යෙහෝවඃ වහන්සේගේ දවසට සූදානම් වන්න!
පළමුවෙනි තෙසලෝනික පොතෙන් මූලික කරුණු
යෙහෝවඃ වහන්සේගේ දවස! පැරණි තෙසලෝනිකයේ විසූ ක්‍රිස්තියානීන් සිතුවේ එය ඉතා ආසන්න ය කියා ය. ඔවුන් හරි වූවා ද? එය පැමිණෙනු ඇත්තේ කවදා ද? එය වනාහි, අපගේ පොදු යුගයේ 50වෙනි අවුරුද්දේ පමණ ප්‍රේරිත පාවුල් විසින් කොරින්තියේ සිට තෙසලෝනිකවරුනට යවන ලද පළමු ලිපියේ සඳහන් වූ වැදගත් කාරණයකි.
පාවුල් සහ සීලස්, රෝම ප්‍රාන්තයක් වූ මකිදෝනියාවේ පරිපාලන කේන්ද්‍රස්ථානය වූ තෙසලෝනිකයේ එහි සභාව පිහිටුවාලූහ. (ක්‍රියා 17:1-4) පසු ව, තෙසලෝනිකවරුනට ලියන ලද පළමු ලිපිය තුළ පාවුල් ඔවුනට ප්‍රශංසා කළේ ය, අවවාද කළේ ය, සහ යෙහෝවඃ වහන්සේගේ දවස පිළිබඳ ව සාකච්ඡා කළේ ය. විශේෂයෙන් ම යෙහෝවඃ වහන්සේගේ දවස ඉතා ළංව ඇති නිසා අපට ද මෙම ලිපියෙන් ප්‍රයෝජන ගත හැක.
ප්‍රශංසා කරන්න සහ දිරිගන්වන්න
පාවුල් පළමුවෙන් ම තෙසලෝනිකවරුනට ප්‍රශංසා කළේ ය. (1:1-10) ඔවුන්ගේ විශ්වාසවන්ත සේවය සහ විඳදරාගැනීම වෙනුවෙන් ඔවුන් ප්‍රශංසා ලැබිය යුතු ව තිබිණ. ඔවුන් “බොහෝ පීඩාවෙන් යුක්ත ව ශුද්ධාත්මයාණන්ගේ වචනය පිළිගැනීම” ද ප්‍රශංසා කටයුතු ව තිබිණ. පාවුල් කළාක් මෙන් ඔබත් අන්‍යයන් හට ප්‍රශංසා කරන්නෙහි ද?
ප්‍රේරිත වරයා කදිම ආදර්ශයක් තබා තිබිණ. (2:1-12) පිලිප්පියේ දී ලැබූ නිග්‍රහාත්මක සැලකිල්ලට එරෙහි ව, ඔහු “මහත් පොරඇල්ලීමක් ඇතු ව තෙසලෝනිකවරුන් හට දෙවියන් වහන්සේගේ ශුභාරංචිය කියා දෙන්ට නිර්භීත වී සිටියේ ය.” චාටු බස් කීම, ගිජුකම, හා කීර්තිය සෙවීමෙන් ඔහු වැළකී සිටියේ ය. පාවුල් අති වියදම් සහිත බරක් නොවී සිටි නමුදු, කිරි මවක් තම දරුවා සමඟ සිටින්නාක් මෙන් ඔවුන් සමඟ මුදු මොළොක් බවෙන් ක්‍රියා කළේ ය. අද දින වැඩිමහල්ලන්ට මොන තරම් කදිම ආදර්ශයක් ද!
පාවුල්ගේ ඊළඟ වචන, පීඩා කරනු ලබන විට ස්ථීර ව සිටීමට තෙසලෝනිකවරුන් ව දිරිගැන්වී ය. (2:13–3:13) ඔවුන් තම රටවැසියන්ගෙන් පැමිණි පීඩා විඳදරා ගෙන තිබූ අතර, ඔවුන්ගේ ආත්මික තත්ත්වය සම්බන්ධයෙන් හොඳ වාර්තාවක් තිමෝති පාවුල් වෙත ගෙනැවිත් තිබුණි. ඔවුන් ප්‍රේමයෙන් බහුල වන ලෙස ද, ඔවුන්ගේ හෘදයන් ස්ථීර වන ලෙසට ද ප්‍රේරිතවරයා යාච්ඤා කළේ ය. මීට සමාන ව ම, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයෝ පීඩා විඳින තම සෙසු ඇදහිලිවන්තයන් වෙනුවෙන් යාච්ඤා කරන අතර, හැකි අයුරින් දිරිගන්වති, සහ ඔවුන්ගේ විශ්වාසවන්තකම පිළිබඳ වාර්තා අසා සන්තෝෂ වෙති.
ආත්මික ව අවදියෙන් සිටින්න
ඊළඟට තෙසලෝනිකවරු උපදෙස් ලැබූහ. (4:1-18) ඔවුන් වඩාත් සහෝදර ප්‍රේමය පිළිබිඹු කරමින්, තම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට තම අත්වලින් වැඩ කරමින්, දෙවියන් වහන්සේට ප්‍රසන්න මාර්ගයක වඩාත් පූර්ණ ලෙස ගමන් කළ යුතු ව තිබිණ. ඊටත් වඩා, ඔවුන් එකිනෙකා ව සනසා ගැනීමට තිබුණේ, මියගොස් සිටියා වූ ආත්මයෙන් ජනිත වූ ඇදහිලිවන්තයන්, යේසුස් වහන්සේගේ පැමිණ සිටීමේ දී, පළමුවෙන් නැවත නැගිටවනු ලැබ උන් වහන්සේ සමඟ එක්සත් වීමට තිබූ බලාපොරොත්තුව සමඟිනි. ඉන් පසු ව, බේරී ජීවත් වන ආලේපලත් අය, තම මරණයේ දී සහ නැවත නැගිටීමේ දී ක්‍රිස්තුස් වහන්සේ සහ ස්වර්ගීක ජීවනයට දැනටමත් නැවත නැගිටුවනු ලැබ තිබෙන අය සමඟ හවුල් වෙති.
පාවුල් ඊළඟට යෙහෝවඃ වහන්සේගේ දවස ගැන සාකච්ඡා කර තව දුරටත් උපදෙස් ඉදිරිපත් කර සිටියේ ය. (5:1-28) යෙහෝවඃ වහන්සේගේ දවස, “සාමය හා අනතුරක් නැත!” යන හඬට පසු ස්ථීර ලෙස ම හදිසි විනාශයත් සමඟ සොරෙකු මෙන් පැමිණෙමින් තිබිණ. එහෙයින් තෙසලෝනිකවරුනට, ප්‍රේමයේ සහ ඇදහිල්ලේ ළය වැස්මෙන් හා ගැලවීමේ බලාපොරොත්තුව නැමැති ආරක්ෂක තොප්පිය මඟින් ආරක්ෂා වී ආත්මික ව අවදි ව සිටීමට තිබිණ. අප, සභාව මෙහෙයවන්නන් ගැන ගැඹුරු සැලකිල්ලක් දැක්විය යුතුවාක් මෙන් ම සහ දුෂ්ටකමින් වැළකී සිටිය යුතුවාක් මෙන් ඔවුන් ද එසේ සිටිය යුතු ව තිබුණි.
පාවුල් තෙසලෝනිකවරුනට ලියන ලද පළමු ලිපිය, සෙසු ඇදහිලිවන්තයන් හට ප්‍රශංසා කිරීමටත් දිරිගැන්වීමටත් අප ව පෙළඹවිය යුතුයි. අපගේ හැසිරීමේ දී සහ ආකල්පවල දී ආදර්ශයක් තැබීමට ද එය අප ව උනන්දු කරයි. එහි තිබෙන උපදෙස් සහතික ලෙස ම යෙහෝවඃ වහන්සේගේ දවසට සූදානම් වීමට අපට උපකාර කරයි. w91 1/15
ළය වැස්ම ආරක්ෂක හිස් වැස්ම: ආත්මික අවදිය ගැන දැඩිසේ උනන්දු කරමින්, පාවුල් ලීවේ: “අපි ඇදහිල්ල සහ ප්‍රේමය නැමති ළයවැස්මත් ගැලවීමේ බලාපොරොත්තුව නැමති ආරක්ෂක තොප්පියත් පැළඳගෙන සිහි ඇතිව සිටිමු.” (1 තෙ සලෝනික 5:8) ළය වැස්මක් වනාහී, පොතු, කුඩා දැම්වැල්, හෝ තද ලෝහවලින් සමන්විත වූ යුද සෙබලෙකු පැළඳ සිටි ළය ආරක්ෂකයකි. එලෙසින් ම ඇදහිල්ල නැමති ළයවැස්ම අපට ආත්මික අන්දමින් ආරක්ෂාව සපයයි. එමෙන් ම පුරාණයේ භාවිතා කරන ලද ආරක්ෂක හිස් වැස්ම පිළිබඳ ව කුමක් කිව හැකි ද? බොහෝ විට ලෝහයෙන් සාදා තිබූ මෙය, යුද්ධයක දී සටන් කරන්නා ව ආරක්ෂා කිරීම සඳහා සැලසුම් කොට තිබූ යුද්ධමය හිස් වැස්මකි. ආරක්ෂක හිස් වැස්ම සටන් කරන්නාගේ හිස ආරක්ෂා කළාක් මෙන්, ඒ හා සමාන ව, ගැලවීමේ බලාපොරොත්තුව, ක්‍රිස්තියානි කාරයෙකුට දිගට ම අඛණ්ඩතාවය පවත්වා ගත හැකි වනු පිණිස ඔහුගේ මානසික බලයන් ආරක්ෂා කරනු ඇත. යෙහෝවඃ වහන්සේගේ සෙනඟ එවැනි ආත්මික යුද්ධායුධ පැළඳ ගැනීම කෙතරම් වැදගත් ද!—එපීස 6:11-17.