ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීම මත ආලෝකය හෙලීම
“මනුෂ්‍ය පුත්‍රයා සිය තේජසින් එන කල, . . . උන් වහන්සේ ජනයා එකිනෙකා ව වෙන් කරන සේක.”—මතෙව් 25:31, 32, NW.
1. ක්‍රිස්තියානි ලෝකයේ පූජක පංතිය, මතෙව් 24:3 හි සඳහන් වචන අර්ථ දක්වා ඇත්තේ කිනම් අර්ථයක් සහිත ව ද?
යේසුස් වහන්සේගේ මරණයට දවස් තුනකට පෙර, උන් වහන්සේගේ ගෝලයන්ගෙන් හතර දෙනෙක් උන් වහන්සේ වෙත පැමිණ මෙසේ ඇසුවෝ ය: “ඒ දේ කොයි කලෙක සිද්ධවන්නේද? ඔබවහන්සේගේ ඊමටත් [ග්‍රීක්, ප·රූ·සිʹයා], ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක් දැයි අපට කිව මැනව.” සියවස් ගණනාවක් පුරා, ක්‍රිස්තියානි ලෝකයේ පූජක පංතිය සහ ලේඛකයන්, මතෙව් 24:3 හි යේසුස් වහන්සේගේ මෙම වදන් අර්ථ කථනය කොට ඇත්තේ, සියලු මිනිස් වර්ගයා විසින් දකිනු ලැබීමට උන් වහන්සේ යළිත් මාංසාකාරයෙන් දෘශ්‍යමාන වනු ඇත යන අදහස ගෙන දෙන පරිදි ය. මෙබැවින්, ක්‍රිස්තුස් වහන්සේ, මහත් ප්‍රදර්ශනයකින් සහ උදාර තේජසකින් යුතු ව නැවත පැමිණෙනු ඇතැයි ඔවුහු උගන්වා තිබේ. ඔවුන් මෙයට යොමු දක්වන්නේ, ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම හැටියට ය. එහෙත් ඔවුන්ගේ මෙම උපකල්පනයන් නිවැරදි ද?
2, 3. (අ) ස්ටඩීස් ඉන් ද ස්ක්‍රිප්චර්ස් හි 2වන වෙළුම, “ඊම” සහ “පැමිණ සිටීම” යන වචන අතර ඇති කළා වූ වෙන් කොට දැක්වීම කුමක් ද? (ආ) ක්‍රිස්තුස් වහන්සේගේ ප.රූ.සිʹයා හි අර්ථය ගැන යෙහෝවඃ වහන්සේගේ ජනයාට කුමක් වටහා ගැනීමට හැකි වී ද?
2 වර්ෂ 1889 වූ විට, 19 වෙනි සියවසේ ආලෝකය දරන්නන් වශයෙන්, යෙහෝවඃ වහන්සේගේ ආලේප ලත් අය, ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම පිළිබඳ කාරණය සම්බන්ධයෙන් ඒ වන විටත් නිවැරදි කිරීම් ලබා ගෙන තිබුණි. ස්ටඩීස් ඉන් ද ස්ක්‍රිප්චර්ස් හි 2වන වෙළුමේ, පිටු 158 සහ 161 හි වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි හි එවකට සභාපති ව සිටි චාල්ස් ටී. රසල් මෙසේ ලීවේ ය: “පරූසියා යනුවෙන් අරුත් දෙන්නේ, පැමිණ සිටීම යන්නයි. තව ද එය, පොදු ඉංග්‍රීසි බයිබල්වල කර ඇත්තාක් මෙන්, ඊම යනුවෙන් කිසිවිටෙකත් පරිවර්තනය නොකළ යුතු ය. නව ගිවිසුමේ ඉතා වටිනා පරිවර්තනයක් වන ‘එම්ෆැටික් ඩයග්ලොට්’ පරූසියා යන්න පැමිණ සිටීම යනුවෙන් සුදුසු ලෙස පරිවර්තනය කරයි, . . . මඟ පැමිණෙනවා යන අදහස දෙන ඊම ලෙස නොවේ, නමුත් [යේසුස් වහන්සේ] පවසනවාක් මෙන්, පැමිණියාට පසු වැනි වූ, පැමිණ සිටීම යනුවෙන් ය. ‘නෝවාගේ දවස්වල මෙන්, මනුෂ්‍ය පුත්‍රයාගේ පරූසියා [පැමිණ සිටීමත්] එලෙසම වන්නේ ය.’ මෙහි දී සංසන්දනය කර ඇත්තේ, නෝවාගේ පැමිණීම හා අපගේ ස්වාමීන් වහන්සේගේ පැමිණීම අතර නොවන බව කල්පනාවට ගන්න. . . . එසේ නම් ඊට පටහැනි දෙය, එනම් ‘ජල ගැල්මට පෙර’ නෝවා ජනයා අතර සිටීමේ කාලය සහ ක්‍රිස්තුස් වහන්සේ දෙවන වරට ලෝකයට පැමිණ සිටීමේ කාලය අතර ය. ‘ගින්නට පෙර,’—එනම් මෙම යුගය අවසන් කිරීමට ඉවහල් වන ස්වාමින් වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ] දවසේ අති දරුණු කරදර සහිත කාලය ය.”—මතෙව් 24:37.
3 එමනිසා, ක්‍රිස්තුස් වහන්සේගේ ප·රූ·සිʹයා වනාහි අදෘශ්‍යමාන එකක් වනු ඇති බව 19වන සියවසේ දී යෙහෝවඃ වහන්සේගේ ජනයා තේරුම් ගත්තෝ ය. අන්‍ය ජාතීන්ගේ කාලවල අවසානය 1914 ශරත් ඍතුවේ දී සිදු වනු ඇතැයි ද ඔවුහු වටහා ගෙන තිබුණාහ. එම අවුරුද්දේ ම, එනම් 1914 දී ම, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, රාජ්‍යයේ රජු වශයෙන් ස්වර්ගයේ කිරුළු පැළදි බව, ආත්මික ඥානාලෝකය වර්ධනය වීමත් සමඟ ම, ඔවුහු පසු ව අවබෝධ කරගත්හ.—හිතෝපදේශ 4:18; දානියෙල් 7:13, 14; ලූක් 21:24; එළිදරව් 11:15.
‘අපගේ ස්වාමීන් වහන්සේගේ පැමිණ සිටීම’
4. “අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීම” කුමකට යොමු දක්වයි ද?
4 එසේ නම්, “අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීම” යන්නෙන් අපගේ කාලයේ දී අදහස් කරන්නේ කුමක් ද? (1 තෙසලෝනික 5:23, NW) “පැමිණ සිටීම”, හෙවත් ප·රූ·සිʹයා යන යෙදුම, “උසස් පැළැන්තියේ පුද්ගලයෙකු විසින් කෙරෙන බැහැදැකීමක්, විශේ[ෂයෙන් ම] රජවරුන් සහ අධිරාජ්‍යයවරුන් විසින් යම් ප්‍රාන්තයක් බැහැදැකීමකට යොදන නිල වචනයක් බවට පත් වූ බව” එක් අධිකාරියක් විවරණය කරයි. එබැවින්, මෙම ප්රකාශනය යොමු දක්වන්නේ, 1914 සිට හා ඉන් ඉදිරියට ස්වර්ගයේ කිරුළු පැළඳවීමෙන් පසු, ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රාජකීය පැමිණ සිටීමට ය. එමනිසා, උන් වහන්සේ වර්තමාන කාලයේ අදෘශ්‍යමාන ලෙස ‘සතුරන් මැද ආණ්ඩු කිරීමට’ පැමිණ සිටින සේක, තව ද රජ වශයෙන් ක්‍රියාකාරී අන්දමින් පාලනය කරමින්, මෙම අනාවැකිමය ආඥාව ඉටු කරමින් සිටින සේක. (ගීතාවලිය 110:2) දැන් වසර 79ක් පුරා, මිනිස් වර්ගයා ක්‍රිස්තුස් වහන්සේගේ අදෘශ්‍යමාන රාජකීය පැමිණ සිටීමේ බලපෑම් අත්දකිමින් සිටිත්.
5. මෙම සඟරාවේ පාඩම් ලිපි තුනෙහි, ප.රූ.සිʹයා සම්බන්ධ කිනම් වර්ධනය වීම් සාකච්ඡා කරනු ලැබේ ද?
5 මෙම කාල පරිච්ඡේදයේ දී, ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යයෙන් සිදුවන දේවල් පිළිබඳ චමත්කාරජනක සාක්ෂි ගැන මෙම ලිපි මාලාව තුළ, අප විසින් සලකා බලනවා ඇත. පළමු ව, දැනටමත් සිදු වී ඇති නැතහොත් දැනට සිදු වෙමින් පවතින්නා වූ සිද්ධීන් පවා, පුරෝකථනය කරන බයිබල් අනාවැකි කිහිපයක් අපි ඉදිරිපත් කරන්නෙමු. දෙවෙනු ව, යේසුස් වහන්සේ සිය රාජකීය පැමිණ සිටීමේ මුලු කාල පරිච්ඡේදය පුරා ම, උන් වහන්සේ විසින් යොදා ගනිමින් සිටින විශ්වාස සහ නුවණ ඇති දාස පංතිය විසින් ඉටු කරමින් තිබෙන මහත් වැඩය අපි විස්තර කරමු. (මතෙව් 24:45-47) තුන් වැනි ලිපියෙහි, උදාර සමාප්තිය හෙවත්, “මහත් පීඩාවේ” කාල පරිච්ඡේදය විස්තර කෙරෙනු ඇත. දුෂ්ටයන් ව විනාශ කිරීමටත්, ධර්මිෂ්ඨ අය ව ගැලවීමටත් යෙහෝවඃ වහන්සේගේ වධකයාණන් වශයෙන් යේසුස් වහන්සේ පැමිණෙන කාලය එයයි. (මතෙව් 24:21, 29-31) එම විනාශය, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීමට කාලයයි. මෙම විනාශකාරී කාලය ප්‍රේරිත පාවුල් විස්තර කර ඇත්තේ, “ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමග ඇවිළෙන්නාවූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව්වී, දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල, නුඹලාට දුක්දෙන්නන්ට දුකද දුක්විඳින නුඹලාට අප සමග සහනයද” ගෙන දෙන කාලයක් වශයෙනි.—2 තෙසලෝනික 1:7, 8.
ලකුණ
6. මතෙව් 24 සහ 25 වෙනි පරිච්ඡේදවල කිනම් සංයුක්ත ලකුණක් විස්තර කොට ඇත් ද?
6 මීට අවුරුදු එක් දහස් නවසියයකට පෙර, ආලෝකය දරන, යේසුස් වහන්සේගේ ගෝලයෝ, රාජ්‍යය බලයෙන් යුතු ව උන් වහන්සේගේ අනාගත පැමිණ සිටීම ගැන ලකුණක් හෙවත්, සාක්ෂි දෙන මෙන් ඉල්ලුවෝ ය. මතෙව් 24 හා 25 පරිච්ඡේදවල වාර්තා කොට ඇති උන් වහන්සේගේ පිළිතුර, සංයුක්ත ලකුණක් සැපයී ය, මීට සම්බන්ධ සෑම අංග ලක්ෂණයක් ම ජාත්‍යන්තර පරිමාණයකින් ඉටු වෙමින් පවතී. එම ලකුණ ඉටු වීම, දුක් පීඩා සහ මහත් පරීක්ෂා සහිත කාලයක් සනිටුහන් කරයි. යේසුස් වහන්සේ මෙසේ අනතුරු ඇඟවූ සේක: “කිසිවෙක් නුඹලා මුළා නොකරන ලෙස බලාගනිල්ලා. මක්නිසාද බොහෝ දෙනෙක්: මම ක්‍රිස්තුස්ය කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුළා කරන්නෝය. යුද්ධ සහ යුද්ධ ප්රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකැලඹෙන්ට බලාගනිල්ලා. මක්නිසාද මේ සියල්ල සිදුවන්ට ඕනෑය; නුමුත් ඒ වන තුරුත් අන්තිමය නොපැමිණෙන්නේය.”—මතෙව් 24:4-6.
7. වර්ෂ 1914 සිට, ලකුණේ කිනම් අංගයන් ඉටු වී තිබීම අප විසින් දැක තිබේ ද?
7 පෙර නොවූ විරූ පරිමාණයකින් විනාශකාරී යුද්ධ ඇති වන බව ද යේසුස් වහන්සේ තවදුරටත් පුරෝකථනය කළ සේක. මේවායේ ඉටු වීම තුළ, මේවායින් දෙකක් ලෝක යුද්ධ නමින් වර්ග කර ඇත, එකක් 1914 සිට 1918 දක්වා සහ අනෙක 1939 සිට 1945 දක්වා ය. ආහාර හිඟකම් ද භූමිකම්පා ද තැනක් තැනක් පාසා සිදුවනු ඇතැයි උන් වහන්සේ තවදුරටත් පැවසූ සේක. අව්‍යාජ ක්‍රිස්තියානිහු තද බල ලෙස පීඩා විඳිනු ඇත. මෙම අනාවැකිය සැබෑ කරවමින්, නූතන ආලෝකය දරන්නන් වන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ, “සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ” දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින් සිටින අතරේ දී, පසුගිය දශක අට පුරා පීඩා විඳ සිටිත්. (මතෙව් 24:7-14) සෑම වසරක ම පළවන යියර් බුක් ඔෆ් ජෙහෝවාස් විට්නසස් [යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත] මෙම ලකුණේ මෙම අංගයන් ඉටු වෙමින් පවතින බවට සාක්ෂි සපයයි.
8, 9. (අ) යේසුස් වහන්සේගේ රාජකීය පැමිණ සිටීමට ඇතුළත් වන්නේ කුමක් ද? (ආ) බොරු ක්‍රිස්තුවරු සම්බන්ධ යේසුස් වහන්සේගේ අනාවැකිය, උන් වහන්සේගේ පැමිණ සිටීමේ ස්ථානය හා ආකාරය පිළිබඳ ව අඟවන්නේ කුමක් ද?
8 යේසුස් වහන්සේගේ රාජ්‍යය තන්ත්රය මුළු පොළොව සිසාරා පැතිර පවත්නා හෙයින්, සත්‍යය නමස්කාරය සියලු මහාද්වීපවල ව්‍යාප්ත වෙමින් තිබේ. උන් වහන්සේගේ රාජකීය පැමිණ සිටීම (ප·රූ·සිʹයා) සමස්ත ලෝක පරීක්ෂා කිරීමේ කාලයකි. (1 පේතෘස් 2:12) එහෙත්, යේසුස් වහන්සේගෙන් උපදෙස් ලබා ගත හැකි යම් අගනුවරක් හෝ එවැනි මධ්‍යස්ථානයක් තිබෙනු ඇත් ද? යේසුස් වහන්සේ මෙයට පිළිතුරු දුන්නේ, සිය පැමිණ සිටීම ගැන අපේක්ෂාවෙන් බොරු ක්‍රිස්තුවරු නැඟී සිටිනු ඇතැයි පුරෝකථනය කරමිනි. උන් වහන්සේ මෙසේ අනතුරු ඇඟවූ සේක: “එබැවින් ඔව්හු නුඹලාට කථා කොට: අන්න, උන්වහන්සේ [ක්‍රිස්තුස් වහන්සේ] වනාන්තරයෙහි සිටිනසේකැයි කියත් නම්, පිටත්ව නොයල්ලා. උන්වහන්සේ ඇතුල් ගෙවල සිටිනසේකැයි කියත් නම්, විශ්වාස නොකරල්ලා. මක්නිසාද යම්සේ විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා පෙනේද, මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් [පැමිණ සිටීමත් NW] [ප·රූ·සිʹයා] එසේම වන්නේය.”—මතෙව් 24:24, 26, 27.
9 “මනුෂ්‍ය පුත්‍රයා” වන යේසුස් වහන්සේ, සිය පැමිණ සිටීම සැබවින් ම ඇරඹෙන අවස්ථාවේ දී, තමා සිටින්නේ කෙසේ ද සහ කොහේ ද කියා වෙන කිසියම් කෙනෙකුට වඩා හොඳින් දැන සිටි සේක. උන් වහන්සේ එහෙවත් මෙහෙවත් නැත්නම් පොළොව මත කිසි යම් විශේෂ ස්ථානයකවත් නොසිටිනු ඇත. මෙසියස් වහන්සේ ව සොයන අයට, දේශයේ ආණ්ඩුමය අධිකාරීන්ගේ නිරීක්ෂණයට හසු නොවී, උන් වහන්සේගෙන් උපදෙස් ලබා, යම් ස්ථානයක සිට උන් වහන්සේගේ නායකත්වය යටතේ පුහුණු ව ලැබ, දේශපාලනික ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වී, ලෝකයේ මෙසියානු පාලකයාණන් වශයෙන් උන් වහන්සේ ව අභිෂේක කිරීමට හැකි වන පරිදි, උන් වහන්සේ යම් හුදෙකලා ස්ථානයක, හෙවත් “වනාන්තරයෙහි” දෘෂ්‍යමාන නොවෙනවා ඇත. තවදුරටත්, තෝරා ගත් සුලු පිරිසකට පමණක් දැන ගත හැකි වන ලෙසින් උන් වහන්සේ යම් “ඇතුලු ගෙවල” සැඟවී ගෙන, කාටත් නොපෙනෙන පරිදි රහසේ ම ලෝකයේ ආණ්ඩු පෙරලා දැමීමට රහස් සැලසුම් කුමන්ත්‍රණය කර, තමා පොරොන්දු වූ මෙසියස් බවට තමා ව ම ආලේප කර ගැනීමට යන්නේ නැත. කොහෙත් ම නැත!
10. බයිබල් සත්‍යයේ ආලෝකවත් වීම්, සමස්ත ලෝක ආකාරයකින් විහිදුවා ඇත්තේ කෙසේ ද?
10 මීට පටහැනි ව, යේසුස් වහන්සේ රජු වශයෙන් සිය රාජකීය පැමිණ සිටීම ආරම්භ කිරීම පිළිබඳ ව සඟවන්නට කිසිවක් නැත. යේසුස් වහන්සේ පුරෝකථනය කළාක් මෙන්, බයිබල් සත්‍යයේ ආලෝකවත් විහිදු වීම් සමස්ත ලෝකය පුරා පෙරදිග ප්‍රදේශයේ සිට අපරදිග ප්‍රදේශය දක්වා නොකඩවා විහිදී ගොස් තිබේ. ඇත්තෙන් ම, නවීන දින ආලෝකය දරන්නන් වශයෙන්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්, “පොළොවේ කෙළවර දක්වා මාගේ [යෙහෝවඃ වහන්සේගේ] ගැළවීම වන පිණිස අන්‍ය ජාතීන්ට එළියක්” වන බවට සනාථ වී තිබේ.—යෙසායා 49:6.
දේව දූතමය ක්‍රියාකාරකම්
11. (අ) රාජ්‍යය ආලෝකය හෙලීම සම්බන්ධ ව දේව දූත සමූහයන් ව යොදා ගෙන ඇත්තේ කුමන අයුරින් ද? (ආ) තිරිඟු පංතියේ සාමාජිකයන් ව එකතු කර ඇත්තේ කුමන අවදියේ ද, කිනම් කණ්ඩායම්වලට ද?
11 යේසුස් වහන්සේගේ පැමිණ සිටීමට සම්බන්ධ වන වෙනත් පාඨයන්, උන් වහන්සේ දේව දූතයන් පිරිවරා සිටින බව හෝ ‘තමන් දූතයන් එවන’ බව විස්තර කරයි. (මතෙව් 16:27; 24:31) තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාවේ, “කෙත ලෝකය” බවත් “කපන කාලය දේවල පිළිවෙළේ සමාප්තිය” බවත් “කපන්නෝ දේව දූතයන්” බවත් යේසුස් වහන්සේ සඳහන් කළ සේක. කෙසේ වෙතත්, මින් අදහස් කරන්නේ, උන් වහන්සේගේ පැමිණ සිටීමේ දී, එමෙන් ම රාජ්‍යය බලයෙන් සහ තේජසින් සිටින කාල පරිච්ඡේදය අතරතුරේ දී, පොළොවේ කටයුතු සඳහා සහමුලින් ම දේව දූතයන් ව යොදා ගන්නවා යන්න නොවේ. වර්ෂ 1919 පටන්, යේසුස් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ, දේව දූතයෝ, පළමු ලෝක යුද්ධයේ සිදුවීම් හේතු කොට ගෙන විසිරී ගොස් සිටි, ආත්මයෙන් ජනිත වූ ආලේප ලත් තිරිඟු පංතිය එක්රැස් කළ අතර, මේ අය ව රජුගේ නාමයෙන් තවත් ක්‍රියාකාරකම්වලට සූදානම් කරනු ලැබූහ. (මතෙව් 13:38-43, NW) එක්දහස් නවසිය විසි ගණන්වල දී තවත් දහස් සංඛ්‍යාත දෙනෙක්, පිහිටුවනු ලැබූ දෙවියන් වහන්සේගේ රාජ්‍යය උදෙසා තම ස්ථාවරය ගත් අතර, දෙවියන් වහන්සේගේ ආත්මය මගින් ආලේප කරනු ලැබුවෝ ය. මෙම ආලේප ලත් අය ව ප්‍රබල අයුරකින් ප්රාරම්භක ඉතිරි කොටසේ පංතියට එකතු කරන ලදි. සාමුහික වශයෙන්, මේ අයගෙන් අද දින විශ්වාස වූ නුවණැති දාස පංතිය සෑදෙයි.
12. දේව දූතයන් සහභාගි වී ඇත්තේ පවිත්‍ර කිරීමේ කිනම් වැඩක ද, තව ද පොළොවට කිනම් ප්‍රතිඵල සහිත ව ද?
12 යේසුස් වහන්සේගේ පැමිණ සිටීමේ දී සහ 1914 උන් වහන්සේ කිරුළු පළඳනු ලැබීමෙන් අනතුරු ව සිදුවන දේව දූතමය හවුල්වීමක තවත් උදාහරණයක්, එළිදරව් 12:7-9 හි වාර්තා වී ඇත: “මිකායෙල් [යේසුස් ක්‍රිස්තුස් වහන්සේ] සහ ඔහුගේ දූතයන් මහ සර්පයාට [මකරාට NW] විරුද්ධව යුද්ධයට යාමය. මහ සර්පයාද [මකරා ද NW] තමාගේ දූතයෝද සටන්කොට, ජය නොලැබුවෝය, ඔවුන්ට ස්වර්ගයෙහි ස්ථානයක් තවත් නොවීය. මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන් යයි කියනලද මහා සර්පයා [මකරා NW] නමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය; ඔහු පොළොවට හෙළනු ලැබුවේය, ඔහුගේ දූතයෝද ඔහු සමග හෙළනු ලැබුවෝය.” මේ අයුරින්, යෙහෝවඃ වහන්සේගේ නාමය විශුද්ධ කරලීම සඳහා භුමික විෂය පමණක් මුළුමනින් ම පිරිසිදු කිරීමට තබමින් ඉහළ ස්වර්ගය පිරිසිදු කරන ලදි. මෙම 1993 වසරේ දී, මෙම දිව්‍ය අනතුරු ඇඟවීම දිගට ම අදාළ වෙමින් පවතී: “ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේයයි ස්වර්ගයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.”—එළිදරව් 12:12.
ස්වර්ගික නැවත නැගිටුවීම
13, 14. (අ) වර්ෂ 1918 පටන් කුමක් සිදු වෙමින් තිබෙන බව ශුද්ධ ලියවිලි අඟවයි ද? (ආ) අද දින ආලේප ලත් ඉතිරි කොටස සම්බන්ධයෙන් පාවුල් සහ යොහන් හෙළි කරන්නේ කුමක් ද?
13 ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීමේ දී සිදුවන තවත් පුදුමාකාර දෙයක් නම්, ස්වර්ගික නැවත නැගිටීමේ ආරම්භයයි. තම සොහොන්වල බොහෝ කලක් මරණයේ සැතපී සිටින ආලේප ලත් අය පළමුවෙන් ම ජීවනයට නැවත නැගිටුවන බවත් ක්‍රිස්තුස් වහන්සේ සමඟ ස්වර්ගික විෂයෙහි ජීවත් වනු ඇති බවත් ප්‍රේරිත පාවුල් ඇඟවූයේ ය. මෙය 1918න් පසු ව සිදු වුණා යයි පෙනී යන බවට සනාථ කිරීමට වසර ගණනාවක් පුරා සාක්ෂි ඉදිරිපත් වී තිබේ. පාවුල් මෙසේ ලියයි: “ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝම ජීවත්කරනු ලබන්නෝය. නුමුත් එක් එක් අය තම තමාගේම ක්‍රමයෙන්ය. ක්‍රිස්තුස්වහන්සේ නාඹුල් ඵලයය; ඉන්පසු, ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී [පැමිණ සිටීමේ දී NW] [ප·රූ·සිʹයා], උන්වහන්සේ සන්තකවූවෝ නැගිටින්නෝය.” (1 කොරින්ති 15:22, 23) ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීමේ කාල පරිච්ඡේදය අතරේ දී, මෙම ආලේප ලත් අයගේ නැවත නැගිටුවීම 1 තෙසලෝනික 4:15-17 හි සනාථ කොට තිබේ: “ස්වාමීන් වහන්සේගේ ඊම [පැමිණ සිටීම NW] [ප·රූ·සිʹයා] දක්වා ජීවත්ව ඉතුරුවෙන අපි සැතපුණු තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමුයයි ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] වචනයෙන් අපි නුඹලාට කියමුව. . . . ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමග ස්වාමීන්වහන්සේ සමුඛවන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු ලබන්නෙමුව.” මේ අය වූ කලී, අවසානයේ දී මෙම මවිතකර ත්‍යාගය ලබන්නා වූ, ආලේප ලත් අය වශයෙන් ක්‍රිස්තුස් වහන්සේට අයත් වන්නා වූ 1,44,000 දෙනා ය.—එළිදරව් 14:1.
14 පාවුල් පෙන්නුම් කරන පරිදි, අද දින ජීවත් ව සිටින ආලේප ලත් අයගේ ඉතිරි කොටසට අයත් අය, එම අයගේ මුල් ඇදහිලිවන්ත ආලේප ලත් ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්යාගිවරුන්ට සහ ගෝලයන්ට පළමු ව රාජ්‍යයට ඇතුල් වන්නේ නැත. අද දින මිය යන එම ආලේප ලත් අය සම්බන්ධ ව ප්‍රේරිත යොහන් තවදුරටත් මෙසේ විස්තර කරයි: “මෙතැන් පටන් ස්වාමීන්වහන්සේ තුළ නසින්නාවූ මළවුන් වාසනාවන්තයෝය [සන්තෝෂ ලද්දෝ ය NW] කියා ලියාපන්නැයි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේය. එසේය, ඔව්හු තමුන්ගේ වෙහෙසීම්වලින් නිවාඩු ලබති; ඔවුන්ගේ ක්‍රියාද ඔවුන් කැටුව යන්නේයයි ආත්මයාණන් වහන්සේ [ආත්මය NW] කියනසේක.” අවසාන ලෙස සඳහන් දෑ සිදුවන්නේ නැවත නැගිටුවනු ලැබූ ඔවුන්ගේ පැවැත්ම තුළ දී ය. (එළිදරව් 14:13) තව ද පාවුල් මෙසේ කියයි: “මෙන්න, නුඹලාට [පරිශුද්ධ NW] රහසක් කියමි. අපි සියල්ලෝම නොසැතපෙන්නෙමුව, නුමුත් අන්තිම හොරණෑව පිඹින කල මොහොතකින්, ඇසිපිය හෙළන ක්ෂණයකින්, අපි සියල්ලෝම වෙනස්කරනු ලබන්නෙමුව, මක්නිසාද හොරණෑව පිඹිනු ලබන්නේය, එකල මළාහු නොදිරන ස්වභාවෙන් යුක්තව නැගුටුවනු ලබන්නේය, අපිද වෙනස්කරනු ලබන්නෙමුව.” (1 කොරින්ති 15:51, 52) මොනතරම් විස්මයජනක ප්රාතිහාර්යක් ද!
15, 16. (අ) යේසුස් වහන්සේ, ලූක් 19:11-15 හි දුන්නේ කිනම් උපහැරණය ද, තව ද කුමන හේතුව උදෙසා ද? (ආ) මෙම අනාවැකිය ඉටු වෙමින් පැවත ඇත්තේ කෙසේ ද?
15 වරෙක, යේසුස් වහන්සේ තම අනුගාමිකයන් කණ්ඩායමකට දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ව දේශනා කරමින් සිටි විට, තමන්ගේ වැරදි අදහස් නිවැරදි කර ගැනීමට ඔවුන් හට උපකාර කිරීම සඳහා උපමාවක් උපයෝගි කර ගත් සේක. වාර්තාවේ මෙසේ කියවීමට තිබේ: “දෙවියන්වහන්සේගේ රාජ්‍යය වහාම එළිදරව්වේයයි ඔවුන් සිතු බැවින්ද, . . . එබැවින් උන්වහන්සේ කථාකොට: එක්තරා වංශවත් මනුෂ්‍යයෙක් තමාටම රාජ්‍යයක් ලබාගෙන නැවත එන පිණිස දුර රටකට ගියේය. ඔහු තමාගේ දාසයන් දසදෙනෙකුට අඬගසා, ඔවුන්ට පවුම් [මයිනා NW] දසයක්දී: මා එන තෙක් මෙයින් වෙළඳාම්කරපල්ලායයි කීවේය. . . . තවද ඔහු රාජ්‍යය ලබාගෙන ඇවිත්, තමා විසින් [රිදී NW] මිල දුන් දාසයෝ වෙළඳාමෙන් කොපමණ උපදවාගත්තෝදැයි දැනගන්නා පිණිස ඔවුන් තමා ළඟට කැඳවන්ට අණකළේය.”—ලූක් 19:11-15.
16 තමාට රාජ්‍යයක් ලබා ගැනීම සඳහා “දුර රට” නමැති ස්වර්ගයට ගිය එම “මිනිසා” වූයේ යේසුස් වහන්සේ ය. උන් වහන්සේ එම රාජ්‍යය ලබා ගත්තේ 1914 දී ය. ඉන් අනතුරු ව ක්‍රිස්තුස් වහන්සේ රජු වශයෙන්, රාජ්‍යය කටයුතු බලා කියා ගැනීම පිළිබඳ ව තමන්ට පවරා ඇති දේ තුළ ඔවුන් කර තිබූ දේ ගැන සිය ආලේප ලත් අය සමඟ ගණන් බැලීමක් උන් වහන්සේ සිදු කළ සේක. “ඉතා හොඳය, යහපත් වූ දාසය. නුඹ ඉතා ස්වල්පයක් ගැන විශ්වාසවූ බැවින් නුවරවල් දසයක් කෙරෙහි අධිපතිවෙයන්න,” යන ස්වාමියාගේ ප්‍රශංසාව ලැබීමට තෝරා ගනු ලැබුවේ ඇදහිලිවන්ත ස්වල්ප දෙනෙකි. (ලූක් 19:17) මේ අයුරින්, දුෂ්ටයන්ට එරෙහි ව දෙවියන් වහන්සේ විනිශ්චයන් ප්‍රකාශ කිරීම ඇතුළු ව, දිගට ම බලවත් ලෙස රාජ්‍යය දේශනා කිරීමේ කටයුතු ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීමේ කාලයට ඇතුළත් වූ අතර, මෙම වැඩය අධීක්ෂණය කිරීම ද මෙම “යහපත් දාසයාට” විශ්වාසයෙන් යුතු ව භාර දෙන ලද අධිකාරිත්වයට ඇතුළත් විණි.
ලෝක ව්‍යාප්ත දේශනා කිරීම
17. ප.රූ.සිʹයා හා සමඟ ම දැක්වෙන ප්‍රීතිය කුමක් ද?
17 මෙම ප·රූ·සිʹයා කාල පරිච්ඡෙදය තුළ තවත් සිදුවීමට තිබෙන්නේ මොනවා ද? එය දේශනා කිරීමේ වැඩය තුළ සහ පැමිණෙන්නට යන මහත් පීඩාව තුළින් බේරී ජීවත්වීමට සූදානම් වීම සඳහා නවකයන්ට උපකාර කිරීමේ මහත් ප්‍රීතියක් ගෙන දෙන කාලයක් වනු ඇත. ආලේප ලත් අයට සහයෝගය දක්වන “මහත් සමූහයේ” මේ අය “රෙකමදාරු පත්රයන්” බවට පත්වනවා ඇත. (එළිදරව් 7:9; 2 කොරින්ති 3:1-3, NW) මෙම අස්වැන්න නෙළීමේ වැඩයේ ප්‍රීතිය ගැන සඳහන් කරමින් පාවුල් මෙසේ කියයි: “අපගේ බලාපොරොත්තුවත් ප්‍රීතියත් පාරට්ටුවේ ඔටුන්නත් කිමෙක්ද? අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ඊමේදී [පැමිණ සිටීමේ දී NW] [ප·රූ·සිʹයා] උන්වහන්සේ ඉදිරියෙහි නුඹලාම නොවේද? එසේය, නුඹලා අපේ ගෞරවයත් අපේ ප්රීතියත්ය.”—1 තෙසලෝනික 2:19.
පවිත්‍ර ව නිර්දෝෂ ව සිටින්න
18. (අ) ප.රූ.සිʹයා හා සම්බන්ධ ව පාවුල්ගේ යාච්ඤාව කුමක් ද? (ආ) මෙම කාලයේ දී, අප සියලු දෙනා කිනම් ස්වභාවයක් විදහා පෑ යුතු ද, තව ද කුමන මාර්ගවලින් ද?
18 ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීමේ මෙම කාලය තුළ දී ජීවත් ව සිටින අයගේ පවිත්‍ර වීම ගැන පාවුල් ද යාච්ඤා කළේ ය: “සමාදානයේ දෙවියන්වහන්සේම නුඹලා සහමුලින්ම පවිත්‍රකරනසේක්වා; නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී [පැමිණ සිටීමේ දී NW] [ප·රූ·සිʹයා] නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂාකරනු ලැබේවා.” (1 තෙසලෝනික 5:23) එසේ ය, අද දින, අප ආලේප ලත් ඉතිරි අයට ඇතුළත් වූවත්, වෙනත් බැටළුවන්ගේ මහත් සංඛ්‍යාවට ඇතුළත් වූවත්, සහයෝගීතාවයේ ආත්මය, මෙම අද්විතීය කාලයේ දී අප නොකඩවා පිරිසිදු ව නිර්දෝෂී ව සිටීම සඳහා අප ව පක්ෂපාතී ලෙස එකට බැඳ තබයි. ඒ හා සමාන ව, අප ඉවසීම ක්‍රියාවට නැංවිය යුතු ය. යාකොබ් මෙසේ ලීවේ ය: “එබැවින්, සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේගේ ඊම [පැමිණ සිටීම NW] [ප·රූ·සිʹයා] දක්වා ඉවසාපල්ලා. . . . නුඹලාත් ඉවසිල්ලෙන් [විඳදරා ගැනීමෙන් NW] සිටපල්ලා. ස්වාමීන්වහන්සේගේ ඊම [පැමිණ සිටීම NW] [ප.රූ.සිʹයා] ළංව තිබෙන බැවින් නුඹලාගේ සිත් [හෘද NW] ස්ථිරකරගනිල්ලා.”—යාකොබ් 5:7, 8.
19. ප.රූ.සිʹයා සම්බන්ධයෙන් පේතෘස් දුන් අනතුරු ඇඟවීම කුමක් ද, තව ද අප ඊට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේ ද?
19 ප්‍රේරිත පේතෘස්ට ද, මේ වත්මන් කාල පරිච්ඡේදය තුළ දී ජීවත් වන අපට යමක් කීමට තිබුණි. පොළොවේ සෑම ප්‍රදේශයක ම සිටින සරදම් කරන්නන්ට එරෙහි ව ඔහු අපට අනතුරු ඇඟවී ය. පේතෘස් මෙසේ පවසයි: “අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නාවූ: පියවරුන් සැතපුණු පසු මැවීමේ පටන්ගැන්මේ සිට සියලු දේ තිබුණාක්මෙන් පවතින බැවින්, උන්වහන්සේගේ ඊමේ [පැමිණ සිටීමේ NW] [ප.රූ.සිʹයා] පෙරොන්දුව කොතැන්හිදැයි සරදම්කරමින් කියන්නාවූ කවටකම්කරන්නෝ පැමිණෙන්නෝයයි පළමුකොට දැනගනිල්ලා.” (2 පේතෘස් 3:3, 4) ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණ සිටීමේ කාලයේ දී, සරදම් කරන්නන් බහුල ව සිටියත්, යෙහෝවඃ වහන්සේගේ ජනයා, බොහෝ දෙනාගේ ගැලවීම පිණිස ලෝකයේ ආලෝකය මෙන් නොකඩවා බැබලෙති.
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ ප.රූ.සිʹයා සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේගේ ජනයා ව ප්රගතිශීලී ව ඥානාලෝක කරනු ලැබුවේ කෙසේ ද?
◻ මතෙව් 24:4-8 හි සඳහන් දෙය ඉටු වෙමින් තිබෙන්නේ කෙසේ ද?
◻ දේව දූතයන්, සිංහාසනාරූඪ කරන ලද ක්‍රිස්තුස් වහන්සේ සමඟ සහයෝගයෙන් ක්‍රියා කරමින් සිට ඇත්තේ කෙසේ ද?
◻ ප.රූ.සිʹයා හා එක් ව කිනම් විස්මයජනක ප්රාතිහාර්යක් සිදුවන බවට සිතිය හැකි ද?
◻ මේ කාලය අතරතුරේ දී, කිනම් ප්‍රීතියක් අත්දකින්ට තිබේ ද, තව ද එහි හවුල් වන්නෝ කවරහු ද?