පළිගැනීම වැරදි ද?
එක්සත් ජනපදයේ මහා මාර්ගයක, එක්තරා මෝටර් රියක්, තමා පසුකර යාමට ඉඩ ඉල්ලූ තවත් මෝටර් රියකට එසේ යාමට ඉඩ හැරියේ මඳක් පමා වීමෙන් ය. දෙවෙනි මෝටර් රථයේ රියැදුරා, වරද කළ රථයට වෙඩි තබමින් පළිගත්තේ, අහිංසක මඟියෙකු ව මරුමුවට පත් කරවමිනි.
නහඹර වියේ පසුවන ගැහැණු ළමයෙකුට, තවත් ගැහැණු ළමයෙකු නිසා පාසලේ නාට්‍යයක රඟ පාන්නට තිබූ චරිතයක් අහිමි විය. එම ගැහැණු ළමයාගේ පෙම්වතා හමු වූ පළමු තැනැත්තිය, ඈ වෙනත් පාසලක පිරිමි ළමයෙකු සමඟ සම්බන්ධයක් ඇති බව පැවසීමෙන් ඇය ඇගෙන් පළිගත්තා ය. මේ අයුරින් ඈ, එම ගැහැණු ළමයාගේ පෙම්වතා සමඟ තිබූ සම්බන්ධය විනාශ කර දැමුවා ය.
තමන්ට වරදක් කළ විට පළිගැනීම යුක්තිසහගත දෙයක් බව බොහෝ දෙනෙකුට හැඟේ. මොනයම් විදිහකින් හෝ ඔවුහු, “තරහ වෙලා නිකම් ඉන්න එපා, එකට එක කරන්න” යන පාඨය අනුගමනය කරති. අද දින, අසල්වැසි ප්‍රේමය ආගාධයට ගොසින් ය, පළිගැනීමේ ස්වභාවය ඉහළට ම නගිමින් පවතී.—මතෙව් 24:12.
එහෙත් ඔබ පළිගැනීම දෙස බලන්නේ කෙසේ ද? ඔබ බයිබලය විශ්වාස කරන්නේ නම්, සමහර විට ප්‍රතිපත්තියක් වශයෙන් පළිගැනීම වැරදි බව ඔබට හැඟෙයි. එහෙත් අද දින අප ජීවත්වන්නාක් මෙන්, අභක්තික ලෝකයක ජීවත් වෙන විට, පළිගැනීමේ විරුද්ධ දෙය වන සමාව දීම බොහෝ විට යථාර්ථවාදී නොවන බව ඔබට හැඟී යා හැකි ය. ඔබට වංචා කළා නම් හෝ ඔබ ව මං කොල්ල කෑවා නම්, ඔබ ප්‍රතික්‍රියා කරනු ඇත්තේ කෙසේ ද? යමෙකු ඔබ ව නොසලකා හැරියා නම් හෝ අන්‍යයන් සමඟ ඔබ ගැන නිග්‍රහාත්මක අන්දමින් කථා කළා නම්, ඔබ ඔහු ගැන පළිගැනීමේ චේතනාවක් ඇති ව සිටින්නෙහි ද? ඔබ පළිගන්නා සුලු ද, නැත්නම් සමාව දෙන සුලු ද?
පළිගැනීමේ චේතනාවක් හානිදායක ය
ඇත්ත වශයෙන් ම, වැරදිවල බැරෑරුම්කම විවිධාකාර ය. එහෙත් පළිගැනීමට වුවමනා වී තිබෙන බොහෝ දෙනෙකු මං කොල්ල කෑමකට හෝ සාපරාධී ලෙස පහර දීමකට ලක් වී නොමැත. මෙම ලිපිය ආරම්භයේ දී උපුටා දක්වනු ලැබ තිබූ “වැරදි”, එකට එක කිරීමට සිතා සිටි අයගේ මනස්වලට ලොකු වැරදි ලෙස පෙනුණත්, ඒවා එතරම් වැදගැම්මක් ඇති ඒවා නොවී ය.
අප පළිගැනීමේ චේතනාවක් වර්ධනය නොකළ යුතු බව බයිබලය පවසයි. හිතෝපදේශ 24:29 මෙසේ උපදෙස් දෙයි: “ඔහු මට කළ ලෙසම ඔහුටත් කරන්නෙමි, ඒ මනුෂ්‍යයාගේ ක්‍රියාවේ හැටියට ඔහුට ප්‍රතිඵල දෙන්නෙමියි නොකියන්න.” එසේ කරන්නට එපා කියන්නේ ඇයි? එක දෙයක් නම්, එවන් ආකල්පයක් චිත්ත වේගීමය හා ශාරීරික වශයෙන් හානිදායක නිසා ය. පළිගැනීමේ සිතිවිලි මනසේ සාමය ඉවත් කොට හොඳ සිහි බුද්ධියකින් විමර්ශනය කිරීමේ හැකියාවට බාධා පමුණුවයි. මෙම ප්‍රවෘත්ති වාර්තාව සලකා බලන්න: “ගොවියන් දෙදෙනෙක් රථ වාහන ගාල් කරන ස්ථානයක දී තම පිකප් ට්‍රක් රථවල ම සිට එකිනෙකාට වෙඩි තබා ගෙන මරා ගත්තේ ඔවුන්ගේ ළමා වියේ සිට වසර 40ක් මුළුල්ලේ තිබූ ආරවුලක් නිමාවට පත් කරමිනි.” කල්පනා කර බලන්න, මෙම මිනිසුන් දෙදෙනාගේ ජීවිත කාලය පුරා ඔවුන්ගේ සිතිවිලි, පැසවමින් තිබූ පළිගැනීමේ ස්වභාවයක් මගින් විස වී තිබිණි!—හිතෝපදේශ 14:29, 30.
පළිගැනීමේ ස්වභාවයක් වර්ධනය නොකළ යුතු වීමට තිබෙන තවත් හේතුවක් නම්, වැරදි කරන අය—බරපතළ වැරදි කරන අය පවා—වෙනස් විය හැකි වීම ය. නිදසුනක් වශයෙන්, ප්‍රේරිත පාවුල්, එක් කලෙක ශ්‍රාවක ස්තේපන්ගේ ‘මරණයට අනුමැතිය දුන්’ අතර ‘ස්වාමීන් වහන්සේගේ ගෝලයන් ව මරමියි කියමින් ඔවුන්ට විරුද්ධ ව තර්ජනය’ කළේ ය. එහෙත් ඔහු වෙනස් විය. එම මුල් කාලය අතරතුරේ දී, පාවුල් නිසා තම ජීවිතය අනතුරට ලක් වී තිබූ ප්‍රේරිත පේතෘස් වසර බොහොමයකට පසු ඔහු ව හැඳින්වූයේ “අපගේ ප්‍රේමවන්ත සහෝදරවූ පාවුල්” යනුවෙනි. (ක්‍රියා 8:1; 9:1; 2 පේතෘස් 3:15) විශේෂයෙන් ම පාවුල් දමස්කයේ අන්ධ ව සිටිය දී, ඔහුගෙන් පළිගැනීමට වෙර දැරීමට ක්‍රිස්තියානින්ට හැකි ව තිබුණි. (ක්‍රියා 9:3-15) එසේ වූවා නම්, එය මොනතරම් ඛේදජනක වරදක් වනු ඇත් ද!
රෝම 12:20 හි පාවුල්ට මෙසේ උපදෙස් දෙන්නට හොඳින් හැකි වූයේ එමනිසයි: “නුමුත් නුඹේ සතුරා බඩගිනිවුවොත් ඔහුට කන්ට දීපන්න; පිපාසවුවොත් ඔහුට බොන්ට දීපන්න.” ඒ මන්ද? මක්නිසාදයත්, අප අපට විරුද්ධ ව කළ දේ කිසි සතුරෙකුගෙන් පළිගන්නවා නම්, අප කරන්නේ ඔහුගේ චේතනාව තවත් දැඩි කොට අප අතර තිබෙන ඒ සතුරුකමට තව තවත් පොහොර දැමීමයි. නමුත් අපට වැරදි කරන හෝ අප ව රිදවන කෙනෙකුට අප යහපත කරනවා නම්, ඔහුගේ චේතනාව මොළොක් කර, කලින් අපගේ සතුරෙකු ව සිටි ඔහු ව මිතුරෙකු කර ගත හැකි වන්නට පුළුවන.
අපගේ ම දුර්වලකම් හඳුනා ගැනීම ද පළිගැනීමට ආශාවක් ඇති කරවන තික්තකමින් ගොඩ ඒමට අපට උපකාර කරයි. ගීතිකාකරු මෙසේ ඇසී ය: “ඔබ බලන්නේ වැරදි නම්, අහෝ යාඃ, අහෝ යෙහෝවඃ වහන්ස, සීරුවෙන් සිටිය හැක්කේ කාට ද?” (ගීතාවලිය 130:3, NW) අපි සියලු දෙනා ම අන් අයට වැරදි කොට ඔවුන් ව රිදවා ඇත්තෙමු. අපට එකට එක කිරීමට ඔවුන් උත්සහ කර නොතිබුණා නම්, අපි ඒ ගැන සතුටු නොවූයෙමු ද? එසේ නම් එවැනි ම සංයමයකින් යුතු ව අප ක්‍රියා නොකළ යුත්තේ මන්ද? යේසුස් වහන්සේ මෙසේ උපදෙස් දුන් සේක: “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරපල්ලා.”—මතෙව් 7:12.
ඇත්ත ය, “නපුරට වෛරකරව්” කියා බයිබලය පවසයි. (ගීතාවලිය 97:10; ආමොස් 5:15) නමුත් නපුර කරන තැනැත්තාට වෛර කරන ලෙස එය අපට පවසන්නේ නැත. ඇත්ත වශයෙන් ම, යේසුස් වහන්සේ අපට ආඥා කළේ මෙසේ ය: “ඔබගේ සතුරාට නොකඩවා ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන අය උදෙසා යාච්ඤා කරන්න.” (මතෙව් 5:44, NW) අප හිංසාවකට හිංසාවක් කරන විට, අප අනුගමනය කරන්නේ වැරදිකරුගේ ම ස්වභාවයයි. පැරණි හිතෝපදේශය මෙසේ පවසයි: “නපුරට ප්‍රතිඵල දෙමියි නොකියා ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි බලාසිටපන්න, උන්වහන්සේ නුඹ ගළවනසේක.” (හිතෝපදේශ 20:22) මොනතරම් ප්‍රඥාවන්ත ආකල්පයක් ද! වැරදිකරුවන් ව අනුකරණය කිරීමට ඇති පරීක්ෂාවට එරෙහි ව සිටීමෙන් අප ජයග්‍රාහකයන් බව අප විසින් ම පෙන්වීම මොනතරම් හොඳ ද!—යොහන් 16:33; රෝම 12:17, 21.
දඬුවම් කිරීම—කවුරු විසින් ද?
ඇත්තෙන් ම, සමහරක් ක්‍රියාවන් පුද්ගලික නිග්‍රහයන් හෝ රිදවීම්වලට වඩා බොහෝ සෙයින් බරපතළ වෙයි. අප අපරාධයකට ගොදුරු වෙයි නම් තත්ත්වය කුමක් ද? යුක්තියේ නාමයෙන් යමක් කළ යුතු බව ස්වාභාවයෙන් ම අපට හැඟී යයි. එහෙත් කළ යුත්තේ කුමක් ද? ඇතැම් සමාජයන්හි දේවල් පුද්ගලික ව හසුරුවා පළිගැනීම අසාමාන්‍ය දෙයක් වී නොමැත. එහෙත් එවන් සමාජයන් බොහෝ විට ලේ හලන සුලු ආරවුල්වලින් බිඳී යාමෙන් කෙළවර වී ඇත. අද දින, අපරාධ හේතුවෙන් පුද්ගලික ව පළිගැනීමට දෙවියන් වහන්සේගේ නීතියවත්, බොහෝ අවස්ථාවන්හි දී මිනිසාගේ නීතියවත් ඉඩ දී නොමැත්තේ හොඳ හේතු ඇති ව ය. එවන් පුද්ගලික අපරාධවලින් සිදු වන්නේ තවත් අපරාධ බෝ කිරීම පමණි.
එසේ නම් අපරාධයකට ගොදුරු වූ තැනැත්තා, තමාට සිදු වූ හානිය දරාගෙන ඒ ගැන කිසිවක් නොකර සිටිය යුතු ද? අනිවාර්යයෙන් ම එසේ නොවේ. අපට පුද්ගලික ව හෝ අපගේ දේපළවලට හානි පමුණුවා තිබෙන විට, ඒ ගැන පැමිණිලි කිරීමට අධිකාරීහු සිටිත්. පොලිසියට පැමිණිලි කිරීමට ඔබ කැමති විය හැකි ය. රැකියා ස්ථානයේ නම්, ඔබගේ අධීක්ෂක වෙතට යන්න. පාසලේ දී නම්, විදුහල්පති ව හමුවන්නට පුළුවන. ඔවුන් එම තනතුරුවල සිටීමට එක් හේතුවකි එය—එනම් යුක්තිය ආරක්ෂා කිරීමට ය. රජයේ අධිකාරීන් “නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස පළිගන්නා” වූ “දෙවියන් වහන්සේගේ සේවකයෙක්” යයි බයිබලය අපට කියයි. (රෝම 13:4) රජය එහි අධිකාරිත්වය පාවිච්චි කොට, වැරදි කිරීම නවතා, වැරදිකරුවන්ට දඬුවම් කිරීම යුක්තිය විසින් ඉල්ලා සිටිනු ලැබේ.
යම් අවස්ථාවල දී යුක්තිය ඉටු වන්නේ සෙමින් බව සැබෑවකි. ලෝක සිදුවීම්වලින් වෙහෙසට පත් එක් ලේඛකයෙක් මෙසේ පැවසී ය: “යුක්තිය වනාහි සැමවිට ම පාහේ ප්‍රමාද වෙන දුම්රියක් මෙනි.” ඇත්ත වශයෙන් ම, සමහර අවස්ථාවන්වල දී, දුම්රිය කිසිවිටෙකත් පැමිණෙන්නේ නැත. අයුක්ති සහගත දේවල් කරන්නන් කොතරම් බලගතු ද යත්, ඔවුන් ව පාලනය කිරීමට අධිකාරීන්ට නොහැකි ය. එහෙත් ප්‍රඥාවන්ත ම ක්‍රියා මාර්ගය නම්, ආත්ම සංයමයයි. “අඥානයා තමාගේ මුළු ස්වභාවය පිටතට දමයි, නමුත් ඥානවන්ත පුද්ගලයා අවසානය දක්වා එය සන්සුන් ව තබා ගනී.”—හිතෝපදේශ 29:11, NW.
පළිගැනීම—කවුරු විසින් ද?
උදහස් වී පළිගැනීමට යාමෙන් අප ව ම දමනය කර ගැනීම අපට ප්‍රයෝජන ගෙන දෙන අතර, යුක්තිය ඉටු වීම පමා වුවත්, නියම කාලයේ දී දෙවියන් වහන්සේ එය කරනු ඇති බව දැනගෙන අපට සන්සුන් ව බලා සිටිය හැක. අපරීක්ෂාකාරී ව වැරදිවලට ඉඩ හැරීම බලවත් අයුක්තිසහගත භාවයකට තුඩු දෙන බවට යෙහෝවඃ වහන්සේ සාවධාන ව සිටින සේක. (දේශනාකාරයා 8:11) මිනිස් වර්ගයාට සදහට ම පීඩා පැමිණ වීමට තද හිත් ඇති දුෂ්ටයන්ට උන් වහන්සේ ඉඩ නොහරින සේක. ප්‍රේරිත පාවුල් අපට මෙසේ උපදෙස් දුන්නේ එමනිසා ය: “ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහැරපල්ලා. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.” (රෝම 12:19) ඇත්තෙන් ම, මැවුම්කරුවාණන්ගේ පැත්තෙන් සිදුවන පළිගැනීමේ දවසක් ගැන බයිබලය කථා කරයි. මෙම පළිගැනීමේ දවස කුමන එකක් වනු ඇත් ද? දෙවියන් වහන්සේගේ පළිගැනීමට භාජනය වන්නෝ කවරහු ද? අපි මෙය ඊළඟ ලිපියේ සාකච්ඡා කරමු. w91 11/1
[4වන පිටුවේ කොටුව]
පළිගැනීමේ හැඟීම් පාලනය කිරීමට මේවා මතක තබා ගන්න
◻ යුක්තිය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ සැලකිලිමත් වන බව
◻ පළිගැනීමේ ආකල්පයක් ඇති ව සිටීම හානිදායක බව
◻ කාරුණික වීමෙන් අන් අය සමඟ ඇති ගැටලු බොහෝ විට අවම කරන බව
◻ අපගේ වැරදි බොහොමයක් නොසලකා හරිනු ලැබ තිබෙන බව
◻ වැරදි කරන අය වෙනස් විය හැකි බව
◻ ලෝකයේ මාර්ගයන්ට විරුද්ධ ව සිටීමෙන් අප එයින් ජය ගන්නා බව