බයිබලය දෛවය පිළිබඳ විශ්වාසය උගන්වයිද?
ලිඛිත අපහාසය! අපහාස වන දේ කීම! බොරු වාර්තාවකින් තමාගේ නමට හෝ කීර්තියට හානියක් සිදු වී තිබෙන බව ප්‍රජාවේ ගරු කටයුතු සාමාජිකයෙකු විශ්වාස කරන විට, කාරණා හරිගැස්වීම සඳහා පියවර ගත යුතුයයි ඔහුට හැඟේ. ලිඛිත අපහාසයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ඔහු නීත්‍යනුකූල පියවර පවා ගත හැක.
ඇත්තෙන්ම, දෛවවාදය සර්ව බලධාරි දෙවියන්වහන්සේට එරෙහිව කරන අපහාසයකි. මනුෂ්‍යවර්ගයාට පීඩා විඳීමට සිදු වන සෑම ආකාරයකම ඛේදවාචකයන් සහ ආපදාවන්ට, දෙවියන්වහන්සේ පෞද්ගලිකව වගකිව යුතු බව එම සිද්ධාන්තය පෙන්නුම් කරයි. ඔබ දෛවය විශ්වාස කරන්නේ නම්, පහත දැක්වෙන න්‍යාය පත්‍රයක් විශ්වනීය පරමාධිපතියාණන් විසින් සකස් කර තිබෙන බව ඔබ කල්පනා කළ හැකිය: ‘අද ජොන් රිය අනතුරකින් තුවාල ලබනු ඇත, ෆටූ මැලේරියාවෙන් පහර ලබනු ඇත, මාමාඩූගේ නිවස කුණාටුවකින් විනාශ වනු ඇත’! එවැනි දෙවිකෙනෙකුට සේවය කිරීම සඳහා ඔබ ඇත්තෙන්ම පෙලඹෙනු ඇද්ද?
‘නමුත් අපේ අවාසනාවන්තකම්වලට දෙවියන්වහන්සේ වගකියන්ට අවශ්‍ය නැත්නම්, වගකියන්න ඕනේ කවුද?’ කියා දෛවය කෙරෙහි විශ්වාස කරන්නෝ අසති. මීට පෙර ලිපියේ සඳහන් ඌස්මාන් නම් යෞවන පුරුෂයාද මේ සම්බන්ධයෙන් කල්පනා කළේය. එහෙත් සත්‍යය සොයාගැනීම සඳහා ඔහුට සිතීමට හෝ අනුමාන කිරීමට හෝ සිදු වූයේ නැත. උන්වහන්සේගේ දේවානුභාවය ලත් වචනය වන බයිබලයෙහි අඩංගු ඉගැන්වීම් තුළින්, දෙවියන්වහන්සේ මෙම අපහාසයෙන් තමන්වම පවිත්‍ර කර තිබෙන බව ඔහු ඉගෙනගත්තේය. (2 තිමෝති 3:16) එසේනම්, මේ විෂය සම්බන්ධයෙන් බයිබලය පවසන දේ අපි සලකා බලමු.
දොස් තැබිය යුත්තේ කවරෙකුටද?
ජලගැලීම්, කුණාටු, භූමිකම්පා—එවන් විපත්ති දෙවියන්වහන්සේගේ ක්‍රියා ලෙස බොහෝවිට හඳුන්වනු ලැබ තිබේ. එහෙත් එවන් ආපදාවන් දෙවියන්වහන්සේ විසින් සිදු කරනු ලබන බව බයිබලය අඟවන්නේ නැත. සියවස් ගණනාවකට පෙර මැද පෙරදිග සිදු වූ ඛේදවාචකයක් සලකා බලන්න. මෙම විපත්තියෙන් ගැළවුණු එකම පුද්ගලයා මෙසේ වාර්තා කළ බව බයිබලය අපට පවසයි: “දෙවියන්වහන්සේගේ ගිනි [අකුණු සඳහා බොහෝවිට යොදන හෙබ්‍රෙව් යෙදුමක්] අහසෙන් වැටී බැටළුවන්ටත් මෙහෙකරුවන්ටත් ඇවිළී, ඔවුන් දවා දැමුවේය.”—යෝබ් 1:16.
දෙවියන්වහන්සේ ගින්නට වගකිව යුතු බව මෙම භීතියට පත් මිනිසා සිතන්ට ඇති නමුත්, උන්වහන්සේට දොස් පැවරීම නුසුදුසු බව බයිබලය පෙන්නුම් කරයි. ඔබ පෞද්ගලිකව යෝබ් 1:7-12 දක්වා කියවන්න. එවිට අකුණු ගැසීම සිදු කරනු ලැබුවේ, දෙවියන්වහන්සේ විසින් නොව, නමුත් උන්වහන්සේගේ එදිරිවාදියා වන සාතන් නමැති යක්ෂයා විසින් බව ඔබ ඉගෙනගනු ඇත. කෙසේවෙතත්, සෑම විපත්තියක්ම කෙළින්ම සාතන් විසින් සිදු කරනු ලබනවායයි පවසනවා නොවේ. එහෙත් දෙවියන්වහන්සේට වරද තැබීම සඳහා කිසිම හේතුවක් නැත.
සැබෑව නම්, දේවල් වැරදුණ විට, ඒ සඳහා බොහෝවිට මනුෂ්‍යයන් වගකිව යුතු වීමයි. වෑයමක් නොදැරීම හා හොඳ පුහුණුවක් නොලැබීම හේතුවෙන් හෝ සමහරවිට වෙනත් අය උදෙසා සැලකිල්ල නොදැක්වීම නිසා, පාසැලේදී, සේවාස්ථානයේදී හෝ සමාජ සබඳතාවලදී අසමර්ථ වීම ප්‍රතිඵල විය හැකිය. එයාකාරයෙන්ම, නොසැලකිලිමත්කම හේතුවෙන් අසනීප, අනතුරු හා මරණ සිදු විය හැකිය. මන්දයත්, රිය පැදවීමේදී, හුදෙක් ආරක්ෂක ආසන පටියක් පැළඳීමෙන් කෙනෙකුව රිය අනතුරකින් මරණයට පත්වීමේ හැකියාව බෙහෙවින් අඩු කරන බැවිනි. වෙනස් කළ නොහැකි “දෛවය” දේවල් පාලනය කරමින් තිබුණා නම්, ආරක්ෂක ආසන පටියක් පැළඳීමෙන් එතරම් වෙනසක් සිදු වන්නේ නැත. සුදුසු වෛද්‍ය සත්කාරය සහ සෞඛ්යාරක්ෂක ක්‍රම පවා, අකල් මරණ සංඛ්‍යාව විස්මයජනක ආකාරයකින් අඩු කරයි. ඇත්තවශයෙන්ම, “දෙවියන්වහන්සේගේ ක්‍රියා” ලෙස පොදුවේ ලේබල් කර ඇති සමහර ආපදා පවා, මනුෂ්‍යයන්ගේ ක්‍රියාය—එනම් මනුෂ්‍යයා පොළොව අනිසි ලෙස පාලනය කිරීම හේතුවෙන් ඇති වූ කනගාටුදායක උරුමයන්ය.—එළිදරව් 11:18, සසඳන්න.
‘කාලය සහ කලින් දැකිය නොහැකි සිදුවීම්’
හේතුව පැහැදිලිව සඳහන් නොවන කනගාටුදායක සිද්ධීන් බොහොමයක් තිබෙන බව සැබෑය. එහෙත් දේශනාකාරයා 9:11හි බයිබලය පවසන දේ කෙරෙහි සැලකිල්ල දක්වන්න: “නැවත, මම වනාහි ඉර යට දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්ම ඇත්තන්ටවත් ලැබෙනවා නොව, කාලයත් හදිසි කාරණාත් [කාලය සහ කලින් දැකිය නොහැකි සිදුවීම්, NW] ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන බව දුටිමි.” එමනිසා අනතුරු පිටුපස මැවුම්කරුවාණන් සිටින බව හෝ අනතුරුවලට ගොදුරුවන්නන් යම්කිසි ආකාරයකින් දඬුවම් ලබන බව හෝ විශ්වාස කිරීමට කිසිදු හේතුවක් නැත.
දෛවවාදී තර්ක කිරීමකට එරෙහිව යේසුස් ක්‍රිස්තුස්වහන්සේම වාද කළසේක. තම ශ්‍රාවකයන් හොඳින් දැන සිටි ඛේදවාචකයක් සම්බන්ධයෙන් යොමු දක්වමින්, යේසුස්වහන්සේ මෙසේ ඇසූසේක: “සිලෝවම් කොටුව වැටී යටවී මැරුණු දසඅටදෙන යෙරුසලමේ වාසයකරන සියලු මනුෂ්‍යයන්ට වඩා වැරදිකාරයෝව සිටියෝයයි නුඹලා සිතවුද? එසේ නොවේයයි නුඹලාට කියමි.” (ලූක් 13:4, 5) එම ආපදාව සිදු වූයේ, දෙවියන්වහන්සේගේ මැදිහත්වීමකින් නොව, නමුත් ‘කාලය සහ කලින් දැකිය නොහැකි සිදුවීම්’ නිසායයි යේසුස්වහන්සේ පෙන්නුම් කළ බව පැහැදිලිය.
අසම්පූර්ණකමේ විනාශකාරි බලපෑම්
හේතුවක් සොයාගෙන නොමැති මරණ සහ අසනීප ගැන කුමක් කිව හැකිද? මනුෂ්‍යයන්ගේ තත්වය සම්බන්ධයෙන් බයිබලය මෙම ඍජු විස්තරය සපයයි: ‘ආදම් තුළ සියල්ලෝම මැරෙන්නෝය.’ (1 කොරින්ති 15:22) අපගේ ආදි පිතෘ වන ආදම් අකීකරුකමේ මාවතේ පිය නැඟූ දිනයේ පටන්, මනුෂ්‍යවර්ගයා මරණය සමඟ පීඩා විඳිමින් සිටිති. දෙවියන්වහන්සේ අනතුරු අඟවා තිබූ ආකාරයටම, ආදම් තම ජනිතයන්ට මරණයේ උරුමයක් ඉතිරි කර තිබේ. (උත්පත්ති 2:17; රෝම 5:12) එසේනම්, සියලුම ලෙඩ රෝගවලට මුල අපගේ පොදු මුතුන්මිත්තා වන ආදම්යයි ප්‍රකාශ කළ හැක. අප ජීවිතයේ අද්දකින බලාපොරොත්තු සුන්වීම් හා අසමර්ථකම්වලට, අපට උරුම වූ දුර්වලකම්ද බෙහෙවින් බලපායි.—ගීතාවලිය 51:5.
දිළිඳුකම නමැති ගැටලුව සලකා බලන්න. දෛවය කෙරෙහි විශ්වාසය, පීඩා විඳින්නන්ට තම දුෂ්කර පැවැත්ම ඉවසා සිටීමට බොහෝදුරට දිරිගන්වා තිබේ. ‘මේක තමා අපේ දෛවය’ කියා ඔවුහු විශ්වාස කරති. කෙසේවෙතත්, වරද තැබිය යුත්තේ දෛවයට නොව, නමුත් මනුෂ්‍ය අසම්පූර්ණකම්වලට බව බයිබලය පෙන්නුම් කරයි. අලසකමෙන් හෝ ධනය අනිසි ලෙස පාලනය කිරීමෙන්, “තමා වපුරන දේම කපා[ගැනීම]” තුළින් සමහරුන් දිළිඳු වී ඇත. (ගලාති 6:7; හිතෝපදේශ 6:10, 11) බලයේ සිටින ගිජු මනුෂ්‍යයන්ගේ ගොදුරු බවට පත් වී සිටින නිසා, අසංඛ්‍යාත මිලියන ගණන් අය දුප්පත්කමින් ජීවත් වෙති. (යාකොබ් 2:6, සසඳන්න.) “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකර [තිබේ]” කියා බයිබලය පවසයි. (දේශනාකාරයා 8:9) සෑම ආකාරයකම දුප්පත්කම්වලට හේතුව, දෙවියන්වහන්සේ පිට හෝ දෛවය පිට පැවරීම සඳහා කිසිදු සාක්ෂියක් නැත.
දෛවය පිළිබඳ විශ්වාසය —එහි අනතුරුදායක බලපෑම්
කෙසේවෙතත් දෛවය පිළිබඳ විශ්වාසයට එරෙහිව ඒත්තුගන්වන තවත් තර්කයක් නම්, විශ්වාසකරන්නන් මත දෛවවාදයට ඇති කළ හැකි බලපෑමයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පැවසූසේක: “සියලු හොඳ ගස් හොඳ ඵල දරයි; නුමුත් නරක ගහ නරක ඵල දරයි.” (මතෙව් 7:17) අපි දෛවවාදයේ එක් “ඵල[යක්]” සලකා බලමු—එනම් මනුෂ්‍යයන්ගේ වගකීමේ හැඟීම කෙරෙහි එය බලපාන ආකාරය.
පෞද්ගලික වගකීම පිළිබඳ හොඳ හැඟීමක් වැදගත් වේ. මෙය වනාහි, දෙමාපියන්ට තම පවුල්වලට සැපයීමටත්, සේවකයන්ට තම කාර්යයන් හෘදය සාක්ෂියට එකඟව ඉටු කිරීමටත්, නිෂ්පාදකයන්ට උසස් නිපැයුමක් සැපයීමටත් පොලඹවන යමක් වන්නේය. දෛවය කෙරෙහි විශ්වාස කිරීමෙන්, වගකීම පිළිබඳ එවන් හැඟීමක් නොදැනෙන තත්වයකට පත් විය හැකිය. නිදසුනක් වශයෙන්, මිනිසෙකුගේ මෝටර් රථයක නිසියාකාරව ක්‍රියා නොකරන සුක්කානමක් තිබෙන බව සිතන්න. තමන් වගකීමක් දැරිය යුතු බවට ඔහුට තියුණු හැඟීමක් තිබෙනවා නම්, තමාගේම මෙන්ම තම මඟීන්ගේ ජීවිත කෙරෙහි සැලකිල්ල දක්වමින් ඔහු එය අලුත්වැඩියා කරගනු ඇත. අනික් අතට, එය ‘දෙවියන්වහන්සේගේ කැමැත්ත’ නම් පමණක් විනාශයක් සිදු වේවියයි තර්ක කරමින්, දෛවය කෙරෙහි විශ්වාස කරන්නෙකු, එම අවදානම් සහිත තත්වය නොසලකා හැරිය හැක.
එසේය, නොසැලකිලිමත්කම, අලසකම, තමාගේම ක්‍රියාවල වගකීම පිළිගැනීමට අසමත් වීම හා වෙනත් නිෂේධාත්මක නැඹුරුවාවන් බොහොමයකට, දෛවය කෙරෙහි විශ්වාස කිරීම පහසුවෙන්ම අනුබල දිය හැක.
දෙවියන්වහන්සේ සමඟ තිබෙන අපගේ සබඳතාවට බාධාවක්
මේ සියල්ලෙන්ම වඩාත් හානිදායක වන්නේ, දෛවය පිළිබඳ විශ්වාසයෙන්, දෙවියන්වහන්සේ කෙරෙහි තිබෙන කෙනෙකුගේ වගකීමේ හැඟීම හෝ බැඳීම මර්දනය කළ හැකිවීමයි. (දේශනාකාරයා 12:13, NW) “ස්වාමීන් යහපත් බව රස බලා දැනගනිව්” කියා ගීතිකාකරු මුළු මනුෂ්‍යවර්ගයාගෙන් බලවත් ඕනෑකමකින් ඉල්ලා සිටියි. (ගීතාවලිය 34:8) තමන්වහන්සේගේ යහපත්කම භුක්තිවිඳින අය සඳහා දෙවියන්වහන්සේ සමහර අවශ්‍යතා පිහිටුවා තිබෙනසේක.—ගීතාවලිය 15:1-5.
පසුතැවිලි වීම එවන් අවශ්‍යතාවකි. (ක්‍රියා 3:19, 20ආ; 17:30) අපගේ වැරදි පිළිගෙන, අවශ්‍ය වෙනස්කම් කිරීම මෙයට ඇතුළත් වේ. අසම්පූර්ණ මනුෂ්‍යයන් වශයෙන්, අප සියලුදෙනාම පසුතැවිලි වීමට අවශ්‍ය කරන බොහෝ දේ කර තිබේ. එහෙත් තමා දෛවයෙහි අසරණ ගොදුරක් බව කෙනෙකු විශ්වාස කරන්නේ නම්, පසුතැවිලි වීම හෝ තමාගේ වැරදි ගැන වගකීම දැරීමේ අවශ්‍යතාවක් හැඟීම දුෂ්කර දෙයක් බවට පත් වේ.
“ඔබගේ කරුණාගුණය ජීවිතයට වඩා යහපත” කියා ගීතිකාකරු දෙවියන්වහන්සේ ගැන පැවසුවේය. (ගීතාවලිය 63:3) එහෙත් තමන්ගේ දුක්ඛිත තත්වයට දෙවියන්වහන්සේ වගකිව යුතු බව, දෛවය පිළිබඳ විශ්වාසය මිලියන ගණන් අයට ඒත්තුගන්වා ඇත. මෙය, මැවුම්කරුවාණන් සමඟ බොහෝදෙනෙකුට සැබෑ කිට්ටු සබඳතාවක් ඇති කරගැනීමට තිබෙන දොරටුව වසාලමින්, ඔවුන්ට උන්වහන්සේ කෙරෙහි දැඩි තිත්තබවක් ඇතිවීමට සලස්වා තිබීම ස්වාභාවිකය. කෙසේවෙතත්, ඔබගේ සියලු ගැටලු හා පරීක්ෂා ඇති කරන බවට ඔබ සැලකූ තැනැන්වහන්සේ කෙරෙහි ඔබට ප්‍රේමයක් හැඟෙන්නේ කෙසේද? මෙලෙස දෛවවාදය දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා අතර බාධකයක් ඇති කරයි.
දෛවයේ පීඩාකාරි බලපෑමෙන් නිදහස් වී
මුලින් සඳහන් කළ යෞවන ඌස්මාන්, වරක් දෛවය පිළිබඳ විශ්වාසය මගින් වහලෙකුව සිටියේය. කෙසේවෙතත්, බයිබලයේ දැනුම මගින් ඔහුගේ සිතුවිලි වටින්නේදැයි කිරා මැන බැලීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඌස්මාන්ට උපකාර කළ විට, දෛවය පිළිබඳ තමාගේ විශ්වාසය ඉවත් කිරීමට ඔහු පෙලඹුණේය. මෙහි ප්‍රතිඵලය වූයේ, සහනයේ ගැඹුරු හැඟීමක් සහ ජීවිතය කෙරෙහි නව, ඒකාන්ත ආකල්පයක් ඇතුව සිටීමට හැකිවීමය. වඩාත් වැදගත් ලෙසින්, ඔහු යෙහෝවඃවහන්සේව, “අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද” ඇත්තාවූ දෙවිකෙනෙකු ලෙස හඳුනාගැනීමට පැමිණ තිබේ.—නික්මයාම 34:6.
දෙවියන්වහන්සේ අපගේ ජීවිතයන්හි සෑම අංගයක්ම සැලසුම් නොකළත්, උන්වහන්සේට අනාගතය සඳහා අරමුණක් තිබෙන බව ඌස්මාන් වටහාගෙන තිබේ.a දෙවන පේතෘස් 3:13 මෙසේ ප්‍රකාශ කරයි: “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද උන්වහන්සේගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමු.” පොරොන්දු කරන ලද ‘අලුත් පොළොවෙහි’ සදහටම ජීවත්වීම සඳහා බලාපොරොත්තුවක් වර්ධනය කරගැනීමට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ මිලියන ගණන් අයට උපකාර කර ඇත්තාහ. ඔබටත් උපකාර කිරීමට ඔවුන් සතුටු වනු ඇත.
ඔබ බයිබලයේ ඒකාන්ත දැනුමෙන් වර්ධනය වන විට, ඔබට පාලනය කළ නොහැකි යම් පූර්වයේ නියම කරන ලද දෛවයක් කෙරෙහි ඔබගේ අනාගතය රඳා නොපවතින බව අගය කිරීමට පැමිණෙනු ඇත. ඉපැරණි ඉශ්‍රායෙලිතයන්ට මෝසෙස් ලිවූ වදන්, මෙසේ හොඳින් අදාළ වේ: “මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි තැ[බුවෙමි.] . . . එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරා[ගැනීම සඳහා], . . . නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකොට, උන්වහන්සේගේ හඬට කීකරුවී, උන්වහන්සේට ඇලුම්ව සිටපන්න.” (ද්විතීය කථාව 30:19, 20) එසේය, ඔබගේ අනාගතය සම්බන්ධයෙන් ඔබට තෝරාගැනීමක් කළ හැකිය. එය දෛවය අතට භාර දී නැත.
[පාදසටහන]
a දෙවියන්වහන්සේගේ පූර්ව දැනුම සම්බන්ධයෙන් සම්පූර්ණ සාකච්ඡාවක් සඳහා, 1984 දෙසැම්බර් 1 මුරටැඹහි පිටු 3-7 දක්වා බලන්න.
[6, 7වන පිටුවේ පින්තූර]
මෙම ආපදා ‘දේවක්රියා’ නොවීය
[හිමිකම් විස්තර]
U.S. Coast Guard photo
WHO
UN PHOTO 186208/M. Grafman