පාඨකයන්ගෙන් ප්‍රශ්න
◼ යම් තැනැත්තෙක් මියගිය විට, පවුලේ අයට මල් දීම හෝ අවමංගල්‍ය නිවසට මල් යැවීම ක්‍රිස්තියානින් හට සුදුසු දෙයක් ද?
සමහර රටවල එසේ කිරීම සිරිතකි. නමුත් අවමංගල්යවල දී මල් භාවිතා කිරීමට ඇතැම් අවස්ථාවල ආගමික අර්ථයක් තිබී ඇත. එමනිසා විශේෂයෙන් ම බොරු ආගම සමඟ මේ හා සමාන යම් සම්බන්ධයන් තිබෙන බවට පෙනී යා හැකි වෙනත් සිරිත් ද තිබෙන හෙයින්, මේ කාරණය පිළිබඳ ව අපි විස්තරාත්මක ව පරීක්ෂා කර බලමු. දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් හි (1987) මෙම විස්තරය සැලකිල්ලට ගන්න:
“දේවතාවුන් සහ දේවතාවියන් සමඟ ඇසුර තුළින් මල්වලට පාරිශුද්ධ විෂය සමඟ සම්බන්ධයක් තිබේ. වසන්ත සමයේ හා පුෂ්පයන්ගේ රෝම දේවතාවිය වන ෆ්ලෝරා, විකසිත වන පුෂ්පයන්ට අලංකාරය සහ සුවඳ ගෙන එන්නී ය. . . . ආහාර හා මල් පූජා කිරීම තුළින් . . . දෙවි දේවතාවුන් සංසිඳුවාලමින් නමස්කාර කරනු ලැබිය හැක.”
“මරණය හා සම්බන්ධ වත් පිළිවෙත් වල දී මල් භාවිතය ලොව පුරා සිදු වෙයි. ග්‍රීකවරු හා රෝමවරු තම මියගිය අයගේ මෘත ශරීර සහ ඒවායේ සොහොන් මල්වලින් ආවරණය කළහ. ජපානයේ මියයමින් සිටින බෞද්ධයන්ගේ ආත්ම නෙළුම් මලක් මත ඉහළට ගෙන යනු ලබන අතර, සොහොන් පිටිවල සොහොන් ගල් කැටයම් කරන ලද නෙළුම් මල් මත වැතිර තිබේ. . . . තාහිතියන්වරු කුඩා මීවනවලින් (ferns) ඔතන ලද මල් පොකුරු මියගිය තැනැත්තාගේ සිරුර අසල තබන අතර මරණින් පසු ඊළඟ භවයට යන ගමන පහසු කර වීම සඳහා මළ සිරුර පුරා මල්වලින් සකස් කරන ලද සුවඳ පැන් වත් කරති. . . . සුවඳ දුම් හෝ සුවඳ පැන් ආකාරයෙන් ද පුණ්‍ය කාලවල දී මල් උපයෝගි කර ගනු ලැබිය හැක.”
සාවධාන ව සිටින සමහරක් ක්‍රිස්තියානින්ට හැඟී ගොස් ඇත්තේ, මල්, බොරු ආගම සමඟ සම්බන්ධ කරනු ලැබ ඇති නිසා තමන් අවමංගල්‍ය උත්සවවලට මල් නොදිය යුතු හෝ මල් යැවිය නොයුතු බව ය. යේසුස් වහන්සේගේ අනුගාමිකයන් “ලෝකයේ කොටසක් නොවන” බැවින්, ලෞකික සිරිත්වලින් වැළකී සිටීමට ආශාවක් ද ඔවුන්ගේ හැඟීම්වලින් පිළිබිඹු කරනවා විය හැකි ය. (යොහන් 15:19) කෙසේ වෙතත්, මීට සම්බන්ධිත බයිබල් පාඨයන්ට සහ ප්‍රදේශයේ මතිමතාන්තරයන්ට මෙහි දී යම් බලපෑමක් කරයි.
මල් වනාහි ජීවත් වන්නවුන්ට භුක්ති විඳීම සඳහා දානය කරනු ලැබ තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාවන්ගෙන් කොටසකි. (ක්‍රියා 14:15-17; යාකොබ් 1:17) උන් වහන්සේ විසින් මවන ලද පුෂ්පාලංකාරය සැබෑ නමස්කාරයේ දී උපයෝගි කර ගනු ලැබ තිබේ. මණ්ඩපයේ වූ පහන් රුක “කොට්ටම්බා මල් . . . සහ මොට්ටුවලින්” සරසන ලදි. (නික්මයාම 25:31-34) දේවමාලිගාව ඇතුළත කැටයම් වැඩවලට මල් මාලා සහ ඔලීව ගස් ඇතුළත් විය. (1 රාජාවලිය 6:18, 29, 32) පැහැදිලි ව ම, මිථ්‍යා දෘෂ්ටින් විසින් මල් හෝ මල් මාලා භාවිතා කිරීම, සැබෑ නමස්කාරකයන්ට සෑම විට ම ඒවා භාවිතා කිරීමෙන් වළකින්නට සිදු වූ බවක් අදහස් කළේ නැත.—ක්‍රියා 14:13.
එහෙත්, අවමඟුල් සිරිත් වැනි සිරිත් අනුගමනය කිරීම පිළිබඳ වඩා පුළුල් ප්රශ්නය ගැන කුමක් කිව හැකි ද? සමහරක් ඒවා සැබෑ නමස්කාරකයින්ට නුසුදුසු, වෙනත් ඒවා දෙවියන් වහන්සේගේ ජනයා විසින් පිළිපදිනු ලැබූ, බොහෝ සිරිත් විරිත් ගැන බයිබලය ගෙන හැර දක්වයි. පළමු වෙනි රාජාවලියේ 18:28 හි “මහත් හඬින් මොරගසා . . . තමුන්ගේ ශරීර කපාගන්නා” වූ බාල් වන්දනාකරුවන්ගේ “සිරිත” ගැන ගෙන හැර දක්වා තිබේ. මෙය සැබෑ නමස්කාරකයන් පිළිපදින සිරිතක් නොවනු ඇත. අනෙක් අතට, රූත්ගේ කථාවේ 4:7 හි, “පෙර කාලයේ මුදාගැනීමේ . . . ඉශ්රායෙල්වරුන් අතරේ . . . සිරිත [පවත්වන ආකාරය]” ගැන අප්‍රසාදය පළ කිරීමක් කර නැත.
දෙවියන් වහන්සේට පිළිගත හැකි සිරිත් බරපතළ ආගමික කාරණාවල පමණක් පවා වැඩි දියුණු වන්නට පුළුවන. දෙවියන් වහන්සේ පාස්කු උත්සවය පවත්වන ලෙස නියෝග කළ විට, මුද්‍රික පානය භාවිතා කිරීම ගැන උන් වහන්සේ සඳහන් කළේ නැත, නමුත් පළමු සියවස වන විට, මුද්‍රික පානයෙන් යුත් කුසලාන් භාවිතය සිරිතක් විණි. යේසුස් වහන්සේ සහ උන් වහන්සේගේ ප්‍රේරිතයෝ මෙම ආගමික සිරිත ප්‍රතික්ෂේප නොකළහ. එය පිළිකුල් දෙයක් නොවන බව වටහා ගත් ඔවුහු එය අනුගමනය කළෝ ය.—නික්මයාම 12:6-18; ලූක් 22:15-18; 1 කොරින්ති 11:25.
සමහරක් අවමඟුල් සිරිත් සම්බන්ධයෙන් ද තත්ත්වය ඒ හා සමාන ය. මිසරවරු චාරිත්‍රානුකූල ව මළ මිනි නරක් නොවීම සඳහා බෙහෙත් ගැල් වූහ. [එම්බාම් කළහ] ඇදහිලිවන්ත ආදි පිතෘ යෝසෙප්, ‘මේ නම් මිථ්‍යා දෘෂ්ටික සිරිතක්, ඒ නිසා හෙබ්‍රෙව්වන් වන අප ඉන් වැළකිය යුතුයි’ කියා නිකම් ම ප්‍රතික්‍රියා කළේ නැත. ඒ වෙනුවට, ඔහු “තමාගේ පියාගේ මිනිය සුවඳ ද්‍රව්‍ය ගල්වා ආරක්ෂාකරන්ට තමාගේ මෙහෙකරුවූ වෙදුන්ට අණකෙළේ,” පෙනෙන විදිහට යාකොබ් ව පොරොන්දු දේශයේ දී භූමදාන කිරීමට හැකි වන ලෙසට ය. (උත්පත්ති 49:29–50:3) පසු ව යුදෙව්වෝ, මළ සිරුර නහවා මියගිය දවසේ ම එය භූමදාන කිරීම වැනි වෙනත් අවමංගල්‍ය සිරිත් වැඩි දියුණු කළහ. මුල් ක්‍රිස්තියානිහු එවන් යුදෙව් සිරිත් පිළිගත්හ.—ක්‍රියා 9:37.
කෙසේ වෙතත්, යම් අවමංගල්‍ය සිරිතකට, අමරණීය ආත්මයක් ගැන විශ්වාස කිරීම වැනි ආගමික වරදක් මත පදනම් ව ඇති අර්ථයක් තිබේ යයි සලකනු ලැබේ නම් තත්ත්වය කුමක් ද? සමහරුන් “කුඩා මීවනවලින් ඔතන ලද මල් පොකුරු මියගිය තැනැත්තාගේ සිරුර අසල තබන අතර මරණින් පසු ඊළඟ භවයට යන ගමන පහසු කර වීම සඳහා මළ සිරුර පුරා මල්වලින් සකස් කරන ලද සුවඳ පැන් වත් කරති” යනුවෙන් විශ්වකෝෂය පවසන දෙය කල්පනාවට ගන්න. තිබිය හැකි එවැනි සිරිතකින් දෙවියන් වහන්සේගේ සේවකයන් ඊට සමාන ඕනෑ ම දෙයකින් වැළකී සිටිය යුතු බවක් අදහස් කරන්නේ නැත. යුදෙව්වන්, “මරණින් පසු භවයකට යන ගමනක්” ගැන විශ්වාස නොකළ ද, “ඔව්හු යේසුස්වහන්සේගේ ශරීරය රැගෙන, යුදෙව්වරුන් තැන්පත් කරන සිරිත ලෙස, සුවඳ බඩු සමඟ සිහින් හණරෙදිවලින් එය වෙළූහ” යයි බයිබලය පවසයි.—යොහන් 12:2-8; 19:40.
බයිබල් සත්‍යයන්ට පටහැනි සිරිත්වලින් ක්‍රිස්තියානින් වැළකිය යුතු ය. (2 කොරින්ති 6:14-18) එහෙත්, සියලු ආකාර වස්තූන්, සැලසුම්, හා ව්යවහාරයන්වලට ඇතැම් අවස්ථාවල දී හෝ ස්ථානවල දී බොරු අර්ථ කථනයක් දෙනු ලැබ තිබේ, නැතහොත් ශුද්ධ ලියවිලිමය නොවන ඉගැන්වීම් සමඟ සම්බන්ධ කරනු ලැබ තිබේ. ගස්වලට වන්දනා මාන කරනු ලැබ තිබේ, හදවතක හැඩය පරිශුද්ධ දෙයක් ලෙස සලකනු ලැබ තිබේ, එමෙන් ම මිථ්‍යා උත්සවවල දී සුවඳ දුම් භාවිතා කරනු ලැබ තිබේ. ක්‍රිස්තියානියෙකු කිසි විටෙකත් සුවඳ දුම් භාවිතා නොකළ යුතු ය, කිසියම් රටාවකින් ගසක් තබා ගත නොයුතු ය, නැතහොත් හදවතක හැඩය ගත් ස්වර්ණාභරණ නොපැළඳිය යුතුය කියා මින් අදහස් කරයි ද?a එය නම් වළංගු නිගමනයක් නොවේ.
නියම ක්‍රිස්තියානියෙක් මෙය සලකා බැලිය යුතුය: යම් සිරිතක් පිළිපැදීමෙන් අන්‍යයන් හට අඟවන්නේ මා ශුද්ධ ලියවිලිමය නොවන ඇදහිලි හෝ ව්‍යවහාරයන් පිළිගෙන ඇති බවක් ද? කාල පරිච්ඡේදය හා ස්ථානය පිළිතුරට බලපෑමක් කළ හැකි ය. යම් සිරිතකට (මෝස්තරයකට) වසර දහස් ගණනකට පෙර තිබූ බොරු ආගමික අර්ථයක් තිබී තිබෙනවා විය හැකි ය, එසේ නැත්නම් එවැන්නක් අද දින දුර ප්‍රදේශයක තිබෙනවා විය හැකි ය. එහෙත් කාලය කා දමන ගවේෂණයන් නොකොට, ඔබගෙන් මෙසේ අසන්න: ‘මා ජීවත් වන ප්‍රදේශයේ පොදු මතය කුමක් ද?’—1 කොරින්ති 10:25-29 සසඳන්න.
යම් සිරිතකට (නැතහොත් කුරුසිය වැනි සැරසිල්ලකට) බොරු ආගමික අර්ථයක් ඇති බවට ප්‍රසිද්ධියක් ඇත්නම්, එයින් වළකින්න. මේ හේතුවෙන් කුරුසියක හෝ රතු හදවතක හැඩය ගත් මල් සැරසිල්ලකට ආගමික අර්ථයක් තිබෙන බව සලකනු ලැබේ නම් ක්‍රිස්තියානින් එවැනි මල් සැරසිලි යැවීමෙන් වළකිනු ඇත. එසේ නැතහොත් ප්‍රදේශයේ හැටියට යම් ආගමික අර්ථයක් ඇති ව අවමංගල්‍යයක දී හෝ සොහොන් පිටියක මල් උපයෝගි කර ගනු ලැබෙන යම් සම්ප්‍රදායික ක්‍රම තිබෙන්නට පුළුවන. ක්‍රිස්තියානින් එයින් ද වැළකිය යුතු ය. එනමුත් අවමංගල්‍යකට මල් වඩමක් සැපයීම හෝ රෝහල් ගත වී සිටින මිතුරෙකුට මල් දීම වැළකී සිටිය යුතු ආගමික ක්‍රියාවක් ලෙස සැලකිය යුතු බවක් මින් කියවෙන්නේ නැත.b
මීට වෙනස් ව, බොහෝ රටවල මල් දීමේ සිරිත සුදුසු කරුණාවන්තකමක් ලෙස සලකනු ලබන අතර, එය ජනප්‍රිය දෙයක් වී තිබේ. අලංකාරයට දායක විය හැකි මල්වලට දුක්බර අවස්ථාවක් වඩාත් ප්‍රසන්න කළ හැකි ය. ඒවා දයානුකම්පාවේ සහ සැලකිල්ලේ සංකේතයක් ද විය හැකි ය. වෙනත් අවස්ථාවල දී, අසනීප වූවන්ට හෝ ශෝක වෙන්නන් හට ආහාරයක් සැපයීම වැනි, ත්‍යාගශීලී ක්‍රියා මගින් එවන් හැඟීම් පළ කිරීම සිරිතක් වන්නට පුළුවන. (දොර්කස් අන්‍යයන් කෙරෙහි උනන්දුවක් සහ සැලකිල්ලක් දැක්වූ හෙයින් ඈ වෙත දක්වන ලද සෙනෙහෙවන්තකම මතක් කරන්න. [ක්‍රියා 9:36-39]) එසේ කිරීම බොරු ආගමික විශ්වාසයන් සමඟ සම්බන්ධයක් නැති බවට පැහැදිලි වන විට, රෝහල් ගත ව සිටින මිතුරෙකුට හෝ මරණයක් සිදු වන විට සැනසිලිදායක මල් යැවීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් සමහර දෙනෙක් පුරුදු වී සිටිත්. එමෙන් ම පුද්ගලික වශයෙන් ප්‍රායෝගික ක්‍රියා මගින් තම සැලකිල්ල හා හැඟීම් තවදුරටත් ප්‍රකාශ කරන්නට ඔවුනට හැක.—යාකොබ් 1:27; 2:14-17. w91 10/15
[පාදසටහන්වල]
a මිථ්‍යා දෘෂ්ටිකයන් බොහෝ කලක් තිස්සේ තම උත්සවවල දී මල්වලින් සකස් කරන ලද සුවඳ දුම් භාවිතා කොට තිබූ නමුදු, සැබෑ නමස්කාරයේ දී සුවඳ දුම් උපයෝගි කර ගැනීම දෙවියන් වහන්සේගේ ජනයා උදෙසා වැරදි දෙයක් නොවී ය. (නික්මයාම 30:1, 7, 8; 37:29; එළිදරව් 5:8) වර්ෂ 1976 දෙසැම්බර් 22වන එවේක්! කලාපයේ “ආ දේ අයිඩොලේට්රස් ඩෙකරේෂන්ස්” නැමැති ලිපිය ද බලන්න.
b පවුලේ අයගේ කැමැත්ත ගැන සලකා බැලිය යුතු ය. මක්නිසාදයත්, මල් එවීමට අදහස් කර ගෙන සිටින යමෙකු වේ නම්, එවැන්නෙකු ඒ වෙනුවට සභාවට හෝ යම් සුභසාධන අරමුදලකට සම්මාදම් කළ යුතු යයි ඇතමෙක් දැනුම් දී තිබෙනවා විය හැකි නිසා ය.