දිළිඳු ව සිටීමේ සදාචාරමය අභියෝගයට මුහුණ දිය යුතු ආකාරය
“මිනිසුන් දිළිඳු වී සිටින්නේ ඔවුන් කම්මැලි නිසා ය,” යනුවෙන් එක් අප්‍රිකානු ජාතික වෛද්‍යවරයෙක් කියා සිටියේ ය. “නගරය අලසයන්ගෙන් පිරී තිබෙනවා. ඇත්තට ම ඔවුන්ට වැඩක් කරන්නට උවමනා වේ නම්, ඔවුන්ට එය සොයාගන්නට පුළුවන්. කිසිවෙකුට අද දින දිළිඳු ව සිටීමට අවශ්‍ය නැහැ.”
සමහර මිනිසුන් අලසවන බවත්, අලසකම දිළිඳු කමට තුඩු දෙන බවටත් ප්‍රශ්නයක් නැත. බයිබලය පවසන්නේ: “තව ටිකක් නිදාගැනීමක්ය; ටිකක් සැතපීමක්ය; නින්දට ස්වල්ප අත්පොරවා ගැන්මක් යයි කියන නුඹට දිළිඳුකම සොරෙකු මෙන් ද හිඟකම අවිගත් සොරෙකු මෙන් ද එනවා ඇත.” (හිතෝපදේශ 24:33, 34) කෙසේ වෙතත්, බොහෝ දිළිඳු අය අලසයන් නොවේ. උදාහරණයක් වශයෙන්, මෙසේ ලියූ මනුෂ්‍යයා ගැන සලකා බලන්න. “මේ මොහොත දක්වා ම අපි කුසගින්නෙන් හා පිපාසයෙන් හා පෙළෙමු. වැරහැලි අඳිමු; පහර ලබමු; ගෙයක් දොරක් අපට නැත.” (1කොරින්ති 4:11 පො. න. අ.) මේ සුවකළ නොහැකි අලසයෙක් ද? කොහෙත් ම නැත. මෙම වචන ලියන ලද්දේ ප්‍රේරිත පාවුල් විසිනි. ක්‍රිස්තියානි දේව සේවය වඩාත් හොඳින් කරගෙන යාමට හැකි වන පිණිස, සීමිත ආර්ථිකමය වත්පොහොසත්කම් සහිත ජීවිතයක් ඔහු තෝරා ගත්තේ ය. ඔහුට සමහරක් දේවල් අහිමි වූයේ ද, ආගමික පීඩා වැනි ඔහුගේ පාලනයට ඔබ්බෙන් තිබුණා වූ තත්ත්වයන් හේතුවෙනි.
අද දින, ලොවේ බොහොමයක් දිළිඳු අය ඔවුන්ගේ පාලනයට ඔබ්බේන් පවතින තත්ත්වයන්ට ගොදුරු වී ඇත—සමහර විට අධ්‍යාපනයේ මඳකම, පිරිහීමට ලක්වන දේශීය ආර්ථිකයන් හෝ දේශපාලනමය නොසන්සුන්තාව වැනි තත්ත්වයන් හෝ හේතුකොටගෙන ය. දවසේ වියදම යන්තම් පිරිමසා ගැනීම පිණිස බොහෝ දෙනා උදෑසන සිට රාත්‍රිය දක්වා වෙහෙස මහන්සි වී වැඩ කරති. මේ නිසාවෙන් වංක මාර්ග තුළින් ආර්ථිකමය වාසි ලබා ගැනීමට පෑදෙන අවස්ථාවල් ආකර්ෂණීය ලෙස, අවශ්‍ය ම දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන. ඇයි, ඉඳ හිට සදාචාරමය ගිලිහී යාමක් බයිබලයේ අනුමත කෙරෙන බවට පවා සමහරු තර්ක කරන්නට පුළුවන! කෙසේ වෙතත්, එය මෙසේ පවසනවා නොවේ ද: “සොරෙකු සිය සාගින්න සන්සිඳුවාගැනීමට සොරකමේ යෙදුනත් මිනිස්සු ඔහුට නිග්‍රහ නොකරති.” යනුවෙනි. එමෙන් ම එක් ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් යාච්ඤා කළේ: ‘මා දිළිඳුකමට වැටී ඇත්තටම සොරකම් නොකෙරේවා.’—හිතෝපදේශ 6:30; 30:8, 9, NW.
අවංකකම පිළිබඳ බයිබලයේ ආකල්පය
මෙම බයිබල් පද ඇත්තෙන් ම වංකභාවයට වක්‍ර අන්දමින් අනුමැතියක් දෙනවා ද? හොඳයි, අපි ඒවා එහි සම්බන්ධය සමඟ පරික්ෂා කර බලමු. කුසගිනි නිවා ගැනීම පිණිස සොරකම් කළ සොරෙක් ව මිනිසුන් විසින් නිග්‍රහයට ලක් නොකරන බව පිළිගැනීමෙන් පසු, හිතෝපදේශ 6:31හි (පො. න. අ.) මෙසේ පවසයි: “ඔහු අසුවුණොත් සත් ගුණයක් වන්දි ගෙවීමට සිදුවෙයි; සිය නිවසෙහි මුළු වත්කම ද දෙන්නට වෙයි.” වෙනත් වචනවලින් පවසතොත්, ඔහු අසු වූ විට, ඔහුට නීතියෙන් පනවන මුළු දඬුවම විඳින්නට සිදුවෙයි. ඔහුගේ අපරාධයට ඔහුට වන්දි ගෙවන්නට සිදුවෙයි! එබැවින්, සොරකමට දිරිදෙනවාට වඩා, මෙම වචන, දිළිඳු අයට අනතුරු අඟවන්නේ, සොරකම් කිරීම, තවත් ආර්ථිකමය අහිමිවීම්වලටත්, තමන්ට සහ පවුලේ අයට නින්දා පැමිණවීමටත්, ආත්ම-ගෞරවය අහිමි වී යාමටත් හේතුවන බවයි.
නමුත් ප්‍රඥාවන්ත මනුෂ්‍යයාගේ යාච්ඤාව ගැන කුමක් කිව හැකි ද? තමා “දිළිඳෙකු වී සොරකමට වැටී [තමාගේ] දෙවියන් වහන්සේගේ නාමයට අගෞරව නොකිරීම”ට ඔහු අයැද සිටියේ ය. (හිතෝපදේශ 30:9) එසේ ය, යෙහෝවඃ වහන්සේට සේවය කරනවා යැයි කියා සිටින පුද්ගලයෙකුගේ වංකභාවයක්, දෙවියන් වහන්සේගේ නාමයටත්, උන් වහන්සේගේ සෙනඟගේ සභාවටත් නින්දාවක් ගෙන ආ හැක. ප්‍රේරිත පාවුල් ලීවේ: “සොරකම් නොකළ යුතුයැයි දේශනාකරන්නාවූ නුඹ සොරකම් කරනවා ද?” ක්‍රිස්තියානි යැයි කියාගන්නා වූ සමහරෙක් ඇත්තට ම සොරකම් කළේ නම්, මෙය, ‘අන්‍යජාතින් අතරෙහි දෙවියන් වහන්සේගේ නාමය අපහසකරනු ලැබීමට’ හේතුවෙයි.—රෝම 2:21, 24.
එසේ නම්, “වංක මාර්ග ඇත්තාවූ වස්තුකාරයෙකුට වඩා, තමාගේ ඇදනැතිකමින් හැසිරෙන දිළින්දා හොඳ” බව බයිබලය පවසන්නේ හොඳ හේතු ඇතිවයි. (හිතෝපදේශ 28: 6) යම් අවස්ථාවල ආහාරපාන ආදි සැපයුම් තමාට ම හිඟ ව තිබුණත්, ප්‍රේරිත පාවුල් කිසිවිටෙකත් වංකභාවයට ඉඩදුන්නේ හෝ එහි පිහිට පතන්නට ගියේ හෝ නැත. ඒ වෙනුවට ඔහු ලීවේ: “සොරකම් කළ අය තවත් සොරකම් නොකරත්වා, ඒ වෙනුවට දුගීන්ට උපකාර කළ හැකි වන සේ වෙහෙස මහන්සි දරා අවංක ව වැඩ කරත්වා.”—එපීස 4:28 පො. න. අ.
විසඳුම: දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබීම
වෙහෙස මහන්සි වී වැඩ කරන නමුත් තම පවුල රක්ෂා කිරීමට තරම් මුදලක් උපයා ගැනීමට නොහැකි අය ගැන කුමක් කිව හැකි ද? විශේෂයෙන් පවුලේ යමෙකුට අසනීපයක් වැළඳෙයි නම් හෝ වෙනත් හදිසිතාවයක් පැන නගී නම්, ඔවුන්ගේ තත්ත්වයන්ට අනුව වංකකම හෝ සොරකම් කිරීම යුක්තිසහගත ද? සමහරු එය හරි යයි සිතති. එක් අප්‍රිකානු රටක වැසියෙක් මෙසේ පැවසී ය: “ඔබ අවංක පුද්ගලයෙක් නම්, ඔබට අපේ රටේ ජීවත් වන්නට නොහැකි වනු ඇත. බේරී ජීවත් වෙන්නට උවමනා නම්, ඔබට ජීවන ගමන් මගේ වංගු කිහිපයක් ගන්නට අවශ්‍ය වේ.”
එහෙත්, අප්‍රිකාව පුරා ට්‍රක් රථවල, බිත්ති පලකවල, ප්‍රදර්ශන දැන්වීම් පත්‍ර සහ රථවාහන වල අලවන ස්ටිකරයන්හි “දෙවියන් වහන්සේ කෙරෙහි තදින් විශ්වාස කරන්න,” යන වචන යමෙකුට බොහෝ විට දැකිය හැකි ය. බයිබලය ම පවසන්නේ: “ඔබගේ මුළු හෘදයෙන් යෙහෝවඃ වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තබන්න.” යනුවෙනි. (හිතෝපදේශ 3:5, NW) වංකකම, එම බයිබල් අනුශාසනාව සමඟ කිසිදා එකඟ නොවෙයි. නමුත්, දිළිඳු ව සිටීමේ සදාචාරමය අභියෝගයට මුහුණ පෑමේ දී, දෙවියන් වහන්සේ කෙරෙහි තද විශ්වාසය තැබීම, සැබවින් ම ප්‍රායෝගික පිළිතුරක් ද?
දෙවියන් වහන්සේගේ සේවකයෙක් වශයෙන් ප්‍රේරිත පාවුල් ‘සාගින්න, පිපාසය, ආහාර, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම් නොමැතිකම’ වැනි අසීරුතාවයන් අත්දිටී ය. (2 කොරින්ති 11:27, පො. න. අ.) තමා මේ දේවල් නොමැති ව ජීවත් වන්නේ කෙසේදැයි ඔහු ස්ථීර වශයෙන් ම කල්පනා කළා විය හැකි ය! නමුත් වසර 25ක පමණ ක්‍රිස්තියානි අත්දැකීමකට පසු ව මෙසේ ලියන්නට ඔහුට හැකි විය: “මම පහත් තත්ත්වයක සිටින්නට ද සමෘද්ධ ව, සිටින්නට ද දනිමි. මා කුමන තත්ත්වයක කොහි සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත්, සාගින්නෙන් සිටින්නටත්, සමෘද්ධ ව සිටින්නටත්, අගහිඟකම් ඇති ව සිටින්නටත් හැකි, රහස උගෙන සිටිමි. මා බලවත් කරන තැනන් වහන්සේ තුළ මට සියලු දේ කළ හැකි ය.” (පිලිප්පි 4:12, 13, පො. න. අ.) එසේ ය, පාවුල් දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසයක් තැබීය.
ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති වනාහී, නිකම් ම කල්පිත අදහස්වලින් යුක්ත වූ, හිස් වචන නොවන බව පාවුල් අවබෝධ කර ගත්තේ ය. එම උපදෙස් පැමිණෙන්නේ, ඒවා අදාළ කර ගැනීමට සොයමින් සිටින්නන්ට උපකාර කිරීමට සහ ආධාර කිරීමට මහත් උනන්දුවෙන් සිටින ජීවමාන දෙවි කෙනෙකුගෙනි. පුරාණ ප්‍රොපේතවරයෙක් මෙසේ පැවසුවේ ය: “මක්නිසාද ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ, NW] කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස උන්වහන්සේගේ බලය පාමින්, උන්වහන්සේගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවන්නේය.”—2 ලේකම් 16:9.
දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබීමෙන් ආශිර්වාද ලැබීම
දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබීමට බොහෝ මිනිසුන්ට මෙතරම් අසීරු වන්නේ මන් ද? මක්නිසාදයත් එසේ කිරීමට ප්‍රමාණවත් හේතු ඔවුන්ගේ ආගම් ඔවුනට නිසැක ව ම දී නොමැති නිසා ය. පල්ලි, දෙවියන් වහන්සේ වනාහී, නමක් රහිත, ස්වරූපයක් නොමැති, පුද්ගලයෙක් නොවන, මිනිස් ඥානාවබෝධයට ඔබ්බෙන් පවතින බවට පෙනෙන්නට සලස්වා තිබේ. නමුත් උන් වහන්සේ වනාහී, යම් ස්වරූපයක් නොමැති බලවේගයක් නොව, නමුත් නාමයක් සහිත පුද්ගලයෙක් බව බයිබලය අධ්‍යයනය මගින් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයෝ දැන සිටිත්. (ගීතාවලිය 83:18; හෙබ්‍රෙව් 9:24) අපගේ දැඩි විශ්වාසය ලැබීමට වටින ගුණාංග උන් වහන්සේ සතු ව පවතින බව ඔව්හු උගෙන සිටිති. උදාහරණයක් වශයෙන්, නික්මයාම 34:6ට (NW) අනුව, “යෙහෝවඃ වහන්සේ වනාහී, අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ, උදහස් වීමට ප්‍රමාද වන්නා වූ, අධිකතර ප්‍රේමාන්විත කරුණාව සහ සැබෑකම ද ඇත්තා වූ දෙවි කෙනෙක් ය.” සාක්ෂිකාරයෝ දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තබන අතර, උන් වහන්සේ ‘සැබෑකමෙන් බහුල බව’ වටහා ගනිති. මිනිස් සමාජයේ බොහොමයකට දැන් පහර දෙන දිළිඳුකමෙන් තොර නව ලොවකට තමන් ව කැඳවා ගෙන යන බවට උන් වහන්සේ දී තිබෙන පොරොන්දුව කෙරෙහි ස්ථීර නිසැකකමක් ඔවුනට තිබේ.—2 පේතෘස් 3:13.
එබැවින් දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබීම ප්‍රායෝගික බව මිලියන ගණනක් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන් ඔප්පුකොට තිබේ. නිදසුනක් වශයෙන්, සියෙරා ලියොන් හි සාක්ෂිකාරියක් වන රොසලීන්, ඈ සහ ඇගේ දරුවන් හය දෙනාට අවශ්‍ය ආහාර සහ ඇඳුම් පැළඳුම් සැපයීම සඳහා උදෑසන පහේ සිට රාත්‍රියේ බොහෝ වේලාවක් ගතවන තෙක් වෙහෙස මහන්සි වී වැඩ කරන්නී ය. ඈ පවසන්නී ය: “අවංක ජීවිතයක් ගත කිරීමට නොහැකි බව බොහෝ අය කියති, නමුත් එය සැබෑ නොවන බව මම දනිමි. සමහර අවස්ථාවල මට ගැටලු තිබෙනවා, නමුත් ඒවා විසඳෙන්නේ කෙසේදැයි මා දන්නේ නැහැ. නමුත් මා අවංක ජීවිතයක් ගත කළහොත් මට කිසි අඩුපාඩුවක් නොතිබෙනු ඇත. එමනිසා යෙහෝවඃ වහන්සේ ව අමනාප නොකිරීමට මම මහත් වෑයමක් දරමි.”
එක් ලේඛකයෙක් මෙසේ පැවසී ය: “කුසට අහරක් නැති දිළිඳෙකුට අවශ්‍ය කරන්නේ පාන්වලට වඩා වැඩි යමකි, . . . එනම් බලාපොරොත්තුවකි.” එසේ ය, අපේක්ෂා භංගත්වය, බලාපොරොත්තු විරහිත බව සහ නිදන්ගත අසන්තෝෂය කුසගින්නට වඩා බොහෝ වේදනාකාරී සන්තාපයන් ය. නමුත් දෙවියන් වහන්සේ ව දැනගෙන උන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තබන අයට බලාපොරොත්තු රහිත බවට යටත් වන්නට අවශ්‍ය නැත. රොසලීන් තව දුරටත් මෙසේ පවසන්නී ය, “මම දැන් වෙහෙස මහන්සි වී වැඩ කරමි, නමුත් මට මෙතරම් අධික මහන්සියෙන් වැඩ කිරීමට සිදුනොවන කාලයක් පැමිණෙන බැවින් මට ප්‍රීතියක් ඇත. මට සහ මගේ පවුලේ අයට ආහාර ලබා ගැනීමට මම දැන් වැඩ කරමි, නමුත් යෙහෝවඃ වහන්සේගේ නව ලෝකය තුළ, ආහාර සඳහා ඕනෑ තරම් තිබෙනු ඇත. එමනිසා මා යෙහෝවඃ වහන්සේව දැන ගැනීමට පෙර නොතිබුණා වූ බලාපොරොත්තුවක් සහ ප්‍රීතියක් මට දැන් ඇත.”—යෙසායා 25:6 සසඳන්න; එළිදරව් 21: 3, 4.
දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තබන අයට, ප්‍රේරිත පාවුල්ට මෙන් තවමත් ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දෙන්නට සිදුවන බව ඇත්ත ය. නමුත් ආර්ථිකමය වශයෙන් බේරී ජීවත් වීම සඳහා දෙවියන් වහන්සේගේ නීති කඩ කිරීමට ඔවුන්ට අවශ්‍ය නැත. ගීතිකාකාර දාවිත් මෙසේ පැවසුවේ ය: “මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි.” (ගීතාවලිය 37:25) එසේ ය, තම ජීවිතවල දෙවියන් වහන්සේගේ කාරණා මුලින් තබන අය ව උන් වහන්සේ සලකන සේක, ඔවුනට ආශිර්වාද කරන සේක.—මතෙව් 6:25-33.
ඉතින් ඔබ දිළිඳු කෙනෙක් නම්, “හරි දේ කිරීම අත් නොහරින්න” (2 තෙසලෝනික 3:13) සදාචාර ප්‍රතිපත්ති අත්හැරීමෙන් පිහිටක් ලබා ගැනීමට කිසිවිටෙකත් උත්සහ කරන්න එපා. දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධතාවයක් ගොඩ නගාගෙන, ජීවිතයේ ගැටලු සහ අසීරුතාවයන්ට මුහුණ දීම පිණිස ඔබට උපකාර කරනු වස් උන් වහන්සේ කෙරෙහි රඳා පවතින්න. යෙහෝවඃ වහන්සේට සේවය කරන හා උන් වහන්සේ කෙරෙහි නිසැක ව ම දැඩි විශ්වාසය තබන අයගෙන් උදක් ම ඉල්ලා සිටින්නේ: “දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී ඔබ උසස් කරනු පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත්වන්න. උන්වහන්සේ ඔබ ගැන සලකන හෙයින්, ඔබගේ හැම කරදරයක්ම උන්වහන්සේට භාරදෙන්න.”—1 පේතෘස් 5:6, 7. w90 11/15
“කුසට අහරක් නැති දිළින්දෙකුට අවශ්‍ය කරන්නේ, පාන්වලට වඩා වැඩි යමකි, . . . එනම් බලාපොරොත්තුවකි.”
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ තම දැඩි විශ්වාසය දෙවියන් වහන්සේ කෙරෙහි තැබීමට ජනයාට උපකාර කරති