බොරු කීමට මෙතරම් පහසු ඇයි?
තමාට බොරු කියනවාට කිසි කෙනෙක් කැමති නැත. එහෙත්, ලොව මුළුල්ලේ වෙසෙන ජනයා විවිධ හේතූන් උදෙසා එකිනෙකාට බොරු කියති. අමෙරිකානුවන්ගෙන් සියයට 91ක් විධිවත් ව බොරු කියන බව ජේම්ස් පැටර්සන් හා පීටර් කිම් විසින් ලියන ලද, ද ඩේ අමෙරිකා ටෝල්ඩ් ද ටෘත් නම් පොතේ සඳහන් සමීක්ෂණයක් හෙළි කළේ ය. එම කර්තෘවරු මෙසේ පවසත්: “අපෙන් බහුතරයකට බොරු නොකියා සතියක් ගත කිරීමට අපහසු බවක් පෙනේ. පස් දෙනෙකුගෙන් එක් කෙනෙකුට එක් දිනක්වත් බොරු නොකියා ගත කළ නොහැකි ය—තව ද අප කථා කරන්නේ හොඳ සිහිබුද්ධියෙන් යුතු ව, කලින් සිතා මතා අරමුණු කළ බොරු ගැනයි.”
බොරු කීම නවීන දින ජීවිතයේ සෑම අංශයක ම වාගේ සිදුවන සාමාන්‍ය පුරුද්දකි. දේශපාලන නායකයෝ තමන්ගේ ජනයාට හා ඔවුන් එකිනෙකාට බොරු කියති. තමන් ඇත්ත වශයෙන් ම දැඩි සේ සම්බන්ධ ව සිටි ගරහන සුලු යෝජනාවලට කිසිදු සම්බන්ධකමක් නැතැයි පවසමින් ඔවුහු රූපවාහිනියේ විටින් විට පෙනී සිටිති. සිස්සෙලා බොක්, ලයිං—මොරල් චෝයිස් ඉන් පබ්ලික් ඇන්ඩ් ප්‍රයිවට් ලයිෆ් නම් සිය පොතේ මෙසේ නිරීක්ෂණය කරන්නී ය: “නීතියේ හා පත්‍ර කලාවේ ද, ආණුඩුවේ හා සමාජ විද්‍යාවේ ද, බොරු කීමට ද එපමණක් නොව නීති සම්පාදනය කිරීමට ද නැඹුරුවන්නන් විසින් ඊට සමාව දීම සුදුසු යයි හැඟුන විට, වංචාව පිළිගත හැකි යමක් සේ සලකනු ලැබේ.”
එක්සත් ජනපදයේ දේශපාලනික බොරු කීමට යොමු දක්වමින්, 1989 මැයි⁄ජූනි මාසවල කොමන් කෝස් මැගසීන් මෙසේ ප්‍රකාශ කළේ ය: “රාජ්‍ය වංචාව හා මහජන අවිශ්වාසය ඇති කරන මාධ්‍යයක් වශයෙන් වොටරිංගට් නමැති දේශපාලන වංචාව හා වියට්නාම් යුද්ධය පිළිබඳ ප්රශ්නය සැබවින් ඉරාන-කොන්ට්රා [ඉරානය හා කොන්ට්රා විප්ලව වාදීන් සම්බන්ධ අවි විකිණීම්] ප්රශ්නය තරම් බරපතළ විය. එනිසා රේගන් සමය මෙවන් විපර්යාසයක් සහිත කාලයක් කළේ කුමක් ද? බොහෝ දෙනෙක් බොරු කී නමුත්, ඊට පසුතැවිලි වූයේ කීප දෙනෙක් පමණකි.” එනිසා පොදු ජනයා සිය දේශපාලන නායකයන් ව විශ්වාස නොකරන්නේ හොඳ හේතු ඇති ව ය.
ජාත්‍යන්තර සම්බන්ධතාවයන්හි ද එවන් නායකයන්ට එකිනෙකා ව විශ්වාස කිරීම දුෂ්කර ය. ග්‍රීක් දර්ශනවාදී ප්ලේටෝ මෙසේ නිරීක්ෂණය කළේ ය: “දේශයේ පාලකයන්ට . . . දේශයේ යහපත පිණිස බොරු කීමට ඉඩ දෙනු ලැබිය හැකි ය.” ජාත්‍යන්තර සම්බන්ධතාවයන් ගැන ගත් කල, එය දානියෙල් 11:27 හි සඳහන්, “එක මේසයේ හිඳගෙන ඔව්හු බොරු කියන්නෝය” යන බයිබල් අනාවැකිය පවසන ආකාරයට සිදු වෙමින් පවතී.
ව්‍යාපාර ලෝකයේ, නිෂ්පාදනයන් හා සේවාවන් ගැන බොරු කීම සාමාන්‍ය පුරුද්දකි. ගැනුම්කරුවන් කොන්ත්‍රාත් ගිවිසුම්වලට ඇතුල් විය යුතු වන්නේ සුපරීක්ෂාවෙන් යුතු ව ය. මෙහි දී කොන්දේසි හා බැඳුම්කරයන්වල කුඩා අකුරින් දක්වා ඇති දේ කියවීමට වගබලා ගත යුතු ය. බොරු ප්‍රචාරයන්ගෙන්, ප්‍රයෝජනවත් නැතහොත් හානිදායක නොවන්නේ යයි ඉදිරිපත් කරනු ලබන අනතුරුදායක වෙළෙඳ භාණ්ඩවලින්, හා ප්‍රෝඩාවෙන් ජනයා ව ආරක්ෂා කිරීමට ඇතැම් රටවල් රාජ්‍ය නියාමක ආයතන පවත්වා ගනිති. මෙම වෑයම් තිබියදීත්, ජනයා තවදුරටත් බොරු කියන වෙළෙන්දන්ගෙන් මූල්‍යමය පාඩු විඳිමින් සිටිති.
සමහරක් අයට කොතරම් පහසුවෙන් බොරු කිව හැකි ද කියතොත්, ඔවුහු ඊට පුරුදු වෙති. තවත් අය සාමාන්‍යයෙන් සත්‍යවාදී වුවත්, යම් ප්‍රශ්නයකට කොටු වූ විට ඔවුන් බොරු කියනු ඇත. ඕනෑ ම තත්ත්වයක් යටතේ දී වුවත් බොරු කීම ප්‍රතික්ෂේප කරන්නේ ටික දෙනෙක් පමණකි.
බොරුවක් මෙසේ අර්ථ දක්වා ඇත. “1. බොරු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක්, විශේෂයෙන් රවටන බලාපොරොත්තුවෙන් කරනු ලබන එකක් . . . 2. බොරු හැඟීමක් දෙන හෝ අදහස් කරන ලද, ඕනෑ ම යමක්.” මෙහි චේතනාව නම්, සත්‍යය නොවන බවට බොරුකාරයා විසින් දන්නා යමක් අන්‍යයන් ලවා විශ්වාස කරවීමට සැලැස්වීම ය. බොරු නැතහොත් බාගෙට කියන සත්‍යයන් මගින්, ඔහු සත්‍යය දැනගැනීමට සුදුසුකම් ලබා සිටින අය ව රවටන්නට වෙර දරයි.
බොරු කීමට හේතු
හේතු බොහොමයක් උදෙසා මිනිස්සු බොරු කියති. සමහරෙක් සිතන්නේ, මෙම තරඟකාරී ලෝකයේ සාර්ථකත්වය අත්කර ගනු පිණිස තමන්ගේ හැකියාවන් පිළිබඳ ව තමන්ට අනිවාර්යයෙන් ම බොරු කීමට සිදු වන බව ය. තවත් අය, වැරදි හෝ වරද සහිත භාවය වරදකාරත්වය බොරුවෙන් වසන් කිරීමට වෑයම් කරත්. තව ද, තවත් අය, තමන් කර නැති වැඩ තමන් කළ බව අඟවන්නට වාර්තා බොරුවට වෙනස් කොට දක්වති. මීට අමතර ව, අන්‍යයන්ගේ හොඳ කීර්ති නාමයට හානි පැමිණ වීමට, ව්‍යාකුලත්වයට පත්වීමෙන් වැළකීමට, කලින් කියන ලද බොරු ඇත්ත කර පෙන්වීමට, එසේත් නැත්නම් ජනයාගේ මුදල් වංචාවෙන් ලබා ගැනීමට බොරු කියන අය සිටිති.
බොරුවක් හරි ය කියා පෙන්වන පොදු හේතුවක් වනුයේ එය තවත් කෙනෙක් ව ආරක්ෂා කරන බවට පැවසීම ය. සමහරෙක් මෙය, කිසිවෙකුට හානියක් නොකරන්නේ යයි තමන් කල්පනා කරන නිසා, සුළු බොරුවක් හැටියට සලකති. එහෙත් සුළු බොරු යයි හඳුන්වනු ලබන මේවා සැබවින් ම කිසිදු අයහපත් ප්‍රතිඵල ඇති නොකරයි ද?
ඇති වන බලපෑම් ගැන සලකා බලන්න
සුළු බොරු වඩාත් බරපතළ කාරණා හා සම්බන්ධ විය හැකි, බොරු කීමේ පුරුද්දට තුඩු දිය හැකි ය. සිස්සෙලා බොක් මෙසේ ප්‍රකාශ කරන්නී ය: “ ‘සුළු’ යනුවෙන් වර්ග කොට ඒවා සඳහා නිදහසට කරුණු දක්වනු ලබන සියලු ම බොරු, එතරම් පහසුවෙන් සුළු කොට සැලකිය නොහැකි ය. පළමුකොට, බොරු හිංසා රහිත බව පැවසීම බොහෝ මත භේදයට තුඩුදෙන කරුණකි. කිසි හානියක් නැතැයි හෝ ප්‍රයෝජනවත් ය කියා බොරු කියන තැනැත්තාට දැනෙන දෙය, රැවටුනු තැනැත්තාගේ ඇස් හමුවේ එසේ නොවිය හැකි ය.”
ඒවා කොතරම් අහිංසක ව පෙනෙන්නට තිබිය හැකි වුවත්, බොරු, හොඳ මිනිස් සබඳතාවයන්ට විනාශකාරී ය. බොරුකාරයාගේ විශ්වාසනීයත්වය පලුදු වී යන අතර, විශ්වාස කටයුතු බව ස්ථිර වශයෙන් ම බිඳී යා හැකි ය. “සුප්‍රකට රචක රැල්ෆ් වොල්ඩෝ එමර්සන් මෙසේ ලීවේ ය: “සත්‍යය උල්ලංඝනය කරන සෑම අවස්ථාවක් ම බොරුකාරයා තුළ යම් ආකාරයක දිවි නසා ගැනීමක් කරනවා පමණක් නොව, නමුත් එය මිනිස් සමාජයේ සෞඛ්‍යට එල්ල කරන ලද මරු පහරකි.”
තවත් තැනැත්තෙක් පිළිබඳ ව බොරු ප්‍රකාශයක් කිරීම බොරු කියන්නෙකුට පහසු දෙයකි. ඔහු විසින් සාක්ෂි සාධක කිසිත් ඉදිරිපත් නොකළ ද, ඔහුගේ බොරුව නිසා සැකයන් පහළ වන අතර, බොහෝ දෙනා ඔහුගේ ප්‍රකාශය පිළිගන්නේ ඒ ගැන කිසිදු වග විභාගයක් නොකර ය. මෙසේ, අහිංසක තැනැත්තාගේ කීර්ති නාමයට හානි කරනු ලබන අතර, තමාගේ අහිංසකත්වය සනාථ කිරීමේ බර රැගෙන යන්නට ඔහු හට සිදු වෙයි. එනිසා, මිනිසුන් අහිංසක තැනැත්තාට වඩා බොරුකාරයා ව විශ්වාස කරන විට, එය කලකිරීමට හේතු වන අතර, එය බොරු කියන තැනැත්තා සමඟ අහිංසක තැනැත්තාගේ සම්බන්ධතාවය ද විනාශ කර දමයි.
බොරුකාරයෙකුට බොරු කීමේ පුරුද්ද පහසුවෙන් ම වැඩි වර්ධනය කර ගත හැකි ය. එක් බොරුවක් සාමාන්‍යයෙන් තවත් එකක් කීමට මඟ පාදයි. අමෙරිකාවේ මුල් අවධියේ උසස් දේශපාලකයෙක් ව සිටි තොමස් ජෙෆර්සන් මෙවන් නිරීක්ෂණයක් කළේ ය: “මෙතරම් අධම, මෙතරම් දුක්ඛදායක, මෙතරම් නින්දිත අවකල් ක්‍රියාවක් නොමැත; වරක් බොරුවක් කීමට තමාට ඉඩ දෙන තැනැත්තේ, කලක් ගත වන විට එය පුරුද්දක් වන තුරු, දෙවන හා තෙවන වර එසේ කිරීම වඩ වඩා පහසු බව සොයා ගනී.” එය සදාචාර බිඳ වැටීමට මාවතක් ය.
බොරු කීම පහසු වීමට හේතුව
බොරු කීම ආරම්භ වූයේ, කැරලිකාර දේව දූතයෙක් පළමු ස්ත්‍රිය ව අමතා, ඇය මැවුම්කරුට අකීකරු වුවහොත්, ඇය නොනසින බව පැවසූ විට ය. එහි ප්‍රතිඵලය වූයේ, සියල්ලන්ට ම අසම්පූර්ණත්වය, අසනීප හා මරණය ගෙන එමින්, මුළු මහත් මිනිස් වර්ගයාට ම තක්සේරු කළ නොහැකි හානියක් සිදුවීමයි.—උත්පත්ති 3:1-4; රෝම 5:12.
අකීකරු ආදම් සහ ඒවගේ කාලයේ පටන්, බොරුවේ පියාගේ මෙම ප්රයෝගකාරී බලපෑම, බොරු කීමට පොලඹවන්නා වූ වාතාවරණයක් මිනිස් වර්ගයාගේ ලෝකය තුළ උත්පාදනය කර ඇත. (යොහන් 8:44) එය වනාහි සත්‍යය සාපේක්ෂී යමක් ලෙස පමණක් පවතින පරිහානියට පත් ලෝකයකි. වර්ෂ 1986 සැප්තැම්බර් මස ද සැටර්ඩේ ඊව්නිං පෝස්ට් බොරු කීම පිළිබඳ ගැටලුව “ව්‍යාපාරය, රජය, අධ්‍යාපනය, විනෝදාංශ, මෙන් ම පුරවැසියන් හා අසල්වැසියන් අතර එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සම්බන්ධකම් යනාදියට බලපායි. . . . පූර්ණ සත්‍යයක් නැතැයි පවසන විශාලතම තනි බොරුව, වන සාපේක්ෂත්වය [දැනුම, මනසේ සීමිත ස්වභාවයට හා දැනුමේ තත්ත්වයට සාපේක්ෂය යන න්‍යාය] අපි පිළිගෙන ඇත්තෙමු” යයි ප්‍රකාශ කළේ ය.
තමන් රවටන අය පිළිබඳ ව කිසි ම සංවේදනයක් නොමැති, පුරුද්දට බොරු කියන අය ඒ දෙස බලන්නේ ඒ ආකාරයට ය. බොරු කීම ඔවුන්ට ඉතා පහසු දෙයකි. එය ඔවුන්ගේ ජීවිත ක්‍රමය වෙයි. එහෙත් පුරුද්දට බොරු නොකියන අන්‍යයන්—යමක් හෙළි වනු ඇතැයි යන භය, දඬුවමක් ලැබෙනු ඇතැයි යන භය යනාදිය—නිසා නොපැකිලී බොරු කියන්නට පුළුවන. එය අසම්පූර්ණ මාංසයේ දුර්වලත්වයකි. මෙම ප්‍රවණතාවය වෙනුවට සත්‍යය කථා කිරීමට වූ අධිෂ්ඨානය ස්ථාපිත කළ හැක්කේ කෙසේ ද?
සත්‍යවාදී විය යුත්තේ ඇයි?
සත්‍යය වනාහි, අපගේ ශ්‍රේෂ්ඨ මැවුම්කරුවාණන් සියල්ලන් සඳහා පිහිටුවා ඇති ප්‍රමිතිය වේ. උන් වහන්සේගේ ලිඛිත වචනය වන, බයිබලය, හෙබ්‍රෙව් 6:18 හි මෙසේ ප්‍රකාශ කරයි: “දෙවියන්වහන්සේ විසින් බොරුකියන්ට [බැරිය.]” පොළොව මත දෙවියන් වහන්සේගේ පුද්ගලික නියෝජිතයාණන් ව සිටි, උන් වහන්සේගේ පුත්‍ර වූ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ද එම ප්‍රමිතිය ම පවත්වනු ලැබිණි. තමන් ව මරන්නට සෙවූ යුදෙව් ආගමික නායකයන්ට යේසුස් වහන්සේ මෙසේ වදාළ සේක: “නුමුත් දෙවියන්වහන්සේගෙන් ඇසූ සැබෑව නුඹලාට කීවාවූ මනුෂ්‍යයෙක් වන මා මරන්ට දැන් නුඹලා සොයහුය. . . . මම . . . උන්වහන්සේ නාඳුනමියි කීවොත් මමත් නුඹලා හා සමාන බොරුකාරයෙක් වන්නෙමි.” (යොහන් 8:40, 55) “උන්වහන්සේ කිසි පාපයක් නොකළසේක, උන්වහන්සේගේ මුඛයෙහි වංචාවක්ද සම්බවුණෙත් නැත.” මෙසේ සිටීමෙන් උන් වහන්සේ අපට ආකෘතියක් තැබූ සේක.—1 පේතෘස් 2:21, 22.
හිතෝපදේශ 6:16-19 හි පැහැදිලි ව පවසන ආකාරයට, යෙහෝවඃ යන නාමය ඇති අපගේ මැවුම්කරුවාණන්, බොරු කීම පිළිකුල් කරන සේක: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] තේටව්ෂකරන කාරණා හයක් තිබේ; එසේය, උන්වහන්සේට [උන් වහන්සේගේ ආත්මයට NW ] පිළිකුල්වූ කාරණා සතක් තිබේ: උඩඟු ඇස්ය, බොරුකාර දිවය, නිදොස් ලේ වගුරුවන අත්‍ය, දුෂ්ට උපා යොදන සිතය [හෘදයක් NW ], නපුරට දුවන්ට ඉක්මන්වෙන පාදයෝය, මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයාය, සහෝදරයන් අතරේ භේද පතුරුවන්නාය.”
මෙම සත්‍යවාදී දෙවියන් වහන්සේ, ස්වකීය අනුමැතිය ලබනු පිණිස ස්වකීය ප්‍රමිතිවලට අනුව ජීවත් විය යුතු යයි අපෙන් ඉල්ලා සිටින සේක. උන් වහන්සේගේ ආනුභාවය ලත් වචනය අපට මෙසේ ආඥා කරයි: “එකිනෙකාට බොරු නොකියල්ලා. . . . නුඹලා පරණ මනුෂ්‍යයා ඔහුගේ ක්‍රියා සමග අහක” දමන්න. (කොලොස්සි 3:9) බොරු කීමේ පුරුද්ද අත්හැරීම ප්‍රතික්ෂේප කරන අය උන් වහන්සේ විසින් පිළිගනු ලබන්නේ නැත; ඔවුන් උන් වහන්සේගේ ජීවන ත්‍යාගය නොලබනවා ඇත. ඇත්ත වශයෙන් ම, දෙවියන් වහන්සේ “බොරු කියන්නන් විනාශකරන සේක” යයි ගීතාවලිය 5:6 නොවළහා පවසයි. ‘සියලු බොරුකාරයන්ගේ’ කොටස “දෙවෙනි මරණය,” එනම් සදාකාලික විනාශය යයි එළිදරව් 21:8 වැඩිදුරටත් පවසයි. එනිසා බොරු කීම පිළිබඳ ව දෙවියන් වහන්සේගේ දෘෂ්ටිය අප විසින් පිළිගැනීම, සත්‍යය කථා කිරීමට අපට ප්‍රබල හේතු සපයයි.
එහෙත් සත්‍යය පැවසීම නිසා, ව්‍යාකූලත්වයක් ඇති කරන තත්ත්වයක් හෝ නරක හැඟීම් ඇති කළ හැකි නම් කුමක් කළ යුතු ද? බොරු කීම කිසි අයුරකින් විසඳුම නොවන නමුත්, කිසිත් නොපවසා සිටීම ඇතැම් විට විසඳුමක් විය හැකි ය. ඔබගේ විශ්වාසනීයත්වය විනාශ කර, ඔබ ව දිව්‍ය අප්‍රසාදයට පමණක් පාත්‍ර කළ හැකි බොරු කිව යුත්තේ මන්ද?
භය හා මනුෂ්‍ය දුර්වලත්වයන් නිසා, පුද්ගලයෙක් බොරුවක පිහිට පැතීමට පෙලඹෙන්නට පුළුවන. එය වනාහි ගත හැකි පහසු ම නැතහොත් වැරදි සහගත කරුණාවේ ක්‍රියා මාර්ගය වේ. ප්‍රේරිත පේතෘස් තමන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ව දන්නා බව තෙවරක් ප්‍රතික්ෂේප කළ විට, ඔහු එවන් පෙලඹීමකට යටත් විණි. පසු ව, බොරු කීම සම්බන්ධයෙන් ඔහු අතිශයින් දුක් විය. (ලූක් 22:54-62) ඔහු අව්‍යාජ ලෙස පසුතැවිලි වූ නිසා දෙවියන් වහන්සේ ඔහුට සමාව දීමට පෙලඹුණු සේක, ඔහුට පසු ව සේවා වරප්‍රසාද බොහොමයකින් ආශීර්වාද ලැබීමෙන් මෙය සනාථ වෙයි. බොරු කීම නවතා දැමීමට වූ අධිෂ්ඨාන පූර්වක තීරණයකින් නික්මෙන පසුතැවිල්ල, දෙවියන් වහන්සේ පිළිකුල් කරන දෙය කිරීම වෙනුවෙන් දිව්‍ය සමාව ගෙනෙන්නා වූ ක්‍රියාමාර්ගය වේ.
එහෙත් බොරුවකට පසු ව සමාව බලාපොරොත්තු වෙනවාට වඩා, සත්‍යය කථා කිරීමෙන් ඔබගේ මැවුම්කරුවාණන් සමඟ හොඳ සම්බන්ධතාවයකුත්, අන්‍යයන් සමඟ ඔබගේ විශ්වාසනීයත්වයත් පවත්වා ගන්න. “ස්වාමිනි [අහෝ යෙහෝවඃ වහන්ස NW ], ඔබගේ මණ්ඩපයෙහි සිටින්නේ කවුද? ඔබගේ පිරිසිදු කන්දේ වසන්නේ කවුද? අවංකලෙස හැසිරෙන්නාවූ, ධර්මිෂ්ඨකම් කරන්නාවූ, සිතින් [හෘදයෙන් NW ] සැබෑව කියන්නාවූ තැනැත්තේය” යනුවෙන් ගීතාවලිය 15:1, 2 පවසන දෙය මතක තබා ගන්න.