අසනීප හා මරණයට එරෙහි ව සටන එය ජය ගනිමින් තිබේ ද?
අසනීප තවත් නැත, මරණය තවත් නැත! වැඩි ජන පිරිසකට මෙය විශ්වාස කළ නොහැකි යමක් ලෙස නාද වන්නට පුළුවන. කෙසේ වෙතත්, වෛද්‍යවරයෙකු මෙන් ම බැක්ටීරියා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන්, වේඩ් ඩබ්ල්යූ. ඔලිවර් ලියුවේ මෙසේ ය: “වාර්තාගත මුල් ම ඉතිහාසයේ පටන්, අසනීප මානව වර්ගයාගේ දෛවය මැනිය නොහැකි අයුරින් හැඩ ගස්වා ඇත . . . මහත් වසංගත භය උපදවන වේගයකින් මනුෂ්‍යයා ග්‍රහණය කොට ඇත . . . රෝග එදා සිට ඔහුගේ පියවර දැඩි ලෙස වෙළාගෙන ඇත.”
යම් ප්‍රබල වෙනසක් ඉතා ඉක්මනින් සිදුවන්නට යන බව විශ්වාස කිරීමට යම් හේතුවක් තිබේ ද? සියලු අසනීප මෙන් ම ඇතැම් විට මරණය පවා ඉවත් කිරීමට ආසන්න තත්ත්වයක වෛද්‍ය විද්‍යාව පවතී ද?
නිසැක ව ම, වෛද්‍යවරුන් හා පර්යේෂකයන් රෝගවලට එරෙහි සටනේ විශිෂ්ට කාර්ය භාරයක් ඉටුකර ඇත. දහනවවන ශත වර්ෂයේ අග භාගයේ කොලරාව සඳහා සොයා ගන්නා ලද සාර්ථක පිළියම වෙනුවෙන්, නොඑසේ නම් මාරාන්තික වසූරියට එරෙහි ව සාදන ලද එන්නත වෙනුවෙන් කෘතඥ පූර්වක නොවී සිටත හැක්කේ මේ පිළිබඳ කරුණු දත් කවරෙකුට ද? එම එන්නත වර්ෂ 1796 දී, එඩ්වර්ඩ් ජෙනර් විසින් එතරම් මාරාන්තික නොවන ගව පැපොල වණයකින් සාදනු ලැබී ය. වර්ෂ 1806 දී, එක්සත් ජනපද ජනාධිපති තෝමස් ජෙෆසන්, ජෙනර් වෙත මෙසේ ලියූ විට, තවත් බොහෝ දෙනෙකුගේ හැඟීම් ප්‍රකාශ කර සිටියේ ය: “ඔබ ජීවත් වූ බව මානව වර්ගයා කවර දිනකවත් අමතක නොකරන බව සිහිවීම, ඔබට තෘප්තියක් ගෙන දෙනු නියත ය. ඉතා අප්‍රසන්නකාරී වසූරිය කලක් පැවති බව මතු ජාතීන් දැන ගනු ඇත්තේ ඉතිහාසය තුළින් පමණි.”
එපමණක් ද නොව, ගලපටලය [ඩිප්තීරියාව] හා බාලක පක්ෂාඝාතය [පොලියෝමයිලෙටිස්] වැනි රෝග හා සම්බන්ධ ව කරන ලද වෛද්‍ය පර්යේෂණවල සාර්ථකත්වයන් ද, කෘතඥ පූර්වක ව හා සතුටින් සඳහන් කළ යුතු ය. තව ද හෘද රෝග හා පිළිකාවට ප්‍රතිකාර කිරීමෙහි ලා වඩාත් මෑත කාලවල ලබා ඇති දියුණුව සඳහා අද ජීවත් වන බොහෝ අය ප්‍රශංසා පිරිනමති. එහෙත්, හෘද රෝග හා පිළිකාව හේතුවෙන්, ජනයා තවමත් මිය යති. සියලු රෝග හා අසනීප ඉවත් කිරීමේ අරමුණ ඉතා දුෂ්කර අත්කරගත නොහැකි යමක් බව තහවුරු වී ඇත.
“අලුත්” රෝග
පරිගණක ආධාරයෙන් ශරීරය පරිලෝකනය [ස්කෑන්] කිරීම, සහ ප්රතිසංසරණ ශල්‍යකර්මයන් අත්දැක ඇත්තා වූ වත්මන් යුගය, පරස්පරවිරෝධි ආකාරයෙන්, ලීජනෙයාර්ස් රෝගය [ඛණ්ඩිකා න්යූමෝනියාව], ටොක්සික් ෂොක් සින්ඩ්‍රම්, මෙන් ම ඒඩ්ස් නමින් හැඳින්වෙන සුප්‍රකට මරුවා වැනි “අලුත්” රෝග රාශියක උපත ද ඇත්දැක ඇත.
ඇත්ත වශයෙන් ම, බොහෝ දෙනෙක් මෙම රෝග හුදෙක් කොතරම් අලුත් දැයි ප්‍රශ්න කරති. එහි එක් ලිපියක යූ.එස්. න්යූස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් හි, ඇතැම් අවස්ථාවන්හි, දීර්ඝ කාලයක් පුරා පැවති රෝග වඩාත් හොඳින් නිශ්චය කරනු ලැබුවාට පසු, ඒවාට අලුත් නාම දී ඇති බව දක්වයි. උදාහරණයක් වශයෙන් ලීජනෙයාර්ස් රෝගය පළමුවරට වර්ෂ 1976 හඳුනාගනු ලැබුව ද, එය ඊට කලින් වැරදි ලෙස වයිරස් න්යූමෝනියාව ලෙස නිශ්චය කෙරෙන්නට ඇත. සමානාකාරයෙන්, ටොක්සික් ෂොක් සින්ඩ්‍රම් ඊට කලින් ආරක්තක උණ යයි වැරදි ලෙස සැලකෙන්නට ඇත.
එහෙත්, රෝග ගණනාවක් නිසැක ව ම අලුත් ඒවා ලෙස පෙනේ. ඒඩ්ස් රෝගය මේ අතරින් වඩාත් ම ප්‍රචලිත එක බවට කිසි සැකයක් නැත. යමෙකු ව බොහෝ සේ දුබල කරවන මෙම මාරක රෝගය පළමු වරට හඳුනාගෙන නම් කරනු ලැබුවේ 1981 දී ය. බ්රසිලියානු රක්තපාත උණ තවත් ප්‍රසිද්ධ නොවූ “අලුත්” රෝගයකි. එය බ්‍රසීලයේ වර්ෂ 1984 සොයා ගනු ලැබූ අතර, එයට තක්සේරු කරන ලද සියයට 50ක මරණ අනුපාතිකයක් ඇත.
කිසි ප්‍රතිකාරයක් පෙනෙනතෙක්මානයේ නොමැත
මෙසේ, මිනිසා තමාට හැකි පමණින් වෑයම් කර ඇතත්, මිනිස් අසනීප සඳහා පූර්ණ එමෙන් ම ස්ථිර ප්‍රතිකාරයක් පෙනෙනතෙක්මානයේ දක්නට නොමැත. වර්ෂ 1900 පටන් මනුෂ්‍යයන් සඳහා ජීවත් වන කාලයේ සාමාන්‍යය, වසර 25කින් පමණ වැඩි වී ඇති බව සැබෑවකි. එහෙත් මෙම වෙනස මූලික ව සිදු වී ඇත්තේ ළදරු අවධියේ එසේත් නැතහොත් ළමා කාලයේ මිය යාමට ඇති ඉඩකඩ අඩු කළ වෛද්‍ය තාක්ෂණය නිසා ය. මිනිසාගේ ආයු කාලය මූලික ව බයිබලයේ සඳහන් “අවුරුදු හැත්තෑවක්” ව පවති.—ගීතාවලිය 90:10.
මෙසේ, වයස අවුරුදු 114ක් ව සිටිය දී වර්ෂ 1987 දෙසැම්බර් මාසයේ ඇනා විලියම්ස් මිය ගිය විට, එය අමුතු යමක් විය. විලියම්ස් මෙනවියගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එක්තරා ලුහුඬු පුවත් වාර්තාකරුවෙක් මෙසේ ලීවේ ය: “මනුෂ්‍යයෙක් ජීවත් වන කාල ප්‍රමාණයේ අවුරුදු 115 සිට 120 ඉහළ සීමාව විය හැකි යයි විද්‍යාඥයෝ කල්පනා කරති. එහෙත් එසේ සිදු විය යුත්තේ මක්නිසා ද? මනුෂ්‍ය ශරීරයක් වර්ෂ 70 කින්, 80 කින්, නැතහොත් 115 කින් පවා හෝ ක්ෂය වී යා යුත්තේ මක්නිසා ද?”
මනුෂ්‍ය ශෛලවලට 50 වාරයක් පමණ බෙදෙන්නට හැකියාවක් ඇතැයි පෙනෙන්නට ඇති බව වෛද්‍ය විද්‍යාඥයෝ 1960 ගණ්නවල දී සොයා ගත්හ. වරක් මෙම සීමාවට එළඹීමෙන් පසු, ශෛල ප්‍රාණවත් ව තබා ගැනීමට කිසිවක් කළ නොහැකි බව පෙනෙන්නට ඇත. මෙය සුදුසු තත්ත්වයන් සලසා දෙනු ලැබුවහොත්, මනුෂ්‍ය ශෛල අනියත කාලයක් නොනැසී පැවතිය හැකි බවට වූ මුල් විද්‍යාත්මක මතය ප්‍රතික්ෂේප කරන්නට නැඹුරු වේ.
එය, මනුෂ්‍ය දුක් වේදනාවලින් වැඩි ප්‍රමාණයක් මිනිසා විසින් ම ඇති කර ගන්නා ලද බවට වූ වැටහීම සමඟ සම්බන්ධ කර බලන්න. එක්තරා පර්යේෂකයෙක් තේරුම් ගත හැකි ලෙසින් මෙසේ නිගමනය කළේ ය: “රෝග යටපත් කරනු ලැබ ඇත්තේ ජෛව වෛද්‍ය නිශ්චය කිරීම්වලින් පමණක් නොවේ ය. රෝගවල ඉතිහාසය, සමාජ හා සදාචාර සාධක සමඟ ඉතා කිට්ටුවෙන් බැඳී පවති.”
ලෝක සෞඛ්‍ය සංවිධානය නිරීක්ෂණය කළේ: ප්‍රථමයෙන් ම අසනීපවල මූලික හේතු සාධකය වළක්වාලනු වෙනුවට, විද්‍යාව, වෛද්‍යවරුන් මෙන් ම රෝහල්, ප්‍රතිකාරයක් සොයා ගන්නා බවට ඇති විශ්වාසයෙන් අප අප කෙරෙහි ම තුවාල පමුණුවාගෙන ඇත. ඇත්තෙන් ම ජීවිත බේරාගන්නා වෛද්‍ය ප්‍රතිකාර නැති බව අපට සිතිය නොහැකි තරම් ය, නමුත් ඒවා අපගේ ‘සෞඛ්‍යයට’ යමක් එකතු කරනවා නොවේ—එය අප මරණය කරා ළංවීම නවත්වනු ඇත. . . . දුම්පානය කරන්නාගේ ආත්ම විනාශකාරි පෙලඹීම, රැකියාව නොමැතිකම මනස හා ශරීරය මත කරන බලපෑම; මේවා ‘අලුත්’ රෝග සමහරකි. ජීවිත කොල්ලකමින්, අපගේ මූල්‍ය සම්පත් ක්රමික ව හීන කරවන, ‘මාර්ග අනතුරු වසංගතයට’ අපි ඉඩ හරින්නේ මක්නිසා ද?
රෝග, අසනීප, දුක් වේදනා, මෙන් ම මරණය මෙසේ අප අතර බොහෝ බලවත් අන්දමකින් පවති. කෙසේ වෙතත් අසනීප නොතිබෙන, මරණය නොතිබෙන කාලයක් වෙත නිසැක ව බැලීමට අපට හේතු ඇත. වඩාත් සතුටු විය හැකි කරුණ නම්, එම කාලය අත ළඟ තිබෙන බව විශ්වාස කිරීමට සෑම හේතුවක් ම ඇත. w91 6/15
“මිසරයේ රෝග”
මුල් කාලයේ පටන් මිනිසුන් රෝගවලට එරෙහි ව සටන් කළ බව බයිබලයේ පවා සඳහන් ව ඇත. උදාහරණයක් වශයෙන් මෝසෙස්, “මිසරයේ තිබුණ, [සියලු] භයානක රෝග” සම්බන්ධයෙන් කුතුහලය පුබුදුවන සඳහන් කරවීමක් කළේ ය.—ද්විතීය කථාව 7:15, න. අ.
පෙනෙන හැටියට මේවාට බරවා රෝගය, අතීසාරය, වසූරිය, බුබොනික් මහාමාරිය, හා නේත්රාභිස්යන්දය යනාදිය අයත් වන්නට ඇත. මෝසෙස්ගේ ජනයා, ව්‍යවස්ථාවෙන් ඔවුන් කෙරෙහි නියම කළ උසස් සෞඛ්‍ය සම්පන්න පුරුදු හේතුකොටගෙන එවන් අසනීපවලින් බේරුනාහ.
මිසරයේ මමිවරුන් පිළිබඳ සුපරීක්ෂාකාරි පරීක්ෂණයක් එළි කළේ මිසරයේ වෙනත් බොහෝ රෝගයන් තිබූ බව ය. මේවාට සන්ධිප්රදාහය, කශේරුකාප්රදාහය, දන්ත හා හකු රෝග, උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය හා වාතරක්ත රෝගය ඇතුළත් විය. එබර්ස් පැපිරස් නමින් හඳුන්වනු ලැබූ, මුල් කාලයේ පොදු වෛද්‍ය ලියවිල්ලක් වායු ගෙඩි, ආමාශයේ හා අක්මාවේ ලෙඩ රෝග, දියවැඩියාව, ලාදුරු රෝගය, අක්ෂිපටලප්රදාහය, හා බිහිරිකම වැනි රෝග ගැන පවා සඳහන් කරයි.
පුරාතන මිසරයේ කාය වෛද්‍යවරුන්ගෙන් සමහරෙක් තමන්ගේ වෛද්‍ය ක්ෂේත්රයේ වඩාත් නිපුණ වෙමින්, මෙම අසනීප හා සටන් කිරීමට ඔවුනට හැකි සැම දෙයක් ම කළහ. ග්‍රීක ඉතිහාසඥ හෙරොඩෝටස් මෙසේ ලීවේ ය: “[මිසර] දේශය කාය වෛද්‍යවරුන්ගෙන් පිරී තිබේ; එක් කෙනෙක් ඇසට පමණක් ප්‍රතිකාර කරයි; තව කෙනෙක් හිස, දත්, උදරය, එසේත් නැතහොත් අභ්‍යන්තර ඉන්ද්‍රීයයන් පිළිබඳ ව ප්‍රතිකාර කරයි.” කෙසේ නමුත්, මිසර “වෛද්‍ය කර්මයෙන්” වැඩි කොටසක් සැබෑ ලෙස ආගමික චාරිත්‍ර උපයෝගි කරමින් කළ බොරු වෙදකමක් වූ අතර, විද්‍යාවෙන් ඈත් ව තිබිණ.
නූතන කාය වෛද්‍යවරුන් රෝගවලට එරෙහි සිය සටනේ ඊට වඩා වැඩි සාර්ථකත්වයක් භුක්ති විඳ ඇත. තවදුරටත්, වෛද්‍ය පර්යේෂක ජෙස්සි ඩොබ්සන්, මෙම කල්පනා උපදවන නිගමනය කරා එළඹුණි: “එසේ නම්, පුරාතන කාලයේ රෝග පිළිබඳ අධ්‍යයනයෙන්, ඉගෙන ගත හැක්කේ කුමක් ද? සාක්ෂි පිළිබඳ සමීක්ෂණයකින් ගන්නා ලද පොදු නිගමනය නම්, ඈත අතීතයේ රෝග හා දුක් පීඩා වර්තමාන ඒවා අතරින් කැපී පෙනෙන ලෙස වෙනසක් නොපෙනෙන බව ය. . . . සියලු දක්ෂකම් හා පරිශ්රමය වැය කරමින් කර ඇති ඉවසිලිවන්ත පර්යේෂණ, පෙනෙන හැටියට, රෝග මුලින් උපුටා දැමීමට එතරම් දෙයක් කර නැත.”—ඩිසීස් ඉන් ඒන්ෂන්ට් මෑන්. w91 6/15