුළුවන් වෙන නිසා ඔයාට ඊටත් වඩා සතුටු වෙන්න පුළුවන්.—හෙබ්‍රෙව් 13:18; කොලොස්සි 3:22-24.

සහෝදරයෙක් වැඩපොළේ කෙනෙක්ට සාක්ෂි දරමින්

13. රැකියා ස්ථානයේදී අවංකව වැඩ කරන එකෙන් ලැබෙන තවත් ප්‍රයෝජනයක් කියන්න.

13 රැකියා ස්ථානයේදී හැසිරෙන විදිහෙන් දෙවියන්ව ගෞරවයට පත් කරන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඒක ඔයාට උදව් වෙයි රස්සාව සතුටින් කරන්න. (තීතස් 2:9, 10) ඔයාගේ හොඳ හැසිරීම නිසා වැඩපොළේ කෙනෙක් බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගන්නත් ඉඩ තියෙනවා.—හිතෝපදේශ 27:11; 1 පේතෘස් 2:12 කියවන්න.

මං කරන්න ඕනෙ මොන වගේ රස්සාවක්ද?

14-16. රස්සාවක් තෝරාගන්න කලින් හිතන්න ඕනෙ මොනවා ගැනද?

14 අපිට සුදුසු රස්සාවල් ගැන ලැයිස්තුවක් බයිබලයේ නැහැ. ඒත් සුදුසු එකක් තෝරාගන්න උදව් වෙන ප්‍රතිපත්ති බයිබලේ තියෙනවා. (හිතෝපදේශ 2:6) අපි දැන් ප්‍රශ්න කීපයක් බලමු.

සහෝදරයෙක් රැකියාවක් හොයමින්

යෙහෝවා දෙවියන්ගේ ප්‍රමිති කඩ නොවන විදිහේ රැකියාවක් තෝරාගන්න

15 මේ රස්සාව කළොත් මට යෙහෝවා දෙවියන් අකමැති දෙයක් කරන්න වෙයිද? හොරකම් කරන එක, බොරු කියන එක වගේ දේවල් දෙවියන් පිළිකුල් කරනවා කියලා අපි දන්නවා. (නික්මයාම 20:4; ක්‍රියා 15:29; එෆීස 4:28; එළිදරව් 21:8) ඒ නිසා දෙවියන් අකමැති දේවල් කරන්න සිද්ධ වෙන රස්සාවක් තෝරාගන්නේ නැතුව ඉන්න අපි වගබලා ගන්න ඕනේ.—1 යොහන් 5:3 කියවන්න.

16 යෙහෝවා දෙවියන් පිළිකුල් කරන දේකට මේ රැකියාවෙන් සහයෝගය දෙනවාද? උදාහරණෙකට හිතන්න පල්ලියක ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන එක ගැන. ඉදි කිරීම් වැඩ කරන එකේ කිසි වරදක් නැහැ. ඒත් පල්ලියෙන් උගන්වන බොරු ඉගැන්වීම් දෙවියන් පිළිකුල් කරනවා. ඔයා ඒ බොරු ඉගැන්වීම් පතුරුවන්න කෙළින්ම සම්බන්ධ නොවුණත් පල්ලියක ඉදි කිරීම් වැඩ කරන එක පල්ලියේ දේවලට සහයෝගය දැක්වීමක් නේද? ඒ වගේ දේකට හවුල් වුණොත් දෙවියන් ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්න පුළුවන් වෙයිද?—එළිදරව් 18:4.

17. දෙවියන්ව සතුටු කරන තීරණ ගන්න උදව් වෙන්නේ මොනවාද?

17 බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙද්දී ‘වටහාගැනීමේ හැකියාව භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටින’ අය වෙන්න අපිට පුළුවන්. (හෙබ්‍රෙව් 5:14) දැන් මෙහෙම හිතන්න. ‘මේ රස්සාව තෝරාගත්තොත් අනිත් අය බාධාවට පත් වෙයිද? මගේ පවුලේ අයව දාලා ඈතකට යන්න වෙයිද? ඒක එයාලට කොහොම බලපායිද?’

‘වඩා වැදගත් දේවල් මොනවාද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න’

18. නමස්කාරයට මුල් තැන දෙන එක අභියෝගයක් වෙන්න පුළුවන් මොන දේ නිසාද?

18 අපි ජීවත් වෙන්නේ “අසීරු, අනතුරු සහිත කාලයක” නිසා නමස්කාර කටයුතුවලට මුල් තැන දෙන එක අභියෝගයක් වෙන්න පුළුවන්. (2 තිමෝති 3:1) රස්සාවක් හොයාගන්න එකත් රැකගන්න එකත් ලේසි නැහැ. පවුලේ අය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ තමයි. ඒත් අපි මුල් තැන දෙන්න ඕනෙ අපේ නමස්කාරයට මිසක් ධන සම්පත් හොයන එකට නෙවෙයි. (1 තිමෝති 6:9, 10) ‘වඩා වැදගත් දේවලට මුල් තැන’ දෙන අතරේ පවුලේ අයගේ අවශ්‍යතා සපයන්න අපිට පුළුවන් කොහොමද?—ෆිලිප්පි 1:10.

19. දෙවියන්ව විශ්වාස කරන එක රස්සාව ගැන සමබරව හිතන්න උදව් වෙන්නේ කොහොමද?

19 යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන්න. (හිතෝපදේශ 3:5, 6 කියවන්න.) අපිට ඕන දේවල් ගැන දෙවියන් දන්නවා. ඔහු අපි ගැන සැලකිලිමත් වෙනවා. (ගීතාවලිය 37:25; 1 පේතෘස් 5:7) බයිබලයේ මෙහෙම කියනවා. ‘ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න. තිබෙන දෙයින් සෑහීමට පත් වන්න. මන්ද, “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” කියා දෙවි පවසා ඇත.’ (හෙබ්‍රෙව් 13:5) තම සේවකයන්ගේ අවශ්‍යතා සපුරන්න තමන්ට පුළුවන් කියලා දෙවියන් පැහැදිලිවම ඔප්පු කරලා තියෙනවා. අපේ අවශ්‍යතා ගැන අපි අනවශ්‍ය විදිහට කනස්සලු වෙනවාට ඔහු කැමති නැහැ. (මතෙව් 6:25-32) මොන රස්සාවක් කළත් බයිබලය අධ්‍යයනය කරන එක, ශුභාරංචිය දේශනා කරන එක සහ රැස්වීම්වලට සහභාගි වෙන එක අපි අතපසු කරන්නේ නැහැ.—මතෙව් 24:14; හෙබ්‍රෙව් 10:24, 25.

20. සරල ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන් කොහොමද?

20 ඇස වෙනතකට යන්න දෙන්න එපා. (මතෙව් 6:22, 23 කියවන්න.) ඒකෙන් අදහස් වෙන්නේ දෙවියන්ට කරන සේවයට මුල් තැන දෙන්න පුළුවන් විදිහට ජීවිතය සරල කරගන්න කියන එකයි. දෙවියන් එක්ක තියෙන බැඳීමට වඩා සල්ලිවලට, සුඛෝපභෝගී ජීවිතයකට නැත්නම් අලුත්ම උපකරණවලට මුල් තැන දෙන එක අනුවණ දෙයක්. ඒකෙන් වළකින්න පුළුවන් කොහොමද? ණය නොවී ඉන්න අපි උපරිමයෙන් වෑයම් කරන්න ඕනේ. දැනටමත් ඔයා ණය වෙලා නම් ඉක්මනින්ම ඒක ගෙවලා දාන්න උත්සාහ කරන්න. පරෙස්සම් වුණේ නැත්නම් යාච්ඤා කරන්නත් බයිබලය අධ්‍යයනය කරන්නත් සේවයේ හවුල් වෙන්නත් බැරි වෙන තරමට ධන සම්පත් හොයන්න කාලය සහ ශ්‍රමය වැය කරන්න අපි පෙලඹෙයි. ඒ නිසා ‘කෑම, ඇඳුම්’ වගේ මූලික අවශ්‍යතාවලින් සෑහීමට පත් වෙන්න අපි ඉගෙනගන්න ඕනේ. (1 තිමෝති 6:8) තවත් වැඩියෙන් දෙවියන්ට සේවය කරන්න පුළුවන් කොහොමද කියන එක ගැන අපි විටින් විට කල්පනා කරලා බලන එකත් වැදගත්.

21. අපි මුල් තැන දෙන්නේ මොනවාටද කියලා කල්පනා කරන එක වැදගත් ඇයි?

21 හරි දේට මුල් තැන දෙන්න. කාලය, ශ්‍රමය, ධන සම්පත් පාවිච්චි කරන විදිහ ගැන අපි පරෙස්සම් වෙන්න ඕනේ. නැත්නම් අධ්‍යාපනය, සල්ලි වගේ ඒ තරම් වැදගත් නැති දේවල් වෙනුවෙන් අපේ වටිනා කාලය වැය කරන්න අපි පෙලඹෙයි. යේසුස් කිව්වේ ‘නොකඩවා දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න’ කියලා. (මතෙව් 6:33) අපි මුල් තැන දෙන්නේ මොන දේටද කියලා අපි ගන්න තීරණවලින්, පුරුද්දක් විදිහට කරන දේවලින්, ජීවිතය ගත කරන විදිහෙන් සහ අපේ ඉලක්කවලින් පැහැදිලි වෙනවා.

අපිට කරන්න තියෙන වැදගත්ම දේ

22, 23. (අ) අපිට කරන්න තියෙන වැදගත්ම වැඩේ මොකක්ද? (ආ) අපේ රස්සාව සතුටින් කරන්න පුළුවන් කොහොමද?

22 යෙහෝවා දෙවියන්ට සේවය කරන එක තමයි අපිට කරන්න තියෙන වැදගත්ම දේ. ශුභාරංචිය දේශනා කරන එක ඒකට අයිති ප්‍රධාන දෙයක්. (මතෙව් 24:14; 28:19, 20) යේසුස් වගේ අපිටත් ඕනෙ සේවයේ උපරිමයෙන් හවුල් වෙන්න. සමහර අය ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට ගිහින් සේවය කරනවා. තවත් අය වෙනත් භාෂාවක් කතා කරන අයට ශුභාරංචිය කියන්න අලුත් භාෂාවක් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේ අය එක්ක කතා කරන්න. ඒ දේවල් කරපු නිසා දැන් කොයි තරම් සතුටක් අද්දකිනවාද කියලා එයාලා කියයි.—හිතෝපදේශ 10:22 කියවන්න.

යුවළක් සේවයේ හවුල් වෙමින්

යෙහෝවා දෙවියන්ට සේවය කරන එක තමයි අපිට කරන්න තියෙන වැදගත්ම දේ

23 පවුලේ අවශ්‍යතා ඉටු කරන්න ඕන නිසා හුඟක් අයට වැඩිපුර කාලයක් වැඩ කරන්න නැත්නම් රැකියා කීපයක්ම කරන්න වෙලා තියෙනවා. යෙහෝවා දෙවියන් ඒ හැම දේම දන්නවා විතරක් නෙවෙයි පවුලේ අවශ්‍යතා ඉටු කරන්න අපි දරන වෑයම ඔහු අගය කරනවා. ඒ නිසා අපි මොන රස්සාවක් කළත් යෙහෝවා දෙවියන්ව සහ යේසුස්ව ආදර්ශයට අරන් වෙහෙස නොබලා ඒක කරන්න උත්සාහ කරමු. ඒත් අපිට කරන්න තියෙන වැදගත්ම වැඩේ දෙවියන්ට සේවය කරන එකයි කියලා අපි මතක තියාගමු. සතුටින් ජීවත් වෙන්න ඒ දේවල් අපිට උදව් වෙයි.

බයිබල් ප්‍රතිපත්ති

1 යෙහෝවා දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ වැඩ කරන්න ආසාවක් ඇතුවයි

“මිනිසා තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීමත් ඉතා යහපත් දෙයකි. එය දෙවිගෙන් ලද ආශීර්වාදයකි.”—දේශනාකාරයා 3:13

වැඩ කරන්න ලැබුණු අවස්ථාව දෙවියන්ගේ තෑග්ගක් කියලා කියන්නේ ඇයි?

  • උත්පත්ති 1:1, 31; දේශනාකාරයා 2:24; යොහන් 5:17

    යෙහෝවා දෙවියන් වැඩ කරන එක නතර කරන්නේ නැහැ. වැඩ කරන එකෙන් ඔහු සතුටක් ලබනවා. අපි කරන වැඩවලින් අපිත් සතුටක් ලබනවාටයි ඔහු කැමති.

  • හිතෝපදේශ 8:22-31; කොලොස්සි 1:15-17

    ස්වර්ගයේදිත් පොළොවේදිත් යේසුස් මහන්සි වෙලා වැඩ කළා.

  • මාක් 6:3; ලූක් 21:37, 38; යොහන් 4:31-38; 17:4

    යේසුස් දක්ෂ විදිහට වැඩ කළා. අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණත් ඔහු තමන්ට භාර දුන් වැඩ කොටස සම්පූර්ණයෙන්ම ඉටු කළා.

2 වැඩ කරන එක ගැන හරි ආකල්පයක් තියාගන්න අපිට පුළුවන්

“මිනිසෙක් තමා කරන වැඩය දක්ෂ ලෙස කරන්නෙහි නම් ඔහු රජවරුන් ඉදිරියට යන්නේය. ඔහු සාමාන්‍ය අය අතරේ නොසිටිනු ඇත.”—හිතෝපදේශ 22:29

සතුටින් වැඩ කරන්න උදව් වෙන්නේ මොනවාද?

  • හිතෝපදේශ 12:24; කොලොස්සි 3:22-24; හෙබ්‍රෙව් 13:18

    අපේ රැකියාව වෙනස් කරන්න බැරි වුණත් ඒ ගැන හිතන විදිහ වෙනස් කරගන්න අපිට පුළුවන්. රස්සාව කරද්දී අපි අවංක වෙන්න ඕනේ. මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ.

  • හිතෝපදේශ 27:11; 1 තිමෝති 5:8; 1 පේතෘස් 2:12

    අපි පවුලේ අවශ්‍යතා සපුරද්දී දෙවියන් ඒ ගැන සතුටු වෙනවා. රැකියා ස්ථානයේදී ඔයා අවංකව වැඩ කරද්දී ඒකෙන් යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් වෙනවා.

  • නික්මයාම 20:13-15; හිතෝපදේශ 2:6; රෝම 14:19-22; එෆීස 5:28–6:4; 1 යොහන් 5:3; එළිදරව් 18:4

    අපි තෝරාගන්න රැකියාව යෙහෝවා දෙවියන්ටත් අපිටත් අපේ පවුලේ අයටත් සහෝදරයන්ටත් බලපාන්නේ කොහොමද කියලා තේරුම්ගන්න උදව් වෙන ප්‍රතිපත්ති බයිබලයේ තියෙනවා.

3 හරි දේට මුල් තැන දීලා වැඩ කරද්දී අපි කරන අනිත් වැඩවලිනුත් සතුටක් ලබන්න පුළුවන්

‘වඩා වැදගත් දේවල් මොනවාද කියලා පැහැදිලිව අවබෝධ කරගන්න.’—ෆිලිප්පි 1:10

අපි මුල් තැන දෙන්න ඕනෙ මොන දේටද?

  • ගීතාවලිය 37:25; හිතෝපදේශ 3:5, 6; 1 පේතෘස් 5:7

    ඔයාට ඕනෙ මොනවාද කියලා යෙහෝවා දෙවියන් දන්නවා කියලා නිසැක වෙන්න.

  • මතෙව් 6:25-32; 1 තිමෝති 6:8-10; හෙබ්‍රෙව් 13:5

    තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න ඉගෙනගන්න.

  • හිතෝපදේශ 10:22; මතෙව් 6:33; 28:19, 20; හෙබ්‍රෙව් 10:24, 25

    යෙහෝවා දෙවියන්ට කරන සේවයටත් දේශනා සේවයටත් අවධානය දෙන්න. අපිට කරන්න තියෙන වැදගත්ම වැඩේ ඒකයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න