දෙවියන් වහන්සේ ත්‍රිත්වයක් බව මුල් සභාව ඉගැන්වී ද?
1 කොටස—යේසුස් වහන්සේ සහ උන් වහන්සේගේ ගෝලයන් ත්‍රිත්ව මූල ධර්මය ඉගැන්වී ද?
යේසුස් වහන්සේ සහ උන් වහන්සේගේ ගෝලයන් ත්‍රිත්වය පිළිබඳ මූල ධර්මය ඉගැන්වී ද? ඊළඟ ශතක කිහිපයේ විසූ සභා නායකයන් එය ඉගැන්වී ද? එය ආරම්භ වූයේ කෙසේ ද? තව ද මෙම විශ්වාසය සම්බන්ධ ව සත්‍යය දැනගැනීම වැදගත් වන්නේ ඇයි? මෙම කලාපයෙහි 1 කොටසින් පටන් ගෙන, මුරටැඹ සඟරාව මෙම ප්‍රශ්න ලිපි මාලාවක සාකච්ඡා කරනු ඇත. මාලාවේ වෙනත් ලිපි කලින් කලට පසු කලාපවල පළ වනු ඇත.
බයිබලය වනාහි දෙවියන් වහන්සේගේ වචනය බව වටහා ගන්නා අය, මැවුම්කරුවාණන් ගැන වෙනත් අයට ඉගැන්වීමට තමන් හට වගකීමක් ඇතැයි පිළිගනිති. දෙවියන් වහන්සේ ගැන තමන් උගන්වන දෙයෙහි සාරය සැබෑ විය යුතු බවට ද ඔවුහු අවබෝධ කර ගනිති.
එසේ නොකිරීම ගැන දෙවියන් වහන්සේ යෝබ්ගේ “සැනසිලිකාරයන්ට” තරවටු කළ සේක. ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] තේමානිය එලීපස්ට කථාකොට: “මාගේ සේවකයාවූ යෝබ් මෙන් නුඹත් නුඹේ මිත්‍රයන් දෙන්නාත් මා ගැන හරි ලෙස කථා නොකළ බැවින් මාගේ උදහස නුඹලා කෙරෙහි ඇවිළ තිබේ.”—යෝබ් 42:7.
ප්‍රේරිත පාවුල්, නැවත නැගිටීම ගැන සාකච්ඡා කරන විට, අප දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරකම් පිළිබඳ ව සත්‍යය නොවන යමක් ඉගැන්වූවා නම්, අප “දෙවියන්වහන්සේ ගැන බොරු සාක්ෂිකාරයන් බව” පැවසී ය. (1 කොරින්ති 15:15) නැවත නැගිටීම පිළිබඳ ඉගැන්වීම සම්බන්ධ ව කාරණය මෙසේ වන බැවින්, දෙවියන් වහන්සේ කවුද යන්න ගැන අපගේ ඉගැන්වීම වෙත එළඹෙන විට අප කොතරම් ප්‍රවේසම් සහගත විය යුතු ද!
ත්‍රිත්ව මූල ධර්මය
දෙවියන් වහන්සේ ත්‍රිත්වයක් බව, ක්‍රිස්තියානි ලෝකයේ සභාවන් සියල්ල ම පාහේ උගන්වත්. ත්‍රිත්ව ඉගැන්වීම, “ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන මූල ධර්මය” ලෙස නම් කරන ද කැතොලික් එන්සයික්ලොපීඩියා එය මෙසේ නිර්වචනය කරයි:
“දේව රූපයේ ඒකීය භාවය තුළ පුද්ගලයෝ තිදෙනෙක් සිටිති, එනම්, පියාණෝ, පුත්‍රයාණෝ, සහ ශුද්ධාත්මයාණෝ ය, මෙම පුද්ගලයන් තිදෙනා සැබවින් ම එකිනෙකාගෙන් වෙනස් ය. මෙබැවින්, අතනාසීය ආගමික ලබ්ධියේ වදන්වලින් පවසතොත්: ‘පියාණෝ දෙවියන් වහන්සේ ය, පුත්‍රයාණෝ දෙවියන් වහන්සේ ය, ශුද්ධාත්මයාණෝ දෙවියන් වහන්සේ ය, එහෙත්, දෙවිවරු තිදෙනෙක් නොව, නමුත් එක දෙවිකෙනෙකි.’ . . . පුද්ගලයන් සම-සදාතනිකය එමෙන් ම සම-සමානය: එක හා සමාන වන සියල්ලෝ, මවනු නොලැබූ අතර, සර්වබලධාරී ය.”1
ද බැප්ටිස්ට් එන්සයික්ලොපීඩියා මීට සමාන නිර්වචනයක් දෙයි. එහි මෙසේ පවසයි:
“[යේසුස් වහන්සේ] . . . සදාකාලික යෙහෝවඃ වහන්සේ ය . . . ශුද්ධාත්මයාණෝ යෙහෝවඃ වහන්සේ ය . . . පුත්‍රයාණන් ව සහ ශුද්ධාත්මයාණන් ව පියාණන් සමඟ එක ම සමානාත්මතාවයකින් තබා ඇත. උන් වහන්සේ යෙහෝවඃ වහන්සේ නම්, මොවුන් වහන්සේලා ද යෙහෝවඃ වහන්සේ ය.”2
විරුද්ධවාදීන් ශාපලද්දවුන් යයි ප්‍රකාශ කිරීම
පොදු යුගයේ 325 දී, කුඩා ආසියාවේ නීසියා හි බිෂොප්වරුන්ගේ සම්මන්ත්‍රණයක දී, පියාණන් වහන්සේ “සැබෑ දෙවියන් වහන්සේ” වන්නාක් මෙන් දේව පුත්‍රයාණන් ද “සැබෑ දෙවියන් වහන්සේ” වන බව ප්‍රකාශයට පත් කළේ ය. එම ආගමික ලබ්ධියේ කොටසක මෙසේ සඳහන් වෙයි:
“එහෙත්, [පුත්‍රයාණන්] නොසිටි [කාලයක්] තිබුණ බවත්, ඉපදීමට පෙර උන් වහන්සේ නොසිටි බවත්, උන් වහන්සේ පැවැත්මට පැමිණියේ කිසිවකින් නොවේ ය බවත් පවසන අය හෝ, දේව පුත්‍රයා වනාහි වෙනස් පුද්ගලයෙකු හෝ ද්‍රව්‍යයක් බව, හෝ උන් වහන්සේ මවනු ලැබුවා කියා හෝ විකල්ප වීමකට හෝ වෙනස්වීමකට යටත් කියා ස්ථිර ව කියා සිටින අය ව කතෝලික සභාව සලකන්නේ අතිශයින් ශාප ලද්දන් වශයෙනි.”3
මෙසේ, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පියාණන් සමඟ සම සදාතනික නොවූ බව එසේ නැතහොත් පුත්‍රයාණන් මවනු ලැබුවාය යයි විශ්වාස කළ ඕනෑ ම අයෙකු ව සදාකාලික නිරා ගින්නේ ශාපයට භාර කරන ලදි. මෙයට කීකරු වීම සඳහා සාමාන්‍ය විශ්වාසකයන් වැඩි කොටසක් මත මෙය තැබූ පීඩනය ගැන යමෙකුට සිතා ගන්නට පුළුවන.
පොදු යුගයේ 381 දී, තවත් සම්මන්ත්රණ සභාවක් කොන්ස්තන්තිනෝපල් නුවර රැස් වී, පියාණන් සහ පුත්‍රයාණන්ට මෙන් ශුද්ධාත්මයට ද නමස්කාර කොට මහිමයට පත් කළ යුතු යයි ප්‍රකාශයට පත් කළේ ය. වසරකට පසු ව, පො.යු. 382 දී තවත් සිනොඩ් සභාවක් කොන්ස්තන්තිනෝපල් නුවර රැස් වී, ශුද්ධාත්මයේ පරිපූර්ණ දිව්‍ය භාවය සහතික කොට කියා සිටියේ ය.4 එම වසරේ ම, රෝමයේ සභාවක් ඉදිරිපිට දී, ඩැමසස් පාප්, පල්ලි ක්‍රමය විසින් හෙලා දකිනු ලැබීමට තිබෙන ඉගැන්වීම්වල එකතුවක් ඉදිරිපත් කළේ ය. ඩැමසස්ගේ ලියවිල්ල යනුවෙන් හඳුන්වනු ලබන මෙම ලියවිල්ලට පහත සඳහන් ප්‍රකාශන ඇතුළත් විය:
“යමෙක්, පියාණන් වහන්සේ සදාතනික බවත්, පුත්‍රයාණන් වහන්සේ සදාතනික බවත්, එමෙන් ම ශුද්ධාත්මයාණන් වහන්සේ සදාතනික බවත් ප්‍රතික්ෂේප කරයි නම්; ඔහු මිථ්යාදෘෂ්ටියෙකි.”
“යමෙක්, පියාණන් වහන්සේ සැබෑ දෙවියන් වහන්සේ වන්නාක් මෙන් ම, පුත්‍රයාණන් වහන්සේ ද සියලු බලය ඇති, සියලු දේවල් දන්නා, පියාණන්ට සමාන ව සැබෑ දෙවියන් වහන්සේ බව ප්‍රතික්ෂේප කරයි නම්: ඔහු මිථ්යාදෘෂ්ටියෙකි.”
“යමෙක්, ශුද්ධාත්මයාණන් වහන්සේ . . . සැබෑ දෙවියන් වහන්සේ බව ද, . . . සියලු බලය තිබෙන බවත් සියලු දේවල් දන්නා බවත්, . . . ප්‍රතික්ෂේප කරයි නම්; ඔහු මිථ්යාදෘෂ්ටියෙකි.”
“යමෙක්, පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ වනාහි පෙනෙන නොපෙනෙන සෑම දේවල් තුළ සැබෑ, සමාන, සදාකාලික පුද්ගලයන් බවත්, උන් වහන්සේලා සර්වබලධාරී බවත් ප්‍රතික්ෂේප කරයි නම්, . . . ඔහු මිථ්යාදෘෂ්ටියෙකි.”
“යමෙක්, මාංස [ගත වූ පුත්‍රයාණන්] පොළොව මත සිටි විට, පියාණන් සමඟ ස්වර්ගයේ සිටියේ නැතැයි පවසයි නම්; ඔහු මිථ්යාදෘෂ්ටියෙකි.”
“යමෙක්, පියාණන් වහන්සේ දෙවියන් වහන්සේ බවත්, පුත්‍රයාණන් වහන්සේ දෙවියන් වහන්සේ බවත්, ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවියන් වහන්සේ බවත් කියන අතරේ දී, . . . ඔවුන් එක ම දෙවියන් වහන්සේ බව නොකියයි නම්, . . . ඔහු මිථ්යාදෘෂ්ටියෙකි.”5
ඉහත සඳහන් දේ ලතින් භාෂාවේ සිට පරිවර්තනය කළා වූ ජේසු නිකායික විශාරදයෝ මෙම විවරණය එකතු කළහ: “සාන්ත සෙලෙස්ටීන් පාප් (422-32) පෙනෙන ලෙස, මෙම න්‍යායන් නීතිය ලෙස සැලකී ය; මේවා ඇදහිල්ලේ නිර්වචනයන් ලෙස සැලකිය හැකි ය.”6 මෙම ලියවිල්ල “නිවැරදි හා ස්ථිර ත්රිත්වවාදී මූල ධර්මයක්” ඉදිරිපත් කරන බව විශාරද එඩ්මන්ඩ් ජේ. ෆෝට්මන් සහතික කරයි.7
ත්‍රිත්ව ඉගැන්වීම පිළිගන්නා යම් සභාවක ඔබ සාමාජිකයෙකු නම්, මෙම ප්‍රකාශනවලින් ඔබගේ ඇදහිල්ල නිර්වචනය වෙයි ද? තව ද පල්ලි විසින් උගන්වනු ලබන ලෙස ත්‍රිත්ව මූල ධර්මය විශ්වාස කිරීමේ දී, යේසුස් වහන්සේ පොළොව මත සිටින විට ස්වර්ගයේ ද සිටි බවට විශ්වාස කරන්නට සිදු වන බව ඔබ වටහා ගත්තෙහි ද? මෙම ඉගැන්වීම, හතරවෙනි සියවසේ පල්ලි සාමාජිකයෙකු වූ අතනාසියුස්ගේ ඔන් දි ඉන්කානේෂන් නැමැති පොතේ සඳහන් දෙයට සමාන ය:
“වචනයතෙම [යේසුස් වහන්සේ] ව උන් වහන්සේගේ ශරීරය මගින් වැට බැඳ තිබුණේ නැත, උන් වහන්සේගේ සිය සිරුර තුළ සිටීම, උන් වහන්සේ තවත් තැනක ඒ ආකාරයෙන් සිටීම වළක්වාලූයේවත් නැත. උන් වහන්සේ සිය ශරීරය චලනය කළ විට, සිය මනස ශක්තිය මගින් විශ්වය පාලනය කිරීමෙන් නොනැවතුණු සේක. . . . විශ්වයේ සියල්ලන්ට ජිවිතය දානය කරන උල්පත තවමත් උන් වහන්සේ වන අතර, එහි සෑම කොටසක ම වැඩ සිටින සේක, එහෙත් ඉන් මුළුමනින් ම පිටත ය.”8
ත්‍රිත්ව මූල ධර්මය යන්නෙහි අදහස
ඇතැම් අය නිගමනය කර ඇත්තේ, ත්‍රිත්ව ඉගැන්වීමෙන් අදහස් කරන මුළු දේ වන්නේ, යේසුස් වහන්සේ හට දේවත්වයක් හා දිව්‍යමය භාවයක් පවරනවා ඇත පමණක් කියා ය. අන්‍යයන් සඳහා, ත්‍රිත්වය විශ්වාස කිරීමෙන් සරල ව අදහස් කරන්නේ, පියාණන්, පුත්‍රයාණන්, සහ ශුද්ධාත්මයාණන් තුළ විශ්වාසය තැබීමයි.
කෙසේ වුවද, ක්‍රිස්තියානි ලෝකයේ ඇදහිලි සමීප ව පරීක්ෂා කිරීමේ දී, හෙළි වන්නේ, නිල මූල ධර්මය සම්බන්ධයෙන් සලකන කල, එවන් අදහස් මොනතරම් කනගාටුදායක ලෙස නොසෑහෙනවා ද කියා ය. ත්‍රිත්ව මූල ධර්මය සරල අදහසක් නොවන බැව් නිල නිර්වචන කිරීම් පැහැදිලි ලෙස කියා සිටී. එසේ නොව, එය දීර්ඝ කාල පරිච්ඡේදයක් පුරා එකට ගෙනැවිත් තිබෙන වෙන වෙනස් අදහස්වල සංකීර්ණ සංකලනයක් වන අතර, ඒවා එකිනෙකට ඇතුළතින් සිර වී තිබේ.
පොදු යුගයේ 381 දී කොන්ස්තන්තිනෝපල් සම්මන්ත්‍රණයෙන් පසු එලිය දුටු ත්‍රිත්ව මූල ධර්මය පිළිබඳ චිත්රයෙන් ද, පො.යු. 382 දී ඩැමසස්ගේ ලියවිල්ලෙන් ද, තරමක් පසු කලක දී මතු වූ අතනාසීය ආගමික ලබ්ධියෙන් ද, එමෙන් ම වෙනත් ලිපි ලේඛනවලින් ද, ත්‍රිත්ව මූල ධර්මය මගින් ක්‍රිස්තියානි ලෝකය අදහස් කරන දෙය අපට පැහැදිලි ව තීරණය කළ හැකි ය. එයට පහත සඳහන් ස්ථිර අදහස් ඇතුළත් වෙයි:
1. එක ම දේව රූපය තුළ—පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, සහ ශුද්ධාත්මයාණන් වහන්සේ—දිව්‍ය පුද්ගලයන් තුන් දෙනෙක් සිටින බව කියැවේ.
2. මෙම වෙනස් පුද්ගලයන් එක් එක්කෙනා, සදාකාලික බවත්, කාල ප්රවාහයේ එක්කෙනෙකුට වඩා තව කෙනෙක් පෙර හෝ පසු ව පැමිණියේ නැති බවත් කියැවේ.
3. එක්කෙනෙක් තව කෙනෙකුට වඩා උසස් හෝ පහත් හෝ නොවී එක් එක්කෙනා සර්වබලධාරී යයි කියැවේ.
4. එක් එක්කෙනා සියලු දේවල් දන්නා වූ සර්වඥාන බව කියැවේ.
5. එක් එක්කෙනා සැබෑ දෙවියන් වහන්සේ බව කියැවේ.
6. කෙසේ වුවද, සිටින්නේ දෙවිවරු තුන් දෙනෙක් නොව, එක ම දෙවි කෙනෙකු පමණක් යයි කියැවේ.
පැහැදිලි ව ම, ත්‍රිත්ව මූල ධර්මය වනාහි අඩු වශයෙන් ඉහත සඳහන් මූලික සිද්ධාන්තයන් ඇතුළු සහ සියලු විස්තර පරීක්ෂා කරන විට ඊටත් වඩා ඇතුළත් වන්නා වූ සංකීර්ණ අදහස්වල සංකලනයකි. එහෙත්, ඉහත සඳහන් මූලික අදහස් පමණක් අප සලකා බැලුවහොත්, ඉන් ඕනෑ ම අදහසක් ඉවත් කළහොත්, ඉතිරි වන දෙය තවදුරටත් ක්‍රිස්තියානි ලෝකයේ ත්‍රිත්වය නොවන බව පෙනී යයි. සම්පූර්ණ චිත්‍රය ලබා ගැනීම සඳහා, මෙම සියලු කැබලි තිබිය යුතු ය.
“ත්‍රිත්වය” යන මෙම යෙදුම ගැන වඩාත් හොඳ අවබෝධයක් දැන් තිබෙන නිසා, අපට දැන් මෙසේ ඇසිය හැක: එය යේසුස් වහන්සේගේ සහ සිය ගෝලයන්ගේ ඉගැන්වීමක් වී ද? එය එසේ නම්, අපගේ පොදු යුගයේ පළමු සියවසේ දී එය මුළුමනින් ම හැඩ ගැසුණු ආකාරයකින් දක්නට තිබුණා විය යුතු ය. තව ද ඔවුන් ඉගැන්වූ දෙය බයිබලය තුළ සොයා ගැනීමට තිබූ නිසා, ත්‍රිත්ව මූල ධර්මය එක්කෝ බයිබල් ඉගැන්වීමක් වෙයි නැත්නම් එසේ නොවේ. එය එසේ නම්, එය බයිබලයේ පැහැදිලි ව උගන්වා තිබිය යුතු ය.
යේසුස් වහන්සේ සහ සිය ගෝලයන් දෙවියන් වහන්සේ ගැන ජනයාට උගන්වන නමුත්, විශේෂයෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් තම ජීවිතය පවා පුදන මෙන් ඇතැම් ඇදහිලිවන්තයන්ගෙන් ඉල්ලා සිටින අවස්ථාවේ, දෙවියන් වහන්සේ කවුද කියා ඔවුන්ට නොපවසා සිටියා ය කියා සිතීම සාධාරණ නොවේ. මෙබැවින්, යේසුස් වහන්සේ සහ සිය ගෝලයන් මෙම අතිශයින් වැදගත් මූල ධර්මය ගැන අන්‍යයන් හට ඉගැන්වීමට උසස් ම ප්‍රමුඛත්වය දිය යුතු ව තිබුණි.
ශුද්ධ ලියවිලි පරීක්ෂා කරන්න
ක්‍රියා 17 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ [නව අනුවාදය], මිනිසුන් ප්‍රේරිත පාවුල් විසින් උගන්වනු ලැබූ දේවල්, එනම් “කරුණු හරි හැටි දැනගන්නා පිණිස, දවස් පතා ශුද්ධලියවිල්ල [ප්‍රවේසමින් NW] පිරික්සූ” නිසා, ඔවුන් “උදාර ගති ගුණ ඇත්තෝ” යයි හඳුන්වා තිබේ. ප්‍රේරිතයෙකුගේ ඉගැන්වීම් පවා සහතික වශයෙන් සනාථ කර ගැනීමට ශුද්ධ ලියවිලි පාවිච්චි කරන මෙන් ඔවුන් හට දිරිගැන්විණි. ඔබත් එය ම කළ යුතු ය.
ශුද්ධ ලියවිලි “දේවානුභාවයෙන් දුන්” බවත්, එය “දුර්මත දුරු කිරීමට ද හික්මවීමට ද . . . දෙවියන් වහන්සේට කැප වූ පුද්ගලයා සම්පූර්ණ වශයෙන් පුහුණු වී, ඕනෑම යහපත් සේවයකට සූදානම් කිරීම” සඳහා යොදා ගැනීමට තිබෙන බවත් මතකයේ තබා ගන්න. (2 තිමෝති 3:16, 17, න. අ.) එමනිසා, මූල ධර්ම කාරණා අතින් බයිබලය සම්පූර්ණ ය. ත්‍රිත්ව මූල ධර්මය සත්‍යයක් නම්, එය එහි තිබිය යුතු ය.
යේසුස් වහන්සේ සහ සිය ගෝලයන් ත්‍රිත්වයක් ඉගැන්වූවා ද කියා ඔබ විසින් ම බලනු සඳහා බයිබලය, විශේෂයෙන් ම ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි පොත් 27 සෝදිසි කර බලන මෙන් අපි ඔබට ආරාධනා කරමු. ඔබ මේ ගැන සෝදිසි කරන විට, ඔබගෙන් ම මෙසේ අසන්න:
1. “ත්‍රිත්වය” යන වචනය සඳහන් වන යම් ශුද්ධ ලියවිලි පදයක් මට සොයා ගත හැකි ද?
2. පියාණන්, පුත්‍රයාණන්, සහ ශුද්ධාත්මයාණන් යන වෙනස් පුද්ගලයන් තිදෙනෙකුගෙන් දෙවියන් වහන්සේ සෑදී තිබෙන නමුත්, තුන්දෙනා එක දෙවි කෙනෙකු පමණක් බව පවසන යම් ශුද්ධ ලියවිලි පදයක් මට සොයා ගත හැකි ද?
3. පියාණන්, පුත්‍රයාණන්, සහ ශුද්ධාත්මයාණන් සදාකාලිකත්වයෙන්, බලයෙන්, තත්ත්වයෙන්, සහ ප්‍රඥාවෙන් වැනි සියලු ආකාරවලින් සමාන බව පවසන යම් ශුද්ධ ලියවිලි පදයක් මට සොයා ගත හැකි ද?
ඔබ මේ ගැන සෝදිසි කර බලන්නට ගියොත්, ත්‍රිත්වය යන වචනය පාවිච්චි කරන එක බයිබල් පදයක්වත්, පියාණන්, පුත්‍රයාණන්, සහ ශුද්ධාත්මයාණන් සදාකාලිකත්වයෙන්, බලයෙන්, තත්ත්වයෙන්, සහ ප්‍රඥාවෙන් යන සියලු ආකාරවලින් සමාන බවත් පවසන කිසි ම පදයක් ඔබට හමු වන්නේ නැත. එම ආකාරවලින් පුත්‍රයාණන් පියාණන්ට සමාන වන බව එක ම බයිබල් පදයක්වත් නොපවසන අතර,—එවැන්නක් තිබුණා නම්, එය තහවුරු කරනු ඇත්තේ ත්‍රිත්වයක් නොව, නමුත් බොහෝ විට “ද්විත්වයකි.” බයිබලය ශුද්ධාත්මය සමඟ පියාණන් වහන්සේ ව කොතැනකවත් සමාන කරන්නේ නැත.
බොහෝ විශාරදයන් පවසන දේ
ත්‍රිත්වවාදීන් ඇතුළු, බොහෝ විශාරදයෝ, ත්‍රිත්වයක් පිළිබඳ සත්‍ය වූ මූල ධර්මයක් බයිබලයේ අඩංගු නොවන බවට එකඟ වෙති. නිදසුනක් වශයෙන්, දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් මෙසේ සඳහන් කරයි:
“හෙබ්‍රෙව් බයිබලයේ ත්‍රිත්ව මූල ධර්මයක් අඩංගු නොවන බවට විචාරකයෝ සහ දේවධර්මාචාර්යවරු එකඟතාවයෙන් සිටිත්. . . . හෙබ්‍රෙව් බයිබලය, දෙවියන් වහන්සේ ව ඊශ්‍රායෙල්ගේ පියාණන් ලෙස විස්තර කොට, වචනය (ඩාවර්), ආත්මය (රුවා), ප්‍රඥාව (හෝක්මා), සහ පෙනී සිටීම (ෂෙකිනා) වැනි දෙවියන් වහන්ස්ගේ පුද්ගලාරෝපණය යොදා ගෙන තිබුණ ද, පසු ව ඇති වූ ත්රිත්වවාදී මූල ධර්මය සමඟ මෙම සංකල්පිතයන් ඒකාබද්ධ කිරීම සහ සම්බන්ධ කිරීම පරණ ගිවිසුමේ පරමාර්ථය සහ ස්වභාවය පිටු පෑමක් වනු ඇත.
“තවදුරටත්, නිශ්චිත වූ ත්‍රිත්ව මූල ධර්මයක් නව ගිවිසුමේ අඩංගු නොවන බවට විචාරකයෝ සහ දේවධර්මාචාර්යවරු එකඟ වෙති. දෙවි පියාණන් වහන්සේ තිබෙන සියල්ලේ (පැන්ටොක්රාටර්) උල්පත ය. එමෙන් ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් ය; ‘පියාණන්’ යන්න ත්‍රිත්වයේ පළමු තැනන් වහන්සේට දී ඇති පදවි නාමයක් නොව නමුත් දෙවියන් වහන්සේ සඳහා වූ සමාන අර්ථය ඇති පදයකි. . . .
“නව ගිවිසුම තුළ දෙවියන් වහන්සේගේ අති සංකීර්ණ අධ්‍යාත්මික ස්වාභාවය (‘අන්තවර්තී ත්‍රිත්වය’) ගැන හිතාමතා (ආවර්ජිත) නැත. පසු ව ඇති වූ මූල ධර්මයේ පාරිභාෂික භාෂාව (හුපොස්ටාසිස්, ඔවුසියා. සබ්ස්ටැන්ෂියා, සබ්සිස්ටෙන්ෂියා, ප්රොසෝපොන්, පර්සෝනා) බයිබලයේ අඩංගු වන්නේවත් නැත. . . . ශුද්ධ ලියවිලිමය සාක්ෂි මත පමණක් මූල ධර්මය තහවුරු කළ නොහැකි බවට කිසිදු විවාදයක් නැත.”9
මෙම කාරණය සම්බන්ධ ඓතිහාසික සත්‍ය කරුණු ගැන ද න එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා මෙසේ සඳහන් කරයි:
“ත්‍රිත්වය යන වචනයවත්, එම මූල ධර්මය පිළිබඳ කිසිදු පැහැදිලි විස්තරයක්වත් නව ගිවිසුමේ දක්නට නැත. . . .
“මූල ධර්මය, බොහෝ මත භේද තුළින් සියවස් ගණනාවක් මුළුල්ලේ ක්රමානුකූල ව ගොඩ නැගී තිබේ. . . .
“එක ම සාරය සහ පුද්ගලයන් තිදෙනෙකු පිළිබඳ ව පිළිගත් තනි සම්මත මූල ධර්මයක් තුළට තිදෙනාගේ වෙනස් භාවය හා ඔවුන්ගේ එක්සත්කම ගෙනාවේ, 4වන සියවස ගතවූවායින් පසු ව පමණි.”10
ත්‍රිත්වයේ ආරම්භය සම්බන්ධයෙන් ද න කැතොලික් එන්සයික්ලොපීඩියා මීට සමාන ප්රකාශනයක් කරයි:
“නව ගිවිසුම තුළ ත්රිත්වවාදී ධර්මය ගැන යමෙක් කථා කරනවා නම් එහි අරුත දැඩි සීමාවන්ට භාජනය නොකොට කථා නොකළ යුතු බවට විචාරකයන් සහ නියත ව වැඩි වන රෝමානු කතෝලික සංඛ්‍යාවක් ඇතුළු ව බයිබලීයමය දේවධර්මාචාර්යවරුන්ගේ පාර්ශ්වයෙන් පිළිගැනීමක් තිබේ. යමෙක් ත්රිත්වවාදයේ අර්ථය සීමා නොකොට ඒ ගැන කථා කරනවා නම්, ඔහු ක්‍රිස්තියානි මූලාරම්භයේ කාල පරිච්ඡේදයන් සිට, 4වන සියවසේ අවසාන කාර්තුව තෙක් ඇදී ගොස් තිබෙන බව ස්ථාපිත ධර්මයේ ඉතිහාසඥයන් සහ ව්‍යවස්ථිත දේවධර්මාචාර්යවරුන් අතර ද ඊට සමීප ව සමාන්තර පිළිගැන්මක් ඇත. ‘පුද්ගලයන් තිදෙනකු තුළ එක දෙවිකෙනෙකු’ පිළිබඳ ත්‍රිත්ව සංකල්පය යනුවෙන් හඳුන්වනු ලැබූ දෙය ස්ථිර වශයෙන් ම ක්‍රිස්තියානි ජීවිතය හා කල්පනාවන් තුළට ජීර්ණය කරනු ලැබුවේ එවිට ය. . . .
“මෙම රීතියෙන් ම, මෙය ආරම්භ වූ කාල පරිච්ඡේදය පිළිබඳ ව ක්ෂණික අවබෝධයක් තිබූ බව පිළිබිඹු නොකරයි; එය සියවස් තුනක මූල ධර්මීය ගොඩ නැංවීමේ නිපැයුමක් විණි.”11
එය “අඟවා” තිබේ ද?
බයිබලය ත්‍රිත්වයක් “අඟවනවා” යයි ත්‍රිත්වවාදීන් පවසනවා විය හැක. එහෙත් මෙවන් දෙයක් කියනු ලබන්නේ බයිබලය ලියනු ලැබීමෙන් බොහෝ කලකට පසු ව ය. එය, මූල ධර්මයක් විය යුතු යයි පසු කාලවල දී පැවිද්දන් හිතුවක්කාර ලෙස තීරණය කළ දෙයක් බයිබලය තුළට රිංගවා කියවීමට ගන්නා ලද ප්රයත්නයකි.
ඔබගෙන් ම මෙසේ අසන්න: බයිබලයේ වඩාත් වැදගත් ම වූ ඉගැන්වීම වන දෙවියන් වහන්සේ කවුද යන්න ගැන එය “ඇඟවීමක්” පමණක් කරන්නේ මන්ද? වෙනත් මූලික ඉගැන්වීම් ගැන බයිබලය පවසන දේ පැහැදිලි ය. වඩාත් වැදගත් ම ඉගැන්වීම වන මෙම දෙය සම්බන්ධ ව එසේ නොවන්නේ මන්ද? තමන් වහන්සේ ත්‍රිත්වයක් වූවා නම් විශ්වයේ මැවුම්කරුවාණන් තමන් කර්තෘත්වය දරන පොතක ඒ ගැන පැහැදිලි ව නොපවසනු ඇත් ද?
බයිබලය පැහැදිලි ව ත්‍රිත්ව මූල ධර්මය නූගන්වන හේතුව සරල ය: එය බයිබල් ඉගැන්වීමක් නොවේ. දෙවියන් වහන්සේ ත්‍රිත්වයක් ව සිටි සේක් නම්, උන් වහන්සේ ඒ ගැන පැහැදිලි ව පවසනු ඇත, එවිට අන්‍යයන්ට ඒ ගැන ඉගැන්වීමට යේසුස් වහන්සේට සහ සිය ගෝලයන්ට හැකි වනු ඇත. තව ද එම අති වැදගත් තොරතුරු දෙවියන් වහන්සේගේ ආනුභාව ලත් වචනයේ ඇතුළත් වෙනවා ඇත. සියවස් ගණනාවකට පසු ව අසම්පූර්ණ මිනිසුන් හට ඒ සමඟ පොර බදන්නට එය අත්හරිනු නොලබනවා ඇත.
බයිබලය ත්‍රිත්වයක් “අඟවනවා ය” යන්නට සාක්ෂි වශයෙන් ත්‍රිත්වවාදීන් විසින් ඉදිරිපත් කරනු ලබන පාඨයන් අප පරීක්ෂා කර බලන විට, අපට සොයා ගත හැක්කේ කුමක් ද? අවංක තක්සේරුවකින් හෙළි වන්නේ, ඉදිරිපත් කරනු ලබන ශුද්ධ ලියවිලි ක්‍රිස්තියානි ලෝකයේ ත්‍රිත්වයක් ගැන කථා නොකරන බව ය. ඒ වෙනුවට, දේවධාර්මිකයන් උත්සාහ කරන්නේ, ත්‍රිත්වයක් පිළිබඳ ව තමන් කලින් සිතා ගත් අදහස් ශුද්ධ ලියවිලි තුළට බලෙන් ඇතුල් කරන්නට ය. එහෙත් එම අදහස් ශුද්ධ ලියවිලිමය පාඨයන් තුළ නැත. ඇත්තෙන් ම, එම ත්රිත්වවාදී අදහස් සමස්තයක් වශයෙන් බයිබලයේ පැහැදිලි සාක්ෂිවලට පටහැනි ය.
එවන් පාඨයන් සම්බන්ධ උදාහරණයක් මතෙව් 28:19, 20 හි සොයා ගත හැක. එහි පියාණන් ද, පුත්‍රයාණන් ද, ශුද්ධාත්මය ද එකට සඳහන් කර තිබේ. මෙය ත්‍රිත්වයක් අඟවනවා යයි ඇතමෙක් කියා සිටිති. එහෙත් එම පදය ඔබ ම කියවන්න. තුන්දෙනා ම සදාකාලිකත්වයෙන්, බලයෙන්, තත්ත්වයෙන්, හා ප්‍රඥාවෙන් සමාන වන එක ම දෙවි කෙනෙකු බව පවසන යමක් එම පාඨයේ තිබෙනවා ද? නැත, එහි එවැන්නක් නැත. මෙම වචන තුන එකට සඳහන් වන වෙනත් පාඨයන් ගැන ද කිව හැක්කේ එය ම ය.
මතෙව් 28:19, 20 හි පියාණන්, පුත්‍රයාණන් සහ ශුද්ධාත්මය සඳහා “නාමය” යන වචනය ඒක වචනයෙන් තිබීම නිසා එයින් ත්රිත්වවාදී ඇඟවීමක් කරනවා යයි දකින අය, කරුණාකර උත්පත්ති 48:16 හි ආබ්‍රහම් සහ ඊසාක් සඳහා “නාමය” යන වචනය ඒක වචනයෙන් භාවිතා කර ඇති ආකාරය සසඳන්න.—කිං ජේම්ස් වර්ෂන්; න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස්, නව අනුවාදය.
“වාක්‍යාණෝ”, “දෙවියන් වහන්සේ සමඟ” සහ “දෙවියන් වහන්සේ ව” සිටින බවට ඇතැම් පරිවර්තනවලින් යොහන් 1:1 ද ත්රිත්වවාදීහු ගෙන හැර දක්වති. එහෙත් වෙනත් බයිබල් පරිවර්තන පවසන්නේ, වාක්‍යාණෝ “දෙවිකෙනෙක් ව” හෙවත් “දිව්‍යමය වූ සේක” කියා ය, මින් අදහස් කරන්නේ, අනිවාර්යයෙන් ම දෙවියන් වහන්සේ නොව නමුත් බලගතු කෙනෙකු කියා ය. එපමණක් නොව, එම “වාක්‍යාණෝ” දෙවියන් වහන්සේ “සමඟ” සිටි බව එම බයිබල් පදය පවසයි. එය සාධාරණ ලෙස උන් වහන්සේ ව එම දෙවියන් වහන්සේ ම වීමෙන් බැහැර කරයි. “වාක්‍යාණෝ” සම්බන්ධ ව කුමක් නිගමනය කළත් කම් නැත, සැබෑ ව නම්, යොහන් 1:1 සඳහන් වන්නේ පුද්ගලයන් දෙදෙනෙකු ගැන පමණි. තුන් දෙනෙකු නොවේ. යළි යළිත්, ත්‍රිත්ව මූල ධර්මයට අනුබල දීමට උත්සාහ කිරීමට යොදා ගන්නා ලද සියලු පාඨයන් අවංක ව පරීක්ෂා කරන විට, ඒවා එසේ කිරීමට මුළුමනින් ම අසමත් වන බව පෙනී යයි.a
සලකා බැලීමට තිබෙන අනෙක් සාධකය නම් මෙයයි: යේසුස් වහන්සේ සහ උන් වහන්සේගේ ගෝලයන් විසින් ත්‍රිත්ව මූල ධර්මය උගන්වා තිබුණා නම්, ස්ථිර වශයෙන් ම ඔවුන්ට පසු ව පැමිණි පෙරමුණ ගත් සභා සාමාජිකයන් ද එය උගන්වා තිබෙනු ඇත. එහෙත් අපෝස්තලික පියවරුන් යයි අද දින හැඳින්වෙන එම මිනිසුන්, ත්‍රිත්ව මූල ධර්මය ඉගැන්වූවා ද? මෙම ප්රශ්නය, යථා කාලයේ දී පළ වන මුරටැඹ කලාපයක මෙම ලිපි මාලාවේ 2 කොටසේ සාකච්ඡා කරනු ඇත. w91 11/1
යොමු සටහන්
1. ද කැතොලික් එන්සයික්ලොපීඩියා, 1912, XV වෙනි වෙළුම, 47 පිටුව.
2. ද බැප්ටිස්ට් එන්සයික්ලොපීඩියා, විලියම් කැච්කාර්ට් විසින් සංස්කරණය කරන ලද, 1883, පිටු 1168-9.
3. අ ෂෝට් හිස්ට්‍රි ඔෆ් ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින්, බෙන්හාර්ඩ් ලෝහ්ස් විසිනි. 1980 සංස්කරණය, 53 පිටුව.
4. එම., 64-5 පිටු.
5. ද චර්ච් ටිචස්, ජෝන් එෆ්. ක්ලාක්සන්, එස්. ජේ. ජෝන් එච්. එඩ්වඩ්ස්, එස්. ජේ. විලියම් ජේ. කෙලී, එස්. ජේ. සහ ජෝන් ජේ. වෙල්ච්, එස්. ජේ. විසින් පරිවර්තනය කොට සංස්කරණය කරන ලද, 1955 පිටු 125-7.
6. එම., 125 පිටුව.
7. ද ට්රයුන් ගෝඩ්, එඩ්මන්ඩ් ජේ. ෆෝට්මාන් විසිනි, 1982 සංස්කරණය, 126 වෙනි පිටුව.
8. ඔන් දි ඉන්කානේෂන්, පනෙලපි ලෝසන් විසින් පරිවර්තනය කරන ලද, 1981 සංස්කරණය, 27-8 පිටු.
9. දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන්, මර්සියා එලියාඩ්, ප්‍රධාන සංස්කාරක, 1987, 15 වෙළුම, 54 පිටුව.
10. දි න එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා, 15 සංස්කරණය, 1985, 11 වෙළුම, මයික්රොපාඩියා, 928 පිටුව.
11. න කැතොලික් එන්සයික්ලොපීඩියා 1967, XIV වෙළුම, 295 පිටුව.
[පාදසටහන්වල]
a එවන් ශුද්ධ ලියවිලි පාඨයන් ගැන වඩාත් සම්පූර්ණ සාකච්ඡාවක් සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි ඔෆ් න්යූ යෝක්, ඉන්ක් මගින් ප්‍රකාශයට පත් කරන ලද ෂුඩ් යූ බිලීව් ඉන් ද ට්‍රිනිටි? යන විවරණිකාව බලන්න.
[19වන පිටුවේ පින්තූරය]
Church at Tagnon, France