ඇදහිල්ලේ ස්ථීර ව පවතින්න!
පළමුවෙනි පේතෘස් පොතෙන් මූලික කරුණු
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයෝ විවිධ පරීක්ෂාවන් නැතහොත් ඔවුන්ගේ ඇදහිල්ලේ පරීක්ෂණයන්ට මුහුණ දෙති. සමහර රටවල, ඔවුන්ගේ රාජ්‍ය දේශනා සේවය කරනු ලබන්නේ මහත් පීඩා මැද ය. දෙවියන් වහන්සේ සමඟ ඔවුන්ගේ ඇති සම්බන්ධතාවය බිඳ හෙලීමට මේවා සහ වෙනත් ප්‍රයත්නයන් පිටුපස සිටින්නේ සාතන් වන යක්ෂයා ය. නමුත් ඔහු සාර්ථක වන්නේ නැත. මක්නිසා ද යෙහෝවඃ වහන්සේ ස්වකීය සේවකයන් ව ශක්තිමත් කර, ඔවුන් ව ඇදහිල්ලේ ස්ථීර ව තබන හෙයිනි.
ප්‍රේරිත පේතෘස් “අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට” පත් වෙමින් සිටි ‘සහෝදරයන් ව ශක්තිමත් කිරීමට’ වරප්‍රසාද ලදි. (ලූක් 22:32; 1 පේතෘස් 1:6, 7) පො.යු 62-64 කාලය තුළ දී බබිලෝනියාවේ සිට ලියන ලද සිය පළමු ලිපිය මගින් ඔහු එසේ කළේ ය. එම ලිපිය තුළ සාතන්ගේ ප්‍රහාරවලට එරෙහි ව නැගී සිටිමින් ‘ඇදහිල්ලේ ස්ථීර ව සිටීමට’ යුදෙව් සහ අන්‍ය ජාතික ක්‍රිස්තියානීන්ට උපකාර කරමින් ඔවුන්ට උපදෙස් දුන්නේ ය, සැනසුවේ ය, සහ දිරිගැන්වී ය. (1 පේතෘස් 1:1, 2; 5:8, 9) දැන් යක්ෂයාගේ කාලය කෙටි වී තිබෙන නිසා ඔහුගේ ප්‍රහාරයන් එතරම් දුෂ්ට ව තිබෙන හෙයින්, පේතෘස්ගේ දේවානුභාවලත් වචනවලින් ස්ථීර ලෙස ම යෙහෝවඃ වහන්සේගේ සෙනඟට ප්‍රයෝජන ලැබිය හැක.
දිව්‍ය ප්‍රතිපත්ති මත පදනම් වූ හැසිරීම
අපගේ බලාපොරොත්තුව ස්වර්ගීක හෝ භූමික හෝ වුවත්, පරීක්ෂාවන් විඳදරාගනිමින් දිව්‍යමය ආකාරයකින් ක්‍රියාකිරීමට එය අපට උපකාරී විය යුතු ය. (1:1–2:12) ස්වර්ගීක උරුමය පිළිබඳ ව ආලේපලත් අයගේ බලාපොරොත්තුව, තම ඇදහිල්ල, ඇත්තට ම පරිශෝධනය කරන පරීක්ෂාවන්ට මුහුණ දීමේ දී සන්තෝෂ වීමට හේතුකරවයි. ක්‍රිස්තුස් වහන්සේ නැමති අත්තිවාරම මත ගොඩනගා තිබෙන ආත්මික ගෘහයයක් මෙන් දෙවියන් වහන්සේ පිළිගන්නා වූ ආත්මික පූජා ඔවුහු ඔප්පු කරන අතර, උන් වහන්සේට ගෞරවය ලැබෙන ආකාරයෙන් තමන් ව ම හසුරුවති.
සෙසු මනුෂ්‍යයන් සමඟ අපගේ කටයුතු දිව්‍යමය ප්‍රතිපත්ති මගින් පාලනය විය යුතු ය. (2:13–3:12) අප මිනිස් පාලකයන්ට යටත් ව සිටිය යුතු බව පේතෘස් පෙන්වී ය. ගෘහ සේවකයන් තම ස්වාමීවරුනට යටත් ව සිටිය යුතු අතර, භාර්යාවන් තම ස්වාමි පුරුෂයන් හට යටත් ව සිටිය යුතු ය. ක්‍රිස්තියානි භාර්යාවකගේ දිව්‍ය හැසිරීම මගින් ඇගේ නොඇදහිලිකාර පුරුෂාට සත්‍යය ඇදහිල්ලට හරවා ගත හැකිවිය හැක. එමෙන් ම, ඇදහිලිවන්ත ස්වාමි පුරුයෙක් ‘ඔහුගේ භාර්යාවට දුර්වල භාජනයකට මෙන් ගෞරව දිය යුතු ය.’ සියලු ක්‍රිස්තියානීන් අන්‍යෝන්‍ය අවබෝධය පෙන්විය යුතු ය, සහෝදර සෙනෙහස ඇති ව සිටිය යුතු ය, යහපත කරමින් සමාදානය ලුහුබැඳිය යුතු ය.
විඳදරාගැනීම ආශිර්වාද ගෙන එයි
දුක් පීඩා මැද සැබෑ ක්‍රිස්තියානිවරයෙක් විශ්වාසවන්ත ව විඳදරා ගැනීම ආශිර්වාද ගෙන එයි. (3:13–4:19) අපි ධර්මිෂ්ඨකම නිසා දුක් විඳිමු නම්, අප සතුටු විය යුතු ය. මීටත් වඩා, අප ව දෙවියන් වහන්සේ වෙතට මගපෙන්වීම සඳහා ක්‍රිස්තුස් වහන්සේ මාංසයේ දුක් විඳි සේක් නම්, අප තවදුරටත් මාංසික ආශාවන්ට අනුව ජීවත් නොවිය යුතු ය. අපි පරීක්ෂාවන් විශ්වාසවන්ත ව විඳදරාගන්නෙමු නම්, යේසුස් වහන්සේගේ එළිදරව් වීමේ දී අපි මහත් ප්‍රීතියකට හවුල් වන්නෙමු. ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් වශයෙන් උන් වහන්සේගේ නාමය නිසා නින්දා ලැබීම, අප ව ප්‍රීතිමත් කරවිය යුත්තේ මක්නිසාදයත් අපට යෙහෝවඃ වහන්සේගේ ආත්මය තිබෙන බව ඉන් සනාථ වන බැවිනි. එසේ නම්, දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව අප දුක් විඳින විට, අපි අප ව ම උන් වහන්සේට භාර කරමින් දිගට ම යහපත කරමු.
අප ක්‍රිස්තියනීන් වශයෙන්, අපගේ යුතුකම් විශ්වාසවන්ත ව ඉටු කර, දෙවියන් වහන්සේගේ බලවත් හස්තයට අප ව ම යටත් කර ගැනීම අපට අවශ්‍ය කරවයි. (5:1-14) වැඩිමහල්ලන් දෙවියන් වහන්සේගේ රැළ කැමැත්තෙන් ම රැක බලා ගත යුතු අතර, අප සියල්ලන් ම යෙහෝවඃ වහන්සේ අප ගැන සලකන බව වටහා ගනිමින් අපගේ බර උන් වහන්සේ මත තැබිය යුතු ය. අපගේ සහෝදරයන් ද අප ලබන දුක් පීඩාවලට ම මුහුණපාන නිසා, යක්ෂයට විරුද්ධ ව සිටීමට අපට අවශ්‍ය අතර, කිසිදා අධෛර්යයට පත් නොවිය යුතු ය. යෙහෝවඃ දෙවියන් වහන්සේ අප ව ස්ථීර කර ඇදහිල්ලේ ස්ථීර ව පවතින්නට සලස්වන බව නිතර ම මතක තබාගන්න. w91 3/15
ස්ත්‍රී වස්ත්‍රාභරණ: ක්‍රිස්තියානි ස්ත්‍රීන්ට උපදෙස් දෙමින් පේතෘස් මෙසේ පැවසී ය: “ඔබගේ අලංකාරය, කොණ්ඩා මෝස්තර ද රන් රිදී ආභරණ ද ඇඳුම් පැළඳුම් ද යන බාහිර දේ පිට රඳා නොතිබිය යුතුයි. එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නගින කාරුණික තැන්පත් ගති පවැතුම් මගිනි. ඒ අලංකාරය දෙවියන් වහන්සේ ඉදරියේ ඉතා අගනේ ය.” (1 පේතෘස් 3:3, 4, පො. න. අ.) පොදු යුගයේ පළමු සියවස අතරතුර දී මිථ්‍යාදෘෂ්ටික ස්ත්‍රීහු තම දිගු හිසකෙස් ගොතා රන් කුණ්ඩලාභරණවලින් සරසා නොයෙක් මෝස්තරවලට අනුව සකස් කොට ගත්හ. පෙනෙන ලෙස, බොහෝ දෙනා එසේ කළේ, තමා ප්‍රදර්ශනය වී කැපී පෙනීමට ය—මෙය ක්‍රිස්තියානීන්ට නොහොබිනා දෙයකි. (1 තිමෝති 2:9, 10) එහෙත් සියලු ආභරණ පැළඳීම වැරදි නොවේ, මන්ද පැහැදිලි අවශ්‍යතාවයක් වන “බාහිර දේ [බාහිර ඇඳුම් ඇඳීම NW]” ගැන පේතෘස් සඳහන් කළේ ය. ස්වර්ණාභරණ භාවිතා කිරීම පැරණි කාලවල දෙවියන් වහන්සේගේ සේවකයන් අතර ද විය. (උත්පත්ති 24:53; නික්මයාම 3:22; 2 සාමුවෙල් 1:24; යෙරෙමියා 2:32; ලූක් 15:22) කෙසේ වෙතත්, ක්‍රිස්තියානි ස්ත්‍රියක් අසංවර ආයිත්තම් හා රාගය උපදවන ඇඳුම් හැඳපැළඳීමෙන් ඥානවන්ත ලෙස වැළකී සිටින අතර, ඕනෑ ම ආකරයක රූප ලාවන්‍යය ද්‍රව්‍යයන් ඈ පාවිච්චි කරයි නම් එය ප්‍රසන්න අයුරින් තිබිය යුතු බවට ඈ වගබලා ගත යුතු ය. ප්‍රේරිතවරයාගේ උපදෙසේ මූලික හරය වන්නේ ඈ අවධානය යොමු කළ යුත්තේ පිටත අලංකාරය ගැන නොව නමුත් අභ්‍යන්තර අලංකාරය ගැන බව ය. සැබෑ ලෙස සිත්ගන්නා සුලු පුද්ගලයෙකු වීමට නම්, ඈ විනීත ලෙස ඇඳපැළද සිටිය යුතු අතර, දෙවියන් වහන්සේට භය කෙනෙකුගේ මානසික තත්ත්වය විදහා පෑ යුතු ය.—හිතෝපදේශ 31:30; මීකා 6:8.
Israel Department of Antiquities and Museums; Israel Museum/David Harris