නිදහස් නමුත් ගණන් දිය යුතු සෙනඟක්
“නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේය.”—යොහන් 8:32.
1, 2. (අ) මිනිස් ඉතිහාසය තුළ නිදහස කැපී පෙනෙන දෙයක් වී ඇත්තේ කෙසේ ද? (ආ) සැබවින් ම නිදහස් ව සිටින්නේ කවුරු පමණක් ද? පැහැදිලි කරන්න.
නිදහස. එය මොනතරම් බලගතු වචනයක් ද! මිනිස් වර්ගයා, අසංඛ්‍යාත යුද්ධ සහ විප්ලව මෙන් ම, ගණන් කළ නොහැකි සමාජීය ආරවුල් විඳදරා ගෙන තිබෙන්නේ නිදහස ලැබීමට මිනිසුන් හට තිබෙන ආශාව නිසා ය. සැබවින් ම, දි එන්සයික්ලෝපීඩියා අමෙරිකානා පවසන්නේ: ‘ශිෂ්ටාචාරයේ පරිණාමය තුළ, විමුක්තිය තරම් වැදගත් කාර්ය භාරයක් ඉටුකර ඇති වෙන කිසිදු සංකල්පයක් නැත,’ කියා ය.
2 ඒ කෙසේ වෙතත්, සැබවින් ම නිදහස් ව සිටින්නේ මිනිසුන් කොපමණ දෙනෙක් ද? නිදහස යනු කුමක්දැයි පවා දන්නේ කී දෙනෙක් ද? ද වර්ල්ඩ් බුක් එන්සයික්ලෝපීඩියා මෙසේ පවසයි: “මිනිසුන් හට සම්පූර්ණ නිදහස ලැබීමට නම්, ඔවුන් සිතන, කථා කරන, හෝ ක්‍රියා කරන ආකාරය ගැන තහංචි දමා නොතිබිය යුතු ය. තමන්ගේ තේරීම් කුමක් ද කියා ඔවුන් දැනගෙන සිටිය යුතු අතර, එම තේරීම් අතරින් යමක් තීරණය කිරීමේ බලය ඔවුනට තිබිය යුතුයි.” මේ අයුරින් බලන කල, සැබවින් ම නිදහස් ව සිටින යම් කෙනෙක් ගැන ඔබ දන්නෙහි ද? ඔවුන් “සිතන, කථා කරන, හෝ ක්‍රියා කරන ආකාරය ගැන තහංචි දමනු ලැබ නැති” බව කිව හැක්කේ කාට ද? සැබවින් ම පවසතොත්, සකල විශ්වයේ ම සිටින්නේ එම විස්තරයට ගැළපෙන එක් පුද්ගලයෙකු පමණි—එනම් යෙහෝවඃ දෙවියන් වහන්සේ ය. සර්ව සම්පූර්ණ නිදහස ඇත්තේ උන් වහන්සේට පමණි. තමන් වහන්සේ කැමති ඕනෑ ම තේරීමක් කර, ඉන් පසු සියලු විරුද්ධවාදිකම් අභිබවා එය ක්‍රියාත්මක කිරීමට හැක්කේ උන් වහන්සේට පමණි. උන් වහන්සේ “සර්වපරාක්‍රමයාණන්” වන සේක.—එළිදරව් 1:8; යෙසායා 55:11.
3. සාමාන්‍යයෙන් මිනිසුන් නිදහස භුක්ති විඳින්නේ කුමන කොන්දේසි මත ද?
3 පහත් මිනිසුන් සම්බන්ධයෙන් ගත් කල, නිදහස යනු සාපේක්ෂ දෙයක් පමණක් විය හැකියි. සාමාන්‍යයෙන් එය දානය කරනු ලබන්නේ හෝ එසේ දීමට පොරොන්දු වෙන්නේ, යම් අධිකාරිත්වයකින් වන අතර, එම අධිකාරිත්වයට අපගේ යටත්කම සම්බන්ධ ව තිබේ. ඇත්තෙන් ම, සෑම අවස්ථාවක ම පාහේ, යම් පුද්ගලයෙකුට නිදහස් විය හැක්කේ, ඔහුගේ නිදහස සහතික කරන තැනැත්තාගේ අධිකාරිත්වය පිළිගත්තොත් පමණි. නිදසුනක් වශයෙන්, “නිදහස් ලෝකය” තුළ ජීවත් ව සිටින පුද්ගලයෝ, ගමන් කිරීමේ, කථා කිරීමේ සහ ඇදහීමේ නිදහස වැනි බොහෝ ප්‍රයෝජන භුක්ති විඳිති. මෙවන් නිදහසක් සහතික කරන්නේ කුමකින් ද? එම රටේ නීතියයි. පුද්ගලයෙකුට ඒවා භුක්ති විඳිය හැක්කේ ඒවාට ඔහු කීකරු වන තාක්කල් පමණි. ඔහු තමාගේ නිදහස වැරදි ලෙස පාවිච්චි කර නීතිය කඩ කරයි නම්, ඔහු අධිකාරීන්ට ඒ ගැන වගකිව යුතු අතර, ඔහුගේ නිදහස සිර දඬුවමකින් ප්‍රබල ලෙස අඩු කළ හැක.—රෝම 13:1-4.
දිව්‍ය නිදහස—ගණන් දීමක් සමඟ
4, 5. යෙහෝවඃ වහන්සේගේ නමස්කාරකයන් භුක්ති විඳින්නේ කුමන නිදහසක් ද, උන් වහන්සේ ඔවුන් තබා ඇත්තේ කුමක් සඳහා ගණන් දීමට ද?
4 පළමු සියවසේ දී, යේසුස් වහන්සේ නිදහස ගැන කථා කළ සේක. උන් වහන්සේ යුදෙව්වන්ට මෙසේ පැවසූ සේක: “නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය; නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේය.” (යොහන් 8:31, 32) උන් වහන්සේ කථා කරමින් සිටියේ කථා කිරීමේ නිදහස ගැන හෝ ආගමේ නිදහස ගැන හෝ නොවේ. සහතික වශයෙන් ම, උන් වහන්සේ කථා කරමින් සිටියේ බොහෝ යුදෙව්වන් ආශාවෙන් බලා සිටි රෝම කෲර පාලකයන්ගේ විමුක්තියක් ගැන හෝ නොවේ. නැත, මෙය වූයේ යම් මිනිස් නීතිවලින් හෝ ඇතැම් මිනිස් පාලකයෙක් හිතුමතේට දුන් යම් නිදහසක් නොව, නමුත් විශ්වයේ ශ්‍රේෂ්ඨතම පරමාධිපතියාණන් වන යෙහෝවඃ වහන්සේ විසින් දානය කරන ලද අතිශයින් වඩාත් අනර්ඝ වූ නිදහසකි. එය, මිථ්‍යා විශ්වාසවලින් ලැබෙන නිදහසක් විය, ආගමික නොදැනුවත්කමෙන් ලැබූ නිදහසක් විය, තව ද තව තවත් බොහෝ දේවල් ඊට සම්බන්ධ ව තිබිණි. යෙහෝවඃ වහන්සේ විසින් දානය කරන ලද නිදහස සැබැ නිදහසයි, තව ද එය සදාතනික ව පවතිනු ඇත.
5 “යෙහෝවඃ වහන්සේ ආත්මය වන සේක; යෙහෝවඃ වහන්සේගේ ආත්මය කොතැනද, එතැන නිදහස තිබේ” යනුවෙන් ප්‍රේරිත පාවුල් පැවසුවේ ය. (2 කොරින්ති 3:17, NW ) සියවස් ගණනාවක් පුරා, යෙහෝවඃ වහන්සේ මිනිස් වර්ගයා සමඟ කටයුතු කර තිබෙන අතර, එම හේතුවෙන්, ඇදහිලිවන්ත අය අවසානයේ දී, අනගිතම හා උසස්තම ආකාරයේ මිනිස් නිදහස, එනම් “දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කම” භුක්ති විඳිනු ඇත. (රෝම 8:21) මේ අතරතුර, බයිබල් සත්‍යය මාර්ගයෙන් යෙහෝවඃ වහන්සේ අපට යම් පමණක නිදහසක් දානය කරන අතර, අප එම නිදහස වැරදි ලෙස පාවිච්චි කළහොත් උන් වහන්සේ ඒ ගැන අපෙන් ගණන් ගන්නා සේක. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේ ය: “උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ උන්වහන්සේය.”—හෙබ්‍රෙව් 4:13.
6-8. (අ) ආදම් සහ ඒව භුක්ති වින්දේ කුමන නිදහස් තත්ත්වයන් ද, ඔවුන්ට එම නිදහස් තත්ත්වයන් තබා ගැනීමට හැකි වූයේ කුමන කොන්දේසිය මත ද? (ආ) ආදම් සහ ඒව, තමන්ටත්, තමන්ගේ ජනිතයන්ටත් අහිමි කළේ කුමක් ද?
6 යෙහෝවඃ වහන්සේට ගණන් දීම පෙරට ආවේ, අපගේ මුල් මිනිස් දෙමාපියන් වූ ආදම් සහ ඒව ජීවත් ව සිටි විට ය. යෙහෝවඃ වහන්සේ ඔවුන් ව මැවුවේ නිදහස් කැමැත්ත නැමැති අනගි දීමනාව සහිත ව ය. ඔවුන් එම නිදහස් කැමැත්ත වගකීමකින් යුතු ව පාවිච්චි කළ තාක්කල්, බියෙන් නිදහස, අසනීපවලින් නිදහස, මරණයෙන් නිදහස, සහ පිරිසිදු හෘදය සාක්ෂියකින් යුතු ව තම ස්වර්ගීය පියාණන් වෙත එළඹීමේ නිදහස වැනි වෙනත් ආශීර්වාද ඔවුහු භුක්ති වින්දාහ. එහෙත්, ඔවුන් තම නිදහස් කැමැත්ත වැරදි ලෙස පාවිච්චි කළ විට, ඒ සියල්ල වෙනස් විය.
7 යෙහෝවඃ වහන්සේ ආදම් සහ ඒව ව ඒදන් උයනේ තැබූ අතර, එක ගසක හැර උයනේ සියලු ගස්වල ඵල භුක්ති විඳීම සඳහා ඔවුන්ට අවසර දුන් සේක. එම ගස තමන් වහන්සේ සඳහා උන් වහන්සේ තබා ගත් සේක; එය, “යහපත හා නපුර දැනගැනීමේ ගහ” විය. (උත්පත්ති 2:16, 17) එම ගසේ ඵල කෑමෙන් වැළකී සිටීමෙන්, ආදම් සහ ඒව පිළිගනු ඇත්තේ, යහපත හා නපුර පිළිබඳ ව ප්‍රමිති තැබීම සඳහා නිදහස් ව සිටියේ යෙහෝවඃ වහන්සේ පමණක් ය යන්නයි. ඔවුන් වගකීමකින් යුතු ව ක්‍රියා කර, එම තහනම් ඵල කෑමෙන් වැළකී සිටියා නම්, යෙහෝවඃ වහන්සේ ඔවුන්ගේ වෙනත් නිදහස්කම් ද දිගට ම සහතික කරනවා ඇත.
8 කනගාටුවට කරුණක් නම්, තමා ම ‘යහපත හා නපුර’ දැන ගත යුතු යයි සාතන් කළ කූට යෝජනාවට ඒව සවන් දීමයි. (උත්පත්ති 3:1-5) පළමු ව ඈ, පසු ව ආදම්, තහනම් ඵලයෙන් කෑවෝ ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඒදන් උයනේ සිටි ඔවුහු සමඟ කථා කිරීමට යෙහෝවඃ දෙවියන් වහන්සේ පැමිණි විට, ඔවුන් ලජ්ජාවෙන් තමන් ව සඟවා ගත්තෝ ය. (උත්පත්ති 3:8, 9) පිරිසිදු හෘදය සාක්ෂියක් තිබීම හේතුවෙන් දෙවියන් වහන්සේ වෙතට එළඹීමට තිබූ නිදහස් ස්වභාවය අහිමි කර ගත් ඔවුහු දැන් පව්කාරයන් වූහ. මේනිසා, ඔවුන් තමන්ට හා තමන්ගේ ජනිතයන්ට යන දෙපාර්ශ්වයට ම තිබූ අසනීප සහ මරණයේ නිදහස ද අහිමි කළෝ ය. පාවුල් මෙසේ පැවසී ය: “එක් මනුෂ්‍යයෙකු [ආදම්] කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.”—රෝම 5:12; උත්පත්ති 3:16, 19.
9. තමන් භුක්ති විඳි යම් පමණක නිදහස ඉතා හොඳින් පාවිච්චි කළ බවට වාර්තා වී තිබෙන්නේ කාව ද?
9 එසේ නමුත්, මිනිස් වර්ගයාට තවදුරටත් නිදහස් කැමැත්ත තිබූ අතර, කල් ගත වන විට, සමහරක් අසම්පූර්ණ මිනිස්සු යෙහෝවඃ වහන්සේට සේවය කිරීම සඳහා මෙය වගකීමකින් යුතු ව පාවිච්චි කළෝ ය. මේ අය සමහරකගේ නාම අප සඳහා පුරාතනයේ පටන් ආරක්ෂා කොට තිබේ. ආබෙල්, ඒනොක්, නෝවා, ආබ්‍රහම්, ඊසාක්, සහ යාකොබ් (ඊශ්‍රායෙල් යනුවෙන් ද හැඳින්විණි) යන පුරුෂයෝ වනාහි දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීම සඳහා, තවදුරටත් ඔවුන් භුක්ති විඳි යම් පමණක නිදහස පාවිච්චි කළ පුද්ගලයන්ගේ ආදර්ශයෝ ය. ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට ශුභසිද්ධ විය.—හෙබ්‍රෙව් 11:4-21.
දෙවියන් වහන්සේගේ තෝරා ගත් ජනයාගේ නිදහස
10. යෙහෝවඃ වහන්සේ ස්වකීය විශේෂ ජනයා සමඟ කළ ගිවිසුමේ තිබූ කොන්දේසි මොනවා ද?
10 මෝසෙස්ගේ දවස්වල දී, යෙහෝවඃ වහන්සේ, එවකට මිලියන ගණනකින් සෑදී සිටි, ඊශ්‍රායෙල් පුත්‍රයන් ව, මිසරයේ වහල් බවින් නිදහස් කොට ඔවුන් සමඟ ගිවිසුමක් කළ අතර, ඒ මගින් ඔවුහු උන් වහන්සේගේ විශේෂ ජනයා බවට පත්වූහ. මෙම ගිවිසුම යටතේ, ඊශ්‍රායෙලිතයන් හට පූජකත්වයෙන් හා නාමික ආකාරයෙන් ඔවුන්ගේ පව් ආවරණය කළා වූ සත්ත්ව පූජා පිළිවෙළක් තිබිණි. මෙසේ, නමස්කාරයේ දී, දෙවියන් වහන්සේ වෙතට එළඹීමේ නිදහසක් ඔවුන්ට තිබිණි. තව ද මිථ්‍යා දෘෂ්ටික සිරිත් විරිත්වලින් හා බොරු නමස්කාරයෙන් නිදහස් ව තැබීමට නීති හා රෙගුලාසි පිළිවෙළක් ද ඔවුන්ට තිබිණි. පසු ව, ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව දිව්‍යමය උපකාරය ලැබීමේ සහතිකය සමඟින් උරුමයක් වශයෙන් පොරොන්දු දේශය ඔවුනට ලැබෙනු ඇත. ඊශ්‍රායෙලිතයන් හට ගිවිසුමේ ඔවුන්ගේ පැත්තෙන් කරන්නට සිදුවූයේ යෙහෝවඃ වහන්සේගේ නීතිය පැවැත්වීමයි. “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] කී සියල්ලම කරන්නෙමු [කරන්න කැමැත්තෙමු NW ].” යයි පවසමින් ඊශ්‍රායෙල්වරු මෙම කොන්දේසිය භාර ගත්හ.—නික්මයාම 19:3-8; ද්විතීය කථාව 11:22-25.
11. යෙහෝවඃ වහන්සේ සමඟ තිබූ ගිවිසුමේ තමන්ට අයිති වූ කොටස පැවැත්වීමට ඊශ්‍රායෙල් ජාතිය අසමත් වූ විට, ප්‍රතිඵලය වූයේ කුමක් ද?
11 වසර 1,500කට වඩා වැඩි කලක් පුරා, ඊශ්‍රායෙල්වරු සිටියේ යෙහෝවඃ වහන්සේ සමඟ වූ එම විශේෂ සම්බන්ධතාවය යටතේ ය. එහෙත් ඔවුහු නොයෙක් විට එම ගිවිසුම පැවැත්වීමට අපොහොසත් වූහ. ඔවුන් ව නැවත නැවතත් බොරු නමස්කාරයට ගොදුරු වූ අතර, රූප වන්දනාවට සහ මිථ්‍යා ඇදහිලිවලට වහල් වූ නිසා ඔවුන්ගේ සතුරන් හට කායික වශයෙන් වහලුන් බවට පත්වීමට දෙවියන් වහන්සේ ඉඩ හැරිය සේක. (විනිශ්චයකාරයන් 2:11-19) ගිවිසුම පැවැත්වීමෙන් පැමිණි විමුක්තිදායක ආශීර්වාද භුක්ති විඳිනවා වෙනුවට, එය උල්ලංඝණය කිරීම නිසා ඔවුන් හට දඬුවම් ලැබිණි. (ද්විතීය කථාව 28:1, 2, 15) අවසානයේ දී, පො.යු. 607 දී, එම ජාතිය බබිලෝනියාවේ වහලුන් බවට පත්වීමට යෙහෝවඃ වහන්සේ ඉඩ හැරිය සේක.—2 ලේකම් 36:15-21.
12. මෝසෙස්ගේ ව්‍යවස්ථා ගිවිසුම සම්බන්ධයෙන් අවසානයේ දී කුමක් පැහැදිලි වී ද?
12 මෙය අසීරු පාඩමක් විණි. ව්‍යවස්ථාව පැවැත්වීමේ ඇති වැදගත්කම එයින් ඔවුන් ඉගෙන ගත යුතු ව තිබුණි. එහෙත්, වසර 70කට පසු, ඔවුන් තම මව්බිමට නැවත පැමිණි විට, ව්‍යවස්ථා ගිවිසුම හරිහැටි පැවැත්වීමට ඔවුහු තවමත් අසමත් වූහ. ඔවුන් ආපසු පැමිණීමෙන් වසර සියයකට පමණ පසු, යෙහෝවඃ වහන්සේ ඊශ්‍රායෙල් පූජකයන් හට මෙසේ පැවසූ සේක: “නුඹලා මාර්ගයෙන් ඉවත්ව ගොස්, ව්‍යවස්ථාව ගැන බොහෝ දෙනෙකු පැකිලෙන්ට සැලැස්වූහුය; නුඹලා ලෙවීගේ ගිවිසුම බිඳදැමුවහුය.” (මලාකි 2:8) ඇත්තෙන් ම, ඊශ්‍රායෙලිතයන් අතර සිටි වඩාත් අවංක අයට පවා පරිපූර්ණ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් පිළිපදින්ට නොහැකි විය. ප්‍රේරිත පාවුල් පවසන පරිදි, එය ඔවුන්ට ආශීර්වාදයකට වඩා “ශාපයක්” විය. (ගලාති 3:13) පැහැදිලි ව ම, අසම්පූර්ණ, ඇදහිලිවන්ත මිනිසුන් ව දෙවියන් වහන්සේගේ දරුවන්ගේ නිදහසේ මහිමයට ගෙන ඒමට මෝසෙස්ගේ ව්‍යවස්ථා ගිවිසුමට වඩා යම් දෙයක් අවශ්‍ය විය.
ක්‍රිස්තියානි නිදහසේ ස්වභාවය
13. අවසානයේ දී සපයනු ලැබුවේ නිදහස උදෙසා කිනම් වඩාත් හොඳ පදනමක් ද?
13 වැඩියෙන් අවශ්‍ය වූ ඒ දෙය වූයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ මිල පූජාවයි. පොදු යුගයේ 50 වෙනි අවුරුද්දේ දී පමණ, ගලාතියේ වූ ආලේප ලත් ක්‍රිස්තියානින්ගේ සභාවට පාවුල් ලීවේ ය. යෙහෝවඃ වහන්සේ ඔවුන් ව ව්‍යවස්ථා ගිවිසුමේ වහල්කමෙන් නිදහස් කර ගත් ආකාරය විස්තර කළ ඔහු, ඊට පසු ව මෙසේ පැවසී ය: “ක්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නමැති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටපල්ලා.” (ගලාති 5:1) යේසුස් වහන්සේ මිනිසුන් ව නිදහස් කළේ කිනම් ආකාරවලින් ද?
14, 15. ඇදහිලිවන්ත යුදෙව්වන් ව සහ යුදෙව් නොවන්නන් ව යේසුස් වහන්සේ විසින් නිදහස් කර තැබුවේ කිනම් පුදුමාකාර අයුරකින් ද?
14 යේසුස් වහන්සේගේ මරණින් පසු, උන් වහන්සේ ව මෙසියස් වහන්සේ ලෙස පිළිගත් යුදෙව්වෝ, උන් වහන්සේගේ ගෝලයන් බවට පත් වූ අතර, පැරණි ව්‍යවස්ථා ගිවිසුම අනුයුක්ත කළා වූ නව ගිවිසුම යටතට පැමිණියෝ ය. (යෙරෙමියා 31:31-34; හෙබ්‍රෙව් 8:7-13) මෙම නව ගිවිසුම යටතේ, ඔවුහු—සහ පසු ව ඔවුන්ට එකතු වූ යුදෙව් නොවන ඇදහිලිවන්තයෝ—දෙවියන් වහන්සේගේ සුවිශේෂ ජනයා වශයෙන් මාංසික ඊශ්‍රායෙල් ව අනුයුක්ත කළා වූ නව, ආත්මික ජාතියේ කොටසක් බවට පත් වූහ. (රෝම 9:25, 26; ගලාති 6:16) එවැන්නන් වශයෙන්, “සැබෑව නුඹලා නිදහස් කරන්නේය” යනුවෙන් යේසුස් වහන්සේ පැවසූ විට උන් වහන්සේ පොරොන්දු වූ නිදහස ඔවුහු භුක්ති වින්දාහ. මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ශාපයෙන් ඔවුන් ව නිදහස් කර තබනවාට අමතර ව, සත්‍යය මගින් යුදෙව් ආගමික නායකයන් ඔවුන් මතට බර පටවා තිබූ කරදරකාරී සම්ප්‍රදායන් සියල්ලෙන් මෙම යුදෙව් ක්‍රිස්තියානින් ව නිදහස් කරන ලදි. තව ද, එය යුදෙව් නොවන ක්‍රිස්තියානින් ව, රූප වන්දනාවෙන් සහ ඔවුන්ගේ කලින් නමස්කාරයේ මිථ්‍යා ඇදහිලිවලින් මුදා හැරියේ ය. (මතෙව් 15:3, 6; 23:4; ක්‍රියා 14:11-13; 17:16) එමෙන් ම, තවත් දේවල් තිබිණි.
15 නිදහස් කරවන සත්‍යය පිළිබඳ ව කථා කරන විට, යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “සැබවක් සැබවක් නුඹලාට කියමි—පව්කරන සියල්ලෝම පාපයාගේ වහල්ලුය.” (යොහන් 8:34) ආදම් සහ ඒව පව් කළ බැවින්, මෙතෙක් ජීවත් ව ඇති සෑම පුද්ගලයෙකු ම පව්කාරයෙකු ව සිට ඇති අතර, මේ හේතුවෙන් පාපයේ වහලෙකි. මින් බැහැර ව සිටියේ යේසුස් වහන්සේ පමණි, තව ද යේසුස් වහන්සේගේ පූජාව ඇදහිලිවන්තයන් ව එම වහල්කමෙන් මුදවාලූයේ ය. ඔවුන් තවදුරටත් අසම්පූර්ණ ව සහ ස්වභාවයෙන් ම පව්කාර ව සිටිය බව ඇත්ත ය. එහෙත්, දැන්, තමන්ගේ පව් ගැන පසුතැවිලි වී, තමන්ගේ කන්නලව් අසනු ලබන බවට නිසැක වෙමින්, යේසුස් වහන්සේගේ පූජාවේ පදනම මත සමාව අයදින්නට ඔවුන්ට හැකි විණි. (1 යොහන් 2:1, 2) යේසුස් වහන්සේගේ මිදීමේ පූජාවේ පදනම මත, දෙවියන් වහන්සේ ඔවුන් ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කළ අතර, පිරිසිදු කරනු ලැබූ හෘදය සාක්ෂියකින් යුතු ව උන් වහන්සේ වෙතට එළඹෙන්නට ඔවුන්ට හැකි විණි. (රෝම 8:33) එපමණක් ද නොව, මිදීමේ මිලය, නිම නොවන ජීවිතයකට නැවත නැගිටීමේ අපේක්ෂාව විවෘත කළ බැවින්, මරණයට ඇති බියෙන් පවා ද සත්‍යය ඔවුන් ව නිදහස් කළේ ය.—මතෙව් 10:28; හෙබ්‍රෙව් 2:15.
16. ලෝකය විසින් ඉදිරිපත් කරන මොනයම් හෝ නිදහසට වඩා ක්‍රිස්තියානි නිදහස වඩාත් පුළුල් ආකාරයේ එකක් වූයේ කෙසේ ද?
16 මිනිසුන්ගේ කෝණයෙන් බලන කල, දරන තත්ත්වය කුමක් වුවත්, පුරුෂයන් හා ස්ත්‍රීන් හට ක්‍රිස්තියානි නිදහස විවෘත වූයේ පුදුමාකාර අන්දමකිනි. දුප්පත් මිනිසුන්, සිරකරුවන්, වහලුන් ව පවා නිදහස් කළ හැකි විණි. අනෙක් අතට, ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ පණිවුඩය ප්‍රතික්ෂේප කළා වූ ජාතීන්ගේ උසස් පුද්ගලයන් තවදුරටත් සිටියේ, මිථ්‍යා ඇදහිලිවලට, පාපයට හා මරණයේ බියට වහල් ව ය. අප භුක්ති විඳින මෙම නිදහස වෙනුවෙන් යෙහෝවඃ වහන්සේට ස්තුති කිරීම අප කිසි විටෙකත් නතර නොකළ යුතුයි. ලෝකය ඉදිරිපත් කරන කිසි ම දෙයෙක් එහි අසලකටවත් එන්නේ නැත.
නිදහස් නමුත් ගණන් දිය යුතු ය
17. (අ) පළමු සියවසේ සිටි සමහරක් අය ක්‍රිස්තියානි නිදහස නැති කර ගත්තේ කෙසේ ද? (ආ) සාතන්ගේ ලෝකය තුළ පෙනෙන්ට තිබෙන නිදහසෙන් අප මුලා නොවිය යුත්තේ ඇයි?
17 පෙනෙන හැටියට, පළමු සියවසේ දී, ආලේප ලත් ක්‍රිස්තියානින්ගේ බහුතරයක්, තමන්ගේ නිදහස තුළ ප්‍රීතිමත් වූ අතර, කුමක් විඳින්නට සිදුවුණත් තම අඛණ්ඩතාවය පවත්වා ගත්තෝ ය. එහෙත්, සමහරු එහි සියලු ම ආශීර්වාද සමඟ ක්‍රිස්තියානි නිදහසේ රස විඳ, ඉන් පසු ව එයට පයින් ගැසුවේ ලෝකයේ වහල් භාවයට නැවත හැරී යමිනි. එසේ වූයේ ඇයි? බොහෝ දෙනෙකුගේ ඇදහිල්ල දුර්වල වූ බවට සැකයක් නැති අතර, ඔවුහු නිකම් ම කෙමෙන් ‘අහක් ව’ ගියෝ ය. (හෙබ්‍රෙව් 2:1) තවත් අය ‘ඇදහිල්ල සහ යහපත් හෘදය සාක්ෂිය අත්හැර දමා, ඇදහිල්ල නමැති නැව බිඳගත්තෝ ය.’ (1 තිමෝති 1:19) සමහරවිට, ඔවුන් ද්‍රව්‍ය වාදයට හෝ, දුරාචාර ජීවන රටාවකට වැටුණි. අපගේ පුද්ගලික පාඩමේ, ආශ්‍රයේ, යාච්ඤාවේ, සහ ක්‍රිස්තියානි ක්‍රියාකාරම්වල කඩිසර ව සිටිමින්, අපගේ ඇදහිල්ල ආරක්ෂා කරගෙන එය ගොඩ නැංවීම මොනතරම් වැදගත් ද! (2 පේතෘස් 1:5-8) ක්‍රිස්තියානි නිදහස අගය කිරීම අපි කිසිදා නොනවත්වමු! ඇත්ත ය, ලෝකයේ සිටින අය, අපට වඩා නිදහස් යයි කල්පනා කරන සමහරු, සභාවෙන් පිටත තිබෙන ලිහිල් බව දැක ඒ මගින් පරීක්ෂාවට හසුවනවා විය හැක. එනමුත්, ඇත්තෙන් ම, ලෝකය තුළ පෙනෙන්ට තිබෙන නිදහස සාමාන්‍යයෙන් හුදෙක් වගකීමෙන් තොර ය. අපි දෙවියන් වහන්සේගේ වහලුන් නොවෙමු නම්, අපි පාපයේ වහලුන් වෙමු, තව ද එම වහල්කම නිසා තික්ත විපාක විඳින්නට සිදු වෙයි.—රෝම 6:23; ගලාති 6:7, 8.
18-20. (අ) සමහරුන් “වධකණුවට සතුරන්” බවට පත්වූයේ කෙසේ ද? (ආ) සමහරුන් ‘තම නිදහස නපුර වසා ගැනීමට මඟක්’ කර ගත්තේ කෙසේ ද?
18 තවදුරටත්, පිලිප්පිවරුනට ලියන ලද තම ලිපිය තුළ පාවුල් මෙසේ ලීවේ ය: “මා නුඹලාට බොහෝ වර කී ලෙසත්, දැනුත් අඬමින් කියන ලෙසත්, බොහෝ දෙනෙක් ක්‍රිස්තුස්වහන්සේගේ [වධ කණුවට NW ] සතුරෝව හැසිරෙති.” (පිලිප්පි 3:18) එසේ ය, කලෙක ක්‍රිස්තියානි ව සිට, ඇදහිල්ලේ සතුරන් බවට පත් ව සමහරවිට ධර්මභේදීන් වෙමින්, සිටි අය වූහ. ඔවුන්ගේ ක්‍රියා මාර්ගය අප විසින් අනුගමනය නොකිරීම මොනතරම් වැදගත් ද! මීට අමතර ව, පේතෘස් ලියුවේ මෙසේ ය: “නිදහස් අය මෙන් ජීවත් වන්න. එහෙත් ඒ නිදහස, නපුර වසා ගැනීමට මඟක් කර නොගෙන දෙවියන් වහන්සේගේ දාසයන් මෙන් එය භාවිත කරන්න.” (1 පේතෘස් 2:16, නව අනුවාදය) යම් පුද්ගලයෙක්, තමාගේ නිදහස, නපුර වසා ගැනීමට කෙසේ මඟක් කර තබා ගන්නවා විය හැකි ද? බරපතළ පව් කිරීමෙන්—සමහරවිට රහසින්—ඒ අතරතුර ම සභාව සමඟ ආශ්‍රය කිරීම මගිනි.
19 දියොත්‍රෙපස් ගැන මතකයට ගන්න. යොහන් ඔහු ගැන මෙසේ පැවසුවේ ය: “[සභාව තුළ] ප්‍රධානකමට [පළමු තැනට NW ] කැමති දියොත්‍රෙපස් අප [කියන කිසි දෙයක්වත් ගෞරවයෙන් යුතු ව NW ] පිළිගන්නේ නැත. . . . ඔහු සහෝදරයන් [ගෞරවයෙන් NW ] පිළිනොගෙන, පිළිගන්ට කැමතිවූවන් වලක්වා, සභාවෙන් ඔවුන් පහකරන්නේය.” (3 යොහන් 9, 10) දියොත්‍රෙපස් තම නිදහස තමාගේ ම ආත්මාර්ථකාමී අභිලාෂය වසා ගැනීමට මඟක් සේ පාවිච්චි කළේ ය.
20 ශ්‍රාවක යූද් ලීවේ මෙසේයි: “පුරාණ කාලයේ දී මේ දඬුවමට නියමකොට තැබුවාවූද, අභක්තිකවූද, අපගේ දෙවියන්වහන්සේගේ [ලබන්ට නොවටිනා NW] කරුණාව සල්ලාලකමට හරවාගන්නාවූද, අපගේ එකම අධිපතිවූ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එපාකරන්නාවූද මනුෂ්‍යයන් වගයක් රහසින් ඇතුල්වී සිටිති.” (යූද් 4) සභාව සමඟ ඇසුරු කරන අතරතුර, මෙම පුද්ගලයෝ දූෂිත බලපෑමක් වෙමින් සිටියෝ ය. (යූද් 8-10, 16) පර්ගමම් සහ තියාතිරා සභාවන්හි, නිකාය භේදය, රූප වන්දනාව, සහ දුරාචාරය තිබූ බව අපි එළිදරව්වෙහි කියවමු. (එළිදරව් 2:14, 15, 20-23) ක්‍රිස්තියානි නිදහස මොනතරම් වැරදි ලෙස පාවිච්චි කිරීමක් ද!
21. තම ක්‍රිස්තියානි නිදහස වැරදි ලෙස පාවිච්චි කරන අයට සිදු වන්නේ කුමක් ද?
21 මේ අයුරින් තම ක්‍රිස්තියානි නිදහස වැරදි ලෙස පාවිච්චි කරන අයට සිදු වන්නේ කුමක් ද? ඊශ්‍රායෙල් ජාතියට සිදු වූ දේ සිහියට ගන්න. ඊශ්‍රායෙල් දෙවියන් වහන්සේගේ තෝරා ගත් ජාතිය විය, නමුත් අවසානයේ දී, යෙහෝවඃ වහන්සේ ඈ ව ප්‍රතික්ෂේප කළ සේක. මන්ද? මක්නිසාදයත්, ඊශ්‍රායෙල්වරු, දෙවියන් වහන්සේ සමඟ තිබූ තම සම්බන්ධතාවය, නපුර වසා ගැනීමට මඟක් ලෙස පාවිච්චි කළ නිසා ය. තමන් ආබ්‍රහම්ගේ පුත්‍රයන් යයි පුරසාරම් දෙඩූ නමුත් ඔවුහු, ආබ්‍රහම්ගේ වංශය හා යෙහෝවඃ වහන්සේගේ තෝරාගත් මෙසියස් වහන්සේ වන යේසුස් වහන්සේ ව ප්‍රතික්ෂේප කළෝ ය. (මතෙව් 23:37-39; යොහන් 8:39-47; ක්‍රියා 2:36; ගලාති 3:16) සමස්තයක් වශයෙන්, “දෙවියන්වහන්සේගේ ඊශ්‍රායෙල්,” මේ හා සමාන ව නොඇදහිලිකාර නොවනු ඇත. (ගලාති 6:16) එහෙත්, ආත්මික හෝ සදාචාර දූෂණය ඇති කරවන ඕනෑ ම ක්‍රිස්තියානි පුද්ගලයෙක් අවසානයේ දී, හික්මවීමට, සමහරවිට බරපතළ විනිශ්චයකට පවා මුහුණ දෙනු ඇත. අපගේ ක්‍රිස්තියානි නිදහස පාවිච්ච් කරන ආකාරය ගැන අප සියලු දෙනා ම ගණන් දිය යුතු ය.
22. දෙවියන් වහන්සේට වහල්කම් කිරීම සඳහා තම ක්‍රිස්තියානි නිදහස පාවිච්චි කරන අයට ලැබෙන ප්‍රීතිය කුමක් ද?
22 දෙවියන් වහන්සේට වහල්කම් කර සැබෑ නිදහස ලැබීම මොනතරම් හොඳ ද. සැබවින් ම වටින නිදහස දානය කරන්නේ යෙහෝවඃ වහන්සේ පමණි. හිතෝපදේශය මෙසේ කියයි: “මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත [හෘදය NW ] ප්‍රීති කරපන්න.” (හිතෝපදේශ 27:11) අපි අපගේ ක්‍රිස්තියානි නිදහස යෙහෝවඃ වහන්සේ නිදොස් වීම සඳහා පාවිච්චි කරමු. අප එසේ කරනවා නම්, අපගේ ජීවිතවලට අර්ථයක් තිබෙනු ඇත, අප අපගේ ස්වර්ගික පියාණන් ව සතුටු කරනවා ඇත, තව ද, අවසානයේ දී, දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ මහිමයේ නිදහස භුක්ති විඳින අය අතර අප සිටිනු ඇත. w92 6/1
මිනිසා දියහැකි මොනයම් හෝ නිදහසකට වඩා යේසුස් වහන්සේ දානය කළ නිදහස බොහෝ සෙයින් හොඳ ය
ඔබට පැහැදිලි කළ හැකි ද?
◻ සැබවින් ම නිදහස් ව සිටින්නේ කවුරු පමණක් ද?
◻ ආදම් සහ ඒව භුක්ති වින්දේ කුමන නිදහස් තත්ත්වයන් ද, ඔවුන් ඒවා අහිමි කර ගත්තේ ඇයි?
◻ ඊශ්‍රායෙල්වරු, යෙහෝවඃ වහන්සේ සමඟ තිබූ ඔවුන්ගේ ගිවිසුම පැවැත්වූ විට ඔවුන් භුක්ති විඳි නිදහස් තත්ත්වයන් මොනවා ද?
◻ යේසුස් වහන්සේ ව පිළිගත් අයට පැමිණියේ කුමන නිදහස් තත්ත්වයන් ද?
◻ පළමු සියවසේ සිටි සමහරක් අය තම ක්‍රිස්තියානි නිදහස අහිමි කර ගත්තේ හෝ වැරදි ලෙස පාවිච්චි කළේ කෙසේ ද?