යෙහෝවඃ වහන්සේ අතිශයින් කමා වන සේක
“දුෂ්ටයා තමාගේ මාර්ගය අත්හැර, හානිදායක මිනිසා තමාගේ සිතුවිලි දුරලා, යෙහෝවඃ වහන්සේ වෙතට නැවත හැරී ඒවා, . . . මක්නිසා ද උන් වහන්සේ ඔහුට අතිශයින් කමා කරනු ඇත.”—යෙසායා 55:7, NW.
1. යෙහෝවඃ වහන්සේගේ කමාව ලබන්නන්ට දැන් ලැබෙන්නේ කිනම් ආශීර්වාද ද?
යෙහෝවඃ වහන්සේ පසුතැවිලි වන පව්කාරයන්ට කමා කරන අතර, දැන් ඔවුන්ට ආත්මික පාරාදීසයක සාමකාමී මනසක් ඇති ව සිටීමට හැකියාව ලබා දෙන සේක. මෙයට හේතුව ඔවුන් මෙම අවශ්‍යතා සපුරාලන නිසා ය: “යෙහෝවඃ වහන්සේ සම්බවෙන්ට සිටිද්දී උන් වහන්සේ සොයා, උන් වහන්සේ ළං ව සිටිද්දී උන් වහන්සේගෙන් අයදින්න. දුෂ්ටයා තමාගේ මාර්ගය අත්හැර, හානිදායක මිනිසා තමාගේ සිතුවිලි දුරලා, යෙහෝවඃ වහන්සේ වෙතට නැවත හැරී ඒවා, උන් වහන්සේ ඔහු කෙරෙහි දයාව දක්වනු ඇත; අපගේ දෙවියන් වහන්සේ වෙතට ඔහු හැරී ඒවා, මක්නිසා ද උන් වහන්සේ ඔහුට අතිශයින් කමා කරනු ඇත.”—යෙසායා 55:6, 7, NW.
2. (අ) යෙසායා 55:6, 7 හි සඳහන් පරිදි ‘යෙහෝවඃ වහන්සේ ව සොයා’ හා ‘උන් වහන්සේ වෙතට නැවත හැරී ඒම’ යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? (ආ) බබිලෝනියේ සිටි යුදෙව් වහලුන් යෙහෝවඃ වහන්සේ වෙතට හැරී පැමිණිය යුතු වූයේ මන්ද, එමෙන් ම ඔවුන්ගෙන් සමහරෙකුට කුමක් සිදු වී ද?
2 ‘යෙහෝවඃ වහන්සේ ව සොයා,’ පිළිගැන්මකින් යුතු ව උන් වහන්සේ ව ඇමතීමට නම්, දුෂ්ට තැනැත්තා තමාගේ වැරදි සහගත මාර්ගයත්, වෙනත් අයට හානි කිරීමට යම් සිතුවිල්ලක් වෙතොත් එය ද අත්හැරිය යුතු ය. ‘යෙහෝවඃ වහන්සේ වෙතට නැවත හැරී ඒමේ’ අවශ්‍යතාවයක් තිබීමෙන් අඟවන්නේ, පව්කාරයා වරක් ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන සිටි දෙවියන් වහන්සේ ව අත්හැරිය බවයි. යුදා හි වැසියන් දෙවියන් වහන්සේට වූ තම නොඇදහිලිවන්තකම අවසානයේ ඔවුන් ව බබිලෝනියේ වහල් භාවයට පත් කිරීමට හේතු වූ විට, ඔවුන් සම්බන්ධයෙන් සිදු වූයේ ද එයයි. එසේ බබිලෝනියේ වහල් භාවයටත් පුරෝකථනය කරන ලද වසර 70ක පාළු කිරීමටත් තුඩු දුන් තමන්ගේ වැරදිවලට පසුතැවිලි වීම මගින් යෙහෝවඃ වහන්සේ වෙතට නැවත හැරී ඒමට එම යුදෙව් වහලුන්ට අවශ්‍ය විණ. යුදාවෙන් පිටුවහල් වූවෝ, සිය බබිලෝනීය වහල් භාවය සඳහා ද, සිය දේශය පිළිබඳ ව පුරෝකථනය කරන ලද වසර 70 පාළු කිරීම සඳහා ද හේතු වූ වැරදිවලට පසුතැවිලි වීමෙන් යෙහෝවඃ වහන්සේ වෙතට හැරී පැමිණිය යුතු විය. ආණ්ඩුමය තීන්දු ප්‍රකාශය අනුව බබිලෝනියෙන් මුදා හරින ලද දේව භයැති යුදෙව්වන්ගේ ඉතිරි කොටසක් එම දේශයේ පො.යු.පෙ. 537 දී යළිත් පදිංචි වූහ. (එස්රා 1:1-8; දානියෙල් 9:1-4) එම ප්‍රතිසංස්කරණයේ ප්‍රතිඵලය කොතරම් විශිෂ්ට ද කියතොත්, එම යුදා දේශය ඒදන් හි පාරාදීසය සමඟ සසඳනු ලැබී ය.—එසකියෙල් 36:33-36.
3. ආත්මික ඊශ්‍රායෙලයේ ඉතිරි කොටසට, යුදාවට ආපසු පැමිණි දේව භයැති වහල් ව සිටි අය හා සමාන අත්දැකීමක් තිබී ඇත්තේ කෙසේ ද?
3 බබිලෝනීය වහල් භාවයෙන් පසු යුදාවට හැරී පැමිණි දේව භයැති යුදෙව්වන්ට තිබූ ආකාරයේ අත්දැකීමක් ආත්මික ඉශ්රායෙල්වරුන්ට ලැබී තිබේ. (ගලාති 6:16) ආත්මික ඉශ්රායෙල්වරුන්ගේ ඉතිරි කොටස Iවන ලෝක යුද්ධයෙන් පසු, තමන්ගේ මාර්ගයේ හා තමන්ගේ සිතුවිලිවල යම් පමණ වෙනසක් ඇති කර ගත්හ. බොරු ආගමික ලෝක අධිරාජ්‍යය වූ මහා බබිලෝනියේ ආධිපත්‍යය තුළින් ඔවුනට ලැබුණු දෙවියන් වහන්සේගේ පූර්ණ අනුග්‍රහයෙන් පිටුවහල් ව සිටීමේ අවසානය වර්ෂ 1919 දී සනිටුහන් කෙරිණි. මනුෂ්‍යයන්ට ඇති බිය ඇතුළු, යෙහෝවඃ වහන්සේගේ සේවයේ අක්‍රියාශීලී ව සිටීම හා සම්බන්ධ පාපයන් උදෙසා ඔවුන් පසුතැවිලි වූ නිසා, උන් වහන්සේ ඔවුන් ව මහා බබිලෝනියෙන් මුදා, ඔවුන්ගේ නියම ආත්මික තත්ත්වයට නැවත ගෙන එමින්, නැවතත් රාජ්‍යය පණිවුඩය දේශනා කිරීම සඳහා ඔවුන් ව යොදා ගැනීම යළි ආරම්භ කළ සේක. එවක් පටන් දෙවියන් වහන්සේගේ සෙනඟ අතර ආත්මික පාරාදීසයක සමෘද්ධියක් දක්නට ලැබ ඇති අතර, ඉන් උන් වහන්සේගේ පරිශුද්ධ නාමය ගෞරවයට පත් වී තිබේ. (යෙසායා 55:8-13) එසේ නම්, පුරාතන මූලාකෘතියටත් නූතන ප්‍රති ආකෘතියටත් අනුව, යෙහෝවඃ වහන්සේ ඇත්ත වශයෙන් ම පසුතැවිලි වන්නන්ට අතිශයින් කමා කරන බවටත් දිව්‍ය කමාව සමඟ ආශීර්වාද ලැබෙන බවටත් පැහැදිලි සාක්ෂි අපට තිබේ.
4. යෙහෝවඃ වහන්සේගේ ඇතැම් සේවකයන්ට ඇත්තේ කිනම් බියක් ද?
4 එමනිසා, යෙහෝවඃ වහන්සේගේ වත්මන් දින සේවකයන්ට උන් වහන්සේගේ කමාව කෙරෙහි දැඩි විශ්වාසයක් තැබිය හැකි ය. එහෙත්, ඔවුන්ගෙන් සමහරෙක් කලින් කරන ලද වැරදි පිළිබඳ ව කනස්සල්ලෙන් සිටින අතර දෝෂ සහගත භාවයේ හැඟීම් ඔවුන් ව සම්පූර්ණයෙන් යටකර දමනවාක් මෙන් ය. තමන් ආත්මික පාරාදීසයේ ජීවත්වීමට සුදුසු යයි ඔවුහු නොසලකති. ඇත්ත වශයෙන් ම, ඇතැමෙක් තමන් කමා කළ නොහැකි පාපය කර ඇතැයි ද, යෙහෝවඃ වහන්සේගේ කමාව නොලබනු ඇතැයි ද බිය වෙති. එය එසේ විය හැකි ද?
සමහරක් පාප කමා කළ නොහැක
5. සමහර පාපවලට කමාවක් නොලැබෙන බව කිව හැක්කේ මන්ද?
5 සමහරක් පාපවලට කමා කළ නොහැක. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “හැම පාපයද දේව අපහාසයද මනුෂ්‍යයන්ට කමාකරනු ලබන්නේය; නුමුත් ශුද්ධාත්මයාණන්ට [ආත්මයට NW] විරුද්ධවූ අපහාසය කමාකරනු නොලබන්නේය.” (මතෙව් 12:31) එසේ නම්, දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයට නැතහොත් ක්‍රියාකාරික බලයට විරුද්ධ අපහාසවලට කමාවක් නොලැබෙනු ඇත. ප්‍රේරිත පාවුල් මෙසේ ලියූ අවස්ථාවෙහි, මෙවන් පාප ඇඟවී ය: “වරක් ආලෝකකරනු ලැබුවාවූ, . . . තැනැත්තන්, වැටීගිය කල්හි ඔවුන් නැවත පසුතැවිල්ලට පමුණුවන්ට නුපුළුවන; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයා තමුන්ටම දෙවනු කුරුසියෙහි [වද කණුවෙහි NW] ඇණගසා නින්දාවට පමුණුවති.”—හෙබ්‍රෙව් 6:4-6.
6. පාපයක් කමා කළ හැකි ද නැද්ද යන්න නිශ්චය කරන්නේ කුමක් ද?
6 යමෙක් කමා කළ නොහැකි පාපය කර තිබෙනවාදැයි දන්නේ දෙවියන් වහන්සේ පමණි. කෙසේ වෙතත්, පාවුල් මෙසේ ලියූ විට මෙම කාරණය පිළිබඳ අවබෝධය තවත් වැඩි කළේ ය: “සැබෑව දැනගැනීම ලැබුවායින් පසු අපි කැමැත්තෙන්ම පව් කරමු නම්, විනිශ්චය ගැනත් විරුද්ධකාරයන් දවාදමන්ට යන උදහස් ගින්න ගැනත් භයානක බලාසිටීමක් මිස පව් ගැන තවත් පූජාවක් ඉතිරිව නැත.” (හෙබ්‍රෙව් 10:26, 27) හිතාමතා කටයුතු කරන තැනැත්තෙක් හොඳින් කල්පනා කර බලා ක්‍රියා කරයි, නැතහොත් “හිතුවක්කාර වෙයි එමෙන් ම නිතර මුරණ්ඩු ලෙස හිතුමතේට” කටයුතු කරයි. (වෙබ්ස්ටර්’ස් න කොලීජියේට් ඩික්ෂනරි) සැබෑව දැනගැනීමෙන් පසු තවදුරටත් කැමැත්තෙන් ම නැතහොත් මුරණ්ඩු ලෙස පව් කරන කෙනෙකුට කමාවක් නොලැබේ. මෙසේ පාපය කමා කළ හැකි ද නැද්ද සම්බන්ධයෙන් බලපාන්නේ බොහෝ දුරට පාපය ම නොවේ, එයට ඊටත් වැඩියෙන් හෘදයේ තත්ත්වය, එනම් ඊට සම්බන්ධ ව ඇති හිතාමතා ක්‍රියා කිරීමේ තරම බලපායි. අනෙක් අතට, වැරදි කරන ක්‍රිස්තියානියෙක් තමාගේ පාපතර ක්‍රියාව ගැන බොහෝ සෙයින් කම්පාවට පත් වී සිටී නම් කුමක් කිව හැකි ද? ඔහුගේ මහත් සැලකිල්ල, ඇත්ත වශයෙන් ම, අඟවන්නේ ඔහු කමා කළ නොහැකි පාපයක් කර නැති බවයි.
ඔවුන්ගේ පව් කමා කළ නොහැකි විණි
7. යේසුස් වහන්සේගේ ආගමික විරුද්ධවාදීන් සමහරෙක් කමා කළ නොහැකි පාපය කළා යයි අපට කිව හැක්කේ මන්ද?
7 යේසුස් වහන්සේට විරුද්ධ වූ ඇතැම් යුදෙව් ආගමික නායකයෝ හිතාමතා පව් කළ අතර, ඒ අනුව එය කමා කළ නොහැකි විණ. යේසුස් වහන්සේ යහපත කරමින් ප්රාතිහාර්යයන් සිදු කරත් ම එම ආගමිකයන් දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වය දුටුව ද, ඔවුහු උන් වහන්සේගේ බලය බෙල්සෙබුබ්ගෙන්, නැතහොත් සාතන් නම් යක්ෂයාගෙන් බව කියා සිටියෝ ය. ඔවුන් පව්කළේ, දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ ප්‍රතික්ෂේප කළ නොහැකි ක්‍රියාකාරිත්වය ගැන පූර්ණ දැනගැන්මක් ඇතුව ය. මෙසේ ඔවුහු කමා කළ නොහැකි පාපය කළෝ ය, මන්දයත් යේසුස් වහන්සේ පැවසුවේ මෙසේ ය: “යමෙක් ශුද්ධාත්මයාණන්ට [ආත්මයට NW] විරුද්ධව කථාකරන්නේද, ඒක ඔහුට මේ ලෝකයේදීවත් [දේවල පිළිවෙළේදීවත් NW] මතු පැමිණෙන ලෝකයේදීවත් [දේවල පිළිවෙළේදීවත් NW] කමාකරනු නොලබන්නේය.”—මතෙව් 12:22-32.
8. යූදස් ඉස්කාරියොත්ගේ පාපය කමා කළ නොහැකි වූයේ මන්ද?
8 යූදස් ඉස්කාරියොත්ගේ පාපය ද කමා කළ නොහැක්කක් විණි. ඔහු යේසුස් වහන්සේට ද්‍රෝහිකම් කරමින් පාවා දුන්නේ කැමැත්තෙන් ම ය. එය හිතාමතා කරන ලද, කුහක මෙන් ම වංක ක්‍රියා මාර්ගයක උච්චාවස්ථාවක් විය. උදාහරණයක් වශයෙන්, මරියා යේසුස් වහන්සේ ව වටිනා තෛලයෙන් ආලේප කරනවා යූදස් දුටු විට, “මේ තෙල මසු තුන්සියයකට විකුණා දිළිඳුන්ට නුදුන්නේ මක්නිසාද” යයි ඇසුවේ ඔහු ය. ප්‍රේරිත යොහන් වැඩිදුරටත් මෙසේ පැවසුවේ ය: “[යූදස්] මේක කීවේ දිළිඳුන් සැලකූ නිසා නොව ඔහු සොරෙකු බැවිනුත් මුදල් පසුම්බිය භාරව එහි දැමූ දේ රැගෙනගිය බැවිනුත්ය.” ඉන් මඳ කලකට පසු, යේසුස් වහන්සේට ද්‍රෝහි වූ යූදස්, රිදී මිල තිහකට උන් වහන්සේ ව පාවා දුන්නේ ය. (යොහන් 12:1-6; මතෙව් 26:6-16) යූදස්ට බලවත් කනස්සල්ලක් දැනී සිය දිවි හානි කරගත් බව සැබෑවකි. (මතෙව් 27:1-5) එහෙත් ඔහුගේ පාපය කමා කරනු ලැබුවේ නැත. ඊට හේතුව ඔහු හිතාමතා ම අඛණ්ඩ ව ලුහු බැඳි ආත්මාර්ථකාමී ක්‍රියා මාර්ගයත්, ඔහුගේ ද්‍රෝහිකාර ක්‍රියාවත්, ශුද්ධාත්මයට විරුද්ධ වූ ඔහුගේ පාපය පැහැදිලි ව ගෙනහැර දැක් වූ බැවිනි. යේසුස් වහන්සේ යූදස් ව “විනාශයේ පුත්‍රයා” ලෙස හැඳින්වීම කොතරම් උචිත ද!—යොහන් 17:12; මාර්ක් 3:29; 14:21.
ඔවුන්ගේ පව් කමා කරනු ලැබිණි
9. බැත්-ෂෙබා සම්බන්ධ දාවිත්ගේ පාපය දෙවියන් වහන්සේ විසින් කමා කරනු ලැබුවේ මන්ද?
9 හිතාමතා කරන පව්, දෙවියන් වහන්සේ විසින් කමා කරන ලද අයගේ වැරදිවලට හාත්පසින් ම වෙනස් ය. උදාහරණයක් වශයෙන්, ඊශ්‍රායලයේ දාවිත් රජ ගැන සැලකිල්ලට ගන්න. ඔහු උරියාගේ භාර්යාව වූ, බැත්-ෂෙබා සමඟ කාමමිථ්‍යාචාරයේ යෙදී, පසු ව සටනේ දී උරියා ව මරණයට පත් කරන්නට යෝවාබ් ලවා කටයුතු සැලැස්සුවේ ය. (2 සාමුවෙල් 11:1-27) දෙවියන් වහන්සේ දාවිත්ට දයාව පෙන්වූයේ මන්ද? මූලික ව ම එසේ කළේ රාජ්‍යය ගිවිසුම නිසා ය, නමුත් දාවිත්ගේ ම දයානුකම්පිත බව සහ ඔහුගේ අව්‍යාජ පසුතැවිල්ල නිසාත් ය.—1 සාමුවෙල් 24:4-7; 2 සාමුවෙල් 7:12; 12:13.
10. පේතෘස් බරපතළ ලෙස පව් කළත්, දෙවියන් වහන්සේ ඔහුට කමාව දුන්නේ මන්ද?
10 ප්‍රේරිත පේතෘස් ව ද සලකා බලන්න. යේසුස් වහන්සේ ව පුන පුනා ප්‍රතික්ෂේප කිරීමෙන් ඔහු කළේ බරපතළ පාපයකි. දෙවියන් වහන්සේ පේතෘස්ට කමාව දුන්නේ මන්ද? යූදස් ඉස්කාරියොත් මෙන් නොව, පේතෘස් දෙවියන් වහන්සේගේ හා ක්‍රිස්තුස් වහන්සේගේ සේවය තුළ අවංක ව සිටියේ ය. මෙම ප්‍රේරිතවරයාගේ පාපය මාංසයේ දුර්වලත්වය නිසා වූ අතර, ඔහු සැබවින් ම පසුතැවිලි වී “බලවත් දුකින් හැඬුවේය.”—මතෙව් 26:69-75.
11. “පසුතැවිල්ල” යන වචනය ඔබ අර්ථ දක්වන්නේ කෙසේ ද, එමෙන් ම කෙනෙක් සැබවින් ම පසුතැවිලි වන්නේ නම් ඔහු කළ යුත්තේ කුමක් ද?
11 ඉහත සඳහන් කළ ආදර්ශයන් පෙන්වන්නේ, බරපතළ පාපයන් කරන කෙනෙකුට පවා යෙහෝවඃ දෙවියන් වහන්සේගෙන් කමාව ලබා ගත හැකි බව ය. එහෙත් කමා කරනු ලැබීම පිණිස අවශ්‍ය කරන්නේ කිනම් ආකල්පයක් ද? වැරදි කරන ක්‍රිස්තියානියෙකු ව දෙවියන් වහන්සේ විසින් කමා කරනු ලැබීමට නම්, සැබෑ පසුතැවිල්ල අතිශයින් වැදගත් ය. පසුතැවිලි වීම යනු, “කලින් කරන ලද වැරදි උදෙසා පශ්චාත්තාපයෙන් යුක්ත ව පාපයෙන් හැරීම ය” නොහොත් “යමෙක් කළා වූ හෝ කිරීම පැහැර හැරියා වූ දෙයක් උදෙසා බලවත් පශ්චාත්තාපයක් හැඟීම ය.” (වෙබ්ස්ටර්’ස් තර්ඩ් න ඉන්ටනැෂනල් ඩික්ෂනරි) සැබවින් ම පසුතැවිලි වන තැනැත්තෙක් තමාගේ පාපය යෙහෝවඃ වහන්සේගේ නාමයටත්, සංවිධානයටත් ගෙනැවිත් ඇති ඕනෑ ම නින්දාවන්, සංතාපය හෝ ගැටලු පිළිබඳ ව බලවත් කනස්සල්ලක් පෙන්වනු ඇත. පසුතැවිලි වූ වරදකරුවා, පසුතැවිල්ලට උචිත ක්‍රියාවන් ප්‍රසිද්ධියේ කරමින් ඊට අනුරූප ඵල ද නිපදවනු ඇත. (මතෙව් 3:8; ක්‍රියා 26:20) උදාහරණයක් හැටියට, ඔහු යමෙකුගෙන් යමක් අයුක්ති සහගත ලෙස ලබා ගෙන තිබුණේ නම්, ඔහු එම පාඩුවට වන්දි ගෙවීමට යුතු පියවර ගනු ඇත. (ලූක් 19:8) එයාකාරයෙන් පසුතැවිලි වන ක්‍රිස්තියානියෙකුට යෙහෝවඃ වහන්සේ අතිශයින් කමා කරන බව නිසැක වීමට වලංගු ශුද්ධ ලියවිලිමය හේතු ඇත. මේවා මොනවා ද?
දෙවියන් වහන්සේගේ කමාව පිළිබඳ ව නිසැක වීමට හේතු
12. ගීතාවලිය 25:11 අඟවන අයුරින්, කෙනෙකුට කමාව සඳහා අයැදිය හැක්කේ කුමන පදමනක් මත ද?
12 පසුතැවිලි වන පව්කාරයෙකුට යෙහෝවඃ වහන්සේගේ නාමයේ පදනම මත කමාව සඳහා නිසැක ව යාච්ඤා කළ හැකි ය. “ස්වාමිනි [අහෝ යෙහෝවඃ වහන්ස NW], මාගේ අයුතුකම [වරද NW] මහත් බැවින් ඔබගේ නාමය නිසා ඊට කමාවුව මැනව” කියා දාවිත් කන්නලව් කළේ ය. (ගීතාවලිය 25:11) වැරදිකරුවා, දෙවියන් වහන්සේගේ නාමය කෙරෙහි ගෙනැවිත් ඇති ඕනෑ ම නින්දාවක් සඳහා පසුතැවිල්ලකින් යුතු ව කරන එවන් යාච්ඤා, ඉන් පසු ව බරපතළ පව් කිරීම වළක්වන හේතුකාරකයක් හැටියට ද ක්‍රියා කළ යුතුයි.
13. දිව්‍ය කමාව සම්බන්ධයෙන් යාච්ඤාව ඉටු කරන කාර්ය භාරය කුමක් ද?
13 යෙහෝවඃ දෙවියන් වහන්සේ, පව්කාර නමුත් පසුතැවිලි වන ස්වකීය සේවකයන්ගේ හෘදයාංගම යාච්ඤාවලට පිළිතුරු දෙන සේක. උදාහරණයක් හැටියට, බැත්-ෂෙබා හා සම්බන්ධ තමාගේ පාපවල විශාලත්වය තේරුම් ගැනීමෙන් පසු හෘදයෙන් යාච්ඤා කළ දාවිත්ට, යෙහෝවඃ වහන්සේ වුවමනාවෙන් ම සවන් නොදී නොසිටි සේක. ඇත්ත වශයෙන් ම, 51වන ගීතාවලියේ දාවිත්ගේ වදන් බොහෝ ආයාචකයන්ගේ හැඟීම් ඉදිරිපත් කරයි. “අහෝ දෙවියන්වහන්ස, ඔබගේ කරුණා ගුණය ලෙස මට දයාවුව මැනව. ඔබගේ අධික දයාබරකම ලෙස මාගේ අපරාධ මැකුව මැනව. මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදුකළ මැනව. දෙවියන්වහන්සේට කළ යුතු පූජා නම් බිඳුණාවූ සිතක්ය. [අහෝ] දෙවියන්වහන්ස, බිඳුණාවූ තැළුණාවූ සිතක් [හදවතක් NW] ඔබ සුළුකොට නොසිතන සේක” යනුවෙන් ඔහු කන්නලව් කළේ ය.—ගීතාවලිය 51:1, 2, 17.
14. යේසුස් වහන්සේගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල තබන්නා වූ අයට දෙවියන් වහන්සේ කමාව දෙන බව ශුද්ධ ලියවිලි ප්‍රති සහතිකයක් දෙනුයේ කෙසේ ද?
14 යේසුස් වහන්සේගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල දක්වන්නන්ට දෙවියන් වහන්සේ කමා කරන සේක. “උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය” යයි පාවුල් ලිව්වේ ය. (එපීස 1:7) ඒ හා සමාන අර්ථයකින් යුතු ව ප්‍රේරිත යොහන් මෙසේ ලිව්වේ ය: “මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක. උන්වහන්සේ අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය; අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය.”—1 යොහන් 2:1, 2.
15. දෙවියන් වහන්සේගේ දයාව දිගට ම ලැබීමට නම්, පසුතැවිලි වන පව්කාරයෙක් කුමක් කළ යුතු ද?
15 යෙහෝවඃ වහන්සේගේ දයාව, පසුතැවිලි වන පව්කාරයෙකුට කමාව ලැබිය හැකි බවට නිසැකකමක් සඳහා පදනමක් සපයයි. “ඔබ කමාවෙන්නාවූ, දයාබරවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ, කරුණාභරිතවූ දෙවිකෙනෙක්” යයි නෙහෙමියා පැවසී ය. (නෙහෙමියා 9:17; නික්මයාම 34:6, 7 සසඳන්න.) ඇත්ත වශයෙන් ම, අඛණ්ඩ ව දිව්‍ය අනුකම්පාව ලැබීමට නම්, පව්කාරයා දේව නීතිය දිගට ම පැවැත්වීමට මහත් වෑයමක් දැරිය යුතු ය. ගීතිකාකරු පැවසුවාක් මෙන්: “මා ජීවත්වන පිණිස ඔබගේ අනුකම්පාව මා කරා පැමිණේවා. මක්නිසාද ඔබගේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතියය. ස්වාමීන්වහන්ස [අහෝ යෙහෝවඃ වහන්ස NW], ඔබගේ අනුකම්පා මහත්ය. ඔබගේ විනිශ්චයන් ලෙස මා ප්‍රාණවත්කළ මැනව.”—ගීතාවලිය 119:77, 156.
16. යෙහෝවඃ වහන්සේ අපගේ පව්කාර තත්ත්වය සැලකිල්ලට ගන්නේ ය යන කාරණය තුළ තිබෙන සහනය කුමක් ද?
16 යෙහෝවඃ වහන්සේ අපගේ පව්කාර තත්ත්වය හේතුවෙන් අප හට සැලකිල්ල පෙන්වන්නේ ය යන කාරණය, පසුතැවිලි වන පව්කාරයෙකුට සැනසීම හා උන් වහන්සේ ඔහුට කමාව දෙනු ඇතැයි නිසැකකමින් යුතු ව යාච්ඤා කිරීමට හේතු ලබා දෙයි. (ගීතාවලිය 51:5; රෝම 5:12) ගීතිකාකරු දාවිත් මෙසේ ප්‍රකාශ කළ විට, සහනදායී ප්‍රති සහතිකයක් ලබා දුන්නේ ය: “උන්වහන්සේ [යෙහෝවඃ දෙවියන් වහන්සේ] අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළසේක, අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නුදුන්සේක. මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ [ප්‍රේමනීය NW] කරුණාව මහත්ය. නැගෙනහිර බස්නාහිරෙන් දුරව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ අපේ වරද අපෙන් දුරුකළසේක. පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පාකරනසේක. මක්නිසාද උන්වහන්සේ අපේ ස්වභාවය දන්නාසේක; අප ධූලි බව උන්වහන්සේ සිහිකරනසේක.” (ගීතාවලිය 103:10-14) එසේ ය, අපගේ ස්වර්ගීය පියාණන් මිනිස් දෙමාපියෙකුටත් වඩා වැඩියෙන් අනුකම්පා සහගත හා කරුණාවන්ත වන සේක.
17. යමෙකු වෙත කමා කරනු ලැබීම සම්බන්ධයෙන්, දෙවියන් වහන්සේට කළ ඔහුගේ ඇදහිලිවන්ත සේවයේ අතීත වාර්තාව ඊට බලපානුයේ කෙසේ ද?
17 යෙහෝවඃ වහන්සේ තමාගේ අතීත ඇදහිලිවන්ත සේවය පිළිබඳ වාර්තාව නොසලකා නොහරින බවට වූ නිසැක භාවයකින් යුක්ත ව පසුතැවිලි වන පව්කාරයෙකුට සමාව අයැද යාච්ඤා කළ හැකි ය. නෙහෙමියා තමාගේ පාපයට කමාව අයැද සිටියේ නැත, එහෙත් ඔහු කියා සිටියේ: “අහෝ මාගේ දෙවියන්වහන්ස, යහපත පිණිස මා සිහිකළ මැනව” යනුවෙනි. (නෙහෙමියා 13:31) පසුතැවිලි වන පව්කාරයෙකුට මේ වචන තුළින් සහනය සොයා ගන්නට පුළුවන: “නුඹලාගේ වැඩයද . . . දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.”—හෙබ්‍රෙව් 6:10.
වැඩිමහල්ලන්ගෙන් උපකාරය
18. ක්‍රිස්තියානියෙකුගේ පාපය ඔහු ව ආත්මික ව රෝගාතුර කර තිබේ නම් කළ යුත්තේ කුමක් ද?
18 ආත්මික පාරාදීසයේ රැඳී සිටීමට තමන් නුසුදුසු යයි ක්‍රිස්තියානියෙකුට හැඟෙන්නේ නම් හෝ ඔහුගේ පාපය ඔහු ව ආත්මික වශයෙන් රෝගාතුර කිරීම හේතුවෙන් යාච්ඤා කිරීමට නොහැකි ව සිටින්නේ නම් කුමක් කළ හැකි ද? “ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා; ඔව්හු ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] නාමයෙන් ඔහුට තෙල් ආලේපකොට, ඔහු උදෙසා යාච්ඤාකරත්වා” යයි ශ්‍රාවක යාකොබ් ලිව්වේ ය. “එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ඔහු නැගුටුවනවා ඇත. ඔහු පාපයන් කර තිබේ නම්, ඒවා ඔහුට කමාකරනු ලැබේ.” එසේ ය, පසුතැවිලි වන සෙසු ඇදහිලිවන්තයෙකු ව යහපත් ආත්මික සෞඛ්‍යයකට යළි පත් කිරීමේ බලාපොරොත්තුවෙන් ඔහු උදෙසා, ඔහු සමඟ බලපෑමෙන් යුතු ව යාච්ඤා කිරීමට සභා වැඩිමහල්ලන්ට හැකි ය.—යාකොබ් 5:14-16.
19. කෙනෙකු ව සභා ආශ්රයෙන් කපා හරිනු ලැබ තිබේ නම්, කමාව ලැබීමටත් යළි පිහිටුවනු ලැබීමටත් ඔහු කළ යුත්තේ කුමක් ද?
19 විනිශ්චය කමිටුවක් විසින් පසුතැවිලි නොවන පව්කාරයෙක් ව සභා ආශ්රයෙන් කපා හරිනු ලැබුව ද, කමා කළ නොහැකි පවක් ඔහු කර ඇති බව එය අදහස් නොකරයි. කෙසේ වෙතත්, කමාව ලැබීමට හා යළි පිහිටුවනු ලැබීමට නම්, ඔහු දේව නීතියට යටහත් පහත් ව කීකරු වී, පසුතැවිල්ලට උචිත ඵල උපදවා ගෙන, යළි පිහිටුවනු ලබන ලෙස වැඩිමහල්ලන්ගෙන් ඉල්ලා සිටිය යුතු ය. පුරාතන කොරින්ති සභාවෙන් වේශ්‍යාකම් කළ තැනැත්තෙකු ව සභා ආශ්රයෙන් කපා හැරීමෙන් පසු, පාවුල් මෙසේ ලිව්වේ ය: “බොහෝ දෙනා විසින් පමුණුවනලද මේ දඬුවම එබඳු තැනැත්තාට ඇත. අනික් අතට එබඳු තැනැත්තා යම් විධියකින් ඔහුගේ අධික ශෝකයෙහි ගිලී නැති නොවන පිණිස ඔහුට කමාවෙන්ටද ඔහු සනසන්ටද ඊට වඩා නුඹලාට යුතුය. එබැවින් ඔහු කෙරෙහි තිබෙන නුඹලාගේ ප්‍රේමය ස්ථිරකරන මෙන් නුඹලාගෙන් ඉල්ලමි.”—2 කොරින්ති 2:6-8; 1 කොරින්ති 5:1-13.
දෙවියන් වහන්සේ ශක්තිය දෙන සේක
20, 21. තමන් ඇතැම්විට කමාව ලැබිය නොහැකි පාපයක් කර ඇතැයි කාන්සාවෙන් පසුවන්නෙකුට කුමක් උපකාරවත් විය හැකි ද?
20 කමාව ලැබිය නොහැකි පවක් කර ඇති නිසාවෙන්, දුර්වල සෞඛ්‍යය තත්ත්වයක් පැවතීම හෝ අධික වෙහෙස වැනි සාධක කාන්සාවක් ඇති කරන්නේ නම්, ප්‍රමාණවත් විවේකයක් හා නින්දක් ලැබීම උපකාරවත් විය හැකි ය. කෙසේ වෙතත්, ඔබ විශේෂයෙන්, පේතෘස්ගේ මෙම වචන සිහියේ තබා ගත යුතු ය: “උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර [කාන්සාවක් ම NW] [දෙවියන් වහන්සේ] පිට තබාපල්ලා.” තව ද සාතන්ට ඔබ ව අධෛර්යට පත් කරන්නට කිසිවිටෙකත් ඉඩ නාරින්න. මන්දයත් පේතෘස් වැඩිදුරටත් මෙසේ ද පැවසී ය: “සිහි ඇතිව, අවදිව ඉඳිල්ලා. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය. ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටපල්ලා. . . . සියලු [ලබන්ට නොවටින තරම් වූ NW] කරුණාවේ දෙවියන්වහන්සේම, නුඹලා ස්වල්ප කලක් දුක්වින්ද පසු, නුඹලා සම්පූර්ණකර, ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක.”—1 පේතෘස් 5:6-10.
21 ඔබ බලවත් ලෙස පශ්චාත්තාප වනමුත්, කමාව ලැබිය නොහැකි පවක් කර ඇති බවට බියෙන් සිටින්නේ නම්, දෙවියන් වහන්සේගේ මාර්ග ඥානවන්ත, යුක්ති සහගත, හා ප්‍රේමනීය බව මතක තබා ගන්න. එමනිසා, ඇදහිල්ලෙන් යුක්ත ව උන් වහන්සේට යාච්ඤා කරන්න. අඛණ්ඩ ව “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් උන් වහන්සේ සපයන ආත්මික ආහාර ලබා ගනිමින් සිටින්න. (මතෙව් 24:45-47) සෙසු ඇදහිලිවන්තයන් සමඟ ආශ්‍රය කරමින් ක්‍රිස්තියානි සේවයේ නිති පතා සහභාගි වන්න. මෙය ඔබගේ ඇදහිල්ල ශක්තිමත් කරනු ඇති අතර, කමාව ලැබිය නොහැකි පවක් කර ඇති බවට පවතින බියෙන් ඔබ ව නිදහස් කරනු ඇත.
22. අප මීළඟට සලකා බලනු ඇත්තේ කුමක් ද?
22 යෙහෝවඃ වහන්සේ අතිශයින් කමා කරන බවට වූ අවබෝධයෙන් ආත්මික පාරාදීසයේ වාසය කරන්නන්ට සහනය ලැබිය හැකි ය. එහෙත්, අද දින ඔවුන්ගේ ජීවිතවලට පරීක්ෂාවන් නොපැමිණෙනවා නොවේ ය. ඇතැම් විට ප්‍රේම කළ යමෙක් මිය ගිය නිසා, හෝ හිතවත් මිත්‍රයෙක් බරපතළ ලෙස රෝගාතුර ව සිටින නිසා ඔවුන් අසහනයට පත් ව සිටිනවා විය හැකි ය. අප සලකා බලන්නට යන පරිදි, මෙවන් සහ වෙනත් තත්ත්වයන්හි දී, යෙහෝවඃ වහන්සේ ස්වකීය ශුද්ධාත්මය මාර්ගයෙන් ස්වකීය සෙනඟට උපකාර කර මඟ පෙන්වන සේක. w92 9/15
දාවිත් හා පේතෘස් කමා කරනු ලැබූ නමුත් යූදස් ඉස්කාරියොත් කමා කරනු නොලැබීමට හේතුව ඔබ දන්නෙහි ද?
ක්‍රිස්තියානියෙකුට ආත්මික වශයෙන් උපකාර කිරීමට සභා වැඩිමහල්ලන්ගේ සහයෝගය බොහෝසෙයින් දායක විය හැකි ය
ඔබගේ පිළිතුරු මොනවා ද?
◻ යෙහෝවඃ වහන්සේ ‘අතිශයින් කමා කරන’ බවට ඇත්තේ කිනම් ඔප්පු ද?
◻ කමාවක් නැත්තේ කිනම් පාපයකට ද?
◻ කෙනෙකුගේ පව්වලට කමාව ලැබෙන්නේ කිනම් තත්ත්වයන් යටතේ ද?
◻ පසුතැවිලි වන පව්කාරයන්ට දෙවියන් වහන්සේගේ කමාව පිළිබඳ ව නිසැක විය හැක්කේ මන්ද?
◻ පසුතැවිලි වන පව්කාරයන්ට ලබා ගත හැකි උපකාරය කුමක් ද?