බලයලත් මුලාදෑනීන් පිළිබඳ ක්‍රිස්තියානියෙකුගේ මතය
හැමදෙනාම බලයලත් මුලාදෑනීන්ට යටත්වෙත්වා. මක්නිසාද දෙවියන්වහන්සේගෙන් මිස කිසි මුලාදෑනිකමක් නැත්තේය; ඇත්තාවූ මුලාදෑනිකම [සිය සාපේක්ෂිත තත්ත්වයන්හි NW] දෙවියන්වහන්සේ විසින් නියමකර තිබේ.—රෝම 13:1.
ප්‍රේරිත පාවුල් පො. යු. 56 දී පමණ රෝමවරුන්ට ඉහත වචන ලීවේ ය. ඉන් වසර කීපයකට පසුව, ඔහු, තමන් රෝමයේ සිරකරුවෙකු ව සිටින බව අත්දිටී ය. ඒ මක්නිසා ද? යෙරුසලමේ දී කලහකාරී පිරිසක් ඔහුට පහර දුන් අතර රෝමානු හේවායන් ඔහු මුදවාගෙන තිබුණි. කායිසාරියට ගෙන යාමෙන් පසු, ඔහු බොරු චෝදනාවලට මුහුණ දුන්න ද, රෝමානු පාලකයා වන පීලික්ස් ඉදිරියේ ඔහු දක්ෂ ලෙස නිදහසට කරුණු ඉදිරිපත් කළේ ය. පීලික්ස් අල්ලසක් බලාපොරොත්තුවෙන් ඔහු ව වසර දෙකකට සිරගත කර තැබී ය. අවසානයේ, පාවුල් ඊළඟ ආණ්ඩුකාරයා වූ පෙස්තුස්ගෙන්, තමන්ගේ නඩුව වෙනුවෙන් කායිසර්ගේ විනිශ්චය ඉල්ලා සිටියේ ය.—ක්‍රියා 21:27-32; 24:1–25:12.
2 රෝමානු පුරවැසියෙක් හැටියට මෙය ඔහුගේ අයිතිවාසිකම වූයේ ය. එහෙත් යේසුස් වහන්සේ, සාතන්ට, “ලෝකයේ” සැබෑ “අධිපතියා” ලෙස යොමු දක්වා තිබිය දී, එසේ ම පාවුල් ම සාතන් ව “මේ ලෝකයේ දෙවියා” යයි හඳුන්වා තිබිය දී, පාවුල් එම අධිරාජ්‍ය මුලාදෑනියාට ආයාචනා කිරීම යෝග්‍ය වී ද? (යොහන් 14:30; 2 කොරින්ති 4:4) නොඑසේ නම්, පාවුල්ට සිය අයිතිවාසිකම් ආරක්ෂා කර ගනු පිණිස එම මුලාදෑනියා කෙරෙහි යොමු වීම යෝග්‍ය කර වූ යම් ‘[පාලකයාණන් වශයෙන් NW] නියමකිරීමක්’ එම රෝමානු මුලාදෑනියා දරමින් සිටියේ ද? ඇත්ත වශයෙන් ම, “මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය” යන ප්‍රේරිතයන්ගේ පෙර වදන්, දෙවියන් වහන්සේට අකීකරු වීම ඊට අයත් නොවූ ඕනෑ ම අවස්ථාවක, මනුෂ්‍ය පාලකයින් වෙත ක්‍රිස්තියානි කීකරුකම පෙන්වීමට ඉඩ හැරියේ ද?—ක්‍රියා 5:29.
3 පාවුල් මනුෂ්‍ය පාලකත්වය කෙරෙහි මේරූ මතයක් එළි දක්වන්නා වූ රෝමවරුන්ට වූ සිය ලිපියෙහි, මෙම ප්‍රශ්නවලට පිළිතුරු දීමට අපට උපකාර කරයි. රෝම 13:1-7 දක්වා, පාවුල්, ක්‍රිස්තියානියෙකුගේ හෘදයසාක්ෂිය “බලයලත් මුලාදෑනීන්ට” සාපේක්ෂී කීකරුකම සමඟින් ශ්‍රේෂ්ඨ මුලාදෑනියා වන යෙහෝවඃ දෙවියන් වහන්සේට පූර්ණ කීකරුකම තුලනය කිරීමෙහි ක්‍රියා කළ යුතු ආකාරය පැහැදිලි කරයි.
බලයලත් මුලාදෑනීන් හඳුනා ගැනීම
4 වසර ගණනාවකට, වර්ෂ 1962 දක්වා, බලයලත් මුලාදෑනීන් වූයේ යෙහෝවඃ දෙවියන් වහන්සේ හා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ බව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින් කල්පනා කළාහ. කෙසේ නමුත්, හිතෝපදේශ 4:18ට එකඟ ව, මේ පිළිබඳ අවබෝධය වැඩි වූ අතර මෙම මතය නිවැරදි කරනු ලැබී ය, මෙය සමහරක් අයගේ මනසේ ප්රශ්නයන් ද මතු කළ හැකි ය. රජවරුන්, ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, නගරාධිපතිවරුන්, විනිශ්චකාරයන්, මෙන් ම ලෝකයේ ලෞකීක වූ, දේශපාලන බලය පවත්වන වෙනත් අය මෙම බලයලත් මුලාදෑනීන් බවත්, අප ඔවුනට සාපේක්ෂී ආකාරයකට කීකරුවීමට ගැති ව සිටින බවත් පැවසීමෙහි අප දැන් නිවැරදි ද?
5 පො. යු. දෙවන ශත වර්ෂයේ ලේඛකයෙක් වූ, අයිරේනියස්, තමන් ජීවත් වූ කාලයේ සමහරෙකුට අනුව, රෝම 13:1 හි පාවුල් “අදෘශ්‍යමාන පාලකයින්ගේ [නැතහොත්] දේවදූතමය බලයන් සම්බන්ධයෙන්” කථා කරමින් සිටි බව පැවසී ය. අයිරේනියස් පවා, බලයලත් මුලාදෑනීන් “සැබෑ මනුෂ්‍ය මුලාදෑනීන්” ලෙස කල්පනා කළේ ය. පාවුල්ගේ වදන්වල පාඨ සම්බන්ධය, අයිරේනියස් නිවැරදි වූ බව පෙන්වයි. රෝම 12 වන පරිච්ඡේදයේ අවසන් වගන්තිවල පාවුල්, ක්‍රිස්තියානීන් ‘සතුරන්ට’ පවා ප්‍රේමයෙන් හා සැලකිල්ලෙන් සංග්‍රහ කරමින්, “සියලු මනුෂ්‍යයන්” ඉදිරියේ තමන් ව හැසිරවිය යුතු ආකාරය විස්තර කරයි. (රෝම 12:17-21) පැහැදිලිව ම, “සියලු මනුෂ්‍යයන්” යන වදනෙහි, ක්‍රිස්තියානි සභාවෙන් පිටස්තර මනුෂ්‍යයන්ට ද අදාළ වීමක් ඇත්තේ ය. මෙසේ, පාවුල් සාකච්ඡා කරන්නට යෙදෙන “බලයලත් මුලාදෑනීන්” ද ක්‍රිස්තියානි සභාවෙන් පිටස්තර අය විය යුතු ය. මීට එකඟ ව විවිධ පරිවර්තන රෝම 13:1 හි පළමු කොටස ඉදිරිපත් කරන ආකාරය සටහන් කර ගන්න: “සියල්ලන් ම බලයලත් රාජ්‍ය මුලාදෑනීන්ට කීකරු විය යුතු ය” (ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්); “සියල්ලන් ම තමන් ව පාලක මුලාදෑනීන්ට අවනත කරවිය යුතු ය” (න ඉන්ටනැෂනල් වර්ෂන්); සියල්ලන් ම සිවිල් මුලාදෑනීන්ට කීකරු විය යුතු ය.”—ෆිලිප්ස්’ න ටෙස්ටමන්ට් ඉන් මොඩර්න් ඉංග්ලිෂ්.
6 මෙම මුලාදෑනීන් සුංගම් සහ අයබදු ඉල්ලා සිටින බව පාවුල් තවදුරටත් පවසයි. (රෝම 13:6, 7) ක්‍රිස්තියානි සභාව සුංගම් හෝ අයබදු ඉල්ලන්නේ නැත; එසේ ම යෙහෝවඃ වහන්සේ හෝ යේසුස් වහන්සේ හෝ වෙනත් යම් “අදෘශ්‍යමාන පාලකයෙක්” එය ඉල්ලන්නේ නැත. (2 කොරින්ති 9:7) සුංගම් ගෙවනු ලබන්නේ ලෞකීක මුලාදෑනීන්ට පමණක් ය. මීට එකඟ ව රෝම 13:7 හි පාවුල් විසින් “සුංගම්” හා “අයබදු” වෙනුවෙන් පාවිච්චි කරන ලද ග්‍රීක් වචන මූලික ව ආණ්ඩුවලට ගෙවනු ලබන මුදල්වලට යොමු දක්වයි.a
7 මීට අමතරව, බලයලත් මුලාදෑනීන්ට කීකරු වීමට වූ පාවුල්ගේ උපදේශය “කායිසර්ගේ දේ කායිසර්ට” දීමට වූ යේසුස් වහන්සේගේ ආඥාවට එකඟ වන්නේ ය, මෙහි කායිසර් නියෝජනය කරනුයේ ලෞකීක මුලාදෑනීන් ය. (මතෙව් 22:21) එය තීතස්ට වූ: “අධිපතීන්ටත් බලය ඇත්තන්ටත් යටත්වෙන්ටද, කීකරුවෙන්ටද, සියලු යහපත් වැඩවලට සූදානම්ව සිටින්ටද, . . . ඔවුන්ට සිහිකරවාපන්න” යන පාවුල්ගේ යථාකාලීන වචන සමඟ ද ගැළපේ. (තීතස් 3:1) එබැවින්, ප්‍රජා වැඩවල සහභාගී වන ලෙස ආණ්ඩු මගින් ක්‍රිස්තියානීන්ට නියෝග කළ විට, ඔවුන් එම වැඩ කටයුතු ශුද්ධ ලියවිල්ලට පටහැනි යම් සේවාවක් වෙනුවෙන් සමථය කරවන ආදේශකයක් නොඑසේ නම් යෙසායා 2:4 හි දක්නට ඇති ප්‍රතිපත්තිය වැනි, ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති උල්ලංඝනය නොකරන්නේ නම්, ඔවුන් යුතු ලෙස ඊට යටත් වෙති.
8 පේතෘස් ද: “උත්තමයාව සිටින රජුට වේවා, නපුර කරන්නන්ට දඬුවම පිණිසත් යහපත කරන්නන්ට ප්‍රශංසාව පිණිසත් රජු විසින් එවනලද්දාවූ ආණ්ඩුකාරයන්ට වේවා, සියලු මනුෂ්‍ය නියෝගවලට ස්වාමීන්වහන්සේ නිසා යටත්වෙයල්ලා” යයි පැවසූ විට, මේ ලෝකයේ ලෞකීක මුලාදෑනීන්ට අප කීකරු විය යුතු බව තහවුරු කළේ ය. (1 පේතෘස් 2:13, 14) මීට එකඟ ව, “ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව, සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදහත්කම්ද ස්තූතිදීම්ද පවත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාදකරමි” යන තිමෝතිට වූ පාවුල්ගේ උපදේශයට ද ක්‍රිස්තියානීන් අවනත වෙනු ඇත්තාහ.b—1 තිමෝති 2:1, 2.
9 ලෞකීක මුලාදෑනීන් ව “බලයලත් මුලාදෑනීන්” යනුවෙන් ආමන්ත්‍රණය කිරීමෙන්, අප කෙසේ හෝ යෙහෝවඃ වහන්සේට දිය යුතු ගෞරවය අඩු කරන්නෙමු ද? නැත, මන්දයත් යෙහෝවඃ වහන්සේ හුදෙක් බලයලත් තත්ත්වය ඉක්මවා සිටින නිසා ය. උන් වහන්සේ “පරමානන්දය දෙවිඳුන්,” “මහෝත්තමයාණන්වහන්සේ” වන සේක. (ගීතාවලිය 73:28 පො. න. අ., දානියෙල් 7:18, 22, 25, 27; එළිදරව් 4:11; 6:10) මනුෂ්‍ය මුලාදෑනීන්ට යුතු කීකරුකම, කිසි ආකාරයකින්, මහෝත්තම මුලාදෑනියාණන් වන, ස්වාධිපති ස්වාමි වූ යෙහෝවඃ වහන්සේ ව අපගේ නමස්කාරයෙන් පහත හෙළන්නට යන්නේ නැත. එසේ නම් මෙම මුලාදෑනීන් බලය ලබා සිටිනුයේ කොතරම් ප්‍රමාණයකට ද? හුදෙක් වෙනත් මනුෂ්‍යයින් හා තමන්ගේ ම ක්‍රියාකාරකම් සම්බන්ධ පදවිය හා සම්බන්ධයෙනි. ඔවුන් ආණ්ඩු කිරීමට හා මනුෂ්‍ය ප්‍රජාවන් ආරක්ෂා කිරීමට වගකිව යුතු අතර මේ සඳහා ඔවුන් මහජන කටයුතු හැසිරවීම පිළිබඳ රෙගුලාසි පනවති.
“සිය සාපේක්ෂි තත්ත්වයන්හි දෙවියන් වහන්සේ විසින් නියමකර තිබේ”
10 ලෞකීක මුලාදෑනීන් කෙරෙහි පවා යෙහෝවඃ දෙවියන් වහන්සේගේ මහෝත්තමභාවය, මෙම මුලාදෑනීන් ‘සිය සාපේක්ෂි තත්ත්වයන්හි දෙවියන් වහන්සේ විසින් නියමකර තිබීමෙන්’ දැකිය හැකි ය. කෙසේ නමුත්, මෙම ප්‍රකාශය ප්‍රශ්නයක් ඉදිරිපත් කරයි. පාවුල් මෙම වචන ලිවීමෙන් වසර කීපයකට පසුව, රෝමානු අධිරාජ්‍යයා වන නීරෝ ක්‍රිස්තියානීන්ට එරෙහි ව අනුකම්පා රහිත හිංසා පීඩා පැමිණවීමේ ව්‍යාපාරයක් දියත් කළේ ය. දෙවියන් වහන්සේ පුද්ගලීක ව නීරෝ සිය තත්ත්වයෙහි තැබූ සේක් ද? කිසිසේත් නැත. එක් එක් පාලකයා දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබ ‘දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන්’ එම තත්ත්වයන්හි තබනු ලබනවා නොවේ ය. ඒ වෙනුවට, සාතන් ඇතැම් අවස්ථාවල පාලකයින් ලෙස එම තත්ත්වයන්ට කෲර මනුෂ්‍යයින් පොළඹවන අතර, එවන් පාලකයින්, අඛණ්ඩතාවය පවත්වන ස්වකීය සේවකයින් කෙරෙහි ගෙනෙන පරික්ෂා සමඟින්, යෙහෝවඃ වහන්සේ මීට අවසර දෙන සේක.—යෝබ් 2:2-10 සසඳන්න.
11 කෙසේ නමුත්, යෙහෝවඃ වහන්සේ ස්වකීය උදාර අරමුණ ඉටු කර ගනු පිණිස ඇතැම් පාලකයින් හෝ ආණ්ඩු සම්බන්ධයෙන් පුද්ගලීක ව මැදිහත් වී ඇත. උදාහරණයක් වශයෙන්, ආබ්‍රහම්ගේ කාලයේ කානානිවරුන්ට, කානාන් දේශයේ වාසය කරන්නට ඉඩ හරිනු ලැබී ය. පසු කාලයේ දී, කෙසේ නමුත්, යෙහෝවඃ වහන්සේ ඔවුන් ඉවත් කර එම දේශය ආබ්‍රහම්ගේ වංශයට දුන් සේක. ඉශ්රායෙල්වරුන් තාවකාලික ව කාන්තාරයේ ජීවත් වූ කාලයේ අම්මොනිවරුන්, මෝවබ්වරුන් හෝ සෙයිර් කඳුකරයට විරුද්ධ ව සටන් කරන්නට යෙහෝවඃ වහන්සේ ඔවුන්ට අවසර නොදුන් සේක. එහෙත් සීහොන් හා ඕග් රාජ්‍යයන් විනාශ කරන්නට උන් වහන්සේ නියෝග කළ සේක.—උත්පත්ති 15:18-21; 24:37; නික්මයාම 34:11; ද්විතීය කථාව 2:4, 5, 9, 19, 24; 3:1, 2.
12 ඉශ්රායෙල්වරුන් කානාන් හි පදිංචි වීමෙන් පසු, යෙහෝවඃ වහන්සේ තවදුරටත් ස්වකීය ජනයා කෙරෙහි බලපෑම් කළ මුලාදෑනීන් කෙරෙහි ඍජු සැලකිල්ලක් දැක් වූ සේක. ඇතැම් අවස්ථාවල, ඉශ්රායෙල්වරුන් පව් කළ විට, යෙහෝවඃ වහන්සේ මිථ්‍යා දෘෂ්ටික මුලාදෑනීන් යටතට පත් වීමට ඔවුන්ට ඉඩ හැරිය සේක. ඔවුන් පසුතැවිලි වූ විට, උන් වහන්සේ එම මුලාදෑනීන් එම දේශයෙන් ඉවත් කළ සේක. (විනිශ්චයකාරයන්ගේ පොත 2:11-23) අවසානයේ, උන් වහන්සේ වෙනත් ජාතීන් බොහොමයක් සමඟින් යුදාවට බබිලෝනියේ වහල්භාවයට පත් වන්නට ඉඩ හැරිය සේක. (යෙසායා 14:28–19:17; 23:1-12; 39:5-7) ඉශ්රායෙල්වරුන් බබිලෝනියේ වහල්භාවයට යාමෙන් පසු, යෙහෝවඃ වහන්සේ බබිලෝනියේ දවස්වල පටන් අපගේ දවස් දක්වා ස්වකීය ජනයාට බලපාන්නා වූ ලෝක බලවතුන්ගේ නැගීමත් වැටීමත් පුරෝකථනය කළ සේක.—දානියෙල්, පරිච්ඡේද 2, 7, 8, හා 11.
13 මෝසෙස් යෙහෝවඃ වහන්සේ පිළිබඳව මෙසේ ගායනා කළේ ය: “මහෝත්තමයාණන් ජාතීන්ට උරුමය බෙදා දුන් කල්හිද, මනුෂ්‍ය පුත්‍රයන් වෙන්කළ කල්හිද, උන්වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ගණන හැටියට ජනයන්ගේ සීමාවන් නියමකළ සේක. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] කොටස නම් ස්වකීය සෙනඟය; යාකොබ් උන්වහන්සේගේ උරුම කොටසය.” (ද්විතීය කථාව 32:8, 9; සසඳන්න ක්‍රියා 17:26.) එසේ ය, ස්වකීය අරමුණු ඉටු කිරීම පිණිස, දෙවියන් වහන්සේ එහි කිනම් මුලාදෑනීන් ඉතිරි වෙනු ඇද්ද, එමෙන් ම කිනම් මුලාදෑනීන් විනාශ වෙනු ඇද්ද යයි තීන්දු කළ සේක. මෙයාකාරයෙන්, උන් වහන්සේ ආබ්‍රහම්ගේ පැවතෙන්නන්ට උරුම කර ගැනීම සඳහා දේශයක් වෙන් කළ අතර පසු කාලයේ දී, පුරෝකථනය කරන ලද ලෙසින්, අවසානයේ පොරොන්දු වූ වංශය පැමිණිය හැකි වනු පිණිස, එම දේශය යළි ලබා දුන් සේක.—දානියෙල් 9:25, 26; මීකා 5:2.
14 බොහෝ අවස්ථාවන්හි, කෙසේ නමුත්, යෙහෝවඃ වහන්සේ මනුෂ්‍යයින්ට තමන් එකිනෙකාට සාපේක්ෂී එහෙත් නිතර ම තමන් වහන්සේට පහත් මුලාදෑනී තත්ත්වයන් ගැනීමට ඉඩ හරිමින් උන් වහන්සේ පාලකයින් සිය සාපේක්ෂී තත්ත්යන්හි තබන සේක. එසේ, යේසුස් වහන්සේ පොන්තියුස් පිලාත් ඉදිරියේ සිටි විට, උන් වහන්සේ එම පාලකයාට: “ඉහළින් එය නුඹට නොදෙනලද්දේ නම්, මට විරුද්ධව නුඹට කිසි බලයක් නැත” යයි කී සේක. (යොහන් 19:11) මෙය පිලාත් දෙවියන් වහන්සේ විසින් පුද්ගලීක ව එම ස්ථානයේ තබන ලද බව අදහස් නොකළමුත් එය යේසුස් වහන්සේ කෙරෙහි ජීවිතය හා මරණය පිළිබඳ මුලාදෑනිකම දෙවියන් වහන්සේගේ අවසරයෙන් පමණක් ලැබෙන බව අදහස් කළේ ය.
මේ ලෝකයේ [පිළිවෙළේ NW] දෙවියා”
15 කෙසේ නමුත්, සාතන් මේ ලෝකයේ දෙවියා, නැතහොත් පාලකයා යන බයිබල් ප්‍රකාශය ගැන කුමක් කිව හැකි ද? (යොහන් 12:31; 2 කොරින්ති 4:4) සාතන් යේසුස් වහන්සේට ලෝකයේ සියලු රාජ්‍යයන් පෙන් වූ විට, “මේ මුළු බලය . . . මට භාර දී තිබේ; මම කැමති කෙනෙකුට ඒවා දෙමි” යනුවෙන් යේසුස් වහන්සේට කළ පුරසාරම ගැන ඇත්ත වශයෙන් ම, කුමක් කිව හැකි ද? (ලූක් 4:6) යේසුස් වහන්සේ සාතන්ගේ පුරසාරමට විරුද්ධ වූයේ නැත. එමෙන් ම සාතන්ගේ වචන, පසුකාලයක දී පාවුල් එපීසවරුන්ට ලියූ දෙය, එනම්: “අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය” යන්න සමඟ එකඟ වේ. (එපීස 6:12) මීට අමතරව, එළිදරව් පොත සාතන් ලෝකයේ දේශපාලන ක්රමයේ සංකේතවත් මෘගයෙකුට “තමාගේ පරාක්‍රමයත් තමාගේ සිංහාසනයත් මහත් බලයත්” දෙන්නා වූ මහා සර්පයෙක් ලෙස විස්තර කරයි.—එළිදරව් 13:2.
16 කෙසේ නමුත්, සාතන් යේසුස් වහන්සේට කළ: “මේ මුළු බලය . . . මට භාර දී තිබේ” යන ප්‍රකාශය අනුව ඔහු ද බලය පවත්වනුයේ අවසරයෙන් පමණක් බව කල්පනාවට ගන්න. දෙවියන් වහන්සේ මෙම අවසරය ප්රදානය කරනුයේ මක්නිසා ද? ලෝක පාලකයා ලෙස සාතන්ගේ චර්යාව, පටන් ගත්තේ, දෙවියන් වහන්සේ බොරු කියන බවත්, අයුක්ති සහගත ලෙස ස්වකීය ස්වාධිපත්‍යය ක්‍රියාවට නගන බවත්, ඔහු ප්‍රසිද්ධියේ චෝදනා කළ අවස්ථාවෙහි, ඒදන් උයනෙනි. (උත්පත්ති 3:1-6) ආදම් සහ ඒව සාතන් අනුකරණය කරමින් යෙහෝවඃ දෙවියන් වහන්සේට අකීකරු වූහ. ඒ අවස්ථාවෙහි යෙහෝවඃ වහන්සේට යුක්ති සහගත ලෙස සාතන් මෙන් ම ඔහුගේ නව අනුගාමිකයින් දෙදෙනා සිඳ දැමිය හැකිව තිබුණි. (උත්පත්ති 2:16, 17) එහෙත් සාතන්ගේ වචන ඇත්ත වශයෙන් ම යෙහෝවඃ වහන්සේට පුද්ගලීක අභියෝගයක් විය. එබැවින් දෙවියන් වහන්සේ ස්වකීය ප්‍රඥාවෙහි පිහිටා සාතන්ට යම් කලකට ජීවත් වන්නට ඉඩ හළ අතර ආදම් සහ ඒවට තමන් මිය යාමට පෙරාතුව දරුවන් උත්පාදනය කිරීමට ද අවසර දුන් සේක. මෙයාකාරයෙන්, දෙවියන් වහන්සේ, සාතන්ගේ අභියෝගයේ අසත්‍යතාව නිරූපනය කිරීමට කාලය හා ප්‍රස්තාව ලබා දුන් සේක.—උත්පත්ති 3:15-19.
17 ඒදනයේ පටන් සිදුවීම් සාතන්ගේ චෝදනාවන් සහමුලින් ම බොරු බව පෙන්වා ඇත. ආදම්ගේ පැවතෙන්නන් සාතන්ගේ පාලනය යටතේ හෝ මනුෂ්‍ය පාලනය යටතේ ප්‍රිතිය ලබා නැත්තාහ. (දේශනාකාරයා 8:9) අනෙක් අතට, ස්වකීය ජනයා සමඟ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරකම් දිව්‍ය පාලනයේ ශ්‍රේෂ්ඨත්වය නිරූපනය කර තිබේ. (යෙසායා 33:22) එහෙත් ආදම්ගේ පැවතෙන්නන් වැඩි දෙනෙක් යෙහෝවඃ වහන්සේගේ ස්වාධිපත්‍යය පිළිනොගන්නා බැවින්, දැන හෝ නොදැන ඔවුන් සාතන්ට සිය දෙවියන් ලෙස සේවය කරති.—ගීතාවලිය 14:1; 1 යොහන් 5:19.
18 ඉක්මනින්, ඒදනයේ නගන ලද ප්රශ්නය විසඳනු ලබනවා ඇත. දෙවියන් වහන්සේගේ රාජ්‍යය මනුෂ්‍ය වර්ගයාගේ කටයුතු කෙරෙහි පරිපාලනය සම්පූර්ණයෙන් භාර ගනු ඇති අතර සාතන් සිරගත කරනු ලබනවා ඇත. (යෙසායා 11:1-5; එළිදරව් 20:1-6) කෙසේ නමුත්, නියම කරන ලද ජීවිතය පැවතිය හැකි වන පිණිස යම් ආකාරයක සැකැස්මක්, නැතහොත් ආකෘතියක් මේ අතරතුර අවශ්‍ය වූයේ ය. යෙහෝවඃ වහන්සේ “වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය.” (1 කොරින්ති 14:33) එබැවින්, උන් වහන්සේ ඒදනයෙන් පිට ඇති වූ ප්‍රජාවන්හි මුලාදෑනී ආකෘතිය පැවතීමට ඉඩ හැර ඇති අතර උන් වහන්සේ මනුෂ්‍යයින්ට මෙම සැකැස්මෙහි මුලාදෑනිකම පැවැත්වීමට අවසරය දානය කර තිබෙන සේක. මෙයාකාරයෙන් “දෙවියන්වහන්සේගෙන් මිස කිසි මුලාදෑනිකමක් නැත්තේ ය.”
යුක්ති සහගත මුලාදෑනිකම්
19 ඒදනයේ පටන්, සාතන් මනුෂ්‍ය වර්ගයා අතර පුළුල් නිදහසක් භුක්ති විඳ ඇති අතර හෙතෙම මෙම නිදහස, යේසුස් වහන්සේට කළ පුරසාරමට සැසඳෙන ලෙසින් පොළොව මත කටයුතු හැසිරවීමට යොදා ගෙන ඇත. (යෝබ් 1:7; මතෙව් 4:1-10) මෙය කෙසේ නමුත්, මේ ලෝකයේ සෑම පාලකයෙක් ම සාතන්ගේ පාලනයට කෙළින් ම යටත් වන බව අදහස් කරන්නේ නැත. සමහරෙක්—පළමුවන ශත වර්ෂයේ නිරෝ හා අපගේ ශත වර්ෂයේ ඇඩොල්ෆ් හිට්ලර් වැනි—සැබවින් ම යක්ෂාකාර ආත්මයක් විදහා පෙන්වා ඇත්තාහ. එහෙත් අන්‍යයන් එසේ කර නැත. සර්ගියස් පාවුලස් නම් කූප්රසයේ අධිපතියා “දෙවියන්වහන්සේගේ වචනය අහන්ට ආශාවූ” “බුද්ධිමත් මනුෂ්‍යයෙකු” වූයේ ය. (ක්‍රියා 13:7) අකායේ අධිපතියාව සිටි ගලියෝ, පාවුල්ට චෝදනා කළ යුදෙව්වන්ගෙන් බලපෑම් ලැබීමට කැමති නොවී ය. (ක්‍රියා 18:12-17) වෙනත් පාලකයින් බොහෝ දෙනෙක් ද, හෘදයසාක්ෂියට එකඟ ව සිය මුලාදෑනිකම ගෞරවනීය ආකාරයකට පවත්වා ඇත්තාහ.—සසඳන්න රෝම 2:15.
20 වර්ෂ 1914න් පටන් ගන්නා “ස්වාමීන්වහන්සේගේ දවසේ දී” යෙහෝවඃ වහන්සේ සාතන්ගේ අරමුණ නිෂ්ප්‍රභ කිරීමට මනුෂ්‍ය මුලාදෑනීන් පවා යොදා ගන්නා බව එළිදරව් පොත පුරෝකථනය කළේ ය. එළිදරව්ව, ආලේපලත් ක්‍රිස්තියානීන්ට එරෙහිව සාතන් විසින් දියත් කරනු ලබන, එහෙත් ‘පොළොවෙන්’ ගිල දමනු ලබන, හිංසා පීඩා ගංගාවක් පිළිබඳව විස්තර කරයි. (එළිදරව් 1:10; 12:16) ‘පොළොවෙහි’ පවතින අවයව, දැන් පොළොවේ ජීවත් වන මනුෂ්‍ය සමාජය, යෙහෝවඃ වහන්සේගේ ජනයා සාතන්ගේ හිංසා පීඩාවලින් ආරක්ෂා කරනු ඇත.
21 මෙය සැබවින් ම සිදු ව ඇත්තේ ද? එසේ ය, උදාහරණයක් වශයෙන්, වර්ෂ 1930 ගණන්වල හා 1940 ගණන්වල යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් එක්සත් ජනපදයේ කලහකාරී සමූහයන්ගේ හිංසා පීඩා, හා නිතර අයුක්ති සහගත ලෙස අත්අඩංගුවට ගැනීම් යනාදී මහත් පීඩාවන්ට මුහුණ දුන්නාහ. එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ ක්රියාවේ නීත්‍යානුකූලභාවය පිළිගනිමින් තීරණ ගණනාවක් නිකුත් කළ විට ඔවුන් යම් සහනයක් ලැබුවාහ. වෙනත් තැන්වල ද, මුලාදෑනීන් දෙවියන් වහන්සේගේ ජනයාගේ සහයට ඉදිරිපත් වී ඇත්තාහ. දැනට වසර 40කට පමණ පෙර අයර්ලන්තයේ, රෝමානු කතෝලික කලහකාරී පිරිසක් කෝක් නගරයේ සාක්ෂිකාරයින් දෙදෙනෙකුට පහර දුන්නාහ. ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙක් එම සාක්ෂිකාරයින්ගේ සහයට පැමිණි අතර අධිකරණ නියෝගයක් පහර දුන් අය ව හික්ම වී ය. පසුගිය වසරේ ෆීජී හි, නායක හමුවක් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයින්ගේ ක්‍රියාකාරකම් තහනම් කිරීමට වූ යෝජනාවක් සලකා බැලූහ. එක් නායකයෙක් නිර්භීත ව සාක්ෂිකාරයින්ට පක්ෂ ව කථා කළ අතර එම යෝජනාව පහසුවෙන් පරාජය කරනු ලැබී ය.
22 නැත, ලෞකීක මුලාදෑනීන් නිතර සාතන්ගේ ප්‍රයෝජනය සඳහා ම සේවය කරන්නේ නැත. ක්‍රිස්තියානීන්ට සාතන්ට යටත් නොවී, බලයලත් මුලාදෑනීන්ට යටත් විය හැකි ය. ඇත්ත වශයෙන් ම, දෙවියන් වහන්සේ මෙම මුලාදෑනීන්ට පවතින්නට අවසර දෙනතාක් කල් ඔවුන් මෙම මුලාදෑනීන්ට කීකරු වනු ඇත්තාහ. කෙසේ නමුත්, මෙම කීකරුවීම කුමක් අදහස් කරයි ද? එමෙන් ම ක්‍රිස්තියානීන් ඊට පිළිතුරු වශයෙන් බලයලත් මුලාදෑනීන්ගෙන් කුමක් අපේක්ෂා කරත් ද? මෙම ප්‍රශ්න, මෙම සඟරාවේ 18.. හා .. 23 වන පිටුවල පටන් ගන්නා පාඩම් ලිපිවල සාකච්ඡා කරනු ලබනවා ඇත. w90 11/1
[පාදසටහන්වල]
a උදාහරණයක් වශයෙන්, ලූක් 20:22 (පො. න. අ.) හි “අයබදු” (ෆෝ’රොස්,—[pho’ros]) යන වචනයේ භාවිතය බලන්න. මෙහි “සුංගම්” ලෙස පරිවර්තනය කර ඇති, ග්‍රීක් ටෙ’ලොස්—[te’los] යන වචනය, මතෙව් 17:25 [NW] හි “යුතුකම්” ලෙස පරිවර්තනය කර ඇති අයුරුත් බලන්න.
b “උසස් තනතුරු” යනුවෙන් පරිවර්තනය කරන ලද හයි.පෙ.රො.ඛේ hy.pe.ro.khe’, හයි.පෙ.රෙ’ඛෝ hy.pe.ro.kho’ යන ක්‍රියා පදයට යම් සම්බන්ධකමක් දක්වයි. “බලයලත් මුලාදෑනීන්” යන්නෙහි “බලයලත්” යන වචනය, එක ම ග්‍රීක් ක්රියාපදයෙන් ලබාගෙන ඇති අතර මෙය බලයලත් මුලාදෑනින් වනාහි ලෞකීක මුලාදෑනීන් බවට සාක්ෂි දරන්නේ ය. ද න ඉංලිෂ් බයිබල් හි, “සෑම කෙනෙක් ම ශ්‍රේෂ්ඨතම මුලාදෑනීන්ට යටත් විය යුතු ය” යනුවෙන් රෝම 13:1 හි යෙදුම, නිවැරදි නොවේ. “උසස් තනතුරු” දරණ මනුෂ්‍යයින්, වෙනත් මනුෂ්‍යයින්ට වඩා බලය ලබා සිටත හැකි වුවත්, ශ්‍රේෂ්ඨ නොවන්නාහ.
[පාඩම සඳහා ප්‍රශ්න]
1, 2. (අ) පාවුල් රෝමයේ සිරකරුවෙක් ව සිටියේ මක්නිසා ද? (ආ) කායිසර් කෙරෙහි පාවුල්ගේ ආයාචනාව ඉදිරිපත් කරනුයේ කිනම් ප්‍රශ්න ද?
3. පාවුල් එළි දක්වනුයේ කිනම් මේරූ මතයක් ද, එමෙන් ම හෘදයසාක්ෂිය අදාළ ව ඇත්තේ කෙසේ ද?
4. වර්ෂ 1962 දෘෂ්ටිය පිළිබඳ කිනම් නිවැරදි කිරීමක් කරනු ලැබී ද, මෙහි දී කිනම් ප්‍රශ්න මතු වී ද?
5. රෝම 13:1 හි පාඨ සම්බන්ධය බලයලත් මුලාදෑනීන් හඳුනා ගැනීමට අපට උපකාර කරනුයේ කොයි ආකාරයෙන් ද, එමෙන් ම විවිධ පරිවර්තන මෙම හඳුනා ගැනීමට අනුග්‍රහ දක්වනුයේ කෙසේ ද?
6. සුංගම් හා අයබදු ගෙවීම පිළිබඳ පාවුල්ගේ වචන, බලයලත් මුලාදෑනීන් ලෞකීක මුලාදෑනීන් විය යුතු බව පෙන්වනුයේ කෙසේ ද?
7, 8. (අ) ක්‍රිස්තියානීන් මේ ලෝකයේ දේශපාලන මුලාදෑනීන්ට කීකරු විය යුතු බවට වූ අදහස සමඟ විවිධ ශුද්ධ ලියවිලි පද ගැළපෙනුයේ කෙසේ ද? (ආ) ක්‍රිස්තියානියෙක් ‘මුලාදෑනියාගේ’ නියෝගවලට යටත් නොවනුයේ කුමන අවස්ථාවේ දී පමණක් ද?
9. මනුෂ්‍ය මුලාදෑනීන් “බලයලත්” ලෙස හැඳීන්වීම යෙහෝවඃ වහන්සේගේ මහිමයෙන් පහත හෙළීමක් නොවන්නේ මක්නිසා ද?
10. (අ) බලයලත් මුලාදෑනීන් ‘නියම කිරීම’ පිළිබඳ පාවුල්ගේ ප්‍රකාශය, යෙහෝවඃ වහන්සේගේ ම බලය පිළිබඳව කුමක් තහවුරු කරයි ද? (ආ) ඇතැම් පාලකයින් ‘නියම කිරීම’ පිළිබඳව යෙහෝවඃ වහන්සේ කිනම් අවසරයක් දී ඇත්තේ ද එමෙන් ම මෙයාකාරයෙන් ස්වකීය සේවකයින් පරික්ෂා කරනු ලැබ ඇත්තේ කෙසේ ද?
11, 12. යෙහෝවඃ වහන්සේ ලෞකීක මුලාදෑනීන්ගේ පත් කිරීමට හා ඉවත් කිරීමට පුද්ගලීක ව මැදිහත් වූ කිනම් සිද්ධීන් වර්තාගත ව ඇත්තේ ද?
13. (අ) මෝසෙස්ගේ ගීතය අනුව, යෙහෝවඃ වහන්සේ ජනයාගේ සීමා තීන්දු කළේ මක්නිසා ද? (ආ) දෙවියන් වහන්සේ පසුව ඉශ්රායෙල්ට එහි දේශය යළි ලබා දුන්නේ මක්නිසා ද?
14. බොහෝ විට, යෙහෝවඃ වහන්සේ මනුෂ්‍ය මුලාදෑනීන් සිය සාපේක්ෂී තත්ත්වයන්හි තබනුයේ කිනම් ස්වභාවයකින් ද?
15. සාතන් මේ ලෝකයේ මුලාදෑනිකම පවත්වනුයේ කුමන ආකාරයෙන් ද?
16. (අ) සාතන්ගේ මුලාදෑනිකම සීමිත යයි දැකිය හැක්කේ කෙසේ ද? (ආ) යෙහෝවඃ වහන්සේ සාතන්ට මනුෂ්‍ය වර්ගයා අතර මුලාදෑනිකම පැවැත්වීමට අවසර දෙනුයේ මක්නිසා ද?
17, 18. (අ) සාතන් මේ ලෝකයේ දෙවියා යයි අපට කිව හැක්කේ මක්නිසා ද? (ආ) මේ ලෝකයේ “දෙවියන්වහන්සේගෙන් මිස” ‘මුලාදෑනිකමක් නැත්තේ’ කුමන ආකාරයෙන් ද?
19. සෑම මනුෂ්‍ය පාලකයෙක් ම සාතන්ගේ ඍජු පාලනය යටතේ සිටී ද?
20, 21. මනුෂ්‍ය පාලකයින් නිතර සාතන්ගේ කැමැත්ත නොකරන බව 20 වන ශතවර්ෂයේ කිනම් සිදුවීම් නිරූපනය කරයි ද?
22. මීළඟට කිනම් ප්‍රශ්න සාකච්ඡා කෙරෙනු ඇද් ද?
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේ ද?
▫ බලයලත් මුලාදෑනීන් කවරහු ද?
▫ “දෙවියන්වහන්සේගෙන් මිස කිසි මුලාදෑනිකමක් නැත්තේය” යයි අපට කිව හැක්කේ මක්නිසා ද?
▫ ලෝකය සාතන්ගේ මුලාදෑනිකම යටතේ පැවතීමට යෙහෝවඃ වහන්සේ ඉඩ හරිනුයේ මක්නිසා ද?
▫ දෙවියන් වහන්සේ මනුෂ්‍ය මුලාදෑනීන් සිය ‘[පාලකයාණන් වශයෙන්] නියමකිරීම්වල’ තබනුයේ කෙසේ ද?
රෝම නගරය පුළුස්සනු ලැබීමෙන් පසු, නීරෝ සැබවින් ම යක්ෂාකාර ස්වභාවයක් විදහා පෙන් වීය
කූප්රසයේ අධිපතියා වූ සර්ගියස් පාවුලස්, දෙවියන් වහන්සේගේ වචනය ඇසීමට කැමති විය