දෙවියන් වහන්සේගේ සංවිධානයට සමීප ව ඇලී සිටීම
රෝයි ඒ. රයන් විසින් පවසන ලදි
එය විවෘත පිටිසර බද පළාතක විශාල වැලි කන්දකට නොවැඩි යමක් ව තිබූ බැවින්, මිසෝරි, සෑන්ඩ්හිල් යන නාමය, ඉතා උච්ත ලෙස තබනු ලැබූවකි. මෙම සතර මං සන්ධියෙන් යුත් ග්‍රාමය, රට්ලෙජ්ට සැතපුම් තුනක් බටහිර දිගින් පිහිටා තිබූ අතර එහි තිබුණේ ගෙවල් අටක් හෝ නවයක්, මෙතෝදිස්ත පල්ලියක්, හා කුඩා කම්මලක් පමණි. මම එහි 1900 ඔක්තෝබර් 25වන දින උපත ලදිමි.
මගේ පියා ගමේ කම්මල්කරුවා විය. මගේ මව්පියන් කලාතුරකින් පල්ලි ගිය ද, මව මෙතෝදිස්ත පල්ලියේ ඉරිදා පාසලට මා යවන්නට පටන් ගත්තා ය. කෙනෙකු ව ක්‍රිස්තියානියෙක් ලෙස හැඳින්විය යුතු යයි විශ්වාස කළ මම, මෙතෝදිස්ත භක්තිකයෙක් යන නාමයට ප්‍රිය නොකළෙමි: එහෙත් මම බයිබල් සත්‍යයට පිපාසාවක් හා සදාකාල ජීවිතය කෙරෙහි උනන්දුවක් ඇති කර ගත්තෙමි.
මම අවුරුදු 16 වයස් ව සිටිය දී, සන්ටා ෆේ දුම්රිය මාර්ගයේ වැඩට ගියෙමි. ජිම් නම් ලත්, ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන්ගෙන් කෙනෙක් (එවකට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් හඳුන්වනු ලැබූ ආකාරය) අපගේ දුම්රිය මාර්ග සේවක කණ්ඩායමත් සමඟ වැඩ කරන්නට පැමිණි අතර ඔහුත් මමත් නිතර එකට වැඩ කළෙමු. තමාට බයිබලය ගැන කියන්නට තිබූ දේ ජිම් පැවසූ අතර මම සවන් දී සිටියෙමි. එය හොඳ දෙයක් යයි හැඟී ගියෙන්, ඔහුගේ පොත්වලින් එකක් තාවකාලික ව මට දිය හැකි දැයි මම ඇසුවෙමි.
ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන්ගේ සංගමේ සී. ටී. රසල් විසින් ප්‍රකාශයට පත් කරන ලද ස්ටඩීස් ඉන් ද ස්ක්‍රිප්චර්ස් පොතේ පළමුවන කාණ්ඩය ඔහු මට දුන්නේ ය. මා එය ඔහුට ආපසු භාර දුන් විට, මම තවත් කාණ්ඩ ඔහුගෙන් ඉල්ලා ගත්තෙමි. ඉන් වැඩි කලක් යන්නට මත්තෙන්, ඔහු දුම්රිය මාර්ග සේවයෙන් ඉවත් වූ අතර, මට ඔහු ඊළඟට මුණ ගැසුණේ රට්ලෙජ් හි සෙනාරියෝ ඔෆ් ද ෆෝටෝ-ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන් නම් රූප සහිත පොතට ඇණවුම් ලබා ගනිද්දී ය. පසු ව ඔහුගේ නිවසේ පැවැත්වූ රැස්වීමට ඔහු මට ආරාධනා කළේ ය. සෑම ඉරිදාවක ම, මම රැස්වීම සඳහා රට්ලෙජ් වෙතට වූ සැතපුම් තුන පයින් ගමන් කළෙමි.
වර්ෂ 1919 ගෝල්ඩන් ඒජ් (දැන් පිබිදෙව්!) නම් සඟරාව හඳුන්වා දෙනු ලැබූ විට, ක්ෂේත්‍ර සේවය පටන් ගැනීමට මට වුවමනා විය. තවත් බයිබල් ශිෂ්‍යයෙක් හා මම ගෙයින් ගෙට මෙම අලුත් සඟරාව බෙදා දීමට අධිෂ්ඨාන කරගෙන සිටියෙමු. අපගේ ම නගරයේ ජනයා හමුවීම ගැන අපට යම්තරමක බියක් දැනුණ බැවින්, අපි දුම්රියකට නැගී අසල නගරය වෙත ගියෙමු. අපි උදෑසනින් එම නගරය කරා ළඟා වූ විට, අප එකිනෙකා වෙන් ව අපගේ ම සිතැඟියාව අනුව යමින්, අපට මෙම සේවය ගැන පුහුණුවක් නොතිබුණ ද, දහවල දක්වා ගෙවල දොරවල්වලට තට්ටු කළෙමු. මම දායක දෙකක් සඳහා ඇණවුම් ලබා ගතිමි, ඉන් එකක් දුම්රිය මාර්ගයේ මා සමඟ සේවය කළ කෙනෙකුගෙනි.
වර්ෂ 1920 ඔක්තෝබර් 10වන දින, මම රට්ලෙජ් අසල විලක බව්තීස්ම කරනු ලැබීමි. ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන් සමඟ මා සම්බන්ධ වීම ගැන මගේ මව්පියන් විරුද්ධ වූහ. මීට හේතුව 1914-18 දක්වා යුද්ධ තුළ බයිබල් ශිෂ්‍යයන් අත්දුටුවා වූ පූජකයන් විසින් පොලඹවන ලද විරුද්ධවාදිකම් නිසා ය. කෙසේ වුවද, පසු ව, මගේ පියාත් බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීම්වලට සහභාගි වීමට පටන් ගත් අතර ඔහුත් ද ගෝල්ඩන් ඒජ් කියෙව්වේ ය. මගේ මව මිය යන්නට පෙර, ඈ බයිබල් සත්‍ය පිළිබඳ අපගේ අවබෝධයට වඩාත් අනුග්රහශීලී වූවා ය. එහෙත් මගේ පවුලේ කිසිවෙක් කිසිවිටෙක මෙම සත්‍යය තමන්ගේ ම කර නොගත්හ.
පරීක්ෂණාත්මක කාලයක්
ඒ මුල් දිනවල, රට්ලෙජ් හි බයිබලය අධ්‍යයන රැස්වීම්වලට මා හැර තවත් තිදෙනෙක් නිති පතා සහභාගි වූහ. අන්තිමේ දී මේ තිදෙනා සංවිධානය හැර ගියහ. මොවුන්ගෙන් එක් අයෙක් ප්‍රදේශයේ ප්‍රසිද්ධ බයිබල් දේශන ඉදිරිපත් කළ, අති දක්ෂ කථිකයෙකු විය. කෙසේ නමුත්, තමාගේ හැකියාවන් ගැන උඩඟු වූ ඔහු, මුල් ක්‍රිස්තියානින් කළ ආකාරයට ගෙයින් ගෙට දේශනාවේ හවුල්වීම තමාගේ ගරුත්වයට මදිකමක් යයි කල්පනා කළේ ය.—ක්‍රියා 5:42; 20:20.
මේ තිදෙනා ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන් සමඟ ඇසුරු කිරීම නැවැත්වූ විට, ‘යේසුස් වහන්සේගේ මාංසය අනුභව කර ලේ පානය කිරීම’ පිළිබඳ ව යේසුස් වහන්සේ ජනයාට කථා කළ අවස්ථාවෙහි ප්‍රේරිත පේතෘස් මෙන් හැඟුනා, මට මතක ය. උන් වහන්සේගේ ඉගැන්වීම්වලින් පැකිලීමට පත් බොහෝ දෙනෙක්, ඒ අවස්ථාවෙහි උන් වහන්සේ අත්හැර ගියහ. එවිට, යේසුස් වහන්සේ ප්‍රේරිතයන්ගෙන්: “නුඹලාත් අහක්ව යන්ට කැමතිද” යයි ඇසූ සේක. “ස්වාමිනි, අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය” යි පේතෘස් පිළිතුරු දුන්නේ ය.—යොහන් 6:67, 68.
‘යේසුස් වහන්සේගේ මාංසය අනුභව කර ලේ පානය කිරීම’ යන්නෙන් උන් වහන්සේ අදහස් කළ දෙය පේතෘස් සම්පූර්ණයෙන් තේරුම් නොගත්ත ද, යේසුස් වහන්සේට ජීවනයේ වචන ඇති බව ඔහු හඳුනා ගත්තේ ය. සංවිධානය ගැන මට හැඟුණේ එයාකාරයට ය. මා ප්රකාශනවල කිය වූ සියල්ල සෑම විට ම සහමුලින් ම තේරුම් නොගත්ත ද, එයට සත්‍යය තිබිණ. එහෙත්, මා තේරුම් නොගත් යමක් පවසන ලද ඕනෑ ම අවස්ථාවක, මම කිසිවිටෙක ඊට එරෙහි ව වාද විවාද නොකළෙමි. යථා කාලයේ දී, එම විෂය පැහැදිලි කරනු ලැබී ය, නොඑසේ නම් ඇතැම් අවස්ථාවල දෘෂ්ටි කෝණයන් සකස් කරනු ලැබී ය. පැහැදිලි කිරීම ලැබෙන තෙක් ඉවසීමෙන් සිටීම ගැන මම නිතර සතුටු වීමි.—හිතෝපදේශ 4:18.
පුරෝගාමි සේවය කිරීමට සකස්වීම
වර්ෂ 1924 ජූලි මාසයේ, මම ඔහයියෝ, කොලොම්බස් හි, ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වීමි. ද ගෝල්ඩන් ඒජ් එය “යුගයන්වල බයිබල් ශිෂ්‍යයන්ගේ ශ්‍රේෂ්ඨතම සමුළුව” ලෙස විස්තර කළේ ය. එහි ප්‍රබෝධවත් කරවන “අධිචෝදනය” නම් අධිෂ්ඨානය ස්ථිර කර ගනු ලැබී ය. එම සමුළුවේ දී ලැබුණු තොරතුරු හා විදහා පෙන්වනු ලැබූ චිත්ත ස්වභාවය පූර්ණ කාලීන දේව සේවකයෙක්, නැතහොත් පුරෝගාමියෙක් වීමට මා දිරිගැන්වී ය.
සමුළුවෙන් හැරී ඒමෙන් පසු, මා දුම්රිය මාර්ගයේ මගේ සේවයෙන් ඉල්ලා අස් වූ අතර හවුල් බයිබල් ශිෂ්‍යයෙක් හා මම එක් ව පුරෝගාමින් ලෙස සේවය කරන්නට පටන් ගත්තෙමු. කෙසේ නමුත්, ඉන් වසරකට පමණ පසු, මගේ මව්පියන්ට මගේ උපකාරය අවශ්‍ය වන තරමට ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය දුර්වල විය. මා පුරෝගාමි සේවයේ යෙදීමෙන් නැවති ජලනල සමාගමක රැකියාවක් සොයා ගත් නමුත්, එහි සේවය කරන අය හොඳ බලපෑමක් නොවූ බැවින්, මම එම රැකියාවෙන් ඉවත් වී මීමැස්සන් ඇති කිරීමේ හා මීපැණි විකිණීමේ ව්‍යාපාරයට ඇතුල් වූයෙමි.
වර්ෂ 1933 සරත් ඍතුව වන විට, මගේ දෙමාපියන් දෙදෙනා ම මියගොස් සිටියහ. එබැවින් මම වගකීම්වලින් නිදහස් වීමි. එබැවින් 1934 වසන්ත ඍතුව වන විට, මම මගේ මීමැස්සන් රැකබලා ගැනීම වෙනත් කෙනෙකුට භාර කර, ජීවත්වීමට කුඩා ට්‍රේලරයක් සාදා, පුරෝගාමියෙක් ලෙස යළිත් මගේ පූර්ණ කාලීන සේවය පටන් ගත්තෙමි. මුල දී මම ඉලිනොයිස්, ක්වින්සි අසල වයෝවෘද්ධ සාක්ෂිකරුවෙක් සමඟ සේවය කළෙමි. පසු ව මා යළිත් මිසෝරි වෙතට ගිය අතර එහි දී මම පුරෝගාමින් සමූහයක් හා එක් වීමි.
වර්ෂ 1935 දී මධ්‍ය බටහිරෙහි මහත් නියඟයක් ඇති වූ අතර අප සහමුලින් ම කෘෂිකාර්මික ප්‍රදේශයක සේවය කරමින් සිටි බැවින්, එය ඉතා දුෂ්කර ජීවිතයක් විය. කිසිවෙකුට මුදල් කිසිත් නොතිබූ බැවින්, කෘතඥ පූර්වක අය අප ඔවුනට දුන් ප්‍රකාශන වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය මෙන් ම වෙනත් දෑ අපට දුන්හ.
දකුණේ පුරෝගාමි සේවයේ යෙදීම
එම ශීත ඍතුවේ සීතල කාලගුණයෙන් මිදෙන්නට අපි අර්කැන්සස් වෙත සේවයට ගියෙමු. එම ප්‍රදේශයේ අපට වැඩි ප්‍රකාශන ප්‍රමාණයක් බෙදා දීමට හැකි වූ අතර අපට පාවිච්චි කළ හැකි සියලු ම අසුරන ලද ආහාර ද්‍රව්‍ය ලැබිණි. බොහෝ විට අපි පරණ ඇලුමිනියම් භාණ්ඩ, පරණ පිත්තල හා තඹ, පරණ මෝටර් රථ රේඩියේටර් හා බැටරි යනාදිය ඇතුළු ව, මුදල් බවට පත් කර ගත හැකි වෙනත් දේවල් භාර ගතිමු. මෙය අපට, අප සේවයේ පාවිච්චි කළ, මගේ මොඩල් ඒ ෆෝඩ් රථයට ඉන්ධන වියදම් සැපයී ය.
අපි කඳුකර ඔසාක් සාත්රවෙහි නිව්ටන්, සියසි, හා කැරොල් ප්‍රාන්තවල සේවය කළෙමු. ඇතෑන්සස් කඳුකරයේ ජනයාට දේශනා කිරීමෙන් අප ලද අත්දැකීම් පොතක් පිරෙන තරම් ය. ඒ කාලයේ මාර්ග මූලික අවධියක නැතහොත් කිසිසේත් නොපැවති බැවින්, අප අපගේ සේවය බොහෝ දුරට කළේ පයින් ම ය. අපගේ කණ්ඩායමට අයත් සමහරක් පුරෝගාමින් කඳුවල ඉහළ මට්ටමේ ජීවත් වන අය හමු වීමට අසුපිට යාමට පුරුදු ව සිටියහ.
වරක් සෑම් නම් උනන්දුව දක්වන මනුෂ්‍යයෙක් ගැන අපි ඇසීමු, අවසානයේ මොහු කන්දක් මත ජීවත් වෙමින් සිටිනවා අපි සොයා ගත්තෙමු. ඔහු අත් විදහා අප ව පිළිගත් අතර එම රාත්‍රියේ අප ව සිය නිවසේ රඳවා ගැනීමට සතුටු විය. සෑම්ගේ භාර්යාව අපගේ පණිවුඩය ගැන උනන්දුවක් නොදැක්වුව ද, ඔහුගේ 16 හැවිරිදි පුත්, රෙක්ස් උනන්දු විය. අප ඉවත් ව එන විට, නැවත එන ලෙස සෑම් අපට ආරාධනා කළේ ය. එනිසා ඉන් සති දෙකකට පසු ව, අපි යළිත් ඔවුන්ගේ නිවසේ නවාතැන් ගත්තෙමු.
දෙවන වර අප පිටත් ව එන විට, අපට නැවතත් පැමිණෙන ලෙස ආරාධනා කළේ සෑම්ගේ බිරිඳ ය. අප රෙක්ස් කෙරෙහි හොඳ බලපෑමක් බව ඇය කියා සිටියා ය. “ඔහු ශාප කිරීමට හරි ම හපන් දරුවෙක්, එහෙත් ඔයගොල්ලො මෙහි ආවායින් පසු, මං හිතන්නේ ඔහු එතරම් ශාප කරලා නැතැයි කියා” යයි ඇය පැහැදිලි කළා ය. වසර ගණනාවකට පසු, න්යූ යෝක්, දකුණු ලෑන්සිං හි අප ගිලියඩ් මිෂනාරි පාසලට සහභාගි වූ විට මට රෙක්ස් හමු විණි. මෙවන් අත්දැකීම් එම වසර ගණනාව තුළින් මට මහත් තෘප්තියක් ලබා දී ඇත.
බෙතෙල් සේවය
මම පුරෝගාමියෙක් වීමට අයදුම් කළ විට, බෙතෙල් යයි හඳුන්වනු ලබන, න්යූ යෝක් හි යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මූලාස්ථානයේ ද සේවය කිරීමට අයදුම් කළෙමි. වර්ෂ 1935 වසන්ත ඍතුවේ, මගේ අයදුම් පත පිළිගනු ලැබ ඇති බවත්, මගේ බෙතෙල් සේවය ආරම්භ කිරීමට න්යූ යෝක්, දකුණු ලෑන්සිං හි, වොච්ටවර් සමිතියේ රාජ්‍යය ගොවිපොළට මා වාර්තා කළ යුතු බවත් මට දැනුම් දෙනු ලැබී ය. මම වහා ම මගේ පුරෝගාමි ට්‍රේලරය භාර ගැනීමට හවුල් සාක්ෂිකරුවෙක් ව සූදානම් කළෙමි.
මා මගේ මොඩල් ඒ ෆෝඩ් රථය න්යූ යෝක් වෙත පදවාගෙන ගිය අතර 1935 මැයි 3වන දින උදයේ පෙරවරු දහයාමාරට පමණ මම එහි ළඟා වීමි. එදින දහවල් එකට පමණ, මට දර පලන වැඩය භාර කරන ලදි. ඊළඟ දවසේ දෙනුන්ගෙන් කිරි දොවන්නට උදව් කිරීමට කිරිපට්ටියේ ආහාර ගබඩාවට වාර්තා කරන ලෙස මට කියනු ලැබී ය. මම ඇතැම් අවස්ථාවල උදේ හා සවස කිරි දොවමින් ද, දහවල් කාලයේ වත්තේ හා කෙතේ පලදාව නෙලන කණ්ඩායමත් සමඟ එහි නියැලෙමින් ද වසර ගණනාවකට කිරිපට්ටියේ වැඩ කළෙමි. මම මීමැස්සන් ද රැකබලා ගනිමින් බෙතෙල් පවුලට මීපැණි රැස් කළෙමි. වර්ෂ 1953, මම කේජු සාදන අංශයට මාරු වීමක් ලදිමි.
යටහත් පහත්කමේ, පක්ෂපාතිත්වයේ, හා යෙහෝවඃ වහන්සේට කීකරු වීමේ අව්‍යාජ ආදර්ශය නිසා මගේ ජීවිතයට වඩාත් ම සමීප වූවෙකි, වෝල්ටර් ජෝන් “පැපි” තෝන්. ඔහු වර්ෂ 1894 පළමු “වන්දනාකරුවන්”—අද දවසේ චාරිකා අවේක්ෂකයන්ගේ කාර්යට සමාන ක්‍රියාවන් කළ අය—වීමට පත් කරන ලද බයිබල් ශිෂ්‍යයන් 21 දෙනාගෙන් කෙනෙක් වී, මෙසේ ඔවුන් දිරිගන්වනු පිණිස සභාවන් ගණනාවකට ගියේ ය. සංචාරක වැඩෙහි වසර ගණනාවක් ගත කිරීමෙන් පසු, සහෝදර තෝන් රාජ්‍යය ගොවිපොළට පැමිණ කුකුළ් කොටුවේ සේවය කළේ ය. බොහෝ විට ඔහු මෙසේ පවසනවා මම අසා ඇත්තෙමි: “මම මා ගැන ම මහ ලොකුවට කල්පනා කරන්නට පටන් ගන්නා විට, කථාවට කියන්නාක් වගේ, මම මා ව පැත්තකට ගෙන ගොස්, ‘දූවිලි බිඳක් වන නුඹ, නුඹට උඩඟු වීමට ඇත්තේ කුමක් ද?’ කියා මට ම කියා ගන්නවා.”
තම ක්‍රියා කලාපයෙන් මා හට ආදර්ශයක් වූ තවත් නිහතමානි මිනිසෙකි, දැන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් ව සිටින ජෝන් බූත්. වසර ගණනාවක් පුරා ඔහු මෙසේ පවසනවා උපුටා දක්වනු ලැබ තිබේ: “ඔබ සේවය කරන්නේ කොහේ ද යන්න එතරම් දෙයක් නොවේ, නමුත් සැබවින් ම වැදගත් වන්නේ, ඔබ සේවය කරන්නේ කාට ද යන්නයි.” ඉතා සරල කියමනක්, නමුත් එය මොනතරම් සැබෑ ද! යෙහෝවඃ වහන්සේට සේවය කිරීම සියලු වරප්‍රසාදයන්ගෙන් උතුම් ම වරප්රසාදයයි!
වර්ෂ 1943 දී රාජ්‍යය ගොවිපොළෙහි ගිලියඩ් මිෂනාරි පාසල විවෘත කිරීම මගේ බෙතෙල් සේවයේ වැදගත් සිදුවීම්වලින් එකක් විය. ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් පැමිණි පුරෝගාමින් ඇසුරු කිරීම ඇත්තෙන් ම ප්රබෝධය ඇති කරවන්නක් විය. ඒ කාලයේ සෑම පන්තියක ම ශිෂ්‍යයන් සියයක් පමණ සිටියහ, එබැවින් සෑම මාස හයකට ම වරක් අලුත් අය සිය දෙනෙක් රාජ්‍යය ගොවිපොළට පැමිණියහ. උපාධි ප්‍රධානය, න්යූ යෝක් හි උතුරුකරයේ ග්‍රාමීය ගොවිබිම්වල දහස් සංඛ්‍යාත අය ව මෙම අධ්‍යාපන පහසුකම වෙත ආකර්ෂණය කළේ ය.
වැඩෙහි වෙනස්වීමක්
ගිලියඩ් පාසල බෘක්ලින් වෙත ගෙන යෑමෙනුත්, දකුණු ලෑන්සිං හි ප්‍රධාන නිදන ශාලා හා පන්ති කාමර ගොඩනැගිල්ල විකිණීමෙනුත් පසු, කිරිපට්ටිය න්යූ යෝක්, වෝල්කිල් හි වොච්ටවර් ගොවිපොළ වෙත ගෙන යනු ලැබී ය. මෙබැවින් 1969 සරත් ඍතුවේ ඇරඹීමත් සමඟ, මම වෝල්කිල් හි ගොවිපොළ වෙත ස්ථාන මාරු කරන ලද අතර වර්ෂ 1983 දක්වා කේජු සෑදීමෙහි නිරත වීමි. එවිට මට වැඩයෙහි වෙනස් වීමක් ලැබී, මම භූමි ප්‍රදේශය පිළියෙළ කිරීමේ කටයුත්තෙහි යෙදෙන්නට පටන් ගතිමි.
දැනට යම් කලකට පෙර පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක දී, වසර 30ක් කේජු සෑදීමෙන් පසු වෙනස් රැකියාවක් දීම පිළිබඳ ව මා කල්පනා කළ දෙය මගෙන් විමසනු ලැබී ය. “මා කෙසේ හෝ කේජු සෑදීම ප්‍රිය නොකළ බැවින්, ඒ ගැන මම කරදර වුණේ නැත” යයි මම අවංක ව පිළිතුරු දුනිමි. මෙහිලා මූලික කරුණ වනුයේ අප හරි දේට ප්‍රමුඛත්වය දෙමින් දිව්‍යාණ්ඩු මඟ පෙන්වීමට යටත් වන්නේ නම්, අපට ඕනෑ ම පැවරුමක යෙහෝවඃ වහන්සේට සේවය කරමින් සන්තෝෂ විය හැකි බව ය. ඉතින් මා ඇත්තෙන් ම කේජු සෑදීමට කැමති නොවුවත්, එය බෙතෙල් පවුලට සහායක් වූ බැවින්, මම මගේ පැවරුමෙහි ප්‍රීතිය භුක්ති වින්දෙමි. අපි අපගේ ශ්‍රේෂ්ඨ දෙවි වූ, යෙහෝවඃ වහන්සේට ඇදහිලිවන්ත ව හා මැසිවිලි නොකියමින් සේවය කරන්නෙමු නම්, අපගේ පැවරුම කුමක් වුවත් අපට සන්තෝෂ විය හැකි ය.
මගේ කාය ශක්තිය පිරිහෙන අවධියේ, බෙතෙල් හි සේවය කරනවාට වඩා වැඩි හොඳ තත්ත්වයක මට සිටත හැකි යයි මම නොසිතමි. මා ව හොඳින් රැකබලා ගනු ලබන අතර මට අවුරුදු 90ක් ව තිබුණත් මගේ වැඩ පැවරුම් තවදුරටත් කළ හැකි තත්ත්වයක මම සිටින්නෙමි. දැනට වසර කීපයක් පුරා, මෙහි වොච්ටවර් ගොවිපොළේ බෙතෙල් පවුලේ උදෑසන නමස්කාර වැඩසටහනේ සභාපති ලෙස කටයුතු කිරීමට ලැබෙන මගේ වාරය ගැනීමෙහි වරප්‍රසාදය මට ලැබී ඇත. තමන්ට දෙනු ලබන සේවයේ වරප්‍රසාද සියල්ලෙන් ප්‍රයෝජන ගන්නා ලෙසත්, ඒවා සමඟ සෑහීමට හා සතුටට පත් වන ලෙසත්, මට ප්‍රස්තාව තිබෙන හැටියට, මම බෙතෙල් පවුලේ නවකයන් ව දිරිගන්වන්නෙමි.
පසුගිය වසර ගණනාව පුරා, මට කීප වතාවක් ම විදේශීය රටවලට—ඉන්දියාව, නේපාලය, ඈත පෙරදිග, හා යුරෝපයට—යාමට හැකියාව ලැබිණ. පහත දැක්වෙන අවවාදය ලෝවටා තමන්ට අයත් යෙහෝවඃ වහන්සේගේ ජනයාගේ සභාවන්හි සිටින අයට උපකාරවත් වෙනු ඇත: ඔබගේ වත්මන් තත්ත්වයෙහි සතුටු ව සිට සෑහීමට පත් ව, ඔබ ව සිටුවා ඇති පසෙහි ආත්මික ව විකසිත වන්න.
දෙවියන් වහන්සේට වූ මගේ සේවයෙහි මගේ සිත වෙනතකට යොමු නොකර තබා ගැනීමට හැකියාව ලබා ගැනීමට මම තනිකඩ ව සිටීමට තෝරා ගතිමි. ඇදහිලිවන්ත භාවයට විපාකයක් වශයෙන්, අපගේ ශ්‍රේෂ්ඨ දෙවියන් වහන්සේ සදාකාල ජීවිතයේ බලාපොරොත්තුව දානය කර ඇත. බොහෝ දෙනෙකුට, එය මෙහි පොළොව මත පාරාදීස නිවසක නිමා නොවන ජීවිතයක් අදහස් කරනු ඇත. අප ද ඇතුළු ව තවත් පිරිසක්, තමන්ට දෙනු ලබන ඕනෑ ම පැවරුමකට සැලකිල්ල දක්වමින්, ස්වර්ගයෙහි නිමා නොවන ජීවිතයක් දෙස බලා සිටිති.
මගේ වසර 90ක ජීවිතය දීර්ඝ, සමෘද්ධිමත් ජීවිතයක් යයි සමහරෙක් කල්පනා කරන්නට පුළුවන. මගේ ජීවිතය සමෘද්ධිමත් ව තිබිණ, එහෙත් එය දීර්ඝ මදි ය. දෙවියන් වහන්සේගේ සංවිධානයටත්, උන් වහන්සේගේ සත්‍යයේ වචනයටත් සමීප ව ඇලී සිටීමෙන්, අපට අපගේ ජීවිතය සදාකාලික ව දීර්ඝ කර ගත හැකි ය.a w91 12/1
[පාදසටහන්වල]
a රෝයි රයන් සිය ජීවිත අත්දැකීම් වාර්තා කරමින් සිටිය දී, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හදිසියේ වඩාත් දුර්වල අතට හැරිණ. ඔහු වොච්ටවර් ගොවිපොළේ උදෑසන නමස්කාරයේ සභාපති හැටියට සිය ක්‍රමවත් පැවරුම භාර ගැනීමෙන් වැඩි කලක් යන්නට මත්තෙන්, වර්ෂ 1991 ජූලි 5වන දින සිය භූමික ජීවිතය අවසන් කළේ ය.
[26වන පිටුවේ පින්තූරය]
මොඩල් ටී ෆෝඩ් රථයක් අසල සහෝදර රයන් ඔහුගේ ජීවිතයේ මුල් අවදියේ දී