වයසක අය ව රැකබලා ගැනීම—ඊට සම්බන්ධ අභියෝග හා දීමනා
ක්‍රිස්තියානි දේව සේවකයෙකු වූ ෂීනෙට්සු තම පැවරුමෙහි බොහෝ සේ භුක්ති විඳිමින් සිටියේ ය. තිදෙනෙකුගෙන් යුත් ඔහුගේ පවුලට, ඔහුගේ භාර්යාවගේ මව ද ඇතුළත් වූවා ය. තම භාර්යාව සමඟ වෙනත් සභාවන් බැහැදකින්නට යාම ගැන සලකා බලන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටිනු ලැබූ දවස වන තෙක්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ කුඩා සභාවක් සමඟ ඔවුහු සතුටින් සේවය කරමින් සිටියෝ ය. සෑම සතියක ම නවාතැන් වෙනස් කිරීම ඊට අවශ්‍ය කරවනු ඇත. ඔහු මේ අපේක්ෂාව ගැන සතුටු වූ නමුත්, අම්මා ව බලා ගන්නේ කවුද?
බොහෝ පවුල් අවසානයේ දී ඒ හා සමාන අභියෝගයකට මුහුණ දීමට සිදු වෙයි—එනම් වයසට යන තමන්ගේ දෙමාපියන් ව රැකබලා ගන්නේ කෙසේ ද යන්නයි. දෙමාපියන් සෑහෙන හොඳ සෞඛ්‍යයකින් යුතු ව වැඩකටයුතු කර ගන්නා අවදියේ දී, සාමාන්‍යයෙන් මෙම කාරණය ගැන එතරම් සිතා බැලීමක් සිදුවන්නේ නැත. කෙසේ වුවද, ඉඳිකටුවකට නූලක් දමා ගැනීමට ඔවුන් උත්සාහ කරන විට අත වෙව්ලීම හෝ, ඔවුන් අවසාන වතාවට දුටු, යම් තැනක දමා තිබූ දෙයක් ගැන මතක් කරන්නට දැඩි උත්සාහයක් දරනවා වැනි වූ පොඩි දේවලින් ඔවුන් වයසට යමින් සිටින බව හෙළි වන්නට පුළුවන. එනමුත්, බොහෝ විට ඔවුන්ගේ අවශ්‍යතා ගැන යමෙකු සාවධානයෙන් සිටින්නේ ක්ෂණික ව හදිසි අනතුරක් හෝ ඔවුන්ට අසනීපයක් සිදු වන විට ය. යම් දෙයක් කළ යුතු ව ඇත.
ඇතැම් රටවල, සාපේක්ෂ වශයෙන් යම් තරමක සෞඛ්‍ය සම්පන්න ව සිටින දෙමාපියෝ, තමන්ගේ ජීවිතයේ සැඳෑ සමය තමන්ගේ දරුවන් සමඟ ගත කරනවාට වඩා, තමන්ගේ කලත්‍රයා සමඟ තනි ව ගත කරන්නට කැමති වෙති. බොහොමයක් ප්‍රාචීන හා අප්‍රිකානු රටවල් වැනි වෙනත් රටවල, වයසක අය තම දරුවන් සමඟ, විශේෂයෙන් ම වැඩිමහල් පුත්‍රයා සමඟ ජීවත්වීම සිරිතක් ය. එක් දෙමාපියෙක් ඇඳට සීමා වී සිටී නම්, මෙය විශේෂයෙන් සත්‍යයක් වෙයි. නිදසුනක් වශයෙන්, ජපානයේ, වයස අවුරුදු 65ක් හෝ ඊට වඩා වයස්ගත ව සිටින්නා වූ ද, යම් තරමකට ඇඳට සීමා වී සිටින්නා වූ ද අයගෙන් 2,40,000ක් පමණ, ඔවුන්ගේ පවුල් විසින් නිවසේ දී රැකබලා ගනු ලැබේ.
සදාචාරමය හා ශුද්ධ ලියවිලිමය බැඳීම්
බොහෝ දෙනෙකු, ‘තමන්ට ම ප්‍රේම කරන,’ “ජන්ම ස්නේහය” ඌණ බවට පත් වී සිටින පරම්පරාවක අප ජීවත් වුව ද, වයසක අය කෙරෙහි සදාචාරමය හා ශුද්ධ ලියවිලිමය බැඳීම් අපට තිබෙන බව පැහැදිලි ය. (2 තිමෝති 3:1-5) පාර්කින්සන් රෝගයට (වයසට යාමේ දී සිදුවන ස්නායු දුර්වලතාවයක්) ගොදුරු වූ තම වයසක මව ව රැකබලා ගන්නා වූ ටොමීකෝ, තම මව පිළිබඳ ව තමාට ඇති සදාචාර බැඳීම ගැන ඇයට හැඟුණ ආකාරය මෙසේ පළ කළා ය: “ඈ මා ව වසර 20ක් රැකබලා ගත්තා. දැන් ඒ දෙය ම ඇය හට කරන්නට මට වුවමනායි.” ප්‍රඥාවන්ත සාලමොන් රජ මෙසේ අවවාද කළේ ය: “නුඹ ජනිතකළ නුඹේ පියාගේ බස් අසාපන්න; නුඹේ මෑණියන් මහලුවූ කල ඈ සුළු නොකරන්න.”—හිතෝපදේශ 23:22.
ආගමික අගතියවත්, නොඇදහිලිකාර දෙමාපියාගේ පැත්තෙන් දක්වන එදිරිවාදකමවත් එම ශුද්ධ ලියවිලිමය විධානය අවලංගු කරන්නේ නැත. ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් මෙසේ ලිවීමට අනුභාව ලද්දේ ය: “යමෙක් තමාගේ අය, ප්රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.” (1 තිමෝති 5:8) යේසුස් වහන්සේ සිය මරණයට පෙර කළා වූ ක්‍රියාවක් වශයෙන්, තම මව ව රැකබලා ගන්නට කටයුතු පිළියෙළ කළ අවස්ථාවේ, උන් වහන්සේ අප සඳහා ආදර්ශය තැබූ සේක.—යොහන් 19:26, 27.
මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා සමඟ කටයුතු කිරීම
වසර ගණනාවක් මුළුල්ලේ වෙන් ව ජීවත්වීමෙන් පසු, පවුල් නැවත එකතු වන විට, සියල්ලන් විසින් බොහෝ සකස් කිරීම් කරන්නට සිදු වෙයි. මෙම වෙනස්කම් කිරීමේ දී, ප්‍රේමය, ඉවසීම, සහ අන්‍යෝන්‍ය අවබෝධය බොහෝ සෙයින් අවශ්‍ය කරවයි. වැඩිමහල් පුත්‍රයා, හෝ වෙනත් පුත්‍රයෙක් හෝ දියණියක් තම පවුල සමඟ දෙමාපියන්ගේ නිවසේ පදිංචියට පැමිණේ නම්, ඒ තුළින් ම අලුත් තත්ත්වයන් පද්ධතියක් පැන නගී. අලුත් රැකියාවක්, දරුවන් සඳහා අලුත් පාසල්, සහ හුරු පුරුදු වීමට අලුත් අසල්වැසි පෙදෙසක් තිබෙන්නට යනවා විය හැක. බොහෝ විට, භාර්යාවගේ වැඩකටයුතුවල වැඩි වීමක් ඉන් අදහස් කරනු ඇත.
සකස් වීමට දෙමාපියන්ට ද අසීරු විය හැකියි. යම් පමණක පුද්ගලික බවක්, නිශ්ශබ්දතාවයක් සහ නිදහසක් ඇතුව සිටීමට ඔවුන් හුරුපුරුදු වී සිටියා විය හැක; දැන් ඔවුන්ට තම දඟකාර මුණුපුරු-මිනිබිරියන්ගේ හා ඔවුන්ගේ මිතුරන්ගේ ගාලගෝට්ටිය තිබෙනු ඇත. තමන් විසින් ම තීරණ ගන්නට ඔවුන් පුරුදු ව සිටි අතර, ඔවුන්ට මඟ පෙන්වීම් කරන්නට උත්සාහ කළහොත් ඔවුන් ඒ ගැන නුරුස්සන්නට පුළුවන. තම පුත්‍රයන්ගේ පවුල් තමන් සමඟ ජීවත් වන්නට එන දවස කලින් ම බලා සිටින දෙමාපියෝ, සියල්ලන්ට ම යම් පමණක ස්වාධීනත්වයක් ගෙන දෙන පරිදි, කොරිඩෝර සහිත ව තම නිවසට යාබද ගෙවල් තනා ගෙන තිබේ, නැතහොත් නිවසට අලුතෙන් කොටස් ඈඳා ගෙන තිබේ.
නිවස කුඩා වන විට, අලුතෙන් පැමිණෙන අයට ඉඩ පහසුකම් ලබා දීම සඳහා වැඩියෙන් සකස් කිරීම් අවශ්‍ය වන්නට පුළුවන. වයස අවුරුදු 80ක් වූ තම ආච්චි හට ඉඩ පහසුකම් සලසන්නට සිදු වූ අවස්ථාවේ, අමතර ගෘහ භාණ්ඩ හා වෙනත් දේවල් තම කාමරවලට දිගින් දිගට ම පැමිණෙන විට, තම දූවරු හතර දෙනා කොතරම් කලබල වූවාදැයි සිහි කරමින් එක් මවක් සිනාසුණා ය. සියලු දෙනා ම සකස් කිරීම් සිදු කිරීමට තිබෙන අවශතාවය පිළිගෙන, ප්‍රේමය “තමාගේම කාරණ සොයන්නේ නැත” යන බයිබලයේ අවවාදය මතකයට නඟා ගන්නවාත් සමඟ ම, සාමාන්‍යයෙන් මෙම ගැටලුවලින් බොහොමයක් විසඳී යයි.—1 කොරින්ති 13:5.
නිදහස අහිමි වීමක්
ක්‍රිස්තියානි ස්ත්‍රියකගේ ස්වාමිපුරුෂයා ඇගේ ඇදහිල්ලට හවුල් නොවේ නම්, ඔහු ඔහුගේ පවුලේ දෙමාපියන් සමඟ ජීවත් වන්නට තීරණය කරයි නම්, ඈට බැරෑරුම් ගැටලුවකට මුහුණ පාන්නට සිදු විය හැක. පවුලේ කාරණා බලා ගන්නට තිබීම නිසා, ඇගේ ක්‍රිස්තියානි බැඳීම් වෙනත් වැඩකටයුතු සමඟ සමබර කිරීමට ඈ හට අසීරු කරුණක් ලෙස පෙනී යා හැකි ය. සෙට්සූකෝ මෙසේ කීවා ය: “තරමක් වයෝවෘද්ධ වූ තම මව ව තනි ව ම නිවසේ තබා යාම භයානක දෙයක් බව මගේ සැමියාට හැඟුණා, ඒ නිසා මා නිතර ම නිවසේ සිටීම ඔහුට වුවමනා වුණා. මා රැස්වීමකට යන්නට උත්සාහ කළා නම්, ඔහු ඒ ගැන කලබල වී චෝදනා කරනවා. මගේ ජපන් පසුබිම නිසා, මටත් හැඟී ගියා, ඈ ව තනි කොට ගෙදර දමා යාම වැරදි බව. නමුත් කලක් යන විට, දේවල් විසඳා ගන්නට හැකි බව මට වැටහුණා.”
හීසාකෝට ද එවැනි ම ගැටලුවක් තිබිණි. ඈ මෙසේ වාර්තා කරන්නී ය: “මගේ සැමියාගේ පවුලේ අය සමඟ අප පදිංචියට ගිය විට, අසල් වැසියන් කුමක් සිතාවිදෝ යන භය නිසා, මා විසින් මගේ ආගම වෙනස් කොට ආගමික වැඩකටයුතු නැවැත්වීම මගේ සැමියාට වුවමනා වුණා. අසල පදිංචි වී සිටි නෑදෑයන් ඉරිදා දිනවල අප ව බැහැදකින්නට ආයෙන්, රැස්වීම්වලට යාම මා හට අසීරු දෙයක් වීම නිසා, තත්ත්වය තවත් දරුණු අතට හැරුණා. එපමණක් නොවේ, දරුවන්ට වුවමනා වුණේ රැස්වීම්වලට යනවාට වඩා ඔවුන්ගේ ඥාති සහොයුරන් සමඟ සෙල්ලම් කරන්නටයි. අපගේ ආත්මිකත්වයට බලපෑම් ඇති වෙමින් තිබූ බව මට පෙනී ගියා. ස්ථිර පියවරක් ගැනීමට මට සිදුවුණ අතර, මගේ ආගම, ඇඳුමක් මෙන් මාරු කරන්නට තිබෙන දෙයක් නොව, නමුත් මෙය වැදගත් දෙයක් බව මගේ සැමියාට මම පැහැදිලි කළා. කලක් යන විට, පවුල මේ තත්ත්වයට සකස් වුණා.”
සතියකට දිනක් හෝ දින දෙකක් උපකාර කරන්නට එන අර්ධ කාලීන ගෘහ සේවිකාවක් තබා ගැනීම මගින් වැඩි නිදහසක් ලබා ගැනීමෙන් සමහරු මෙම ගැටලුව විසඳා ගෙන සිටිත්. තම දරුවන්ගේ, අසල්වැසි නෑදෑයන්ගේ, සහ සභාවේ සිටින යෙහෙළියන්ගේ සහය සෙවීම මගින්, තවත් අය පුද්ගලික ගමන් බිමන් හා ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් සඳහා තරමක නිදහසක් ලබා ගෙන ඇත. ස්වාමිපුරුෂයන් නිවසේ රැඳී සිටින රාත්‍රි කාලවල දී සහ සති අන්තවල දී අත් උදව් දීමට ඔවුන්ට ද හැකි වී තිබේ.—දේශනාකාරයා 4:9.
ඔවුන් ව ක්‍රියාශීලී ව තැබීම
වයසක අය ව ක්‍රියාශීලී ව තබා ගැනීම, මුහුණ දීමට තිබෙන තවත් අභියෝගයකි. ඉවුම් පිහුම්වලට හා නිවස අවට අනෙකුත් ගෙදර දොරේ වැඩකටයුතුවලට හවුල්වීමට ඇතැම් වයසක අය සතුටු වෙති. දරුවන් ව බලා ගැනීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටියහොත් තමන් අවශ්‍ය කරන බවට හැඟීමක් ඔවුන් තුළ ඇති වන අතර, කුඩා එළවලු පාත්තියක් බලා ගැනීමෙන්, මල්වලට සාත්තු කිරීමෙන් හෝ යම් විනෝදාංශයක යෙදීමෙන් ඔවුහු සෑහීමක් ලබති.
කෙසේ වුවද, තවත් අයට දවසේ වැඩි හරියක් නිදා ගැනීමට වුවමනා වන අතර, යමෙක් තමන් ගැන බලා ගෙන සිටීවි යයි බලාපොරොත්තු වෙති. එහෙත් ඔවුන් ව හැකි තරම් ක්‍රියාශීලී ලෙස තැබීම, ඔවුන්ගේ සුභ සාධනය, දීර්ඝායුෂ, හා මානසික පිබිදීමට වැදගත් බව පෙනේ. තම මව රෝද පුටුවක සිටිය ද, ඈට අවශ්‍ය වුණ පෙලඹිම වූයේ ඈ ව රැස්වීම්වලට කැඳවා ගෙන යාම බව හීඩෙකෝ පැවසුවා ය. සියල්ලන් විසින් ඈ ව සාදරයෙන් පිළිගනු ලැබූ අතර, කථා බහේ දී ඈ ව ද සම්බන්ධ කර ගනු ලැබිණි. ඈ වෙත දෙනු ලැබූ අවධානය, අවසානයේ දී, වෙනත් වයසක ස්ත්‍රියක සමඟ බයිබල් පාඩමක් පටන් ගැනීමට හේතු කරවී ය. ඇල්ෂයිමිර් රෝගයෙන් (ස්නායු පද්ධතියට සම්බන්ධ රෝගයක්) පෙළුණු දෙමාපියෙකු සිටි යුවළක්, ක්‍රිස්තියානි රැස්වීම්වලට ඈ ද කැඳවා ගෙන ගියේ ය. ඔවුහු මෙසේ නිරීක්ෂණය කළෝ ය: “සාමාන්‍යයෙන් ඈට කිසිවක් කිරීමට වුවමනා වන්නේ නැහැ. නමුත් රැස්වීමේ දී ඈ සිටියේ සන්තෝෂයෙන්. ඈ ව සාදරයෙන් පිළිගනු ලබනවා, එමනිසා ඈ කැමැත්තෙන් ම එයි. ඈට එය ඉතා ප්‍රයෝජනවත් කියලා අපි හිතනවා.”
මෙම ලිපිය ආරම්භයේ දී සඳහන් වූ ෂීනෙට්සු, තම භාර්යාවගේ මව සඳහා, තමා සංචාරක දේව සේවකයෙකු වශයෙන් සේවය කළ ප්‍රදේශයේ මැදට වෙන්නට පිහිටි නවාතැනක් සොයා දීමෙන් තම ගැටලුව විසඳා ගත්තේ ය. මෙසේ, ඔහුට හා ඔහුගේ භාර්යාවට සෑම සතියක ම විවිධ සභාවන් බැහැදකින්ට යන අතරතුර ඈ සමඟ නතර වීමට හැකි වූයේ ය. ඔහුගේ භාර්යාව වන ක්යෝකෝ මෙසේ පැවසුවා ය: “මගේ මවට හැඟෙන්නේ ඈ අපගේ සේවයේ වැදගත් කොටසක් කියලයි, තව ද ඈ ව අවශ්‍ය කරන බව ඈට හැඟෙනවා. විශේෂ ආහාරයක් පිළියෙළ කරන ලෙස මගේ සැමියා ඇගෙන් ඉල්ලා සිටින විට ඈ මහත් සතුටට පත් වෙනවා.”
වයෝවෘද්ධ භාවය සමඟ කටයුතු කිරීම
දෙමාපියන් වයසට යන විට, වයෝවෘද්ධ භාවයේ විවිධ ප්‍රමාණයන් වර්ධනය වේ, එනිසා ඔවුන්ට වඩ වඩාත් අවධානය අවශ්‍ය කරවයි. දවස්, කාලය, ඍතු හා පොරොන්දු ඔවුන් හට අමතක වී යයි. තම හිසකෙස් කැපීමට හා තම රෙදි සෝදා ගැනීමට ඔවුන් අසමත් වන්නට පුළුවන. ඇඳුම් අඳින ආකාරය ගැන හා ස්නානය කිරීම පවා ඔවුන්ට අමතක වී යා හැක. බොහෝ අය මං මුළා වී ක්‍රියා කරන අතර, තවත් අයට රාත්‍රියේ නිදා ගැනීමට දුෂ්කරතා තිබේ. යමක් නැවත නැවත කීමේ නැඹුරුවාවක් ඔවුන්ට තිබෙන අතර, එය ඔවුන්ගේ අවධානයට ලක් කළහොත් ඔවුහු කෝප වෙති. ඔවුන්ගේ මනස ඔවුන් ව රවටා වියවුල් කරවයි. තමන්ගෙන් යමක් සොරකම් කොට තිබෙන බවත් සොරුන් ගෙය කැඩීමට උත්සාහ කරන බවත් ඔවුන් පුන පුනා කියා සිටිනවා විය හැක. දියණියන් හතර දෙනෙක් සිටින පවුලකට, ලිංගික වැරදි ක්‍රියා පිළිබඳ ව පදනම් විරහිත චෝදනා නිරතුරු ව විඳදරා ගන්නට සිදුවුණි. ඔවුහු මෙසේ පැවසූහ: “එය දරාගත නොහැකි යමක් මෙන් වූවා, නමුත් චෝදනා විඳදරා ගන්නට ඉගෙන ගත් අප, විෂය මාරු කිරීමට උත්සාහ කළා. ආච්චි සමඟ එකඟ නොවී සිටීමෙන් කිසි ඵලක් නොතිබුණි.”—හිතෝපදේශ 17:27.
සපුරාලිය යුතු චිත්ත වේගීය අවශ්‍යතා
වයස, වයසක අය හට පරීක්ෂාවන් ගෙන එයි. ඒවා නම්, බරපතළ අසනීප, එහා මෙහා යාමට නොහැකි වීම, සහ විඳදරා ගැනීමට තිබෙන මානසික කනස්සල්ල යනාදියයි. තම ජීවිතවලට මඟ පෙන්වීමක් හෝ අරමුණක් නැති බව බොහෝ දෙනෙකුට හැඟේ. තමන් බරක් යයි හැඟී යා හැකි ඔවුහු මිය යාමට ආශාවක් පළ කරති. ප්‍රේම කරනු ලැබීම, ගෞරව කරනු ලැබීම, හා ඔවුන් ව සම්බන්ධ කර ගනු ලැබීම හැඟීයාමට ඔවුන්ට වුවමනා ය. (ලෙවී කථාව 19:32) හීසාකෝ මෙසේ පැවසුවා ය: “අම්මා අප අසල සිටින විට, හැකි තරම් දුරට ඈ ව විෂය කර ගනිමින් ඈ ව අපේ කථා බහට ඇතුළත් කර ගැනීමට අප සෑම විට ම උත්සාහ කරනවා.” වෙනත් පවුලක්, දින පතා බයිබල් පාඨයක් සාකච්ඡා කිරීමට තම සීයාගෙන් ඉල්ලා සිටීමෙන් ඔහුගේ ආත්ම ගෞරවය ශක්තිමත් කිරීමට උත්සාහ කළහ.
වයසක අය පිළිබඳ ව නිසි දෘෂ්ටියක් පවත්වා ගැනීමට යමෙක් නිතතුරු ව ම දැඩි ප්රයත්නයක් දැරිය යුතු ය. තමන්ට පහත් කොට කථා කරන බවක් හැඟී යන විට හෝ අගෞරවයෙන් සලකනු ලබන විට ඇඳට සීමා වී සිටින රෝගාතුර අය කිපෙති. තම ආබාධිත මව සමඟ ජීවත් වූ කීමීකෝ මෙසේ පැහැදිලි කළා ය: “මව සුපරීක්ෂාවෙන් සිටියා, ඈට සාත්තු කිරීමේ දී මම එය හදවතින් ම නොකළා නම් හෝ ඈ ව පහත් කොට සලකනු ලැබ තිබුණා නම් ඈට එය තේරුණා. හිදෙකෝට ද තම ආකල්පය සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට තිබිණි. “මුල් අවධියේ දී මගේ නැන්දම්මා ව රැකබලා ගැනීම මා ව කලකිරීමකට පත් කළා. මම පුරෝගාමියක ව [යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේව සේවිකාවක්] සිටි අතර, මට දේව සේවයේ එතරම් නියැලීමට නොහැකි වීම ගැන කනගාටු වුණා. ඊළඟට මා දුටුවා, මගේ සිතිවිලි සකස් කර ගැනීමට මට තිබෙන බව. ගෙයින් ගෙට සේවය වැදගත් වුවත්, මෙය ද දෙවියන් වහන්සේගේ ආඥාවන්ට අවනත වීමේ වැදගත් කොටසක් වුණා. (1 තිමෝති 5:8) මා ප්‍රීතිය ලබන්නට යනවා නම්, වඩාත් ප්‍රේමය හා සංවේදනය වර්ධනය කරන්නට අවශ්‍ය වූ බව මට වැටහී ගියා. නිකම් ම යුතුකමක් ලෙස යාන්ත්‍රික ව දේවල් කරන විට මගේ හෘදය සාක්ෂිය මට දොස් පැවරුවා. මා හදිසි අනතුරකට භාජනය වී මා වේදනාවෙන් සිටි විට, මගේ නැන්දම්මා ගැන හා ඈට තිබුණු වේදනාවට ගැන මට කල්පනා වුණා. ඉන් පසු, ඈ හට වඩාත් උණුසුම් බවක් හා සංවේදනයක් දක්වන්නට මා හට පහසු වුණා.”
රැකබලා ගන්නන්ට ද සැලකිල්ල අවශ්‍ය ය
විශේෂයෙන් ම වයසක අය ව රැකබලා ගැනීමේ බරට උර දෙන අය කෙරෙහි අගය පළ කිරීමේ අවශ්‍යතාවය ද නොසලකා හැරිය යුතු නොවේ. (හිතෝපදේශ 31:28 සසඳන්න.) අගය කිරීමේ ප්‍රකාශයන් ලැබුණත් නැතත් බොහෝ ස්ත්‍රීහු තම යුතුකම් ඉටු කරති. කෙසේ වෙතත්, ඔවුන්ගේ වැඩවලට ඇතුළත් වන දේ ගැන අප විසින් සලකා බලන කල, එවන් ප්රකාශනයන් සහතික ව ම යෝග්‍ය වෙයි. අමතර පිරිසිදු කිරීම්, සේදීම් හා ඉවුම් පිහුම් කිරීමට ඔවුනට බොහෝ දුරට තිබෙයි. රෝහලට හෝ වෛද්‍යවරයා වෙත යාම් ඊම්, එමෙන් ම වයසක රෝගියාට කෑම දීම හෝ සේදීම ගැන ද සලකා බලන්න. බොහෝ කලක් තම නැන්දම්මා ව රැකබලා ගත් එක් ස්ත්‍රියක් මෙසේ පැවසුවා ය: “මා කළ දෙයට දක්වනු ලබන අගය කිරීම වචනවලට හැරවීම මගේ සැමියාට අමාරු දෙයක් බව මා දන්නවා, නමුත් මා කරන දෙය ඔහු වෙනත් ක්‍රමවලින් අගය කරන බව ඔහු මට ඇත්තට ම පෙන්වනවා.” ස්තුති කිරීමේ සරල වචන, කරන සියල්ල වටිනා දෙයක් බවට පත් කරවිය හැක.—හිතෝපදේශ 25:11.
හිතකර විපාක ද තිබේ
වයසට යමින් සිටින තම දෙමාපියන් ව වසර ගණනාවක් මුළුල්ලේ රැකබලා ගත් බොහෝ පවුල් පවසන්නේ මෙය වැදගත් ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කිරීමට ඔවුනට උපකාරවත් වී ඇති බව ය. ඒවා නම්: විඳදරාගැනීම, ආත්ම-පරිත්‍යාගය, පරාර්ථකාමී ප්‍රේමය, කඩිසරකම, යටහත් පහත්කම, සහ මුදු මොළොක් සෙනෙහසයි. බොහෝ පවුල් චිත්ත වේගීය වශයෙන් එකට වඩාත් සමීප වී තිබේ. ඔවුන් සමඟ වැඩියෙන් කථා බහ කිරීමටත් ඔවුන් ව හොඳින් දැනගැනීමටත් ප්‍රස්තාවක් උදා වීම අමතර වාසියකි. හීසාකෝ ඇගේ නැන්දම්මා ගැන මෙසේ පැවසුවා ය: “ඈ ප්‍රබෝධවත් ජීවිතයක් ගත කළා. ඈට ජීවිතයේ බොහෝ දුෂ්කරතා තිබුණා. මා ඈ ව වඩාත් හොඳින් දැනගැනීමට පැමිණ තිබෙන අතර, මා මීට පෙර හඳුනා නොගත් ගුණාංග අගය කිරීමට ඉගෙන ගෙන තිබෙනවා.”
“මා බයිබලය පාඩම් කිරීමට පෙර, දික්කසාද වී තත්ත්වයෙන් මිදී පලා දිව යාමට මට වුවමනා වූ කාලයක් තිබුණා,” යනුවෙන් තම සැමියාගේ දෙමාපියන් හා ඇඳට වැටී සිටි ඔහුගේ ආච්චි අම්මා ව රැකබලා ගත් කීමීකෝ පැහැදිලි කළා ය. “එවිටයි, අප ‘වැන්දඹුවන් ව . . . ඔවුන්ගේ පීඩාවල දී බලා ගත යුතු’ බව මා කියවූයේ.” (යාකොබ් 1:27) මා විසින් මගේ උපරිමය කිරීම ගැන මා සතුටු වෙනවා, දැන් පවුලේ කිසිවෙකුට මගේ ඇදහිලි ගැන යුක්ති සහගත ලෙස චෝදනා කරන්නට බැහැ. මගේ හෘදය සාක්ෂිය පිරිසිදුයි.” තවත් තැනැත්තෙක් මෙසේ පැවසී ය: “ආදම්ගේ පාපයේ ඇති භයානක බලපෑම් මං මගේ ඇස්වලින් ම දැක තිබෙන අතර, මිදීමේ මිලයේ අවශ්‍යතාවය ගැන දැන් වඩාත් අගය කරනවා.”
ඔබගේ නිවසේ වාසය කිරීමට පැමිණෙන ඔබගේ පවුලේ වෙනත් සාමාජිකයෙක් ව ඔබ ළඟ දී ම සාදරයෙන් පිළිගනු ඇත් ද? නොඑසේනම්, ඔබ සමහරවිට ඔබගේ වයසක දෙමාපියන් සමඟ පදිංචිය සඳහා යාමට සිටිනවා ද? ඔබට යම් චකිතයක් දැනෙනවා ද? එය තේරුම් ගත හැකි දෙයකි. සකස් කිරීම් කරන්නට තිබෙනු ඇත. එහෙත්, අභියෝගයට සාර්ථක ව මුහුණ දීමේ දී ඔබ විසින් ම බොහෝ හිතකර විපාක ලබා ගන්නවා ඇත.
[24වන පිටුවේ පින්තූරය]
ප්‍රේම කරනු ලැබීම සහ ගෞරව කරනු ලැබීම දැනීමේ අවශ්‍යතාවයක් වයසක අයට තිබේ