ශුද්ධ ලියවිල්ලේ ස්ත්‍රියගේ කාර්ය භාරය
“මෑ මනුෂ්‍යයාගෙන් ගන්නාලද හෙයින් මනුෂ්‍ය දූ යයි කියනුලබන්නීය.”—උත්පත්ති 2:23.
ශුද්ධ ලියවිලි ස්ත්‍රීන් ගැන කල්පනා කරන්නේ කෙසේ ද? මේ පිළිබඳ මත වෙනස් වේ. මෙම විෂය හා සම්බන්ධ එක් මෑත කාලීන පොතක් මෙසේ ප්‍රකාශ කරයි: “වත්මන් පූර්ව කල්පිත අදහස වනුයේ බයිබලය ස්ත්‍රිය පහත් කොට සලකා ඇති බව ය.” එහි හෙබ්‍රෙව් මෙන් ම ග්‍රීක් යන දෙකොටසෙහි ම, බයිබලය, ස්ත්‍රිය කෙරෙහි දැඩි ව සිටින බව සමහර අය තරයේ කියා සිටිත්. මෙය සැබෑවක් ද?
2 මෙහිලා සාධාරණ වීමට, බයිබල් කාලවල යෙහෝවඃ වහන්සේට නමස්කාර නොකළ ජනයා අතර, ස්ත්‍රීන් ව සලකනු ලැබූ ආකාරය පළමුව පරික්ෂා කර බැලීම සුදුසු වේ. මව් දේවතාවියගේ නමස්කාරයේ යෙදුණු සමහරක් පුරාතන ශිෂ්ටාචාරයන්හි ස්ත්‍රීන් සශ්‍රීකත්වයේ සලකුණු ලෙස ගෞරව කරනු ලැබූහ. ඔවුන් බබිලෝනියේ හා මිසරයේ ඉතා උතුම් කොට සලකනු ලැබූ බව පෙනේ. එහෙත් අන් තැන්වල ඔවුන්ට එතරම් හොඳ සැලකිලි ලැබුනේ නැත. පුරාතන අෂූරියේ පුරුෂයෙකුට සිය කැමැත්ත අනුව තමාගේ භාර්යාව ඉවත් කරන්නට මෙන් ම ඇය ද්‍රෝහිකාර වූයේ නම් ඇය ව මරන්නට පවා හැකියාව තිබිණ. නිවසෙන් පිටස්තර ව ඇයට මුහුණු වැස්මක් පළඳින්නට සිදු විය. ග්‍රීසියේ හා රෝමයේ, ධනවත් ස්ත්රීන්ට, එයිනුත් වැඩි දෙනෙක් අභිචාරිකාවන්, නැතහොත් ඉහළ පෙළේ ගණිකාවන් ව සිටි අයට පමණක්, අධ්‍යාපනයට හා යම් ප්‍රමාණයක නිදහස භුක්ති විඳීමට හැකියාව තිබිණ. එබැවින්, ද න්‍යු ඉන්ටනැෂනල් ඩික්ෂනරි ඔෆ් න්‍යු ටෙස්ටිමන්ට් තියෝලජිa හි මෙසේ කියවීමට දැකීම නැවුම්බවක් ගෙන දෙයි: “ප්‍රාචීන (ආගමික) ඉතිරි ලෝකයට වෙනස් ව, ඇය [හෙබ්‍රෙව් ලියවිල්ලේ ස්ත්‍රිය] පුද්ගලයෙක් ලෙසත් පුරුෂයාගේ සහකාරිය ලෙසත් පිළිගනු ලැබ සිටින්නී ය.” මෙය, යෙහෝවඃ වහන්සේගේ දිවැස්වරයා “කිසිවෙක් තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්ධව ද්‍රෝහිලෙස ක්‍රියා නොකෙරේවා” යයි තවදුරටත් පවසමින්, පුරුෂයෙකුගේ භාර්යාව ඔහුගේ ‘සහකාරිය’ ලෙස විස්තර කරන්නා වූ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ අවසාන පොතෙහි හොඳින් සඳහන් කොට ඇත.—මලාකි 2:14, 15.
පුරුෂයාගේ පූර්ණය ලෙස මවනු ලැබී ය
3 බයිබලයට අනුව යෙහෝවඃ වහන්සේ “භූමියේ දූවිල්ලෙන්” ආදම් මවා, ඒදන් උද්‍යානය වගා කරනු පිණිස, එහි පදිංචි කර වූ සේක. ආදම් වනයේ මෘගයන් ද, ආකාශයේ පක්ෂීන් ද හදාරා උන්ට නම් තබනු පිණිස, උන් වහන්සේ එම සත්වයින් හා පක්ෂීන් ඔහු වෙතට පැමිණවූ සේක. මෙය කිරීම සඳහා ආදම්ට ගත වූ යම් ප්‍රමාණයක කාලයක් ඇතුළත, හෙතෙම තනි ව සිටියේ ය. මේතාක් දුරට හෙතෙම යෙහෝවඃ වහන්සේගෙන් ලද පැවරුම වෙනුවෙන්, ඔහු පරිපූර්ණ ව, සම්පූර්ණ ව, කිසිවකින් හිඟ ව නොසිටියේ ය.b ඔහුට “[ඌනපූරණයක් ලෙස NW] සුදුසු සහකාරියක්” සිටියේ නැත.—උත්පත්ති 2:7, 15, 19, 20.
4 කෙසේ නමුත්, යම් කාලයක් ගත වීමෙන් පසු, “මනුෂ්‍යයා තනියම සිටීම හොඳ” නැතැයි යෙහෝවඃ වහන්සේ ප්‍රකාශ කළ අතර, ඔහු ඉදිරියේ වූ කාර්ය භාරයෙහි ඔහු හා හවුල් වනු පිණිස උන් වහන්සේ ආදම්ට සහකාරියක් ලබා දුන් සේක. උන් වහන්සේ ආදම් ව සිහි නැති කර, ඔහුගේ ඉළ ඇටවලින් එකක් ගලවා, එය ‘ආදම්ගේ ඇටවලින් ඇටය, ඔහුගේ මාංසයෙන් මාංසයය’ වනසේ, එය ස්ත්‍රියක් බවට තැනූ සේක. මෙහිදී ආදම්ට “උපකාරකරන්නියක්,” “ඌනපූරණයක්,” නැතහොත් පූරණයක් ලැබෙනු ඇත. තව ද “දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත්කරගනිව්; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරව්යයි කීසේක.”—උත්පත්ති 1:25, 28; 2:18, 21-23.
5 මෙම පැවරුම පුරුෂයාට හා ස්ත්‍රීයට, “ඔවුන්” දෙදෙනාට ම දෙන ලද බව සිතට ගන්න. ඔවුන්ගේ සහයෝගිත්වය පොළොව පූර්ණ කිරීමට පමණක් සීමා නොවනු ඇත. ඊට පොළොව යටත් කර ගැනීම හා පහත් සියලු සත්වයන් කෙරෙහි යුතු ආධිපත්‍යයක් පැවැත්වීම ද අයත් වනු ඇත. මේ සඳහා බුද්ධිමත් එමෙන් ම ආත්මික ගුණාංග අවශ්‍ය කර වූ අතර දෙවියන් වහන්සේගේ කැමැත්තට එකඟ ව මේවා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය කුසලතාවය පුරුෂයා හා භාර්යාව යන දෙදෙනාට ම තිබිණ.
ස්ත්‍රියගේ තර්කානුකූල කාර්ය භාරය
6 ඇත්ත වශයෙන්, පොළොව යටත් කර ගැනීමට කායික ශක්තියක් ද අවශ්‍ය වනු ඇත. ස්වකීය අපරිමිත ප්‍රඥාවෙන්, යෙහෝවඃ වහන්සේ පළමුව ආදම් ද, පසුව ඒව ද, මැවූ සේක. “පුරුෂයාගෙන්,” හා ‘පුරුෂයා සඳහා වූ නිසා,’ ඇය පෙනෙන හැටියට පුරුෂයාට වඩා අඩු කායික ශක්තියකින් යුක්ත ව, මවනු ලැබී ය. (1 තිමෝති 2:13; 1 කොරින්ති 11:8, 9; සසඳන්න 1 පේතෘස් 3:7.) මෙය පුරුෂයන්ගේ නිදහස ස්ත්‍රීන්ටද තිබිය යුතුය යන මතය දරන්නන් මෙන් ම වෙනත් සමහරක් ස්ත්රීන්ට ද පිළිගැනීමට යම් අපහසුතාවයක් තිබෙන ජීවිතයේ සත්‍යයක් ය. යෙහෝවඃ වහන්සේ කාරණා මෙයාකාරයෙන් පිළියෙල කිරීමට හේතුව තේරුම් ගැනීමට වෑයම් කරමින්, එසේ ඔවුන් දෙවියන් වහන්සේ විසින් ප්‍රදානිත කාර්ය භාරය පිළිගත්තේ නම්, ඔවුන් නිසැකව ම වඩාත් ප්‍රීතියෙන් සිටිනු ඇත. දෙවියන් වහන්සේගේ පිළිවෙළ ගැන චෝදනා කරන්නා වූ අය, උස් අත්තකට පියාසර කර දෙවියන් වහන්සේ විසින් ප්‍රදානිත අද්විතීය දීමනාව වෙනුවෙන් කෘතඥපූර්වක ව ගී ගයනු වෙනුවට, තමා මුහුදු ලිහිණියෙකු තරම් ශක්තිමත් නොවන බැවින් සිය කැදැල්ලේ බුම්මාගෙන සිටින රෑ කොවුලෙකු හා සැසඳිය හැකි ය.
7 ඒව මවනු ලැබීමට පෙර, ආදම් ජීවත් වීමෙහි බොහෝ අත්දැකීම් ලබන්නට ඇති බව නිසැක ය. මේ කාලය තුළ දී, යෙහෝවඃ වහන්සේ ඔහුට ඇතැම් උපදෙස් දුන් සේක. ආදම්, එසේ දෙවියන් වහන්සේ වෙනුවෙන් කථා කරන්නෙක් වෙමින්, ඒවා සිය භාර්යාවට කිව යුතු විය. තර්කානුකූල ව, හෙතෙම නමස්කාරය සම්බන්ධ සියලු කාරණාවලදීත්, ඔවුන්ගේ පැවරුම ඉටු කරනු පිණිස ඔවුන් කළ යුතු වූ දිව්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙනුත්, ඔහු පෙරමුණ ගත යුතු ව තිබිණ, දරුවන් ඉපදුන විට, ඔහු පවුලේ මූලිකයා වනු ඇත. එහෙත්, මෙය ඔහුගේ භාර්යාවගේ අවාසිය පිණිස නොවන්නේ ය. ඒ වෙනුවට, සිය දරුවන් කෙරෙහි දෙවියන් වහන්සේ විසින් ඇයට ම ප්රදානය කළා වූ ආධිපත්‍යය ඇය උපයෝගී කළ අවස්ථාවන්හි ඇයට අනුබල දීමට යමෙක් සිටින බැවින්, එය ඇයගේ ම වාසිය සඳහා වනු ඇත.
8 කාරණා පිළිබඳ දිව්‍ය පිළිවෙළට අනුව, ආදම් යෙහෝවඃ වහන්සේට ගණන් දිය යුතු විය, ඒව ආදම්ගේ ආධිපත්‍යය යටතේ සිටියා ය, ලැබෙන දරුවන් සිය මව්පියන්ගේ මගපෙන්වීම යටතේ සිටිනු ඇත, එසේ ම සත්වයින් මනුෂ්‍යවර්ගයාට යටත් ව සිටිනු ඇත. පුරුෂයාට හා ස්ත්‍රියට තමන්ට ම පවරන ලද කාර්ය භාරයන් තිබූ අතර, ඒ එක් එක් අයට සන්තෝෂමත් මෙන් ම ඵලදායී ජීවිතයක් ගත කළ හැකි විය. මෙසේ, ‘සියල්ල ඔබිනා ලෙසද පිළිවෙළින්ද ක්‍රියාත්මක වනු ඇත.’—1 කොරින්ති 11:3; 14:33, 40, පාද සටහන.
පාපය ස්ත්‍රියගේ කාර්ය භාරය විකෘති කළේ ය
9 මුල් පාරාදීසය තුළට පාපයේ හා අසම්පූර්ණත්වයේ ආක්‍රමණය, කරණකොටගෙන ස්වාභාවික ව ම, කාරණා පිළිබඳ පිළිවෙළක් ඇති මෙම විධිවිධානය බාධාවට පැමිණ වී ය. (රෝම 7:14-20) එය කැරලිකාර පුරුෂයා හා ඔහුගේ අකීකරු භාර්යාව කෙරෙහි පීඩා ගෙනාවේ ය. (උත්පත්ති 3:16-19) එවක් පටන්, මෙතෙක් ජීවත් වූ ස්ත්රීන්ට බොහෝ වේදනා ගෙන එමින්, ආත්මාර්ථකාමී පුරුෂයන් බොහෝ දෙනෙකු විසින් සිය නියම ආධිපත්‍යය අනිසි ලෙස පාවිච්චි කරනු ලැබ ඇත.
10 පාපයේ මෙම පැහැදිලි ව පෙනෙන විපාක කලින් දැක, යෙහෝවඃ වහන්සේ ඒවට මෙසේ කීසේක: “නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේය.” (උත්පත්ති 3:16) මෙම අනිසි බලය පැවැත්වීම ආධිපත්‍යය යුතු ලෙස ක්‍රියාත්මක කරවීමක් නොවී ය. එය පුරුෂයාගේ පාපතර තත්ත්වයත් එසේ ම ස්ත්‍රියගේ අසම්පූර්ණත්වයත් විදහා පෙන්වා ඇත. මන්දයත්, ඇතැම් අවස්ථාවල ස්ත්‍රීන් තම පුරුෂයන්ගේ ආධිපත්‍යය අයුතු ලෙස පැහැර ගැනීමට වෑයම් කර දුක් පීඩා විඳ ඇති නිසා ය.
11 එහෙත් බයිබල් ප්‍රතිපත්තිවලට අනුකූල වූ පමණට, ස්ත්‍රීන් බොහෝ දෙනෙක් සම්පූර්ණත්වය හා සන්තෝෂය අත්දැක ඇත. මෙය ආදි පීතෲවරුන්ගේ කාලයේ පවා එසේ විය. එම කාල පරිච්ඡේදය ගැන කථා කරමින්, ලේඛක ලෝරේ එයිනාර්ඩ්, ලා බීබ්ල’ ඕ ෆෙමිනා (ස්ත්‍රී ලිංගයෙන් බයිබලය) නම් සිය පොතේ මෙසේ ලියයි: “ස්ත්‍රීන් විසින් ඉටු කරන ලද වැදගත් කාර්ය භාරය, ආදි පීතෲරුන්ගේ නෙත් හමුවේ ඔවුන්ගේ හොඳ නම, ඔවුන්ගේ නිර්භීත මුල පිරීම, මෙන් ම ඔවුන් ජීවත් වූ නිදහස් වාතාවරණය යනාදිය, මේ සියලු වාර්තාවන්හි විශේෂයෙන් ම කැපී පෙනෙන දෙයකි.”
මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ සිටි ස්ත්‍රිය
12 මෝසෙස් තුළින් දෙන ලද යෙහෝවඃ වහන්සේගේ ව්‍යවස්ථාවන්ට අනුව, භාර්යාවන් ව “ආදරයෙන් රැකබලා” ගත යුතු ව තිබුණි. (ද්විතීය කථාව 13:6, NW) ලිංගික කාරණාවලදී භාර්යාවන්ගේ ගරුත්වයට සැලකිල්ල දැක්විය යුතු අතර, කිසිඳු ස්ත්‍රියක් ලිංගික වශයෙන් අනිසි ලෙස යොදා ගත යුතු නොවී ය. (ලෙවී කථාව 18:8-19) කාමමිථ්‍යාචාරය, ව්‍යාභිචාරය, හෝ පශු මෛථූනය යනාදිය සම්බන්ධයෙන් තමන් වැරදිකරුවන් වුවහොත් ව්‍යවස්ථාව හමුවේ පුරුෂයා හා ස්ත්‍රිය සමාන වූහ. (ලෙවි කථාව 18:6, 23; 20:10-12) පියාටත් මවටත් සමාන ගෞරවය පෙන්වීම පස්වන පනතින් අවශ්‍ය කෙරිණ.—නික්මයාම 20:12.
13 සියල්ල අභිබවා, ව්‍යවස්ථාව සිය ආත්මිකත්වය වර්ධනය සඳහා පූර්ණ ප්‍රස්තාව ස්ත්රීන්ට ලබා දුණි. ඔවුහු ව්‍යවස්ථාව කියවීමෙන් ප්‍රයෝජන ලැබුවාහ. (යෝෂුවා 8:35; නෙහෙමියා 8:2, 3) ආගමික උත්සව පැවැත්වීම ඔවුන්ගෙන් අවශ්‍ය කෙරිණ. (ද්විතීය කථාව 12:12, 18; 16:11, 14) ඔවුන් සතිපතා සබතට හවුල් වූ අතර නසරීය භාරය ද ගත හැකි විය. (නික්මයාම 20:8; ගණන් කථාව 6:2) ඔවුනට යෙහෝවඃ වහන්සේ සමඟ පුද්ගලික සම්බන්ධතාවයක් තිබූ අතර ඔවුහු උන් වහන්සේට පුද්ගලික ව යාච්ඤා කළහ.—1 සාමුවෙල් 1:10.
14 හෙබ්‍රෙව් ස්ත්‍රිය ගැන අදහස් දක්වමින්, කතෝලික බයිබල් පඬිවර රොලන්ඩ් ඩි වවුක්ස් ලියනුයේ: “නිවසේ සියලු වෙහෙසකර ක්‍රියාවන් ස්ථිර ලෙස ඇයට පැවරිණ; ඇය රැළ රැකබලා ගත්තාය, කෙත්වල වැඩ කළා ය, ආහාර පිසුවා ය, රෙදි විවීම යනාදිය කළා ය. පෙනෙන හැටියට බරවැඩ වූ මේ සියල්ල, කෙසේ නමුත්, ඇයගේ තත්ත්වය පහත හෙළනු වෙනුවට, ඇයට සැලකිල්ල ලබා දුණි. . . . එසේ ම මෙය සාමාන්‍ය තත්ත්වය වූ බව නිසැක ය. එය උත්පත්ති පොතෙහි සඳහන් ව ඇති, එනම්, මවන ලද ස්ත්‍රිය පුරුෂයාට සහකාරියක් ව සිටින්නට යන බව, එසේ ම ඔහු ඇලුම් ව සිටින්නට යන බව දෙවියන් වහන්සේ වදාළ, ඉගැන්වීම්වල විශ්වාසනීය ක්‍රියාත්මක කරවීමකි (උත්පත්ති 2:18, 24); තවද හිතෝපදේශයෙහි අවසාන පරිච්ඡේදය, සිය දරුවන්ගෙන් ආශීර්වාද ලබන, එසේ ම සිය පුරුෂයාගේ අභිමානය වන්නා වූ, ගුණවත් ගෘහනියකගේ වර්ණනාව ගායනා කරයි (හිතෝපදේශ 31:10-31).” (ඒන්ෂන්ට් ඉශ්රයෙල්—ඉට්ස් ලයිෆ් ඇන්ඩ් ඉන්ස්ටිටියුෂන්ස්) නිසැකව ම, ඉශ්රායෙල්වරුන් විසින් ව්‍යවස්ථාව පවත්වන ලද විට, ස්ත්‍රීන් දුෂ්ට ලෙස සලකනු නොලැබී ය.
කැපී පෙනෙන ස්ත්‍රීන්
15 හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ දෙවියන් වහන්සේගේ කැපී පෙනෙන සේවිකාවන් ව සිටියා වූ ස්ත්රීන්ගේ ආදර්ශ බොහොමයක් අඩංගු ව ඇත. දේව භයැති ස්ත්‍රියක් එකහෙලා සිය පුරුෂයාට යටහත් විය හැකි ආකාරයත්, තීරණ ගැනීමෙහි ඔහුට සහය විය හැකි ආකාරයත් පිළිබඳ මාහැඟි ආදර්ශයක් සාරා සපයයි. (උත්පත්ති 21:9-13; 1 පේතෘස් 3:5, 6) රාහබ් සම්බන්ධ සිද්ධිය ද සැලකිල්ලට ගත යුත්තකි. යෙහෝවඃ වහන්සේ ජාතිවාදී ව අගතිගාමී මෙන් ම ස්ත්‍රීන් කෙරෙහි අනුකම්පා රහිත ව සිටින බවට වූ චෝදනා එය නිෂ්ප්රභා කරවයි. රාහාබ් ඉශ්රායෙල් නොවන ගණිකාවක් වූවා ය. යෙහෝවඃ වහන්සේ ඇය ව නමස්කාර කරන්නියක් ලෙස පිළිගත්තා පමණක් නොව, ජීවන රටාව වෙනස් කර ගැනීමේ ක්‍රියාවෙන් පෙන්වන ලද ඇයගේ මහත් ඇදහිල්ල නිසා, ඇය ධර්මිෂ්ඨ යයි උන් වහන්සේ ප්‍රකාශ කළ සේක. මීට අමතර ව, උන් වහන්සේ මෙසියස් වහන්සේගේ පරම්පරාවේ කෙනෙක් වීමේ තනි වරප්‍රසාදය ද ඇයට උරුම කර දුන් සේක.—මතෙව් 1:1, 5; හෙබ්‍රෙව් 11:31; යාකොබ් 2:25.
16 සිය පුරුෂයාට භාර්යාවක් මෝඩ ලෙස යටත් වීම යෙහෝවඃ වහන්සේ ඉල්ලා නොසිටින බව විස්තර කරන්නේ අබීගායිල් සම්බන්ධ සිද්ධියේ දී ය. ඇයගේ පුරුෂයා විශාල බැටළු හා එළු රැළවල් ඇති ව සිටි ධනවතෙක් විය. එහෙත් හෙතෙම “[සිය NW] ක්‍රියාවලින් කර්කශවූ නපුරුවූ” කෙනෙක් ව සිටියේ ය. සිය ස්වාමිපුරුෂයාගේ නපුරු ක්‍රියාකාරකම් අනුගමනය කිරීම අබිගායිල් ප්‍රතික්ෂේප කළා ය. විචක්ෂණ බුද්ධිය, පමණ දැන ක්‍රියා කිරීම, යටහත් භාවය, හා ඉක්මනින් කාරණා අවබෝධ කර ගැනීම පෙන්වමින්, ඇය සිය ගෙවැසියන්ට විනාශකාරී විය හැකි ව තිබූ තත්ත්වයක් වැළැක් වූ අතර යෙහෝවඃ වහන්සේ තුළින් මහත් සේ ආශීර්වාද ලැබුවා ය.—1 සාමුවෙල් 25:2-42.
17 ස්ත්‍රීන් ස්වල්ප දෙනෙක් දිවැස්වරියන් ව ද සිටියාහ. විනිශ්චකාරයන්ගේ කාලයේදී විසූ දෙබොරා එවන්නියකි. (විනිශ්චකාරයන්ගේ පොත, 4 වන හා 5 වන පරිච්ඡේද) හුල්දා, යෙරුසලමේ විනාශයට මද කලකට පෙර යුදාහි ජීවත් වූ දිවැස්වරියකි. (2 රාජාවලිය 22:14-20) මිරියාම් සම්බන්ධ සිද්ධිය ද සැලකිල්ලට ගත යුත්තකි. ඇය යෙහෝවඃ වහන්සේ විසින් එවන ලද දිවැස්වරියක් ලෙස ප්‍රකාශ කෙරුන ද, පෙනෙන හැටියට මෙම වරප්‍රසාදයෙන් එක් අවස්ථාවක ඈ උඩඟු වූවා ය. ඉශ්රායෙලය මග පෙන්වන්නට යෙහෝවඃ වහන්සේ සිය බාල සහෝදරයා වූ මෝසෙස්ට දී තිබූ බලය පිළිගැනීමට ඈ අසමත් වූ අතර එයට ඇය දඬුවම් කරනු ලැබුවා ය. මෙහි දී පෙනෙන හැටියට ඇය පසුතැවිලි වී පසුව නැවත සනීප කරනු ලැබී ය.—නික්මයාම 15:20, 21; ගණන් කථාව 12:1-15; මීකා 6:4.
යුදෙව් ධර්මය යටතේ සිටින ස්ත්‍රීන්
18 අප දුටු ලෙසින්, මෝසෙස්ගේ ව්‍යවස්ථාව ස්ත්රීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ අතර, එය අනුගමනය කරනු ලැබූ විට, කාන්තා පරපුරට තෘප්තිකර ජීවිතයක් ගත කිරීමට හැකියාව ලබා දුණි. එහෙත් කාලය ගෙවී යත් ම, විශේෂයෙන් පො. යු. පෙර 607 යෙරුසලම විනාශ වීමෙන් පසු, යෙහෝවඃ වහන්සේගේ ලිඛිත ව්‍යවස්ථාවට වැඩියෙන් වාචික සම්ප්‍රදායන් මත පදනම් වූ, යුදෙව් ධර්මය වර්ධනය විය. පොදු යුගයට පෙර හතර වන ශත වර්ෂයේ පටන්, යුදෙව් ධර්මයට ග්‍රීක් දර්ශනය බොහෝ සේ ඇතුළත් විය. පුළුල් පරිමානයකට ග්‍රීක් දර්ශනවාදීන් ස්ත්රීන්ගේ අයිතිවාසිකම් කෙරෙහි මඳ අවධානයක් යොමු කළ අතර, මෙසේ යුදෙව් ධර්මය තුළ ස්ත්රීන්ගේ තත්ත්වයෙහි සාපේක්ෂිත පහත වැටීමක් ඇති විය. පොදු යුගයට පෙර තුන් වන ශත වර්ෂයේ පටන්, යුදෙව් සිනගෝගවල ස්ත්‍රීන් පුරුෂයන්ගෙන් වෙන් කිරීමක් සිදු වූ අතර ටෝරා (මෝසෙස්ගේ ව්‍යවස්ථාව) කියවීමට ඔවුන් අධෛර්යයට පත් කරනු ලැබී ය. “මෙහි විපාකයක් වශයෙන් ස්ත්‍රීන් කිහිප දෙනෙක් පමණක් උගත් ව සිටියේ” යයි එන්සයික්ලෝපීඩියා ජුඩෙයිකා ප්‍රකාශ කරයි. අධ්‍යාපනය මූලික ව පිරිමි දරුවන් සඳහා විය.
19 ජෙරුසලෙම් ඉන් ද ටයිම් ඔෆ් ජීසස් නම් සිය පොතෙහි, ජේ. ජෙරෙමියස් ලියනුයේ: “සමස්ථයක් වශයෙන්, ආගමික ව්‍යවස්ථාවෙහි ස්ත්‍රියගේ තත්ත්වය, ‘ස්ත්‍රිය, (අන්‍ය ජාතික) වහලුන් හා දරුවන්’ යන මෙම පුන පුනා කියනු ලබන නියමයෙහි වඩාත් හොඳින් ප්රකාශිතව ඇත. . . . ස්ත්‍රිය සම්බන්ධයෙන් ප්‍රකාශ කරන ලද අවඥා සහිත මත බොහොමයක් තිබූ බව අප මෙයට ඇතුළත් කළ යුතු ය. එබැවින් යේසුස් වහන්සේගේ කාලයේ යුදෙව් ධර්මයට ස්ත්‍රීන් සම්බන්ධ ඉතා පහත් හැඟීමක් තිබූ බව අපට හැඟේ.”
මෙසියස් වහන්සේගේ පැමිණීම බලා සිටි ඇදහිලිවන්ත ස්ත්‍රීන්
20 ස්ත්‍රීන් කෙරෙහි වූ මෙම සාවඥා සහගත ආකල්පය, යුදෙව් ධර්මාචාර්ය්යයන් ‘තමුන්ගේ නියෝගවලින් දෙවියන්වහන්සේගේ වචනය අවලංගු කළ’ තවත් ආකාරයක් විය. (මාර්ක් 7:13) එහෙත් මෙම හෙලා දැකීම මධ්‍යයෙහි, මෙසියස් වහන්සේගේ පැමිණීමේ කාලය සමීප වෙත් ම, භක්තිමත් ස්ත්‍රීන් සමහරෙක් සාවධානී ව සෝදිසියෙන් සිටියාහ. ලෙවී පූජකයෙක් වූ සෙකරියාගේ භාර්යාව වන, එලිසබෙත් මොවුන්ගෙන් එක් කෙනෙකු විය. ඇය මෙන් ම ඇයගේ පුරුෂයා “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේ NW] සියලු ආඥා හා නියෝගවල නිර්දෝෂව හැසිරෙමින්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මමිෂ්ඨව සිටියෝය.” (ලූක් 1:5, 6) එලිසබෙත් යෙහෝවඃ වහන්සේ විසින් කොතරම් අනුග්‍රහය ලැබුවේදයත්, ඇය වඳ ව මහලු වියට පිවිස සිටියත්, ඇය යොහන් බව්තිස්තගේ මව වූවා ය.—ලූක් 1:7, 13.
21 ශුද්ධාත්මයේ පෙලඹවීමෙන්, එළිසබෙත් සිය දවසේ ජීවත් වූ තවත් භක්තිමත් ස්ත්‍රියක් වන, මරියා නම් ඥාතියෙක් කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් ප්‍රකාශ කළා ය. පොදු යුගයට පෙර 3 අවසානයේ දී පමණ, මරියා ආශ්චර්යමත් ලෙස දරුවෙක් (යේසුස් වහන්සේ) පිළිසිඳ ගන්නා බව දැනුම් දෙනු ලැබූ විට, ගාබ්‍රියෙල් දේවදූතයා මරියා ව “බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය” ලෙස අමතමින්, “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] නුඹ සමග සිටිනසේක” යයි පැවසුවේ ය. ඉන් වැඩි කලක් යන්නට පෙර, මරියා එලිසබෙත් බලන්නට ගිය අතර ඇය, යේසුස් වහන්සේ උපදින්නටත් පෙර උන් වහන්සේ ව “ස්වාමීන්වහන්සේ” ලෙස අමතමින්, ඇයටත්, ඇය කුසෙහි සිටි නූපන් දරුවාටත් ආශීර්වාද කළා ය. එකෙනෙහි ම, මරියාගේ ගැඹුරු වූ දිව්‍ය භක්තිය ඉතා පැහැදිලි ලෙස ගෙනහැර පාමින් ඇය යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා මුඛයෙන් ගෞරව කළා ය.—ලූක් 1:28, 31, 36-55.
22 යේසුස් වහන්සේගේ උපතෙන් පසු, උන් වහන්සේ ව යෙහෝවඃ වහන්සේට ඉදිරිපත් කිරීම පිණිස මරියා උන් වහන්සේ ව යෙරුසලමේ දේව මාලිගාවට ගෙනා විට, තවත් දේව භයැති ස්ත්‍රියක් ද, මහලු දිවැස්වරියක් ද වන ආනා, සිය ප්‍රීතිය ප්‍රකාශ කළා ය. ඇය යෙහෝවඃ වහන්සේට ස්තූති කරමින්, පොරොන්දු වූ මෙසියස් වහන්සේ කෙරෙහි මහත් ආශාවෙන් බලා සිටිය සියල්ලන්ට යේසුස් වහන්සේ ගැන කථා කළා ය.—ලූක් 2:36-38.
23 මෙසේ, යේසුස් වහන්සේගේ භූමික සේවය සඳහා කාලය පැමිණි විට, “දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවුණ ශුද්ධවූ ස්ත්‍රීවරු” තවදුරටත් සිටියා ය. (1 පේතෘස් 3:5) මෙම ස්ත්‍රීන්ගෙන් සමහරෙක් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් වූහ. යේසුස් වහන්සේ ඔවුන්ට කෙසේ සැලකූ සේක් ද? එමෙන් ම බයිබලයේ ගෙනහැර දක්වන ලෙසින් සිය කාර්ය භාරය ප්‍රීතියෙන් පිළිගන්නා ස්ත්‍රීන් අද දවසේත් සිටිත් ද? මෙම ප්‍රශ්න මීළඟ ලිපියේ සලකා බැලෙනු ඇත. w91 7/1
[පාදසටහන්වල]
a තුන්වන කාණ්ඩය, 1055 පිටුව.
b “අන්තිම ආදම්” වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමානාකාරයෙන් පරිපූර්ණ, සම්පූර්ණ මනුෂ්‍යයෙක් වුවත්, උන් වහන්සේට මනුෂ්‍ය භාර්යාවක් සිටියේ නැත.—1 කොරින්ති 15:45.
පුනරීක්ෂණය සඳහා ප්‍රශ්න
▫ ඉශ්රායෙලයේ ස්ත්රීන්ට සලකනු ලැබූ ආකාරය වෙනත් දේශයන්හි සලකනු ලැබූ ආකාරයට වඩා වෙනස් වූයේ කෙසේ ද?
▫ ආදම් සහ ඒවගේ සාපේක්ෂිත තත්ත්වයන් කුමක් වී ද, එමෙන් ම ඒ මක්නිසා ද?
▫ ව්‍යවස්ථාව යටතේ ඉශ්‍රායෙල්ගේ ස්ත්‍රින්ට කිනම් තත්ත්වයක් තිබුණේ ද, එමෙන් ම ඔවුහු ආත්මික ව අවාසිදායක තත්ත්වයක සිටියෝ ද?
▫ හෙබ්‍රෙව් ලියවිල්ලේ කැපී පෙනෙන ස්ත්රීන්ගේ ජීවිතවලින් උගත හැකි සමහරක් පාඩම් මොනවා ද?
▫ යුදෙව් ධර්මයේ මත මධ්‍යයෙහි වුවත් ඇදහිල්ල පිළිබඳ කිනම් මාහැඟි ආදර්ශයන් දක්නට ඇත්ද?
[පාඩම සඳහා ප්‍රශ්න]
1, 2. (අ) බයිබලය ස්ත්‍රීන් කෙරෙහි දරණ මතය ගැන සමහරුන් සිතන්නේ කෙසේ ද? (ආ) සාධාරණ වීමට කිනම් සැසඳීමක් කළ යුතු ද, එමෙන් ම එක් යොමු පොතක් සඳහන් කරනුයේ කුමක් ද?
3. හා පාද සටහන. (අ) ආදම් මැවීමෙන් පසු, යෙහෝවඃ වහන්සේ ඔහුට කිනම් කාර්ය පැවරුමක් දුන් සේක් ද? (ආ) ඔහුට තවමත් භාර්යාවක් නොසිටියත් ඒවගේ මැවීමට පෙර ආදම් සම්බන්ධයෙන් සැබෑ වූයේ කුමක් ද, ඒමෙන් ම “අන්තිම ආදම්” වන යේසුස් වහන්සේ සම්බන්ධයෙන් පවා සැබෑ වූයේ කුමක් ද?
4, 5. (අ) තවදුරටත් ආදම් තනිව සිටීම හොඳ නොවූ විට, යෙහෝවඃ වහන්සේ කුමක් කළ සේක් ද? (ආ) යෙහෝවඃ වහන්සේ ආදම් සහ ඒවට කුමන දීර්ඝ කාලීන පැවරුමක් දුන් සේක් ද, එමෙන් ම මෙය ඒ දෙදෙනාගෙන් ම ඉල්ලා සිටියේ කුමක් ද?
6. (අ) පුරුෂයාගේ හා ස්ත්‍රියගේ සාපේක්ෂිත කායික ශක්තිය ගැන බයිබලය කුමක් අඟවයි ද? (ආ) කාරණා පිළිබඳ යෙහෝවඃ වහන්සේගේ විධිවිධානය පිළිගනු පිණිස ස්ත්‍රීන් ඒ මත විමර්ශනය කිරීම යහපතක් වනුයේ කෙසේ ද?
7. ඒව කෙරෙහිත්, ඉපදෙන්නා වූ දරුවන් කෙරෙහිත් ආධිපත්‍යය පැවැත්වීමට ආදම් හොඳ තත්ත්වයක සිටියේ මක්නිසා ද, එහෙත් මෙය ඒවට අවාසිදායක වී ද?
8. බයිබලයේ කාරණා පිළිබඳ කිනම් දිව්‍ය පිළිවෙළක් සටහන් කර ඇත්ද?
9, 10. පුරුෂයා හා ස්ත්‍රිය පාපයට වැටීමේ විපාකය කුමක් වී ද, තවද මෙය ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ ස්ත්රීන්ට උරුම කර දී ඇත්තේ කුමක් ද?
11. බොහෝ ස්ත්‍රීන් සම්බන්ධයෙන් කුමක් සත්‍යයක් ව පවතී ද, එසේ ම ආදි පීතෲන්ගේ කාලයේ එක් ලේඛකයෙක් ස්ත්‍රීන් ගැන ලීවේ කුමක් ද?
12, 13. (අ) මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ ස්ත්රීන්ගේ තත්ත්වය කුමක් වී ද? (ආ) ව්‍යවස්ථාව යටතේ ස්ත්‍රීන් ආත්මික වශයෙන් කිනම් තත්ත්වයක සිටියෝ ද?
14. කතෝලික පඬිවරයෙක් හෙබ්‍රෙව් ස්ත්‍රීන් ගැන කුමක් කියයි ද, එමෙන් ම ව්‍යවස්ථාව යටතේ ස්ත්‍රියගේ කාර්ය භාරය ගැන කුමක් කිව හැකි ද?
15. (අ) පුරුෂයෙක් හා ඔහුගේ භාර්යාව අතර ඔබිනා සම්බන්ධතාවයක් සාරාගේ හැසිරීමෙන් විස්තර වන්නේ කෙසේ ද? (ආ) රාහාබ්ගේ සිද්ධිය සැලකිල්ලට ගැනීම වටින්නේ මක්නිසා ද?
16. අබීගායිල් සම්බන්ධ උදාහරණය කුමක් විස්තර කරයි ද, එමෙන් ම ඇයගේ ක්‍රියාකලාපය යුක්ති සහගත වූයේ මක්නිසා ද?
17. (අ) ඉශ්රායෙලයේ සමහරක් ස්ත්රීන්ට තිබුනේ කිනම් කැපීපෙනෙන වරප්‍රසාදය ද? (ආ) මිරියාම්ගේ ආදර්ශයෙහි, සේවයේ ඇතැම් වරප්‍රසාද දෙනු ලැබූ ක්‍රිස්තියානි ස්ත්‍රීන් සඳහා කිනම් පාඩමක් අඩංගු ව ඇත්ද?
18, 19. යුදෙව් ධර්මය යටතේ ස්ත්රීන්ගේ තත්ත්වය කුමක් වී ද? එමෙන් ම මෙය සිදු වූයේ කෙසේ ද?
20, 21. (අ) ස්ත්‍රීන් කෙරෙහි යුදෙව් ආගමික නායකයන් තුළ තිබූ සාවඥා සහිත ආකල්පය මධ්‍යයෙහි වුවත්, මෙසියස් වහන්සේගේ පැමිණීමේ කාලය ළඟා වෙත් ම එය බලා සිටි අය අතර, දක්නට ලැබුණේ කවරෙක් ද? (ආ) එළිසබෙත් හා මරියා හට ගැඹුරු දිව්‍ය භක්තියක් තිබූ බව කුමක් පෙන්වයි ද?
22. යේසුස් වහන්සේගේ උපතට පසු, මෙසියස් වහන්සේ බලා සිටින්නන් අතර තමාත් සිටි බව පෙන්වූයේ කිනම් දේව භයැති ස්ත්‍රිය ද?
23. ප්‍රේරිත පේතෘස් ඇදහිලිවන්ත වූ පූර්ව ක්‍රිස්තියානි ස්ත්‍රීන් ගැන කථා කරනුයේ කෙසේ ද, එමෙන් ම මීළඟ ලිපියේ කිනම් ප්‍රශ්න සාකච්ඡා කෙරෙනු ඇද්ද?
පවුල තුළ ස්ත්‍රියගේ තැන ගෞරවය සහිත එකක් විය
“යෙහෝවඃ වහන්සේට භය ඇති ස්ත්‍රිය”
“10 ගුණවත් ස්ත්‍රියෙක් කාට සම්බවේද? ඇගේ අගය රතුකැටවලට වඩා වැඩිය. 11 ඇගේ පුරුෂයාගේ සිත ඇය කෙරෙහි විශ්වාසකරයි, ඔහුට ලාභයෙන් අඩුවක් නොවන්නේය. 12 ඇගේ ජීවිතයේ සියලු දවස්වල ඈ ඔහුට අයහපත නොව යහපත කරන්නීය. 13 ඈ ලොම් සහ හණ සොයාගන ප්‍රීතියෙන් ඇගේ අත්වලින් වැඩකරන්නීය. 14 ඈ වෙළඳ නැව් මෙන්ය; ඇගේ කෑම දුරස්තරයෙන් ගෙන්වාගනියි. 15 ඈ රැයින්ම නැගිට ඇගේ පවුලේ අයට ආහාර ඇගේ දාසීන්ට වැඩත් දෙන්නීය. 16 ඈ කෙතක් ගැන කල්පනාකොට ඒක මිලයට ගන්නීය, ඇගේ අත්වල ලාභයෙන් ඈ මිදිවත්තක් වවන්නීය, 17 ඈ සවිලෙස ඉඟටිය බැඳගෙන, ඇගේ අත්සවිකරන්නීය. 18 තම වෙළඳාමෙන් හොඳ ලාභ ලැබෙන බව ඈට දැනේ; රාත්‍රියේ ඇගේ පහන නොනිවේ. 19 ඈ ඉද්දට ඇගේ අත් පොවා, ඇගේ හස්තවලින් වවුන්න අල්ලයි. 20 ඇගේ හස්තය අසරණයා දෙසට විහිදන්නීය; එසේය, ඇගේ අත් දිළින්දා වෙතට දිගුකරන්නීය; 21 හිම නිසා ඇගේ පවුල ගැන ඈට භයක් නැත; මක්නිසාද ඇගේ පවුලේ සියල්ලෝ රතු වස්ත්‍ර ඇඳ සිටිති. 22 ඈ ඇතිරිළි සාදාගන්නීය; ඇගේ ඇඳුම් සිහින් හණ රෙදිවලින්ද රත්නිල් රෙදිවලින්ද සාදා තිබේ. 23 ඇගේ පුරුෂයා දේශයේ වැඩිමහල්ලන් සමග දොරටුවල ඉඳගන්න කල සලකනු ලබන්නේය. 24 ඈ සිහින් රෙදි සාදා විකුණයි; වෙළෙන්දාට බඳපිටිත් දෙන්නීය. 25 බලයත් ගෞරවයත් ඇගේ ඇඳුම්ය; ඈ මතු දවස් ගැන සිනාසෙන්නීය. 26 ඈ නුවණින් යුක්තව ඇගේ මුඛය විහිදන්නීය. ඇගේ දිවෙහි කරුණාවන්ත දැනමුතුකම් තිබේ. 27 ඈ අලසකමේ කෑම නොකා ඇගේ පවුලේ කාරණා බලාගනියි. 28 ඇගේ දරුවෝ නැගිට ඈට ආශිර්වාද කරති; ඇගේ පුරුෂයා ඈට ප්‍රශංසාකරමින්; 29 බොහෝ දූවරු ගුණවත්කමින් හැසුරුණෝය, නුමුත් නුඹ ඔවුන් සියල්ලන්ට වඩා උතුම්යයි කියන්නේය. 30 රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] කෙරෙහි භය ඇති ස්ත්‍රියටය. 31 ඇගේ අත්වල ඵලයෙන් ඈට දීපල්ලා; ඇගේ ක්‍රියා දොරටුවලදී ඈට ප්‍රශංසා කෙරෙත්වා.”—හිතෝපදේශ 31: 10-31.