හදිසි අනතුරු—දෛවය ද නැතහොත් අවස්ථාව ද?
ක්‍රිස්ටීනා නැමැති සිත්කලු තරුණ නිරූපිකාව, බ්‍රසීලයේ සාඕ පව්ලෝහි නොවේ ඩි ජුල්හෝ ඇවෙන්යූ නම් වාහන බහුල මාවත හරහා මාරු වනවාත් සමඟ ම තමන් දෙසට වේගයෙන් ඇදී ආ බස් රියේ නොදුටුවා ය. බස් රථයේ රියැදුරා ඉතා අමාරුවෙන් බසය නවත්වන්නට වෑයම් කළ නමුදු, එය ප්‍රමාද වූවා වැඩි විය. ක්‍රිස්ටීනා මතින් බස්රිය ගමන් කළෙන් ඈ මරුමුවට පත් වූවා ය.
මෙම ඛෙදජනක හදිසි අනතුර පිළිබඳ පුවත ඕ එස්ටාඩෝ ඩි එස්. පව්ලෝ නම් බ්‍රසීල පුවත්පතේ මුල් පිටුවේ පළ විණ. (ජූලි 29, 1990) එහෙත් එය, බ්‍රසීලයේ සෑම වසරක ම සිදුවන්නා වූ 50,000ක් පමණ මාරක රිය අනතුරුවලින් එකක් පමණි. එවන් අනතුරුවලින් දහස් ගණනක් අබාධිතයන් බවට පත් වන අතරේ දී, සෙස්සෝ අනතුරු නොලැබ බේරෙති. එසේ නම්, මෙම තරුණ කාන්තාව බේරුණේ නැත්තේ ඇයි? ඈ එදින මිය යාමට දෛව ය මගින් නියම කොට තිබුණි ද?
සැබෑ හේතුව එය බව අසංඛ්‍යාත දෙනා තර්ක කරති. ඔවුන් විශ්වාස කරන්නේ ඉරණම කෙරෙහි ය. එනම්, මරණ මොහොත වැනි වැදගත් සිදුවීම් කලින් නියම කරනු ලැබ ඇතැයි යන විශ්වාසයයි. ඔවුන්ගේ මෙම විශ්වාසය, “දෛවයට එරෙහිව සටන් කරන්නට කිසිවෙකුට බැහැ”, “එයාගේ කාලය ඇවිල්ලා”, නැතහොත් “වෙන්ට තිබෙන දේ වෙයි” වැනි කියමන්වලට තුඩු දී තිබේ. මෙවන් ජනප්රීය කියමන්වලට පදනම් වන යම් සත්‍යතාවයක් තිබේ ද? අපි දෛවයේ නිකම් ඉත්තන් වී සිටිමු ද?
ඉරණම්වාදය, හෙවත් සියලු සිදුවීම් කලින් නියම කොට තිබේ ය යන සංකල්පය, පැරණි ග්රීකවරුන් සහ රෝමවරුන් අතර ද පැතිර පැවතුණි. අද දින පවා, මෙම මතය බොහෝ ආගම් තුළ බලවත් සේ ගැබ් වී තිබේ. නිදසුනක් වශයෙන්, ඉස්ලාම් ධර්මය, කුරානයේ මෙම වචනවලට ඇලී සිටී: “අල්ලාගේ අවසරයෙන් තොරව හා නිශ්චය කොට තිබෙන නියමිත කාලයට හැර කිසි ආත්මයක් කිසිදා මිය යන්නේ නැත.” ඉරණම කෙරෙහි ඇති විශ්වාසය ක්‍රිස්තියානි ලෝකයේ ද පොදු දෙයක් වී තිබෙන අතර, එය, ජෝන් කැල්වින් විසින් උගන්වන ලද පූර්ව නියමය [predestination] නැමැති ඉගැන්වීම මගින් පෝෂ ණය වී තිබේ. යම් හදිසි අනතුරක් සිදුවී ඇත්තේ “දේව කැමැත්ත” නිසා ය, යයි මිය ගිය තැනැත්තාගේ ශෝකවෙන නෑදැයන් හට පැවසීම පූජක පක්ෂය අතර පොදු දෙයක් වී ඇත්තේ ඒ හේතුවෙනි.
කෙසේ වෙතත්, හදිසි අනතුරු සිදුවන්නේ ඉරණම හේතුවෙන් ය යන මතය, සාමාන්‍ය සිහිබුද්ධිය, අත්දැකීම, සහ තර්කාණුකූල බවට පටහැනි ය. එක් දෙයක් නම්, හදිසි අනතුරක් ගැන හොඳින් පර්යේෂණයක් කළහොත් ඊට තුඩු දුන් තර්කාණුකූල හේතුවක් සාමාන්‍යයෙන් හෙළිවන හෙයින්, වාහන හදිසි අනතුරු දිව්‍යමය මැදිහත්වීමක ප්‍රතිඵලයක් යයි සිතීම උගහට ය. තව දුරටත්, සමීක්ෂණයන් පැහැදිලි ව පෙන්වන්නේ, වාහන පටියක් පැළඳීම වැනි ආරක්ෂක පියවරවල් ගැනීමෙන් මාරක අනතුරුක් සිදු වීමට ඇති අවස්ථාවන් බොහෝ සෙයින් අඩු වන බවයි. කලින් නියම කරන ලදැයි කියන එම දේව කැමැත්තට බාධා කිරීමට එවැනි ආරක්ෂක පියවරකට ඇත්තෙන් ම හැකි වෙයි ද?
එහෙත්, ඉරණම කෙරෙහි විශ්වාස කිරීම එය විශ්වාස කරන්නාට දරුණු අන්දමින් බලපෑමක් කරයි. එය, වේග සීමාවන් සහ වාහන සංඥා නොසලකා හැරීමට සහ මත්පැන් හෝ මත්ද්‍රව්‍යවල බලපෑමට හසු වී රිය පැදවීම වැනි අඥාණ ක්‍රියාවලට දිරිගන්වන්නේ නැත්ද? එවන් හදිසි අනතුරක් තමන්ට සිදු වූ විට, දෙවියන් වහන්සේට දොස් තැබීමට ඉරණම්වාදය කෙරෙහි ඇති විශ්වාසය ඇතැම් අය ව පෙලඹවීම, ඊටත් වඩා බරපතළ දෙයකි. කෝපයේ හා අසරණ බවේ හැඟීම් සහිත ව, දෙවියන් වහන්සේ කිසි සැලකිල්ලක් නොදක්වන බව තදින් ඒත්තු ගෙන සිටින ඔවුන් දෙවියන් වහන්සේ ගැන ඇති විශ්වාසය ද පවා නැති කර ගත හැකි ය. එම’ර්සන් නම් කවියා කදිමට මෙසේ කීවේ ය: “ජීවිතයේ අතී තික්ත දුඃඛිත ම පැත්ත නම්, කුරිරු ඉරණම හෝ දෛවය ගැන විශ්වාසය තැබීමයි.”
අභාග්‍යය සම්පන්න සිදුවීම් සහ හදිසි අනතුරු ගැන බයිබලය පවසන්නේ කුමක් ද? මේවා ඉරණමේ ක්‍රියාවන් යයි එය සැබවින් ම උගන්වයි ද? මීට අමතරව, ගැලවීම සඳහා ඇති අපගේ අපේක්ෂාවන් ගැන එය පවසන්නේ කුමක් ද? මේ කාරණය සම්බන්ධයෙන් අපට යම් තේරීමක් කළ හැකි ද? w91 10/15
[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“ජීවිතයේ අතී තික්ත දුඃඛිත ම පැත්ත නම්, කුරිරු ඉරණම හෝ දෛවය කෙරෙහි විශ්වාසය තැබීමයි.”—රැල්ෆ් වොල්ඩෝ එම’සන්