“නිදහසට ප්‍රේම කරන්නෝ” පළාත් සමුළුවලට සාදරයෙන් පිළි ගනිමු!
නිදහස! එම වචනයට තිබෙන්නේ මොන තරම් ප්‍රියමනාප ශබ්දයක් ද? බන්ධනයක හෝ වහල් බවක සිටීමෙන් කිසිවෙක් සතුටක් නොවිඳියි. මතක ඇති කාලයකට වඩා මෑත අවුරුදුවල දී, අපේක්ෂා කළා වූ දේශපාලන නිදහස කරා වඩාත් සමීප වීමක් දක්නට ලැබී තිබේ.
කෙසේ වෙතත්, දේශපාලන නිදහස ප්‍රියමනාප දෙයක් වන්නාසේ ම, ඊට වඩා බොහෝ වැදගත් සහ ප්‍රියමනාප නිදහසක් තිබේ. ඒ නිදහස නම්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය ගෝලයන් වෙත පැවසූ නිදහසයි: “නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවටම නුඹලා මාගේ ගෝලයෝය; නුඹලා සැබෑව දැනගන්නවා ඇත. සැබෑවද නුඹලා නිදහස් කරන්නේය.” (යොහන් 8:31, 32) මෙය බොරු ආගමික ඇදහිලිවලින් නිදහසයි, මිනිස් බියෙන් නිදහසයි, පව්කාර ඇබ්බැහිවීම්වලට වහල්වීමෙන් සහ වෙනත් බොහෝ දේවලින් නිදහසයි.
වර්ෂ 1991 ග්‍රීෂ්ම සමය ආරම්භයත් සමඟ ම, ලොව වටා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විසින් පවත්වන්නට නියමිත “නිදහසට ප්‍රේමකරන්නෝ” යන මැයෙන් යුත් පළාත් සමුළුවේ කථා කෙරෙන නිදහස මෙයයි. තමන් අතරේ පෙරමුණ ගන්නන් මත පනවා තිබූ ආණ්ඩු තහංචි ලිහිල් කිරීම නිසා සනිටුහන් කරනු ලැබූ 1919 වසරේ සිට, දෙවියන් වහන්සේගේ සෙනඟ, තම පවිත්‍ර නමස්කාරය සම්බන්ධයෙන් වැඩි වර්ධනය වන නිදහස භුක්ති විඳිමින් සිටිති.
වසර ගණනාවක් පුරා පවත්වන ලද “ ‘නිදහස් ජාතියේ’ දිව්‍ය ආණ්ඩු රැස්වීම” සහ “ ‘දෙවියන් වහන්සේගේ විමුක්තියේ පුත්‍රයන්ගේ’ පළාත් රැස්වීම” වැනි තේමාවන්ගෙන් යුත් දිව්‍යාණ්ඩු සමුළුවල නිදහස පිළිබඳ විෂය කාවද්දවා තිබීම, වඩාත් උචිත වෙයි. “ද ටෲත් ෂැල් මේක් යූ ෆ්‍රී [සත්‍යය ඔබ නිදහස් කෙරේ] සහ ලයිෆ් එවලාස්ටිං—ඉන් ෆ්‍රීඩම් ඔෆ් ද සන්ස් ඔෆ් ගෝඩ් [දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ නිදහස තුළ සදාකාල ජීවනය] වැනි ප්රකාශයන්හි ද නිදහස පිළිබඳ ව පුළුල් ලෙස සාකච්ඡා කොට තිබේ.
යෙහෝවඃ වහන්සේගේ සේවකයන් හට දෙවියන් වහන්සේ දී ඇති නිදහස වනාහි හුදෙක් තමන්ගේ ම සුභසාධනය සහ භුක්තිය සඳහා වූවක් නොවෙයි. අප ගලාති 5:13 හි කියවන්නාක් මෙන්: “මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා නිදහස්කමට කැඳවනු ලැබුවහුය; එහෙත් නුඹලාගේ නිදහස මාංසයට ප්‍රස්ථාවක් පිණිස ව්‍යවහාර නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්නෝ වෙයල්ලා.” අපගේ නිදහසේ පරමාර්ථය අගය කිරීමටත්, අපගේ අනර්ඝ නිදහස ග්‍රහණය කර ගෙන සිටීමටත්, “නිදහසට ප්‍රේම කරන්නෝ” පළාත් සමුළුව අපට උපකාරවත් වනු ඇති අතර, එය උපරිම ලෙස භාවිතා කරන ආකාරය අපට පෙන්වා දෙනු ඇත.
සමුළුව සිකුරාදා උදෑසන 10:20ට සංගීත වැඩ සටහනකින් ආරම්භ වන අතර, එය ඊට පසුව ගලා එන ආත්මික ආහාර උරා ගැනීමට අපව හරි මානසික රාමුවක තබනු ඇත. සිකුරාදා දවසේ තේමාව යොහන් 8:32 මත පදනම් ව ඇති “අප ව නිදහස් කරන්නා වූ සත්‍යය දැන සිටීම” යනුවෙනි. දහවලට පෙර සභාපතිගේ පිළිගැනීමේ වචන සහ “දෙවියන් වහන්සේ විසින් අපට දානය කරන ලද නිදහසේ අරමුණ සහ භාවිතය” යන මැයෙන් මූලික කථාව පැවැත්වෙනු ඇත. මෙම කථාව, යෙහෝවඃ වහන්සේගේ පරිපූර්ණ නිදහස සහ දෙවියන් වහන්සේ අපට දානය කර ඇති සාපේක්ෂී නිදහස අතර වෙනස හුවා දක්වනු ඇත. අපට තිබෙන නිදහස හැකි හොඳ ම ලෙසින් භාවිතා කිරීමට ද එය අපට දිරිගන්වනු ඇත. සවස් වරුවේ වැඩ සටහන අපගේ නිදහසේ සහ දේව සේවයේ විවිධ පැති පිළිබඳ ව සාකච්ඡා කරනු ඇති අතර, සැබෑ නමස්කාරය දියුණු කිරීමට නිදහස ලැබීම යන මැයෙන් යුත් නාට්‍යය සමඟ එදින වැඩ සටහන අවසන් වනු ඇත.
දෙවෙනි දවසේ තේමාව ගලාති 5:1 මත පදනම් වී තිබෙන “දෙවියන් වහන්සේ විසින් අපට දානය කරන ලද නිදහස තුළ ස්ථිර ව සිටීම” යන්නයි. උදෑසන වැඩ සටහන, පවුල් කවය තුළ පවුලක සාමාජිකයන් දෙවියන් වහන්සේ විසින් දී ඇති නිදහස භුක්ති විඳින ආකාරය කථා මාලාවක් තුළින් හුවා දක්වනු ඇත. බව්තීස්මයට සූදානම් වී සිටින අය, කැපවීම සහ බව්තීස්මය තුළින් නිදහස ලබා ගත හැකි අයුරු පිළිබඳ තොරතුරු විශේෂයෙන් අගය කරනු ඇත. දහවල් වරුවේ වැඩ සටහනට ඇතුලත් වී තිබෙන දෙයක් වනු ඇත්තේ විවාහය සන්තෝෂය සඳහා ප්‍රධාන සාධකය ද නැත්ද යන්න පිළිබඳ උනන්දුමත් සාකච්ඡාවක් ය. එමෙන් ම නිදහසේ විවිධ පැති පිළිබඳ ව කථා මාලාවක් තිබෙන අතර, ඉන්පසු නිදහස සහ සදාකාල ජීවනය සපයන්නා වූ දෙවියන් වහන්සේගේ ප්‍රධාන නියෝජිතයාණන් සම්බන්ධ අවධානය යොමුකරවන අවසන් කථාවකි.
ඉරිදා දවසේ තේමාව වන්නේ 2 කොරින්ති 3:17 මත පදනම් ව ඇති “අපගේ නිදහස දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයට අනුකූල ව පාවිච්චි කිරීම” යන්නයි. මෙම වැඩ සටහනින් මතෙව් 13:47-50 හි වාර්තා කොට තිබෙන යේසුස් වහන්සේගේ උපමාව සම්බන්ධයෙන් උනන්දුමත් කථා මාලාවක් ඉදිරිපත් කෙරෙන අතර, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන් මිනිසුන් අල්ලන්නන් මෙන් සේවය කරන අයුරු පිළිබිඹු කෙරෙනු ඇත. සැන්දෑ වරුවේ ප්‍රසිද්ධ කථාවේ තේමාව “දෙවියන් වහන්සේගේ නිදහසේ නව ලෝව ජයනාද දෙමින් පිළිගැනීම! යනුවෙනි. පළාත් සමුළුවකට අලුත් අංගයක් වන එම සතියට අදාළ මුරටැඹ පාඩමේ සාරාංශය ඉන් පසු ව තිබෙනු ඇත. අපගේ හැසිරීමේ දී සහ අපගේ සාක්ෂි දැරීමේ දෙවියන් වහන්සේ අපට දී ඇති නිදහස හොඳින් පාවිච්චි කිරීමේ ලා දියුණුවෙමින් පැවතීම සම්බන්ධ ව අප සියලු දෙනාට ම දෙනු ලබන ශුද්ධ ලියවිලි අනුශාසනා සමඟින් වැඩ සටහන නිමාවට පත් වේ.
නිදහසට ප්‍රේම කරන සියල්ලන් හට ම ගීතිකාකාර දාවිත්ගේ වදන්වලින් අපි මෙසේ කියමු: “ස්වාමීන් [යෙහෝවඃ වහන්සේ NW] යහපත් බව රස බලා දැන ගනිව්.” (ගීතාවලිය 34:8) මේ සමුළුවට සහභාගි වීම සඳහා ඔබට හැකි සෑම ප්රයත්නයක් ම දරන්න. සිකුරාදා උදේ ආරම්භක සැසි වාරයේ සිට, ඉරිදා සවස අවසාන කථාව දක්වා සමුළුවේ සිටීම ඔබගේ වගකීම බවට වග බලා ගන්න. ඔබගේ ආත්මික අවශ්‍යතාවයන් ගැන පූර්ණ ලෙස සාවධානයෙන්, හොඳ සෞඛ්‍ය සම්පන්න ආත්මික රුචියකින් යුතු ව පැමිණෙනවා නම්, ඔබ ඇත්තට ම සතුටු වනු ඇත! (මතෙව් 5:3) එමෙන් ම “නොමසුරුව වපුරන්නා නොමසුරුව කපා ගන්නේය” යන ප්‍රතිපත්තිය කිසිදා සුළු කොට නොසලකමු. අපගේ “නිදහසට ප්‍රේමකරන්නෝ” පළාත් සමුළුවට සහභාගි වීම පිණිස අප කොතරම් උනන්දුවෙන් කලින් සූදානම් වෙනවා ද, වැඩ සටහන ඉදිරිපත් කෙරෙන විට අප කොතරම් ඕනෑකමින් එයට සවන් දෙනවා ද, එමෙන් ම, ස්වෙච්ඡා සේවයේ අපට පැවරෙන ඕනෑ ම සේවා වරප්‍රසාදයක් කොතරම් උද්යෝගයෙන් අප භාර ගන්නවා ද යන්න ද මෙයට අදාළ වෙයි.—2 කොරින්ති 9:6. w91 05/01