බයිබලය දෙවියන් වහන්සේගේ අනුභාවය ලත් දීමනාව වීමට හේතුව
“දෙවියන් වහන්සේ ප්‍රේමය” බව පවසන බයිබලය, ප්‍රඥාව සහ බලය උන් වහන්සේ වෙත පවරයි. (1 යොහන් 4:8; යෝබ් 12:13; යෙසායා 40:26) “උන්වහන්සේගේ සියලු මාර්ග ධර්මමිෂ්ඨ [යුක්තිය NW]” බව එය අපට කියයි. (ද්විතීය කථාව 32:4) බයිබලය පවසන පරිදි, දයාව සහ දයානුකම්පාව වැනි ගුණාංග ද දෙවියන් වහන්සේ විහිදුවාලන සේක.—නික්මයාම 34:6; රෝම 9:15.
බයිබලය යෙහෝවඃ දෙවියන් වහන්සේ වෙත එවැනි ගුණාංග පවරන නිසා, එය උන් වහන්සේ ව සොයන මිනිසුන් ව උන් වහන්සේ වෙතට ළං කරවයි. මැවිල්ල ගැන, පාපයේ සහ මරණයේ මූලාරම්භය ගැන, සහ දෙවියන් වහන්සේ සමඟ නැවත සමගි වීමේ මාධ්‍යය ගැන මේ පොත කථා කරයි. පොළොව පාරාදීසයක් බවට යළි ගෙන ඒමේ සිත් ඇදගන්නා සුලු බලාපොරොත්තුව ඒ මගින් ඉදිරිපත් වෙයි. එහෙත්, මේ සියල්ලේ වටිනාකමක් තිබෙන්නේ, බයිබලය දෙවියන් වහන්සේගේ අනුභාවය ලත් දීමනාවක් බවට ඔප්පු කළ හැකි වුවොත් පමණි.
බයිබලය සහ විද්‍යාව
බයිබලය නොසැලී විවේචන අභිබවා යමින් ජය ගෙන තිබේ. නිදසුනක් වශයෙන්, විවෘත මනසකින් යුතු ව කියවන විට, සැබෑ විද්‍යාව සමඟ එය එකඟ වන බව සොයා ගත හැක. ඇත්ත වශයෙන් ම, බයිබලය පිළියෙළ කරනු ලැබුවේ, ආත්මික මඟ පෙන්වීමක් හැටියට මිස, විද්‍යා ග්රන්ථයක් ලෙස නොවේ. එහෙත් බයිබලය විද්‍යාත්මක සත්‍යයන් සමඟ එකඟ වන්නේදැයි අපි බලමු.
කාය විච්ඡේද විද්‍යාව: මිනිස් කලලයක ‘සියලු ම කොටස්’ “ලියනු ලැබූ” බව බයිබලය පවසන විට එය නිවැරදි ය. (ගීතාවලිය 139:13-16) මොළය, හෘදය වස්තුව, පෙනහලු, ඇස්,—මේවා සහ සිරුරේ වෙනත් සියලු කොටස්, මවගේ ගර්භාෂය තුළ සංසේචනය වූ බීජයේ ප්රවේණි සැකැස්මේ ‘ලියා තබා’ ඇත. මේ එක් එක් කොටස් නියමිත පිළිවෙළට මතු වීම සඳහා අභ්‍යන්තර කාල සටහන් මෙම සැකැස්ම තුළ අඩංගු වී තිබේ. තව ද ටිකක් සිතා බලන්න! විද්‍යාඥයන් ප්රවේණි සැකැස්ම සම්බන්ධ ව සොයා ගැනීමට අවුරුදු 3,000කට පමණ පෙර, මිනිසාගේ සිරුරේ වර්ධනය පිළිබඳ වූ මෙම සත්‍යය බයිබලයේ වාර්තා කර තිබිණි.
සත්ත්ව ජීවිතය: බයිබලය පවසන පරිදි, “හාවා වමාරාකන” සතෙකි. (ලෙවී කථාව 11:6) ෆ්රන්සුවා බෝලියේර් (ද නැචුරල් හිස්ටරි ඔෆ් ඇනිමල්ස්, 1964, පිටුව 41) මෙසේ පවසයි: “ ‘වමාරා කෑමේ’ පුරුද්ද, හෙවත් එක් වරක් වෙනුවට දෙවරක් බඩවැල් තුළින් ආහාර ගමන් කිරීම, රට හාවන්ගේ සහ හාවන්ගේ පොදු ක්‍රියා දාමයක් බව පෙනෙන්නට තිබේ. ගෙවල්වල ඇති කරන රට හාවුන් සාමාන්‍යයෙන් රාත්‍රි කාලයේ දී ඔවුන් පහ කරන අසූචි විකා කෑමෙන් තොර ව, ගිල දමන අතර, උදෑසන දී, එය උගේ ආමාශයේ අඩංගු දෙයින් අඩක් තරම් වෙයි. වල් රට හාවා දිනකට දෙවරක් වමාරා කන අතර, යුරෝපයේ වෙසෙන හාවුන්ට ද එම පුරුද්ද ම තිබෙන බව වාර්තා වී ඇත.” මේ සම්බන්ධ ව, මැමල්ස් ඔෆ් ද වර්ල්ඩ් නමැති කෘතිය (ඊ. පී. වොර්කර්, 1964, II වෙළුම, පිටුව 647) මෙසේ සඳහන් කරයි: “මෙය, වමාරාකන [රෝමන්ථක] ක්ෂීරපායි සතුන්ගේ ‘වමාරා කෑමට’ සමාන විය හැක.”
පුරාවිද්‍යාව: මැටි පුවරු, මැටි බඳුන්, ශිලා ලේඛන වැනි දෑ සොයා ගැනීමත් සමඟ ම, බයිබලයේ සඳහන් රජවරුන්ට, නගරවලට හා ජාතීන්ට පණ ඇවිත් තිබේ. නිදසුනක් වශයෙන්, ශුද්ධ ලියවිලිවල සඳහන් හිත්තීයවරු වැනි ජාතීහු සැබවින් ම පැවතුණෝ ය. (නික්මයාම 3:8) ද බයිබල් කම්ස් අලයිව් නමැති පොතේ ආචාර්ය චාල්ස් මාර්සටන් මෙසේ පැවසී ය: “බයිබලයේ ජනප්‍රිය ඇදහිල්ල සොලවා, එහි අධිකාරිත්වය දුර්වල එකක් ලෙස තක්සේරු කර තිබෙන අය, මතු වී තිබෙන සාක්ෂි මගින් අනෙක් අතට තමන් ව ම දුර්වල කරගෙන ඇති අතර, ඔවුන්ගේ අධිකාරිත්වය ඉන් විනාශ වී තිබේ. පුරාවිද්‍යාව නමැති ඉස්කෝප්පය නිසා, විනාශකාරී විවේචනය තවදුරටත් සැක සහිත සිද්ධි මත යොමු නොවී, සම්මත ප්‍රබන්ධ කෙරෙහි දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් තිබේ.”
පුරාවිද්‍යාව බොහෝ ආකාරවලින් බයිබලයට අනුබල දී ඇත. නිදසුනක් වශයෙන්, උත්පත්ති 10 වෙනි පරිච්ඡේදයේ සඳහන් ස්ථාන සහ නාම, සොයා ගැනීම් මගින් සනාථ කොට තිබේ. ආබ්‍රහම් උපත ලැබූ වාණිජ්‍ය හා ආගමික කේන්ද්‍රස්ථානයක් වූ ඌර් නමැති කල්දිවරුන්ගේ නගරය කැණීම් කටයුතු කරන්නන් විසින් සොයා ගෙන ඇත. (උත්පත්ති 11:27-31) යෙරුසලමට ගිණිකොන දිශාවෙන් පිහිටි ගිහොන් දිය උල්පතට ඉහළින් වූ, දාවිත් රජ විසින් අල්ලා ගන්නා ලද යෙබූසිවරුන්ගේ නගරය පුරාවිද්‍යාඥයෝ සොයා ගත්හ. (2 සාමුවෙල් 5:4-10) හෙසකියා රජගේ උමඟ හෙවත් ජල මාර්ගයේ එක් කෙළවරක කොටා තිබුණු, සිලෝවම් පොකුණේ ශිලා ලේඛනය 1880 දී සොයා ගැනිණ. (2 රාජාවලිය 20:20) පොදු යුගයට පෙර 539 දී මහා කෝරෙෂ් විසින් බබිලෝනිය පරාජය කිරීම, පො. යු. 19 වෙනි සියවසේ දී පොළොවෙන් මතු කර ගන්නා ලද නැබොනිඩස්ගේ පුරා වෘත්තියේ විස්තර කොට ඇත. පොදු යුගයේ 1880 සහ 1890 කාලය අතරතුර, පර්සෙපොලිස් වෙතින් සහ ෂූෂන් හෙවත් සූසාහි තක්ෂස්තා (අහස්වේරොෂ්) රජුගේ මාළිගයෙන් සොයා ගත් ශිලා ලේඛන මගින් එස්තර් පොතේ තිබෙන කරුණු සනාථ වී ඇත. යේසුස් වහන්සේ ව වධ කණුවක එල්ලා මැරීම සඳහා භාර දුන් රෝම ආණ්ඩුකාර පොන්තියුස් පිලාත්ගේ පැවැත්ම ගැන 1961 දී රෝමයේ නෘත්‍ය ශාලාවක නටඹුන් අතර තිබී සොයාගත් ශිලා ලේඛනයක් මගින් තහවුරු වී තිබේ.—මතෙව් 27:11-26.
තාරකා විද්‍යාව: මීට වසර 2,200කට පමණ පෙර, එනම්, පොළොව ගෝලාකාර බව සාමාන්‍ය ජනයා දැනගන්නට බොහෝ කලකට පෙර, අනාගතවක්තෘ යෙසායා මෙසේ ලීවේ ය: “පෘථිවි චක්‍රය මතුයෙහි වැඩ ඉන්නේ උන්වහන්සේය.” (යෙසායා 40:22) මෙහි “චක්‍රය” ලෙස පරිවර්තනය කර තිබෙන චග් නමැති හෙබ්‍රෙව් වචනය, “ගෝලය” යනුවෙන් ද පරිවර්තනය කොට දැක්විය හැක. (බී. ඩේවිඩ්සන් විසින් රචිත අ කොන්කෝඩන්ස් ඔෆ් ද හීබෲ ඇන්ඩ් චැල්ඩී ස්ක්‍රිප්චර්ස්) එමෙන් ම, පෘථිවි ක්ෂිතිජයේ “චක්‍රය” අජටාකාශයේ සිට සහ සමහර අවස්ථාවල බොහෝ උසින් අහස් යානයක ගමන් කරද්දී පැහැදිලි ව දැකිය හැක. දෙවියන් වහන්සේ, “පොළොව අවකාශයෙහි එල්ලා තබන” බව යෝබ් 26:7 පැවසීම ද සැලකිල්ලට ගත හැකි කරුණකි. යම් දෘශ්‍යමාන ක්‍රමයකින් පොළොව උසුලා ගෙන නොතිබෙන බව තාරකා විද්‍යාඥයන් දන්නා බැවින් මෙය සත්‍යයක් වෙයි.
උද්භිද විද්‍යාව: යේසුස් ක්‍රිස්තුස් වහන්සේ “අබ ඇටය” සම්බන්ධයෙන් කථා කරන විට, එය “සියලු බීජවලට වඩා කුඩා” යයි පැවසූ නිසා බයිබලය වැරදි සහගත බව ඇතැම්හු වැරදි නිගමනයකට එළඹෙති. (මාර්ක් 4:30-32) සමහර විට, යේසුස් වහන්සේ මෙහි දී අදහස් කළේ, බීජවල විෂ්කම්භය අඟල් 0.039 සිට 0.063 දක්වා පමණක් වන කළු අබ පැළෑටියේ බීජය (බ්‍රසිකා නිග්‍රා හෝ සිනාපිස් නිග්‍රා) ගැන ය. උඩවැඩියා මලේ කුඩු මෙන් සිහින් බීජ වැනි වඩාත් කුඩා බීජ වුවද, යේසුස් වහන්සේ කථා කරමින් සිටියේ, උඩවැඩියා වගා කළ මිනිසුන් හට නොවේ. ප්‍රදේශයේ ගොවීන් විසින් වපුරන ලද විවිධ වර්ගයේ බීජ අතුරින්, ඉතා කුඩා ම බීජය වූයේ අබ ඇටය බව එම ගලීල යුදෙව්වෝ දැන සිටියහ. යේසුස් වහන්සේ රාජ්‍යය ගැන කථා කරමින් සිටියා මිස, උද්භිද විද්‍යා පාඩමක් උගන්වමින් සිටියා නොවේ.
භූ විද්‍යාව: බයිබලයේ සඳහන් මැවීමේ වාර්තාව පිළිබඳ ව සුප්‍රසිද්ධ භූ විද්‍යාඥ වොලස් ප්‍රැට් මෙසේ පැවසී ය: “පොළොවේ මූලාරම්භය සහ ඒ මත ජීවිතය වර්ධනය වීම ගැන උත්පත්ති පොත අමතනු ලැබූ ගෝත්‍රිකයන්ට එනම්, සරල, එඬේර මිනිසුන් වැනි අයට අපේ නවීන අදහස් ගැන කෙටියෙන් පැහැදිලි කරන්නට භූ විද්‍යාඥයෙකු හැටියට මා ව කැඳවනු ලැබුවා නම්, උත්පත්ති පොතේ පළමු වෙනි පරිච්ඡේදයේ සඳහන් අදහස් දැක්වීමේ ක්‍රමය ඉතා ළඟින් අනුගමනය කරනවා හැරෙන්නට මට ඊට වඩා හොඳින් කළ හැකි වෙන කිසිවක් නැත.” උත්පත්ති පොතේ සඳහන් සිදුවීම්වල අනුපිළිවෙළ—එනම් සාගරවල මූලාරම්භය, ගොඩබිම මතු වීම, සහ ඉන් පසු ව මුහුදු ජීවීන්, පක්ෂීන්, සහ ක්ෂීරපායි සතුන්ගේ ඇති වීම—අත්‍යවශයෙන් ම භූ විද්‍යාත්මක කාලයේ මූලික ප්රභේදයන්ගේ අනුපිළිවෙළ ම වේ.
වෛද්‍ය විද්‍යාව: ද ෆිසිෂන් එක්සැමින්ස් ද බයිබල් යන තම පොතේ, සී. රේමර් ස්මිත් මෙසේ ලීවේ ය: “වෛද්‍යමය දෘෂ්ටි කෝණයෙන් බලන කල, බයිබලය මේ තරම් ම නිවැරදි වීම ගැන මම බොහෝ සෙයින් පුදුමයට පත් වෙමි. . . . ගඩු, තුවාල ආදිය දෑ සම්බන්ධ ප්‍රතිකාර ගැන සඳහන් කරන විට, නූතන ප්රමිතීන්වලට අනුව පවා එය නිවැරදි ය. මිනිසුන් විශාල සංඛ්‍යාවක් මිථ්‍යා දෘෂ්ටික අදහස් බොහොමයක් තවමත් විශ්වාස කරති. ඒවා නම්, කොට්ටම්බා වැනි ඇටයක් සාක්කුවේ තබා ගැනීමෙන් රක්තවාතය වැළඳීමෙන් වැළකිය හැකි බව; මැඩියන් ඇල්ලීමෙන් ඉන්නන් හට ගන්නා බව; ගෙල වටා රතු ෆ්ලැනල් රෙද්දක් දවටා ගැනීමෙන් උගුරේ වේදනාව සුව වෙන බව; පෙරුම් කායම් කුඩා පොට්ටනියකින් රෝගවලින් වැළකිය හැකි බව; දරුවෙක් අසනීප වන සෑම වතාවක දී ම, ඔහුට පණුවන් සිටින බව යනාදි ය, නමුත් එවැනි කිසි ම ප්‍රතිකාරයක් බයිබලයෙන් සොයා ගන්නට නොහැක. මෙය ම අති විශේෂ දෙයක් වන අතර, එයට දිව්‍ය මූලාරම්භයක් ඇති බවට මට තිබෙන තවත් සාක්ෂියකි.”
ඓතිහාසික තොරතුරුවල දී විශ්වාසදායක ය
අ ලෝයර් එක්සැමින්ස් ද බයිබල් නමැති තම පොතේ නීතිඥ අර්වින් එච්. ලින්ටන් මෙසේ නිරීක්ෂණය කළේ ය: “ප්‍රේම කථා, ප්‍රබන්ධ කථා සහ බොරු සාක්ෂිවල සිදුවුණායි කියන සිද්ධීන් පිළිබඳ ව දෙන විස්තර, යම් දුර ඈත ප්‍රදේශයකට සහ යම් අනියත කාලයකට සම්බන්ධ කිරීමට සුපරීක්ෂාකාරී වන අතර, මෙනයින් ‘කාලය සහ ස්ථානය ප්රකාශනයේ සඳහන් විය යුතු ය’ යනුවෙන් නීතිඥවරුන් වන අප විසින් ඉගෙන ගන්නා වූ ප්‍රථම නීති උල්ලංඝනය කෙරේ. එහෙත් බයිබලයේ ලේඛකයන් කාරණාවලට සම්බන්ධ දිනය සහ ස්ථානය උපරිමයෙන් ඉතා නිවැරදි ලෙස අප හට දී ඇත.”
ලින්ටන් මෙම කරුණ සනාථ කරනු වස්, ලූක් 3:1, 2 උපුටා දැක්වී ය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය දේව සේවය ආරම්භ කළ වකවානුව ස්ථිර ලෙස කියා පෑම සඳහා ශුභාරංචි ලේඛකයා ආණ්ඩු නිලධාරීන් හත් දෙනෙක් ගැන සඳහන් කළේ ය. මෙම වදන් තුළ ලූක් සපයා දුන් සවිස්තර තොරතුරු සැලකිල්ලට ගන්න: “පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයාවද, හෙරොද් ගලීලයට අධිපතියාවද, ඔහුගේ සහෝදරවූ පිලිප් ඉතුරයටත් ත්‍රකොනිතිස් නම්ලත් පළාතටත් අධිපතියාවද, ලුසානියස් අබිලේනියට අධිපතියාවද, අන්නස් සහ කායාඵස් උත්තම පූජකයෝවද සිටි කාලයෙහි, තිබේරියස් කායිසර් රාජ්‍යයට පැමිණි පසළොස්වෙනි අවුරුද්දෙහි, දෙවියන්වහන්සේගේ වචනය වනයෙහිදී සෙකරියස්ගේ පුත්‍රවූ යොහන් වෙතට පැමිණියේය.”
මේ හා සමාන තොරතුරුවලින් බයිබලය පිරී තිබේ. එපමණක් නොව, සුවිශේෂ වැනි එවන් කොටස් එහි ලියන ලද්දේ, යුදෙව්, ග්‍රීක්, සහ රෝම සංස්කෘතීන් තදින් සංවර්ධනය වී තිබූ කාල පරිච්ඡේදයක ය. එය නීතිඥයන්ගේ, ලේඛකයන්ගේ සහ පරිපාලකයන්ගේ වැනි අයගේ කාලයක් විණි. එසේ නම්, ස්ථිර ව ම, ශුභාරංචිවල සඳහන් තොරතුරු සහ බයිබලයේ වෙනත් කොටස්වල තිබෙන තොරතුරු සත්‍යය කාරණා නොවී තිබුණා නම්, වංචනික ඒවා බවට හෙළිවන්නට ඉඩ තිබුණි. එහෙත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැවැත්ම වැනි, එම කරුණු ද ලෞකික ඓතිහාසඥයෝ සනාථ කළෝ ය. නිදසුනක් වශයෙන්, යේසුස් වහන්සේ සහ උන් වහන්සේගේ අනුගාමිකයන් පිළිබඳ ව, රෝම ඓතිහාසඥ ටැසිටස් මෙසේ ලීවේ ය: “ක්‍රිස්තුස්, එනම් [ක්‍රිස්තියානින් යන] නාමයේ මූලාරම්භයට තුඩු දුන් තැනැත්තා තිබේරියස්ගේ පාලන සමයේ දී, අපගේ අර්ථනායකයෙකු වන පොන්තියුස් පිලාතුස්ගේ අත්වලින් දරුණුතම දඬුවම වින්දේ ය.” (ඇනල්ස් පොත XV, 44) බයිබලයේ ඓතිහාසික නිරවද්‍යතාවය, එය දෙවියන් වහන්සේ විසින් මිනිස් වර්ගයා වෙත දී ඇති දීමනාවක් බව ඔප්පු කිරීමට උපකාරවත් වෙයි.
වඩා උතුම් ම සාක්ෂිය
පුරාවිද්‍යාව, තාරකා විද්‍යාව, ඉතිහාසය, සහ වෙනත් ක්ෂේත්රවල දැනුම බයිබලයට අනුබල දෙතත්, ඒ කෙරෙහි තිබෙන ඇදහිල්ල එවැනි සනාථ කිරීම් මත රඳා පවතින්නේ නැත. බයිබලය වනාහි දෙවියන් වහන්සේගේ අනුභාවයෙන් අපට ලැබී තිබෙන දීමනාවක් බව පෙන්වන බොහෝ සාක්ෂි අතර, එහි අනාවැකිවල ඉටුවීම තරම් වෙන කිසි ම සාක්ෂියක් ඉදිරිපත් කරන්නට බැරි ය.
යෙහෝවඃ දෙවියන් වහන්සේ වනාහි සැබෑ අනාවැකිවල උල්පත වන සේක. ස්වකීය අනාගතවක්තෘ යෙසායා තුළින් උන් වහන්සේ මෙසේ පැවසූ සේක: “පළමු කී දේවල් මෙන්න සිද්ධවී තිබේ, [නමුත්] මම අමුතු දේවල් දන්වමි. ඒවා හටගන්ට පළමුවෙන් ඒවා නුඹලාට ප්‍රකාශකරමි.” (යෙසායා 42:9) එපමණක් ද නොව, බයිබලයේ ලේඛකයන් දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මය, හෙවත් ක්‍රියාකාරි බලය මගින් අනුභාවය ලද බව බයිබලය පවසයි. උදාහරණයක් වශයෙන්, “මුළු ශුද්ධ ලියවිල්ල දෙවියන් වහන්සේගේ අනුභාවයෙන්” බව ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් ලීවේ ය. (2 තිමෝති 3:16, NW) ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේ ය: “ලියවිල්ලේ කිසි අනාගතවාක්‍යයක් යමෙකුගේ අභිප්රායෙන්ම හට [නොගන්නේ ය.] . . . කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.” (2 පේතෘස් 1:19, 21) එබැවින්, අපි දැන් බයිබල් අනාවැකි දෙස බලමු.
බයිබලයේ සඳහන් සිය ගණනක් අනාවැකි අතර, සියවස් 15කට වඩා වැඩි කලක් මුළුල්ලේ, ඉපැරණි මැද පෙරදිග සිසාරා භීතිය රෝපණය කළා වූ, අෂූරියේ අගනුවර වන “ලේ වගුරුවන නුවර” වූ නිනිවය ගැන අනාවැකි තිබේ. (නාහුම් 3:1) එහෙත්, නිනිවයේ බලය ඉහළට ම ගිය අවස්ථාවේදී, බයිබලය පුරෝකථනය කළේ මෙසේ ය: “[දෙවියන් වහන්සේ] නිනිවය කාන්තාරය මෙන් දියසීරා නැති පාළුවක් කරනවා ඇත. එහි තුළ මෘග රැළවල් වන සියලු වර්ගවල සත්ටයෝ ලගින්නෝය. කරවැල් කොකාද ඉත්තෑවාද එහි පේකඩවල රැය පසුකරන්නෝය. උන්ගේ හඬ කවුළුවල ඇසෙන්නේය; එළිපතුවල පාළුකම ඇතිවන්නේය. මක්නිසාද උන්වහන්සේ කිහිරි ලී කර්මාන්තය බිඳහෙළා තිබේ.” (ශෙපනියා 2:13, 14) අද දින, ආගන්තුකයන් දකින්නේ, පුරාණ නිනිවයේ ගොඩැලි සලකුණු සහිත පාළු බිම පමණි. එපමණක් ද නොව, පුරෝකථනය කළාක් මෙන්, බැටළු රැළවල් එහි තණ බුදිති.
දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘ දානියෙල්, දර්ශනයක දී, අං දෙකක් ඇති බැටළුවෙක් සහ ඇස් අතරේ මහත් අඟක් තිබූ පිරිමි එළුවෙක් දිටී ය. එළුවා බැටළුවාට බිම වැටෙන සේ පහර දී, උගේ අං දෙක කඩා දැමුවේ ය. ඉන් පසු ව, එළුවාගේ මහත් අඟ කඩා දමනු ලැබූ අතර, ඒ වෙනුවට අං හතරක් හට ගත්තේ ය. (දානියෙල් 8:1-8) ගාබ්‍රියෙල් දේව දූතයා මෙසේ පැහැදිලි කළේ ය: “නුඹ විසින් දුටුවාවූ, අං දෙක ඇති බැටළුවා නම් මේදියාවේද පර්සියාවේද රජවරුය. රළු එළුවා ග්‍රීසියේ රජය. උගේ ඇස් අතරේ තිබෙන ලොකු අඟ පළමුවෙනි රජය. ඒක බිඳුණු විට ඒක වෙනුවට සතරක් අටගත්තාක්මෙන් ඒ ජාතියෙන් රාජ්‍යවල් සතරක් හටගන්නවා ඇත, නුමුත් ඔහු වාගේ බලය ඇතුව නොවේ.” (දානියෙල් 8:20-22) ඉතිහාසය ඔප්පු කොට ඇත්තාක් මෙන්, අං දෙකක් ඇති බැටළුවා—මේදිය-පර්සියානු අධිරාජ්‍යය—“ග්‍රීසියේ රජ” විසින් පෙරළා දමන ලදි. පිරිමි එළුවාට තිබූ සංකේතාත්මක “මහ අඟ” නියෝජනය කළේ මහා ඇලෙක්සැන්ඩර් නම් පුද්ගලයා ය. ඔහුගේ මරණින් පසු ව, ඔහුගේ සේනාධිපතින් හතරදෙනා, තමන්ගේ ම බලය තහවුරු කරගත් “රාජ්‍යය හතරක්” පිහිටුවීමෙන් එම “මහ අඟ” අනුයුක්ත කළෝ ය.
හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ (“පැරණි ගිවිසුම”) සඳහන් අනාවැකි බොහෝ ගණනක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ ව ඉටු වී ඇත. ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල (“නව ගිවිසුම”) දිව්‍යමය ව අනුභාවය ලත් ලේඛකයන් විසින්, මේවායින් සමහරක් උන් වහන්සේට අදාළ කොට දක්වන ලදි. නිදසුනක් වශයෙන්, යේසුස් වහන්සේ කන්යාවකගෙන් උපත ලැබීම ගැන, උන් වහන්සේට පෙර මඟ සරසන්නෙක් සිටීම ගැන, උන් වහන්සේ කොටළුවකු පිට නැගී යෙරුසලමට ඇතුල්වීම ගැන වූ ශුද්ධ ලියවිලිමය අනාවැකිවල ඉටුවීම ශුභාරංචි ලේඛක මතෙව් ගෙන හැර දැක්වූයේ ය. (මතෙව් 1:18-23; 3:1-3; 21:1-9; සමඟ යෙසායා 7:14; 40:3; සෙකරියා 9:9 සසඳන්න.) බයිබලය ඇත්ත වශයෙන් ම දෙවියන් වහන්සේගේ අනුභාවය ලත් දීමනාවක් බව ඔප්පු කිරීමට ඉටු වූ එවන් අනාවැකි මහෝපකාරී වෙයි.
බයිබල් අනාවැකිවල වත්මන් ඉටුවීම්වලින් ඔප්පු වන්නේ, අප “අන්තිම දවස්වල” ජීවත් වන බව ය. (2 තිමෝති 3:1-5) අසමාන්තර අනුපාතවලින් සිදුවන යුද්ධ, ආහාර හිඟකම්, වසංගත, සහ භූමිකම්පා, යේසුස් වහන්සේ රාජ්‍යය බලයෙන් යුක්ත ව ‘පැමිණ සිටීම’ පිළිබඳ “ලකුණේ” කොටස් ය. පිහිටුවන ලද එම රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින් සිටින මිලියන හතරකට වඩා වැඩි යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත ක්‍රියාකාරකම් ද එම ලකුණට අයත් වෙයි. (මතෙව් 24:3-14; ලූක් 21:10, 11) යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යටතේ තිබෙන දෙවියන් වහන්සේගේ ස්වර්ගික රාජ්‍යය, කීකරු මිනිස් වර්ගයා උදෙසා සදාකාලික සන්තෝෂයේ නව ලොවක් ඉතා ඉක්මනින් ගෙනෙනු ඇති බව ද දැන් ඉටුවෙමින් පවතින බයිබල් අනාවැකිවලින් අප හට සහතික කොට කියා පායි.—2 පේතෘස් 3:13; එළිදරව් 21:1-5.
ලැයිස්තු ගත කළ හැකි බයිබල් අනාවැකි සියගණනකින් ස්වල්පයක්, මේ සමඟ ඇති, “ඉටු වූ බයිබල් අනාවැකි” යන තේමාවෙන් යුත් වගුව තුළ ඉදිරිපත් කොට ඇත. මේවායින් සමහරක ඉටුවීම ශුද්ධ ලියවිලි තුළ ම සනිටුහන් වී තිබෙන අතර, නමුත්, විශේෂයෙන් සැලකිල්ලට භාජනය කළ යුතු වන්නේ, අද දින ඉටුවෙමින් පවතින අනාවැකි ය.
සමහර විට, බයිබලයේ පුරෝකථනය කොට ඇති ලොව වටා සිදුවෙමින් තිබෙන ඇතැම් සිදුවීම් ඔබට දැකිය හැක. එහෙත් ඒවා ගැන තවදුරටත් සොයා නොබලන්නේ මන්ද? ඔබගේ ඉල්ලීම පරිදි, අමතර තොරතුරු සපයන්නට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ ඉතා සතුටු වෙති. තව ද, අති මහෝත්තමයාණන් සහ උන් වහන්සේගේ අරමුණ පිළිබඳ ව දැනුම ලැබීම සඳහා ඔබගේ අවංක සෙවිල්ල, බයිබලය සැබවින් ම දෙවියන් වහන්සේගේ අනුභාවය ලත් දීමනාව බව ඔබට ඒත්තු ගැනීමට දායක වෙත්වා. w92 5/15
යුද්ධ, සාගත, වසංගත සහ භූමිකම්පා අද දින මහත් හානි පමුණුවයි, නමුත් සාමයේ සහ සන්තෝෂයේ නව ලොවක් ක්ෂිතිජයේ මතු වෙමින් තිබේ
ඉටු වූ බයිබල් අනාවැකි
අනාවැකිය ඉටුවීම
උත්පත්ති 49:10 යුදා, ඊශ්‍රායෙලයේ රාජකීය ගෝත්‍රය බවට පත්වීම (1 ලේකම් 5:2; හෙබ්‍රෙව් 7:14)
ශෙපනියා 2:13, 14 පො.යු.පෙ. 632 දී පමණ නිනිවය විනාශ කරන ලදි
යෙරෙමියා 25:1-11; යෙරුසලම වැටීයාමෙන් පසු අවුරුදු 70කට යෙසායා 39:6 පාළුව ඇරඹේ (2 ලේකම් 36:17-21; යෙරෙමියා 39:1-9)
යෙසායා 13:1, 17-22; කෝරෙෂ් බබිලෝනිය පරාජය කරයි; යුදෙව්වෝ මව් 44:24-28; 45:1, 2 රටට නැවත පැමිණෙති (2 ලේකම් 36:20-23; එස්රා 2:1-6)
දානියෙල් 8:3-8, 20-22 මහා ඇලෙක්සැන්ඩර් විසින් මේදිය-පර්සියාව පෙරළා දැමීම හා ග්‍රීක් අධිරාජ්‍යය බෙදී යාම
යෙසායා 7:14; යේසුස් වහන්සේ බෙත්ලෙහෙමේ දී කන්යාවකගෙන් උපත මීකා 5:2 ලබයි (මතෙව් 1:18-23; 2:1-6)
දානියෙල් 9:24-26 යේසුස් වහන්සේ ව මෙසියස් වහන්සේ වශයෙන් ආලේප කරනු ලැබීම (පො.යු. 29) (ලූක් 3:1-3, 21-23)
යෙසායා 9:1, 2 යේසුස් වහන්සේගේ ප්රතාපවත් දේව සේවය ගලීල දේශයෙන් ආරම්භ වේ (මතෙව් 4:12-23)
යෙසායා 53:4, 5, 12 මිදීමේ පූජාවක් වශයෙන් යේසුස් වහන්සේගේ මරණය (මතෙව් 20:28; 27:50)
ගීතාවලිය 22:18 යේසුස් වහන්සේගේ වස්ත්‍රය සඳහා දාදු දැමීම (යොහන් 19:23, 24)
ගීතාවලිය 16:10; තුන්වෙනි දින ක්‍රිස්තුස් වහන්සේගේ නැවත නැගිටීම මතෙව් 12:40 (මාර්ක් 16:1-6; 1 කොරින්ති 15:3-8)
ලූක් 19:41-44; 21:20-24 රෝමවරුන් විසින් යෙරුසලම විනාශ කිරීම (පො.යු. 70)
ලූක් 21:10, 11; අසමාන්තර යුද්ධ, සාගත, භූමිකම්පා, වසංගත, මතෙව් 24:3-13; නොපනත්කම, යනාදිය “අන්තිම දවස්” 2 තිමෝති 3:1-5 ඉන් සලකුණු කෙරේ
මතෙව් 24:14; දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිහිටුවා තිබෙන යෙසායා 43:10; බවටත්, ළඟදී ම සියලු සතුරන් පරාජය ගීතාවලිය 2:1-9 කරනු ඇති බවටත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විසින් ලොවවටා දෙනු ලබන ප්‍රකාශය
මතෙව් 24:21-34; දෙවියන් වහන්සේට නමස්කාර කරන යෙහෝවඃ එළිදරව් 7:9-17 වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර පවුල සහ “මහත් පීඩාවෙන්” බේරී ජීවත්වීමට සූදානම් වීම