ඔබ සම්පූර්ණ ලෙස යෙහෝවඃ වහන්සේ ව අනුගමනය කරන්නෙහි ද?
“ධර්මිෂ්ඨයෝ එඩිතර ව සිටින සිංහයෙක් හා සමාන ය.” (හිතෝපදේශ 28:1, NW) ඔවුහු ඇදහිල්ල ක්‍රියාවට නංවති. දේව වචනය කෙරෙහි නිසැක ව රැඳී සිටිති, එමෙන් ම ඕනෑ ම අනතුරක් හමුවේ නිර්භීත ව යෙහෝවඃ වහන්සේගේ සේවයේ ඉදිරියට යති.
පොදු යුගයට පෙර 16වන ශතවර්ෂයේ දී මිසරයේ වහල්කමෙන් දෙවියන් වහන්සේ ඉශ්‍රායෙලිතයන් ව මුදා ගැනීමෙන් අනතුරුව ඔවුන් සීනයි හි සිටි කාලය තුළ, මිනිසුන් දෙදෙනෙක් විශේෂාකාර ලෙස තමන් සිංහයන් මෙන් නිර්භීත ව සිටින බව පෙන්වූහ. ඔවුහු අහිතකර තත්ත්වයන් යටතේ යෙහෝවඃ වහන්සේට ඇදහිලිවන්ත ව සිටීම ද විදහා දැක්වූහ. මෝසෙස්ගේ සේවකයා ව සිටියා වූ ද, යථා කාලයේ දී ඔහුගේ අනුප්‍රාප්තිකයා හැටියට ද පත් කරනු ලැබුවා වූ ද එඵ්රායිම් ගෝත්‍රයේ යෝෂුවා මොවුන්ගෙන් කෙනෙක් විය. (නික්මයාම 33:11; ගණන් කථාව 13:8, 16; ද්විතීය කථාව 34:9; යෝෂුවා 1:1, 2) අනෙක් තැනැත්තා යුදා ගෝත්‍රයේ යෙථුන්නෙගේ පුත්‍ර වූ කාලෙබ් ය.—ගණන් කථාව 13:6; 32:12.
කාලෙබ් පක්ෂපාතී ලෙසත්, ජ්වලිත ලෙසත් යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත ඉටු කළේ ය. ඔහු දිගු ජීවිත කාලයක් පුරා දෙවියන් වහන්සේට ඇදහිලිවන්ත ව කළ සේවය, තමා ‘යෙහෝවඃ වහන්සේ අනුව සම්පූර්ණ ලෙස ගියේ’ යයි පැවසීමට ඔහුට හැකියාවක් ලබා දුණි. (යෝෂුවා 14:8) “මාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේට මම සම්පූර්ණයෙන් ම පක්ෂපාතී වූයෙමි” යයි ද න අමෙරිකන් බයිබල් පවසයි. කාලෙබ් “ඇදහිලිවන්ත ව කීකරු” වී, යෙහෝවඃ දෙවියන් වහන්සේගේ “අරමුණ පක්ෂපාතී ලෙස ඉටු කළේ ය.” (ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්; ද න ඉංග්ලිෂ් බයිබල්) එය තවත් ආකාරයකින් කියතොත්, “මම . . . ස්වාමි වූ මාගේ දෙවියන් වහන්සේ ව මුළු හෘදයෙන් ම අනුගමනය කළෙමි” යි කාලෙබ් කීවේ ය. (න ඉන්ටනැෂනල් වර්ෂන්) ඔබ ගැන කුමක් කිව හැකි ද? ඔබ පූර්ණ ලෙස යෙහෝවඃ වහන්සේ ව අනුගමනය කරමින් සිටින්නෙහි ද?
දේශයේ ඔත්තු බැලීම
මිසරවරුන්ට වහලුන් ව සිටීමෙන්, යෙහෝවඃ වහන්සේ ඉශ්‍රායෙලිතයන් ව නිදහස් කිරීමෙන් මද කලකට පසු ඔබත් ඔවුන් අතර සිටිනවා යයි කල්පනා කරන්න. ප්‍රොපේත මෝසෙස් දෙවියන් වහන්සේ දුන් උපදෙස් ඇදහිලිවන්ත ව අනුගමනය කරන ආකාරය බලන්න. එසේ ය, යෙහෝවඃ වහන්සේ ස්වකීය ජනයා සමඟ සිටින බවට කාලෙබ්ගේ නිසැක භාවයත් සැලකිල්ලට ගන්න.
දැන් මිසරයෙන් නික්ම ඒමෙන් දෙවසරක් ගත වී ඇති අතර ඉශ්‍රායෙලිතයෝ පාරාන් කාන්තාරයෙහි කාදෙෂ්-බර්නේයේ කූඩාරම් ගසා ගෙන සිටිති. ඔවුහු පොරොන්දු දේශයෙහි මායිම අද්දර සිටිති. දෙවියන් වහන්සේගේ අණ පරිදි, මෝසෙස් ඔත්තුකාරයන් 12 දෙනෙක් කානාන් දේශයට යැවීමට සූදානම් වෙයි. ඔහු කථා කොට: “නුඹලා මේ දකුණු දිශාවෙන් ගොස් කඳුකරයට නැගී දේශය කොයි ආකාරද කියාත්, එහි වසන සෙනග බලවත්ද දුර්වලද ස්වල්පද බොහෝද කියාත්, ඔවුන් වාසයකරන දේශය හොඳද නරකද කියාත්, ඔවුන් සිටින නුවරවල් කොයි ආකාරද, ඔවුන් වසන්නේ කූඩාරම්වලද බලකොටුවලද කියාත්, දේශය සශ්‍රීකද නිශ්‍රීකද, එහි මුකළාන් ඇද්ද නැද්ද කියාත් බලාපල්ලා. නුඹලා ධෛර්ය්යවත්ව සිට දේශයේ ඵලවලින් ගෙනෙල්ලායයි කීවේය.”—ගණන් කථාව 13:17-20.
එම මනුෂ්‍යයන් 12 දෙනා සිය භයානක ගමන අරඹති. එම විශේෂ කාර්යය සඳහා වූ ඔවුන්ගේ ගමනට දින 40ක් ගත විය. හෙබ්‍රොන් හි ඔවුන් ප්‍රමාණයෙන් විශාල මිනිසුන් දකිති. එෂ්කොල් මිටියාවතේ දී, ඔවුන් දේශයේ සශ්‍රීකත්වය දැක, එහි ඵලවලින් කොටසක් රැගෙන යාමට තීරණය කරති. එක් මිදි පොකුරක් කොතරම් බර ද කියතොත්, එය මනුෂ්‍යයන් දෙදෙනෙක් විසින් කරේ තබා ගෙන යනු ලබන රිටක එල්ලා ගෙනෙන්නට සිදු වේ!—ගණන් කථාව 13:21-25.
ඉශ්රායෙල් කූඩාරම් වෙත හැරී ඒමෙන් පසු, එම ඔත්තුකරුවෝ මෙසේ වාර්තා කළහ: “ඔබ අප යැවූ දේශයට ගියෙමුව, සැබවින් එහි කිරි සහ මීපැණි ගලායයි; එහි ඵල මේය. එසේවීනුමුත් දේශයෙහි සිටින සෙනග බලවත්ය, නුවරවල්ද ප්‍රාකාර සහිතව ඉතා මහත්ය. ඒ ඇරත් අනාක්ගේ පුත්‍රයන් එහි දුටිමුව. අමලෙක්වරු [නෙගෙබ් NW] රටෙහි වාසය කරති. හිත්තීවරුත් යෙබූසිවරුත් අමෝරිවරුත් කඳුකරයෙහි වාසයකරති. කානානිවරු මුහුදු බඩද යොර්දන් අසබඩද වාසයකරති.” (ගණන් කථාව 13:26-29) ඔත්තුකරුවන් දස දෙනෙක් දෙවියන් වහන්සේගේ නියෝගය පිළිගෙන පොරොන්දු දේශයට යාමට සූදානම් නැත.
“යෙහෝවඃ වහන්සේ අප සමඟ සිටිනසේක”
කෙසේ නමුත්, යෙහෝවඃ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබමින්, නිර්භීත ඔත්තුකරුවා වූ කාලෙබ් මෙසේ පවසයි: “අපි වහාම නැගී ගොස් ඒක හිමිකර ගනිමු; මක්නිසාද අපට ඒක යටත්කරගන්ට හොඳටම පුළුවන.” කානාන්හි වැසියන් ඉශ්‍රායෙලිතයන්ට වඩා ශක්තිමත් යයි පවසමින්, ඔත්තුකරුවන් දසදෙනා භේද වෙති. ත්‍රාසයට පත් ඇදහිල්ල නොමැති ඔත්තුකරුවෝ තමන් සංසන්දනාත්මක ව ගත් කල පළඟැටියන් මෙන් වන්නේ යයි කල්පනා කරති.—ගණන් කථාව 13:30-33.
“ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] අප සමග සිටිනසේක. ඔවුන්ට භය නොවෙල්ලා” යයි කාලෙබ් හා යෝෂුවා උදක් ම ඉල්ලා සිටිති. ජනයා කාලෙබ් හා යෝෂුවාට සවන් දීමට මැලි වෙති. ජනයා ඔවුන්ට ගල් ගසන්ට කථා කර ගන්නා විට, දෙවියන් වහන්සේ මැදිහත් වී, මැසිවිලි කියන්නන් කෙරෙහි දඬුවම් නියම කරන සේක: “නුඹලා යම් දේශයක වාසයකරවමියි කියා මාගේ අත එසවීම්ද, එහි යෙථුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද මිස නුඹලා නම් කිසිසේත් ඇතුල්නොවන්නහුය. එහෙත් . . . නුඹලාගේ බාලයන් එහි පමුණුවන්නෙමි, ඔව්හු නුඹලා ප්‍රතික්ෂේපකළාවූ දේශය දැනගන්නෝය. එහෙත් නුඹලාගේ මළකඳන් මේ කාන්තාරයෙහි වැටෙනවා ඇත. නුඹලාගේ පුත්‍රයෝද සතළිස් අවුරුද්දක් කාන්තාරයෙහි එඬේරුන් මෙන් [වන්නෝ ය NW] . . . නුඹලා දේශය සෝදිසිකළ දවස් ගණනවූ සතළිස් දවසේ හැටියට දවසකට අවුරුද්දක් බැගින් සතළිස් අවුරුද්දක් නුඹලාගේ අයුතුකම් දරමින්” සිටිනවා ඇත.—ගණන් කථාව 14:9, 30-34.
අවුරුදු ගණනාවකට පසු ව පවා ඇදහිල්ලෙන්
වසර 40 දඬුවම ගෙවී යන අතර මැසිවිලි කී මුළු පරම්පරාව ම මරණයට ගොදුරු වෙති. එහෙත් කාලෙබ් හා යෝෂුවා තවදුරටත් දෙවියන් වහන්සේට ඇදහිලිවන්ත ව සිටිති. මෝවබ් සමභූමිවල දී, මෝසෙස් ද උත්තම පූජකයා වූ එලෙයාසර් ද හමුදාවේ සේවය කළ හැකි වයස වන අවුරුදු 20ක් හා එය පසු කර ඇති අය ව ගණන් කර ඇත්තාහ. පොරොන්දු දේශය බෙදීම භාර ව ක්‍රියා කරන්නට, ඉශ්රායෙලයේ එක් එක් ගෝත්‍රයෙන් දෙවියන් වහන්සේ එක් මනුෂ්‍යයෙක් නම් කරන අතර කාලෙබ්, යෝෂුවා, හා එලෙයාසර් ඔවුන් අතර සිටින්නාහ. (ගණන් කථාව 34:17-29) මේ වන විට අවුරුදු 79ක් වයස් ව සිටිය ද, කාලෙබ් තවදුරටත් ශක්තිමත් ව, පක්ෂපාතී ව හා නිර්භීත ව සිටින්නේ ය.
ඔවුන් බයාදු ගතියෙන් කානාන් දේශයට ඇතුල්වීම ප්‍රතික්ෂේප කරන්නට මද කලකට පෙර මෝසෙස් හා ආරොන් ජනයා ව ගණන් කළ විට, යුද්ධයට යත හැකි ඉශ්රායෙල් මනුෂ්‍යයන්ගේ සංඛ්‍යාව 6,03,550ක් විය. කාන්තාරයේ දශක සතරක් ගත කිරීමෙන් පසු 6,01,730ක් වූ මදක් කුඩා වූ හමුදාවක් තිබුණි. (ගණන් කථාව 1:44-46; 26:51) එහෙත් යෝෂුවා තමන්ගේ නායකයා හැටියට ද, ඇදහිලිවන්ත ව සිටින කාලෙබ් තමන් අතර අධිපති තත්ත්වයක ද සිටින අතර ඉශ්‍රායෙලිතයෝ පොරොන්දු දේශයට ඇතුල් වී නොකඩවා ජයග්‍රහණය ලබන්නට වූහ. යෝෂුවා හා කාලෙබ් සැමවිට ම අපේක්ෂා කළ ආකාරයට, යෙහෝවඃ වහන්සේ තමන් සෙනඟ සඳහා යුද්ධ ජය ගනිමින් සිටි සේක.
ඉශ්රායෙලයේ යුද්ධයට යත හැකි අය සමඟ යොර්දාන් එතෙර වීමෙන් පසු ඇති වන යුද්ධවල වගකීම, වයෝවෘද්ධ ව සිටි යෝෂුවා හා කාලෙබ් දරා ගනිති. කෙසේ නමුත්, වසර හයක් යුද්ධ කිරීමෙන් පසු, තවදුරටත් පදිංචි වීමට විශාල භූමි භාගයක් ඉතිරි ව තිබුණි. එහි දැනට පදිංචි ව සිටින අය ව යෙහෝවඃ වහන්සේ ඉවත් කරනු ඇතිමුත්, මෙහිදී එම භූමි භාගය ඉශ්රායෙලයේ ගෝත්‍ර අතර පසඇට දමා බෙදන්නැයි උන් වහන්සේ අණ කරන සේක.—යෝෂුවා 13:1-7.
ඔහු යෙහෝවඃ වහන්සේ ව පූර්ණ ලෙස අනුගමනය කළේ ය
බොහෝ යුද්ධවලට සහභාගි වීමෙන් පළපුරුද්ද ලත් කාලෙබ් යෝෂුවා ඉදිරියේ සිට මෙසේ පවසයි: “දේශය සෝදිසිකරන පිණිස ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] මෙහෙකරුවූ මෝසෙස් කාදෙෂ්-බර්නේයේ සිට මා එවූ කල සතළිස් අවුරුද්දක් වයස්ව සිටියෙමි; මමද හැරී ඇවිත් මාගේ සිතේ [හෘදයේ NW] කල්පනාව ලෙස ඔහුට ප්‍රවෘත්තිය කීවෙමි. එහෙත් මා සමග ගිය මාගේ සහෝදරයෝ සෙනගගේ සිත් [හෘද NW] දියව යන්ට සැලැස්සුවෝය. නුමුත් මම සපුර්ණ ලෙස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] අනුව ගියෙමි.” (යෝෂුවා 14:6-8) එසේ ය, කාලෙබ් දෙවියන් වහන්සේගේ කැමැත්ත පක්ෂපාතී ව කරමින්, යෙහෝවඃ වහන්සේ ව පූර්ණ ව අනුගමනය කර තිබුණි.
කාලෙබ් තවදුරටත් කථා කරමින්: “මෝසෙස් ඒ දවසේ දිවුරමින්: නුඹ සපුර්ණ ලෙස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] අනුව ගිය නිසා සැබවින්ම නුඹ පය තැබූ දේශය නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් සදාකාල උරුමයක් පිණිස වන්නේයයි කීවේය. බලව, ඉශ්රායෙල්වරුන් කාන්තාරයෙහි හැසුරුණු කල්හි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] මෝසෙස්ට මේ වචනය කී කාලයේ සිට මේ සතළිස් පස් අවුරුද්ද තුළ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කී හැටියට මා ජීවත්කොට රක්ෂාකළසේක. අද මම අසූපස් අවුරුද්දක් වයස්ව සිටිමි. මෝසෙස් මා යැවූ දවසේදී මෙන්ම අදත් මම ශක්තිමත්ව සිටිමි. යුද්ධකරන්ටත් පිටතට යන්ටත් ඇතුළට එන්ටත් මාගේ ශක්තිය ඒ කාලයේ තිබුණාක් මෙන්ම දැනුත් තිබේ. එබැවින් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ඒ දවසේදී සඳහන් කළ මේ කන්ද [කඳුකර ප්‍රදේශය NW] මට දුනමැනවි; එහි අනාක්වරුන් සිටින බවද පවුරු ඇති මහත් නුවරවල් තිබෙන බවද නුඹ ඒ දවසේදී ඇසුවෙහිය. ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කී ලෙස සමහරවිට උන්වහන්සේ මා සමග සිට ඔවුන් එළවන්ට මට පුළුවන්කරන සේකැයි කීවේය.” කාලෙබ් මෙහිදී හෙබ්‍රොන් උරුමයක් වශයෙන් ලබන්නේ ය.—යෝෂුවා 14:9-15.
වයෝවෘද්ධ කාලෙබ්ට දුෂ්කර ම පැවරුම—එනම් අසාමාන්‍ය ප්‍රමාණයෙන් යුත් මනුෂ්‍යයන් ජීවත් වන ප්‍රදේශයක් ලැබී ඇත. එහෙත් අවුරුදු 85ක් වයසැති මේ සටන්කාමියාට මෙය පමණට වඩා අපහසු දෙයක් නොවේ. කලකට පසු හෙබ්‍රොන් හි වාසය කරන දාමරිකයන් ව පරාජයට පත් කෙරේ. කාලෙබ්ගේ බාල සහෝදරයාගේ පුත්‍රයෙක් හා ඉශ්රායෙලයේ විනිශ්චකාරයෙක් වූ ඔත්නියෙල්, දෙබීර් අල්ලා ගනී. පසු කාලයක මෙම නගර දෙකේ ම ලෙවීවරුන් පදිංචි වන අතර, අත්වැරැද්දකින් මිනීමරන්නන් හට ආරක්ෂා නුවරක් බවට හෙබ්‍රොන් පත් විය.—යෝෂුවා 15:13-19; 21:3, 11-16; විනිශ්චයකාරයන් 1:9-15, 20.
සැමවිට ම යෙහෝවඃ වහන්සේ ව පූර්ණ ලෙස අනුගමනය කරන්න
කාලෙබ් හා යෝෂුවා අසම්පූර්ණ මනුෂ්‍යයන් වූහ. කෙසේ වෙතත්, ඔවුන් යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත ඇදහිලිවන්ත ව ඉටු කළහ. ඉශ්‍රායෙලිතයන් දෙවියන් වහන්සේට කීකරු වීමට අසමත්වීමෙන් විපාක වූ කාන්තාරයේ 40 වසරක දුෂ්කරතා තුළ ඔවුන්ගේ ඇදහිල්ල හීන වූයේ නැත. සමානාකාරයෙන්, යෙහෝවඃ වහන්සේගේ නවීන දින සේවකයන් යෙහෝවඃ වහන්සේගේ ප්‍රශංසාව පිණිස වූ ඔවුන්ගේ සේවයට කිසිවකින් බාධා පැමිණෙන්නට ඉඩ හරින්නට යන්නේ නැත. දෙවියන් වහන්සේගේ සංවිධානය හා සාතන්ගේ සංවිධානය අතර සටනක් සිදු වෙමින් පවතින බව දැන, ඔවුහු ස්ථිර ව, නොකඩවා සිය ස්වර්ගීය පියාණන් ව සියල්ලෙහි සතුටු කරන්නට සොයමින් සිටිති.
උදාහරණයක් හැටියට, යෙහෝවඃ වහන්සේගේ ජනයාගෙන් බොහෝ දෙනෙක් ස්වාමීන් වහන්සේගේ සන්ධ්‍යා භෝජනය, නොහොත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහි කිරීමේ උත්සවය පැවැත්වීම නිසා කෲරකම්වලට, ඇතැම් විට මරණය විඳීමේ අවදානමට පවා මුහුණ දී ඇත. (1 කොරින්ති 11:23-26) මේ සම්බන්ධයෙන් IIවන ලෝක යුද්ධය තුළ නාට්සි වධක සිර කඳවුරක සිර වී සිටි ක්‍රිස්තියානි ස්ත්‍රියක් මෙසේ වාර්තා කළා ය:
“පස්වරු 11ට රෙදි සෝදන ස්ථානයේ සිටින ලෙස සියල්ලන්ට කියනු ලැබී ය. හරියට ම ප.ව.11ට, සංඛ්‍යාවෙන් 105ක් වූ අපි එහි එක්රැස් වීමු. අපි කවයක ආකාරයෙන් එකිනෙකාට ඉතා කිට්ටුවෙන් සිටියෙමු. එහි මැද කුඩා මේසයක එළන ලද සුදු රෙද්දක් මත සංකේත තිබුණි. විදුලි ආලෝකය අප ව අසු කර දිය හැකි නිසා, ඉටිපන්දමක් කාමරය ආලෝකවත් කළේ ය. පොළොවෙන් යට පිහිටි සොහොන් බිමක වංකගිරිවල සැඟවී සිටි මුල් ක්‍රිස්තියානින් වැනි හැඟිමක් අපට දැනුණි. එය ගරුබුහුමන් සහිත උත්සවයක් විය. උන් වහන්සේගේ පරිශුද්ධ නාමය නිදොස් කිරීමට අපගේ මුළු ශක්තිය පාවිච්චි කිරීමටත්, දිව්යාණ්ඩුව වෙනුවෙන් ඇදහිලිවන්ත ව සීරුවෙන් සිටීමටත් අපගේ පියාණන්ට වූ අපගේ උද්යෝගී පොරොන්දු අපි අලුතින් ප්‍රකාශ කළෙමු.”
යෙහෝවඃ වහන්සේගේ හිංසා ලබන සේවකයන් හැටියට, අපට පීඩා තිබුණත් නිර්භීත ව උන් වහන්සේට සේවය කිරීමටත්, උන් වහන්සේගේ පරිශුද්ධ නාමයට ගෞරව ගෙන දීමටත් දෙවියන් වහන්සේ විසින් දෙන ලද ශක්තිය මත අපට රැඳී සිටිය හැකි ය. (පිලිප්පි 4:13) යෙහෝවඃ වහන්සේ ව සතුටු කරන්නට අප ඉවසීමෙන් ක්‍රියා කරත් ම, කාලෙබ් ව සිහි කිරීම අපට ප්‍රයෝජනවත් වනු ඇත. යෙහෝවඃ වහන්සේ ව පූර්ණ ව අනුගමනය කිරීමෙන් ඔහු තැබූ ආදර්ශය, වර්ෂ 1921 තරම් අතීතයේ දී පූර්ණ කාලීන දේශනා සේවයට ඇතුල් වූ යෞවනයෙකුගේ සිත් ගත්තේ ය. ඔහු ලීවේ මෙසේ ය:
“පුරෝගාමියෙක් වීම සඳහා [එංගලන්තයේ] කොවන්ට්රි හි නවීන මුද්‍රණාලයක මාගේ පහසු රැකියාවෙන් ඉවත්වීම සිදු වුවද, ඒ ගැන පසුබැසීමක් දැනුණේ නැත. මාගේ කැප වීම මගින් ඒ වන විටත් මේ කාරණය සමතයට පත් කොට තිබුණි. මාගේ ජීවිතය දෙවියන් වහන්සේට කැප කර තිබුණි. යෝෂුවා සමග පොරොන්දු දේශයට ඇතුල් වූ කාලෙබ් මට සිහි විය. ඇරත් ‘ඔහු සම්පූර්ණ ලෙස යෙහෝවඃ වහන්සේ අනුව ගියේ ය’ යි ඔහු පිළිබඳ ව කියා තිබේ. (යෝෂු. 14:8) එය ඔබිනා ආකල්පය බව මට පෙනී ගියේ ය. දෙවියන් වහන්සේට ‘සම්පූර්ණ’ ව සේවය කිරීම, කැප කළ මගේ ජීවිතය වඩාත් වැදගත් කරවනු ඇතැයි මම දැන සිටියෙමි. එය ක්‍රිස්තියානියෙක් සලකුණු කරන්නා වූ ඵල නිපදවීමට වැඩි ප්‍රස්තාවක් ඔබට ලබා දෙනු ඇත.”
සැමවිට ම දිව්‍ය කැමැත්ත කිරීමට සොයමින්, පක්ෂපාතී ලෙස යෙහෝවඃ වහන්සේ ව සම්පූර්ණයෙන් අනුගමනය කිරීම හේතුවෙන් කාලෙබ්ට නිසැක ව ම ආශීර්වාද කරනු ලැබී ය. ඔහු මෙන්, අන්‍යයන් ද දේව සේවයේ මහත් ප්‍රීතියක් හා අනගි ආශීර්වාද ලබා ඇත්තාහ. යෙහෝවඃ වහන්සේ ව නොකඩවා සම්පූර්ණයෙන් අනුගමනය කරන තැනැත්තෙක් හැටියට එය ඔබගේ අත්දැකීමත් වේවා.
[26වන පිටුවේ පින්තූරය]
පරීක්ෂා යටතේ කාලෙබ් හා යෝෂුවා යෙහෝවඃ වහන්සේට ඇදහිලිවන්ත ව සිටියහ. ඔබත් එසේ ම ද?