දෙවියන් වහන්සේ ත්‍රිත්වයක් බව මුල් සභාව ඉගැන්වී ද?
4 කොටස ත්‍රිත්ව මූල ධර්මය වර්ධනය වූයේ කුමන අවදියේ ද, කෙසේ ද?
මෙම මාලාවේ මුල් ලිපි තුන ත්‍රිත්ව ධර්මය යේසුස් වහන්සේ, සිය ගෝලයන් හෝ මුල් සභා පියවරුන් විසින් නූගන්වන ලද බව පෙන්වී ය. (වර්ෂ 1992 අගෝස්තු 1; 1992 අගෝස්තු 15; සහ 1992 සැප්තැම්බර් 1 මුරටැඹ) මෙම අවසාන ලිපිය ත්‍රිත්ව මූල ධර්මය වර්ධනය වූ ආකාරයත් පො.යු. 325 නීසියා මන්ත්‍රණ සභාව මෙහිලා ඉටු කළ කාර්ය භාරයත් සාකච්ඡා කරනු ඇත.
පොදු යුගයේ 325 දී, රෝමයේ අධිරාජ්‍ය කොන්ස්ටන්ටයින්, සුළු ආසියාවේ නීසියා නුවර බිෂොප්වරුන්ගේ මන්ත්‍රණ සභාවක් කැඳවූයේ ය. ඔහුගේ අරමුණ වූයේ දේව පුත්‍රයාණන් හා සර්ව බලධාරී දෙවියන් වහන්සේ අතර සම්බන්ධතාවය පිළිබඳ ව දිගට ම පැවති ආගමික ආරවුල් විසඳීම ය. එම මන්ත්‍රණ සභාවේ ප්‍රතිඵල පිළිබඳ ව එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා මෙසේ පවසයි:
“කොන්ස්ටන්ටයින් ම මුලසුන ගෙන, ක්‍රියාශීලී ලෙස සාකච්ඡාව මෙහෙයවමින්, . . . මන්ත්‍රණ සභාව විසින් නිකුත් කරන ලද ආගමික ලබ්ධියේ ක්‍රිස්තුස් වහන්සේ හා දෙවියන් වහන්සේ අතර සම්බන්ධතාව ප්‍රකාශ කරන්නා වූ තීරණාත්මක රීතිය පුද්ගලික ව යෝජනා කළේ ය., ‘පියාණන් සමඟ එක ම ස්වභාවයේ [හෝ·මෝ·ඌʹසි·ඔස්] සිටීම . . . යෝජනා කළේ ය. බිෂොප්වරුන් දෙදෙනෙකු හැර, අධිරාජ්‍යයා විසින් භය ගන්වන ලද බිෂොප්වරු එම ආගමික විශ්වාසයට අත්සන් කළ ද, බොහෝ දෙනෙක් එසේ කළේ තමන්ගේ ම කැමැත්තට පටහැනි ව ය.”1
මෙම මිථ්‍යා ලබ්ධික පාලකයා මෙහි මැදිහත් වූයේ බයිබලය ගැන ස්ථිර විශ්වාසයක් තිබූ නිසා ද? නැත. ඒ ෂෝට් හිස්ටරී ඔෆ් ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින් මෙසේ පවසයි: “ග්‍රීක් දේවධර්මයේ විමසීමට ලක් වූ ප්‍රශ්න සම්බන්ධයෙන් කොන්ස්ටන්ටයින් හට මූලික වශයෙන් කිසි ම අවබෝධයක් තිබුණේ නැත.”2 ඔහු තේරුම් ගෙන සිටි දෙය නම්, ආගමික ආරවුල් තමාගේ අධිරාජ්‍යයේ එක්සත් භාවයට තර්ජනයක් වූ බවයි, එමනිසා ඒවා විසඳීමට ඔහුට වුවමනා විණි.
එය ත්‍රිත්ව මූල ධර්මය ස්ථාපිත කළා ද?
නීසියා මන්ත්‍රණ සභාව ත්‍රිත්වය ක්‍රිස්තියානි ලෝකයේ මූල ධර්මයක් ලෙස ස්ථාපිත කළා ද, නැතහොත් තහවුරු කළා ද? එය එසේ වූයේ යයි බොහෝ දෙනෙක් කල්පනා කරති. එහෙත් සැබෑ කාරණාවලින් පෙනෙන්නේ එය එසේ නොවූ බව ය.
එම මන්ත්‍රණ සභාව විසින් ප්‍රකාශ කරන ලද ආගමික ලබ්ධිය නිසා, දේව පුත්‍රයාණන් එක්තරා අයුරකින් දෙවි පියාණන්ට සමාන යයි කල්පනා කිරීමට විවිධ පූජකයන්ට ඉඩ සැලසූ බව සැබෑවකි. එහෙත් නීසියානු ආගමික ලබ්ධිය නොපැවසූ දෙය තේරුම් ගැනීම වඩාත් අවබෝධය වැඩි කරවයි. මුලින් ප්‍රසිද්ධ කරන ලද ආකාරයට, මුළු ආගමික ලබ්ධිය මෙසේ පවසයි:
“පෙනෙන හා නොපෙනෙන සියල්ල මැවූ, සර්ව බලධාරී පිතාවන දෙවියන් කෙරෙහි ද;
“පියාණන්ගෙන් ජනිත වූ ද, ඒක ජාතක වූ ද, එනම් පියාණන්ගේ ස්වභාවයෙන් ම නික්මුණා වූ ද, දේව පුත්‍රයා වූ ද, එක ම ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, දෙවියන්ගෙන් දෙවියෝ ද, ආලෝකයෙන් ආලෝකය ද, සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝ ද, ජනිත ව මවනු නොලැබ පියාණන් හා එක ස්වභාව ඇති සේක. ස්වර්ගයේ දේවල් ද භූමියේ දේවල් ද, යන සියල්ල පවතින්නට සලස්වන්නා වූ ද, මනුෂ්‍යයන් වන අප උදෙසාත්, අපගේ ගැලවීම උදෙසාත් ස්වර්ගයෙන් බැස, මූර්තිමත් වී, මනුෂ්‍යයෙක් වෙමින්, වද විඳ තුන්වෙනිදා මළවුන් කෙරෙන් උත්ථාන කර වදාරා, පරමණ්ඩලවලට නැගී, එහි සිට ජීවතුන්ටත් මළවුන්ටත් නඩු වදාරන්ට වඩිත්මය;
“ස්ප්‍රීතු සාන්තු කෙරෙහි ද, අපි විශ්වාස කරමු.”3
පියාණන්, පුත්‍රයාණන්, හා ශුද්ධාත්මය එක ම දෙවියන් වහන්සේ තුළ තිදෙනෙක් බව මෙම ආගමික ලබ්ධිය පවසයි ද? මේ තිදෙන සදාකාලිත්වයෙන්, බලයෙන්, තත්ත්වයෙන්, හා ප්‍රඥාවෙන් සමාන බව එය පවසයි ද? නැත, එය එසේ පවසන්නේ නැත. මෙහි කිසි ම ආකාරයකින් එක් කෙනෙක් තුළ තිදෙනෙක් සිටීමේ සූත්‍රයක් දක්නට නැත. මුල් නීසියානු ආගමික ලබ්ධිය ත්‍රිත්වය ඇති කළේ හෝ තහවුරු කළේ හෝ නැත.
එම ආගමික ලබ්ධිය වැඩි වශයෙන් ම කරන්නේ, පුත්‍රයාණන් “එක ස්වභාවයෙන්” පියාණන්ට සමාන කිරීම ය. එහෙත් එය ශුද්ධාත්මය ගැන එවන් කිසිවක් නොපවසයි. එය පවසන මුළු අදහස නම් “ස්ප්‍රීතු සාන්තු [ශුද්ධාත්මය] කෙරෙහි, අපි විශ්වාස කරමු” යන්න පමණකි. එය ක්‍රිස්තියානි ලෝකයේ ත්‍රිත්ව ධර්මය නොවේ.
“එක ස්වභාවයෙන්” (හෝ·මෝ·ඌʹසි·ඔස්) යන මූලික වගන්තිය, එම මන්ත්‍රණ සභාව පියාණන් හා පුත්‍රයාණන් සංඛ්‍යාත්මක ව සමාන යයි විශ්වාස කළ බව ඇත්තෙන් ම අදහස් නොකරයි. මේ සම්බන්ධයෙන් න කැතොලික් එන්සයික්ලෝපීඩියා මෙසේ පවසයි:
“එම මන්ත්‍රණ සභාව පියාණන්ගේ හා පුත්‍රයාණන්ගේ ස්වභාවයේ සංඛ්‍යාත්මක අනන්‍යතාව තහවුරු කිරීමට බලාපොරොත්තු වූයේ දැයි සැක සහිත ය.”4
පුත්‍රයාණන් හා පියාණන් සංඛ්‍යාත්මක වශයෙන් එකක් බව එම මන්ත්‍රණ සභාව අදහස් කළත්, එය තවමත් ත්‍රිත්වයක් නොවනු ඇත. එය ත්‍රිත්ව මූල ධර්මයට අවශ්‍ය පරිදි, එක් කෙනෙක් තුළ තිදෙනෙක් නොව, එක දෙවියන් වහන්සේ තුළ දෙදෙනෙක් පමණක් වනු ඇත.
“සුළුතරයකගේ දෘෂ්ටි කෝණයකි”
නීසියාවේ දී, බිෂොප්වරුන් පුත්‍රයාණන් දෙවියන් වහන්සේට සමාන යයි පොදුවේ විශ්වාස කළෝ ද? නැත, එකිනෙකට විරුද්ධ වූ දෘෂ්ටි කෝණ තිබිණ. උදාහරණයක් වශයෙන්, පුත්‍රයාණන් යම් කලක දී නියත ආරම්භයක් ලද බවත්, එනිසා දෙවියන් වහන්සේට සමාන නොව, නමුත් සෑම ආකාරයකින් ම පහත් ව සිටි බවත් ඉගැන්වූ, අරියස් විසින්, එකක් ඉදිරිපත් කරනු ලැබී ය. ඇතනාසියස්, අනෙක් අතට, පුත්‍රයාණන් පියාණන්ට යම් නිශ්චිත ආකාරයකින් සමාන ව සිටි බව විශ්වාස කළේ ය. එමෙන් ම තවත් දෘෂ්ටීන් ද තිබිණ.
පුත්‍රයාණන් ව දෙවියන් වහන්සේ හා සමාන ව එම ස්වභාවයේ ම (එක ම ද්‍රව්‍යය ලෙස) සලකන්නට ගත් මන්ත්‍රණ සභාවේ තීරණය සම්බන්ධයෙන්, මාටින් මාටි මෙසේ පවසයි: “නීසියාව ඇත්ත වශයෙන් නියෝජනය කළේ සුළුතරයකගේ දෘෂ්ටි කෝණයයි; මෙහිලා කළ සමථයකට පත් කිරීම අරියස්ගේ අදහස නොදැරූ අයටත් අපහසු හා පිළිගත නොහැකි දෙයක් විය.”5 මීට සමාන ව, එ සිලෙක්ට් ලයිබ්‍රරි ඔෆ් නයිසින් ඇන්ඩ් පෝස්ට්-නයිසින් ෆාදර්ස් ඔෆ් ද ක්‍රිස්ටියන් චර්ච් නම් පොත, සටහන් කරන්නේ, “අරියන්ගේ වාදයට පටහැනි පැහැදිලි ව ක්‍රමානුගත කරන ලද මූල ධර්ම තත්ත්වයක් පිළිගනු ලැබූවේ, සුළුතරයක් විසින් පමණි කෙසේ වුවද බලය තිබුණේ එම සුළුතරයට ය” යයි සඳහන් කරයි.6 තව ද ඒ ෂෝට් හිස්ටරි ඔෆ් ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින් මෙසේ පවසයි:
“පෙරදිග විසූ බොහෝ බිෂොප්වරුන්ටත් දේවධර්මාචාර්යවරුන්ටත් විශේෂයෙන් පිළිගත නොහැකි දෙයක් ලෙස පෙනුන දෙය වූයේ, කොන්ස්ටන්ටයින් විසින් ම ආගමික ලබ්ධිය තුළට ඇතුල් කරන ලද දෙයයි, එනම් පසු කාලයේ දී සම්මත ලබ්ධිය හා මිථ්‍යා ධර්මය අතර ආරවුලේ විරුද්ධත්වයට තුඩු දුන් විෂය බවට පත් වූ සංකල්පය හෝ·මෝ·ඌʹසි·ඔස් [“එක ස්වභාවයෙන් යුක්ත වීම”] යන්න ය.”7
එම මන්ත්‍රණ සභාවෙන් පසු, දශකයන් ගණනාවක් මුළුල්ලේ ආරවුල් ඇති විණි. පුත්‍රයාණන් ව සර්වබලධාරී දෙවියන් වහන්සේ හා සමාන කිරීමේ අදහසට අනුග්‍රහය දැක්වූ අය, යම් කාලයකට අනුග්‍රහ රහිත තත්ත්වයකට පවා පත් වූහ. උදාහරණයක් වශයෙන්, මාටින් මාටි, ඇතනාසියස් ගැන මෙසේ පවසයි: “ඔහුගේ ජනප්‍රියත්වය අඩු වැඩි වූ අතර ඔහු ව කොතරම් වාර ගණනක් රටින් නෙරපා දමනු ලැබුවේදයත් [මන්ත්‍රණ සභාවෙන් පසු කාලය තුළ] ඔහු ඇත්ත වශයෙන් ම එහා මෙහා ගමන් කරන්නෙක් බවට පත් විය.”8 දේශපාලන හා පල්ලි බලධාරීහු, පුත්‍රයාණන් දෙවියන් වහන්සේට සමාන කළ ඔහුගේ මතවලට විරුද්ධ වූ නිසා, ඇතනාසියස් වසර ගණනාවකට රටින් නෙරපා දමන ලද තත්ත්වයක ජීවත් විය.
මෙසේ පො.යු. 325 දී නීසියා මන්ත්‍රණ සභාව ත්‍රිත්ව මූල ධර්මය ස්ථාපිත කළේ ය නැතහොත් තහවුරු කළේ යයි සහතික ලෙස ප්‍රකාශ කිරීම සත්‍යය නොවේ. ඊට පසු කාලයේ දී ත්‍රිත්ව ඉගැන්වීම බවට පත්වූ දෙය එවකට පැවතියේවත් නැත. පියාණන්, පුත්‍රයාණන්, හා ශුද්ධාත්මය යන එක් එක්කෙනා සැබෑ දෙවියන් වහන්සේ ව සිටිමින්, සදාකාලිකත්වයෙන්, බලයෙන්, තත්ත්වයෙන්, හා ප්‍රඥාවෙන් සමාන ව සිටිය ද, එක දෙවියන් වහන්සේ—එක් දෙවිකෙනෙක් තුළ තිදෙනෙක්—යන සංකල්පය එම මන්ත්‍රණ සභාව විසින් හෝ මුල් සභා පියවරුන් විසින් ඇති කරන ලද දෙයක් නොවී ය. ද චර්ච් ඔෆ් ද ෆස්ට් ත්‍රී සෙන්චරීස් නම් පොත දක්වන ආකාරයට:
“සුප්‍රකට වූ නූතන ත්‍රිත්ව මූල ධර්මය . . . ජස්ටින්ගේ [මාටර්] ලිපිවලින් කිසිදු අනුබලයක් නොලබයි: තව ද මෙම නිරීක්ෂණය පූර්ව නීසියානු පියවරුන් සම්බන්ධයෙන් ද ව්‍යාප්ත කළ හැකි ය; එනම්, ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ පටන් ශතවර්ෂ තුනක් තුළ විසූ සියලු ක්‍රිස්තියානි ලේඛකයන් කෙරෙහි ව්‍යාප්ත කළ හැකි ය. ඔවුන් පියාණන්, පුත්‍රයාණන්, හා අනාගතය හෙළි කරන්නා නැතහොත් ශුද්ධාත්මය ගැන කථා කරන බව සැබෑ ය. එහෙත්, ඒ, දැන් ත්‍රිත්ව වාදීන් විසින් පිළිගෙන තිබෙන එක සමාන ලෙස එක් සංඛ්‍යාත්මක භාවයක් ලෙස, එක්කෙනෙක් තුළ තිදෙනෙක් ලෙස නොවේ ය. කාරණය වනුයේ හාත්පසින් ම පටහැනි දෙයයි. ත්‍රිත්ව ධර්මය, මෙම පියවරුන් විසින් විස්තර කරන ලද ආකාරයට, නූතන ධර්මයෙන් මූලික ව වෙනස් වේ. මනුෂ්‍ය මතයන් පිළිබඳ ඉතිහාසයේ පරීක්ෂාවට භාජනය කළ හැකි ඕනෑ ම සත්‍යයක් මෙන්, සත්‍යයක් ලෙස අපි මෙය පවසන්නෙමු.”
“පළමු ශතවර්ෂ තුන ඇතුළත ජීවත් වුණා වූ ද, දැන් විශ්වාස කරනු ලබන ආකාරයට මෙම [ත්‍රිත්ව] ධර්ම ඉගැන්වීම දැරුවා වූ ද, මොනයම් සටහනක් හෝ ලියා ඇති ලේඛකයෙකු ව ඉදිරිපත් කරන ලෙස අපි ඕනෑ ම කෙනෙකුට අභියෝග කරන්නෙමු.”9
එනමුත්, නීසියා මන්ත්‍රණ සභාව, යම් වෙනසක් සිදුකළ සන්ධිස්ථානයක් වූ බව කිව හැක, එය පුත්‍රයාණන් පියාණන්ට සමාන බව නිල වශයෙන් පිළිගැනීමට දොරටු විවෘත කරමින් පසු කාලීන ත්‍රිත්ව සංකල්පය සඳහා මාවත හෙළි පෙහෙළි කළේ ය. ජේ. ඒ. බක්ලේ විසින් ලියන ලද, සෙකන්ඩ් සෙන්චරී ඕතොඩොක්සි නම් පොත මෙසේ සඳහන් කරයි:
“අඩු තරමින් දෙවන ශතවර්ෂයේ අවසානය වනතෙක්වත්, සර්ව ලෝක සභාව එක් මූලික ආකාරයකින් එක්සත් ව තිබුණි; එනම් ඔවුන් සියල්ලෝ ම පියාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිගත්හ. ඔවුන් සියල්ලෝ ම සර්වබලධාරී පිතාවන දෙවියන් පරම මහෝත්තම, වෙනස් නොවන, වචනින් විස්තර කළ නොහැකි හා පටන් ගැන්මක් නොමැති . . . ලෙස සැලකූහ.
“මෙම දෙවන සියවසේ ලේඛකයන්ගේ හා නායකයන්ගේ ආගාධයත් සමඟ ම නීසියා මන්ත්‍රණ සභාවේ දී මුල් ඇදහිල්ල ක්රමානූකූල ව පිරිහී යාමේ මුදුන් පත්වීම කරා . . . ටිකෙන් ටික නමුත් නොවැළැක්විය හැකි පරිදි එළැඹුණු බව සභාවට ම වැටහී යන්නට විය. එහි දී, ඉතා ප්‍රබල සුළුතරයක්, ඊට අනුබල දුන් දේශපාලන බලධාරීන් සමඟ, එහි මිථ්‍යා ධර්මය, යටත් වන බහුතරයක් විසින් පිළිගන්නට සැලැස් වී ය. මෙහි දී සිය ඇදහිල්ලේ පුරාතන නිර්මල භාවය නොකෙලසා තබා ගැනීමට වෑයම් කළ අයට බල කරනු, චාටුවෙන් රවටා කැමති කරගනු, එමෙන් ම තර්ජනයෙන් භය ගන්වනු ලැබී ය.”10
කොන්ස්තන්තිනෝපල් හි මන්ත්‍රණ සභාව
පොදු යුගයේ 381 දී, කොන්ස්තන්තිනෝපලයේ මන්ත්‍රණ සභාව නීසියාවේ ආගමික ලබ්ධිය තහවුරු කළේ ය. තව ද එය ඊට වෙනත් යමක් ද එකතු කළේ ය. එය ශුද්ධාත්මය “ස්වාමීන්” හා “ජීවිත-දායකයාණන්” යයි ද හැඳින්වී ය. පොදු යුගයේ 381 දී වැඩිදුරටත් විකාශනය කරන ලද ආගමික ලබ්ධිය (මෙය බොහෝ දුරට අද දවසේ පල්ලිවල පාවිච්චි කරනු ලබන දෙය වන අතර එය “නීසියානු ආගමික ලබ්ධිය” යයි හඳුන්වනු ලැබේ) පෙන්වන්නේ, ක්‍රිස්තියානි ලෝකය සහමුලින් ම හැඩගන්වන ලද ත්‍රිත්ව වාදී ලබ්ධියක් සකස් කිරීමට ඉතා ආසන්න ව සිටි බවයි. එහෙත්, මෙම මන්ත්‍රණ සභාවත් එම මූල ධර්මය සම්පූර්ණ කළේ නැත. න කැතලික් එන්සයික්ලෝපීඩියා මෙසේ පිළිගනී:
“පළමුවන නීසියා මන්ත්‍රණ සභාවෙන් වසර 60කට පසු පළමුවන කොන්ස්තන්තිනෝපල් මන්ත්‍රණ සභාව [පො.යු. 381] ශුද්ධාත්මයේ දේවත්වය පිළිබඳ එහි විස්තර ප්‍රකාශයෙහි හෝමෝඌසියොස් වන වදන මඟ හැරිය බව සැලකිල්ලට ගත යුත්තකි.”11
මෙම ආගමික ලබ්ධියේ මෙම අංගය සම්බන්ධ කියමන්වල පෙනෙන්නට ඇති මෘදු භාවයෙන් විශාරදයන් ප්‍රහේලිකාවකට හසු වී සිටිති; උදාහරණයක් වශයෙන්, ශුද්ධාත්මය හා සම්බන්ධ හෝමෝඌසියොස් යන වචනය පියාණන් හා පුත්‍රයාණන් සමඟ එක ම ස්වාභාවයෙන් වන බවට භාවිතා කිරීමට අසමත් වීම ය.”12
“හෝමොඌසියොස් ශුද්ධ ලියවිලිවල දක්නට නැත” යයි ද එම එන්සයික්ලෝපීඩියා ව ම පිළිගනී. නැත, ශුද්ධාත්මය හෝ පුත්‍රයාණන් හෝ දෙවියන් වහන්සේ සමඟ එක ම ස්වභාවයෙන් සිටින්නේ යයි පෙන්වීමට බයිබලය එම වචනය පාවිච්චි නොකරයි. එය බයිබලයට එකඟ නොවන්නා වූ, ඇත්ත වශයෙන් ම බයිබලයට විරුද්ධ ත්‍රිත්ව මූල ධර්මයට මඟ පෙන්වීමට උපකාර කළ බයිබල් විරෝධී ප්රකාශනයකි.
කොන්ස්තන්තිනෝපල් මන්ත්‍රණ සභාවට පසු ව පවා, ක්‍රිස්තියානි ලෝකය පුරා ත්‍රිත්ව ධර්මය පිළිගනු ලැබූවේ ශත වර්ෂ ගණනාවක් ගත කිරීමෙන් පසු ව ය. න කැතලික් එන්සයික්ලෝපීඩියා පවසනුයේ: “බටහිරෙහි . . . I කොන්ස්තන්තිනෝපලයේ පළමු මන්ත්‍රණ සභාව හා එහි ආගමික ලබ්ධිය සම්බන්ධයෙන් පොදු නිහඬතාවක් තිබූ බව පෙනෙන්නට ඇත.”14 හත්වන හෝ අටවන ශතවර්ෂයන් දක්වා එම මන්ත්‍රණ සභාවේ ආගමික ලබ්ධිය බටහිරෙහි ව්‍යාප්ත ව පිළිගනු නොලැබූ බව මෙම මූලාශ්‍ර පෙන්නුම් කරයි.
බොහෝ විට ත්‍රිත්වයේ සම්මත අර්ථ දැක්වීම හා අනුබලය ලෙස උපුටා දක්වනු ලබන, ඇතනාසියානු ආගමික ලබ්ධිය, ඇතනාසියස් විසින් නොව නමුත් නොදන්නා ලේඛකයෙක් විසින් පසු කාලයේ දී ලියනු ලැබී යයි ද විශාරදයෝ පිළිගනිති. ද න එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා මෙසේ අදහස් දක්වයි:
“මෙම ආගමික ලබ්ධිය 12වන ශතවර්ෂය දක්වා පෙරදිග සභාවේ දැන සිටියේ නැත. ඇතනාසියානු ආගමික ලබ්ධිය (373 දී මිය ගිය) ඇතනාසියස විසින් නොව ඇතැම් විට 5වන ශතවර්ෂයේ දී දකුණු ප්‍රංශයේ රචනය කරන ලද බව, 17වන ශතවර්ෂයේ පටන්, විශාරදයෝ පොදුවේ එකඟ වී සිටිති. . . . හයවන හා 7වන ශතවර්ෂයන්හි මූලික ව දකුණු ප්‍රංශයේ හා ස්පාඤ්ඤයේ මෙම ආගමික ලබ්ධියේ බලපෑම් තිබූ බව පෙනෙන්නට ඇත. එය 9වන ශතවර්ෂයේ ජර්මන් පල්ලියේත්, යම් කලකට පසු රෝමයේත් දේව මෙහෙයන් පැවැත්වූ ක්රමයේ භාවිතා කරනු ලැබිණි.15
එය ගොඩනැඟුණු අයුරු
ත්‍රිත්ව මූල ධර්මය ශතවර්ෂ ගණනාවක් පුරා හෙමින් හෙමින් වර්ධනය වූවකි. ක්‍රිස්තුස් වහන්සේට ශතවර්ෂ ගණනාවකට පෙර ජීවත්වූ, ප්ලේටෝ වැනි ග්‍රීක් දර්ශන වාදීන්ගේ ත්රිත්වවේදී සංකල්ප, ක්‍රමක්‍රමයෙන් සභාවේ ඉගැන්වීම්වලට රහසින් රිංගුවේ ය. ද චර්ච් ඔෆ් ද ෆස්ට් ත්‍රී සෙන්චරීස් පවසන ආකාරයට:
“ත්‍රිත්වය පිළිබඳ මූල ධර්මය ක්රමානුකූල ව හා සංසන්දනාත්මක ව පසු කලෙක බිහි වූ බවත්; එය යුදෙව් හා ක්‍රිස්තියානි ශුද්ධ ලියවිලිවලට සහමුලින් ම විදේශී මාධ්‍යයකින් ජනිත වූ බවත්; එය වර්ධනය වී ප්ලේටෝට පක්ෂපාතී පියවරුන් විසින් ක්‍රිස්තියානි ධර්මයට බද්ධ කර ගන්නා ලද බවත්; ජස්ටින්ගේ කාලයේ හා ඉන් බොහෝ කලකට පසු පුත්‍රයාණන්ගේ වෙනස් ස්වභාවය හා පහත් බව ලොවපුරා උගන්වන ලද බවත්; එවිට ත්‍රිත්වයේ පළමු සෙවනැල්ල පමණක් දක්නට ලැබුණු බවත්, අපි තරයේ කියා සිටිමු.”16
ප්ලේටෝට පෙර ත්‍රිකයන්, නැතහොත් ත්‍රිත්වයන්, බබිලෝනියේ හා මිසරයේ පොදුවේ දක්නට තිබුණි. තව ද රෝමානු ලෝකයේ ඇදහිල්ලේ නොසිටි අය ඇද ගැනීමට දේවගැතියන්ගේ වෑයම්, එම සංකල්පයන්ගෙන් සමහරක් ක්‍රිස්තියානි ධර්මයට ක්‍රමයෙන් එකතු කර ගැනීමට මඟ පෑදී ය. මෙය පුත්‍රයාණන් හා ශුද්ධාත්මය පියාණන්ට සමාන බවට විශ්වාසය පිළිගැනීමට අවසානයේ මඟ පෑදී ය.a
“ත්‍රිත්වය” යන වදන පවා පිළිගනු ලැබුවේ ඉතා සෙමිනි. සිරියාවේ, අන්තියෝකියේ බිෂොප් ව සිටි තියෝෆිලස්, ග්‍රීක් භාෂාවෙන් ලියමින් “ත්රිකයක්” නැතහොත් “ත්‍රිත්වයක්” යන අදහස දෙන ට්‍රයි·අස්ʹ යන වදන හඳුන්වා දුන්නේ දෙවන ශතවර්ෂයේ අවසාන භාගයේ දී ය. අනතුරුව, උතුරු අප්‍රිකාවේ, කාතේජ් හි විසූ ලතින් ලේඛක ටර්ටියුලියන්, “ත්‍රිත්වය” අදහස් කරන, ට්රිනිටාස් යන වදන සිය ලිපිවලට හඳුන්වා දුන්නේ ය.b එහෙත් ට්‍රයි·අස්ʹ යන වදන දේවානුභාවය ලත් ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේවත්, ට්රිනිටාස් යන වදන වල්ගේට් යනුවෙන් හඳුන්වනු ලබන බයිබලයේ ලතින් පරිවර්තනයේවත් දක්නට නොමැත. මේ අනුව, මේ කිසි ම ප්‍රකාශයක්, බයිබලයට එකඟ වූයේ නැත. එහෙත් මිථ්‍යා සංකල්ප මත පදනම්, “ත්‍රිත්වය” යන වදන, පල්ලි සාහිත්‍ය ග්රන්ථ තුළට රහසින් ඇතුල්වූ අතර, හතරවන ශතවර්ෂයෙන් පසු ඔවුන්ගේ ලබ්ධියේ කොටසක් බවට පත් විය.
මෙසේ, මෙවන් ධර්මයක් එහි උගන්වා ඇත්තේ දැයි බැලීමට විශාරදයන් බයිබලය හොඳින් පරීක්ෂා කර බැලුවා නොවේ. ඒ වෙනුවට, මෙම ධර්මය බොහෝ දුරට තීරණය කළේ, බාහිර හා පල්ලි දේශපාලනය ය. ද ක්‍රිස්ටියන් ට්‍රැඩිෂන් නම් පොතේ, ලේඛක යැරොස්ලව් පෙලිකන්: “තර්කයේ දේව ධර්මීය නොවන සාධක” කෙරෙහි අවධානය යොමු කරයි. එම සාධක “අවසන් තීරණ වෙත එළඹීමට ඉන් බොහොමයක් හේතු වූ බව පෙනෙන අතර, ස්වාධීන වූ බලධාරීන් මගින් අවලංගු කරන ලදි. මූලධර්මය, බොහෝ අවස්ථාවන්හි පල්ලි දේශපාලනයේ මෙන් ම පුද්ගලිකත්ව ආරවුල්වල අයුතු බලපෑම්වල ගොදුර—නැතහොත් විපාකය—බව පෙනෙන්නට තිබුණි.” 17 යේල් හි මහාචාර්ය ඊ. වොෂ්බර්න් හොප්කින්ස් ඒ ගැන මෙසේ පැවසී ය: ත්‍රිත්වය පිළිබඳ අන්තිම ප්රතිශ්ඨාපිත අර්ථ දැක්ම බොහෝ දුරට පල්ලි දේශපාලනයෙන් මෙහය වනු ලැබූ කාරණයක් විණි.”18
දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨතම තැනැන් වහන්සේ බවත් උන් වහන්සේට සමාන කෙනෙක් නොමැති බවත් දක්වන සරල බයිබල් ඉගැන්වීම සමඟ සසඳන කල, ත්‍රිත්ව ධර්මය කොතරම් අසාධාරණ ද! දෙවියන් වහන්සේ වදාරණ ආකාරයට: “අප ඒකාකාර වනසේ නුඹලා මා සමාන කරන්නෙත් එක සම කරන්නෙත් සදෘශ කරන්නෙත් කාටද?”—යෙසායා 46:5.
එය නියෝජනය කළ දේ
ක්රමානුකූල ව වර්ධනය වූ ත්‍රිත්ව සංකල්පය නියෝජනය කළේ කුමක් ද? එය යේසුස් වහන්සේ පුරෝකථනය කළ ක්‍රිස්තියානි ධර්මයෙන් වැටී යාම විණි. (මතෙව් 13:24-43) ප්‍රේරිත පාවුල් ද මතු සිදු වන්නට තිබූ ඇදහිල්ල අත්හැර යාම මෙසේ පුරෝකථනය කර තිබුණි:
“සාරධර්මය නොතකා, තමන් රිසි දෙය ඇසීමේ ආශාවෙන් ගුරුවරුන් රැස්කරගන්නා කාලයක් පැමිණෙන්නේ ය. එවිට ඔවුහු සත්‍යයට කන් නොදී, මිථ්‍යා ප්රබන්ධවලට හැරෙන්නෝ ය.”—2 තිමෝති 4:3, 4 කතෝලික පොදු නව අනුවාදය.
ත්‍රිත්ව ඉගැන්වීම එම මිථ්‍යා ප්‍රබන්ධවලින් එකකි. ක්‍රිස්තියානි ධර්මයට විරුද්ධ වූ ද, ඒත් සමඟ ම ක්‍රමක්‍රමයෙන් වර්ධනය වූ ද, සමහරක් ප්‍රබන්ධ නම්: මනුෂ්‍ය ආත්මයේ සහජ අමරණීයත්වය, ශුද්ධගිනිස්ථානය, ලිම්බෝ, සහ නිරාගින්නේ සදාකාලික වේදනා විඳීම ය.
එසේ නම්, ත්‍රිත්ව මූල ධර්මය යනු කුමක් ද? එය ඇත්තෙන් ම ක්‍රිස්තියානි එකක් හැටියට බොරුවට ඉදිරිපත් වී ඇති මිථ්‍යා ධර්මයකි. එය ජනයා මුලා කිරීමට, දෙවියන් වහන්සේ ව ඔවුන්ට ව්‍යාකූල වූ අභිරහසක් කරවීමට, සාතන් විසින් අනුග්‍රහය දෙන ලද්දකි. මෙහි ප්‍රතිඵලය වන්නේ, වෙනත් බොරු ආගමික සංකල්ප හා වැරදි සහගත පුරුදු පිළිගැනීමට ඔවුන් තුළ වඩාත් කැමැත්තක් ඇති වීමයි.
“ඔවුන්ගේ ඵලවලින්”
මෙයාකාරයෙන් සැබෑ ආගමෙන් බොරු ආගම හැඳින ගත හැකි බව, මතෙව් 7:15-19 හි යේසුස් වහන්සේ මෙලෙස වදාළ සේක:
“බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙයල්ලා. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය. ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය. මනුෂ්‍යයෝ කටුගස්වලින් මුද්‍රික ඵලවත් ගොකටුවලින් අත්තික්කා ඵලවත් නෙළාගනිද්ද? එසේම සියලු හොඳ ගස් හොඳ ඵල දරයි; නුමුත් නරක ගස් නරක ඵල දරයි. . . . හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ, ගින්නෙහි දමනු ලැබේ.”
යේසුස් වහන්සේ යොහන් 13:35 හි වදාළ එක් නිදසුනක් සලකා බලන්න: “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” වැඩිදුරටත්, 1 යොහන් 4:20 හා 21 හි දෙවියන් වහන්සේගේ ආනුභාවය ලත් දේව වචනය පවසනුයේ:
“යමෙක්: දෙවියන්වහන්සේට ප්‍රේම කරමියි කියා තමාගේ සහෝදරයාට වෛරකෙරේ නම්, ඔහු බොරුකාරයෙක්ය. මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම්, තමා නුදුටු දෙවියන්වහන්සේට ප්‍රේමකරන්ට ඔහුට නුපුළුවන. දෙවියන්වහන්සේට ප්‍රේමකරන තැනැත්තේ තමාගේ සහෝදරයාටත් ප්‍රේමකරනවා යන මේ ආඥාව අපි උන්වහන්සේගෙන් ලැබීමුව.”
සැබෑ ක්‍රිස්තියානින්ට ප්‍රේමය තිබිය යුතු බවට වූ මූලික ප්‍රතිපත්තිය මෙම ශතවර්ෂයේ ඇති වූ ලෝක යුද්ධ දෙකට මෙන් ම වෙනත් ගැටුම්වලට අදාළ කර බලන්න. ජාතිවාදී වෙනස්කම් නිසා, ක්‍රිස්තියානි ලෝකයේ එකම ආගමට අයත් අය සටන් බිම්වල මුහුණට මුහුණ ලා එකිනෙකා මරා ගත්හ. ඒ එක් එක් පැති තමන් ක්‍රිස්තියානි යයි තරයේ කියා සිටි අතර, දෙවියන් වහන්සේ තම පැත්තේ යයි තරයේ කියා සිටි, එහි පූජකයන් විසින් ඒ එක් එක් පැතිවලට අනුබල දෙනු ලැබී ය. “ක්‍රිස්තියානියෙක්” තවත් “ක්‍රිස්තියානියෙක්” ඝාතනය කර ගැනීම තික්ත නරක ඵලයකි. එය ක්‍රිස්තියානි ප්‍රේමය උල්ලංඝනය කිරීමකි, දේව නියමයන් ප්‍රතික්ෂේප කිරීමකි.—1 යොහන් 3:10-12 ද බලන්න.
ගණන් දීමට දවසක්
මෙසේ, ක්‍රිස්තියානි ධර්මයේ පිරිහීම, ත්‍රිත්ව මූල ධර්මය වැනි, අභක්තික විශ්වාසයන්ට පමණක් නොව, අභක්තික පිළිවෙත්වලට ද මඟ පෑදී ය. එහෙත්, “හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ, ගින්නෙහි දමනු ලැබේ” යයි යේසුස් වහන්සේ වදාළ බැවින්, ගණන් දීමට දවසක් උදාවනු ඇත. දේව වචනය මෙයාකාරයෙන් උදක් ම ඉල්ලා සිටිනුයේ මෙනිසා ය:
“මාගේ සෙනගෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසුනොවන පිණිසත්, ඇගෙන් [බොරු ආගමින්] ඉවත්ව වරෙල්ලා . . . මක්නිසාද ඇගේ පව් ස්වර්ගය දක්වා නැංගේය, දෙවියන්වහන්සේ ඇගේ අපරාධ [අයුක්ති සහගත ක්‍රියා NW] සිහිකළසේක.”—එළිදරව් 18:4, 5.
ඉක්මනින් ම බොරු ආගමට එරෙහි ව නැගී සිටීමට දෙවියන් වහන්සේ දේශපාලන බලධාරීන්ගේ ‘සිත් කැමති කරවනු’ ඇත. ඔවුහු “ඈ පාළු . . . කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය.” (එළිදරව් 17:16, 17) බොරු ආගම දෙවියන් වහන්සේ පිළිබඳ එහි මිථ්‍යා දර්ශන සමඟින් සදාකාලයට ම විනාශ කරනු ලබනවා ඇත. ඇත්ත වශයෙන් ම, දෙවියන් වහන්සේ බොරු ආගම පිළිපැද්ද අයට, යේසුස් වහන්සේ තමන් ජීවත්වූ කාලයේ වදාළාක් මෙන්, “නුඹලාගේ ගෘහය නුඹලාට පාළුකොට අත්හරිනු ලැබේ” යයි වදාරණු ඇත.—මතෙව් 23:38.
යේසුස් වහන්සේ “එකම සැබෑ වූ දෙවියන්වහන්සේ” යයි වදාළ තැනැන් වහන්සේට සියලු ගෞරවය හා මහිමය දිය හැකි වනු පිණිස, සත්‍යය ආගම දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් බේරී පවතිනු ඇත. “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයාණන් බව” යයි පවසමින්, ගීතිකාකරු හඳුන්වා දුන් තැනැන් වහන්සේ උන් වහන්සේ ය.—යොහන් 17:3; ගීතාවලිය 83:17. w92 8/1
[පාදසටහන්වල]
a වැඩිදුර තොරතුරු සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්යූ යෝක් ඉන්ක්., විසින් ප්‍රකාශ කරන ලද ෂුඩ් යූ බිලීව් ඉන් ද ට්‍රිනිටි? නම් විවරණිකාව බලන්න.
b මෙම මාලාවේ මීට ඉහත ලිපිවල පෙන්වන ලද ලෙසින්, තියෝෆිලස් හා ටර්ටියුලියන් මෙම වචන භාවිතා කළ ද, අද දවසේ ක්‍රිස්තියානි ලෝකය විසින් විශ්වාස කරනු ලබන ත්‍රිත්වයක් ඔවුන්ගේ මනසේ තිබුණේ නැත.
යොමු සටහන්:
1. එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා, 1971, 6 වෙළුම, 386 පිටුව.
2. ඒ ෂෝට් හිස්ටරි ඔෆ් ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින්, ලේඛක බර්නාඩ් ලොසේ, 1963, 51 පිටුව.
3. එම., 52-3 පිටු.
4. න කැතලික් එන්සයික්ලෝපීඩියා, 1967, VII වෙළුම, 115 පිටුව.
5. ඒ ෂෝට් හිස්ටරී ඔෆ් ක්‍රිස්ටියැනිටි, මාටින් ඊ. මාටි, 1959, 91 පිටුව.
6. ඒ සිලෙක්ට් ලයිබ්‍රරි ඔෆ් නයීසීන් ඇන්ඩ් පෝස්ට්-නයීසීන් ෆාදර්ස් ඔෆ් ද ක්‍රිස්ටියන් චර්ච්, ෆිලිප් ශාෆ් හා හෙන්රි වේස් විසිනි, 1892, IV වෙළුම, XVII පිටුව.
7. ඒ ෂෝට් හිස්ටරි ඔෆ් ක්‍රිස්ටියන් ඩොක්ට්‍රීන්, 53 පිටුව.
8. එම., 91 පිටුව.
9. ද චර්ච් ඔෆ් ද ෆස්ට් ත්‍රී සෙන්චරීස්, ඇල්වන් ලැම්ලස්න් විසිනි 1869, 75-6, 341 පිටු.
10. සෙකන්ඩ් සෙන්චරි ඕතඩොක්සි, ජේ. ඒ. බක්ලේ විසිනි, 1978, 114-15 පිටු.
11. න කැතලික් එන්සයික්ලෝපීඩියා, 1967, VII වෙළුම, 115 පිටුව.
12. එම., IV වෙළුම, 436 පිටුව.
13. එම., 251 පිටුව.
14. එම., 436 පිටුව.
15. ද න එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා, 1985, 15වන සංස්කරණය, මයික්රෝපීඩියා, I වෙළුම, 665 පිටුව.
16. ද චර්ච් ඔෆ් ද ෆස්ට් ත්‍රී සෙන්චරීස්, 52 පිටුව.
17. ද ක්‍රිස්ටියන් ට්‍රැඩිෂන්, යැරොස්ලව් පෙලිකන් විසිනි, 1971, 173 පිටුව.
18. ඔරිජින් ඇන්ඩ් ඉවලූෂන් ඔෆ් රිලිජන්, ඊ. වොෂ්බර්න් හොප්කින්ස් විසිනි, 1923, 339 පිටුව.
බොරු ආගමට එරෙහි ව නැගී සිටීමට දෙවියන් වහන්සේ දේශපාලන බලධාරීන් ව පොලඹවනු ඇත.
සත්‍යය ආගම දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් බේරී පවතිනු ඇත