මොළොක් ගතියෙන් යුත් අය කොතරම් සන්තෝෂමත් ද!
“මොළොක් ගුණ ඇත්තෝ ආශිර්වාද ලද්දෝය [සන්තෝෂමත් වන්නෝය NW]; මක්නිසාද ඔව්හු පොළොව උරුමකරගන්නෝය.”—මතෙව් 5:5.
1. යේසුස් වහන්සේ සිය කන්ද උඩ දේශනාවේ දී පැවසූ මොළොක් ගතිය කුමක් ද?
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය කන්ද උඩ දේශනාවේ දී මෙසේ පැවසූ සේක: “මොළොක් ගුණ ඇත්තෝ ආශිර්වාද ලද්දෝය [සන්තෝෂමත් වන්නෝය NW]; මක්නිසාද ඔව්හු පොළොව උරුම කර ගන්නෝය. (මතෙව් 5:5) මෙම මෘදු ගතිය හෙවත් මොළොක් කම, කුහක මෘදු බවේ පිටස්තර ඔපයක් නොවේ, එමෙන් ම එය ස්වභාවික පුද්ගලික ගති ලක්ෂණයක් ද නොවේ. ඊට වඩා, එය, යෙහෝවඃ දෙවියන් වහන්සේගේ, කැමැත්ත සහ මග පෙන්වීමට ප්‍රතිචාරය දැක්වීමේ දී මූලික ව විදහා පාන්නා වූ සැබෑ ඇතුළාන්ත මෘදුකම සහ සාමාකාමී බාවයයි. සැබවින් ම මොළොක් ගතියක් තිබෙන අයට, දෙවියන් වහන්සේ මත රඳා සිටීමේ තියුණු අවබෝධයක් තිබෙන අතර සෙසු මිනිසුන් සමඟ හැසිරීමේ දී මෙය පිළිබිඹු වෙයි.—රෝම 12:17-19; තීතස් 3:1, 2.
2. මොළොක් ගති ඇති සන්තෝෂමත් බව යේසුස් වහන්සේ ප්‍රකාශ කළේ මන් ද?
2 මොළොක් ගති ඇති අය සන්තෝෂමත් වන්නෝ ය යයි යේසුස් වහන්සේ ප්‍රකාශ කළේ, ඔවුන් පොළොව උරුම කර ගනු ඇති නිසා ය. පරිපූර්ණ වශයෙන් මොළොක් ගුණැති දේව පුත්‍රයා ලෙස, යේසුස් වහන්සේ පොළොව උරුම කරගන්නා ප්‍රධාන තැනන් වහන්සේ වන සේක. (ගීතාවලිය 2:8; මතෙව් 11:29; හෙබ්‍රෙව් 1:1, 2; 2:5-9) නමුත් මෙසියානු “මනුෂ්‍ය පුත්‍රයා” වශයෙන්, උන් වහන්සේට සිය ස්වර්ගීය රාජ්‍යයේ දී හවුල් පාලකයන් ඇතුව සිටීමට තිබිණි. (දානියෙල් 7:13, 14, 22, 27) ක්‍රිස්තුස් වහන්සේගේ “හවුල් උරුමක්කාරයන්” වශයෙන්, මෙම ආලේප ලත් මොළොක් ගුණැති අය, උන් වහන්සේ සමඟ පොළොව උරුම කර ගැනීමේ දී ඊට හවුල් වනු ඇත. (රෝම 8:17) මොළොක් ගුණැති අනෙක් අය, එනම් බැටළුවන් වැනි මනුෂ්‍යයන්, රාජ්‍යයේ භුමික විෂය තුළ පාරාදීසයේ සදාකාල ජීවනය භුක්ති විඳිනු ඇත. (මතෙව් 25:33, 34, 36; ලූක් 23:43) එම අපේක්ෂාව ඇත්තෙන් ම ඔවුන් ව සන්තෝෂමත් කරනු ඇත.
3. මොළොක්කම සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ තැබුවේ කිනම් ආදර්ශයක් ද?
3 මොළොක් ගුණැති මෙම ප්‍රධාන උරුමක්කාරුවාණන් පොළොව උරුම කර ගන්නේ මොළොක් ගතියේ ප්‍රධානත ම ආදර්ශය වන සිය පියාණන් වන යෙහෝවඃ වහන්සේගෙන් ය. දෙවියන් වහන්සේ “උදහස් වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාවෙන්” යුත් බව බයිබලය කොතරම් වාරයක් පවසනවා ද! (නික්මයාම 34:6; නෙහෙමියා 9:17; ගීතාවලිය 86:15) උන් වහන්සේට මහත් බලයක් තිබේ, නමුත් එවැනි මොළොක් කමක් විදහා දක්වන්නේ කිසි භියක් නොමැතිව ස්වකීය සේවකයන්ට උන් වහන්සේ වෙත එළැඹීමට හැකි වන ලෙසට ය. (හෙබ්‍රෙව් 4:16; 10:19-22) “සිතින් මෘදුව යටත්ව සිටින” දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්, මොළොක් අය වීමට සිය ගෝලයන් හට ඉගැන්වූ සේක. (මතෙව් 11:29; ලූක් 6:27-29) මේ නයින්, දෙවියන් වහන්සේගේ සහ උන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ මොළොක් ගුණැති දාසයෝ, “ක්‍රිස්තුස් වහන්සේගේ මෘදුකම සහ මොළොක් ගුණය” අනුකරණය කොට, ඒ ගැන ලිවූහ.—2 කොරින්ති 10:1; රෝම 1:1; යාකොබ් 1:1, 2; 2 පේතෘස් 1:1.
4. (අ) කොලොස්සි 3:12 ට අනුව, සැබවින් ම මොළොක් ස්වභාවයක් ඇති අය විසින් කරනු ලැබ ඇත්තේ කුමක් ද? (ආ) අපගේ සැලකිල්ලට භාජනය විය යුත්තේ කිනම් ප්‍රශ්න ද?
4 අද දින, ආලේප ලත් ක්‍රිස්තියානින් සහ ඔවුන්ගේ භුමික හවුල්කරුවන් යන දෙකොට්ඨාශය ම මොළොක් ගුණැති අය වීමට අවශ්‍යතාවයක් තිබේ. ඕනෑ ම නපුරුකමක්, මුළාවක්, කුහකකමක්, ඊර්ෂ්‍යාවක්, සහ නැති තැන අගුණ ද්වේෂ සහගත කීමක්, වැනි ක්‍රියාවලින් ඉවත් ව සිටින ඔවුහු, ‘මනස ක්‍රියාත්මක කරවන බලයකින්’ අලුත් වීමට දෙවියන් වහන්සේගේ ආත්මය මගින් උපකාර ලබා සිටිත්. (එපීස 4:22-24; 1 පේතෘස් 2:1, 2) “දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගැනීමට” ඔවුන්ගෙන් උදක් ම ඉල්ලා සිටිනු ලැබේ. (කොලොස්සි 3:12) නමුත් මෘදුකම තුළ හරියට ම අඩංගු වී තිබෙන්නේ මොනවා ද? මෘදු ගතියක් ඇතුව සිටීම ප්‍රයෝජනදායක වන්නේ මන් ද? මෙම ගුණාංගය අපගේ සන්තෝෂයට දායක විය හැක්කේ කෙසේ ද?
මොළොක්කම දෙස සමීප බැල්මක්
5. මොළොක්කම නිර්වචනය කළ හැක්කේ කෙසේ ද?
5 මොළොක් ගතියක් ඇති පුද්ගලයෙක් හැසිරීමේ සහ ගති පැවතුම්වල දී සෞම්‍ය ගතියක් පෙන්වයි. සමහරක් බයිබල් අනුවාදයන්හි, “මෘදු”, “මොළොක්”, සහ “මොළොක් ගතිය” සහ “සෞම්‍ය ගතිය” මෙන් පරිවර්තනය කොට ඇත්තේ ප්‍රා·යිස්ʹ යන විශේෂණය ය. පැරණි ග්‍රීක් භාෂාවේ, ප්‍රා·යිස්ʹ යන මෙම විශේෂණය අදාළ කළ හැක්කේ, මෘදු මද සුළඟට හෝ කට හඬට ය. කරුණාභරිත යමෙක් ගැන ද ඉන් ඇඟවිය හැකි ය. විශාරද ඩබ්. ඊ. වයින් මෙසේ පවසයි: “[ප්‍රා·යʹටීස් නම් නාමපදය] පළමුකොට සහ ප්‍රධානකොට යොදවා ඇත්තේ දෙවියන් වහන්සේට ය. අප සමඟ උන් වහන්සේ කටයුතු කිරීම යහපත් යයි අප පිළිගන්නේ මෙම ගති ස්වභාවයෙනි; එමනිසා එසේ අප කරන්නේ වියවුල් නොකිරීමෙන් සහ ඊට එරෙහි නොවීමෙනි; එය ටපෙයිනොෆ්රොසුනේ [යටහත් පහත්කම] යන වචනය සමඟ සමීප ව බැඳී පවතී.”
6. මොළොක්කම දුර්වලකමක් නොවන බව කිව හැක්කේ මන් ද?
6 මොළොක්කම දුර්වලකමක් නොවේ. “ප්රාඋස් නම් ග්‍රීක් වචනය තුළ සෞම්‍ය ගතියක් තිබේ” යනුවෙන් ලියන විශාරද විලියම් බාක්ලේ, “එහෙත් සෞම්‍ය ගතිය පිටුපස වානේවල ශක්තිය තිබේ” යනුවෙන් තව දුරටත් ලියයි. මොළොක් ගතියක් ඇතුව සිටීමට ශක්තිය අවශ්‍ය ය. නිදසුනක් වශයෙන්, කුපිත කරනු ලැබූ හෝ අපට පීඩා කරන අවස්ථාවන් යටතේ දී මොළොක් ගුණය පෙන්වන්නට අපට ශක්තිය අවශ්‍ය කරවයි. දෙවියන් වහන්සේගේ මොළොක් ගුණැති පුත්රයණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබූ සේක: “උන්වහන්සේ නින්දාකරනු ලැබූ කල නින්දා නොකළ සේක; වධවින්ද කල තර්ජන නොකර, ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරන තැනන්වහන්සේට [යෙහෝවඃ දෙවියන් වහන්සේට] කාරණය භාරදුන්සේක.” (1 පේතෘස් 2:23) මොළොක් ගුණැති යේසුස් වහන්සේ මෙන්, අපට එරෙහි වෙන්නන් සහ පීඩා කරන්නන් සමඟ දෙවියන් වහන්සේ කටයුතු කරනු ඇතැයි යන නිසැකකම අපට තබා ගත හැකි ය. (1 කොරින්ති 4:12, 13) යෙහෝවඃ වහන්සේ අප ව උසුලන බවත්, අප උන් වහන්සේට විශ්වාසවන්ත ව සිටියහොත්, අප හට නිත්‍ය ලෙස කිසිදු හානියක් කිරීමට ඉඩ නොදෙන බව වටහා ගනිමින් ස්තේපන් මෙන් අපට ශාන්ත ගතියකින් යුක්ත ව සිටිය හැක.—ගීතාවලිය 145:14; ක්‍රියා 6:15; පිලිප්පි 4:6, 7, 13.
7. මොළොක්කමෙන් හීන පුද්ගලයෙකු ගැන හිතෝපදේශ 25:28හි අඟවන්නේ කුමක් ද?
7 යේසුස් වහන්සේ මෘදු ගතියක් ඇතුව සිටි සේක. එහෙත් හරි දේට ස්ථීර ව සීටීමෙන්, උන් වහන්සේ ශක්තිය විදහා පෑ සේක. (මතෙව් 21:5; 23:13-39) “ක්‍රිස්තුස් වහන්සේගේ මනස” ඇතුව සිටින ඕනෑ ම අයෙකු මේ සම්බන්ධයෙන් උන් වහන්සේ මෙන් වනු ඇත. (1 කොරින්ති 2:16) යම් පුද්ගලයෙක් මෘදු නොවේ නම්, ඔහු ක්‍රිස්තුස් වහන්සේ මෙන් නොවේ. ඊට වඩා, මෙම වචන ඔහුට අදාළ වනු ඇත: “තමාගේ සිත [ස්වභාවය NW] මැඩ පවත්වා නොගන්න මනුෂ්‍යයා පවුරක් නැති බිඳවැටුණු නුවරක් මෙන්ය.” (හිතෝපදේශ 25:28) මෘදුකමෙන් ඌණ එවන් පුද්ගලයෙක් නොහොබිනා අන්දමින් ක්‍රියා කරන්නට හේතු කරවන වැරදි සිතුවිලිවල ආක්රමණයන්ට පහසුවෙන් හසු වී යයි. මොළොක් ගුණැති ක්‍රිස්තියානි කාරයෙක්යෙ බෙලහීනයෙකු නොවන අතර, ‘මෘදු උත්තරයකින් කෝපය පහවෙන බවත්, එහෙත් කර්කශ වචනයකින් තරහ හටගන්නා’ බවත් හේ දනී.—හිතෝපදේශ 15:1.
8. මොළොක්කම ඇතුව සිටීම පහසු දෙයක් නොවන්නේ මන් ද?
8 මෘදු ගතියක් ඇතුව සිටීම පහසු නැත්තේ, උරුම කර ගත් අසම්පූර්ණකම සහ පාපය අපට තිබෙන නිසා ය. (රෝම 5:12) අප යෙහෝවඃ වහන්සේගේ සේවකයන් නම්, පීඩා පැමිණවීමෙන් අපගේ මෘදුකම පරික්ෂණයට භාජනය කරන්නා වූ දුෂ්ට ආත්ම බලයන් සමඟ සටනක් ද අපට තිබේ. (එපීස 6:12) අපගෙන් බොහෝ දෙනෙකුට වැඩ කරන්නට සිදුව ඇත්තේ යක්ෂයාගේ පාලනය යටතේ පවතින ලෝකයේ සැර පරුෂ ස්වභාවයක් ඇති පුද්ගලයන් අතර ය. (1 යොහන් 5:19) ඉතින් මොළොක්කම වර්ධනය කිරීමට අපට හැක්කේ කෙසේ ද?
මොළොක්කම වර්ධනය කළ හැකි ආකාරය
9. මොළොක්කම වර්ධනය කිරීමට අපට උපකාරවත් වනු ඇත්තේ කිනම් අදහස ද?
9 මොළොක්කම විදහා දැක්වීම අපගෙන් අවශ්‍ය කරවනවා ය යන බයිබලය මත පදනම් වූ අවබෝධය, මෙම ගුණාංගය වර්ධනය කිරීමට උපකාරවත් වෙයි. මොළොක්කම වර්ධනය කිරීම සඳහා අප දිනෙන් දින ක්‍රියාකළ යුතුයි. එසේ නොවේ නම්, මොළොක්කම දුර්වලකමක් බවත්, සාර්ථකත්වය ලැබෙන්නේ අහංකාර වීමෙන්, රළු වීමෙන් සහ කුරිරු වීමෙන් පවා යයි සිතන මිනිසුන්ට අප සමාන වනු ඇත. කෙසේ වෙතත්, දේව වචනය උඬගුකම හෙළා දකින අතර, ප්‍රඥාවන්ත හිතෝපදේශයක් මෙසේ පවසයි: “කරුණාවන්ත මනුෂ්‍යයා තමාගේම ප්‍රාණයට යහපත කරගන්නේය; එහෙත් කෲරයා තමාගේම මාංසය කලඹන්නේය.” (හිතෝපදේශ 11:17; 16:18) කුරිරුකම සහ මෘදුකමේ ඌනතාවය කරණකොටගෙන සිදුවිය හැකි හානිවලින් වැලකී සිටීම මුලික හේතුව වුවද, ජනයා සැර පරුෂ අකාරුණාවන්ත පුද්ගලයෙකුගෙන් වෙන්ව සිටී.
10. මොළොක්කම ඇතුව සිටීමට නම්, අප යටත් විය යුත්තේ කුමකට ද?
10 මොළොක්කම ඇතුව සිටීම පිණිස, දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයට හෙවත් ක්‍රියාකාරික බලයේ බලපෑමට අප යටත් විය යුතු ය. යෙහෝවඃ වහන්සේ අස්වැන්න නිපදවීම සඳහා පොළොවට හැකියාව සැලැස්වූවාක් මෙන්, මොළොක්කම ඇතුළු ස්වකීය ආත්මයේ ඵල නිපදවීමට උන් වහන්සේ ස්වකීය සේවකයන් හට හැකියාව ලබා දුන් සේක. පාවුල් මෙසේ ලීවේ ය: “ආත්මයාණන්වහන්සේගේ [ආත්මයේ NW] ඵල නම්—ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම [මොළොක්කම] පමණ දැන ක්‍රියාකිරීම [ආත්ම දමනය NW] යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.” (ගලාති 5:22, 23) එසේය, දෙවියන් වහන්සේ ව සතුටු කරන අය විසින් විදහා පෑ යුතු දෙවියන් වහන්සේගේ ආත්මයේ ඵලවලින් එකකි, මොළොක්කම. (ගීතාවලිය 51:9, 10) මොළොක්කම මොනතරම් වෙනසක් ඇති කරවයි ද! නිදසුනක් වශයෙන්, මිනිසුන් සමඟ සටන් කළ, මිනිසුන්ගේ දේවල් කොල්ලකා ගත්, මත් බෙහෙත්වර්ග නිතී විරෝධී අන්දමින් එහා මෙහා ගෙන ගිය, මෝටර් සයිකල් සොරකම් කිරීමේ කල්ලියක් මෙහෙය වූ, සහ කලක් සිර ගත වී සිටි ටෝනි නැමැති මැරවරයෙක් විය. එහෙත්, දෙවියන් වහන්සේගේ ආත්මයේ උපකාරය ඇතුව ඔහු ලබා ගත් බයිබල් දැනුම සමඟින්, ඔහු යෙහෝවඃ වහන්සේගේ මොළොක් ගති පැවතුම් ඇති සේවකයෙක් බවට පත් විය. ටෝනිගේ කථාව ආදර්ශයක් ලෙස ගත හැකි ය. එසේ නම්, මොළොක්ගුණයේ ඌනතාවය යමෙකුගේ පුද්ගලිකත්වය මෙහෙයවන ස්වභාවයේ යම් ප්‍රධාන අංගයක් වී තිබේ නම් කුමක් කළ හැකි ද?
11. මොළොක්කම වගා කිරීමේ දී, යාච්ඤාව ඉටු කරන කාර්ය භාරය කුමක් ද?
11 දෙවියන් වහන්සේගේ ආත්මය උදෙසා ද මොළොක්කම නම් එහි ඵලය උදෙසා කරන හෘදයාංගම යාච්ඤාව මෙම ගුණාංගය වර්ධනය කිරීමට අපට උපකාරවත් වනු ඇත. යේසුස් වහන්සේ පැවසුවාක් මෙන් අප “ඉල්ලමින් සිටිය” යුතු ය. එවිට, යෙහෝවඃ වහන්සේ අප ඉල්ලන දේ අපට දානය කරන සේක. මිනිස් පියවරුන් තම දරුවන්ට යහපත් දේවල් දෙන බව පෙන්වීමෙන් පසු, යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “මෙසේ [පව්කාර හා එබැවින් සංසාදනාත්මක වශයෙන්] නපුරුවූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දනිවු නම්, කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය නොදෙන සේක්ද”! (ලූක් 11:9-13) මොළොක්කම වන අපගේ චරිත ස්වභාවයේ ස්ථීර ගති ලක්ෂණයක් වීම සැළැස්වීම යාච්ඤාවට හැකියාවක් ඇත. [අපගෙත් අප සමඟ ඇසුරු කරන්නන්ගෙත් සන්තෝෂයට දායක වන්නාවූ ගුණාංගයක්.]
12. මිනිසුන් අසම්පූර්ණ බව මතකයේ තබා ගෙන සිටීම, මොළොක් ගතියෙන් යුක්ත වීමට අපට උපකාර කරන්නේ මන් ද?
12 මිනිසුන් අසම්පූර්ණ අය බව මතකයේ තබා ගෙන සිටීම, මොළොක් ගතියක් ඇතුව සිටීම අපට උපකාරවත් විය හැක. (ගීතාවලිය 51:5) අනෙක් මිනිසුන්ටත් කළ නොහැකි වන්නාක් මෙන් අපටත් පරිපූර්ණ ලෙස සිතන්නට හෝ ක්‍රියා කරන්නට නොහැක. එම නිසා ස්ථීර වශයෙන් ම, සංවේදනය [empathy] අපට තිබිය යුතු අතර, අපට සළකනවාට අප කැමති අයුරින් ම අප ද ඔවුන්ට සැළකිය යුතුයි. (මතෙව් 7:12) අප සියලු දෙනා ම වැරදි කරන බව සිතේ තබා ගෙන සිටීම, අනුන් සමඟ කටයුතු කිරීමේ දී සමාව දීමටත්, මොළොක්ගුණයෙන් යුක්ත වීමටත් අපට හේතු කරවිය යුතුයි. (මතෙව් 6:12-15; 18:21, 22) අවසාන වශයෙන් බලන කල, දෙවියන් වහන්සේ අප වෙත ප්‍රේමය සහ මොළොක්කම විදහා පෑම ගැන අප ස්තූති වන්ත නොවන්නෙමු ද?—ගීතාවලිය 103:10-14.
13. මිනිසුන් නිදහස් සදාචාර පුද්ගලයන් වශයෙන් දෙවියන් වහන්සේ විසින් මවා තිබේ ය යන්න පිළිගැනීම, මොළොක් ගුණය වර්ධනය කිරීමට අප හට උපකාරවත් වන්නේ කෙසේ ද?
13 දෙවියන් වහන්සේ මිනිසුන් ව සාදා තිබෙන්නේ නිදහස් සදාචාර පුද්ගලයන් ලෙස බව පිළිගැනීම ද, මොළොක්කම වර්ධනය කිරීමට අපට උපකාරවත් විය හැක. දඬුවම් හෝ ඵල විපාක නොලැබ යෙහෝවඃ වහන්සේගේ නීති නොසළකා හැරීමට මෙය කිසිවෙකුට ඉඩ නොදෙන නමුත්, උන් වහන්සේගේ සෙනඟ අතර, විවිධ රසයන් සහ රුචි අරුචිකම්වලට ඉඩ හරී. ඉතින් එම නිසා, වඩාත් හොඳ යයි අප සළකන අච්චුවට දමා ඇඹීමට කිසිවෙකු බැඳී නොසිටින බව අපි පිළිගනිමු. මෙම ස්ප්‍රීතුව අපට මොළොක් ගුණයෙන් යුක්ත වීමට උපකාර කරයි.
14. මොළොක් ගුණය සම්බන්ධයෙන්, අපගේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක් ද?
14 මොළොක්කම අත් නොහැරීමට අධිෂ්ඨාන කර ගැනීමෙන්, මෙම ගුණාංගය වර්ධනය කර ගැනීමට අප හට උපකාර කරයි. යෙහෝවඃ වහන්සේගේ ආත්මයේ බලපෑමට යටත් වීමෙන් අපගේ සිතිවිලිවල විපර්යාසයක් ඇති කළේ ය. (රෝම 12:2) ක්‍රිස්තුස් වහන්සේට සමාන මොළොක් ස්වභාවයක් ඇතුව සිටීම, “අනාචාරකමාන් ද, සල්ලාලකමින් ද,[කාම රාගය NW] බීමත් කමින් ද, අශෝභන උත්සව වලින් ද මධුපානෝත්සවවලින් ද පිළිකුල් රූප ඇදහිල්ලෙන් ද” යන ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමට දැන් අප හට උපකාරී වේ. මුදල් සම්බන්ධ ව, සාමාජීය වශයෙන්, හෝ වෙනත් හේතු නිසා වේවා, නැත්නම් අපගේ දිව්‍ය ගුණාංග සහිත ස්වභාවය ගැන අනුන්ගේ අපහසාත්මක කථා නිසා හෝ වේවා, අප කිසිවිටෙකත් අපගේ මොළොක්කම ඉවත නොදැමිය යුතුයි. (1 පේතෘස් 4:3-5,න. අ. ) “මාංසයේ ක්‍රියාවන්හි” අප ව නිරත කරවීමට අපි කිසි විටෙකත් කිසිවකට ඉඩ නාරිමු. මක්නිසාදයත්, අප එසේ වුවහොත්, අප අපගේ මොළොක්කම නැති කර ගෙන, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර ගැනීමට අපොහොසත් වී එහි ආශිර්වාද අහිමි කර ගන්නා බැවිනි. (ගලාති 5:19-21 NW) ස්වර්ගීය ජීවනයකට ආලේප ලබා තිබුණත්, භුමික බලාපොරොත්තුවක් තිබුණත්, දෙවියන් වහන්සේගේ මොළොක් ගුණැති අය වීමේ වරප්‍රසාදය අපි සැමවිට ම ආදරයෙන් රැක බලා ගනිමු. ඒසේ කිරීමේ අටියෙන්, මොළොක්කමේ සමහරක් ප්‍රයෝජන සළකා බලමු.
මොළොක්කමේ ප්‍රයෝජන
15. හිතෝපදේශ 14:30ට අනුව, මෘදු වීම ඥාණවන්ත දෙයක් වන්නේ මන් ද?
15 මොළොක්ගුණැති පුද්ගලයෙකුට සන්සුන් හදවතක්, මනසක්, සහ සිරුරක් තිබේ. මෙය මෙසේ වන්නේ, එම තැනැත්තා, දබරවලට මැදිවෙන්නේවත්, අනෙක් අයගේ ක්‍රියාවන් නිසා සිත අවුල් කරගන්නේවත්, දයා විරහිත කාන්සාවන්ගෙන් තමාට ම දුක් දෙන්නේවත් නැති හෙයිනි. තමාගේ චිත්තවේගී හැඟීම් පාලනය කරලීමට මොළොක්කම, පුද්ගලයෙකුට උපකාර කරයි. තව ද මෙය මානසික ව හා කායිකව ප්‍රයෝජන දායකය. හිතෝපදේශයක් මෙසේ කියයි: “මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය.” (හිතෝපදේශ 14:30) මොළොක්කමේ ඌනතාවය, අධික රුධිර පීඩනය හෝ ආහාර දිරවීමේ අපහසුතාවයන්, ඇදුම, ඇස්වල ආබාධයන්, සහ වෙනත් ගැටලු ඇතිකරලීමට හේතුවන කෝපයට තුඩු දෙයි. මොළොක්කමෙන් යුත් ක්‍රිස්තියානිවරයෙක්, තම හෘදය සහ මානසික බලයන් ආරක්ෂා කරන “දෙවියන් වහන්සේගේ සමාදානය” ඇතුළු විවිධ ප්‍රයෝජන භුක්ති විඳී. (පිලිප්පි 4:6, 7) එබැවින්, මොළොක්කම ඇතුව සිටීම මොනතරම් ඥාණවන්ත දෙයක් ද?
16-18. අන් අය සමඟ අපට ඇති සම්බන්ධතාවයට මොළොක්කම කුමන බලපෑමක් ඇති කරයි ද?
16 මොළොක් ගුණාංගය, අන්‍යයන් සමඟ ඇති අපගේ සම්බන්ධතාවය වැඩි දියුණු කරයි. ඇතැම් විටෙක, අපට උවමනා ආකාරයට ම යමක් කර ගන්නා තෙක් අප යම් කාරණා මත තදින් ක්‍රියා කිරීමේ පුරුද්දක් අපට තිබුණා විය හැකියි. අපට යටහත් පහත්කම සහ මොළොක්කම මඳ ව තිබුණු හෙයින් මිනිසුන් අප සමඟ අමනාපයෙන් සිටියා වන්නට පුළුවන. එවැනි තත්ත්වයන් යටතේ, අප එක් ආරවුලකින් තවත් ආරවුලකට පැටලී සිටියා නම් ඒ ගැන පුදුම වෙන්නට දෙයක් නැත. කෙසේ වෙතත් හිතෝපදේශයක් පවසන්නේ: “දර නැති තැන ගින්න නිවීයයි; එසේම කේලාම් කියන්නෙක් [අපහාස කරන්නෙක් NW] නැති තැන තරඟය නවතින්නේය. ගිනිඅඟුරුවලට අඟුරුත් ගින්නට දරත් යම්සේද, ඩබර අවුස්සන්ට තරඟකාර මනුෂ්‍යයා එසේමය.” (හිතෝපදේශ 26:20, 21) අප මොළොක් ගුණයෙන් යුක්ත නම්, අනුන් ව කුපිත කරවීමට හා ‘ඇවිලෙන ගින්නට තවත් පිදුරු දමනවා’ වෙනුවට, අපි අනුන් සමඟ හොඳ සම්බන්ධයක් ඇති කර ගන්නෙමු.
17 මොළොක් ගති ගුණ ඇති පුද්ගලයෙකුට බොහෝ විට හොඳ මිතුරන් සිටී. ඔහු තුළ ඒකාන්ත ආකල්පයක් තිබෙන නිසාත්, ඔහුගේ වචන මී පැණි මෙන් නැවුම් බවකින් යුක්ත නිසාත් ඔහු සමඟ ඇසුරු කරන අය ඉන් සතුටක් භුක්ති විඳිත්. (හිතෝපදේශ 16:24) එය යේසුස් වහන්සේ සම්බන්ධයෙන් සත්‍යයක් වූ නිසා උන් වහන්සේට මෙසේ කියන්නට හැකිවිණි: “මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා, එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.” (මතෙව් 11:29, 30) යේසුස් වහන්සේ සැර පරුෂ නොවූ සේක, එමෙන් ම, උන් වහන්සේගේ වියගහ පීඩා දෙයක් නොවී ය. උන් වහන්සේ වෙතට පැමිණි අය, හොඳින් සළකනු ලැබූ අතර, ආත්මික ව නැවුම් බවක් අත් දුටූහ. අප මොළොක් ගති පැවතුම් ඇති ක්‍රිස්තියානි මිතුරෙක් සමඟ ඇසුරු කරන විට, තත්ත්වයත් එසේම ය.
18 මොළොක්කම, අපගේ සෙසු ඇදහිලිවන්තයන් තුළ අප වෙත සෙනෙහෙබර ගතියක් ඇති කරලීමට සමත් වෙයි. නිසැකව ම, පාවුල් කොරින්තියේ විසූ ක්රිස්තියානින්හට, “ක්‍රිස්තුස් වහන්සේගේ මෘදුකම සහ මොළොක් ගුණය නිසා” සමඟින් අයාචනය කළ හෙයින්, ඒ අතරින් බොහෝ දෙනෙක් ඔහු වෙත ඇදී ගියෝ ය. (2 කොරින්ති 10:1) පාවුල් මොළොක් මෘදු ගුරුවරයෙකු වු බැවින්, තෙසලෝනික වරුන් ඔහු හට ප්‍රතිචාර දැක්වූ බවට සැකයක් නැත. (1 තෙසලෝනික 2:5-8) එපීසයේ වැඩිමහල්ලන් පාවුල් ගෙන් බොහෝ දේ ඉගෙන ගෙන ඔහුට වඩාත් සෙනෙහෙබරින් යුතුව ප්‍රේම කළ බවට ප්‍රශ්නයක් නැත. (ක්‍රියා 20:20, 21, 37, 38) අන්‍යයන් තුළ ඔබ කෙරෙහි සෙනෙහෙබර ගතියක් ඇති කරන අයුරින් ඔබ මොළොක්කම විදහා දක්වන්නේහි ද?
19. යෙහෝවඃ වහන්සේගේ සංවිධානය තුළ තම ස්ථානය රැක ගැනීමට මොළොක්කම උන් වහන්සේගේ සෙනඟට උපකාරවත් වන්නේ කෙසේ ද?
19 යටත්කම විදහා දක්වමින් යෙහෝවඃ වහන්සේගේ සංවිධානය තුළ තමන්ගේ ස්ථානයේ රැඳී සිටීමට මොළොක් ගති පැවතුම උන් වහන්සේගේ ජනයාට උපකාර කරයි. (පිලිප්පි 2:5-8, 12-14; හෙබ්‍රෙව් 13:17) උඩඟුකම මත පදනම් වූ, දෙවියන් වහන්සේ ඉදිරියේ අප්‍රසන්න වු ගරු නම්බුනාම සෙවීමෙන් මොළොක්කම අපව වළක්වාලයි. (හිතෝපදේශ 16:5) තමාගේ සෙසු ඇදහිලිවන්තයන්ට වඩා තමා උතුම් යයි නොසලකන්නා වූ මොළොක් පුද්ගලයෙක්, ඔවුන්ගේ වියදමෙන් වැජඹීමට උත්සාහ නොකරයි. (මතෙව් 23:11, 12) ඒ වෙනුවට, තමාගේ පව්කාර තත්ත්වය පිළිගන්නා ඔහු, දෙවියන් වහන්සේගේ මිදීමේ මිලයේ සැපයුමේ ඇති අවශ්‍යතාව අවබෝධ කර ගනී.
මොළොක්කම සන්තෝෂය වඩවයි
20. පවුල් ජීවිතය මත මොළොක් ගුණය කුමන බලපෑමක් ඇති කරයි ද?
20 දෙවියන් වහන්සේගේ සියලු සේවකයන් මතක තබා ගත යුතු දෙයක් නම් මෙළොක්කම වනාහී, සන්තෝෂය වඩවන, උන් වහන්සේගේ ආත්මයේ ඵලයක් බව ය. නිදසුනක් වශයෙන්, යෙහෝවඃ වහන්සේගේ ජනයා අතර ප්‍රීතිමත් නිවෙස් බහුල ව ඇත්තේ ප්‍රේමය සහ මොළොක්කම නැමැති ගුණාංග ඔවුන් විදහා පාන නිසා ස්වාමි පුරුෂයා සහ භාර්යාව එකිනෙකා සමඟ මොළොක් කමින් යුතුව කටයුතු කරන විට, ඔවුන්ගේ දරුවන් හැදී වැඩෙන්නේ, සැර පරුෂ වචන සහ ක්‍රියාවන්වලින් ගහණ පවුලක නොව, සන්සුන් වාතාවරණයක් මධ්‍යයෙහි ය. පියෙක් තම දරුවන්ට මොළොක්කමින් යුතුව උපදෙස් දෙන විට, මෙය ඔවුන්ගේ මනස්වලට හොඳ බලපෑමක් ඇති කරවන අතර, බොහෝ විට වන්නේ මොළොක් ස්වභාවය ඔවුන්ගේ පුද්ගලිකත්වයේ කොටසක් බවට පත් වීමයි. (එපීස 6:1-4) මොළොක් ස්වභාවයක් ස්වාමි පුරුෂයන්ට තම භාර්යාවන්ට ප්‍රේම කිරීමට මහෝපකාරී වෙයි. තම ස්වාමි පුරුෂයන්ට යටත් වීමට භාර්යාවන්ට උදව් වන අතර එය තම දෙමාපියන්ට කීකරු වීමට දරුවන් ව පොළඹ වන්නේ ය. පවුලේ සන්තෝෂයට දායක වන්නා වූ සමාව දීමේ ස්වභාවයක් ඇතුව සිටීමට මොළොක්කම පවුලේ සමාජිකයන්ට උපකාරී වේ.—කොලොස්සි 3:13, 18-21.
21. සාරයක් සේ ගත් කළ, එපීස 4:1-3හි ප්‍රේරිත පාවුල් දුන්නේ කිනම් උපදෙසක් ද?
21 මොළොක් ගුණැති පවුල් සහ පුද්ගලයෝ තමන් ඇසුරු කරන සභාවේ සන්තෝෂය වඩවන්නෝ ය. එම නිසා, මොළොක් ගති පැවැත්මක් ඇතුව සිටීමට යෙහෝවඃ වහන්සේගේ ජනයා ප්‍රබල උත්සාහයක් දැරීමට අවශ්‍ය ය. ඔබ එසේ කරමින් සිටින්නේහි ද? තමන්ගේ ස්වර්ගික කැඳවීමට අනුකූල ව හැසිරෙමින් සිටින ලෙස ප්‍රේරිත පාවුල්, “සියලු ආකාර යටත්කමින්ද, මොළොක්ගුණයෙන්ද ඉවසිලිවන්තකමෙන් ද හැසිර, එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා, සමාදානයේ බැම්මෙන් ආත්මයාණන්ගේ එකමුතුකම පවත්වාගන්ට උත්සාහ කරන මෙන්” සෙසු ආලේපලත් ක්රිස්තියානින්ගෙන් අයැද සිටියේ ය. (එපීස 4:1-3) භූමික බලාපොරොත්තුවක් ඇති ක්‍රිස්තියානින් ද, මොළොක්කම සහ අනෙකුත් දිව්‍ය ගුණාංග විදහා දැක්විය යුතු ය. සැබෑ සන්තෝෂය ගෙන එන මාර්ගය මෙයයි. ඇත්තෙන් ම මොළොක් ගුණැති අය සන්තෝෂමත්හු ය! w91 10/15
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේ ද?
◻ මොළොක් ගුණැති අය සන්තෝෂයෙන් සිටින්නේ ඇයි?
◻ මොළොක්ගති ඇතුව සීටීම කීමෙන් අදහස් කරන්නේ කුමක් ද?
◻ මොළොක්කම වැඩි දියුණු කළ හැක්කේ කෙසේ ද?
◻ මොළොක්කමේ ඇති සමහරක් ප්‍රයෝජන මොනවා ද?