මිනිසාගේ දෛවයේ සුල මුල සොයා
දෛවය පිළිබඳ විශ්වාසය එතරම් ප්‍රචලිත වී ඇත්තේ මන්ද? ඈත අතීතයේ සිටම, ජීවිතයේ අභිරහස් නිරවුල් කිරීමටත්, සිදුවීම් පැහැදිලි කිරීම තුළින් යම් අරමුණක් සොයාගැනීමටත් මිනිසා ප්රයත්න දරා ඇත. “දේවල් සිදුවීමට පෞද්ගලිකත්වයක් දරන බලයක් හෝ පෞද්ගලිකත්වයක් නොමැති යම් ක්‍රමයක් දායක වීම පදනම් කරගෙන නැතහොත් කිසිදු ක්‍රමයක් නොමැතිව ඒවා සිදුවීම පදනම් කරගෙන, ‘දෙවියන්’, ‘දෛවය’, ‘අහඹුව’ වැනි සංකල්පයන් බිහි වී ඇත.” එසේ පැහැදිලි කරන්නේ ඉතිහාසඥ හෙල්මර් රිංග්රැන්. දෛවය හා ඉරණම පිළිබඳ විශ්වාසයන්, ප්‍රබන්ධ කථා සහ මිථ්‍යාවන්ගෙන් ඉතිහාසය පිරී පවතිනවා.
අෂූරිය ආශ්රිත ශිෂ්ටාචාර හදාරන්නෙකු වන ෂාන් බොටේරෝ මෙසේ පවසයි: “බොහෝදුරට හැම කාරණයක් සම්බන්ධයෙන්ම අපව හැඩගැසීමට මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ බලපෑම ඉවහල් වී ඇත.” තවද, “අධිස්වාභාවික දේවල් පිළිබඳ මනුෂ්‍යවර්ගයාගේ පැරණිතම මතයන් සහ ප්‍රතික්‍රියාවන්, එනම් හඳුනාගත හැකි පැරණිතම ආගමික ව්‍යූහය” අප දකින්නේ පුරාණ මෙසපොතේමියාවේ නොහොත් බබිලෝනියේ බවත් ඔහු තවදුරටත් පැවසුවා. දෛවයේ සුල මුල අප දකින්නෙත් මෙතැනදීයි.
දෛවයේ ඉපැරණි සුල මුල
දැන් ඉරාකයට අයත් පුරාණ මෙසපොතේමියාවේ නටබුන්වල මිනිසා සොයාගෙන ඇති පැරණිතම ලියවිලි කිහිපයක් පුරාවිද්‍යාඥයන් කැණීම්වලින් ගොඩගෙන තිබෙනවා. කීලාකාර අක්ෂරවලින් ලියන ලද පුවරු දහස් ගණනක් අපට සුමේර් සහ අක්කඩ් යන පුරාණ ශිෂ්ටාචාරවල සහ සුප්‍රසිද්ධ බබිලෝනිය නගරයේ පැවති ජීවිතය ගැන පැහැදිලි පින්තූරයක් ලබා දෙනවා. සැමුවෙල් එන්. ක්‍රේමර් නමැති පුරාවිද්‍යාඥයාට අනුව, “විශේෂයෙන් දුක් ගාවිනා වටා පැවති ගුප්තමය හේතු ගත් කල, මිනිසා ඒවා විඳින්නේ ඇයි යන ප්රශ්නය සුමේරිය ජාතිකයන්ට ගැටලුවක් වුණා.” පිළිතුරු සෙවීමට ඔවුන් දැරූ වෑයමේ ප්‍රතිඵලයක් වශයෙන් දෛවය යන අදහස බිහි වුණා.
බබිලෝනිය (ඉංග්‍රීසියෙන්) නමැති ඇගේ පොතේ පුරාවිද්‍යාඥ ජෝන් ඕට්ස් කියන්නේ “සෑම බබිලෝනිය වැසියෙකුටම තම තමාගේ පෞද්ගලික දෙවි දේවතාවන් සිටි” බවයි. දෙවිගොල්ලන් මුළු මිනිස් සංහතියේ දෛවයන් “පෞද්ගලික මට්ටමින් සහ සාමූහික මට්ටමින් සකස් කළ බව” බබිලෝනිවරුන් විශ්වාස කළා. ක්රේමර්ට අනුව, “විශ්වය පාලනය කරන දෙවිවරුන් ශිෂ්ටාචාරයේ අනිවාර්ය අංගයක් ලෙස දුෂ්ටකම, බොරුව සහ සැහැසියාව සැලසුම් කර හඳුන්වා දුන් බව” සුමේරිවරුන් විශ්වාස කළා. එසේ දෛවය පිළිබඳ විශ්වාසය ප්‍රචලිත වූ අතර, එය බොහෝදෙනා ගරු කළ දෙයක් වුණා.
දෙවිගොල්ලන්ගේ සැලසුම් “දෙවිවරුන්ගෙන් තොරතුරු විමසා ලබාගැනීමේ ක්‍රමයක්” වන පේන කීම මගින් සොයාගත හැකි බව බබිලෝනිවරුන් විශ්වාස කළා. යම් දේවල් සහ සිදුවීම් නිරීක්ෂණය කිරීමෙන්, තෝරා දීමෙන් සහ අර්ථ දැක්වීමෙන් අනාගතය පුරෝකථනය කිරීමට තැත් කිරීම පේන කීමට අයත් වුණා. සාමාන්‍යයෙන් සිහින, සතුන්ගේ චර්යාව සහ උන්ගේ බඩවැල් සෝදිසියට ලක් වුණා. (එසකියෙල් 21:21; දානියෙල් 2:1-4 සසඳන්න.) අනාගතය හෙළි කරන බවට උපකල්පනය කළ අනපේක්ෂිත හෝ අසාමාන්‍ය සිදුවීම් මැටි පුවරුවල වාර්තා කෙරුණා.
පුරාණ ශිෂ්ටාචාර ගැන හදාරන ප්‍රංශ විශාරද ඒඩ්වා ඩෝර්ම්ට අනුව, “අප මෙසපොතේමියානු ඉතිහාසයේ කොතරම් ආපස්සට ගියත්, ශාස්ත්‍රකාරයන් සහ පේන කීමේ අදහස පැවති බව දකින්න තිබෙනවා.” පේන කීම ඔවුන්ගේ ජීවිතයේ නැතුවම බැරි අංගයක්ව පැවතුණා. ඇත්තෙන්ම මහාචාර්ය බොටේරෝ පවසන පරිදි, “සෝදිසි කර බැලීමට හා පේන කීමෙන් අර්ථ දැක්වීම සඳහා සුදුසු වස්තුවක් ලෙස ඕනෑම දෙයක් සලකා බලන්න ඉඩ තිබුණා. . . . සුපරීක්ෂාකාරි අධ්‍යයනයකින් පසු අනාගතය කෙසේ හෝ දැනගත හැකි යමකට සාක්ෂියක් වශයෙන් ද්‍රව්‍යමය විශ්වයේ සෑම දෙයක්ම යොදාගනු ලැබුවා.” එබැවින් අනාගතය පුරෝකථනය කිරීමට උපක්‍රමයක් වශයෙන් මෙසපොතේමියානුවන් ජ්‍යොතිෂයට නොහොත් නක්ෂත්රයට මහත් ගැතිකමක් දැක්වූවා.—යෙසායා 47:13 සසඳන්න.
මීට අමතරව, බබිලෝනිවරුන් පේන කීම සඳහා පස ඇට නැතහොත් දාදු කැට භාවිත කළා. “මිනිසාගේ මැදිහත් වීම වැළැක්වීමටත්, දෙවිවරුන්ට තම දිව්‍ය කැමැත්ත ප්‍රකාශ කිරීමට බාධාවලින් තොර මාධ්‍යයක් ලබා දීමටත්” මේවා භාවිත කළ බව අහඹුව (ඉංග්‍රීසියෙන්) යන මැයින් යුත් ඇගේ පොතේ ඩෙබරා බෙනට් පැහැදිලි කරයි. කෙසේවෙතත්, දෙවිගොල්ලන්ගේ තීරණ වෙනස් කළ නොහැකි ඒවා බව සලකනු ලැබුවේ නැහැ. දෙවිවරුන්ට කන්නලව් කිරීමෙන් අශුභ ඉරණමකට ගොදුරු වීම වළකාගැනීමට හැකියාව තිබුණා.
පුරාණ මිසරයේ දෛවය පිළිබඳ විශ්වාසය
පොදු යුගයට පෙර 15වන සියවසේ, බබිලෝනිය සහ මිසරය අතර කිට්ටු සම්බන්ධතාවක් පැවතුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිදු වූ සංස්කෘතික හුවමාරුවට දෛවය හා සම්බන්ධ ආගමික වතාවත්ද ඇතුළත් වුණා. මිසරවරුන් දෛවය පිළිබඳ විශ්වාසයන් භාරගත්තේ මන්ද? “[මිසර] ආගමික චාරිත්‍ර බොහෝදුරට කේන්ද්‍රගත වූයේ අනපේක්ෂිත සහ අභාග්‍යසම්පන්න දේවල් තේරුම්ගෙන ඒවාට ප්‍රතිචාරය දැක්වීම වටා” බව ඔක්ස්ෆඩ් සරසවියේ මිසරවේදය පිළිබඳ මහාචාර්ය ජොන් ආර්. බේන්ස් පැවසුවා.
මිසර දෙවි දේවතාවන් රාශිය අතර, “ජීවිතයේ මාතාව, දෛවයේ මෙන්ම ඉරණමේ පාලිකාව” ලෙස නම් දැරූ අයිසිස් සිටියා. මිසරවරුන් පේන කීම සහ ජ්‍යොතිෂයේ නිරත වුණා. (යෙසායා 19:3 සසඳන්න.) එක් ඉතිහාසඥයෙක් මෙසේ පවසයි: “දෙවිවරුන්ගෙන් ප්‍රශ්න විචාරීමේදී ඔවුන්ට තිබුණේ අපූරු දක්ෂතාවක්.” කෙසේවෙතත්, බබිලෝනියෙන් දේවල් ඈඳාගත් එකම ශිෂ්ටාචාරය මිසරය නොවෙයි.
ග්‍රීසිය සහ රෝමය
ආගමික කාරණාවල බලපෑම ගත් කල, “බබිලෝනියේ පුළුල් මෙන්ම ප්‍රබල බලපෑමෙන් පුරාණ ග්‍රීසිය මිදුණේ නැතැයි” ෂාන් බොටේරෝ සඳහන් කරනවා. දෛවය කෙරෙහි විශ්වාසයන් ග්‍රීසියේ එතරම් ජනප්‍රිය වීමට හේතුව මහාචාර්ය පීටර් ග්‍රීන් මෙසේ පැහැදිලි කරයි: “ඇත්තෙන්ම ඔවුන්ට හැඟුණේ දෛවයේ දුරවබෝධ මෙන්ම දැඩි සීමාවන් තුළ ඔවුන් නිකම්ම රූකඩ වගේ එහෙ මෙහෙ විසි කරනු ලැබූ බවයි. එමනිසා අවිනිශ්චිත ලොවක විසූ මිනිසා පෞද්ගලික තීරණ ගැනීම සම්බන්ධයෙන් දැක්වූයේ පුදුමසහගත මැළිකමක්. එසේ නම් දෙවිගොල්ලන් විසින් දෛවය තීරණය කිරීම පුද්ගලයා වෙනුවෙන් අනාගතය සැලසුම්ගත කිරීමට එක් මාර්ගයක් වුණා. විශේෂ කුසලතා හෝ දුරදක්නා ඥානයක් තිබුණොත්, දෛවය මගින් නියම කර තිබුණු දේවල් පුරෝකථනය කළ හැකි වුණා. එය දැනගැනීමට ප්‍රිය යමක් නොවුණත්, කල්තියාම දැනගැනීමෙන්, පෞද්ගලික ආරක්ෂාවට පියවර ගැනීමට ඉන් ඉඩ කඩ සැලසුවා.”
අනාගතයෙහි සිදු වන දේ සම්බන්ධයෙන් ඇති වන බිය සැක දුරු කිරීමට අමතරව, දෛවය කෙරෙහි විශ්වාසයට වඩාත් ගුප්ත අරමුණුද තිබුණා. දෛවය පිළිබඳ අදහස මහජනයාව පාලනය කර තබාගැනීමට මහෝපකාරි වූ අතර, ඉතිහාසඥ එෆ්. එච්. සෑන්ඩ්බැක්ට අනුව, එම හේතුව නිසා, “මුළු ලොව දිව්‍ය මැදිහත් වීමක් කරණකොටගෙන පාලනය කළ බවට වූ විශ්වාසය, පාලනයෙහි නිරත වූ පාලක පක්ෂයේ ප්‍රසාදයට ලක් වනවා නිසැකයි.”
ඒ මන්ද? “සමාජීය සහ දේශපාලනය අතින් ස්ථාපිත වූ පිළිවෙළ සඳහා මෙම විශ්වාසය සදාචාරමය ලෙස, දේවධර්මවාදීව සහ අර්ථවිචාරීව යුක්තිසහගත බවක් කැවූ” බව මහාචාර්ය ග්‍රීන් පැහැදිලි කරනවා. “එය, හෙලනික පාලන පක්ෂය එතෙක් ප්‍රබන්ධ කළ ප්රබලතම මෙන්ම සටකපටම මෙවලම හැටියට හැඳින්විය හැකියි. ඕනෑම දෙයක් සිදු වෙද්දී, එසේ සිදුවීම දෛවයෙන් තීරණය වී තිබුණු බව අදහස් කළා; තවද ස්වභාවධර්මයා මනුෂ්‍යවර්ගයා දෙස ශුභාන්විත ආකාරයකින් බැලූ නිසා, දෛවයෙන් තීරණය වූ යමක් සිදු වූවා නම්, එය අන්තිමේදී නොවරදවාම සියලුදෙනාගේම යහපත තකායි සිදු වන්නේ.” කෙසේවෙතත්, යථාර්ථය ගත් කල, “එය සිත් පිත් නැති ආත්මාර්ථය යුක්තිසහගත කිරීමට” පදනමක් සැපයුවා.
දෛවය පොදු විශ්වාසයක්ව පැවති බව ග්‍රීක් සාහිත්‍යයෙන් පැහැදිලි වූ දෙයකි. පුරාණ සාහිත්‍යමය ශෛලියන් අතර, වීර කාව්‍යය, ජනප්‍රවාද සහ ශෝකාන්ත පැවති අතර, මේ සියල්ලේදී දෛවයට හිමි වී තිබුණේ ප්‍රධාන කාර්යභාරයකි. ග්‍රීක් මිථ්‍යා කථාවල මිනිසාගේ ඉරණම මොයිරේ නමින් හැඳින්වූ දේවතාවන් තුන්දෙනෙකුගෙන් නියෝජනය කරනු ලැබුවා. ක්ලෝතෝ විසින් ජීවිතය නමැති නූල කටිනු ලැබුවා; ලාහ්ක්එසිස් ආයු කාලය තීරණය කළා; ආට්රෝපෝස් නියමිත කාලය ඉකුත් වූ විට ජීවිතය සිඳ දැමුවා. රෝමවරුන්ටත් ඒ හා සමාන දේවතාවන් තිදෙනෙක් සිටි අතර, ඔවුන්ට පාකයි යන නම තැබුවා.
රෝමවරුන් සහ ග්‍රීකයන් තම දෛවය කුමක් වනු ඇද්දැයි දැනගැනීමට මහත් ආශාවක් දැක්වූවා. මේ හේතුවෙන්, ඔවුන් බබිලෝනියෙන් ජ්‍යොතිෂය සහ පේන කීම ඈඳාගෙන ඒවා තවත් ප්‍රවර්ධනය කළා. අනාගතය පුරෝකථනය කිරීමට යොදාගත් සිදුවීම් රෝමවරුන් හැඳින්වූයේ පෝර්ටෙන්ටා නොහොත් ලකුණු ලෙසයි. මෙම ලකුණුවලින් ලබාගත් පණිවිඩ ඔමිනා ලෙස හැඳින්වූවා. පොදු යුගයට පෙර තුන්වන සියවස වන විට, ග්‍රීසියේ ජ්‍යොතිෂය ජනප්‍රිය වූ අතර, පො.යු.පෙ. 62දී දන්නා සාක්ෂිවලට අනුව පැරණිතම ග්‍රීක හඳහන් එළි දැක්කා. ග්‍රීකයන් ජ්‍යොතිෂයට කොතරම් ඇදීගියාද කිවහොත්, මහාචාර්ය ගිල්බට් මරේට අනුව, “හෙලනිස්තික මනස” ජ්‍යොතිෂයට වහ වැටුණේ හරියට “අලුත් රෝගයක් හුදෙකලා දූපතක වෙසෙන ජනයාව වනසන ආකාරයට සමානවයි.”
අනාගතය දැනගැනීමට උත්සාහයක් වශයෙන්, ග්‍රීකයන් සහ රෝමවරුන් පේනකියන්නන්ව හෝ කට්ටඬියන්ව පුළුල්ව යොදාගත්තා. මොවුන් මාර්ගයෙන් දෙවිවරුන් මනුෂ්‍යයන්ට තොරතුරු දැන්වූ බවට විශ්වාසය පැවතුණා. (ක්‍රියා 16:16-19 සසඳන්න.) මෙම විශ්වාසයන් බලපෑවේ කෙසේද? දාර්ශනික බර්ට්‍රන්ඩ් රසල් මෙසේ පැවසුවා: “බලාපොරොත්තුවේ තැන ගත්තේ භයයි. ජීවිතයේ අරමුණ වී තිබුණේ යම් යහපතක් ඉටු කරගන්නවාට වඩා අභාග්‍යසම්පන්න දේවලින් කෙසේ හෝ මිදීමයි.” ක්‍රිස්තියානි ලෝකයේ ආගම් තුළ ඒ හා සමාන අදහස් බලපවත්වන්න පටන්ගත්තා.
දෛවය ගැන “ක්‍රිස්තියානි” විවාද
මුල් ක්‍රිස්තියානීන් ජීවත් වූයේ දෛවය සහ ඉරණම පිළිබඳ ග්‍රීක සහ රෝම අදහස්වලින් ප්‍රබල ලෙස බලපෑම් ලැබූ සංස්කෘතියකයි. නිදසුනක් ලෙස සභා පියවරුන් යන නම පටබැඳි නායකයන් ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ වැනි ග්‍රීක දාර්ශනිකයන්ගේ කෘතිවලට මහත් ගැතිකමක් දැක්වූවා. ඔවුන් නිරාකරණය කිරීමට තැත් කළ එක් ගැටලුවක් නම්, “අන්තිමය මුල පටන්” කියන සර්ව-ඥානැති, සර්ව බලධාරී දෙවිකෙනෙකු, ප්‍රේමයේ දෙවිකෙනෙකු විය හැක්කේ කෙසේද යන්නයි. (යෙසායා 46:10; 1 යොහන් 4:8) දෙවි අන්තිමය මුල පටන්ම දැනසිටියා නම්, මිනිසා පාපයට වැටෙන බවත්, ඉන් මොන වගේ ඛේදනීය ප්‍රතිඵල අත් වනවාද යන්නත් දෙවි කලින්ම දැනසිටියා විය යුතුයයි ඔවුන් තර්ක කළා.
මුල් ක්‍රිස්තියානි ලේඛකයන් අතුරින් බොහෝ දේ රචනා කළ ඔරිගන් තර්ක කළේ, සිතේ තබාගත යුතු ඉතා වැදගත් කාරණාවලින් එකක් වන්නේ නිදහස් කැමැත්ත නමැති අදහස බවයි. “නිදහස් කැමැත්තක් ඇති බව ඉතා පැහැදිලිව සනාථ කරන ශුද්ධ ලියවිලි පාඨයන් රැසක් ඇතැයි” ඔහු ලිව්වා.
යම් බාහිර බලවේගයක් අපගේ ක්‍රියාවන්වලට වගකිව යුතු බව කීම “සත්‍ය දෙයක්වත්, විචාර ශක්තියට පිළිගන්න පුළුවන් දෙයක්වත් නොවන අතර, නිදහස් කැමැත්ත නමැති සංකල්පය වනසා දැමීමට තැත් කරන්නෙකුගේ ප්‍රකාශයක්” බව ඔරිගන් පැවසුවා. ඔහුගේ තර්කය වූයේ, යමක් ඉදිරියේදී සිදු වෙයි කියාත් ඒවා සිදු වන අනුපිළිවෙළත් දෙවිට කලින්ම දැනගත හැකි වුණත්, ඔහු යම් සිදුවීමකට හේතුව බවවත්, එය අනිවාර්යයෙන්ම සිදු විය යුතු බවවත් ඉන් අදහස් නොකළ බවයි. කෙසේවෙතත්, සෑමදෙනෙකුම ඔහු සමඟ එකඟ වූයේ නැහැ.
සැලකිය යුතු බලපෑමක් කළ සභා පියෙකු වූ ඔගස්ටින් (පො.යු. 354-430), යමක් සිදු වෙද්දී නිදහස් කැමැත්ත ඊට දායක වන අන්දම බාල කිරීමෙන් එම තර්කය තවත් ව්‍යාකූල කිරීමට සමත් වුණා. ක්‍රිස්තියානි ලෝකය තුළ පෙර නියමය නමැති සංකල්පයට දේවධර්ම පදනමක් සැපයුවේ ඔගස්ටින්. ඔහුගේ කෘතීන්, විශේෂයෙන්ම ඩෙ ලිබෙරෝ ආර්බිට්රියෝ යන්න, මධ්‍යම යුගයේදී සාකච්ඡා සෑහෙන ප්‍රමාණයකට පදනම සැපයුවා. මෙම මතභේදය අවසානයේදී ප්‍රතිසංස්කරණයේදී උච්චාවස්ථාවකට පැමිණි අතර, ඒ අවස්ථාවේ පෙර නියමය නමැති විෂය සම්බන්ධයෙන් ක්‍රිස්තියානි ලෝකය පැවතියේ භේදභින්න වූ තත්වයකයි.a
පුළුල් විශ්වාසයක්
කෙසේවෙතත්, දෛවය පිළිබඳ මතයන්, බටහිර ලෝකයට සීමා වී නැහැ. මුස්ලිම්වරුන් යම් විපත්තියකට මුහුණ දෙන කල්හි, බොහෝදෙනෙක් “මෙක්ටූබ්” (ලියා තිබෙනවා) යන්න පවසන්නේ ඔවුන් දෛවය කෙරෙහි විශ්වාස කරන බවට හෙළි කරමිනුයි. පෞද්ගලිකව ඉරණම නියම කරගත යුතු බව ප්‍රාචීන ආගම් බොහොමයක අවධාරණය කරන බව සැබෑවක් වුණත්, ඔවුන්ගේ ඉගැන්වීම්වලට දෛවය ගෑවී ඇති බව පැහැදිලියි.
නිදසුනක් වශයෙන් හින්දු සහ බෞද්ධ ධර්මවල දක්නට ලැබෙන කර්මය නමැති ඉගැන්වීම යනු, පෙර ආත්මයක කළ කුසල් අකුසල් අනුව යමෙකුට නොවරදවාම අත් වන ඉරණමයි. චීනයේ සොයාගත් පැරණිතම ලියවිලි තිබෙන්නේ පේන කීම සඳහා යොදාගත් ඉබිකටුවලයි. අමෙරිකා මහද්වීපවල විසූ මුල් වැසියන් අතරත් දෛවය කෙරෙහි විශ්වාසයන් පැවතුණා. උදාහරණයක් ලෙස, ඇස්ටෙක්වරුන් පුද්ගලයන්ගේ ඉරණම පෙන්නුම් කිරීමට පේන කීම ඇසුරෙන් දින දර්ශන පිළියෙළ කළා. අප්රිකාවේද දෛවවාදී විශ්වාසයන් පොදුවේ දක්නට ලැබෙනවා.
දෛවය නමැති සංකල්පය පුළුල්ව පිළිගත් එකක් බවට වූ කාරණයෙන් පැහැදිලි වන්නේ උත්කෘෂ්ට බලයක් පිළිබඳ විශ්වාසය මිනිසා සතු මූලික අවශ්‍යතාවක් බවයි. මිනිසාගේ ආගම් (ඉංග්‍රීසියෙන්) යන තම පොතේ ජොන් බී. නොස් මෙසේ පිළිගනියි: “මිනිසා ස්වාධීනව කටයුතු කරන්නේ නැති බවටත්, එසේ කටයුතු කළ නොහැකි බවටත් වූ අදහස සියලුම ආගම්වල යම් ආකාරයකින් දක්නට ලැබෙනවා. ස්වභාවධර්මයාගේ සහ අවට සමාජයේ බලපෑම්වලට ඔහු සම්බන්ධයි. ඇතැම්විට ඔහු සහමුලින්ම ඒවා මත රඳා පවතියි. තමා මෙලොවෙහි ස්වාධීනව සිටීමට සමත් බලවේගයක් නොවන බව ඔහුට කෙසේ හෝ පැහැදිලියි.”
දෙවිකෙනෙකු විශ්වාස කිරීමේ අවශ්‍යතාවට අමතරව, අප අවට සිදු වන්නේ කුමක්දැයි තේරුම්ගැනීමේ මූලික අවශ්‍යතාවද අපට තිබෙනවා. කෙසේවෙතත්, සර්ව බලධාරි මැවුම්කරුවෙකු පිළිගැනීම සහ ඔහු අපගේ ඉරණම ඍජුව නියම කරන බව විශ්වාස කිරීම අතර වෙනසක් පවතිනවා. අපගේ ඉරණම නියම කිරීමේදී අපට හිමිව ඇත්තේ කුමන කාර්යභාරයද? දෙවි ඊට සම්බන්ධ වන්නේ කෙසේද?
[පාදසටහන]
a අපගේ සහායක සඟරාව වන මුරටැඹ 1995 පෙබරවාරි 15, 3-4 පිටු බලන්න.
[5වන පිටුවේ පින්තූරය]
පො.යු.පෙ. 1000ට අයත් බබිලෝනීය ජ්‍යොතිෂ දින දර්ශනයක්
[හිමිකම් විස්තර]
Musée du Louvre, Paris
[7වන පිටුවේ පින්තූරය]
මිනිසාගේ ඉරණම දේවතාවන් තිදෙනෙකු විසින් නියම කළ බව ග්‍රීකයන් සහ රෝමවරුන් විශ්වාස කළා
[හිමිකම් විස්තර]
Musée du Louvre, Paris
[7වන පිටුවේ පින්තූරය]
“දෛවයේ මෙන්ම ඉරණමේ පාලිකාව” වූ මිසරයේ අයිසිස්
[හිමිකම් විස්තර]
Musée du Louvre, Paris
[8වන පිටුවේ පින්තූරය]
චීනයේ සොයාගත් පැරණිතම ලියවිලි තිබෙන්නේ පේන කීම සඳහා යොදාගත් ඉබිකටුවලයි
[හිමිකම් විස්තර]
Institute of History and Philology, Academia Sinica, Taipei
[8වන පිටුවේ පින්තූරය]
රාශිචක්රයේ සංකේත මෙම පර්සියානු පෙට්ටියේ දක්නට ලැබෙනවා
[හිමිකම් විස්තර]
ඡායාරූපය ගෙන ඇත්තේ British Museum අනුග්රහයෙනි