ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 3/15 27-30 පි.
  • පැසුණු හිසේ අලංකාරය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැසුණු හිසේ අලංකාරය
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෞවනයන්ගේ ශක්තිය
  • අලංකාරය අත්කර ගැනීම
  • පැසුණු හිසට ගෞරව කිරීම
  • පසුපස නොව, ඉදිරිය බලන්න
  • දෙවි තම මහලු සේවකයන්ව රැකබලා ගනියි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මහලු සහෝදර සහෝදරියන් අපිට සම්පතක්
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ක්‍රිස්තියානි පවුල මහලු අයට උපකාර කරයි
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මහලු විය “ගෞරවයේ ඔටුන්නක්” වන විට
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 3/15 27-30 පි.

පැසුණු හිසේ අලංකාරය

පුරාතන කාලයේ විසූ ඇදලිවන්ත පුරුෂයන් හා ස්ත්‍රීන් සමඟ කථා කළ හැකි නම්, එය කොතරම් හද දනවන්නක් වනු ඇද්ද! නෝවා, ආබ්‍රහම්, මෝසෙස්, හා යොහන් බව්තීස්ත වැනි පුරුෂයන් මෙන් ම සාරා, රාහබ්, රූත්, හා දෙබෝරා වැනි ස්ත්‍රීන් සමඟත් කථා කිරීම ගැන කල්පනා කර බලන්න! ඈත අතීතයේ කැපී පෙනෙන සිද්ධීන් පිළිබඳ ඇසින් දුටු වාර්තා ඔවුන් ඔබට පවසනු ලබන විට ඔබ ප්‍රමූදිත නොවනු ඇද්ද?

අද දින පවා, ඇදහිලිවන්ත වයෝවෘද්ධ අය, තමන් හා වෙනත් අය ධර්මිෂ්ඨකම උදෙසා තහංචි, පහරදීම්, හා සිරගත කිරීම් ඇතුළු පීඩා යටතේ දෙවියන් වහන්සේ වෙත තමන්ගේ අඛණ්ඩතාව පැවැත් වූ ආකාරය පිළිබඳ අත්දැකීම් බෙදා ගන්නා විට ඔබ කුල්මත් නොවන්නේ ද? සහතික ව ම එසේ ය! ඔවුහු තමන්ගේ හැඟීම් මෙන් ම විශේෂාකාරයෙන් යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමනීය සැලකිල්ලට තමන්ගේ හෘදයාංගම අගැයීම අපට පවසත් ම, දෙවියන් වහන්සේ සඳහා වූ අපගේ ප්‍රේමය හා ඔවුන් සඳහා වූ සැලකිල්ල වර්ධනය වනු ඇත.

දෙවියන් වහන්සේගේ ජනයා අතර, ඇදහිලිවන්ත වයෝවෘද්ධ පුරුෂයන් හා ස්ත්‍රීන් තමන්ගේ අත්දැකීම්, අවබෝධය හා ප්‍රඥාව සඳහා නිතර ගෞරව කරනු ලැබ ඇත. ඇත්ත වශයෙන් ම, දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායෙලිතයන් වෙත දෙනු ලැබූ ව්‍යවස්ථාවේ මතු සඳහන් නියෝගය ඇතුළත් කරනු ලැබී ය: “පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැගිට සිටපන්න, මහල්ලාගේ මුහුණට ගෞරවකරපන්න. නුඹේ දෙවියන්වහන්සේට භයවෙයන්න; මම ස්වාමීන්වහන්සේය [යෙහෝවඃ වහන්සේ ය NW].” (ලෙවී කථාව 19:32) වයස්ගත නැතහොත් මහලු විය සඳහා වූ හෙබ්‍රෙව් වදන “පැසුණු තත්ත්වයට පත්වීම” යන මූලාර්ථයෙන් නික්මෙන අතර “පැසුණු හිස” යනුවෙන් ද ඉදිරිපත් කර ඇත. එනිසා වයෝවෘද්ධ තැනැත්තෙක් සඳහා ගෞරවයේ ලකුණක් හැටියට නැගී සිටීම ඊශ්‍රායෙලිතයන්ගෙන් අපේක්ෂා කරන ලද අතර, එසේ කළ යුතු වූයේ දෙවියන් වහන්සේ කෙරෙහි භක්තිමත් භයකින් යුක්ත ව ය.

එම ගෞරවනීය ආකල්පය අද දිනත් පවතී ද? උදාහරණයක් වශයෙන්, යෞවන අය වයෝවෘද්ධයන් සඳහා කරුණාවන්ත ආකාරයකට දොරවල් විවෘත කරත් ද? යෞවනයන් නැතහොත් යොවුන් වැඩිහිටියන් සාමාන්‍යයෙන් පිරී ඇති ආරෝහකයක (ලිෆ්ට් එකක) තමන්ට ඇති ඉඩ ප්‍රමාණය වයෝවෘද්ධ තැනැත්තෙකුට දෙත් ද? එසේත් නැතහොත් බාල අය බස්රියක හෝ දුම්රියක සෙනඟ පිරී සිටින විට සාමාන්‍යයෙන් නැගිට තමන්ගේ අසුන වයෝවෘද්ධ අයට පිරිනමත් ද? මෙසේ කරන්නට අසමත් වූ අවස්ථා ක්‍රිස්තියානින් අතර පවා දක්නට ලැබී ඇත.

කෙසේ නමුත්, යෙහෝවඃ දෙවියන් වහන්සේ ව ප්‍රසන්න කරනු පිණිස, ක්‍රිස්තියානින් උන් වහන්සේ කාරණා දෙස බලන ආකාරයට එකඟ ව ක්‍රියා කළ යුතු අතර ‘තමන්ට ම ප්‍රේම කරන්නා වූ, මව්පියන්ට අකීකරු වන්නා වූ, ස්තුතිවන්ත නොවන්නා වූ, හා යහපතට ප්‍රේම නොකරන්නා වූ’ අයගේ සිතුවිලිවලින්, කථාවෙන්, හා ක්‍රියාවන්ගෙන් වැළකී සිටිය යුතු ය. (2 තිමෝති 3:1-5) එසේ නම්, පැසුණු හිසට හෙවත් මහලු වියට සාපේක්ෂ ව යොවුන් විය ගැන දේව වචනය කුමක් පවසයි ද?

යෞවනයන්ගේ ශක්තිය

බයිබලය, “තරුණයන්ගේ පාරට්ටුව ඔවුන්ගේ ශක්තිය” යයි පවසමින්, යෞවන කාය ශක්තිය හා එහි ප්‍රයෝජන පිළිගනී. (හිතෝපදේශ 20:29) පුරාතන ඊශ්‍රායෙලයේ, යෞවන ලෙවීවරුන්ගේ කාය ශක්තිය නිතර බොහෝ බර වැඩ කිරීමට දේව මාලිගාවේ උපයෝගි කර ගනු ලැබී ය. අද දින, වොච් ටවර් සමිතියේ කර්මාන්තශාලාවල, බෙතෙල් නිවාසවල, හා ගොඩනැගීමේ ව්‍යාපෘතිවල වැඩ බොහොමයක්, රාජ්‍යයේ ප්‍රයෝජන ව්‍යාප්ත කිරීමට සිය කාය ශක්තිය හා හැකියාවන් පිරිනමා ඇති යෞවන පුරුෂයන් හා ස්ත්‍රීන් විසින් සිදු කෙරේ. (මතෙව් 6:33) ඔවුහු එසේ දේව සේවයේ මාහැඟි ප්‍රස්තා භුක්ති විඳිති.

ඉහත උපුටා දක්වන ලද හිතෝපදේශය නිම වනුයේ: “වෘද්ධයන්ගේ අලංකාරය නම් පැසුණු හිසය” යනුවෙනි. යෞවන කාය ශක්තිය, වසර ගණනාවක අත්දැකීම් හා ප්‍රඥාව සමඟ එක් වූ විට, ඉතා ශක්තිමත් සංයෝජනයක් ඇති වේ.

උදාහරණයක් වශයෙන් කියතොත්: පනේල වැද්දුම් කීපයක් කිරීමට පවරන ලද යෞවන ආධුනික වඩු කාර්මිකයෙක් යෞවන කාය ශක්තිය යොදා ගනිමින් කාර්යය නිම කිරීමට වෑයම් කරයි. වයෝවෘද්ධ, වැඩි අත්දැකීම් ඇති වඩු කාර්මිකයෙක්, යෞවන සහයකයාට හොඳ කාය ශක්තියක් තිබුණත්, ලීයට ඇණයක් යැවීමට වාර ගණනාවක් ගසන බව ඔහු දකී. එම වයස්ගත සේවකයා, මිටිය අල්ලන විට එහි යකඩ හිසට ළඟින් එය අල්ලනු වෙනුවට මිටේ අගින් එය අල්ලන්නැයි යෞවන තැනැත්තාට නිර්දේශ කරයි. මෙය කාලයත් ශ්‍රමයත් ඉතුරු කරමින්, වැඩි බලයකින් ඇණයට පහර දීමට යෞවන තැනැත්තාට හැකියාවක් ලබා දෙයි.

සමානාකාරයෙන්, යෞවන, කඩිසර ස්ත්‍රියක් ඇතැම් රෙදි වර්ග උපදෙස්වලට එකඟ ව නොසේදුවොත් ඒවා විනාශ විය හැකි බව අත්හදා බැලීමෙන් ඉගෙන ගත හැකි ය. කෙසේ වෙතත්, අත්දැකීම් ලත් ස්ත්‍රියක්, රෙදිපිළි තෝරා බේරා ඇතැම් වස්ත්‍ර වෙන්කර සේදීමට කාලය ගැනීමේ වටිනාකම අවබෝධ කරගෙන සිටින්නී ය. ඇය, රෙදි වැලෙන් හෝ රෙදි වේලන යන්ත්‍රයෙන් ඇඳුම් ගන්නා විට ම ඒවා නැවීමෙන්, තමාට සමහරක් ඇඳුම් මැදීමෙන් වැළකී සිටිය හැකි බවත් ඇය ඉගෙන ගෙන සිටින්නී ය.

අත්දැකීම් ලත් අයගෙන් ඉගෙන ගැනීම ජීවිතය පහසු කළ හැකි ය. එහෙත්, ඔහු හෝ ඇය වසර කීපයකට පෙර පහසුවෙන් ම ඉටු කළ ඇතැම් කටයුතු, තවදුරටත් වැඩි අත්දැකීම් ඇති තැනැත්තාට කළ නොහැකි කාලයක් ද පැමිණේ. එක් ලේඛකයෙක් සුදුසු ලෙස මෙසේ පැවසී ය: “යෞවනයන්ට අවබෝධයත්, වයෝවෘද්ධ අයට ශක්තියත් තිබුණේ නම් කොතරම් හොඳ ද.” එහෙත් වයෝවෘද්ධ අය යෞවනයන්ගේ කාය ශක්තිය අගය කරමින්, ජීවිත කාලය පුරා තමන් ලද අත්දැකීම් ඉවසීමෙන් යුක්ත ව හවුලේ බෙදා ගන්නා විට—එමෙන් ම යෞවනයන් ද යෝජනා යටහත් පහත් ලෙස පිළිගන්නා විට—එය කොතරම් හොඳ ද! මෙයාකාරයෙන් එම වයස් සීමාවන් දෙකේ ම සිටින අයට ප්‍රයෝජන ලැබේ.

අලංකාරය අත්කර ගැනීම

නිකම් වයස්ගත ව සිටීම පමණක් නොසෑහේ. “ප්‍රඥාව ඇති වන්නේ, වයස්ගත වීමෙන් පමණක් නොවේ. හරි දේ දන්නෝ [විනිශ්චය කිරීම තේරුම් ගන්නේ NW], වැඩිමහල් අය පමණක් නොවෙති” යයි යෞවනයෙක් වූ එලීහු පැවසී ය. (යෝබ් 32:9, නව අනුවාදය; දේශනාකාරයා 4:13) පැසුණු හිස නිසා සැබවින් ම අගය කරනු ලබන්නට නම්, වයෝවෘද්ධ තැනැත්තෙක් රූපවාහිනිය නරඹමින්, ක්‍රීඩා උත්සවයන්ට යමින්, එසේත් නැතහොත් නිකම් විනෝද ලෙස කාලය ගත කරමින් අලස ව සිටිනවාට වඩා තමාගේ ජීවිතය සමඟ වැඩි යමක් කර තිබිය යුතු ව ඇත. තව ද වයස් ගත අවධියේ පවා, වයෝවෘද්ධ අය තවදුරටත් ඉගෙන ගනිමින් සිටීම අවශ්‍ය වේ.

සමහරක් අය තමන්ට දේවල් කරන්නට ඕනෑ කරන ආකාරය ගැන උදම් අනති, එසේත් නැතහොත් “අත්දැකීම් සහිත හොඳ ම ගුරුවරයා” යයි පවසති. එහෙත්, දේව වචනය මෙසේ උපදෙස් දෙයි: “ඤාණවන්තයා අසා ඉගෙනගැන්ම වැඩිකරගන්නේය; නුවණ ඇත්තා හොඳ ගුරුකම් ලබා ගන්නේය.” (හිතෝපදේශ 1:6; සසඳන්න 1 කොරින්ති 10:11.) අප විසින් ම වැරදි නොකර, අපට අන්‍යයන්ගේ වැරදිවලින් යමක් ඉගෙන ගැනීමට හැකියාවක් ඇති නිසා, අත්දැකීම නිතර ම හොඳ ම ගුරුවරයා වන්නට යන්නේ නැත. එපමණක් ද නොව, “පැසුණු හිස ගෞරවයේ ඔටුන්නක් ය. එය ධර්මිෂ්ඨයන්ගේ මාර්ගයෙහි සම්බ වෙයි” යන්න මතකයේ තබා ගැනීමට ද ක්‍රිස්තියානියෙකුට වුවමනා වනු ඇත. (හිතෝපදේශ 16:31, NW] යෙහෝවඃ වහන්සේට විශ්වාසනීය සේවයක් කරමින් ගත කළ ජීවිතයක් උන් වහන්සේගේ ප්‍රතිපත්තිය අනුව අලංකාරවත් වන අතර හොඳ ආදර්ශයක් හැටියට අන්‍යයන්ගේ ගෞරවය ද ලැබීමට යෝග්‍ය වේ. ඇත්ත වශයෙන් ම, දෙවියන් වහන්සේ ගැන ඉගෙන ගැනීමත්, “ධර්මිෂ්ඨකමේ මාර්ගයෙහි” පිහිටා අත්දැකීම් ලබා ගැනීමත්, ජීවිතයේ මුල් කාලයේ දී ආරම්භ කළ හැකි අතර කිසි දිනක අවසන් වන ක්‍රියාවලියක් නොවිය යුතු ය.—රෝම 11:33, 34.

මෙය ස්වීඩනයේ අවුරුදු හතක් වයසැති පිරිමි දරුවෙකු සම්බන්ධ අත්දැකීමෙන් නිදර්ශනය කළ හැකි ය. තමාට දිව්‍යාණ්ඩු සේවා පාසලට ඇතුළත් වීමට හැකි දැයි ඔහු පාසල් අවේක්ෂකගෙන් විමසී ය. එම අවේක්ෂක “ඇයි?” කියා ඇසුවේ ය. ඊට එම යෞවනයා පිළිතුරු දුන්නේ මෙසේ ය: “කෙනෙකුට තමාගේ මුළු ජීවිත කාලය ම නිකරුණේ ගත කළ නොහැකි ය!” (දේශනාකාරයා 12:1) බාල මහලු දෙපිරිසට ම එකාකාර ව බලපාන කොතරම් ඒකාන්ත ආදර්ශයක් ද!

පැසුණු හිසට ගෞරව කිරීම

කාය ශක්තිය හා ක්‍රීඩක හැකියාවන් කෙරෙහි වැඩි අගැයීමක් පෙන්වමින්, මහලු අය නොසලකා හැරීම නවීන දින සමාජයේ පවතින කැළඹිලි සහගත නැඹුරුවාවකි. සභාවේ සිටින පැසුණු හිස් ඇති අය කෙරෙහි ක්‍රිස්තියානියෙකුගේ ආකල්පය කුමක් විය යුතු ද?

වයෝවෘද්ධ ක්‍රිස්තියානින් නොසලකා සිටිනවාට වඩා, අප ඔවුන් ව සැලකිල්ලට ගනිමින් ඔවුන් සමඟ කාලය ගත කළ යුතු ය. උදාහරණයක් වශයෙන්, රාජ්‍යය ශාලාවේ පැවැත්වෙන සති පතා රැස්වීම්වල දී, වයෝවෘද්ධ අයට සුභපැතීමට ඔබ වෑයමක් දරනවා ද? බාලයන්ගේ මෙන් ම අන්‍යයන්ගේ සුභපැතුම් ඔවුහු ඇත්තෙන් ම අගය කරති. එමෙන් ම විවිධ වයස් සීමාවන්ට අයත් සෙසු ඇදහිලිවන්තයන්ගේ එක්රැස්වීම්වලට එන්නට ලැබීම වයෝවෘද්ධ අය කොතරම් අගය කරත් ද! විවාහක යෞවන යුවළක් තමන්ගේ වයසේ අන් විවාහක අය සමඟ ඇසුරු කරන්නට වැඩි ප්‍රියමනාපයක් දැක්විය හැකි වුවත්, එවන් ප්‍රීති දායක එක්රැස්වීම්වල දී වයස්ගත අය ව ද ඇතුල් කර ගැනීම විපාකදායී වනු ඇත.—1 තෙසලෝනික 3:12; 5:15.

වයෝවෘද්ධ අය සමඟ කථා කරන විට කාරුණික වීම කොතරම් වැදගත් ද! යෙහෝවඃ වහන්සේට වසර 40ක් සේවය කර ඇති වයෝවෘද්ධ සහෝදරයෙක් තමා ව සභාවේ පාවිච්චියට ගත හැකි ආකාරය ගැන තවත් වැඩිමහල්ලෙක් සමඟ වරක් කථා කළ විට, එම යෞවනයා පැවසුවේ: “ඔබට කරන්ට පුළුවන් වෙන්නේ ඉතා ටිකයි” කියා ය. එය කොතරම් අකාරුණික ප්‍රකාශයක් ද! එම වයෝවෘද්ධ සහෝදරයාට තිබුණේ, වරක් තමාට තිබූ ප්‍රමාණයට වඩා අඩු ශක්තියක්, ක්ෂේත්‍ර සේවයට ඔහුගේ සහභාගිත්වය යම් ප්‍රමාණයක් අඩු වී තිබුණා, එමෙන් ම ඔහුගේ වත්මන් හැකියාවන් අනුව සමහරක් අවේක්ෂණ කටයුතු කිරීම දුෂ්කර ව තිබුණි; එහෙත් ඔහුට ඉදිරිපත් කරන්නට බොහෝ දෑ තිබුණි. ධර්මිෂ්ඨකමේ මාර්ගයේ යමින් වසර ගණනාවක් පුරා ඔහු ලැබූ ප්‍රඥාව හා අත්දැකීම් ඔහු සතු ව තිබුණි. හේතුව, එවන් වයෝවෘද්ධ අය රාජ්‍යයේ දේශකයන් හැටියට වෙහෙසා ක්‍රියා කර, පීඩා විඳදරා, ක්‍රිස්තියානි වගකීම් සම්භාරයක් උසුලා, එමෙන් ම අන්‍යයන් ව පුහුණු කර ඇත්තාහ. දෙවියන් වහන්සේගේ ජනයා දැන් උන් වහන්සේගේ ආත්මයෙන් අනුබලය ලබන ශක්තිමත් සංවිධානයක් භුක්ති විඳිති. එනිසා, අප මෙම වයෝවෘද්ධ අයට ඥානවන්ත උපදේශකයන්, ප්‍රේමනීය එඬේරුන්, මෙන් ම ඵලදායී ගුරුවරුන් හැටියට ගෞරවය පෙන්විය යුතු ය.

වයෝවෘද්ධ අය ඉදිරිපත් කරන යෝජනාවන්ට දැඩි සැලකිල්ලක් යොමු කිරීමට ද හොඳ හේතු ඇත. උදාහරණයක් වශයෙන්, අත්දැකීම් ලත් සහෝදරයෙක් එක්තරා රාජ්‍යය ශාලාවකට ඇතුල් වන දොරටුව එම ගොඩනැගිල්ලේ බස්නාහිර පැත්තේ නොතබන්නැයි යෝජනා කළේ ය. එම ගොඩනැගිල්ලේ තිබිය හැකි ලස්සන ගැන වැඩි සැලකිල්ලක් දැක් වූ යෞවන සහෝදරයෝ ඔහුගේ යෝජනාව අනුව ක්‍රියා නොකළහ. වසර ගණනාවකට පසු, කෙසේ වෙතත්, නිරන්තර සුළං හා වැසි එම දොර දිරාපත් කළ බැවින්, එය වෙනත් තැනක සවි කරන්නට සිදු විය. අත්දැකීම්වල ප්‍රායෝගික ප්‍රඥාව සුන්දරත්වය පිළිබඳ සාධකවලට වඩා වැදගත් විය. යෞවන අය වයෝවෘද්ධ අයගේ අදහස් හා ප්‍රායෝගික ප්‍රඥාවට සවන් දීමෙන් ඔවුන්ට ගෞරව කරන්නේ නම්, මෙය බොහෝ දුරට කාලය හා මිල මුදල් ඉතිරි කළ හැකි ය. වයෝවෘද්ධ තැනැත්තාගේ යෝජනා අනුව ක්‍රියා කරනු නොලැබුවත්, එය සැලකිල්ලට ගනු ලැබූ බවත් වෙනත් සාධක වෙනත් තීරණයකට මඟ පෙන්වූ බවත් ඔහුට දැන්වීමෙන් ඔහුට ගෞරව කළ හැකි ය.—හිතෝපදේශ 1:8 සසඳන්න.

පසුපස නොව, ඉදිරිය බලන්න

ඇතැම් වයෝවෘද්ධ අය, “ඔබත් මමත් තරුණයන් ව සිටි කාලය වගේ කාලයක් ආයෙත් ලැබෙන එකක් නැහැ” යන දෘෂ්ටිය දරති. කෙසේ වෙතත්, ගත වී ගිය කාලයේ දේවල් සිහිපත් කරනවාට වඩා, එවන් වයෝවෘද්ධ අය ව, තමන් ස්වර්ගීය දීමනාව ලබනු ඇති, හෝ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පාලනය යටතේ යෞවන ශක්තිය ලබනු ඇති දිනය දෙස බැලීමට දිරි ගැන්විය හැකි ය. ඒ අතරතුර, ඔවුන් වයස නිසා තමන්ගේ සීමාවන් දැන සිටිය යුතු ය. සේවා ප්‍රස්තාවන් සඳහා වයෝවෘද්ධ කෙනෙක් ව සැලකිල්ලට ගනු නොලබන බව පෙනේ නම්, මෙම දැනුවත්කම හා හැකියාවන් පිළිබඳ මනා හාස්‍ය භාවයේ හැඟීමක් තිබීම නොකිව මනා ය.

උදාහරණයක් වශයෙන්, වයෝවෘද්ධ සහෝදරයෙක් ව වසර ගණනාවකට පෙර දිස්ත්‍රික්ක සමුළු වැඩසටහන්වල විධිවත් ආකාරයකට පාවිච්චියට ගනු ලැබුවා විය හැකි ය. දැන් තෝරා ගැනීම සඳහා සමර්ථ වැඩිමහල්ලන් බොහෝ දෙනෙක් මෙන් ම ඉගැන්වීමේ හැකියාව ඇති අය බොහෝ දෙනෙකු සිටින තත්ත්වයක් තිබෙනවා විය හැක. සන්සන්දනාත්මක වශයෙන් තරුණ ව සිටිය ද, මෙම වැඩිමහල්ලන්ගෙන් සමහරෙක් ජ්වලිතය හා හැකියාව සනාථ කර ඇත්තාහ, ඔවුන්ට හොඳින් ඉගැන්වීමටත්, කාරුණික ව අනුශාසනා කිරීමටත්, එසේ ම අන්‍යයන් ව දිරිගැන්වීමටත් හැකියාව ඇත. (1 තෙසලෝනික 5:12, 13; 1 තිමෝති 5:17) මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, සමුළු වැඩසටහනේ පැවරුම් නොලැබෙන වයෝවෘද්ධ සහෝදරයෙක් තමා ව නොසලකා හැර ඇතැයි කල්පනා කළ හැකි අතර එම ප්‍රස්තා යොවුන් වැඩිමහල්ලන්ට පවරා තිබීම ගැන සතුටු නොවන්නට පුළුවන. එහෙත්, මනුෂ්‍ය අසම්පූර්ණත්වයෙන් මතුවන එම නිෂේධාත්මක හැඟීම මැඩ පවත්වන්නට පුළුවන. ඇත්ත වශයෙන් ම, තමන් අවශ්‍ය කරවන පිරිසක් බවත්, තමන්ගේ ඇදහිලිවන්තකම සඳහා ඔවුන්ට ප්‍රේම කරනු ලබන බවත්, ඔවුන්ගේ අදහස් අගය කරනු ලබන බවත් වයෝවෘද්ධ අයට දැනෙන්නට සැලැස්වීමෙන් සභාවේ සියල්ලන්ට ම උපකාර කළ හැකි ය.

ඇත්ත වශයෙන් ම, තමාට ගෞරව කිරීම තමන් බලාපොරොත්තු වන්නා සේ ම, සෙසු ඇදහිලිවන්තයන්ටත් ගෞරව කළ යුතු බව වයෝවෘද්ධ තැනැත්තෙක් මතක තබා ගත යුතු ය. (මතෙව් 7:12; රෝම 12:10) තමන්ගේ වයස නිසා තමන් ව ඉවත් කර ඇතැයි කල්පනා කරමින් නිෂේධාත්මක මතයක් දරමින් වේදනා විඳිනු වෙනුවට, වයෝවෘද්ධ අය තමන් විශ්වාසනීය ව සේවය කළ කාලය ගැන කල්පනා කරමින් ප්‍රීතිමත් විය යුතු ය. තව ද යෙහෝවඃ වහන්සේගේ ආශීර්වාදයන්හි ප්‍රතිඵලයක් වශයෙන් “වෙනත් බැටළුවෝ” සමූහයක් ක්‍රිස්තියානි සංවිධානයට රොක් වෙත් ම සභා වගකීම් භාර ගැනීමටත්, වගකීම් දැරීමට හවුල් වීමටත් දිනෙන් දින වැඩි වන්නා වූ සුදුසුකම් ඇති අවේක්ෂකයන් සංඛ්‍යාවක් සිටීම ගැන සහතික ව ම අප සියල්ලන් ම කෘතඥ පූර්වක විය යුතු ය.—යොහන් 10:16; යෙසායා 60:8, 22; 2 තිමෝති 2:2.

වේදනාවන්, සෞඛ්‍ය දුබලකම්, නැතහොත් වෙනත් සාධක නිසා, පැසුණු හිස ඇත්තා වූ අය ඇතැම් අවස්ථාවන්හි ඉක්මනින් කිපෙන සුලු තත්ත්වයට පත් වෙති. මෙය පවුලේ හෝ සභාවේ අන් සාමාජිකයන්ගේ පාර්ශ්වයෙන් වැටහීම හා අවබෝධය ඉල්ලා සිටී. මෙහි දී ඒකාන්ත ආකල්පයක් පැවැත්වීමට, හෘදයෙන් හා මනසෙන් යෞවන ව සිටීමට වයෝවෘද්ධ අය වෙහෙසක් දැරීම ද අවශ්‍ය කරවයි. වසර ගණනාවකට පෙර, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ වයෝවෘද්ධ සහෝදරයෙකුගේ කාමරයේ නැවතී සිටි යෞවන සහෝදරයෙක් බෙතෙල් නිවසෙන් ඉවත් ව යන කල, තමන් සමඟ කාමරයේ සිටීමට හොඳ කෙනෙක් යෝජනා කරන ලෙස එම වයෝවෘද්ධ සහෝදරයාට, පැවසූ විට තමාට යෞවන ව හා ක්‍රියාශීලී ව සිටීමට උපකාර කිරීමට හැකි යෞවන, මේරූ සහෝදරයෙක් පැමිණෙන්නේ නම් වඩාත් කැමති බව ද පැවසී ය. කරන්නට බොහෝ දේවල් තිබූ නිසා, එම වයෝවෘද්ධ ආලේප ලත් සහෝදරයාට විශ්‍රාම ගැනීමට හෝ තමාගේ කටයුතුවල වේගය අඩු කර ගැනීමට හෝ වුවමනාවක් තිබුණේ නැත. ඉදිරිය බලා, ඒකාන්ත බලාපොරොත්තුවක් තබා ගැනීම පිළිබඳ කොතරම් කදිම ආදර්ශයක් ද!

නිසැක ව ම, “තරුණයන්ගේ පාරට්ටුව ඔවුන්ගේ ශක්තියය; වෘද්ධයන්ගේ අලංකාරය නම් පැසුණු හිසය.” ධර්මිෂ්ඨකමේ මාවත ලුහුබැඳීමේ දී යෞවනයන් සිය ශක්තියත් වයෝවෘද්ධ අය තමන්ගේ ප්‍රඥාවත් අදාළ කර ගන්නේ නම් එය කොතරම් විස්මිත ද! තමන් එක්සත් ව “පුරාතන තැනන්වහන්සේ” වන යෙහෝවඃ දෙවියන් වහන්සේගේ සැබෑ නමස්කාරය වඩවත් ම බාල මහලු ක්‍රිස්තියානිහු සමානාකාරයෙන් මහත් ප්‍රීතියක් අත්දකිති.—දානියෙල් 7:13.

[28වන පිටුවේ පින්තූරය]

පැසුණු හිස ඇති ක්‍රිස්තියානින්ට අන්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා පිරිනැමීමට බොහෝ දේ තිබේ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න