කරුණාවන්ත රෝම ශතාධිපතියා
කරුණාව දැක්වීම සම්බන්ධයෙන් රෝම ශතාධිපතින්ට හොඳ කීර්ති නාමයක් තිබුණේ නැත. යුද්ධයෙන් හැඩි දැඩි වූ සොල්දාදුවන් සියයක කණ්ඩායමක් මෙහෙය වීමට පත් කොට සිටි මෙම ශතාධිපතියෙකුට සරඹ පුහුණු කරවන්නෙකු, හික්මවන්නෙකු සහ ඇතැම් අවස්ථාවන්හි දී වධකයෙකු වීමට පවා සිදු විණි. එහෙත්, ප්‍රේරිත පාවුල් හට නියම ත්‍යාගශීලීත්වය සහ දයානුකම්පාව දැක් වූ අගොස්තීනු කණ්ඩායමට අයත් රෝම ශතාධිපතියෙකු ගැන බයිබලය අපට පවසයි. ඔහුගේ නම? ජූලියස් ය.
බයිබලය මෙම මිනිසා ව අපට හඳුන්වා දෙන්නේ ක්‍රියා 27වන පරිච්ඡේදයෙහි ය. රෝමයේ දී කායිසර්ගෙන් තමාගේ අභියාචනය අසන ලෙස ප්‍රේරිත පාවුල් ඉල්ලා සිටියේ ය. මේ නිසා, තවත් සිරකරුවන් කිහිපදෙනෙකුත් සමඟ, පාවුල් ව “අගොස්තීනු කණ්ඩායමට අයත් ජූලියස් නම් සියයකට මුලාදෑනියෙකුගේ” රැකවරණයට භාර දෙන ලදි. රෝම හමුදාවල මූලස්ථානයක් වශයෙන් තිබූ යෙරුසලමට වයඹින් පිහිටි වරාය නගරයක් වූ කායිසරයේ සිට ඔවුහු නැවෙන් යාත්‍රා කළෝ ය. ඉතිහාසඥ ලූක් මෙසේ පවසයි: “පසුවදා සීදොන්ට පැමිණියෙමුව. ජූලියස් පාවුල්ට මිත්‍රකම් පෙන්වමින් [මිනිස් කරුණාවන්තකමින් සලකමින් NW], ඔහුගේ මිත්‍රයන් ළඟට යන්ටද පහසු ලබන්ටද ඔහුට ඉඩ හැරියේය.”—ක්‍රියා 27:1-3.
ජූලියස් එවන් කරුණාවන්තකමක් පෙන්වීමට පෙලඹුනු හේතුව ගැන බයිබලයේ කිසිවක් සඳහන් ව නැත. පාවුල් හට විශේෂ සැලකිල්ලක් දක්වන මෙන් ඔහු ආණ්ඩුකාර පෙස්තුස්ගෙන් අණ ලැබ තිබුණා වන්නට පුළුවන. නැතහොත් සමහර විට පාවුල්ගේ තත්ත්වයන් ගැන හොඳින් හුරුපුරුදු ව සිටි නිසාවෙන්, පාවුල්ගේ ධෛර්ය සම්පන්නකම සහ අඛණ්ඩතාවය ගැන ඔහු මවිතයට පත් ව සිටියා විය හැක. හේතුව කුමක් වුවත්, පාවුල් සාමාන්‍ය සිරකරුවෙකු නොවන බවට ජූලියස් අගය කළ බවක් පෙනෙන්නට තිබේ.
එසේ වුවත්, සුන්දර වරායේ සිට යාත්‍රා නොකරන මෙන් පාවුල් කළ අනතුරු ඇඟවීමට ජූලියස් සවන් දීමට තෝරා ගත්තේ නැත. වැඩි වේලාවක් යන්නට මත්තෙන් නැව චණ්ඩ මාරුත සුළඟකට හසු වූ අතර, උතුරු අප්‍රිකාවේ වෙරළ අසබඩ පිහිටි වැලි කණ්ඩි මත නැව ගසා ගෙන යාමේ අවදානම ඇති විය. (ක්‍රියා 27:8-17) මෙම චණ්ඩ මාරුතය මැද නැගී සිටි පාවුල්, ‘නැව මිස, ජීවිත නැති වීමක් නොවන්නේ’ යයි කියමින් බියට පත් නැවියන් ව සංසිඳවාලූයේ ය. කෙසේ වුවත් පසු ව නාවිකයන් කිහිප දෙනෙක් පලා යාමට වෑයම් කළහ. ඉන් පසු පාවුල් ජූලියස්ට මෙසේ පැවසී ය: “මොවුන් නැවේ සිටියොත් මිස නැත්නම් නුඹලාට ගැලවෙන්ට නුපුළුවන.”—ක්‍රියා 27:21, 22, 30, 31.
මේ අවස්ථාවේ දී, ජූලියස් පාවුල්ට සවන් දුන් අතර, නැවියන් පලා යාම ව්‍යර්ථ කරන ලදි. පාවුල් කලින් කී දේ සැබෑ කරවමින් නැව වැලි කණ්ඩියක හිර වී විනාශ විය. සිරකරුවන් පැන යාවි යයි බියට පත් සොල්දාදුවෝ ඔවුන් සියල්ලන් ව මැරීමට තීරණය කළෝ ය. එහෙත් යළිත් වරක් ජූලියස් මැදිහත් වී තමාගේ මිනිසුන් ව ඉන් වළක්වා ගත් අතර, ඒ නයින් පාවුල්ගේ ජීවිතය ගැලවිණි.—ක්‍රියා 27:32, 41-44.
මෙම කරුණාවන්ත ශතාධිපතියාට කුමක් සිදුවූවා ද කියා හෝ ඔහු යම් දිනෙක ක්‍රිස්තියානි ඇදහිල්ල වැලඳ ගත්තා ද කියා හෝ බයිබලය අපට නොපවසයි. ඔහු පෙන් වූ කරුණාවන්තකම කුමක් වුවත්, එය දෙවියන් වහන්සේ විසින් දී ඇති හෘදය සාක්ෂිය ක්‍රියාත්මක වීම පිළිබිඹු කරන්නක් විය. (රෝම 2:14, 15) කෙසේ වුවද, ක්‍රිස්තියානිහු හුදෙක් මිනිස් කරුණාව ඉක්මවා ගොස්, දෙවියන් වහන්සේගේ ආත්මය ලැබීමෙන් ප්‍රතිඵල කරවන දිව්‍ය කරුණාවන්තකම විදහා පෙන්වති. (ගලාති 5:22) නිසැක ව ම, දෙවියන් වහන්සේ ව දැන නොසිටියා වූ මිථ්‍යාදෘෂ්ටික සොල්දාදුවෙකුට කරුණාවන්තකම පෙන්වන්නට පුළුවන් වූවා නම්, දෙවියන් වහන්සේගේ සෙනඟ ඊට වඩා කොපමණ වැඩියෙන් එසේ කරන්නට පෙලඹිය යුතු ද! w91 11/15