දෙවියන් වහන්සේ ත්‍රිත්වයක් බව මුල් සභාව ඉගැන්වී ද?
3 කොටස—අපොලජිස්තවරු ත්‍රිත්ව ධර්මය ඉගැන්වූවෝ ද?
මුරටැඹ සඟරාව එහි 1992 අගෝස්තු 1 සහ 1992 අගෝස්තු 15 කලාපවල, ත්‍රිත්ව ධර්මය, යේසුස් වහන්සේ සහ, උන් වහන්සේගේ ගෝලයන් විසින්වත් පො.යු. පළමුවන ශතවර්ෂයේ අග භාගයේ හා දෙවන ශතවර්ෂයේ මුල් භාගයේ විසූ අපෝස්තලික පියවරුන් විසින්වත් නූගන්වන ලද බව පෙන්වී ය. ඉන් පසු ව දෙවන ශතවර්ෂයේ විසූ දේවගැතියන් එය ඉගැන්වී ද?
අපගේ පොදු යුගයේ දෙවන ශතවර්ෂයේ මැද භාගයට ආසන්න කාලයේ සිට එහි අවසානය දක්වා ම, අපොලජිස්තවරුන් හෙවත් ක්‍රිස්තු ඇදහිල්ලේ ආරක්ෂාව පිණිස ක්‍රියා කළ අය ලෙස අද දින හඳුන්වනු ලබන දේවගැතියෝ විසූහ. ඔවුහු තමන් දැන සිටි ක්‍රිස්තියානි ධර්මය එවකට පැවති රෝමානු ලෝකයේ ව්‍යාප්ත ව තිබූ විරුද්ධ දර්ශනයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ලිපි ලිවී ය. ඔවුන්ගේ කෘතීන් අපෝස්තලික පියවරුන්ගේ ලිපි ලියනු ලැබූ කාලයේ අවසාන භාගයේ, හා ඉන් පසු ව ඉදිරිපත් විය.
ජස්ටින් මාටර්, ටාෂියන්, ඇතෙනාගොරස්, තියෝෆිලස්, හා ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් යනාදීන් අපොලොජිස්තවරුන් වශයෙන් ග්‍රීක් භාෂාවෙන් ලියූ අය අතර වූහ. ටර්ටූලියන් වනාහි, ලතින් භාෂාවෙන් ලියූ අපොලොජිස්තවරයෙකි. ඔවුහු නූතන ක්‍රිස්තියානි ලෝකයේ ත්‍රිත්වය—එනම් එක් එක්කෙනා සැබෑ දෙවියන් වහන්සේ වෙමින්, දේවත්වයක එක සමාන තිදෙනෙක් ව (පියාණන්, පුත්‍රයාණන්, හා ශුද්ධාත්මය) සිටිනමුත්, දෙවිවරුන් තිදෙනෙකු නොව එහෙත් එක් දෙවිකෙනෙක් සිටීම යන ධර්මය—ඉගැන්නුවෝ ද?
“පුත්‍රයාණන් උප සේවකයෙක් වන සේක”
අ ෂෝට් හිස්ටරි ඔෆ් දි අර්ලි චර්ච් නම් සිය පොතේ, ආචාර්ය එච්. ආර්. බොවර්, අපොලොජිස්තවරුන්ගේ ඉගැන්වීම්වල කාවද්දවා ඇති දෙය පිළිබඳ ව මෙසේ අදහස් දක්වයි:
“ලෝකය මැවීමට පෙර දෙවියන් වහන්සේ තනි ව සිටි බවත් පුත්‍රයාණන් නොසිටි බවත් ජස්ටින් [මාටර්] ඉගැන්වී ය. . . . දෙවියන් වහන්සේ ලෝකය මැවීමට අභිප්‍රාය කළ විට . . . තමන් උදෙසා ලෝකය මවනු පිණිස උන් වහන්සේ තවත් දිව්‍යමය පුද්ගලයෙකු ව උත්පාදනය කළ සේක. උත්පාදනය වූ බැවින් . . . මෙම දිව්‍ය තැනැන් වහන්සේට . . . පුත්‍රයා යයි හඳුන්වනු ලැබී ය: උන් වහන්සේ දෙවියන් වහන්සේගේ විමර්ශන ශක්තියෙන් හෙවත් මනසින් ගන්නා ලද බැවින් ලෝගොස් යයි හඳුන්වනු ලැබී ය. . . .
“එමනිසා, ජස්ටින් මෙන් ම වෙනත් අපොලොජිස්තවරු, පුත්‍රයාණන් මැවිල්ලක් බව ඉගැන්වූහ. උන් වහන්සේ උසස් මැවිල්ලක්, එනම් ලෝකය මවන්නට තරම් බලගතු මැවිල්ලක් වනමුත්, මැවිල්ලක් ව සිටින සේක. දේවධර්මයෙහි පුත්‍රයාණන් විසින් පියාණන් සමඟ පවත්වන මෙම සම්බන්ධතාවය උප සේවකත්වය ලෙස හඳුන්වනු ලැබේ. පුත්‍රයාණන් උප සේවකයෙක් වන සේක, එනම්, පියාණන් කෙරෙහි රැඳී සිටින හා උන් වහන්සේ මගින් පැවැත්මට ආ ද්විතීයික කෙනෙක් වන සේක. අපොලොජිස්තවරු උප සේවක වාදීන් වූහ.1
ද ෆෝමේෂන් ඔෆ් ක්‍රිස්ටියන් ඩොග්මා නම් පොතේ, ආචාර්ය මාර්ටින් වර්නර්, පුත්‍රයාණන් හා දෙවියන් වහන්සේ අතර සම්බන්ධතාවය පිළිබඳ ව මුලින් ම පැවති වැටහීම ගැන මෙසේ අදහස් දක්වයි:
“එම සම්බන්ධතාවය සැක රහිත ව ‘උප සේවකත්වයක්’ බව තේරුම් ගනු ලැබී ය, එනම්, ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේට උප සේවකයෙක් ව සිටි බවට වූ අදහසින් ය. නව ගිවිසුමේ පියාණන් වන, දෙවියන් වහන්සේ සමඟ යේසුස් වහන්සේ පවත්වන සම්බන්ධතාව සැලකිල්ලට ගැනෙන ඕනෑ ම තැනක දී ම. . . එය උප සේවකත්වයක් ලෙසට තේරුම් ගෙන ඉතා පැහැදිලි ව ඉදිරිපත් කර ඇත. තව ද සංයුක්ත වාර්තාවට අනුව නව ගිවිසුමේ වඩාත් තීරණාත්මක උප සේවකයා, යේසුස් වහන්සේ ම වූ සේක . . පැවති ආකාරයට ස්ථිර ව හා පැහැදිලි ව තිබූ මෙම මුල් ස්ථාවරයේ, දීර්ඝ කලකට එසේ පවත්වා ගැනීමට හැකි විය. ‘නයිසියා කවුන්සලයට පෙර විසූ සියලු ශ්‍රේෂ්ඨ දේව ධර්මාචාර්යවරු ලෝගොස් දෙවියන් වහන්සේට උප සේවකයෙක් ව සිටියේ යයි කියා සිටියහ.’ ”2
මීට එකඟ ව, ද සර්ච් ෆෝ ද ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින් ඔෆ් ගෝඩ් නම් පොතේ, ආර්. පී. සී. හැන්සන් මෙසේ පවසයි:
[හතරවෙනි සියවසේ] “ඒරියන්ගේ විවාදයේ ආරම්භයට පෙර පුත්‍රයාණන් පියාණන්ට උප සේවකයෙක් ව සිටි බව යම් ස්වභාවයකින් නොසැලකූ දේව ධර්මාචාර්යවරයෙක් නැගෙනහිර හෝ බටහිර සභාවල සිටියේ නැත.”3
ආචාර්ය ඇල්වන් ලැම්සන්, ද චර්ච් ඔෆ් ද ෆස්ට් ත්‍රී සෙන්චරීස් නම් පොතේ, නයිසියා සම්මන්ත්‍රණයට පෙර (පො.යු. 325) පල්ලි බලධාරීන්ගේ ඉගැන්වීම් සම්බන්ධ මෙම සාක්ෂි ඉදිරිපත් කරයි:
“පුත්‍රයාණන්ගේ පහත් බව පොදුවේ, නැතහොත් ඒකාකාර ව පූර්ව නයිසියානු පියවරුන් විසින් සහතික ලෙස ප්‍රකාශ කරනු ලැබී ය . . . උන් වහන්සේගේ පහත් බව සහතික ලෙස ප්‍රකාශ කළ තත්ත්වයෙන් පැහැදිලි වන්නේ පුත්‍රයාණන් පියාණන්ගෙන් වෙනස් යයි ඔවුන් කල්පනා කළ බව ය. . . . උන් වහන්සේ වෙනස් එමෙන් ම උප සේවකයෙක් ව සිටියේ යයි ඔවුහු සැලකූහ.”4
මේ හා සමාන ව, ගෝඩ්ස් ඇන්ඩ් ද වන් ගෝඩ් නම් පොතේ, රොබර්ට් එම්. ග්‍රාන්ට් අපොලොජිස්තුවරුන් ගැන මතු දැක්වෙන අදහස් පළ කරයි:
“අපොලොජිස්තවරුන්ගේ කෘතීන්වල ක්‍රිස්තුස් වහන්සේ හා උන් වහන්සේගේ ක්‍රියා පිළිබඳ දේව ධර්මීය අර්ථ නිරූපනය, නව ගිවිසුමේ තිබෙන ආකාරය හා සමාන ව, අත්‍යවශ්‍යයෙන් ම උප සේවකත්වයක් ව පවතී. පුත්‍රයාණන් පැරණි ගිවිසුමේ එක ම දෙවියන් වහන්සේ වන පියාණන්ට සැම විට ම යටත් ව සිටින සේක. . . . එබැවින්, අප මෙම මුල් ලේඛකයන් තුළ දකින්නේ, ත්‍රිත්ව ධර්මයක් නොවේ . . . නයිසියාවට කලින්, ක්‍රිස්තියානි ධර්ම ඉගැන්වීම ලෝකයේ සෑම තැන්හි ම වාගේ උප සේවකත්වයේ න්‍යායෙන් යුක්ත විය.”5
ක්‍රිස්තියානි ලෝකයේ ත්‍රිත්වය, පුත්‍රයාණන් සදාකාලිත්වයෙන්, බලයෙන්, තත්ත්වයෙන් හා ප්‍රඥාවෙන් පියාණන් වන දෙවියන් වහන්සේට සමාන බව උගන්වයි. එහෙත් අපොලොජිස්තවරු පුත්‍රයාණන් පියාණන් වන දෙවියන් වහන්සේට සමාන නොවන බව පැවසූහ. ඔවුහු පුත්‍රයාණන් උප සේවකයෙක් වශයෙන් කල්පනා කළහ. එය ත්‍රිත්ව ඉගැන්වීම නොවේ.
පළමු-ශතවර්ෂයේ ඉගැන්වීම පිළිබිඹු කිරීම
අපොලොජිස්තවරුන් මෙන් ම මුල් සභාවේ වෙනත් පියවරුන්, පළමු-ශතවර්ෂයේ ක්‍රිස්තියානින්, පියාණන් හා පුත්‍රයාණන් අතර සම්බන්ධතාවය පිළිබඳ ව ඉගැන්වූ දේ බොහෝ දුරට පිළිබිඹු කළහ. ද ෆෝමේෂන් ඔෆ් ක්‍රිස්ටියන් ඩොග්මා නම් ඉහත පොතේ මෙය සඳහන් කර ඇති ආකාරය සැලකිල්ලට ගන්න:
“පසු කාලවල පල්ලික්රමයේ ඇති කරන ලද සැහැසික පිළිගැටුම් වැනි ඕනෑ ම ආකාරයක ත්රිත්වවාදී ගැටලු හෝ මතභේද පිළිබඳ ලකුණු කිසිවක් මුල් ක්‍රිස්තියානි යුගයේ තිබුණේ නැත. මෙයට හේතුව නිසැක ව ම රැඳී පවතින්නේ, මුල් ක්‍රිස්තියානි ධර්මය සඳහා ක්‍රිස්තුස් වහන්සේ . . . කාලයාගේ අවසානයේ . . . දෙවියන් වහන්සේගේ රාජ්‍යය . . . ගෙන ඒමේ ක්‍රියාවලියට දෙවියන් වහන්සේ විසින් මවා තෝරා ගන්නා ලද, උසස් ස්වර්ගීය වූ දේව දූත-ලෝකයක කෙනෙකු වීමේ කාරණය පිළිගැනීම මත ය.”6
වැඩිදුරටත් මුල් සභාවේ පියවරුන්ගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් දි ඉන්ටනැෂනල් ස්ටෑන්ඩර්ඩ් බයිබල් එන්සයික්ලෝපීඩියා මෙසේ ද පිළිගනී:
“පියාණන් වූ දෙවියන් වහන්සේ ගැන කථා කරන විට, සභාවේ මුල් ම චින්තන නැඹුරුවාව වූයේ, මුලින් ම උන් වහන්සේ ව ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් හැටියට නොව, එහෙත් සියලු ජීවීන්ගේ උල්පත හැටියට තේරුම් ගැනීම ය. එබැවින් පියාණන් වූ දෙවියන් වහන්සේ, වෙන විධියකින් පවසනවා නම්, අතිඋත්කෘෂ්ට දෙවියන් වහන්සේ ව සිටි සේක. මූලාරම්භයක් නොමැති, අමරණීය, වෙනස් නොවන සුලු කියා නිමකළ නොහැකි බව, අදෘශ්‍යමාන, හා උත්පාදනයක් නොලැබූ වැනි විස්තරයන් උන් වහන්සේ සතු ය. කිසිවක් නොමැති ව, මැවීමට යොදා ගන්නා දේවල් ද ඇතුළු සියල්ල සෑදුවේ උන් වහන්සේ ය. . . .
“පියාණන් වහන්සේ පමණක් දෙවියන් වහන්සේ බවත් එමෙන් ම පුත්‍රයාණන් හා ශුද්ධාත්මය ද්විතීක ව පමණක් එසේ වන බව ඇතැම් විට මින් අඟවන්නට පුළුවන. මුල් ප්‍රකාශයන් බොහොමයක් මෙයට අනුබල දෙන බව පෙනෙන්නට තිබේ.”7
මෙම විශ්වකෝෂය මෙවන් සත්‍යයන් අවතක්සේරුවක් කරමින් ත්‍රිත්ව ධර්ම ඉගැන්වීම ඒ මුල් වකවානුවේ පිළිගත් බව තරයේ කියා සිටිය ද, සාක්ෂි සාධකවලින් පෙන්වන්නේ, එම බලවත් ප්‍රකාශය බොරුවක් බව ය. සුප්‍රකට කතෝලික දේව ධර්මාචාර්යවරයෙක් වූ ජෝන් හෙන්රි කාර්ඩිනල් නිව්මන්ගේ වදන් සලකා බලන්න:
“පවත්නා වූ මුළු ධර්ම ඉගැන්වීම් මාලාවේ වස්තු විෂය අපගේ ස්වාමීන් වහන්සේ බව, අඛණ්ඩ ව හා ඒකාකාර ව මූලික සභාව විසින් පිළිගනු ලද්දේ යයි අපි එත්තු ගනිමු . . . නමුත් කතෝලික ධර්මයේ ත්‍රිත්වය පිළිබඳ ඉගැන්වීමත් සමඟ නිසැක ව ම එහි අනෙක් පැත්ත ය. මූලිකයන් [පල්ලි බලධාරීන්] ඊට අනුග්‍රහ දක්වන සම්මුතියක් ඇති බව පැවසිය හැක්කේ කිනම් හැඟීමකින් දැයි මට කිව නොහැකි ය . . .
“එම මුල් කාලයේ ලබ්ධිවල . . . [ත්‍රිත්වය] පිළිබඳ ව කිසිසේත් . . . සඳහනක් නොකරයි. ඔවුහු ඇත්ත වශයෙන් ම තිදෙනෙක් ගැන සඳහනක් කරත්: එහෙත් තිදෙනා එක්කෙනෙක්, ඔවුන් එක සමාන, එක ම සදාකාලිකත්වයකින් යුක්ත, තිදෙනා ව ම නොමවන ලද, සර්වබලධාරී, තිදෙනා ව ම තේරුම් ගත නොහැකි ව සිටින බවට වූ මූල ධර්ම ඉගැන්වීමෙහි යම් අභිරහසක් ඇති බවට සඳහනක් කර නොමැති අතර ඒවායින් එවැන්නක් තේරුම් ගන්නට ද නුපුළුවන.”8
ජස්ටින් මාටර් ඉගැන්වූ දෙය
පොදු යුගයේ 110 සිට 165 පමණ වනතෙක් ජීවත් වූ ජස්ටින් මාටර්, අපොලොජිස්තවරයෙක් වශයෙන් මුලින් ම ක්‍රියා කළ අයගෙන් කෙනෙකි. ඔහුගේ පවතින කිසි ම ලිපියක් එක දෙවියන් වහන්සේ තුළ එක සමාන තිදෙනෙක් ගැන සඳහනක් නොකරයි.
උදාහරණයක් වශයෙන්, කතෝලික ජෙරුසලෙම් බයිබල් අනුව, හිතෝපදේශ 8:22-30 මනුෂ්‍යත්වය ලැබීමට පෙර යේසුස් වහන්සේ ගැන සඳහන් කරනුයේ මෙසේ ය: “යාවේ තමන් වහන්සේගේ පුරාතන ම ක්‍රියාවලට පෙර, ස්වකීය අරමුණ මුලින් ම ක්‍රමයෙන් එළිදරව් කරන ලද විට මා මැවූ සේක. . . . මා ජනිත වූ විට, සත් සමුදුර නොවී ය . . . කඳු පිහිටෙන්ට ප්‍රථමයෙන්, මම ඉපද සිටියෙමි . . . මම එතුමන්ගේ [දෙවියන් වහන්සේගේ] නිර්මාණ ශිල්පියෙකු මෙන් ළඟ සිටියෙමි.” මෙම වගන්ති සාකච්ඡා කරමින්, ජස්ටින් සිය ඩයලොග් විත් ට්රයිෆෝ නම් පොතේ මෙසේ සඳහන් කරයි:
“මවන ලද සියල්ලට පෙර පියාණන් විසින් මෙම ජනිතයා උත්පාදනය කරන ලද බව ශුද්ධ ලියවිල්ල ප්‍රකාශ කර ඇත: තව ද උත්පාදනය කරන ලද දෙය උත්පාදනය කරන්නාගෙන් සංඛ්‍යාත්මක ව වෙනස් බව, කවරෙක් නමුත් පිළිගන්නවා ඇත.”9
පුත්‍රයාණන් දෙවියන් වහන්සේගෙන් ජනිත වූ බැවින්, ජස්ටින් පුත්‍රයාණන් සම්බන්ධයෙන් “දෙවියන් වහන්සේ” යන ප්රකාශනය ඇත්ත වශයෙන් ම භාවිතා කරයි. ඔහු සිය ෆස්ට් අපොලජි නම් පොතේ පවසනුයේ: “විශ්වයේ පියාණන්ට පුත්‍රයෙක් සිටී; උන් වහන්සේ, මුලින් ම උත්පාදිත ව දෙවියන් වහන්සේගේ වාක්‍යාණෝ ද වන බැවින්, දෙවියන් වහන්සේ පවා වන සේක.”10 බයිබලය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ට “දෙවියන් වහන්සේ” යන පදවි නාමයෙන් ද යොමු දක්වයි. යෙසායා 9:6 හි උන් වහන්සේ ව “පරාක්‍රමවත් දෙවියන්වහන්සේ” යයි හඳුන්වා ඇත. එහෙත් බයිබලයේ, දේව දූතයන්, මනුෂ්‍යයන්, මිථ්‍යා දෙවිවරුන්, හා සාතන් යනාදීන් ව ද “දෙවිවරුන්” යයි හඳුන්වා ඇත. (දේව දූතයන්: ගීතාවලිය 8:5; සසඳන්න හෙබ්‍රෙව් 2:6, 7. මනුෂ්‍යයන්: ගීතාවලිය 82:6. බොරු දෙවිවරුන්: නික්මයාම 12:12; 1 කොරින්ති 8:5. සාතන්: 2 කොරින්ති 4:4.) හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ, “දෙවියන් වහන්සේ” සඳහා වූ වදන වන, ’එල්, හුදු “පරාක්‍රමවත් තැනැන්වහන්සේ” නැතහොත් “බලවත් තැනැන්වහන්සේ” අදහස් කරයි. ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ මීට සමාන වදන තෙ.ඔස්’ ය.
තවදුරටත්, යෙසායා 9:6 හි පාවිච්චි කරන ලද හෙබ්‍රෙව් වදන පුත්‍රයාණන් හා දෙවියන් වහන්සේ අතර නිශ්චිත වෙනසක් පෙන්වයි. එහි පුත්‍රයාණන් ව “පරාක්‍රමවත් දෙවියන්වහන්සේ,” ’එල් ගිබ්·බොහ්ර්’ ’El Gib·bohr’ යනුවෙන් විනා, “සර්වපරාක්රමවත් දෙවියන්වහන්සේ” යනුවෙන් හඳුන්වා නැත. ඒ සඳහා යෙදිය යුතු හෙබ්‍රෙව් වදන ’එල් ෂඩ්·ඩායි’ ’El Shad·dal’ වන අතර, එය යෙහෝවඃ දෙවියන් වහන්සේට පමණක් අසහාය ව අදාළ වේ.
පුත්‍රයාණන් ව “දෙවියන් වහන්සේ” යයි ජස්ටින් විසින් හැඳින්වුව ද, පුත්‍රයාණන් වනාහි, ඒ එක් එක්කෙනා දෙවියන් වහන්සේ වනමුත්, තිදෙනා ම එක් දෙවියන් වහන්සේ පමණක් සකසන, එක හා සමාන පුද්ගලයන් තිදෙනාගෙන් එක් කෙනෙක් යයි ඔහු කෙසේ හෝ නොපවසන බව සැලකිල්ලට ගන්න. ඒ වෙනුවට ඔහු සිය ඩයලොග් විත් ට්රයිෆෝ නම් පොතේ මෙසේ පවසයි:
“සියලු දේවල මැවුම්කරුවාණන්ට [සර්වබලධාරී දෙවියන් වහන්සේට] යටත් වූ, තවත් දෙවි කෙනෙක් හා ස්වාමියෙක් [මනුෂ්‍යයෙක් වීමට පෙර යේසුස් වහන්සේ] . . . සිටින සේක. වඩා ඉහළින් වෙනත් දෙවි කෙනෙක් නොසිටින—සියල්ලෙහි මැවුම්කරුවාණන් මනුෂ්‍යයාට නිවේදනය කිරීමට කැමති වන ඕනෑ ම දෙයක් උන් වහන්සේ [පුත්‍රයාණන්] නිවේදනය කරන බැවින්, එතුමන් ව [පුත්‍රයාණන් ව] දේව දූතයෙක් ලෙස ද හඳුන්වා ඇත. . . .
“[පුත්‍රයාණන්] සියල්ල මවා වදාළ තැනැන් වහන්සේගෙන් වෙනස් වන සේක—මා අදහස් කරන්නේ, කැමැත්තෙහි [වෙනස් බවක්] නොව, සංඛ්‍යාත්මක වශයෙන් ය.”11
ක්‍රිස්තියානින් අදේව වාදීන් බවට වූ මිථ්‍යා දෘෂ්ටික චෝදනාවට විරුද්ධ ව ඔහු කරුණු දක්වන, ජස්ටින්ගේ ෆස්ට් අපොලජි නම් පොතේ, 6වන පරිච්ඡේදයේ සිත්ගන්නා කොටසක් දක්නට ලැබේ. ඔහු එහි මෙසේ ලියයි:
“උන් වහන්සේත් [දෙවියන් වහන්සේ] පුත්‍රයාත් එනම් (උන් වහන්සේ වෙතින් පැමිණ අපට මේ දේවල් ඉගැන්නුවා වූ තැනැන් වහන්සේ ද, වෙනත් යහපත් දේව දූත සේනාවන් උන් වහන්සේ අනුකරණය කරමින් උන් වහන්සේ හා සමාන කරනු ලබන්නා වූ අය ද) එසේ ම දිවැස් ආත්මයත්, අපි නමස්කාර කර ගෞරව කරමු.”12
මෙම කොටසේ පරිවර්තකයෙක් වන, බර්නාඩ් ලොහ්සෙ, මෙසේ අදහස් දක්වයි: “මෙම ගණන් ගැනීමෙහි දේව දූතයන් ක්‍රිස්තියානින් විසින් ගෞරව හා නමස්කාර කරනු ලබන්නා වූ අය ලෙස සඳහන් කොට ඇත. එපමණක් නොව ශුද්ධාත්මය නම් කරන්නට පෙර දේව දූතයන් සඳහන් කරන්නට ජස්ටින් මැලි නොවෙයි.”13—ඇන් එස්සේ ඔන් ද ඩිවෙලප්මන්ට් ඔෆ් ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින් ද බලන්න.14
මෙසේ, ජස්ටින් මාටර් ක්‍රිස්තියානි නමස්කාරයේ පරමාර්ථය කවරෙක් විය යුතු ද යන විෂය පිළිබඳ බයිබලයේ නිර්මල ධර්ම ඉගැන්වීමෙන් ඉවත් ව ඇති බව පෙනෙන්නට ඇතත්, දේව දූතයන් උන් වහන්සේට සමාන යයි සලකනු නොලැබුවාක් මෙන්, ඔහු පැහැදිලි ව ම පුත්‍රයාණන් පියාණන්ට සමාන යයි කල්පනා කළේ නැත. ජස්ටින් සම්බන්ධයෙන්, ලැම්සන්ගේ චර්ච් ඔෆ් ද ෆස්ට් ත්‍රී සෙන්චරීස් නම් ග්‍රන්ථයෙන් අපි යළිත් උපුටා දක්වන්නෙමු.
“පුත්‍රයාණන් දෙවියන් වහන්සේගෙන් වෙනස් එමෙන් ම උන් වහන්සේට වඩා පහත් යයි ජස්ටින් සැලකී ය: වෙනස් වනුයේ, නූතන හැඟීමෙන් නොව, එනම් උපභවන, හෙවත් පුද්ගලයන් තිදෙනාගෙන් කෙනෙක් සකසන ස්වභාවයෙන් නොවේ ය. . . . නමුත් නියම තත්ත්වයෙන් හා ස්වභාවයෙන් වෙනස් වේ: තමන්ගේ සියලු බලයන් හා පදවි නාම ලැබුවා වූ, දෙවියන් වහන්සේගෙන් වෙනස්, සැබෑ, විද්‍යමාන, පුද්ගලික පැවැත්මක් ඇති ව සිටින කෙනෙකු වශයෙන් ය; තව ද උන් වහන්සේ යටතේ පත් කරනු ලැබ, උන් වහන්සේගේ කැමැත්ත උදෙසා සියලු කාරණාවල දී යටත් ව සිටින සේක. පියාණන් උත්තරීතර වන සේක; පුත්‍රයාණන් උප සේවකයෙක් ය; පියාණන් බලයේ උල්පත වන සේක; පුත්‍රයාණන් ලබන තැනැත්තා ය; පියාණන් උත්පාදකයා ය; පුත්‍රයාණන්, උන් වහන්සේගේ මෙහෙකරුවා නැතහොත් මෙවලම හැටියට ක්‍රියාවට නංවයි. ඔවුහු සංඛ්‍යාවෙන් දෙදෙනෙක් වනමුත්, කැමැත්ත සම්බන්ධයෙන් එක්කෙනෙක් ව සිටිත්: පියාණන්ගේ කැමැත්ත නිතර පුත්‍රයාණන් සමඟ ඇත්තේ ය.”15
මීට අමතර ව, කිසි ම තැනක ශුද්ධාත්මය පියාණන්ට හෝ පුත්‍රයාණන්ට සමාන තැනැත්තෙක් යයි ජස්ටින් පවසන්නේ නැත. එබැවින් ජස්ටින් නූතන ක්‍රිස්තියානි ලෝකයේ ත්‍රිත්වය ඉගැන්නුවේ යයි අවංක ව කිසි ම අර්ථයකින් කිව නොහැකි ය.
ක්ලෙමන්ට් ඉගැන්වූ දෙය
ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් (පො.යු. 150 පමණ සිට 215) පුත්‍රයාණන් ව “දෙවියන් වහන්සේ” යයි හඳුන්වයි. බයිබලයේ යේසුස් වහන්සේට යොමු දක්වමින් කිසි ලෙසකින් පාවිච්චි නොකරන ලද වදනක් වන, “මැවුම්කරුවාණන්” යනුවෙන් ද ඔහු උන් වහන්සේ ව අමතයි. පුත්‍රයාණන් සෑම ආකාරයකින් ම සර්වබලධාරී මැවුම්කරුවාණන්ට සමාන ව සිටි බව ඔහු අදහස් කළේ ද? නැත. ක්ලෙමන්ට් මෙහි දී යොහන් 1:3ට යොමු දක්වමින් සිටි බව පැහැදිලි ය. එහි පුත්‍රයාණන් පිළිබඳ ව කියවන්නට ඇත්තේ: “උන්වහන්සේ කරණකොටගෙන සියල්ල සාදනලද්දේය” යනුවෙනි.16 දෙවියන් වහන්සේ, ස්වකීය මැවීමේ ක්රියාවලියෙහි නියෝජිතයෙක් ලෙස ස්වකීය පුත්‍රයාණන් ව යොදා ගත් සේක.—කොලොස්සි 1:15-17.
උත්තරීතර දෙවියන් වහන්සේ ව “අපගේ ස්වාමි වූ යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේ හා පියාණන්” ලෙස ක්ලෙමන්ට් හඳුන්වන අතර,17 “ස්වාමින් වහන්සේ මැවුම්කරුවාණන්ගේ පුත්‍රයාණන්” බව පවසයි.18 ඔහු තවදුරටත් මෙසේ පවසයි: “සියල්ලන්ගේ දෙවියන් වහන්සේ එක් යහපත්, යුක්ති සහගත මැවුම්කරුවෙක් පමණක් වන අතර, පුත්‍රයාණන් පියාණන් තුළ සිටින්නේ ය.”19 එබැවින් පුත්‍රයාට ඉහළින් දෙවිකෙනෙක් සිටින බව ඔහු ලීවේ ය.
දෙවියන් වහන්සේ ගැන කථා කරන ක්ලෙමන්ට්, උන් වහන්සේ “සදාකාල ජීවිතය පිරිනමන පළමු හා එක ම තැනැත්තා” ලෙසත්, “උන් වහන්සේගෙන් (දෙවියන් වහන්සේගෙන්) එය ලැබූ පුත්‍රයාණන්, අපට දානය කරන” බවත් පවසයි.20 සදාකාල ජීවිතයේ මුල් ම ධානපතියාණන්, පවතින ආකාරයට, එය දිගට ම ලබා දෙන තැනැත්තාට වඩා පැහැදිලි ව උත්තරීතර ව සිටින සේක. මෙසේ, දෙවියන් වහන්සේ “පළමු හා උතුම් ම” වන්නේ යයි ක්ලෙමන්ට් පවසයි.21 පුත්‍රයාණන් “සර්වබලධාරී ලෙස පවතින එක ම තැනැන් වහන්සේ වශයෙන් සිටින තැනැත්තේට වඩාත් ම සමීප ව සිටින” බවත්, එසේ පුත්‍රයාණන් “පියාණන්ගේ කැමැත්තට එකඟ ව සියලු දේවල් විධාන කරන” බවත් වැඩිදුරටත් ඔහු පවසයි.22 පුත්‍රයාට වඩා සර්වබලධාරී දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ක්ලෙමන්ට් වරින් වර පෙන්වා දෙයි.
ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් සම්බන්ධයෙන් ද චර්ච් ඔෆ් ද ෆස්ට් ත්‍රී සෙන්චරීස් නම් පොතේ අපට මෙසේ කියවීමට ඇත:
“පුත්‍රයාණන්ගේ පහත්බව පැහැදිලි ව ස්ථිර ලෙස ප්‍රකාශ කර ඇති අනේකාකාර කොටස් ක්ලෙමන්ට්ගෙන් අපට උපුටා දක්විය හැකි ය. . . .
“ඕනෑ ම කෙනෙකුට ක්ලෙමන්ට් ව සාමාන්‍ය අවධානයෙන් යුක්ත ව කියවා ඔහු පුත්‍රයාණන් ව පියාණන් සමඟ අනන්යත්වයෙන් සමාන—එක ම තැනැත්තා—ලෙස සැලකූ බව සුළු මොහොතකට කල්පනා කළ හැකි වීම ගැන අපි පුදුමයට පත් වෙමු. උන් වහන්සේගේ රඳා පැවැත්ම හා බාල කරන ස්වභාවය, සෑම තැන ම පිළිගෙන ඇති බව අපට පෙනෙන්ට තිබේ. දෙවියන් වහන්සේ හා පුත්‍රයාණන් සංඛ්‍යාත්මක වෙනස් වන බව ක්ලෙමන්ට් විශ්වාස කළේ ය; වෙනත් වචනවලින් කියතොත්, දෙදෙනෙක් ය—එක්කෙනෙක් උත්තරීතර ය, අනෙක් තැනැත්තා උප සේවකයෙක් ය.”23
වැඩිදුරටත්, ක්ලෙමන්ට් යේසුස් වහන්සේ පිළිබඳ ව බයිබලය පවසන දෙය අභිබවා යන බවක් පෙනෙන්නට තිබුණත්, ඔහු කිසිදු තැනක එක් දෙවිකෙනෙක් තුළ සමාන තිදෙනෙකුගෙන් නිර්මිත ත්‍රිත්වයක් ගැන කථා නොකරන බව යළිත් කිව හැකි ය. ජස්ටින් හා ක්ලෙමන්ට් ජීවත් වූ කාලාන්තරයේ විසූ ටාෂියන්, තියෝෆිලස්, හා අතෙනාගොරස් වැනි අපොලොජිස්තවරු, සමාන අදහස් දැරූහ. ඔවුන් “ජස්ටින් මෙන් ත්‍රිත්ව වාදීන් නොවූ බව, එනම්, ඔවුන් නොබෙදුණු, එක සමාන තිදෙනෙක් කෙරෙහි විශ්වාස නොකළ අතර, මෙම විශ්වාසයත් සමඟ සහමුලින් ම එකඟ කළ නොහැකි ධර්මයක් ඉගැන්වූ” බව ලැම්සන් පවසයි.24
ටර්ටූලියන්ගේ දේව ධර්මය
ට්රිනිටාස් යන ලතින් වදන පාවිච්චි කළ පළමු තැනැත්තා ටර්ටූලියන් ය (පො.යු. 160 පමණ සිට 230). හෙන්රි චැඩ්වික් විසින් සඳහන් කරන ලද ලෙසින්, දෙවියන් වහන්සේ ‘පුද්ගලයන් තිදෙනෙකුගෙන් සමන්විත එක් ස්වභාවයක්” යයි ටර්ටූලියන් යෝජනා කළේ ය.25 මෙය කෙසේ නමුත්, එක සමාන, හා එක ම සදාකාලික බවක් ඇති තිදෙනෙක් ඔහුගේ මනසේ තිබූ බව අදහස් නොකරයි. කෙසේ නමුත්, ත්‍රිත්ව ධර්මය කෙරෙහි ක්‍රියා කරමින් සිටි යථා කාලීන ලේඛකයන් විසින් ඔහුගේ සංකල්පයන් මත ගොඩනගනු ලැබී ය.
ටර්ටූලියන් උප සේවකත්ව වාදියෙකු ව සිටි නිසා, පියාණන්, පුත්‍රයාණන්, හා ශුද්ධාත්මය පිළිබඳ ඔහුගේ සංකල්පය ක්‍රිස්තියානි ලෝකයේ ත්‍රිත්වයට බොහෝ සෙයින් වෙනස් විය. ඔහු පුත්‍රයාණන් ව පියාණන්ට වඩා අඩු වැදගැන්මකින් යුක්ත අයෙක් ලෙස කල්පනා කළේ ය. එගේන්ස්ට් හර්මොජෙනීස් නම් ග්‍රන්ථයේ ඔහු මෙසේ ලීවේ ය:
“නූපන් මෙන් ම නොමවන ලද එක ම තැනැන් වහන්සේ වන දෙවියන් වහන්සේ හැරුණු කොට වෙනත් යමෙක් සිටින්නේ යයි අප කල්පනා කළ යුතු නැත. . . . පියාණන් හැර, වෙනත් යමක් වඩාත් පැරණි විය යුත්තේ කෙසේ ද, එමෙන් ම මෙනිසා දේව පුත්‍රයාණන්ට, ඒක ජාතකයාණන්ට හා මුලින් ම උත්පාදනය කරන ලද වාක්යාණන්ට වඩා, ඇත්ත වශයෙන් ම උදාරතර වන්නේ කවරෙක් ද? . . . පැවැත්මක් ලබා දීමට සැදුම්කරුවෙක් ඕනෑ නොකළ [දෙවියන් වහන්සේ], තමන්ට පැවැත්මක් ලබා දීමට කර්තෘවරයෙක් ඇති ව සිටි තැනැත්තාට [පුත්‍රයාණන්ට] වඩා පදවියෙන් බොහෝ උසස් ව සිටිනු ලබනවා ඇත.”26
තව ද, එගේන්ස්ට් ප්රාක්සීස් නම් පොතේ, හෙතෙම පහත දැක්වෙන ප්‍රකාශ කරමින්, පුත්‍රයාණන් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් වෙනස් එමෙන් ම උප සේවකයෙක් ව සිටින බව පෙන්වයි:
“පුත්‍රයාණන් ම: ‘මාගේ පියාණන් මට වඩා උතුම් ය’ යනුවෙන් පිළිගන්නා ලෙසින්, උන් වහන්සේ යමකින් උත්පාදනය වූ යමක් මෙන් ම සමස්තයේ කොටසක් වනමුත්, පියාණන් මුළු ස්වභාවය වන සේක. . . . මෙසේ පියාණන් පුත්‍රයාණන්ට වඩා උතුම් වෙමින්, උත්පාදනය කරන තැනැත්තා එක්කෙනෙක් හා උත්පාදනය ලබන තැනැත්තා වෙනත් කෙනෙක් වන්නා සේ; යවන තැනැත්තා එක් කෙනෙක් හා යවනු ලබන තැනැත්තා තවත් අයෙක් ද වන්නා සේ; එසේ ම සාදන තැනැත්තා එක් කෙනෙක් හා සෑදීමට පාවිච්චි කරනු ලබන තැනැත්තා තවත් අයෙක් වන්නා සේ, පියාණන් පුත්රයාණන්ගෙන් වෙනස් වන සේක.”27
ටර්ටූලියන්, අගේයින්ස්ට් හර්මොජෙනීස් නම් පොතේ, තමා පුත්‍රයාණන් ව දෙවියන් වහන්සේ සිටි ස්වභාවයෙන් ම සදාකාලික තැනැත්තෙක් ලෙස නොසැලකූ බව පෙන්වමින්, පුත්‍රයාණන් පුද්ගලයෙක් හැටියට නොපැවති කාලයක් තිබූ බව වැඩිදුරටත් පවසයි.28 “ටර්ටූලියන් අපගේ ස්වාමීන් වහන්සේගේ සදාකාලික උත්පාදකය පිළිබඳ ධර්මය ගැන විපරිත දෘෂ්ටියක් [සත්‍යලබ්ධික නොවන වෙනස් ධර්මයන් විශ්වාස කරමින්] ඇති කෙනෙක් ලෙස සැලකිය යුතුයි.”29 ටර්ටූලියන් සම්බන්ධයෙන්, ලැම්සන් මෙසේ සඳහන් කරයි:
“මෙම හේතුව නැතහොත් ග්‍රීක්වරුන් විසින් හඳුන්වන ලද ලෙසින්, ලෝගොස් [වාක්‍යාණෝ], යථා කාලයේ දී, ටර්ටූලියන් විශ්වාස කළ ආකාරයට, වාක්‍යාණෝ, නැතහොත් පුත්‍රයාණන්, එනම්, පියාණන්ගේ චරිතාංගයක් ලෙස සදාකාලයේ පටන් පමණක් පැවත තිබුණ යමක සිට, සැබෑ කෙනෙක් බවට මාරු කරනු ලැබී ය. ටර්ටූලියන්, කෙසේ නමුත්, උන් වහන්සේට පියාණන්ට වඩා අඩු වැදගත්කමකින් යුත් පදවියක් දුන්නේ ය . . .
වත්මන් දවසේ ත්‍රිත්වය පිළිබඳ ව පොදුවේ පිළිගත් අර්ථ දැක්මකට අනුව තීරණය කරනු ලබන කල, ටර්ටූලියන් ව [මිථ්‍යා ලබ්ධිකයෙක් ලෙස] දෝෂාරෝපණයට ලක් කිරීමෙන් බේරා ගැනීමට වූ වෑයම බලාපොරොත්තු බිඳ වැටෙන එකක් වනු ඇත. ඔහුට මොහොතකට හෝ පරීක්ෂණය හමුවේ සිටිය නොහැකි ය.”30
ත්‍රිත්වයක් නොමැත
ඔබ අපොලොජිස්තවරුන්ගේ සියලු වදන් කියන්නට යෙදුණේ නම්, ඔවුන් ඇතැම් ආකාරයන්ගෙන් ගත් කල බයිබලයේ ඉගැන්වීම්වලින් ඉවත් වී තිබුණ ද, ඔවුන්ගෙන් කිසිවෙක් පියාණන්, පුත්‍රයාණන්, හා ශුද්ධාත්මය සදාකාලිත්වයෙන්, බලයෙන්, තත්ත්වයෙන් හා ප්‍රඥාවෙන් එක සමාන යයි ඉගැන්නුවේ නැති බව දකිනු ඇත.
මෙය දෙවන හා තෙවන ශතවර්ෂවල අයිරේනෙස්, හිපොලිටස්, ඔරිගෙන්, සයිප්‍රියන්, හා නොවේෂියන් වැනි වෙනත් ලේඛකයන් සම්බන්ධයෙන් ද සැබෑ වේ. සමහරෙක් පියාණන් හා පුත්‍රයාණන් ඇතැම් ආකාරයන්ගෙන් සමසේ සලකන්නට යෙදුණ ද, අන් ආකාරයන්ගෙන් ඔවුහු පුත්‍රයාණන් පිය වූ දෙවියන් වහන්සේට වඩා පහත් යයි කල්පනා කරන්නට යෙදුණාහ. එමෙන් ම ඔවුන්ගෙන් කිසිවෙක් ශුද්ධාත්මය පියාණන් හා පුත්‍රයාණන්ට සමාන ව තිබූ බව අනුමාන කළේවත් නැත. උදාහරණයක් වශයෙන්, ඔරිජන් (පො.යු. 185 පමණ සිට 254), දේව පුත්‍රයාණන් “මුළු මැවිල්ලේ කුළුඳුලාණෝ” බවත්, ශුද්ධලියවිලි “උන් වහන්සේ මුළු මැවීමේ ක්‍රියාවලියෙන් පුරාණතම මැවිල්ල ලෙස හඳුනන” බවත් පවසයි.31
මුල් සභා බලධාරීන්ගේ විෂයට සම්බන්ධිත ඕනෑ ම කියවීමක් ක්‍රිස්තියානි ලෝකයේ ත්‍රිත්ව ධර්මය ඔවුන්ගේ කාලයේ නොපැවති බව පෙන්වනු ඇත. ද චර්ච් ඔෆ් ද ෆස්ට් ත්‍රී සෙන්චරීස් නම් පොත මෙසේ පවසන්නාක් මෙන් ය:
“සුප්‍රකට වූ නූතන ත්‍රිත්ව ධර්මය . . . ජස්ටින්ගේ ලිපිවලින් කිසි අනුබලයක් නොලබයි: තව ද මෙම නිරීක්ෂණය පූර්ව-නයිසියානු පියවරුන් සම්බන්ධයෙන් ද ව්‍යාප්ත කළ හැකි ය; එනම්, ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ පටන් ශතවර්ෂ තුනක් තුළ විසූ සියලු ක්‍රිස්තියානි ලේඛකයන් කෙරෙහි මෙය ව්‍යාප්ත කළ හැකි ය. ඔවුන් පියාණන්, පුත්‍රයාණන්, හා අනාගතය හෙළි කරන්නක් නොහොත් ශුද්ධාත්මය ගැන කථා කරන බව සැබෑ ය, එහෙත් ඒ දැන් ත්‍රිත්ව වාදීන් විසින් පිළිගෙන ඇති, එක සමාන ලෙස, එක් සංඛ්‍යාත්මක භාවයක් ලෙස, එක්කෙනෙක් තුළ තිදෙනෙක් ලෙස නොවේ ය. කාරණය වනුයේ ඊට හාත්පසින් ම පටහැනි දෙයයි. ත්‍රිත්ව ධර්මය, මෙම පියවරුන් විසින් විස්තර කරන ලද ආකාරයට, නූතන ධර්මයෙන් මූලික ව වෙනස් වේ. මනුෂ්‍ය මතයන් පිළිබඳ ඉතිහාසයේ පරීක්ෂාවට භාජනය කළ හැකි ඕනෑ ම සත්‍යයක් මෙන්, සත්‍යයක් ලෙස අපි මෙය පවසන්නෙමු.”32
ඇත්ත වශයෙන් ම, ටර්ටූලියන්ට පෙර ත්‍රිත්වය සඳහන් කරනු ලැබුවේවත් නැත. තව ද ටර්ටූලියන්ගේ “විපරිත දෘෂ්ටි සහිත” ත්‍රිත්වය අද දින විශ්වාස කරනු ලබන දෙයට වඩා බොහෝ වෙනස් විය. එසේ නම්, අද දින තේරුම් ගනු ලැබ ඇති ආකාරයට ත්‍රිත්ව ධර්මය වර්ධනය වූයේ කෙසේ ද? එය පො.යු. 325 නයිසියා සම්මන්ත්‍රණයේ දී සිදු වී ද? අප මෙම ප්‍රශ්න මුරටැඹ මතු කලාපයක මෙම මාලාවේ 4වන කොටසේ පරීක්ෂා කර බලනු ඇත. w92 4/1
යොමු සටහන්:
1. ඒ ෂෝට් හිස්ටරි ඔෆ් ද අර්ලි චර්ච්, හැරී ආර්. බොවර් විසිනි. 1976, පිටුව 110.
2. ද ෆෝමේෂන් ඔෆ් ක්‍රිස්ටියන් ඩොග්මා, මාටින් වර්නර් විසිනි. 1957, පිටුව 125.
3. ද සර්ච් ෆෝ ද ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින් ඔෆ් ගෝඩ්, ආර්. පී. සී. හැන්සන් විසිනි. 1988, පිටුව 64.
4. ද චර්ච් ඔෆ් ද ෆස්ට් ත්‍රී සෙන්චරීස්, ඇල්වන් ලැම්සන් විසිනි. 1869, පිටු 70-1.
5. ගෝඩ්ස් ඇන්ඩ් ද වන් ගෝඩ්, රොබර්ට් එම්. ග්‍රාන්ට් විසිනි. 1986, පිටු 109, 156, 160.
6. ද ෆෝමේෂන් ඔෆ් ක්‍රිස්ටියන් ඩොග්මා, පිටු 122, 125.
7. දි ඉන්ටනැෂනල් ස්ටෑන්ඩර්ඩ් බයිබල් එන්සයික්ලෝපීඩියා, 1982, 2වන කාණ්ඩය, පිටුව 513.
8. ඇන් එස්සේ ඔන් ද ඩිවලප්මන්ට් ඔෆ් ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින්, ජෝන් හෙන්රි කාර්ඩිනල් නිව්මන් විසිනි. හයවන සංස්කරණය. 1989. පිටු 14-18.
9. දි ඇන්ටෙ-නයිසීන් ෆාදර්ස්, ඇලෙක්සැන්ඩර් රොබර්ට්ස් හා ජේම්ස් ඩොනෙයිඩ්සන් විසින් සංස්කරණය කරන ලද. එඩින්බර්ග් සංස්කරණයේ අමෙරිකානු නැවත මුද්‍රණය. 1885. Iවන කාණ්ඩය, පිටුව 264.
10. එම, පිටු 184.
11. දි ඇන්ටෙ-නයිසීනෙ ෆාදර්ස්, Iවන කාණ්ඩය, පිටුව 223.
12. එම, පිටුව 164.
13. ඒ ෂෝට් හිස්ටරි ඔෆ් ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින්, බර්නාඩ් ලොහ්සෙ විසිනි. ජර්මන් භාෂාවේ සිට එෆ්. අර්නස්ට් ස්ටොල්ෆ්ර් විසින් ජර්මන්වලින් පරිවර්තනය කරනු ලැබී ය. 1963. කඩදාසි බැම්ම සහිත මුද්‍රණය. 1980. පිටුව 43.
14. ඇන් එස්සේ ඔන් ද ඩිවලප්මන්ට් ඔෆ් ක්‍රිස්ටියන් ඩොක්ට්‍රින්, පිටුව 20.
15. ද චර්ච් ඔෆ් ද ෆස්ට් ත්‍රී සෙන්චරීස්, පිටු 73-4, 76.
16. දි ඇන්ටෙ-නයිසීන් ෆාදර්ස්, IIවන කාණ්ඩය, පිටුව 234.
17. එම. පිටුව 227.
18. එම. පිටුව 228.
19. එම.
20. එම. පිටුව 593.
21. එම.
22. එම. පිටුව 524.
23. ද චර්ච් ඔෆ් ද ෆස්ට් ත්‍රී සෙන්චරීස්, පිටු 124-5.
24. එම. පිටු 95.
25. දි අර්ලි චර්ච්, හෙන්රි චඩ්වික් විසිනි. 1980 මුද්‍රණය. පිටුව 89.
26. දි ඇන්ටෙ-නයිසීන් ෆාදර්ස්, IIවන කාණ්ඩය, පිටුව 487.
27. එම. පිටු 603-4.
28. එම. පිටුව 478.
29. ඇන් එස්සේ ඔන් ද ඩිවලප්මන්ට් ඔෆ් ක්‍රිස්ටියන් ඩොක්ට්‍රීන්, පිටු 19, 20.
30. ද චර්ච් ඔෆ් ද ෆස්ට් ත්‍රී සෙන්චරීස්, පිටු 108-9.
31. දි ඇන්ටෙ-නයිසීන් ෆාදර්ස්, IVවන කාණ්ඩය, පිටුව 560.
32. ද චර්ච් ඔෆ් ද ෆස්ට් ත්‍රී සෙන්චරීස්, පිටු 75-6.
[27වන පිටුවේ පින්තූරය]
ක්ලෙමන්ට්
[හිමිකම් විස්තර]
Historical Pictures Service
[28වන පිටුවේ පින්තූරය]
ටර්ටූලියන්
[හිමිකම් විස්තර]
Historical Pictures Service