පොරොන්දු දේශයෙන් දර්ශන
සීනයි—මෝසෙස්ගේ හා දයාවේ කන්ද
ඔබ සීනයි කන්ද ගැන කල්පනා කරන විට, ඔබට බොහෝ දුරට මෝසෙස් ව මතකයට නැගෙන්නට පුළුවන. ඒ මන්ද? මන්දයත් මෝසෙස් සීනයි අර්ධද්වීපයේ කන්දක් මත දී දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ලැබූ නිසා ය. කොයි කන්දේ දී ද? බොහෝ දුරට ඉහත පෙන්වා ඇති කන්ද මත විය හැකි ය.a
එම අර්ධද්වීපයේ දකුණු කොටසේ, රතු මුහුදේ කඩතොලුවල මැද භාගයේ දී පමණ මුදුන් දෙකකින් යුත් වැටියක් ඇත. මෙහි පොදු පිහිටීම මෝසෙස් හා බැඳි බයිබල් වාර්තාවට ගැලපේ. මෙම මුදුන්වලින් එකක් “මෝසෙස්ගේ කන්ද” අදහස් කරන, ජෙබෙල් මූසා යනුවෙන් නම් කර ඇත.
විවිධ බයිබල් වාර්තාවන් එම නාමය ඉතා උචිත එකක් බවට පත් කරවයි. මෝසෙස් යෙත්‍රෝගේ එළු බැටළු රැළ බලාගනිමින් සිටි විට දේව දූතයෙක් ඇවිළෙන පඳුරකින් දර්ශනය වූ බව ඔබට මතක ද? එය සිදු වූයේ කොතැන ද? එය සීනයි කන්ද යනුවෙන් ද නම් කර ඇති, ‘දෙවියන් වහන්සේගේ කන්ද, එනම් හොරේබ් හි’ සිදු වූ බව බයිබලය පවසයි. (නික්මයාම 3:1-10; 1 රාජාවලිය 19:8) මෝසෙස් දෙවියන් වහන්සේගේ ජනයා ව මිසරයෙන් ඉවතට ගෙන ඒමෙන් පසු, ඔහු ඔවුන් ව මේ ස්ථානයට ගෙනාවේ ය. “එහි කන්ද ඉදිරිපිට ඉශ්රායෙල්වරු කූඩාරම් ගසාගත්තෝය. මෝසෙස් වනාහි දෙවියන්වහන්සේ වෙතට නැගී ගියේය, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] කන්දේ සිට ඔහුට” කථා කළ බව, නික්මයාම 19:2, 3 පවසයි.
එය මෝසෙස් සීනයි කන්දට නැගි පළමු අවස්ථාව වූ අතර එහිදී ඔහු එම බෑවුමේ මද දුරක් ගමන් කිරීමට වඩා වැඩි යමක් කළේ ය. “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] සීනයි කඳු මුදුනට බැස අවුත් කඳු මුදුනට මෝසෙස් කැඳවූසේක,” යයි අපි කියවමු.—නික්මයාම 19:20.
දහස් සංඛ්‍යාත නවීන දින සංචාරකයෝ, එහි මුදුනට ළඟා වීම පිණිස රාත්‍රි කාලයේ සලකුණු කරන ලද මං ඔස්සේ මහත් ආයාසයක් දරා නැග, ඉරු නැගීම නැරඹීමට කාලය ගත කර, අනතුරුව දහවල් වන විට පහතට පැමිණ ඇත්තාහ. එහෙත් මෝසෙස් සමඟ, මෙය මෙසේ සිදු වූයේ නැත. “මා ළඟට කන්දට නැගී ඇවිත් මෙහි සිටපන්න. . . . මා . . . ගල්ලෑලිද ව්‍යවස්ථාවද ආඥාවද නුඹට දෙන්නෙමි” යයි දෙවියන් වහන්සේ ඔහුට කී සේක. ඒ අවස්ථාවේ දී “මෝසෙස් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කන්දේ සිටියේය.”—නික්මයාම 24:12-18.
එනිසා මෝසෙස්ගේ නාමය මෙම කන්ද සමඟ සම්බන්ධ වීම තේරුම් ගත හැකි යමක් වන නමුත් “දයාව” සමඟ සම්බන්ධ වන්නේ මක්නිසා ද? ඇත්තෙන් ම, මෝසෙස් එහි මුදුනේ ව්‍යවස්ථාව ලබමින් සිටිය දී, පහත තැන්නේ (ඇතැම් විට ඡායාරූපයේ දක්වා ඇති එර්-රහා තැන්නේ) සිටි ජනයා, අඥාන ක්‍රියා මාර්ගයක් ගත්හ. දෙවි කෙනෙක් සාදන ලෙස ඔවුහු මෝසෙස්ගේ සහෝදරයාට බලකර සිටියහ. එවිට ආරොන් “රන් කුණ්ඩලාභරණ ගළවා මා ළඟට ගෙනෙල්ලා” යයි කීවේ ය. එසේ ඔවුහු නමස්කාරය පිණිස රන් වස්සෙක් සෑදුවෝ ය. මෙය සැබෑ දෙවියන් වහන්සේ ව කෝපයට පත් කළ අතර දහස් සංඛ්‍යාවකගේ මරණයට මඟ පෑදී ය. (නික්මයාම 32:1-35) එහෙත් ආරොන්ට දයාව පෙන්වා ඔහු ව ඉතිරි කරනු ලැබී ය. ඒ මන්ද?
ඊශ්‍රායෙල් ඒ අවස්ථාවේ දී කළ වැරැද්දේ මූලිකයා ආරොන් යයි දෙවියන් වහන්සේ කල්පනා නොකළ බව නික්මයාම 32:10 හි ඇති උන් වහන්සේගේ ප්රකාශනයෙන් ඇඟවෙයි. තව ද තීරණාත්මක අවස්ථාව පැමිණි විට, “ලෙවීගේ සියලු පුත්‍රයෝ” දෙවියන් වහන්සේගේ පැත්ත තෝරා ගත් අතර, මෙයට ආරොන් ද ඇතුළත් වූ බව කිසිදු සැකයක් නැත. (නික්මයාම 32:26) මෙසේ ආරොන් යම් ආකාරයකින් දෝෂ සහගත ව සිටියත්, ඔහු සීනයි කන්ද පාමුල දී දෙවියන් වහන්සේගේ දයාව ලැබී ය.
පසු ව, යෙහෝවඃ වහන්සේ ව වඩා හොඳින් හඳුනා ගැනීමටත් උන් වහන්සේගේ තේජස දැකීමටත් ආශාවක් ඇති බව මෝසෙස් කියා සිටියේ ය. (නික්මයාම 33:13, 18) මෝසෙස්ට දෙවියන් වහන්සේගේ මුහුණ දැකිය නොහැකි ව තිබුණත්, යෙහෝවඃ වහන්සේ “දයාව පෙන්වන්ට කැමති තැනැත්තාට දයාව පෙන්වන්නෙමි” යයි අවධාරණය කරමින්, තමන් වහන්සේගේ තේජසෙන් යම් ප්‍රමාණයක් ඔහුට පෙන්නූ සේක. (නික්මයාම 33:17–34:7) දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ දයාව අවධාරණය කිරීම ඉතා උචිත දෙයකි. එයට හේතුව, දෙවියන් වහන්සේ සීනයි හි දී ගිවිසුමක් කර ගත් ඉශ්රායෙල් සමඟ උන් වහන්සේ කටයුතු කරන විට, බයිබලය නිතර නිතර “දයාව” පාවිච්චි කිරීම ය.—ගීතාවලිය 103:7-13, 18.
අද දින සීනයි වෙත යන අයට එහි පාමුල ආරාමයක් දැකිය හැකි අතර, මෙය, එහි ඉහළ කන්ද මත මෝසෙස් ඉගෙන ගත් සැබෑ නමස්කාරය කෙනෙකුට කිසිසේත් සිහිපත් කරවන්නට යන්නේ නැත. ඒ වෙනුවට, එම ආරාමයේ ආගමික මූර්ති ප්‍රතිමා කෙරෙහි අවධානය යොමු කරයි. මෙහි පෙන්වා ඇත්තේ “පාරාදීසයට වූ ඉණිමග” ය. එය ජෝන් ක්ලෙමැකස් නම් බයිසන්තියානු පැවිද්දෙකුගේ පොතක් මත පදනම් වූවකි. ආරාමයේ කුටියක වසර 40ක් පමණ ගත කිරීමෙන් පසු, ඔහු එම ආරාමයේ අධිපතියා වූ අතර ස්වර්ගයට යන සංකේතවත් ඉණිමඟක් ගැන ඔහු ලීවේ ය. එහෙත් ඇතැම් දේවගැතියන් ව භූතයින් විසින් නිරාගින්නේ සදාකාලික වදදීම් සඳහා අදිනු ලබන ආකාරය පිළිබිඹු කෙරෙන බවත් සැලකිල්ලට ගන්න. එය පැහැදිලි ව චිත්රගත කර තිබුණත්, එය ශුද්ධ ලියවිල්ලට එකඟ නොවේ!—දේශනාකාරයා 9:5, 10; යෙරෙමියා 7:31.
බොරු ඉගැන්වීම්වලට වෙනස් ව, සැබෑව නම් සර්වබලධාරී තැනන් වහන්සේ “අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර [ප්‍රේමනීය NW ] කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවිකෙනෙක්” බව ය. (නික්මයාම 34:6) සීනයි කන්ද මත මෝසෙස් මෙම දයාවන්ත වූ දෙවියන් වහන්සේට සමීප විය.
[පාදසටහන්වල]
a මෙහි වඩා විශාල චිත්‍රයක් බැලීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ 1993 දින දර්ශනය බලන්න.
[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.
[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.
[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.