මිනිස් ස්වභාවය වෙනස් කිරීම
“මිනිසුන් ජීවත් වන්නේ නපුර සමඟ සටන් කිරීමෙන් පමණක් නොවේ” යයි දර්ශනවාදී ආචාර්ය අයිසායා බර්ලින් පැවසීය. “ඔවුන් තනි පුද්ගලයන් හා සමූහයන් වශයෙන් ඒකාන්ත ඉලක්ක කරණකොටගෙන ජීවත් වෙති.” නමුත් එවැනි “ඒකාන්ත ඉලක්කයන්” සොයා ගත හැක්කේ කී දෙනෙකුට ද? බොහෝ විට සියල්ලන්ගේ මිනිස් ස්වභාවය නිෂේධාත්මක හා විනාශකාරී දෙයට ආකර්ශනය වී යයි.
උදාහරණයක් වශයෙන්, මෑතකදී, බ්‍රිතාන්‍යයේ සැහැසි අපරාධයන් සියයට 11කින් ඉහළ නැංගේ ය. “අපගේ යුතුකම වන්නේ, උතුම් ශිෂ්ටාචාරය පැවත යා හැකි ලෙස ඒවා බලහත්කාරයෙන් මැඩපැවැත්වීමට උත්සහ කිරීම”, යනුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිණිය පැවසුවා ය. නමුත් කෙතරම් හොඳ අදිටනින් යුතුව කළත්, නීති පැනවීමෙන් හා දේශපාලන පීඩනයන් ඇති කිරීමෙන්, වැරදි දේ කිරීමට ජනයා තුළ තිබෙන නැඹුරුවාව වෙනස් කරන්නට හැකිවෙයි ද? ව්‍යවස්ථා නීතිමාලාවන් සහ ඉතා තදින් පැන වූ නීති පවා තිබෙද්දීත්, නොපනත්කම පැවතීම හා වැඩිවීම ම ඒ ගැන මොනවට කියා පායි. නීති මගින් බලහත්කාරයෙන් නැවැත්වීමට වඩා වැඩි යමක් අවශ්‍ය ය. ජනයාගේ ස්වභාවය ම වෙනස් කිරීමට අවශ්‍යව ඇත.
බයිබලය, ජීවිතයේ නියම තත්ත්වය අවබෝධ කරගනිමින් අවංක ලෙස, මිනිසාගේ ගති ලක්ෂණ ගැන විස්තර කරයි. උදාහරණයක් වශයෙන්, ප්‍රේරිත පාවුල් ගලාතියේ විසූ තම සහකාර ක්‍රිස්තියානින් වෙත, “දුරාචාර, අශික්ෂිත, අප්‍රසන්න ක්‍රියා. . .සහ මිනිසුන් සතුරන් වී සටන් කිරීම. . .ඔවුන් ඊර්ෂ්‍යා කිරීම, කෝපවීම සහ මංගල්යගෝෂා” ගැන ලීවේ ය. මෙහි උපුටා දක්වා තිබෙන ටුඩේ‘ස් ඉංග්ලිෂ් වර්ෂන් පරිවර්තනයට අනුව, මේ සියලු අවමන් ක්‍රියාවන් වනාහී, “මිනිස් ස්වභාවය කරන දේවල් බවට” පෙන්වයි.—ගලාති 5:19-21.
ගැටළුවේ මුල
කෙසේ වෙතත්, ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන් නිදහස් පරිවර්තනයක් වන අතර “මිනිස් ස්වභාවය කරන දෙය” යන ප්රකාශනය, පාවුල් ඇත්තට ම පැවසූ දෙය නිකම් ම විස්තර කිරීමක් පමණි. මෙහි දී පාවුල් විසින් භාවිතා කරන ලද සාර්ක්ස් යන ග්‍රීක් වදනින් අදහස් කරන්නේ, “මාංසය” මිසක “මිනිස් ස්වභාවය” නොවේ. මේ හේතුවෙන් පාවුල්ගේ ප්රකාශනය නිවැරදිව අපේ භාෂාවට පරිවර්තනය කිරීම පිණිස, පදගතාර්ථ පරිවර්තන මෙහි දී “මාංසයේ ක්‍රියා” ගැන කථාකරයි.a
මිනිස් ස්වභාවය තුළට පාපය ඇතුල්වීම ගැන බයිබලයේ සඳහන් විස්තරය පැහැදිලිය, සරල ය—ඇත්තෙන් ම කොතරම් සරලදැයි කිවහොත්, බොහෝ දෙනෙක් එය විශ්වාස නොකිරීමට කැමති වෙති. පාවුල් එය මෙසේ විස්තර කරයි: “එක් මනුෂ්‍යයෙක් කරණකොටගෙන පාපයත්, පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුනාක් මෙන් සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුනේ ය”. (රෝම 5:12) පාවුල් මෙහි දී බයිබලයේ පළමු පොත වන උත්පත්ති පොතට හා පළමු මිනිසා වූ ආදම් සහ ඔහුගේ භාර්යාව වූ ඒව වෙත යොමු දක්වයි. ඔවුන් හිතාමතා කළ අකීකරුකම බොහෝ අය දනිති. ඒ නිසාවෙන් ඔවුනට මරණ දඬුවම ලැබිණි. ඔවුන්ගෙන් පැවතෙන්නන් ඔවුන්ගේ අසම්පූර්ණකම උරුම කරගත් අතර, ඔවුන් මෙන් ම මිය ගියහ. එමනිසා “සියල්ලෝ ම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති”. මේ මූලික හේතුව හේතුකොටගෙන අද දින මිනිස් ස්වභාවය, ආරම්භයේ දී දෙවියන් වහන්සේ මිනිසාව පරිපූර්ණ ලෙස මවනු ලැබූ අවස්ථාවේ දී තිබුණු ස්වභාවයේ විරූපී ලෙස බොඳ වූ පිළිබිඹු කිරීමක් වෙයි.—රෝම 3:23; උත්පත්ති 2 සහ 3 වෙනි පරිච්ඡේද.
වෙනස් කරන ලද මිනිස් ස්වභාවය!
කෙසේ වෙතත්, මිනිස් ස්වභාවයේ ඉතා නරක ගතිලක්ෂණ මැඩපවත්වන්නට පුළුවන. ඇත්ත වශයෙන් ම බයිබලයේ පවසන්නේ අපගේ ස්වභාවය වෙනස් කළ හැකි බවයි. එනම් අපගේ පෞද්ගලිකත්වය වෙනස් කිරීමයි. කෙසේ ද? දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ උපකාරයත් සමඟ ය.—රෝම 8:9
කොලොස්සියේ විසූ තම සහකාර ක්‍රිස්තියානින් වෙත පාවුල් ලියූ ලිපියේ ඔහු මේ ආකාරයෙන් පවසයි: “පරණ පුද්ගලිකත්වය එහි ක්‍රියාවන් සමඟ ගලවා දමන්න, එමෙන් ම ඒකාන්ත දැනගැන්ම අලුතින් ඇතිකරගැනීම තුළින් වූ එම අලුත් පුද්ගලිකත්වය, එය මැවූ තැනන් වහන්සේගේ රූපයට අනුකූලව, පැළඳගන්න.” පරණ පුද්ගලිකත්වයේ ක්‍රියාවන් අතර ජනයාව විනාශකාරී දේවල් දෙසට ආකර්ෂණය වීමට පොළඹවන සමහරක් ගතිලක්ෂණ ඔහු ගෙන හැර පායි. ඒවා නම්: හානිකරවන ආශාව, කෝපය, උදහස, නපුරුකම යන මේවා ය.— කොලොස්සි 3:5-10, NW.
එපීසයේ සිටින ක්‍රිස්තියානින්ට ඒ හා සමාන ආකාරයෙන් ලියමින්, “දෙවියන් වහන්සේගේ කැමැත්තට එකඟව සැබෑ ධර්මිෂ්ඨකම හා පක්ෂපාතකමට එකඟව මවන ලද” “අළුත් පුද්ගලිකත්වයක” අවශ්‍යතාව ගැන ඔහු නැවත සඳහන් කරයි. මෙසේ පවසමින් ඔහු තම සාකච්ඡාව ගොඩනගයි: “සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලහාලත් අපහාසයත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා. නුඹලා එනිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, . . . නුඹලාත් එකිනෙකාට කමාවෙයල්ලා.”— එපීස 4:24, 31, 32.
පාවුල්ගේ වචන යතාර්ථවාදී වී ද? ඇත්තටම පුද්ගලිකත්වයන් වෙනස් කළ හැකි ද? ඔව්, එම මුල් ක්‍රිස්තියානින් සැබවින් ම තමන්ගේ ජීවිතවල මූලික වෙනස්කම් කළ බවට සාක්ෂි තිබේ. ජන කණ්ඩායමක් වශයෙන්, ඔවුන් තමන් අවට වූ ලෝකයෙන් වෙන්ව සිටියාහ. මුල් ක්‍රිස්තියානි යුගවල විසූ ඉතිහාසඥයෙකු වූ ජස්ටින් මාටර් ලීවේ: “ආචාරධර්මවල වෙනස්කම් නිසා, වෙනත් ගෝත්‍රයක මිනිසුන් සමඟ ජීවත්වීම ප්‍රතික්ෂේප කළ අපි, එකිනෙකාට වෛර කරමින් විනාශකරගත් අපි, දැන් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමත් සමඟ ම, ඔවුන් සමඟ සහයෝගීතාවයෙන් ජීවත් වෙමු, අපගේ සතුරන් වෙනුවෙන් යාච්ඤා කරමු, ක්‍රිස්තුස් වහන්සේ පරිපූර්ණ ප්රඥප්තියට අනුකූලව ජීවත් වීමට, කිසි හේතුවක් නැතිව අපට වෛර කළ අයට ඒත්තු ගැන්වීමට වෑයම් කරමු.”
අද දින ගැන කුමක් කිව හැකි ද? පුද්ගලයෙකුගේ ස්වභාවය තුළ එවැනි මූලික වෙනස්කම් කිරීමට තවමත් හැකිද ? එසේ ය! දස දහස් ගණනකගේ ආදර්ශයන්ගෙන් පෙන්වන්නේ, චමත්කාරජනක වෙනස්කම් තවමත් සිදුවෙමින් පවතින බව ය. පහත දැක්වෙන්නේ ඉන් එකකි.
ස්ටීවන් හැදීවැඩුනේ එංගලන්තයේ එක් කර්මාන්ත පුරයක ය. ඔහුගේ පියා අදේවවාදියෙක් විය. වයස අවුරුදු 12 දී, පුනරුත්ථාපන පාසලක වසර තුනකට සිර ගතවීමට ඔහුට සිදුවිය. ඔහු ගෙවල් බිඳීම් 64ක් ගැන පාපොච්චාරණය කර තිබිණි. වැඩිකල් යන්නට මත්තෙන්, කිසිම ආධිපත්‍යයකට තිබූ ගරු බිය නැති කර ගත් හේ, වැඩිවියට පත්වනවාත් සමඟ ම, කරන ලද අපරාධ එන්ට එන්ට ම බරපතළකමින් වැඩිවන්නට විය. මේවාට, ප්‍රයෝග, බේබදුකම, අක්‍රමවත් හැසිරීම සහ පොලීසියට පහරදීම ඇතුළත් වූ අතර, හේ අන්තිම වරට කළ වරදට සිරගත වන්නට සිදුවිය. ඔහුගේ ස්වභාවය අතිශයින් දරුණු තත්ත්වයට පත්විණි. “තමාගේ අවශ්‍යයතාවයන් අති මහත් තත්ත්වයට පත්වුණු විට අභක්තික මිනිසෙක් නොකරන අපරාධයක් නැත,” යැයි ඔහු පැවසීය.
එවැනි තද බල අපරාධකරුවෙකුව වෙනස් කරන්නට හැකිවූයේ කුමකට ද? අවසානයේ දී ස්ටීවන්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙකු බවට පත්ව සිටි තම සොහොයුරාගෙන් උපකාර ලබාගත්තේ ය. කෙටි කලකට බයිබලය පාඩම් කිරීමෙන් පසු, “අලුත් පුද්ගලිකත්වය” පැළඳගැනීමට ඔහු පටන් ගත්තේ ය. ඔහු කළ වෙනස්කම් සැබවින් ම චමත්කාරජනක ය. දැන්, වසර පහකට පසුව, ඔහු විවාහ වී සිටින අතර, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවක වගකීම් දරන සාමාජිකයෙක්ව, එහි උපස්ථායක සේවකයෙකු ලෙස සේවය කරයි.
එමනිසා, පුද්ගලයන් සම්බන්ධව කල්පනා කළහොත්, මිනිස් ස්වභාවය වෙනස් කළ හැක. නමුත් අද දින ‘ශිෂ්ටාචාරය පහත වැටීමට’ තුඩු දුන් එක ම හේතුව මිනිස් දුර්වලකම් පමණ ද?
“ශුද්ධ ලියවිලිවල සඳහන් යක්ෂයා”
ප්‍රේරිත පාවුල් මෙම “අන්තිම දවස්” පිළිබඳව කැපී පෙනෙන අනාවැකියක් ලිවී ය. ඔහුගේ වචන ඉහත සඳහන් කොටුව තුළ හුවා දක්වා තිබේ. අපරාධ සහ නපුරු දේවල නැගී එන රැල්ල, “කටයුතු කිරීමට අසීරු කාලයන් ගෙන එයි. මෙයට සහමුලින් ම වගකිව යුත්තේ මිනිස් ස්වභාවය ද?”—2 තිමෝති 3:1.
නැත, මීට වඩා යම් දෙයක්, එනම් මිනිස් දුර්වලකම් තම වාසියට හරවා ගන්නා දුෂ්ට බලවේගයක් තිබේ. මිනිසාට උරුම වූ පාපයක් තිබෙන බව පිළිගැනීමට ජනයාට අසීරු වන්නා සේ, මිනිසාව රවටා ප්‍රයෝජන ලබා ගැනීමට අරඅඳින, ඔහුට ඉහළින් වූ බලයක් තිබෙන බව පිළිගැනීමට ද ඔවුහු අපොහොසත් වෙති. නමුත් එවැනි බලවේගයක් ඇත්තට ම පවතින බව බයිබලය පවසයි: ඒ සාතන් වන යක්ෂයා ය.
“යක්ෂයා” යන වචනය (අර්ථය, “අපහාස කරන්නා”) 33 වාරයක් ද, “සාතන්” යන වචනය (අර්ථය, “විරුද්ධ වන්නා”) 52 වාරයක් ද, බයිබලයේ සඳහන් වෙයි. මෙම යොමු දැක්වීම් බොහොමයක් විස්තර කරන්නේ, එක ම දුෂ්ට ආත්ම පුද්ගලයෙකි. එසේ නමුත්, සමහරුන්: “ශුද්ධ ලියවිලිවල සඳහන් යක්ෂයා වනාහී මිනිස් ස්වභාවය තුළ පාපයට තිබෙන නැඹුරුවාව” යයි කියමින් සාතන් වන පුද්ගලයෙකුගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරති.b එහෙත් උනන්දුමත් කාරණයක් නම්, යෙහෝවඃ වහන්සේගේ ඇදහිලිවන්ත සේවකයෙකු වූ යෝබ්ගේ වාර්තාව තුළ, හෙබ්‍රෙව් පාඨයේ හැස් සේටන්, [the Satan] හෙවත් සාතන් ම යන යෙදුම භාවිතා කොට තිබෙන අතර, ලූක් 4:2 හි, යේසුස් වහන්සේව පරීක්ෂා කළේ, යක්ෂයා [the Devil] (ග්‍රීක්, හෝ ඩයා’බොලොස්) බව අපට කියවීමට තිබේ. (යෝබ් 1:6) මෙම අවස්ථා දෙකේ දී ම, විශේෂ පුද්ගලයෙක් පිළිබඳව හුවා දක්වා තිබේ. මිනිස් ස්වභාවය ගැන ඒවායේ සඳහනක් නොකෙරේ.
ප්‍රේරිත පාවුල් එපීසවරුනට ලියද්දී, “මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනින්ටත් ස්වර්ගීය සේනාවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්” ගැන කථා කරමින් සාතන් කෙතරම් බලවත් ද කියා අපගේ අවබෝධයට යමක් එකතු කරයි. (එපීස 6:12) සාතන් සමඟ සිටින එම “ලෝක මුලාදෑනින්” වනාහී, යක්ෂයන් හෙවත් අදෘෂ්‍යමාන දුෂ්ට ආත්ම මැවිලි ය. මිනිසා ඇද වැටී තිබෙන පහත් තත්ත්වය හැකි තරම් බොහෝ දුරකට අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින්, ඔවුහු “මුළු ජනාවාස පොළොව ම මුලා කරමින් සිටිති. (එළිදරව් 12:9, NW) පාවුල්, “යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින” ලෙස සෑම ක්රිස්තියානිවරයෙකුගෙන් ම තදින් ඉල්ලා සිටින්නේ මෙම හේතුව නිසා ය. අප අවට දකින මිනිස්කමේ පිරිහීමට ප්‍රධාන හේතුව ඔහු ය.—එපීස 6:11.
නැවත පිහිටුවීම
පාවුල්ගේ සමකාලීනයෙක් වූ පේදුරු, අපට ස්ථීර ලෙස කියා සිටින්නේ, සාතන් සහ ඔහුගේ යක්ෂ දූතයන්ට මිනිස් වර්ගයාව සදහට ම හසුකර තබා ගැනීමට ඉඩ දෙනු නොලබන බවයි. ඔහු පවසන්නේ: “ධර්මිෂ්ඨකමට වාස භූමිය වූ නව අහසක් ද නව පොළොවක් ද දෙවියන් වහන්සේ අපට පොරොන්දු වී ඇත. අපි එය බලාපොරොත්තුවෙන් සිටිමු.” (2 පේදුරු 3:13, පො. න. අ.) ඇත්තෙන් ම ඉතා ඉක්මනින් ම, සියලු දේවල්හි නපුරේ පිළිබිඹු කිරීම්, මිනිස්බවේ කොටසක් ලෙස තවදුරටත් නොපවතිනු ඇත. සාතන් සහ ඔහුගේ යක්ෂ දූතයන් විනාශ කරනු ලබනවා ඇත. (රෝම 16:20; එළිදරව් 20:1-3) ඇත්ත වශයෙන් ම එවිට, මිනිස් පවුලේ ස්ථීර අපේක්ෂාව වූ සදාකාල ජීවනය සමඟ මිනිස් ස්වභාවය “දෙවියන් වහන්සේගේ මහිමය” පිළිබිඹු කරනු ඇත.—රෝම 3:23.
ඇමෙරිකානු ජනාධිපති ව සිටි තොමස් ජෙෆර්සන්, මෙසේ සහතික ලෙස කියා සිටියේ ය: “මා සෑමවිට ම කියා ඇත්තෙත් ඉදිරියට කියා සිටින්නෙත් මෙයයි, එනම්, ශුද්ධ පොත් සමූහය අධ්යයනාත්මකව කියවා බැලීම මගින් වඩාත් හොඳ පුරවැසියන් බිහිකරවයි . . . ලොවේ හොඳ ම මිනිසුන් තනන්නේ බයිබලයයි.” අප සලකා බැලූ අයුරින්, අපගේ ජීවිතයට බලපෑම් කිරීමට අප බයිබලයේ පණිවුඩයට අවස්ථාවක් දුන්නොත්, අපගේ ස්වභාවය වෙනස් කළ හැකි ය. (රෝම 12:2) වඩා උතුම් සහ දිව්‍යමය දෙය වැළඳ ගැනීමට වෙර දැරීම අපට තෝරා ගත හැකි ය. මෙහි දී දියුණු වීමට අප දරන වෑයම ශක්තිමත් කිරීමට, අවංක ලෙස එම දෙයම කිරීමට උවමනා කරන අයව ඇසුරු කිරීමට අපට තෝරා ගත හැක. (හෙබ්‍රෙව් 10:24, 25) හැකි සෑම අයුරින් ම උපකාර කිරීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයෝ කැමැත්තෙන් සිටිති. දැන් ම ඔවුනට ආරාධනා නොකරන්නේ මන්ද! w90 11/1
“අන්තිම දවස්” පිළිබඳ බයිබලයේ විස්තරය
“මෙය සිතට ගන්න: අවසාන කාලයේ දී උවදුරු අවස්ථා ඇතිවෙයි. ඒ කාලයේ දී මිනිස්සු ආත්මාර්ථකාමී, මිලමුදලට ආලය කරන, අහංකාර, ආඩම්බර, අශිෂ්ට, දෙමාපියනට අකීකරු, කෙලෙහිගුණ නොසලකන, අධර්මිෂ්ඨ, අනුකම්පා රහිත, දයා විරහිත, ඕපාදූප කියන, අසංවර, කුරිරු, හොඳ දේට අකැමැති, ද්‍රෝහි, හිතුවක්කාර, හිස උදුම්මාගත්, දෙවියන් වහන්සේට වඩා සැපසෙල්ලමට ආශා ඇති අය වන්නෝ ය. ආගමේ බාහිර පෙනුම ඔවුනට තිබුණත් ඔවුහු එහි අභ්‍යන්තර බලය ගැන නොසලකති. එබඳු අයගෙන් අහක් වී සිටින්න.”—2 තිමෝති 3:1-5, පො. න. අ.
ලඟදීම, මිනිස් ස්වභාවය දෙවියන් වහන්සේගේ මහිමය පිළිඹිබු කරනු ඇත.
[පාදසටහන්වල]
a සසඳන්න: න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස්; රොබට් යංගේ ද හෝලි බයිබල්; ජෝසෆ් බී. රොදර්හම්ගේ ද එම්ෆසයිස්ඩ් බයිබල්; ෆෙරාර් ෆෙන්ටන්ගේ ද හෝලි බයිබල් ඉන් මොඩන් ඉංලිෂ්; රිචඩ් ජී. මෝල්ටන්ගේ ද මොඩන් රීඩර්ස් බයිබල්.
b ක්‍රිස්තියානි ලෝකයේ නිකායක් වන ක්රිස්ටඩෙල්ෆියනිසම් හි නිල ප්රකාශනයක්.