ඔබේ අනාගතය නියම කරන්නේ දෛවය ද?
ඔබ මාරක හදිසි අනතුරකින් බේරුනෙහි නම්, ඔබ හට දෛවයේ අනුග්‍රහයක් ලැබුණා යයි හැඟෙනවා ද? එසේ නැතහොත්, ඒ වෙනුවට ඔබ හරි වේලාවේ, හරි ස්ථානයේ සිටී ම ගැන ඔබ කෘතඥ පූර්වක වනු ඇත්ද?
ප්‍රඥාවන්ත සාලමොන් මෙසේ පැවසී ය: “නැවත, මම වනාහි ඉර යට දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්ම ඇත්තන්ටවත් ලැබෙනවා නොව, කාලයත් හදිසි කාරණාත් [කාලය සහ කලින් දැකිය නොහැකි සිදුවීම් NW] ඔවුන් සියල්ලන්ට සිද්ධ වෙන බව දුටිමි.” (දේශනාකාරයා 9:11) අනපේක්ෂිත දේවල් කොතරම් සිදුවෙනවා ද! ප්‍රබල මලල ක්‍රීඩකයෙක් තුවාල ලබයි, පරාජය වන්නේ යයි සිතා සිටි ක්‍රීඩකයා ජය ගනී. සිතා මතා නොවූ යම් අසාමාන්‍ය හදිසි තත්ත්වයක් අවංක ව්‍යාපාරිකයෙකුට මුල්‍යමය පාඩු සිදුකරන්නේ, ඔහු සමඟ තරඟකරන අපකීර්තිමත් ව්‍යාපාරිකයා ව ධනවත් කරවමිනි. නමුත් මෙම අනියම් සිද්ධීන් ඉරණම හේතුවෙන් සිදුවේ ය කියා සාලමොන් පැවසුවා ද? කොහෙත්ම නැත. ඒවා සරල ව “කාලය සහ කලින් දැකිය නොහැකි සිදුවීම්”හි ප්රතිඵලයන් වෙයි.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මීට සමාන නිරීක්ෂණයක් කළ සේක. පෙනෙන අයුරින්, තමන් වහන්සේට සවන් යොමා සිටි ජනයා සෑම දෙනා ම පාහේ දැන සිටි සිද්ධියක් ගැන ගෙන හැර පාමින් යේසුස් වහන්සේ මෙසේ ඇසූ සේක: “සිලෝවම් කොටුව වැටී යටවී මැරුණු දසඅටදෙන යෙරුසලමේ වාසයකරන සියලු මනුෂ්‍යයන්ට වඩා වැරදිකාරයෝව සිටියෝයයි නුඹලා සිතවුද?” (ලූක් 13:4) මෙම මාරක අනතුරුවලට හේතුව වශයෙන් යේසුස් වහන්සේ, යම් අභිරහස් ඉරණමක් හෝ දේව කැමැත්තක් මත වරද තැබුවේ නැත, මෙම අනතුරට ලක් වූවන් අන් අයට වඩා යම් හෙයකින් පව්කාරයන් බවට උන් වහන්සේ විශ්වාස කළා ද නොවේ. කාලය සහ කලින් දැකිය නොහැකි සිද්ධියක් සම්බන්ධයෙන් වු නිදසුනක් ලෙසින් මෙකී ඛෙදනීය අනතුර ගත හැකි ය.
අපගේ මරණ මොහොත දෙවියන් වහන්සේ විසින් කලින් නියම කොට ඇති බවට වූ යම් අදහසකට බයිබලය තුළ කොහේවත් රුකුල් දී නැත. දේශනාකාරයා 3:1, 2හි මෙසේ පවසන බව සැබැවකි: “සෑම දේටම ප්‍රස්තාවක්ද [නියමිත කාලයක් NW] අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද ඇත. උපදින්ට කාලයක් සහ නසින්ට කාලයක්ය; සිටුවන්ට කාලයක් සහ සිටෙවු ඒවා උදුරාදමන්ට කාලයක්ය.” එහෙත්, සාලමොන් සරල ව සාකච්ඡා කරමින් සිටියේ, නොකඩවා පැවත යන ජීවන චක්‍රය ගැන සහ අසම්පූර්ණ මිනිස් සංහතිය මත පැමිණෙන මරණය ගැනයි. අපි උපත ලබමු, කාලය එළැඹෙන විට, එනම් සාමාන්‍යයෙන් වසර 70ක් හෝ 80කට හෝ පසු, අපගේ ආයු කාලය සම්පූර්ණ වූ විට, අපි මිය යන්නෙමු. එහෙත්, ගොවියෙකුගේ “සිටුවීමට” හා “සිටවූ දේ උදුරා දැමීමට” කාලය නියම කරන්නාක් මෙන්, කෙනෙකු මිය යන නියම මොහොත ද දෙවියන් වහන්සේ විසින් කලින් නියම කොට නැත.
ඇත්ත වශයෙන් ම, පුද්ගලයෙක් අකාලයේ මිය යන්නට ඉඩ ඇති බව සාලමොන් පසුව පැවසී ය. “පමණට වඩා දුෂ්ටව නොසිටින්න, අඥානයෙක්ද නොවන්න. නුඹේ කාලයට පළමුවෙන් නුඹට නසින්ට වෙන්නේ මක්නිසාද?” යනුවෙන් ඔහු පැවසුවේ ය. (දේශනාකාරයා 7:17) යමෙකුගේ මරණ මොහොත වෙනස් කළ නොහැකි ලෙස කලින් නියම කොට තිබුණා නම්, මෙම උපදෙසෙන් ගන්නට වන්නේ කුමන අදහසක් ද? මේ අයුරින්, ඉරණම පිළිබඳ මතය බයිබලය ප්‍රතික්ෂේප කරයි. මෙම මිථ්‍යා දෘෂ්ටික මතය වැළඳගත්තා වූ ධර්ම භේදී ඊශ්‍රායෙල්වරුන් දෙවියන් වහන්සේ විසින් දැඩි ලෙස හෙළා දකිනු ලැබිණි. යෙසායා 65:11හි මෙසේ පවසයි: “නුමුත් ස්වාමින්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] අත්හැර, මාගේ ශුද්ධ කන්ද සිහිනැති කර ශ්‍රීකාන්තාවට [වාසනාවේ දේවතාවීට] මේසයක් පිළියෙළ කරන්නාවූ, මිශ්‍රවූ මද්‍යපානය ඉරණම නම් දේවතාවීට [දෛවයේ දෙවියන්ට NW] පුරවා දෙන්නාවූ තැනැත්තෙනි, . . . ”
එසේ නම්, හදිසි අනතුරු සහ අභාග්‍ය සම්පන්න සිදුවිම්හි ඉරණම මත හෝ වඩාත් භයානක ලෙස දෙවියන් වහන්සේ ම මතට පැටවීම මොනතරම් අඥාන දෙයක් ද! “දෙවියන් වහන්සේ ප්‍රේමයය” යනුවෙන් බයිබලය පවසයි, මිනිසාට ඇති වන දුඃඛිත තත්ත්වයන් නිසා දෙවියන් වහන්සේට චෝදනා කිරීම, මෙම මූලික සත්‍යයට කෙලින් ම පරස්පර විරෝධී යමකි.—1 යොහන් 4:8.
අනාගතය උදෙසා දෙවියන් වහන්සේගේ අරමුණු
එහෙත්, ගැලවීම සඳහා වූ අපගේ අපේක්ෂාවන් ගැන කුමක් කිව හැකි ද? අපගේ ජීවිතය පාලනය කරන්නා වූ අනිවාර්යයෙන් ම තිබිය යුතු කිසියම් ඉරණමක් කියා දෙයක් නැතැයි යන්නෙන් අදහස් කරන්නේ, ඉලක්කයකින් තොරව අප ඔහේ ජීවත් විය යුතු බව ද? කොහෙත්ම නැත. මක්නිසාදයත්, සමාන්‍ය මිනිස් වර්ගයාගේ අනාගතය දෙවියන් වහන්සේ තීරණය කොට තිබෙන නිසා ය. “ධර්මිෂ්ඨකම වාසය කරන” “අලුත් පොළොවක” මැවීම ගැන බයිබලය කථා කරයි.—2 පේතෘස් 3:13.
මෙය ඉටු කිරිම පිණිස, දෙවියන් වහන්සේ මිනිසාගේ කටයුතුවලට කෙළින් ම මැදිහත් වනු ඇත. ඔබ නොදැනුවත් ව ම “ඔබගේ රාජ්‍යය ඒවා, ඔබගේ කැමැත්ත ස්වර්ගෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා” කියා කියන යාච්ඤාව යළි යළිත් උච්චාරණය කිරීමෙන් මෙය සිදුවන ලෙසට ඔබ යාච්ඤා කොට තිබෙනවා වෙන්නට පුළුවන. (මතෙව් 6:10) මෙම රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවනු ලැබ ඇති සැබෑ ආණ්ඩුවකි. එය පැමිණෙත්වා කියා යාච්ඤා කිරිමෙන්, වත්මන් ආණ්ඩු මගින් පාලනය වන පොළොවේ පාලනය එම රාජ්‍යය විසින් ගනු ලැබේ ය කියා ඔබ යාච්ඤා කරන්නෙහි ය.—දානියෙල් 2:44, 45ආ.
ඔබගේ ම අනාගතය රැක ගැනීම
මෙම චමත්කාරජනක සිදුවීම් ඔබගේ අනාගතයට බලපාන අකාරය රඳාපවතින්නේ, ඉරණම හෝ කාලය සමඟ සිදුවන කලින් දැකිය නොහැකි සිදුවීම් මත නොව, නමුත් අනුගමනය කිරීම සඳහා ඔබ තෝරා ගන්නා ක්‍රියා මාර්ගය මත ය. සිලෝවම් කොටුව සම්බන්ධ සිද්ධිය යළි සිහියට නගන්න. යේසුස් වහන්සේ, එම දුක් දායක සිද්ධිය ඉතා ගැඹුරු පාඩමක් ඉගැන්වීම සඳහා භාවිතා කළ සේක. කඩා වැටුණු එම කොටුවට යට වී මිය ගිය අයට තමන් ගොදුරු වු දෙයින් බේරීමට නොහැකි විණි. ඊට වෙනස් ව, යේසුස් වහන්සේට සවන්දුන් අයට දිව්‍ය අප්‍රසාදයක් නිසා වූ විනාශයකින් බේරීමට හැකි කම තිබිණි. යේසුස් වහන්සේ ඔවුන්ට මෙසේ අනතුරු ඇඟවූ සේක: “නුඹලා පසුතැවිලි නූණොත්, නුඹලා සියල්ලෝම එසේම විනාශවන්නෝය.” (ලූක් 13:4, 5) පැහැදිලි ව ම, තමන්ගේ ම අනාගතය තෝරා ගන්නට ඔවුනට හැකි කම තිබිණි.
අද දින සිටින අප ඉදිරියේ ද එම අවස්ථාව ම විවෘත වී තිබේ—එනම් අපගේ ම ගැලවීම සඳහා ක්‍රියා කිරීමයි. (පිලිප්පි 2:12) “සියලු ආකාර මනුෂ්‍යයන් . . . සත්‍යය පිළිබඳ ඒකාන්ත දැනුමක් ලබා ගන්නවාට” දෙවියන් වහන්සේ සතුටු වන සේක. (1 තිමෝති 2:4, NW) තව ද, අප සෑම කෙනෙකු ම යම් තරමකින් උරුමයන්ගෙන් සහ පසුබිමෙන් බලපෑමට ලක් වී සිටියත්, දෙවියන් වහන්සේ අප හට නිදහස් කැමැත්ත—එනම් අපගේ ජීවිතය පාව්චිචි කළ යුතු ආකාරය තීරණය කිරීමට අවශ්‍ය හැකියාව—දානය කොට තිබෙන සේක. (මතෙව් 7:13, 14) හරි දේ හෝ වැරදි දේ හෝ අපට කළ හැක. යෙහෝවඃ දෙවියන් වහන්සේ ඉදිරියේ අනුග්‍රහය ලත් තත්ත්වයක් ඇතුව සිට ජීවනය ලබන්නට අපට හැක, නැත්නම් උන් වහන්සේ වෙතින් ඉවත හැරී ගොස් මිය යන්නට ද හැක.
බොහෝ දෙනා තෝරා ගන්නේ දෙවියන් වහන්සේ වෙතින් නිදහස් ව ස්වාධීන ව ජීවත්වීමටයි. ඔවුහු තම ජීවිතය, ද්‍රව්‍යමය දේවල්, ඉඳුරන් පිනවීම, හෝ නම්බුනාම සහිත කීර්තිය පසුපස ලුහුබැඳීමට කැප කරති. නමුත් යේසුස් වහන්සේ අනතුරු ඇඟවූයේ: “සියලු ආකාර ලෝභකමෙන් ප්‍රවේසම් වෙන්ට බලාගනිල්ලා. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැත.” (ලූක් 12:15) එසේ නම්, අපගේ ජීවිත රඳා පවතින්නේ කුමක් මත ද? බයිබලය 1 යොහන් 2:15-17 මෙසේ විස්තර කරයි: “ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරල්ලා. . .මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් [යමෙකුගේ ජීවන රටාව ප්‍රදර්ශනය කිරිමත් NW] පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ. ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.”
ජීවනය තෝරා ගැනීම
ඔබ සැබවින් ම දෙවියන් වහන්සේගේ කැමැත්ත කරමින් සිටින බවට සහතික විය හැක්කේ කෙසේ ද? යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “සදාකාල ජීවනය නම් මේය—එකම සැබෑවූ දෙවියන් වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.” (යොහන් 17:3) බයිබලයෙන් ලැබෙන ඒකාන්ත දැනුම ඇදහිල්ල සඳහා පදනම සපයයි. “නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.” (හෙබ්‍රෙව් 11:6) ඔබට ලබන්නට අවශ්‍යකරන දැනුම සැනෙකින් ලබා ගත හැකි ය. නිතිපතා පවත්වන බයිබල් පාඩමක් තුළින් එය ලබා ගන්නට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන් මිලියන ගණනකට උපකාර කොට තිබේ.a
දෙවියන් වහන්සේ ව සතුටු කරන්නට නම්, යම් වෙනස්කම් සිදු කරන්නට ඔබට සිදු වනු ඇත. ජය ගත යුතු යම් නරක පුරුදු තිබිය හැකි ය, නැතහොත් නතර කළ යුතු දුරාචාර ගති පැවතුම් තිබිය හැකි ය. ඔබට වෙනස් වන්නට නොහැකිය කියා වෙනස් වීම අත්හරින්නට එපා. දේවල් වෙනස් කරන්නට නොහැකිය යන මතය ඉරණම්වාදය පිළිබඳ බොරු මූල ධර්මයේ තවත් රැගෙන යන්නකි. යෙහෝවඃ වහන්සේගේ උපකාරය ඇතුව, ‘තමාගේ මනස යළි සකස් කොට’, “අලුත් පුද්ගලිකත්වය” ලබා ගන්නට ඕනෑ ම අයෙකුට හැකි ය. (රෝම 12:2; එපීස 4:22-24, NW) දෙවියන් වහන්සේ ව සතුටු කිරීමට ඔබ ගන්නා උත්සාහය උන් වහන්සේට නොපෙනී යන්නේ නැත. ස්වකීය කැමැත්ත කරන්නන්ට ආශීර්වාද දීමට උන්වහන්සේ සුදානම් ව පෙරමුණේ සිටින සේක.
බයිබලය ඉගෙන ගැනීමෙන් ම ඔබගේ සියලු ගැටලු නොවිසඳෙන බව පිළිගත යුතු කරුණකි. අන් අය මෙන් ම දෙවියන් වහන්සේගේ සැබෑ සේවකයෝ ද හදිසි අනතුරු සහ යම් යම් තත්ත්වයන්ට භාජනය වෙත්. කෙසේ වෙතත්, විපත්තියක දී සාර්ථක ව මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ප්‍රඥාව දෙවියන් වහන්සේ අපට දානය කරන සේක. (යාකොබ් 1:5) තමාට දෙවියන් වහන්සේ සමඟ හොඳ සම්බන්ධතාවයක් තිබෙන බව දැන සිටීමෙනුත් යමෙකුට ප්‍රීතියක් තිබේ. “යෙහෝවඃ වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තබන්නා සන්තෝෂමත් ය” යයි හිතෝපදේශ 16:20 [NW] පවසයි.
දෙවියන් වහන්සේගේ රාජ්‍යය යටතේ නැවත පිහිටුවන ලද පාරාදීසය තුළ, කාලය සහ කලින් දැකිය නොහැකි සිද්ධීන්ගෙන් අප තර්ජන නොලබනු ඇත. ඇත්ත වශයෙන් ම, දැන් මිනිසාගේ සන්තෝෂයට බාධා පමුණුවන සියල්ල ම දෙවියන් වහන්සේ ඉවත් කරන සේක. “උන් වහන්සේ [අපගේ] ඇස්වලින් සියලු කඳුළු පිස දමන සේක; මරණය තවත් නොවන්නේය. වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය” යයි බයිබලය පොරොන්දු කරයි. (එළිදරව් 21:4) හදිසි අනතුරුවලට ගොදුරු වූ අසංඛ්‍යාත දෙනා නැවත නැගිටුවීමක් ලබනු ඇත.—යොහන් 5:28, 29.
ඔබ මෙම තේජවත් අනාගතය උරුම කර ගනු ඇත් ද? ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුලුවීමට සිටිය දී, මෝසෙස් ඔවුනට මෙසේ කීවේ ය: “මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි” තබා ඇත. “එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන, . . . නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] ප්‍රේමකොට, උන්වහන්සේගේ හඬට කීකරුවී, උන්වහන්සේට ඇලුම්ව සිටපන්න. මක්නිසාද නුඹේ ජීවනයත් නුඹේ දවස්වල වැඩිවීමත් එයයි.”—ද්විතීය කථාව 30:19, 20.
නැත, අපි වනාහි අනුකම්පාවක් නැති ඉරණමක අතේ සිටින අසරණ ඉත්තන් නොවෙමු. ඔබගේ අනාගතයේ සන්තෝෂය, ඇත්තෙන් ම, ඔබගේ සදාකාලික අනාගතය තිබෙන්නේ ඔබගේ අතේ ය. අප ඔබගෙන් උදක් ම ඉල්ලා සිටින්නේ ජීවනය තෝරා ගන්නා ලෙසටයි. w91 10/15
[පාදසටහන්වල]
a මෙම සඟරාවේ ප්‍රකාශකයන් වෙත ලිවීමෙන් එවන් පාඩමක් සඳහා කටයුතු පිළියෙල කර ගත හැක.
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
මිථ්‍යා දෘෂ්ටික ඉරණම පිළිබඳ මතය වැළඳ ගැනීමෙන් ධර්ම භේදී ඊශ්‍රායෙල්වරුන් දෙවියන් වහන්සේ විසින් දැඩි ලෙස දකිනු ලැබිණි.