යේසුස්වහන්සේගේ ඊමද, යේසුස්වහන්සේගේ පැමිණසිටීමද—කොයි එකද?
“ඔබගේ පැමිණසිටීමටත්, දේවල පිළිවෙළේ සමාප්තියටත් ලකුණ කුමක් වනු ඇද්ද?”—මතෙව් 24:3, NW.
1. යේසුස්වහන්සේගේ සේවයේදී ප්‍රශ්නවලින් ඉටු වූයේ කුමන කාර්යයද?
යේසුස්වහන්සේ දක්ෂ ලෙස ප්‍රශ්න පාවිච්චි කළ නිසා, උන්වහන්සේගේ ශ්‍රාවකයන් කල්පනා කිරීමට පෙලඹීමක් ලැබූ අතර, ඔවුහු අලුත් කෝණවලින් දේවල් දෙස බැලීමට පවා යොමු වූහ. (මාර්ක් 12:35-37; ලූක් 6:9; 9:20; 20:3, 4) උන්වහන්සේ ප්‍රශ්නවලට උත්තර දීම ගැනත් අපට ස්තුතිවන්ත විය හැක. ඇතැම්විට අපට වෙනත් ආකාරයකින් දැනගැනීමට හෝ අවබෝධ කරගැනීමට නොහැකි සත්‍යතාවන්ට උන්වහන්සේ දුන් උත්තරවලින් ආලෝකයක් ලැබේ.—මාර්ක් 7:17-23; 9:11-13; 10:10-12; 12:18-27.
2. අප දැන් අවධානය යොමු කරන්නේ කුමන ප්රශ්නය වෙතටද?
2 යේසුස්වහන්සේ උත්තර දුන් වඩාත් වැදගත්ම ප්‍රශ්නවලින් එකක් අපට මතෙව් 24:3හි සොයාගත හැක. තම භූමික ජීවිතය අවසන් වීමට ආසන්නව තිබූ මෙම අවස්ථාවේ, යේසුස්වහන්සේගේ අනතුරු ඇඟවීම වූයේ යෙරුසලමේ දේවමාළිගාව විනාශයක් අද්දකින බවයි. එමගින් යුදෙව් පිළිවෙළ අවසන් වනු ඇත. මතෙව්ගේ වාර්තාවේ තවදුරටත් මෙසේ පැවසේ: “උන්වහන්සේ ඔලීව කන්දේ සිටි විට, ගෝලයෝ උන්වහන්සේ ළඟට පෞද්ගලිකව ඇවිත්, මෙසේ පැවසූහ: ‘මෙම දේවල් සිදු වනු ඇත්තේ කවදාද, තවද ඔබගේ පැමිණසිටීමටත් [“ඊමටත්,” පරණ අනුවාදය], දේවල පිළිවෙළේ සමාප්තියටත් ලකුණ කුමක් වනු ඇද්ද?’ ”—මතෙව් 24:3, NW.
3, 4. මතෙව් 24:3හි තිබෙන වැදගත් වචනයක් බයිබල්වල පරිවර්තනය කරන ආකාරය සම්බන්ධයෙන් තිබෙන්නේ කුමන වැදගත් වෙනසක්ද?
3 බයිබලය කියවන මිලියන ගණන් අය මෙසේ කල්පනා කර ඇත: ‘ගෝලයන් මේ ප්රශ්නය ඇසුවේ ඇයි, යේසුස්වහන්සේගේ උත්තරය මට බලපෑ යුත්තේ කෙසේද?’ යේසුස්වහන්සේ උත්තර දෙද්දී, ග්‍රීෂ්ම කාලය “ළඟ බව” පෙන්නුම් කරන කොළ හටගන්නා කාලය ගැන කතා කළසේක. (මතෙව් 24:32, 33) එබැවින්, බොහෝ පල්ලිවල උගන්වන්නේ ප්‍රේරිතයන් යේසුස්වහන්සේගේ “ඊම” පිළිබඳ ලකුණක් එනම්, උන්වහන්සේගේ නැවත පැමිණීම ළං වී තිබෙන බව සනාථ කරන ලකුණ ඉල්ලමින් සිටි බවයි. ඔවුන්ගේ විශ්වාසය අනුව, “ඊම” යනු උන්වහන්සේ ක්‍රිස්තියානීන්ව ස්වර්ගයට ගෙන, ලෝකාන්තිමය සිදු කරන අවස්ථාවයි. මේ අදහස නිවැරදියි කියා ඔබ විශ්වාස කරනවාද?
4 “ඊම” යන වචනය යොදන්නේ නැතුව, නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් ඇතුළු සමහරක් බයිබල් අනුවාදවල “පැමිණසිටීම” යන වචනය යෙදේ. ගෝලයන් විමසුවාවූද, යේසුස්වහන්සේ පිළිතුරු වශයෙන් දුන්නාවූද දේ පල්ලිවල උගන්වනු ලබන දෙයට වඩා වෙනස් විය හැකිද? ඇත්තෙන්ම ඇසූ ප්රශ්නය කුමක්ද? එමෙන්ම යේසුස්වහන්සේ දුන් උත්තරය කුමක්ද?
ඔවුන් විමසමින් සිටියේ කුමක්ද?
5, 6. ප්‍රේරිතයන් මතෙව් 24:3හි සඳහන් ප්රශ්නය ඇසූ විට, ඔවුන්ගේ කල්පනා ගැන අපට නිගමනය කළ හැක්කේ කුමක්ද?
5 යේසුස්වහන්සේ දේවමාළිගාව ගැන පැවසූ දේ සැලකිල්ලට ගන්නවා නම්, ගෝලයන් ‘උන්වහන්සේගේ පැමිණ සිටීමටත් [හෝ “ඊමටත්”], දේවල පිළිවෙළේ [පදගතාර්ථයෙන් “යුගයේ”] සමාප්තියටත් ලකුණක්’ ගැන විමසූ විට, ඔවුන් ඇතැම්විට යුදෙව් පිළිවෙළ ගැන කල්පනා කරමින් සිටියා විය හැක.—1 කොරින්ති 10:11හි හා ගලාති 1:4හි [KJ] “ලෝකය” සසඳන්න.
6 ඒ අවස්ථාවේදී ප්‍රේරිතයන්ට තිබුණේ යේසුස්වහන්සේගේ ඉගැන්වීම් ගැන සීමිත අවබෝධයක් පමණි. ඔවුන් ඊට පෙර කල්පනා කර තිබුණේ “දෙවියන්වහන්සේගේ රාජ්‍යය වහාම එළිදරව්වේය” කියාය. (ලූක් 19:11; මතෙව් 16:21-23; මාර්ක් 10:35-40) තවද, ශුද්ධාත්මයෙන් ආලේප කිරීමට කලින්, එහෙත් ඔලීව කන්ද මත පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව පවා ඔවුන් ඇසුවේ, යේසුස්වහන්සේ ඒ කාලයේදී ඉශ්රායෙල් රාජ්‍යය නැවත පිහිටුවා දෙනවාද යන්නයි.—ක්‍රියා 1:6.
7. යේසුස්වහන්සේට අනාගතයේදී කිරීමට නියමිත වැඩ කොටස ගැන ප්‍රේරිතයන් විමසනු ඇත්තේ මන්ද?
7 එහෙත්, උන්වහන්සේ මීට කලින්: “තව ස්වල්ප කලක් ආලෝකය නුඹලා අතරේ තිබේ. . . . නුඹලාට ආලෝකය තිබෙන කල ඇවිදපල්ලා” යයි පවසා තිබූ නිසා, උන්වහන්සේ යන බව ඔවුහු දැන සිටියහ. (යොහන් 12:35; ලූක් 19:12-27) එනිසා ඔවුන් ඇතැම්විට මෙසේ සිතන්ට ඇත, ‘යේසුස්වහන්සේ යනවා නම්, උන්වහන්සේගේ නැවත පැමිණීම අපට අඳුනාගන්න පුළුවන් වන්නේ කොහොමද?’ උන්වහන්සේ මෙසියස් හැටියට පෙනී සිටි විට, බොහෝදෙනෙකු උන්වහන්සේව අඳුනාගත්තේ නැත. ඊට අවුරුද්දකට පසුව පවා, මෙසියස්වහන්සේ පොරොන්දු වූ සෑම දෙයක්ම ඉටු කරයිද යන්න පිළිබඳව සැක පැවතිණ. (මතෙව් 11:2, 3) එනිසා අනාගතය ගැන විමසීමට ප්‍රේරිතයන්ට හේතු තිබිණ. එහෙත්, ඔවුන් ඉල්ලමින් සිටියේ උන්වහන්සේ ඉක්මනින් පැමිණෙන බව දක්වන ලකුණක්ද එසේත් නැත්නම් වෙනස් දෙයක්ද?
8. ප්‍රේරිතයන් යේසුස්වහන්සේ සමඟ කතා කරද්දී පාවිච්චි කළ භාෂාව ඇතැම්විට කුමක් වන්ට ඇද්ද?
8 ඔබ ඔලීව කන්දේ ඇති වූ එම සංවාදයට ඇහුම්කන් දෙමින් සිටි කුරුල්ලෙකු වූ බව සිතන්න. (දේශනාකාරයා 10:20, සසඳන්න.) ඇතැම්විට යේසුස්වහන්සේ හා ප්‍රේරිතයන් හෙබ්‍රෙව් භාෂාව කතා කරනවා ඔබට අසන්ට ලැබෙනවා ඇත. ඔවුන් ඇතැම්විට කතා කරමින් සිටියේ ගලීල උච්චාරණ විලාසයකින් යුත් හෙබ්‍රෙව් භාෂාව විය හැක. (මාර්ක් 14:70; යොහන් 5:2; 19:17, 20; ක්‍රියා 21:40) එහෙත්, ඔවුන් ග්‍රීක් භාෂාවත් දැනසිටියා විය හැක.
මතෙව් ග්‍රීක් බසින් ලිවූ දේ
9. මතෙව් සුවිශේෂයේ වර්තමාන පරිවර්තන බොහොමයක් කුමක් මත පදනම්ව තිබේද?
9 පොදු යුගයේ දෙවන සියවස දක්වා දිවයන මූලාශ්රවල සඳහන් වන්නේ මතෙව් පළමුව තම සුවිශේෂය ලියනු ලැබුවේ හෙබ්‍රෙව් බසින් බවයි. ඔහු පසුව එය ග්‍රීක් බසින් ලිවූ බව කිව හැක. ග්‍රීක් බසින් ලිවූ අත්පිටපත් බොහොමයක් අපේ කාලය දක්වා ආරක්ෂා වී තිබෙන අතර, ඔහුගේ සුවිශේෂය වර්තමාන භාෂාවලට පරිවර්තනය කිරීමේ පදනමක් වශයෙන් ඒවා ප්‍රයෝජනවත් වී තිබේ. ඔලීව කන්දේ සිදු වූ එම සංවාදය ගැන මතෙව් ග්‍රීක් බසින් ලිව්වේ කුමක්ද? ගෝලයන් විමසුවාවූද යේසුස්වහන්සේ අදහස් දැක්වූවාවූද “ඊම” හෝ “පැමිණසිටීම” ගැන ඔහු ලිව්වේ කුමක්ද?
10. (අ) මතෙව් නිතරම “එන්න” සඳහා යෙදුවේ කුමන ග්‍රීක් වචනයද, තවද ඊට කුමන අර්ථ තිබිය හැකිද? (ආ) උනන්දුවට හේතු වන අනික් ග්‍රීක් වචනය කුමක්ද?
10 මතෙව් පොතේ මුල් පරිච්ඡේද 23හි, “එන්න” සඳහා භාවිත වන පොදු ග්‍රීක් ක්‍රියාපදය වන එර්ʹඛො·මායි 80 වාරයකට වඩා දක්නට ලැබේ. එහි ගැබ් වී තිබෙන අදහස කෙනෙකු වෙතට එළඹීම හෝ එනවා යන්නයි. යොහන් 1:47හි එය දැකිය හැක: “යේසුස්වහන්සේ නතානියෙල් තමන් වෙතට එනවා” දුටුසේක. භාවිතය අනුව, එර්ʹඛො·මායි යන ක්‍රියාපදයට “ඇවිත්,” “ගොස්,” “පැමිණි කල,” “ළඟට පැමිණ” හෝ “පලයන්න” යන අදහස තිබිය හැක. (මතෙව් 2:8, 11; 8:28; යොහන් 4:25, 27, 45; 20:4, 8; ක්‍රියා 8:40; 13:51) එහෙත් මතෙව් 24:3, 27, 37, 39හි මතෙව් වෙනත් වචනයක් පාවිච්චි කළේය. ඒ නාම පදය සුවිශේෂවල වෙනත් කිසිම තැනක දක්නට නැත: එනම් ප·රූ·සිʹආ. බයිබලය දේවානුභාවයෙන් ලියනු ලැබූ නිසා, මතෙව් තම සුවිශේෂය ග්‍රීක් බසින් ලිවූ විට, මෙම ග්‍රීක් වචනය යෙදීමට උන්වහන්සේ ඔහුව පෙලඹවූයේ ඇයි? එහි තේරුම කුමක්ද? අපට එය දැනගැනීමට වුවමනා විය යුත්තේ ඇයි?
11. (අ) ප·රූ·සිʹආ යන වචනයෙහි ගැබ්ව තිබෙන තේරුම කුමක්ද? (ආ) ජොසීෆස්ගේ කෘතිවල තිබෙන උදාහරණ ප·රූ·සිʹආ යන වචනයෙහි අපේ තේරුමට දායක වන්නේ කෙසේද? (පාදසටහන බලන්න.)
11 කෙළින්ම කියනවා නම්, ප·රූ·සිʹආ යන්නෙහි තේරුම “පැමිණසිටීම” වේ. වයින්ගේ එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් නිව් ටෙස්ටමන්ට් වර්ඩ්ස් මෙසේ කියයි: “පරූසිආ ඊමක් මෙන්ම ඉන් අනතුරුව සිදු වන පැමිණසිටීමක් දක්වයි. එහි පද[ගතාර්ථ] තේරුම නම්, පැමිණසිටීමක්, එනම් සමඟ යන අර්ථය දෙන පරා සහ සිටීම යන අදහස දෙන ඌසිආ (සිටිනවා යන අදහස දෙන එයිමි යන්නෙනි) වේ. උදාහරණයක් වශයෙන්, පැපිරස් ලිපියක, තමාගේ දේපොළ හා සම්බන්ධ කාරණා හසුරුවාගැනීමේ අදහසින්, යම් තැනකට ඇගේ පරූසිආහි අවශ්‍යතාව ගැන කාන්තාවක් කතා කරයි.” වෙනත් ශබ්දකෝෂවල පැහැදිලි කරන්නේ, ප·රූ·සිʹආවලින් ‘පාලකයෙකුගේ පැමිණීම’ දක්වන බවයි. එබැවින් එය ඊම සිදු වන අවස්ථාවට පමණක් සීමා නොවේ. ඒ වෙනුවට පැමිණෙන මොහොත පටන් දිවයන පැමිණසිටීමකි. ප්‍රේරිතයන්ගේ සමකාලීනයෙකු වූ යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් ප·රූ·සිʹආ භාවිත කළේ ඒ ආකාරයෙනි. මෙය සිත්ගන්නා කරුණකි.a
12. ප·රූ·සිʹආ යන වචනයෙහි තේරුම සනාථ කිරීමට බයිබලයම අපට උපකාර කරන්නේ කෙසේද?
12 “පැමිණසිටීම” යන තේරුම පැරණි සාහිත්‍ය කෘතිවල පැහැදිලි කර තිබුණත්, ක්‍රිස්තියානීන් විශේෂයෙන්ම උනන්දු වන්නේ දේවවචනය ප·රූ·සිʹආ පාවිච්චි කරන ආකාරය ගැනය. එහි පාවිච්චි වන්නේ එම ආකාරයෙන්මය—එනම් පැමිණසිටීම වශයෙනි. පාවුල්ගේ ලිපිවල උදාහරණවලින් අපට එය දැකගත හැක. උදාහරණයක් හැටියට ඔහු පිලිප්පිවරුන්ට මෙසේ ලීවේය: “නුඹලා නිතරම කීකරුව සිටියාක්මෙන්ම, මා ළඟ සිටියදී [පැමිණසිටියදී, NW] [ප·රූ·සිʹආ] පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව, . . . නුඹලාගේම ගැළවීම ඉෂ්ටකරගනිල්ලා.” “[ඔවුන්] වෙතට [ත]මාගේ ඊමෙන් [පැමිණසිටීමෙන්, NW] [ප·රූ·සිʹආ]” ඔවුන් ප්‍රීති වන පිණිස ඔවුන් සමඟ සිටීම ගැනත් ඔහු කතා කළේය. (පිලිප්පි 1:25, 26; 2:12) වෙනත් අනුවාදවල මෙසේ කියවේ: “ඔබ සියල්ලන් සමඟ සිටින්නට යන බව” (නව අනුවාදය); “ඔබ අතරේ නැවතී සිටීම” (ඇත්ත ඇති තැන); සහ “මා ඔබ අතර සිටීමේ වරම ඔබට නැවතත් අත් වන විට.” (ට්වෙන්ටියත් සෙන්චරි නිව් ටෙස්ටමන්ට්) දෙවන කොරින්ති 10:10, 11හි පාවුල් තමා “ළඟ සිටින විට” හා “ඈත්ව සිටින කල” අතර වෙනස පැහැදිලි කළේය. මෙම උදාහරණවලදී, ඔහු තමා පැමිණි මොහොත හෝ ඊම ගැන කතා නොකළ බව පැහැදිලිය; ඔහු පැමිණසිටීමේ අදහසින් ප·රූ·සිʹආ පාවිච්චි කළේය.b (1 කොරින්ති 16:17, NW සසඳන්න.) එහෙත් ප·රූ·සිʹආ ගැන යේසුස්වහන්සේ සඳහන් කළ දේ ගැන කුමක් කිව හැකිද? ඒවායින් අදහස් කරන්නේ උන්වහන්සේගේ ‘ඊමද?’ නැතහොත් කලක් තිස්සේ පැවතෙන පැමිණසිටීමක් ඒවායින් ඇඟවේද?
13, 14. (අ) ප·රූ·සිʹආ යම් කාලයක් පුරා පවතින බව අප නිගමනය කළ යුත්තේ මන්ද? (ආ) යේසුස්වහන්සේගේ ප·රූ·සිʹආහි කාල ප්‍රමාණය ගැන කුමක් කිව යුතුද?
13 පාවුල්ගේ දවසේ සිටි ආත්මයෙන් ආලේප ලත් ක්‍රිස්තියානීහු යේසුස්වහන්සේගේ ප·රූ·සිʹආ ගැන උනන්දුවෙන් සිටියහ. එහෙත් පාවුල් ඔවුන්ට ‘සිතින් චංචල නොවීමට’ අවවාද කළේය. පළමුව, ‘නොපනත්කමේ මනුෂ්‍යයා’ පෙනී සිටිය යුතුය. එය ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂය බවට ඔප්පු වී තිබේ. නොපනත්කමේ මනුෂ්‍යයාගේ “ඊම [පැමිණසිටීම, NW] සාතන්ගේ ක්‍රියාකිරීමේ හැටියට බොරුවූ සියලු ආකාර ආශ්චර්ය වලින්ද ලකුණුවලින්ද” යුක්ත බව පාවුල් ලීවේය. (2 තෙසලෝනික 2:2, 3, 9) ‘නොපනත්කමේ මනුෂ්‍යයාගේ’ ප·රූ·සිʹආ නොහොත් පැමිණසිටීම මොහොතකට සීමා වූ පැමිණීමක් නොවූ බව පැහැදිලිය; එය කාලයක් පුරා පවතින අතර, ඒ අතරතුර බොරුකාර ලකුණු ප්‍රකාශ වනු ඇත. මෙය වැදගත් වන්නේ ඇයි?
14 ඊට කලින් පදය සැලකිල්ලට ගන්න: “එවිට නොපනත්කම් කරන්නා එළිදරව්වන්නේය. ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ මුඛයේ හුස්මෙන් ඔහු නසා, තමන්වහන්සේගේ ඊමේ [පැමිණසිටීමේ, NW] ප්‍රකාශවීමෙන් නාස්තිකරනසේක.” ‘නොපනත්කමේ මනුෂ්‍යයාගේ’ පැමිණසිටීම යම් කාලපරිච්ඡේදයක් පුරා සිදු වන්නාක් මෙන්, යේසුස්වහන්සේගේ පැමිණසිටීමත් යම් කාලයක් පුරා පවතින අතර, එම නොපනත් “විනාශයේ පුත්‍රයා[ගේ]” විනාශය එහි උච්චාවස්ථාව වනු ඇත.—2 තෙසලෝනික 2:8.
හෙබ්‍රෙව්-භාෂාමය අංග
15, 16. (අ) හෙබ්‍රෙව් බසට පරිවර්තනය කර තිබෙන මතෙව්ගේ සුවිශේෂයේ භාවිත කර තිබෙන්නේ කුමන වචනයද? (ආ) බොහ්ʼ ශුද්ධ ලියවිලිවල භාවිත කර තිබෙන්නේ කෙසේද?
15 කලින් සඳහන් කළ පරිදි, මතෙව් බොහෝදුරට තම සුවිශේෂය ලිව්වේ හෙබ්‍රෙව් බසිනි. එබැවින්, මතෙව් 24:3, 27, 37, 39හි ඔහු භාවිත කළේ කුමන හෙබ්‍රෙව් වචනයද? වර්තමාන හෙබ්‍රෙව් බසට පරිවර්තනය කර තිබෙන මතෙව් සුවිශේෂයේ අනුවාදවල බොහ්ʼ යන ක්‍රියාපදයෙහි රූපයක් දක්නට ලැබේ. එය ප්‍රේරිතයන්ගේ ප්රශ්නයේ මෙන්ම යේසුස්වහන්සේ දුන් උත්තරයෙහි යොදා තිබේ. මෙය මෙවැනි පරිවර්තනයකට මඟ පෑදිය හැක: “ඔබගේ [බොහ්ʼ]ටත්, දේවල පිළිවෙළේ සමාප්තියටත් ලකුණ කුමක් වනු ඇද්ද?” සහ “නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ [බොහ්ʼ]ත් වන්නේය.” බොහ්ʼ යන්නෙහි තේරුම කුමක්ද?
16 බොහ්ʼ යන හෙබ්‍රෙව් ක්‍රියාපදයට අර්ථයන් රැසක් තිබුණත්, එහි මූලික තේරුම “එන්න” වේ. තියලොජිකල් ඩික්ෂනරි ඔෆ් දි ඕල්ඩ් ටෙස්ටමන්ට් මෙසේ පවසයි: ‘බොහ්ʼ යන වචනය අවස්ථා 2,532කදී දක්නට ලැබේ. එය හෙබ්‍රෙව් ලියවිලිවල වඩාත් පොදුවේ භාවිත කරනු ලබන ක්‍රියාපද අතර වේ. තවද සෙලවීම විස්තර කරන ක්‍රියාපද අතුරින් එය ප්‍රධාන තැන ගනී.’ (උත්පත්ති 7:1, 13; නික්මයාම 12:25; 28:35; 2 සාමුවෙල් 19:30; 2 රාජාවලිය 10:21; ගීතාවලිය 65:2; යෙසායා 1:23; එසකියෙල් 11:16; දානියෙල් 9:13; ආමොස් 8:11) යේසුස්වහන්සේ හා ප්‍රේරිතයන් එතරම් පුළුල් අර්ථයක් ඇති වචනයක් භාවිත කර තිබුණා නම්, එහි අර්ථය අවිනිශ්චිත විය හැක. එහෙත් ඔවුහු එසේ කළහුද?
17. (අ) යේසුස්වහන්සේ හා ප්‍රේරිතයන් ඇත්තටම පැවසූ දෙය, මතෙව්ගේ සුවිශේෂයේ නවීන හෙබ්‍රෙව් පරිවර්තනවල ඇතැම්විට නොදක්වන්නේ මන්ද? (ආ) යේසුස්වහන්සේ හා ප්‍රේරිතයන් යොදාගන්ට ඇති වචනයට ඉඟියක් අපට සොයාගත හැක්කේ තවත් කොහෙන්ද, මෙය අපේ උනන්දුවට හේතු විය යුත්තේ තවත් කුමන හේතුව නිසාද? (පාදසටහන බලන්න.)
17 වර්තමාන හෙබ්‍රෙව් අනුවාද, මතෙව් හෙබ්‍රෙව් බසින් ලිවූ දේ ඇතැම්විට හරියටම නොදක්වන පරිවර්තන බව සිහියේ තබාගන්න. ඇත්තෙන්ම යේසුස්වහන්සේ බොහ්ʼ වෙනුවට ප·රූ·සිʹආ යන්නෙහි තේරුමට ගැළපෙන තවත් වචනයක් යෙදුවා විය යුතුය. මහාචාර්ය ජෝර්ජ් හවර්ඩ්ගේ කෘතියක් වන 1995 පළ වූ හීබෲ ගොස්පල් ඔෆ් මැතියු තුළින් මෙය අපට දැකගත හැක. එම පොත, යුදෙව් වෛද්‍ය ෂෙම්-ටොබ් බෙන් අයිසික් ඉබ්න් ෂාපෲට් විසින් ක්‍රිස්තියානි ධර්මයට විරුද්ධව කරන ලද 14වන සියවසේ වාදයක් කෙරෙහි අවධානය යොමු කළේය. එම ලියවිල්ලේ මතෙව්ගේ සුවිශේෂයේ හෙබ්‍රෙව් පාඨයක් ඉදිරිපත් කර තිබිණ. මතෙව් සුවිශේෂයේ මෙම පාඨය, ෂෙම්-ටොබ්ගේ කාලයේ ලතින් නැතහොත් ග්‍රීක් බසින් කල පරිවර්තනයක් වනවා වෙනුවට, ඉතා පැරණි හෙබ්‍රෙව් බසින් ලියන ලද්දක් වූ බවට සාක්ෂි තිබේ.c එබැවින් ඔලීව කන්දෙහි පවසන ලද දෙය පිළිබඳ වඩාත් පැහැදිලි අදහසක් ගැනීමට මෙය ඉවහල් විය හැක.
18. ෂෙම්-ටොබ් භාවිත කරන්නේ කුමන සිත්ගන්නා හෙබ්‍රෙව් වචනයද, තවද එහි අර්ථය කුමක්ද?
18 මතෙව් 24:3, 27, 39හි ෂෙම්-ටොබ්ගේ මතෙව් ලියවිල්ල බොහ්ʼ යන ක්‍රියාපදය භාවිත නොකරයි. ඒ වෙනුවට සම්බන්ධකමක් තිබෙන බි·ʼආහ්ʹ යන නාමපදය එහි යොදා තිබේ. එම නාමපදය හෙබ්‍රෙව් ලියවිලිවල දක්නට ලැබෙන්නේ එසකියෙල් 8:5හි පමණි. එතැන එහි අර්ථය “ඇතුල්වෙන තැන” යන්නයි. පැමිණීමේ ක්‍රියාව දක්වනවා වෙනුවට, එහිදී බි·ʼආහ්ʹ යන යෙදුම ගොඩනැඟිල්ලක ඇතුල් වන තැනට සිත යොමු කරවයි. ඔබ ඇතුල් වන ස්ථානයෙහි නැතහොත් එළිපත්තෙහි සිටින විට, ඔබ ගොඩනැඟිල්ලෙහි සිටින්නෙහිය. එමෙන්ම, මළ මුහුදේ ලියවිලි අතර ඇති බයිබලයට අයත් නොවන ආගමික ලියවිලිවල බි·ʼආහ්ʹ යන්න නොයෙක් විට භාවිත කොට තිබෙන්නේ පූජක තනතුර හෙබවීමට පැමිණීම හෝ ආරම්භ කිරීම දැක්වීමටයි. (1 ලේකම් 24:3-19; ලූක් 1:5, 8, 23, බලන්න.) පුරාණ සිරියැක් (නොහොත් ඇරමයික) පෙෂිට්ටාහි 1986දී කළ හෙබ්‍රෙව් පරිවර්තනයක මතෙව් 24:3, 27, 37, 39හි බි·ʼආහ්ʹ භාවිත කර තිබේ. එසේනම්, බයිබලයේ භාවිත කර තිබෙන බොහ්ʼ යන ක්‍රියාපදයට වඩා, පුරාණ කාලවලදී බි·ʼආහ්ʹ යන නාම පදයට යම් දුරකට වෙනස් අර්ථයක් තිබූ බවට සාක්ෂි තිබේ. මෙය උනන්දුවට හේතුවක් වන්නේ මන්ද?
19. යේසුස්වහන්සේ හා ප්‍රේරිතයන් බි·ʼආහ්ʹ භාවිත කළා නම්, අපට කුමන නිගමනයට එළඹිය හැකිද?
19 ඇතැම්විට ප්‍රේරිතයන් ඉදිරිපත් කළ ප්රශ්නයේදී හා යේසුස්වහන්සේ දුන් උත්තරයේදී බි·ʼආහ්ʹ යන මෙම නාමපදය යොදනු ලැබුවා විය හැක. ප්‍රේරිතයන්ගේ අදහස් යේසුස්වහන්සේගේ අනාගත පැමිණීමට සීමා වුවත්, ඔවුන් කල්පනා කරමින් සිටි දෙයට වඩාත් පුළුල් අර්ථයක් ඇතුල් කිරීමේ අදහසින් ක්‍රිස්තුස්වහන්සේ බි·ʼආහ්ʹ යෙදුවා විය හැක. අලුත් තනතුරක් හෙබවීමේ අදහසින් තම පැමිණීමට යේසුස්වහන්සේ ඇතැම්විට අවධානය යොමු කළා විය හැක; උන්වහන්සේගේ පැමිණීම තම අලුත් වැඩ කොටසෙහි ආරම්භය වනු ඇත. මතෙව් පසුව භාවිත කළ ප·රූ·සිʹආ යන්නෙහි අදහසට මෙය ගැළපේ. බි·ʼආහ්ʹ මෙලෙස භාවිත කර තිබේ නම්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් බොහෝ කලක් තිස්සේ උගන්වා ඇති දෙයට රුකුලක් දිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. එනම් යේසුස්වහන්සේ දුන් සංයුක්ත “ලකුණ” උන්වහන්සේ පැමිණසිටි බව දැක්වීමේ අදහසින් දෙනු ලැබූ බවයි.
තම පැමිණසිටීමේ උච්චාවස්ථාව බලාසිටිමින්
20, 21. නෝවාගේ දවස් පිළිබඳව යේසුස්වහන්සේ දැක්වූ අදහසින් අපට කුමක් උගත හැකිද?
20 යේසුස්වහන්සේගේ පැමිණසිටීම පිළිබඳ අපේ අධ්‍යයනය අපේ ජීවිතයට හා අපේක්ෂාවන්ට කෙළින්ම බලපෑ යුතුයි. යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට උනන්දු කළේ අවදිව සිටින්ට කියාය. උන්වහන්සේගේ පැමිණසිටීම තේරුම්ගත හැකි පරිදි, උන්වහන්සේ ලකුණක් දුන්සේක. එහෙත් බහුතරය එය සැලකිල්ලට නොගනු ඇත: “නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් [පැමිණසිටීමත්, NW] වන්නේය. මක්නිසාද ජලගැලීමට පළමු දවස්වලදී, නෝවා නැවට ඇතුල්වූ දවස දක්වා, ඔව්හු කමින් බොමින්, සරණපාවාගනිමින්, සරණපාවාදෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන සිටියෝය; මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් [පැමිණසිටීමත්, NW] එලෙසම වන්නේය.”—මතෙව් 24:37-39.
21 නෝවාගේ කාලයේදී, එම පරම්පරාවේ බොහෝදෙනෙක් නිකම්ම සාමාන්‍ය වැඩ කටයුතුවල නිරත වූහ. ‘මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණසිටීමෙත්’ සමාන තත්වයක් උදා වන බව යේසුස්වහන්සේ කලින් පැවසූසේක. කිසිවක් සිදු වන්නේ නැති බව නෝවා අවට සිටි ජනයා සිතුවා විය හැක. එසේ නොවූ බව ඔබ දන්නෙහිය. යම් කාලයක් පුරා විහිදී ගිය එම දවස් උච්චාවස්ථාවකට පැමිණියේය: “ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන” ගියේය. ලූක් මීට සමාන වාර්තාවක් ඉදිරිපත් කරයි. එහිදී යේසුස්වහන්සේ “නෝවාගේ දවස්,” “මනුෂ්‍ය පුත්‍රයාගේ දවස්” හා සැසඳූසේක. යේසුස්වහන්සේ මෙසේ අවවාද කළසේක: “මනුෂ්‍ය පුත්‍රයා ප්රකාශවන දවසේදීත් ඒ ආකාරම වන්නේය.”—ලූක් 17:26-30.
22. මතෙව් 24වන පරිච්ඡේදයෙහි දක්නට ලැබෙන යේසුස්වහන්සේගේ අනාවැකිය කෙරෙහි අප විශේෂයෙන් උනන්දු විය යුත්තේ ඇයි?
22 යේසුස්වහන්සේ පුරෝකථනය කළ සිද්ධීන්—එනම් යුද්ධ, භූමිකම්පා, වසංගත, ආහාර හිඟකම් හා තම ගෝලයන්ට පීඩා කිරීම යනාදිය අඳුනාගත හැකි කාලයක අප ජීවත් වන බැවින් මේ සියල්ල අපට විශේෂ වැදගත්කමකින් යුක්තයි. (මතෙව් 24:7-9; ලූක් 21:10-12) පළමු ලෝක සංග්‍රාමය ලෙස උචිතව නම් කර තිබෙන ඉතිහාසය වෙනස් කළ ගැටුමේ සිට එවැනි සාක්ෂි පැහැදිලිව දැකගත හැකි විය. එසේවුවත් බොහෝදෙනෙක් ඒවා ඉතිහාසයේ සාමාන්‍ය දේවල් හැටියට ගණන් ගනිති. කෙසේවෙතත්, අවදිව සිටින මිනිසුන් දළුලන අත්තික්කා ගසකින් ග්‍රීෂ්ම කාලය ළඟ බව තේරුම්ගන්නවා හා සමානව, සැබෑ ක්‍රිස්තියානීහු මෙම වැදගත් සිද්ධීන්වල අර්ථය අවබෝධ කරගනිති. යේසුස්වහන්සේ මෙසේ අවවාද කළසේක: “එලෙසම මේ දේ සිදුවෙනවා දකින කල, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළඟ බවත් දැනගනිල්ලා.”—ලූක් 21:31.
23. මතෙව් 24වන පරිච්ඡේදයෙහි සඳහන් යේසුස්වහන්සේගේ වදන් විශේෂ අර්ථයකින් යුක්ත වන්නේ කාටද, ඒ මන්ද?
23 යේසුස්වහන්සේ ඔලීව කන්දේදී දුන් උත්තරෙන් වැඩිහරියක් තම අනුගාමිකයන් කෙරෙහි යොමු කළසේක. අන්තිමය පැමිණීමට කලින් පොළොව පුරා ශුභාරංචිය දේශනා කිරීමේ ජීවිත ගළවන වැඩයෙහි සහභාගි වීමට සිටියේ ඔවුන්මය. “ශුද්ධස්ථානයෙහි තිබෙන” “පාළුකරන පිළිකුල” තේරුම්ගැනීමට හැකි වනු ඇත්තෙත් ඔවුන්ටය. මහත් පීඩාවට කලින් “පලා” යෑමෙන් ප්‍රතිචාරය දක්වන අය වනු ඇත්තෙත් ඔවුන්ය. එමෙන්ම මේ අමතර වචනවලින් විශේෂයෙන්ම බලපෑම් ලබනු ඇත්තෙත් ඔවුන්ය: “ඒ දවස් ලුහුඬු නොකරනලද්දේවීනම් කිසි කෙනෙක් නොගැළවෙන්නේය. නුමුත් තෝරාගනු ලැබූවන් උදෙසා ඒ දවස් ලුහුඬුකරනු ලබන්නේය.” (මතෙව් 24:9, 14-22) එහෙත් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතු එම වචනවල තේරුම කුමක්ද? එමෙන්ම එම වචන දැන් වැඩි වූ සන්තෝෂය, නිසැකකම හා ජ්වලිතය ඇතුව සිටීම සඳහා අපට පදනමක් සපයන බව පැවසිය හැක්කේ මන්ද? මතෙව් 24:22ට අදාළ ඊළඟ පාඩම් ලිපියෙහි පිළිතුරු තිබේ.
[පාදසටහන්වල]
a ජොසීෆස්ගෙන් උදාහරණ: සීනයි කන්දේදී විදුලි කෙටීම් හා ගර්ජනා, “දෙවියන්වහන්සේ පැමිණසිටි [ප·රූ·සිʹආ] බව ප්‍රකාශ කළේය.” මණ්ඩපයේ සිදු වූ ආශ්චර්යවත් ප්‍රදර්ශනය “දෙවියන්වහන්සේ පැමිණසිටි [ප·රූ·සිʹආ] බව පෙන්වීය.” එලිෂාගේ සේවකයාට අහසේ ගමන් කරමින් තිබූ රථ පෙන්වීමෙන්, දෙවියන්වහන්සේ “තම සේවකයාට තම බලය හා තමන් පැමිණසිටි [ප·රූ·සිʹආ] බව” ප්‍රකාශ කළසේක. රෝම නිලධාරී පෙට්රෝනිසයස් යුදෙව්වන්ගේ සිත දිනාගැනීමට වෑයම් කළ විට, වැසි ඇදහැලීමට සැලැස්වීමෙන්, ‘දෙවියන්වහන්සේ පෙට්රෝනිසයස්ට තමන් පැමිණසිටි [ප·රූ·සිʹආ] බව පෙන්නුම් කළසේකැයි’ ජොසීෆස් කියා සිටියේය. ළං වන යම් මොහොතකට හෝ මොහොතකට සීමා වන පැමිණීමකට ජොසීෆස් ප·රූ·සිʹආ අදාළ කළේ නැත. ඉන් අදහස් කළේ දිගටම පවතින, අදෘශ්‍යමාන වුවද විය හැකි පැමිණසිටීමකි. (නික්මයාම 20:18-21; 25:22; ලෙවී කථාව 16:2; 2 රාජාවලිය 6:15-17)—ඇන්ටික්විටීස් ඔෆ් ද ජූස්, 3වන පොත, 5වන පරිච්ඡේදය, 2වන ඡේදය [80]; 8වන පරිච්ඡේදය, 5වන ඡේදය [202]; 9වන පොත, 4වන පරිච්ඡේදය, 3වන ඡේදය [55]; 18වන පොත, 8වන පරිච්ඡේදය, 6වන ඡේදය [284] සසඳා බලන්න.
b ප·රූ·සිʹආ යන්නෙන් අදහස් කරන්නේ ‘පැමිණසිටීම හෝ පැමිණීමයි; එබැවින් පැමිණි මොහොතේ පටන් දිගටම සිටීම යන අදහස පැමිණසිටීම හෝ ඊම යන්නට ඇතුළත් බව’ ඒ ක්‍රිටිකල් ලෙක්සිකන් ඇන්ඩ් කොන්කෝර්ඩන්ස් ටු දි ඉංග්ලිෂ් ඇන්ඩ් ග්‍රීක් නිව් ටෙස්ටමන්ට් යන්නෙහි, ඊ. ඩබ්. බුලිඥර් පැහැදිලි කරයි.
c එහි “නාමය” යන හෙබ්‍රෙව් යෙදුම තිබීම එක් සාක්ෂියකි. මේ යෙදුම සම්පූර්ණයෙන් හෝ කෙටි කොට වාර 19ක් දක්වා තිබේ. මහාචාර්ය හවර්ඩ් මෙසේ ලියයි: “යුදෙව් වාදකරන්නෙකු විසින් උපුටා දක්වන ලද ක්‍රිස්තියානි ලියවිල්ලක දිව්‍ය නාමය දැකගැනීමට ලැබීම සඳහන් කළ යුත්තකි. මෙය ලතින් හෝ ග්‍රීක් ක්‍රිස්තියානි ලියවිල්ලකින් කළ හෙබ්‍රෙව් පරිවර්තනයක් වූයේ නම්, පාඨයේ කිව නොහැකි දිව්‍ය නාමය වන ය්හ්ව්හ් සඳහා සංකේතයක් වෙනුවට ඇඩෝනේයි [සමිඳුන්] යන්න දැකීමට යමෙකු අපේක්ෂා කරනු ඇත. . . . ඔහු කිව නොහැකි නාමය ඇතුල් කළා කියා කිසිසේත් කිව නොහැක. සාක්ෂිවලින් පැහැදිලිව ඔප්පු වන්නේ, ෂෙම්-ටොබ්ට දිව්‍ය නාමය සඳහන් කර තිබූ මතෙව්ගේ පිටපතක් ලැබුණු බවත්, එය ඉවත් කිරීමේ වරදට හසුවීමේ අවදානමට ගොදුරු නොවීමේ අදහසින්, එය ඉවත් නොකළ බවත්ය. නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස්—විත් රෙෆරන්සස් ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල දිව්‍ය නාමය භාවිත කිරීමට රුකුලක් වශයෙන්, ෂෙම්-ටොබ්ගේ මතෙව් ලියවිල්ල (J2) භාවිත කරයි.
ඔබ උත්තර දෙන්නේ කෙසේද?
◻ බයිබල්වල මතෙව් 24:3 දක්වා තිබෙන ආකාර අතර වෙනස දැකගැනීම වැදගත් වන්නේ ඇයි?
◻ ප·රූ·සිʹආ යන්නෙහි තේරුම කුමක්ද, මෙය අපේ සැලකිල්ලට භාජන විය යුත්තේ මන්ද?
◻ මතෙව් 24:3හි ග්‍රීක් බසින් හා හෙබ්‍රෙව් බසින් කුමන සමාන්තරය තිබිය හැකිද?
◻ මතෙව් 24වන පරිච්ඡේදය තේරුම්ගැනීමට නම්, කාලය සම්බන්ධයෙන් අප දැනසිටිය යුත්තේ කුමන සාධකයද?
[10වන පිටුවේ පින්තූරය]
යෙරුසලමට ඉහළින් පිහිටා ඇති ඔලීව කන්ද