අපගේ උත්තරීතර මැවුම්කරුවාණන් සහ උන් වහන්සේගේ ක්‍රියා
මොනතරම් උත්තරීතර ද! ඉගුවාසු හි නැතහොත් නයාගරා හි ඇති අති විශාල දිය ඇලි, කොලරාඩෝ හි නැතහොත් හවායි හි ඇති යෝධ කැනියම්, නෝර්වේ හි නැතහොත් නවසීලන්තයේ ඇති ආශ්චර්යවත් පියෝඩ—මෙම ස්වභාවික පුදුමයන් මොනතරම් ප්‍රශංසා සහගත මොරගැසීම්වලට තුඩු දෙනු ඇත් ද! එහෙත් ඒවා ස්වභාව ධර්මයේ මාතාව යනුවෙන් හඳුන්වනු ලබන්නියක විසින් නිකම් අහම්බෙන් හටගන්වන ලද්දේ ද? නැත, ඒවා ඊටත් වඩා අතිශයින් ශ්‍රේෂ්ඨ ය! ඒවා, ප්‍රේමනීය ස්වර්ගීය පියාණන් වහන්සේ වන, උත්තරීතර මැවුම්කරුවාණන් වහන්සේගේ ගරුබිය උපදවන ක්‍රියාවන් ය. මෙම තැනැන් වහන්සේ පිළිබඳ ව ප්‍රඥාවන්ත සාලමොන් රජ මෙසේ පැවසී ය: “උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු [අලංකාර NW] ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද [සදාකාලය] ඔවුන්ගේ සිත්වල [හදවත්වල NW] තබා තිබේ, එහෙත් පටන්ගැන්මේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්ට බැරිය.” (දේශනාකාරයා 3:11) සැබවින් ම, අපගේ මැවුම්කරුවාණන් මෙම විශ්වයේ පුරවා ඇති සියලු ම මහානුභාසම්පන්න ක්‍රියා සෝදිසි කිරීම සඳහා මනුෂ්‍යයන් හට සදාකාලයක් ගත වෙනවා ඇත.
අපට සිටින්නේ කොතරම් උත්තරීතර මැවුම්කරුවාණන් කෙනෙක් ද! එමෙන් ම මෙම සර්වබලධාරී දෙවියන් වහන්සේ ‘මේ දවස්වල කෙළවරදී, සියල්ලේ උරුමක්කාරයාණන් කොට තමන් පත් කළ, දේවල පිළිවෙළ මැවූ තමන් වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපට කථා කර තිබීම’ පිළිබඳ ව අපි කොතරම් සතුටු වන්නෙමු ද. (හෙබ්‍රෙව් 1:2) මෙම පුත්‍රයාණන් වන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය පියාණන්ගේ මැවිල්ලේ ඇති අලංකාරවත් දේවල් අගය කළ සේක. උන් වහන්සේ සිය පියාණන්ගේ අරමුණු පැහැදිලි කිරීමේ දී ද, තමන්ට සවන් දී සිටි අය දිරිගැන්වීමේ දී ද, නිතර ඒවාට යොමු දැක් වූ සේක. (මතෙව් 6:28-30; යොහන් 4:35, 36) මැවිල්ලේ ආශ්චර්යයන් ‘දෙවියන් වහන්සේගේ වචනයෙන් මවනු ලැබූ බවට’ බොහෝ දෙනෙක් “ඇදහිල්ලෙන්” තේරුම් ගෙන ඇත. (හෙබ්‍රෙව් 11:3) අපගේ දෛනික ජීවිත තුළ එවන් ඇදහිල්ලක් පිළිබිඹු විය යුතු ය.—යාකොබ් 2:14, 26.
අපගේ දෙවියන් වහන්සේගේ මැවිලි, ඇත්ත වශයෙන් ම, උත්තරීතර ය. ඒවා පුදුම සහගත ලෙස උන් වහන්සේගේ ප්‍රඥාව, උන් වහන්සේගේ බලය, උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම, හා උන් වහන්සේගේ ප්‍රේමය පිළිබිඹු කරයි. උදාහරණයක් හැටියට, උන් වහන්සේගේ අනාගත මැවිල්ල වන මනුෂ්‍යයාට, ඍතුවල ආනන්ද ජනක ක්‍රියාවලිය භුක්ති විඳිය හැකි පරිදි, උන් වහන්සේ පෘථිවිය ඇල කර තබා, එය සූර්යයා වටා භ්‍රමණය වන්නට සැලැස් වූ සේක. දෙවියන් වහන්සේ: “පොළොව පවතිනතුරු වපුරන කාලය සහ කපන කාලයද ශීතය සහ උෂ්ණයද ග්‍රීෂ්ම කාලය සහ ශීත කාලයද දවාල සහ රාත්රියද නොනවතින්නේයයි කී සේක.” (උත්පත්ති 8:22) වැඩි දුරටත්, දෙවියන් වහන්සේ වටිනා ඛනිජ බහුලත්වයකින් අපගේ පෘථිවිය පිරෙවූ සේක. යථා කාලයේ දී සියලු භෞමික ජීවීන්ගේ අත්‍යවශ්‍ය සංරචකයක් හා ආධාරකයක් වනු පිණිස, උන් වහන්සේ බහුල ලෙස ජලය සැපයූ සේක.
සෑම දිනයක් ම වසර දහස් ගණනක් දීර්ඝ වූ, ක්රමානුකූල වූ ‘මැවීමේ දින’ හයක අනු පිළිවෙළක් තුළ, “දෙවියන්වහන්සේගේ ආත්මය [ක්‍රියාකාරී බලය NW]” මනුෂ්‍යයාගේ වාසය පිණිස පොළොව සූදානම් කරන්නට පටන් ගත්තේ ය. අපට බලන්නට උපකාරවත් වන ආලෝකය, අප හුස්ම ගන්නා වාතය, අප ජීවත් වන වියළි ගොඩබිම, ගස් කොළන්, දවාලත් රාත්‍රියත් ඇති වන අනු පිළිවෙළ, මත්ස්‍යයන්, පක්ෂීන්, සත්ත්වයන්—මේ සියල්ලක් ම මනුෂ්‍යයාගේ සේවය හා ප්‍රීතිය සඳහා අපගේ උත්තරීතර මැවුම්කරුවාණන් විසින් මවනු ලැබුවේ අනු පිළිවෙළකට ය. (උත්පත්ති 1:2-25) නිසැක ව ම, අපටත් ගීතිකාකරු හා එක් ව මෙසේ හඬ නගා ප්‍රකාශ කළ හැකි ය: “ස්වාමිනි [අහෝ යෙහෝවඃ වහන්ස NW], ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදූසේක. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.”—ගීතාවලිය 104:24.
දෙවියන් වහන්සේගේ ප්‍රධාන ම මැවිල්ල
හයවන මැවීමේ “දිනය” අවසානයකට ළඟා වූවාත් සමඟ ම, දෙවියන් වහන්සේ මනුෂ්යයාවත් අනතුරුව ඔහුගේ සහකාරිය වන ස්ත්‍රියවත් සෑදූ සේක. මෙය ඊට කලින් මවන ලද සියලු භෞතික මැවිලිවලට වඩා අතිශයින් පුදුම සහගත වූ, භූමික මැවිල්ලේ කොතරම් අති දක්ෂ උච්චාවස්ථාවක් වූයේ ද! මේ පිළිබඳ ව ගීතාවලිය 115:16 අපට මෙසේ පවසයි: “ස්වර්ග වනාහි ස්වාමීන්ගේ [යෙහෝවඃ වහන්සේගේ NW] ස්වර්ගය; නුමුත් පොළොව උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්සේක.” එමනිසා, යෙහෝවඃ වහන්සේ මනුෂ්‍ය ආත්ම වන අප ව නිර්මාණය කළේ, තමන් වහන්සේ විසින් කලින් භූමිය මත මැවූ දේවලින් අපට ප්‍රීතිය හා ප්‍රයෝජන යන දෙක ම ලැබිය හැකි ලෙසටයි. අප අවට පවතින වර්ණවත් ලෝකය භුක්ති විඳීමට හැකි පරිද්දෙන්—හොඳ ම කැමරාවට වඩා සංකීර්ණ වූ—අපගේ ඇස්වලට අප කොතරම් ස්තුති පූර්වක විය යුතු ද! කථා බහ, සංගීතය, හා කුරුල්ලන්ගේ කන්කලු ගීත යනාදිය ප්‍රීතියෙන් භුක්ති විඳීමට අපට උපකාර කිරීමට—මනුෂ්‍යයා විසින් සාදන ලද කිසි ම ශ්‍රවණ පද්ධතියකට වඩා අනර්ඝ වූ—අපගේ කන් අපට තිබේ. අපට බොහෝ දේවලට නිපුණත්වයකින් යුත් දිවක් ද ඇතුළු ව, අප තුළ ම සාදන ලද කථා කිරීමේ යන්ත්‍රයක් ඇත. සුවඳ ආඝ්‍රාණය කළ හැකි සංවේදීන් හා මුසු වූ අපේ රසාංකුර නානා ප්‍රකාර ආහාරවල ඇති සුවඳ හා රස බැලීමෙන් සන්තුෂ්ටියක් ලැබීමට මං සලසයි. එමෙන් ම ආදරණීය හස්තයක ස්පර්ශය අප කොතරම් අගය කරනවා ද! නිසැක ව ම, ගීතිකාකරු මෙන් අපටත් අපගේ මැවුම්කරුවාණන්ට ස්තුති පූර්වක විය හැකි ය. ඔහු මෙසේ පැවසී ය: “මම ඔබ වර්ණනා කරන්නෙමි; මක්නිසා ද මම ගරුබිය උපදවන ලෙසත් පුදුමාකාර ලෙසත් සාදන ලද්දෙමි. ඔබගේ කර්මාන්ත මවිතාකාර ය; මගේ ආත්මය ද ඒ බව මනා කොට දනියි.”—ගීතාවලිය 139:14, NW.
අපගේ මැවුම්කරුවාණන්ගේ ප්‍රේමනීය කරුණාව
ගීතිකාකරු මෙසේ ලීවේ ය: අහෝ ජනයෙනි, “ස්වාමින්ට [යෙහෝවඃ වහන්සේට NW] ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. . . . මහත් ආශ්චර්ය්යයන් කරන එකම නැනන්වහන්සේට (ස්තුති කරව්); මක්නිසාද උන්වහන්සේගේ [ප්‍රේමනීය NW] කරුණාව සදාකල් පවත්නේය.” (ගීතාවලිය 136:1-4) එම ප්‍රේමනීය කරුණාව අප මොහොතකට කලින් විස්තර කළ සියලු ම මැවිලිවලට වඩා අතිශයින් උත්තරීතර වූ ආශ්චර්යවත් දේවල් කිරීමට උන් වහන්සේ ව පොලඹවමින් සිටී. එසේ ය, ද්‍රව්‍යමය දේවල් මැවීමෙන් නිවාඩු ගෙන සිටිය ද, උන් වහන්සේ ආත්මික තලයක් මත මවමින් සිටින සේක. උන් වහන්සේ මෙය කරමින් සිටින්නේ තමන් වහන්සේ වෙත නීච ලෙස එල්ල කරන ලද දුෂ්ට අභියෝගයකට පිළිතුරු වශයෙනි. ඒ කෙසේ ද?
පළමු පුරුෂයා හා ස්ත්‍රිය ඒදන් නම්, තේජාන්විත පාරාදීසයක තබනු ලැබී ය. කෙසේ වෙතත්, ද්‍රෝහිකාර දේව දූතයෙක් වන සාතන්, තමා ව දෙවිකෙනෙක් කර ගනිමින්, යෙහෝවඃ වහන්සේට එරෙහි ව කැරලි ගැසීමට එම මනුෂ්‍ය යුවළට මඟ පෙන්වී ය. යුක්ති සහගත ලෙස, දෙවියන් වහනසේ ඔවුන් ව මරණයට තීන්දු කළෙන්, එහි විපාකය වූයේ, ඔවුන්ගේ දරුවන් වූ මුළු මහත් මිනිස් සංහතිය පව්කාර, මැරෙන සුලු තත්ත්වයකට ඇද වැටීමයි. (ගීතාවලිය 51:5) කිසි මනුෂ්‍යයෙක් පරීක්ෂණය යටතේ දෙවියන් වහන්සේ කෙරෙහි අඛණ්ඩතාවය නොදක්වන බව තරයේ ප්‍රකාශ කරමින් සාතන් උන් වහන්සේට අභියෝග කළ බව යෝබ් පිළිබඳ බයිබල් වාර්තාවේ ඇඟවෙයි. බයිබල් කාලවල පටන් අපගේ දවස දක්වා දෙවියන් වහන්සේගේ වෙනත් බොහෝ ඇදහිලිවන්ත සේවකයන් කර ඇති ලෙසින්, සාතන් සම්පූර්ණයෙන් ම බොරුකාරයෙක් බව යෝබ් ඔප්පු කළේ ය. (යෝබ් 1:7-12; 2:2-5, 9, 10; 27:5) පරිපූර්ණ මනුෂ්‍යයෙක් හැටියට, යේසුස් වහන්සේ, අඛණ්ඩතාවය පැවැත්වීම පිළිබඳ අද්විතීය ආදර්ශයක් වූ සේක.—1 පේතෘස් 2:21-23.
මේ අයුරින්, මෙසේ පැවසීමට යේසුස් වහන්සේට හැකි විණි: ‘ලෝකයේ අධිපතියාට [සාතන්ට] මා කෙරෙහි කිසි ග්‍රහණයක් නැත’ යයි කිව හැකි විය. (යොහන් 14:30) එහෙත්, අද දවස දක්වා “මුළු ලෝකයා නපුරා තුළ [දුෂ්ටයාගේ බලය තුළ NW]” පවතී. (1 යොහන් 5:19) යෙහෝවඃ වහන්සේගේ පරමාධිපත්‍යයේ යුක්ති සහගත භාවයට විරුද්ධ වීමෙන් පසු, මනුෂ්‍ය වර්ගයා කෙරෙහි වූ තමාගේ පාලකත්වය සාර්ථක විය හැකිදැයි පෙන්වීමට සාතන්ට වසර 6,000ක් දී ඇත. පිරිහෙන්නා වූ ලෝක තත්ත්වයන් නොකඩවා තහවුරු කරන ආකාරයට, ඔහු කොතරම් තුච්ඡ ලෙස ඊට අසමත් ව සිටී ද! අපගේ ප්‍රේමනීය දෙවි වූ, යෙහෝවඃ වහන්සේ, පොළොව කෙරෙහි ඇති ස්වකීය යුක්ති සහගත පරමාධිපත්‍යය නිශ්චිත ව ප්‍රකාශ කරමින්, දුෂ්ට වූ මෙම ලෝක සමාජය ඉක්මනින් ම ඉවත් කරනවා ඇත. සාමකාමී, ධර්මිෂ්ඨ පාලනයක් ගැන ඉතා ආශාවෙන් බලා සිටින මනුෂ්‍යයන්ට, එය කොතරම් සන්තෝෂදායක සහනයක් වනු ඇද්ද!—ගීතාවලිය 37:9-11; 83:17, 18.
කෙසේ වෙතත්, එය එපමණක් ම නොවේ! දෙවියන් වහන්සේගේ ප්‍රේමනීය කරුණාව, යොහන් 3:16 හි ඇති යේසුස් වහන්සේගේ වදන් මත පදනම් ව තවදුරටත් නිරූපනය කරනු ලබනවා ඇත: “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් [මනුෂ්‍ය වර්ගයා සහිත] ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” පොළොව මත සදාකාල ජීවිතයේ අපේක්ෂාව මනුෂ්‍ය වර්ගයාට නැවතත් ලබා දීමට අලුත් දේවල් මැවීම ද ඇතුළත් වෙයි. මේවා මොනවා ද? කෙඳිරිගාන මනුෂ්‍ය ප්‍රජාවට ඒවා ප්‍රයෝජනවත් වන්නේ කෙසේ ද? අපගේ මීළඟ ලිපිය එය හෙළි කරයි.