අපේ අනාගතය කලින්ම ලියවී ඇද්ද?
ක්‍රිස්තියානි, මුස්ලිම්, යුදෙව්, හින්දු හෝ වෙනත් ආගමික බැතිමතෙක් හෝ වේවා, සියලුම ඇදහිලි ක්‍රමවල ජනයා විපත්ති අද්දකින අතර, ඒවා හේතුවෙන් සොවින් තැවෙනවා.
උදාහරණයක් හැටියට, 1997 දෙසැම්බර් 6වනදා, ඉර්කූට්ස්ක් කියන සයිබීරියානු නගරයේ බිහිසුණු ඛේදවාචකයක් සිදු වුණා. විශාල AN-124 බඩු ප්‍රවාහණ ගුවන් යානයක් අහසට නැඟුණත් සමඟම එහි එන්ජින් දෙකක් ක්‍රියාවිරහිත වුණා. ජෙට් ඉන්ධන පිරුණු ගුවන් යානය නිවාස සංකීර්ණයක් මතට කඩා වැටුණා. අහිංසක දරුවන් ඇතුළු අසරණ නිවැසියන් බොහෝදෙනෙකුව මරුමුවට හෝ හානියට පත් කරවමින්, නවාතැන් නිවාස ගණනාවක් ගිනිදැල්වලින් වැසී ගියා.
එම හදිසි අනතුර සිදු වූ සයිබීරියාවේ එම ප්‍රදේශයේ විවිධ ආගමික මත දරන ජනයා සිටිනවා ඇති. සමහරුන් ක්‍රිස්තියානි ධර්මය අදහන බව ප්‍රකාශ කරනවා විය හැකි වුණත්, සිදු වූ ඛේදවාචකය දෛවයේ ප්‍රතිඵලයක් කියා ඔවුන් සිතන්න ඉඩ තිබෙනවා. ‘ඒක දේවකැමැත්ත, ඒගොල්ලන් මේ විදිහට මැරුණේ නැත්නම්, වෙන විදිහකින් මැරෙන්න ඉඩ තිබුණා—ඒක ඒගොල්ලන්ගේ දෛවය’ කියා ඔවුන්ට මෙන්ම අනිත් අයටද හැඟෙන්න ඉඩ තිබෙනවා.
එළිපිට කිව්වත් නැතත්, එවන් මතයක් ලෝකය වටා බොහෝ ආගම්වල සොයාගැනීමට තිබෙන සංකල්පයක් වන දෛවය පිළිබිඹු කරනවා. අප ඉපදෙන දවසේ සිට මැරෙන දවස දක්වා අපේ අනාගතය යම් ආකාරයකින් කලින් ලියවී තිබෙනවා කියා බොහෝ ජනයා විශ්වාස කරනවා.
දෛවය සම්බන්ධ විශ්වාසයට විවිධ ස්වරූප තිබෙනවා. එමනිසා පොදුවේ ගැළපෙන අර්ථ දැක්වීමක් දීම දුෂ්කරයි. හොඳ වුණත් නරක වුණත් සිදු වන සියල්ලම, සෑම ක්‍රියාවක්ම, සෑම සිද්ධියක්ම වැළැක්විය නොහැකියි යන අදහස දෛවයේ ගැබ්ව තිබෙනවා. මිනිසාගේ පාලනය අබිබවා යන උත්කෘෂ්ට බලයක් මගින් එය තීරණය වී ඇති බැවින්, එය සිදුවීමට නියමිතයි. එවැනි සංකල්පයක් ජ්‍යොතිඃ ශාස්ත්රයේ, හින්දු සහ බෞද්ධ ධර්මයේ කර්ම ඉගැන්වීමේ මෙන්ම පෙර නියමය පිළිබඳ ක්‍රිස්තියානි ලෝකයේ ඉගැන්වීමෙහි සොයාගත හැකියි. දෙවිවරුන් දෛවයත් අනාගතයත් ලියවිල්ලක් මගින් පාලනය කළ බව පුරාණ බබිලෝනියේ විසූ මනුෂ්‍යයන් විශ්වාස කළා. මෙම “දෛවයේ ලෑලි” පාලනය කළ ඕනෑම දෙවියෙකුට, මනුෂ්‍යයන්ගේ, රාජධානිවල මෙන්ම දෙවිවරුන්ගේ පවා දෛවය තීරණය කරන්න පුළුවන් බවට පවසා තිබුණා.
ඔවුන්ගේ ආයුෂ ප්‍රමාණය, ඔවුන් ගැහැනු හෝ පිරිමි වේවිද, දුප්පත් හෝ පොහොසත් වේවිද, දුකින් හෝ සන්තෝෂයෙන් සිටීද යන්න ඇතුළු ජනයාට සිදු වෙන්න යන සෑම දෙයක්ම, මනුෂ්‍යයන් ඉපදෙන්න කලින් දිව්‍යමය නියෝගයක් මගින් දෙවි නියම කරන බව බොහෝ බැතිමතුන් කියා සිටිනවා. මේ සියල්ල දෙවිගේ මනසෙහි පවතින බව නැතහොත් එය සිදු වෙන්න කලින් පොතක ලියවී තිබෙන බව පවසා තිබෙනවා. මේ අනුව, යම් විපත්තියක් පහර දෙන විට, අදහන්නෙකු විසින් “මෙක්ටූබ්”—එනම් එසේ ලියා තිබේයයි පැවසීම දුර්ලභ දෙයක් නොවෙයි. දෙවි සෑම දෙයක්ම කල්තියා දන්නා බවට තර්ක කර තිබෙන නිසා, ඔහුට කීකරු වන්නේ කවුද සහ ඔහුට අකීකරු වන්නේ කවුද යන්නත් ඔහු තීරණය කළ යුතුයි. මේ අනුව පුද්ගලයෙකු ඉපදෙන්නත් කලින්, ඔහු පාරාදීසයේ සදාකාලික සැපත ලැබීමට හෝ සදාකාලික විනාශයක් ලැබීමට නියම වී ඇද්ද යන්න දෙවි කලින්ම තීරණය කර ඇති බව බැතිමතුන් බොහෝදෙනෙක් විශ්වාස කරනවා.
ක්‍රිස්තියානි ලෝකයේ ඇතැම් පල්ලිවල උගන්වන පෙර නියමය පිළිබඳ ඉගැන්වීමට මෙය බොහෝදුරට සමාන බව ඔබට හැඟෙනවා විය හැකියි. පෙර නියමය පිළිබඳ ප්‍රමුඛතම රෙපරමාදු යෝජකයා වුණේ 16වන සියවසේ ප්‍රංශ සංශෝධක ජොන් කැල්වින්. ඔහු පෙර නියමය මෙසේ නිර්වචනය කළා: “සෑම මනුෂ්‍යයෙකු සමඟම කිරීමට තමාට වුවමනා වූ දේ තීරණය කළ දෙවිගේ සදාතනික නියමය. සෑම කෙනෙකුම එකම තත්වයෙන් මවා නැහැ. එනමුත් ඇතමුන්ට සදාතනික ජීවනයත් වෙනත් අයට සදාතනික නිරාගින්නත් කලින් නියම කර තිබෙනවා.” කැල්වින් මෙලෙසද තරයේ කියා සිටියා: “දෙවි පළමු මනුෂ්‍යයාගේ වැටීම මෙන්ම එතුළින් ඔහුගේ ජනිතයන්ගේ අභාවයත් කලින් දුටුවා පමණක් නොව, නමුත් තමාට රිසි පරිද්දෙන් ඒ සඳහා කටයුතුද යෙදුවා.”
එනමුත් පෙර නියමය නැතහොත් දෛවවාදය උගන්වන ආගම්වල සාමාජිකයන් සියල්ලන්ම එය පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. ආගමික ලියකියවිලිවල මනුෂ්‍යයාගේ නිදහස් කැමැත්ත සඳහන් බව ඇතැම් අය නිවැරදි ලෙස ගෙනහැර දක්වනවා. ඇත්තවශයෙන්ම, මිනිස් ක්‍රියා සම්බන්ධව, එනම් ඒවා නිදහස් මිනිස් තේරීමේ ප්‍රතිඵලයක්ද නැතහොත් දෙවි විසින් කලින් නියම කර ඇද්ද යන්න සම්බන්ධව මහත් මතභේදයක් හටගෙන තිබෙනවා. නිදසුනක් වශයෙන්, යුක්තිසහගතව ක්‍රියා කරන දෙවි, මිනිසා තම ක්‍රියා සඳහා වගකිව යුතු බවත් ඒවා සඳහා ගණන් දිය යුතු බවත් සලකන නිසා, තෝරාගැනීමටත් ක්‍රියා කිරීමටත් මිනිසාට නිදහසක් තිබිය යුතු බවට ඇතැම් අය තර්ක කර තිබෙනවා. දෙවි මිනිසාගේ ක්‍රියා බිහි කරන නමුත්, මිනිසා කෙසේ හෝ ඒවා “නතු කරගෙන” ඒවා සඳහා වගකියන තත්වයකට පිවිසෙන බව වෙනත් අය පවසා තිබෙනවා. කෙසේවෙතත්, සාමාන්‍යයෙන් ගත් කල, කුඩා හෝ වේවා, විශාල හෝ වේවා අපේ දෛනික ජීවිතයෙහි සෑම සිද්ධියක්ම දෙවි විසින් නියම කර ඇති බව බොහෝදෙනෙක් විශ්වාස කරනවා.
ඔබේ විශ්වාසය කුමක්ද? ඔබේ අනාගතය කුමක් වේවිද යන්න දෙවි කලින්ම තීරණය කර ඇද්ද? මනුෂ්‍යයන්ට ඇත්තෙන්ම නිදහස් කැමැත්තක්, තම අනාගතය ගැන සැබෑ තේරීම් කිරීමට හැකියාවක් තිබෙනවාද? අපේ දෛවය අපේම ක්‍රියා මත රඳා පවතින්නේ කොතරම් දුරටද? මීළඟ ලිපිය මෙම ප්‍රශ්නවලට උත්තර දීමට උත්සාහ කරාවි.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
SEL/Sipa Press