මුල් පිටුවෙන් | වැඩවලින් සතුටක් ලබන්න
වෙහෙස වී වැඩ කරලා ලබන්න සතුටක්!
“මිනිසා තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීමත් ඉතා යහපත් දෙයකි. එය දෙවිගෙන් ලද ආශීර්වාදයකි.” (දේශනාකාරයා 3:13) අපේ වැඩවලින් සතුටක් ලබනවා දකින්න යෙහෝවා දෙවියන් කැමති නම් ඒ සතුට ලබාගන්න විදිහ ඔහු අපිට නොපෙන්වා ඉඳියිද? (යෙසායා 48:17) අපි කරන වැඩෙන් සතුටක් ලබන්න පුළුවන් විදිහ ගැන දේවවචනය වන බයිබලයේ මඟ පෙන්වීම් දීලා තියෙනවා. ඒ ගැන දැන් අපි බලමු.
වැඩ ගැන හොඳ ආකල්පයක් ඇති කරගන්න
ඔබ වැඩ කරන්නේ මනස වෙහෙසලා වුණත් ගත වෙහෙසලා වුණත් මනසයි ගතයි දෙකම වෙහෙසලා වුණත් ‘වෙහෙස මහන්සි වී කරන සෑම වැඩකින්ම ප්‍රයෝජන අත් වෙනවා’ කියලා මතක තියාගන්න. (හිතෝපදේශ 14:23) ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද? මහන්සි වෙලා වැඩ කරනවා නම් අපේ අවශ්‍යතා ගැන අපිටම බලාගන්න පුළුවන්. දෙවියන්ට අවංකවම සේවය කරන අයගේ අවශ්‍යතා ලැබෙන්න සලස්වනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා තමයි. (මතෙව් 6:31, 32) ඒත් අවංකවම වෙහෙස වෙලා මුදලක් හොයන්න අපි මහන්සි වෙයි කියලා ඔහු බලාපොරාත්තු වෙනවා.—2 තෙසලෝනික 3:10.
මහන්සි වෙලා වැඩ කරලා යමක් උපයගෙන තමන්ගේ වගකීම් ඉටු කරන එක ගෞරවයක්. “කෙනෙක් එයාගේ අවශ්‍යතා සපුරාගන්නවා නම් ඒක ජයග්‍රහණයක්. ඒ කෙනාට වැඩ කරලා වියදම් පියවගන්න පුළුවන් නම් ඒකෙන් පලක් තියෙනවා” කියලා අවුරුදු 25ක් වන ජොෂුවා කියනවා.
වෙහෙස වී වැඩ කරන්න ලේසි නැහැ තමයි. ඒත් අමාරුවෙන් හරි අපිවම පාලනය කරගෙන වැඩේ හරියට කරනවා නම් ඒ ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. ඒකෙන් අපේ ආත්ම ගෞරවයත් වැඩි වෙනවා. අපි අලස නැහැ කියන එකත් ඔප්පු වෙනවා. (හිතෝපදේශ 26:14) ඒ විදිහට බලද්දී, වැඩ කළාම තමයි සතුටක් ලැබෙන්නේ. කලින් ලිපියේ සඳහන් කරපු ඒරන් කියන්නේ “දවස පුරාම වැඩ කළාට පස්සේ මට මහන්සියක් දැනුණත් මං කොච්චර මහන්සි වුණාද කියන එක කවුරු නොදැක්කත් මම දෙයක් කරානේ කියන හැඟීම තියෙන නිසා ලොකු සතුටක් දැනෙනවා” කියලයි.
කරන වැඩේ හොඳට කරන්න
“කරන වැඩය දක්ෂ ලෙස” කරන පුරුෂයෙක් සහ ‘කැමැත්තෙන්ම තම දෑත්වලින් වැඩ කරන’ ස්ත්‍රියක්ව බයිබලයේ අගය කරලා තියෙනවා. (හිතෝපදේශ 22:29; 31:13) කෙනෙක් ඉබේටම දක්ෂ කෙනෙක් වෙන්නේ නැහැ. යම් වැඩකට දක්ෂ නැත්නම් ඒ වැඩේ කරන්න අපි හුඟදෙනෙක් කැමති නැහැ. ඒක දක්ෂ විදිහට කරන්න වෙහෙසක් දරන්නෙත් නැහැ. ඒ නිසයි හුඟක් අය ඔවුන්ගේ වැඩෙන් තෘප්තියක් ලබන්නේ නැත්තේ.
ඇත්තටම කියනවා නම්, කෙනෙක් වැඩේ හොඳින් ඉගෙනගන්නවා කියන ආකල්පය ඇතුව වැඩක් පටන්ගන්නවා නම් ඔහුට ඕනම වැඩකින් තෘප්තියක් ලබාගන්න පුළුවන්. “හැකියාව තියෙද්දිත් උපරිමයෙන් වැඩේ කරන්නේ නැත්නම්, ඒක බාගෙට කරනවා නම් කරන වැඩෙන් තෘප්තියක් ලබන්න බැහැ. ඒත් උපරිමයෙන් උත්සාහ කරලා වැඩේ හොඳට කළාම ලැබෙන ප්‍රතිඵලවලින් ලොකු සතුටක් ලැබෙනවා” කියලා අවුරුදු 24ක් වන විලියම් කිව්වා.
ඔබේ වැඩවලින් අනිත් අයට ලැබෙන ප්‍රයෝජන ගැන හිතන්න
උපයගන්න මුදල ගැන විතරක්ම හිතලා වැඩ කරනවා නම් ඒක උගුලක්. ඒ වෙනුවට මේ ප්‍රශ්න ඔබෙන්ම අහගන්න. ‘ඇයි මම මේ රැකියාව කරන්න ඕනේ? ඒක කළේ නැත්නම් මොකක් වෙයිද? එතකොට, ඒක හරියට කළේ නැත්නම්? මගේ රැකියාවෙන් අනිත් අයට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?’
අන්තිම ප්රශ්නය ගැන හිතන එක ගොඩක් වැදගත්. මොකද අනිත් අය ඒකෙන් ප්‍රයෝජන ලබන විදිහ දැක්කාම අපිට ලොකු සතුටක් දැනෙනවා. යේසුස් කිව්වේ මෙහෙමයි. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.” (ක්‍රියා 20:35) පාරිභෝගිකයන් හරි රැකියා ස්ථානයේ ස්වාමිවරුන් හරි අපේ සේවයෙන් කෙළින්ම ප්‍රයෝජන ගන්නවාට අමතරව අපේ වැඩවලින් ප්‍රයෝජන ගන්න තවත් අය ඉන්නවා. ඒ අය පවුලේ සාමාජිකයන් හා අගහිඟකම් තියෙන අයයි.
පවුලේ සාමාජිකයන්. පවුලේ මූලිකයා වෙහෙසිලා වැඩ කරන එකෙන් පවුලේ අය දෙවිදිහකට ප්‍රයෝජන ලබනවා. එකක් නම්, ඔහු තම පවුලේ අයට කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉඳුම්හිටුම් ලබා දෙනවා. ඒක ‘තම පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්න’ කියලා දෙවියන් දීපු වගකීමට ඇතුළත් දෙයක්. (1 තිමෝති 5:8) අනිත් එක, වෙහෙස වී වැඩ කරන එක කොයි තරම් අත්‍යවශ්‍යද කියලා ඔහු තම ආදර්ශයෙන් පවුලේ අයට උගන්වනවා. කලින් ලිපියේ සඳහන් කරපු ෂේන් මෙහෙම කියනවා. “මගේ තාත්තා ප්‍රතිපත්තියක් ඇතුව වැඩ කරපු කෙනෙක්. එයාගේ මුළු ජීවිත කාලෙදිම එයා අවංකව සේවය කරා. වැඩි කාලයක් එයා වැඩ කළේ වඩු කාර්මිකයෙක් විදිහට. එයාගේ ආදර්ශයෙන් මං ඉගෙනගත්තා දෑතේ වීර්යයෙන් අනිත් අයට ප්‍රයෝජනවත් දේවල් හදන එක කොච්චර වැදගත්ද කියලා.”
අගහිඟකම් තියෙන අය. “අගහිඟකම්වලින් පෙළෙන කෙනෙකුට යමක් දීමට හැකි වන සේ වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කළ යුතුයි” කියලා බයිබලයේ ලේඛකයෙක් වුණ පාවුල් උපදෙස් දුන්නා. (එෆීස 4:28) අපි වෙනුවෙනුත් අපේ පවුලේ අය වෙනුවෙනුත් අපි මහන්සි වෙලා වැඩ කරද්දී අගහිඟකම් තියෙන අයට උදව් කරන්නත් පුළුවන් වෙනවා. (හිතෝපදේශ 3:27) ඒ නිසා අපි වෙහෙස වී වැඩ කරනවා නම් දීමෙන් ලොකු සතුටක් ලබන්න පුළුවන්.
සැතපුමක් යන්න කිව්වොත් සැතපුම් දෙකක්ම යන්න
ප්‍රසිද්ධ දේශනාවකදී යේසුස් මෙහෙම කිව්වා. “යම් නිලධාරියෙකු සැතපුමක් යන ලෙස ඔබට අණ කළොත් ඔහු සමඟ සැතපුම් දෙකක් යන්න.” (මතෙව් 5:41) ඒ ප්‍රතිපත්තිය ඔබේ වැඩවලට අදාළ කරගන්න පුළුවන් කොහොමද? කරන්නන් වාලේ නොකර ඔබෙන් බලාපොරොත්තු වෙනවාටත් වඩා හොඳින් වැඩේ නිම කරන්න. වැඩේ හොඳිනුත් ඉක්මනිනුත් කරනවා කියලා අදිටන් කරගන්න. පුංචි දේවලටත් අවධානය දීලා වැඩේ හොඳින් කළාම ඔබට ලොකු සතුටක් දැනෙයි.
ලොකු සතුටක් දැනෙන්නේ ඇයි? මොකද ඔබ ඒ විදිහට වැඩ කළේ කවුරුත් බල කරපු නිසා නෙමෙයි කැමැත්තෙන්මයි. (ෆිලෙමොන් 14) මේ සම්බන්ධයෙන් හිතෝපදේශ 12:24 තියෙන ප්‍රතිපත්තිය මතක් කරගන්න පුළුවන්. “උත්සාහයෙන් වැඩ කරන තැනැත්තා හොඳ පාලකයෙක් වන්නේය. එහෙත් අලසයන්ට සිදු වන්නේ වහලුන් මෙන් වැඩ කරන්නයි.” අද දින අපෙන් වැඩිදෙනෙක්ව වහල්කමට ගන්නේ නැහැ තමයි. හැබැයි කෙනෙක් නිතරම ඕනෑවට එපාවට වැඩේ කරලා වැඩේ බාගෙට කරනවා නම් අනිත් අයගේ බලපෑම්වලට යටත් වෙන්න වෙනවා. එතකොට ඔහුට ඇති වෙන්නේ තමන් වහලෙක් කියන හැඟීමයි. ඒත් සැතපුමක් යන්න කිව්වොත් සැතපුම් දෙකක් යන කෙනා, ඒ කියන්නේ බලාපොරොත්තු වෙනවාටත් වඩා හොඳින් වැඩේ කරන කෙනා එහෙම කරන්නේ කැමැත්තෙන්ම නිසා ඔහුට හොඳ හැඟීමක් ඇති වෙනවා. මොකද ඒ තීරණය ගත්තේ ඔහුමයි.
ජීවිතය කියන්නේ වැඩම නෙමෙයි
වෙහෙස වී වැඩ කරන එක හොඳ දෙයක් වුණත් අපි මේකත් මතක තියාගන්න ඕනේ. ජීවිතය කියන්නේ වැඩම නෙමෙයි. උත්සාහවන්තව වැඩ කරන්න කියලා බයිබලයේ දිරිගන්වලා තියෙනවා. (හිතෝපදේශ 13:4) ඒත් වැඩ මත්තෙම මැරෙන්න කියලා නම් නැහැ. දේශනාකාරයා 4:6 කියන්නේ “වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය” කියලයි. වැඩවලට මුළු කාලයම, මුළු ශක්තියම යොදවලා හෙම්බත් වෙන කෙනෙක්ට වැඩවලින් සතුටක් ලබන්න බැහැ. ඒක හරියට ‘සුළඟ පසුපස හඹා යෑමක්’ වගෙයි.
වැඩ ගැන සමබර ආකල්පයක් ඇති කරගන්න උදව් වෙන ප්‍රතිපත්ති බයිබලයේ තියෙනවා. වැඩ කරන්න කියලා උනන්දු කරලා තිබුණත් ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න’ කියලත් අවවාද කරලා තියෙනවා. (ෆිලිප්පි 1:10) වඩා වැදගත් දේවල් මොනවාද? පවුලේ අය එක්කත් මිතුරන් එක්කත් කාලය ගත කරන එක වැදගත්. ඊටත් වඩා දේවවචනය වන බයිබලය කියවලා ගැඹුරින් කල්පනා කරන එක වැදගත්.
සමබර ජීවිතයක් ගත කරන අය ඔවුන්ගේ වැඩවලිනුත් තෘප්තියක් ලබනවා. කලින් සඳහන් කළ විලියම් මෙහෙම කියනවා. “කරන වැඩ හොඳට කරන නිසා ප්‍රතිපත්තියක් ඇතුව සමබරව වැඩ කරපු මගේ කලින් ස්වාමියාට පුළුවන් වුණා ගනුදෙනුකරුවන් එක්ක හොඳ සම්බන්ධයක් තියාගන්න. හැබැයි එයා වැඩ මත්තෙම මැරෙන්නේ නැතුව එයාගේ පවුලේ අයටත් නමස්කාර කටයුතුවලටත් මුල් තැන දෙනවා. ඒ නිසා එයා ඉන්නේ හුඟක් සතුටින්!”