අධිකාරය පිළිබඳ ක්‍රිස්තියානි දෘෂ්ටිය
“දෙවියන්වහන්සේගෙන් හැර වෙනත් අධිකාරයක් නැත.”—රෝම 13:1, NW.
1. “අධිකාරය” යන වදන සම්බන්ධකමක් දක්වන්නේ කුමකටද, එබැවින් යෙහෝවඃවහන්සේ අතිශ්‍රේෂ්ඨ අධිකාරීන්වහන්සේයයි පැවසිය හැක්කේ මන්ද?
අධිකාරය මැවුම්කාරකම හා බැඳී පවතින්නකි. “අධිකාරය” යන වදන “කර්තෘ” යන වදනට නෑකම් කියන අතර, එම වදනින් අදහස් කෙරෙන්නේ “මූලාරම්භයක් දෙන, සාදන නැතහොත් පැවැත්ම ලබා දෙන තැනැත්තා” යන්නයි. සප්රාණික හා අප්‍රාණික යන සියලුම මැවිලිවලට පැවැත්ම දානය කරන අතිශ්‍රේෂ්ඨ තැනැන්වහන්සේ, යෙහෝවඃ දෙවියන්වහන්සේය. නිසැකවම උන්වහන්සේ අතිශ්‍රේෂ්ඨ අධිකාරීන්වහන්සේය. සැබෑ ක්‍රිස්තියානිහු මෙසේ පවසන ස්වර්ගීය මැවිලිවල හැඟීම්වලට හවුල් වෙති: “ස්වාමීන්වහන්ස [යෙහෝවඃවහන්ස, NW], අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනැන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේය.”—එළිදරව් 4:11.
2. මුල් මනුෂ්‍ය පාලකයන් තමන්ගේ සෙසු ජනයා කෙරෙහි පාලනයක් පැවැත්වීමට තමන්ට ස්වාභාවික අයිතියක් නොමැති බව එක් ආකාරයකින් පිළිගත්තේ කෙසේද, එමෙන්ම යේසුස්වහන්සේ පොන්තියුස් පිලාත්ට පැවසුවේ කුමක්ද?
2 තමන් දෙවි කෙනෙකුයයි නැතහොත් දෙවි කෙනෙකුගේ නියෝජිතයෙකුයයි තරයේ ප්‍රකාශ කර සිටීමෙන්, සිය අධිකාරය නීත්‍යානුකූල බව කියා සිටීමට මුල් මනුෂ්‍ය පාලකයන්ගෙන් බොහෝ දෙනෙකු දැරූ වෑයම, කිසිඳු මනුෂ්‍යයෙකුට වෙනත් මනුෂ්‍යයන් කෙරෙහි පාලනයක් කිරීමට උරුමවූ අයිතිවාසිකමක් නොමැති බවට නිහඬ පිළිගැනීමක් විය.a (යෙරෙමියා 10:23) යෙහෝවඃ දෙවියන්වහන්සේ අධිකාරය පිළිබඳව තිබෙන එකම නීත්‍යානුකූල උල්පත වනසේක. යුදයේ සිටි රෝමානු ආණ්ඩුකාර, පොන්තියුස් පිලාත්ට ක්‍රිස්තුස්වහන්සේ පැවසුවේ “ඉහළින් එය නුඹට නොදෙනලද්දේ නම්, මට විරුද්ධව නුඹට කිසි බලයක් [අධිකාරයක්, NW] නැත” යනුවෙනි.—යොහන් 19:11.
“දෙවියන්වහන්සේගෙන් හැර වෙනත් අධිකාරයක් නැත”
3. “බලයලත් අධිකාරීන්” සම්බන්ධයෙන් පාවුල් පැවසුවේ කුමක්ද, එමෙන්ම යේසුස්වහන්සේගේ හා පාවුල්ගේ ප්‍රකාශ මතු කරන්නේ කිනම් ප්‍රශ්නද?
3 රෝමානු අධිරාජයාගේ අධිකාරය යටතේ වාසය කරමින් සිටි ක්‍රිස්තියානින්ට ප්‍රේරිත පාවුල් ලිව්වේ මෙසේය: “හැමදෙනාම බලයලත් මුලාදෑනීන්ට [අධිකාරීන්ට, NW] යටත්වෙත්වා. මක්නිසාද දෙවියන්වහන්සේගෙන් මිස කිසි මුලාදෑනිකමක් [අධිකාරයක්, NW] නැත්තේය; ඇත්තාවූ මුලාදෑනිකම් දෙවියන්වහන්සේ විසින් නියම කර තිබේ [පවතින අධිකාරීන් සිය සාපේක්ෂිත ස්ථානවල සිටීමට තබන ලද්දේ දෙවියන්වහන්සේ විසිනි, NW]” (රෝම 13:1) පිලාත්ගේ අධිකාරය “ඉහළින්” ඔහුට දෙනු ලැබූ බව යේසුස්වහන්සේ වදාළ අවස්ථාවේදී, උන්වහන්සේ අදහස් කළේ කුමක්ද? තවද ඔහුගේ දවසේ සිටි දේශපාලන අධිකාරීන්ව දෙවියන්වහන්සේ විසින් තමන්ගේ ස්ථානවල තබන ලද බව පාවුල් සැලකුවේ කොයි ආකාරයෙන්ද? ඔවුන් අදහස් කළේ මේ ලෝකයේ සෑම දේශපාලකයෙකුගේම පත්වීම සඳහා යෙහෝවඃවහන්සේ පෞද්ගලිකව වගකිව යුතු බවද?
4. යේසුස්වහන්සේ හා පාවුල් සාතන්ව ඇමතුවේ කවරෙකු හැටියටද, එමෙන්ම සාතන්ගේ කිනම් ප්‍රකාශයක් යේසුස්වහන්සේ ප්‍රතික්ෂේප නොකළසේක්ද?
4 යේසුස්වහන්සේ සාතන්ව “මේ ලෝකයේ අධිපතියා” හැටියට ඇමතීම නිසාත්, ප්‍රේරිත පාවුල් ඔහුව “මෙම දේවල පිළිවෙළේ දෙවියා” හැටියට නම් කිරීම නිසාත්, මෙය මෙසේ විය හැක්කේ කෙසේද? (යොහන් 12:31; 16:11; 2 කොරින්ති 4:4, NW) එපමණක්ද නොව, යේසුස්වහන්සේව පරීක්ෂා කරන අවස්ථාවේදී, සාතන් උන්වහන්සේට “ලෝකයේ සියලු රාජ්‍යයන්” කෙරෙහි “මුළු බලය” දීමට ඉදිරිපත් වූයේ, තමාට මෙම අධිකාරය පවරා තිබූ බව කියා සිටීමෙන්ය. යේසුස්වහන්සේ මෙම යෝජනාව ප්‍රතික්ෂේප කළත්, දීමට එවන් අධිකාරයක් සාතන්ට නොතිබූ බව උන්වහන්සේ නොපැවසූ සේක.—ලූක් 4:5-8.
5. (අ) මනුෂ්‍ය අධිකාරය පිළිබඳ යේසුස්වහන්සේගේ හා පාවුල්ගේ වදන් අප තේරුම් ගත යුත්තේ කෙසේද? (ආ) බලය ලත් අධිකාරීන් “සිය සාපේක්ෂිත ස්ථානවල සිටීමට තබන ලද්දේ දෙවියන්වහන්සේ විසින්” බව කීමෙන් කුමක් අදහස් කරයිද?
5 යෙහෝවඃවහන්සේ සාතන්ට මෙම ලෝකය කෙරෙහි පාලකත්වය ලබා දුන්නේ, ඔහුගේ කැරලි ගැසීමෙන් පසුත් ආදම් සහ ඒව පෙලඹවීමෙන් හා උන්වහන්සේගේ පරමාධිපත්‍යයට එරෙහිව කැරලි ගැසීමට ඔවුන්ට සැලැස්වීමෙන් පසුත් තවදුරටත් ජීවත්වන්නට ඔහුට ඉඩ හැරීම මගින්ය. (උත්පත්ති 3:1-6; සසඳන්න නික්මයාම 9:15, 16.) එබැවින්, යේසුස්වහන්සේගේ හා පාවුල්ගේ වදන්වල, අදහස විය යුත්තේ පළමු මනුෂ්‍ය යුවළ ඒදන්හි දිව්යාණ්ඩුව, නැතහොත් දේව-පාලනය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ක්‍රමවත් සමාජයක තමන්ට ජීවත්වන්නට ප්‍රස්තාව ලබාදෙන අධිකාරයක් ඇති ව්‍යූහයක් ඇති කර ගැනීමට යෙහෝවඃවහන්සේ තමන් වෙතින් ඉවත්වූ මනුෂ්‍යයන්ට ඉඩ හැරිය බවයි. ඇතැම් අවස්ථාවන්හි, සිය අරමුණ ඉටු කර ගැනීමට, යෙහෝවඃවහන්සේ ඇතැම් පාලකයන් හෝ ආණ්ඩු බිඳ වැටීමට සලස්වා ඇත. (දානියෙල් 2:19-21) වෙනත් ඒවාට බලයේ රැඳී සිටින්නට උන්වහන්සේ ඉඩ හැර ඇත. පවතින්නට යෙහෝවඃවහන්සේ ඉඩ හැර ඇති පාලකයන් සම්බන්ධයෙන් පැවසිය හැක්කේ, ඒවා “සිය සාපේක්ෂිත ස්ථානවල සිටීමට තබන ලද්දේ දෙවියන්වහන්සේ විසින්” බවය.
මුල් ක්‍රිස්තියානින් හා රෝමානු අධිකාරීන්
6. මුල් ක්‍රිස්තියානින් රෝම අධිකාරීන් දෙස බැලුවේ කෙසේද, එමෙන්ම ඒ මන්ද?
6 ඉශ්රායෙලය අල්ලාගෙන සිටි රෝමවරුන්ට එරෙහිව කුමන්ත්‍රණයකර සටන් කළ යුදෙව් කණ්ඩායම්වල හමුදාවන්ට මුල් ක්‍රිස්තියානින් එක් වූයේ නැත. මෙම රෝම අධිකාරීන් සිය සම්පාදිත නෛතික පද්ධතිය සමඟින් ගොඩබිමේ හා මුහුදේ නිසි පිළිවෙළක් තබමින්; ප්‍රයෝජනදායක බොහෝ වාරි මාර්ග, මහාමාර්ග හා පාලම් ගොඩනගමින්; එසේම පොදුජන ශුභසිද්ධිය වෙනුවෙන් ක්‍රියා කරමින් සිටි තරමට; ක්‍රිස්තියානින් ඔවුන්ව සැලකුවේ ‘තමන්ට තමන්ගේ යහපත පිණිස සිටින දෙවියන්වහන්සේගේ සේවකයා [නැතහොත්, “මෙහෙකරුවා,” NW පාදසටහන] හැටියටය.’ (රෝම 13:3, 4) යේසුස්වහන්සේ විසින් නියම කරන ලද ආකාරයට ශුභාරංචිය පුළුල්ව දේශනා කිරීමට ක්‍රිස්තියානින්ට හැකියාව ලබා දුන් වාතාවරණයක් නීතිය හා පිළිවෙළ මගින් උදාකරන ලදි. (මතෙව් 28:19, 20) රෝමවරුන් විසින් පනවන ලද බදුවලින් යම් මුදලක් දෙවියන්වහන්සේ අනුමත නොකරන අරමුණු සඳහා පාවිච්චි කරනු ලැබුවත්, හොඳ හෘදය සාක්ෂියකින් යුක්තව, ඔවුන්ට එය ගෙවන්නට හැකි විය.—රෝම 13:5-7.
7, 8. (අ) රෝම 13:1-7 සැලකිලිමත්ව කියවීමෙන් කුමක් අනාවරණය වන්නේද, එමෙන්ම එහි පද සම්බන්ධය පෙන්වන්නේ කුමක්ද? (ආ) රෝම අධිකාරීන් “දෙවියන්වහන්සේගේ සේවකයා” හැටියට ක්‍රියා නොකළේ කිනම් තත්ත්වයන් යටතේද, එමෙන්ම මේ අවස්ථාවේදී මුල් ක්‍රිස්තියානිහු කිනම් ආකල්පය ක්‍රියාවට නැඟුවෝද?
7 රෝම 13වන පරිච්ඡේදයේ මුල් වගන්ති හත සැලකිල්ලෙන් කියවීමෙන් අනාවරණය වන්නේ, දේශපාලන “බලය ලත් අධිකාරීන්” වනාහි යහපත කරන්නන් පැසසීමටත් නපුර කරන්නන්ට දඬුවම් දීමටත් “දෙවියන්වහන්සේගේ සේවකයා” වූ බවය. මෙහිලා යහපත කුමක්ද හා නපුර කුමක්ද යනවග දෙවියන්වහන්සේ මිස, එම බලය ලත් අධිකාරීන් නිශ්චය නොකරන බව එහි පද සම්බන්ධය පෙන්වයි. එසේ හෙයින්, රෝම අධිරාජයා හෝ වෙනත් යම් දේශපාලන අධිකාරයක් දෙවියන්වහන්සේ තහනම් කළ දේවල් ඉල්ලා සිටියේ හෝ, අනික් අතට, දෙවියන්වහන්සේ ඉල්ලා සිටි දේවල් තහනම් කළේ නම්, ඔහු තවදුරටත් ක්‍රියා කළේ දෙවියන්වහන්සේගේ සේවකයා හැටියට නොවේය. යේසුස්වහන්සේ පැවසුවේ “කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දීපල්ලා” යනුවෙනි. (මතෙව් 22:21) රෝම රාජ්‍යය, නමස්කාරය හෝ පුද්ගලයෙකුගේ ජීවිතය වැනි, දෙවියන්වහන්සේට අයත් දේවල් ඉල්ලා සිටියේ නම්, සැබෑ ක්‍රිස්තියානින් අනුගමනය කළේ “මනුෂ්‍යයන්ට වඩා [පාලකයා වශයෙන්, NW] දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය” යන ප්‍රේරිතමය උපදේශයයි.—ක්‍රියා 5:29.
8 අධිරාජයාව නමස්කාර කිරීමට හා රූප නමස්කාරයේ නියැලීමට, තමන්ගේ ක්‍රිස්තියානි රැස්වීම් අත්හැර දැමීමට, එමෙන්ම ශුභාරංචිය දේශනා කිරීම නවතා දැමීමට මුල් ක්‍රිස්තියානින් ප්‍රතික්ෂේප කිරීම නිසා පීඩා පැමිණුණි. නීරෝ අධිරාජයාගේ නියෝගය පරිදි ප්‍රේරිත පාවුල්ව ඝාතනය කරනු ලැබූ බව සාමාන්‍යයෙන් විශ්වාස කරනු ලැබේ. ඩොමිටියන්, මාර්කස් ඕරේලියස්, සෙප්ටිමියස් සෙවෙරුස්, ඩෙසියස් හා ඩයොක්ලීෂන් වැනි, වෙනත් අධිරාජවරුද මුල් ක්‍රිස්තියානින්ට පීඩා සිදු කළහ. මෙම අධිරාජවරුන් හා ඔවුන් යටතේ සිටි අධිකාරීන් ක්‍රිස්තියානින්ට පීඩා සිදු කළ විට, ඔවුන් නිසැකවම ක්‍රියා කරමින් සිටියේ “දෙවියන්වහන්සේගේ සේවකයා” හැටියට නොවේය.
9. (අ) දේශපාලන බලය ලත් අධිකාරීන් සම්බන්ධයෙන් කුමක් සත්යව පවතීද, එමෙන්ම දේශපාලන මෘගයා බලය හා අධිකාරය ලබන්නේ කවරෙකුගෙන්ද? (ආ) බලය ලත් අධිකාරීන්ට ක්‍රිස්තියානින්ගේ යටත්වීම පිළිබඳව තර්කානුකුලව කුමක් පැවසිය හැකිද?
9 මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ දේශපාලන බලය ලත් අධිකාරීන් ඇතැම් ආකාරයන්ගෙන් ක්‍රමවත් මනුෂ්‍ය සමාජයක් පවත්වා ගැනීමට “දෙවියන්වහන්සේගේ විධිවිධානය” හැටියට ක්‍රියා කළත්, ඔවුන් තවදුරටත් සාතන් දෙවියාව සිටින ලෞකික දේවල පිළිවෙළේ කොටසක්ව සිටින බවය. (1 යොහන් 5:19) ඔවුන් අයත් වන්නේ එළිදරව් 13:1, 2හි “[වන]මෘගයා” මගින් සංකේතවත් කර ඇති ලෝක ව්‍යාප්ත දේශපාලන සංවිධානයටය. එම මෘගයා සිය බලය හා අධිකාරය “මහ සර්පයා [මකරා, NW],” එනම් සාතන් නම් යක්ෂයාගෙනි. (එළිදරව් 12:9) එබැවින්, තර්කානුකුලව, එවන් අධිකාරයන්ට ක්‍රිස්තියානින්ගේ යටත්වීම සාපේක්ෂිත එකක් වන අතර පූර්ණ එකක් නොවේ.—දානියෙල් 3:16-18 සසඳන්න.
අධිකාරයට නිසි ගෞරවය
10, 11. (අ)අධිකාරය දරන අයට අප ගෞරවය පෙන්විය යුතු බව පාවුල් පෙන්වූයේ කෙසේද? (ආ) “රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන්” වෙනුවෙන් යාච්ඤා කළ හැක්කේ කෙසේද, තවද මන්ද?
10 කෙසේවෙතත්, ක්‍රිස්තියානින් දේශපාලන බලය ලත් අධිකාරීන් කෙරෙහි මුරණ්ඩු, විරෝධී ආකල්පයක් ඇති කර ගත යුතු බව මෙය අදහස් කරන්නේ නැත. මොවුන්ගෙන් බොහෝ දෙනෙකු සිය පෞද්ගලික නැතහොත් සිය ප්‍රසිද්ධ ජීවිතයේ පවා ගෞරවයට නිශ්චිතාකාරයෙන් නුසුදුසු තත්ත්වයක සිටින බව සැබෑවකි. එහෙත්, ප්‍රේරිතයන්, සිය ආදර්ශයෙන් හා සිය උපදෙස්වලින් පෙන්වූයේ අධිකාරය දරන අය ගෞරවයෙන් සැලකිය යුතු බවයි. පාවුල් ව්‍යභිචාරික IIවන හෙරොද් අග්‍රිපා රජ හමුවේ පෙනී සිටි විට, ඔහු ඔහුට කථා කළේ සුදුසු ගෞරවයෙන් යුක්තවය.—ක්‍රියා 26:2, 3, 25.
11 විශේෂයෙන්ම අපගේ ජීවිතවලට හා ක්‍රිස්තියානි ක්‍රියාවන්ට බලපාන තීරණ ලෞකික අධිකාරීන් විසින් ගනු ලබන අවස්ථාවන්හිදී, ඔවුන්ව අපගේ යාච්ඤාවන්හි පවා සඳහන් කිරීම උචිත බව පාවුල් සඳහන් කළේය. ඔහු ලිව්වේ මෙසේය: “ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව, සියලු [ආකාර, NW] මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදහත්කම්ද ස්තුතිදීම්ද පවත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාදකරමි. මෙය සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණෙනවාට කැමතිවූ, අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව ප්‍රසන්නව තිබේ.” (1 තිමෝති 2:1-4) එවන් අධිකාරීන් කෙරෙහි අපගේ ගෞරවනීය ආකල්පය “සියලු [ආකාර, NW] මනුෂ්‍යයන්” ගැළවීමට වෑයම් දරන අපගේ සේවය වඩාත් නිදහස්ව කරගෙන යෑමට ඔවුන් විසින් ඉඩ හැරීමට මඟ පෙන්විය හැක.
12, 13. (අ) අධිකාරය පිළිබඳ පේතෘස් ඉදිරිපත් කළේ කිනම් සමබර උපදේශයද? (ආ) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට එරෙහිව අගතිසහගත හැඟීම් ඇති කරන “අනුවණ මනුෂ්‍යයන්ගේ අඥානකම” අප විසින් නිෂ්ඵල බවට පත් කළ හැක්කේ කෙසේද?
12 ප්‍රේරිත පේතෘස් ලිව්වේ මෙසේය: “උත්තමයාව සිටින රජුට වේවා, නපුර කරන්නන්ට දඬුවම පිණිසත් යහපත කරන්නන්ට ප්‍රශංසාව පිණිසත් රජු විසින් එවනලද්දාවූ ආණ්ඩුකාරයන්ට වේවා, සියලු මනුෂ්‍ය නියෝගවලට ස්වාමීන්වහන්සේ නිසා යටත්වෙයල්ලා. මක්නිසාද මෙසේ නුඹලා යහපත කිරීමෙන් අනුවණ මනුෂ්‍යයන්ගේ අඥානකම නිශ්ශබ්දකිරීම දෙවියන්වහන්සේගේ කැමැත්තය. එසේය, නුඹලා නිදහස් අය නුමුත්, ඒ නිදහස නපුරට වැස්මක් කොට නොව දෙවියන්වහන්සේගේ දාසයන් මෙන් ව්යවහාරකරපල්ලා. සියල්ලන්ටම ගෞරවකරපල්ලා. සහෝදර සමාගමට ප්‍රේමකරපල්ලා. දෙවියන්වහන්සේට භයවෙයල්ලා. රජ්ජුරුවන්ට ගෞරවකරපල්ලා.” (1 පේතෘස් 2:13-17) මොනතරම් සමබර උපදේශයක්ද! දෙවියන්වහන්සේගේ දාසයන් හැටියට උන්වහන්සේට සම්පූර්ණයෙන් යටත්වීමට අප බැඳී සිටින අතර නපුර කරන්නන්ට දඬුවම පිණිස එවන ලද්දාවූ දේශපාලන අධිකාරීන්ට අපි සාපේක්ෂිත හා ගෞරවනීය යටත්වීමක් දෙන්නෙමු.
13 ලෞකික අධිකාරීන් බොහෝ දෙනෙකු තුළ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පිළිබඳව අමුතු ආකාරයේ වැරදි වැටහීම් තිබෙන බව සොයාගෙන ඇත. සාමාන්‍යයෙන් මෙයට හේතුව දෙවියන්වහන්සේගේ ජනයාගේ ද්වේෂසහගත සතුරන් විසින් ඔවුන්ට වැරදි තොරතුරු සැපයීමය. එසේත් නැතහොත් එයට හේතු වන්නට ඇත්තේ ඔවුන් අප ගැන දන්නා සියල්ල, නිතර අපක්ෂපාතිව තොරතුරු නොදක්වන ජන සන්නිවේදන මාධ්‍යයෙන් ඉගෙනගෙන තිබීම වන්නට පුළුවන. ඇතැම් අවස්ථාවන්හි අපගේ ගෞරවනීය ආකල්පයෙන් මෙන්ම, හැකියාව ඇති විට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු හා විශ්වාසයන් පිළිබඳව නිවැරදි චිත්‍රයක් අධිකාරීන්ට ලබා දීමෙන් අපට මෙම අගතිසහගත හැඟීම බිඳ හෙළන්නට පුළුවන. කාර්ය බහුල නිලධාරීන් සඳහා ජෙහෝවා’ස් විට්නසස් ඉන් ද ට්වෙන්ටියත් සෙන්චරි නම් විවරණිකාව සංක්ෂිප්ත පැහැදිලි කිරීමක් ලබා දෙයි. පූර්ණ තොරතුරු ලබා ගැනීමට නම්, ප්‍රාදේශීය හා ජාතික මහජන පුස්තකාලවල පොත් රාක්ක මත තිබීමට වටිනා කදිම මෙවලමක් වන ජෙහෝවා’ස් විට්නසස්—ප්රොක්ලෙයිමර්ස් ඔෆ් ගෝඩ්’ස් කිඩම් නම් පොත ඔවුන්ට ලබා දෙන්නට පුළුවන.
ක්‍රිස්තියානි නිවෙස් තුළ අධිකාරය
14, 15. (අ) ක්‍රිස්තියානි නිවස තුළ අධිකාරය සඳහා තිබෙන පදනම කුමක්ද? (ආ) සිය පුරුෂයන් කෙරෙහි ක්‍රිස්තියානි භාර්යාවන්ගේ ආකල්පය කුමක් විය යුතුද, එමෙන්ම ඒ මක්නිසාද?
14 ලෞකික අධිකාරීන් වෙත යුතු ගෞරවය පෙන්වන හැටියට ක්රිස්තියානින්ගෙන් දෙවියන්වහන්සේ ඉල්ලා සිටිනසේක් නම්, ඔවුන් ඒ හා සමානව ක්‍රිස්තියානි නිවස තුළ දෙවියන්වහන්සේ විසින් පිහිටුවන ලද අධිකාරී ව්‍යූහයට ගෞරව කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. යෙහෝවඃවහන්සේගේ ජනයා අතර වලංගුව පවතින මූලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තිය ප්‍රේරිත පාවුල් ලුහුඬින් විස්තර කළේය. ඔහු ලිව්වේ, “එක එක පුරුෂයාගේ හිස ක්‍රිස්තුස්වහන්සේ බවද, ස්ත්‍රියගේ හිස පුරුෂයා බවද, ක්‍රිස්තුස්වහන්සේගේ හිස දෙවියන්වහන්සේ බවද නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි” යනුවෙනි. (1 කොරින්ති 11:3) මෙය දිව්යතන්ත්රයේ නැතහොත් දේව-පාලනයේ ප්රතිපත්තියයි. එයට අයත් වන්නේ කුමක්ද?
15 දිව්යාණ්ඩුවට ගෞරවය කිරීම ඇරඹෙන්නේ නිවසේ සිටය. සිය පුරුෂයාගේ—ඔහු සෙසු ඇදහිලිවන්තයෙකුව සිටියත් නැතත්—අධිකාරයට යුතු ගෞරවය නොපෙන්වන ක්‍රිස්තියානි භාර්යාවක, දිව්‍යාණ්ඩුමය නොවේ. පාවුල් ක්‍රිස්තියානින්ට දුන් උපදේශය මෙයයි: “ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි භය ඇතුව එකිනෙකාට යටත්වෙයල්ලා. භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටියි. උන්වහන්සේ වනාහි ශරීරයේ ගැළවුම්කාරයාය. එබැවින් සභාව ක්‍රිස්තුස්වහන්සේට යටත්වෙන්නාක්මෙන් භාර්යාවෝද සියලු දේවලදී තමුන්ගේ පුරුෂයන්ට යටත්වෙත්වා.” (එපීස 5:21-24) ක්‍රිස්තියානි පුරුෂයන් ක්‍රිස්තුස්වහන්සේගේ මූලිකත්වයට යටත් විය යුතු විලසින්ම, ක්‍රිස්තියානි කාන්තාවන් දෙවියන්වහන්සේ විසින් දෙන ලද සිය ස්වාමිපුරුෂයන්ගේ අධිකාරයට යටත්වීමේ නැණවත්කම පිළිගත යුතුය. මෙය ඔවුන්ට මහත් අභ්‍යන්තර තෘප්තියක් මෙන්ම, ඊටත් වඩා වැදගත්ව, යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද ගෙනෙනු ඇත.
16, 17. (අ) ක්‍රිස්තියානි නිවාසවල ඇතිදැඩි කරනු ලබන දරුවන් අද දවසේ බොහෝ යෞවනයන්ගෙන් තමන් වෙනස් බව කැපී පෙනෙන්නට සැලැස්විය හැක්කේ කෙසේද, එමෙන්ම ඔවුන්ට තිබෙන්නේ කිනම් පෙලඹීමක්ද? (ආ) යේසුස්වහන්සේ අද දවසේ සිටින යෞවනයන්ට කදිම ආදර්ශයක් වූයේ කෙසේද, එමෙන්ම කුමක් කිරීමට ඔවුන්ට දිරිගන්වනු ලැබේද?
16 දිව්‍යාණ්ඩුමය විධිවිධානය යටතේ සිටින දරුවෝ සිය මව්පියන්ට යුතු ගෞරවය පෙන්වන්නට සතුටු වෙති. අන්තිම දවස්වල සිටින බාල පරම්පරාව සම්බන්ධයෙන්, ඔවුන් “මව්පියන්ට අකීකරුවන්නෝව” සිටිනු ඇතැයි පුරෝකථනය කර තිබුණි. (2 තිමෝති 3:1, 2) එහෙත් ක්‍රිස්තියානි දරුවන්ට දේවානුභාවය ලත් වචනය පවසනුයේ “දරුවෙනි, සියලු කාරණාවලදී මවුපියන්ට කීකරුවෙයල්ලා, මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේට ප්‍රසන්නය” යනුවෙනි. (කොලොස්සි 3:20) මව්පිය අධිකාරයට ගෞරව කිරීම යෙහෝවඃවහන්සේට ප්‍රසන්න වන අතර උන්වහන්සේගේ ආශීර්වාදය ගෙනෙන්නේය.
17 යේසුස්වහන්සේ සම්බන්ධයෙන් මෙය පැහැදිලි වේ. ලූක්ගේ වාර්තාව පවසන්නේ මෙසේය: “උන්වහන්සේ ඔවුන් [සිය දෙමව්පියන්] සමඟ ගොස් නාසරෙත්ට පැමිණ, ඔවුන්ට යටත්ව සිටිසේක. . . . යේසුස්වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද වැඩුණුසේක.” (ලූක් 2:51, 52) ඒ අවස්ථාවේදී යේසුස්වහන්සේ අවුරුදු 12ක් වයස්ව සිටි අතර, මෙහිදී භාවිත කරන ලද ග්‍රීක් ක්‍රියා පදය අවධාරණය කරනුයේ උන්වහන්සේ සිය මව්පියන්ට “දිගටම යටත්ව” සිටි බවය. එසේ උන්වහන්සේගේ යටත්කම උන්වහන්සේ නවයොවුන් වියට පා තැබීමත් සමඟ අවසන් වූයේ නැත. යෞවනයන් වන ඔබට ආත්මික වශයෙන් වර්ධනය වන්නටත්, යෙහෝවඃවහන්සේගේ හා දේව භයැති පුරුෂයන්ගේ අනුග්‍රහය ලබන්නටත් ඕනෑ නම්, ඔබ ඔබගේ නිවස තුළ හා ඉන් පිටත අධිකාරයට ගෞරවය පෙන්විය යුතුය.
සභාව තුළ අධිකාරය
18. ක්‍රිස්තියානි සභාවේ හිස කවරෙක්ද, එමෙන්ම උන්වහන්සේ අධිකාරය පවරා ඇත්තේ කාටද?
18 ක්‍රිස්තියානි සභාව තුළ ක්රමවත්භාවයේ අවශ්‍යතාව ගැන කථා කරමින් පාවුල් ලිව්වේ “දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය . . . සියල්ල ඔබිනාලෙසද පිළිවෙළින්ද [නැතහොත් “ක්‍රමානුකුලව,” NW පාදසටහන] කරනු ලැබේවා” යනුවෙනි. (1 කොරින්ති 14:33, 40) සියල්ල ක්රමානුකූල ආකාරයකට සිදුවනු පිණිස, ක්‍රිස්තියානි සභාවේ හිස වන, ක්‍රිස්තුස්වහන්සේ, විශ්වාසනීය පුරුෂයන්හට අධිකාරය පවරා ඇත. අපට මෙසේ කියවන්නට පුළුවන: “උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවක්තෘවරුන්ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද [එඬේරුන්ද, NW] සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක. එසේ දුන්නේ . . . ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණවීම සඳහා සේවයකිරීමේ වැඩය . . . පිණිසත්ය. තවද අපි . . . ප්‍රේමයෙන් යුක්තව ඇත්ත කථාකරමින්, හිසව සිටින ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සියලු දේවලදී වැඩෙ[මු].”—එපීස 4:11-13, 15.
19. (අ) පොළොවේ තමන් සන්තක සියල්ල කෙරෙහි ක්‍රිස්තුස්වහන්සේ පත්කර ඇත්තේ කාවද, එමෙන්ම උන්වහන්සේ විශේෂ අධිකාරයක් පවරා ඇත්තේ කාටද? (ආ) ක්‍රිස්තියානි සභාව තුළ කුමන ආකාරයේ අධිකාරය පැවරීමක් සිදුවේද, එමෙන්ම මෙය අපගේ පැත්තෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද?
19 මෙම අන්තිම කාලයේ, ක්‍රිස්තුස්වහන්සේ “තමා සන්තක සියල්ල,” නොහොත් පොළොව මත රාජ්‍යය පිළිබඳ කාරණා කෙරෙහි සාමුහික “විශ්වාසවූ නුවණ ඇති දාසයා” පත්කර ඇත. (මතෙව් 24:45-47) පළමු ශතවර්ෂයේ මෙන්, මෙම දාසයා නියෝජනය වන්නේ, තීරණ ගැනීමටත් වෙනත් අවේක්ෂකයන් පත් කිරීමටත් ක්‍රිස්තුස්වහන්සේ විසින් අධිකාරය පවරන ලද, ආලේප ලත් ක්‍රිස්තියානි පුරුෂයන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් මගිනි. (ක්‍රියා 6:2, 3; 15:2) පිළිවෙළින්, එම පාලක මණ්ඩලය ශාඛා කමිටු, දිස්ත්‍රික් හා චාරිකා අවේක්ෂකයන් මෙන්ම, පොළොව පුරා ඇති 73,000කට වැඩි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සෑම සභාවකම සිටින වැඩිමහල්ලන්ට අධිකාරය පවරයි. කැපවූ මෙම ක්‍රිස්තියානි පුරුෂයන් සියල්ලන්ම සිටින්නේ අපගේ අනුග්‍රහය හා ගෞරවය ලැබීමට යෝග්‍ය තත්ත්වයකය.—1 තිමෝති 5:17.
20. අධිකාරය දරන සෙසු ක්‍රිස්තියානින් සඳහා ගෞරවය නොපෙන්වන්නන් සමඟ යෙහෝවඃවහන්සේ අසතුටෙන් සිටින බව පෙන්වන්නේ කුමන උදාහරණයද?
20 අප ලෞකික අධිකාරීන්ට පෙන්විය යුතු යටත්කම සමඟ, ක්‍රිස්තියානි සභාව තුළ අධිකාරය දරන අයට අප දිය යුතු ගෞරවය සම්බන්ධයෙන් සිත් ගන්නා සැසඳීමක් කළ හැකිය. පුද්ගලයෙකු දෙවියන්වහන්සේ අනුමත කරන මනුෂ්‍ය නීතියක් කඩ කරන විට, ‘ආණ්ඩුකාරයන්’ විසින් නියම කරනු ලබන දඬුවම, ඇත්තවශයෙන්ම, “නපුර කරන්නා කෙරෙහි” දෙවියන්වහන්සේගේ උදහසේ අනියම් ප්‍රකාශයක් වන්නේය. (රෝම 13:3, 4) පුද්ගලයෙකු මනුෂ්‍ය නීති කඩ කරමින් ලෞකික අධිකාරීන් සඳහා යුතු ගෞරවය නොපෙන්වන විට යෙහෝවඃවහන්සේ කෝප වනසේක් නම්, කැපවූ ක්‍රිස්තියානියෙකු බයිබල් ප්‍රතිපත්ති සුළුකොට සලකමින් අධිකාරය දරන සෙසු ක්‍රිස්තියානින් සඳහා අගෞරවය පෙන්වන විට උන්වහන්සේ ඊටත් වැඩියෙන් කොතරම් අසතුටු වනු ඇද්ද!
21. අනුගමනය කරන්නට අප සතුටින් සිටින්නේ කිනම් ශුද්ධලියවිලිමය උපදේශයද, එමෙන්ම මීළඟ ලිපියේ කුමක් සැලකිල්ලට භාජන වනු ඇද්ද?
21 කැරලිකාර හෝ ස්වාධීන ආකල්පයක් ඇතිකර ගැනීමෙන් දෙවියන්වහන්සේගේ අසතුටට අසුවෙනවා වෙනුවට, අප අනුගමනය කළ යුත්තේ පිලිප්පියේ ක්‍රිස්තියානින්ට දුන් පාවුල්ගේ මෙම උපදේශයයි: “එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, නුඹලා නිතරම කීකරුව සිටියාක්මෙන්ම, මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව, භයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ටකරගනිල්ලා; මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමතිවෙන්ටත් වැඩ කරන්ටත් නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය. වංකවූ හිතුවක්කාරවූ පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව, අහිංසකව, දෙවියන්වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස, කෙඳිරීම්ද විවාදද නැතුව සියල්ල කරපල්ලා. ඔවුන් අතරේ නුඹලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් ලෝකයෙහි දක්නා ලබන්නහුය.” (පිලිප්පි 2:12-15) අධිකාරය පිළිබඳව අර්බුදකාරි තත්ත්වයක් තමන් කෙරෙහි පමුණුවාගෙන සිටින වර්තමාන වංකවූ හිතුවක්කාරවූ පරම්පරාව මෙන් නොව යෙහෝවඃවහන්සේගේ ජනයා කැමැත්තෙන්ම අධිකාරයට යටත් වෙති. අප මීළඟ ලිපියේ දකිනු ඇති ලෙසින්, ඔවුහු එසේ කිරීමෙන් මහත් ප්‍රයෝජන නෙළා ගනිත්.
[පාදසටහන්වල]
a කලින් ලිපිය බලන්න.
පුනරීක්ෂණයක් හැටියට
◻ අතිශ්‍රේෂ්ඨ අධිකාරීන්වහන්සේ කවරෙක්ද, එමෙන්ම උන්වහන්සේගේ අධිකාරය නීත්‍යානුකූල වන්නේ මන්ද?
◻ බලය ලත් අධිකාරීන් “සිය සාපේක්ෂිත ස්ථානවල සිටීමට තබන ලද්දේ දෙවියන්වහන්සේ විසින්” බව කීමෙන් කුමක් අදහස් කරයිද?
◻ බලය ලත් අධිකාරීන් “දෙවියන්වහන්සේගේ සේවකයන්” වීමෙන් නවතින්නේ කිනම් අවස්ථාවේදීද?
◻ ක්‍රිස්තියානි පවුල් තුළ පවතින්නේ අධිකාරය පිළිබඳ කිනම් ව්‍යූහයද?
◻ ක්‍රිස්තියානි සභාව තුළ කොයි ආකාරයේ අධිකාරය පැවරීමක් සිදුවේද?
[18වන පිටුවේ පින්තූර]
යේසුස්වහන්සේ පැවසුවේ “කායිසර්ගේ දේ කායිසර්ට . . . දීපල්ලා” යනුවෙනි