ආත්ම පරිත්‍යාගි ස්වභාවයකින් යුතු ව යෙහෝවඃ වහන්සේට සේවය කිරීම
“යමෙක් මා පසු පස එන්ට කැමති නම්, ඔහු තමාට තමා ව ම අහිමි කර ගෙන, තමාගේ ම වධ කණුව උසුලා ගෙන, නිරන්තරයෙන් ම මා ව අනුගමනය කරාවා.”—මතෙව් 16:24, NW.
1. පැමිණෙන්නට යන තම මරණය ගැන යේසුස් වහන්සේ සිය ගෝලයන්ට දැනුම් දුන්නේ කෙසේ ද?
හිමෙන් නැහැවුණු හර්මොන් කන්දේ සෙවනැල්ලට මුවා වී සිටින එක් අවස්ථාවක, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය ජීවිතයේ ප්‍රධාන සැතපුම් කණුවකට එළැඹෙයි. උන් වහන්සේට ජීවත්වීමට තව ඇත්තේ වසරකට වඩා අඩු කාලයකි. උන් වහන්සේ එය දනී; උන් වහන්සේගේ ගෝලයෝ නොදනිති. ඔවුන් විසින් එය දැනගැනීමට කාලය දැන් පැමිණ තිබේ. යේසුස් වහන්සේ විසින් පැමිණෙන්නට යන සිය මරණය සම්බන්ධයෙන් මීට පෙර ඉඟි කර ඇති බව ඇත්ත ය, නමුත් ඒ සම්බන්ධයෙන් උන් වහන්සේ පැහැදිලි ව කථා කරන ප්‍රථම අවස්ථාව මෙයයි. (මතෙව් 9:15; 12:40) මතෙව්ගේ වාර්තාවේ මෙසේ කියවීමට තිබේ: “එවක් පටන් යේසුස්වහන්සේ, තමන් යෙරුසලමට ගොස් වැඩිමහල්ලන්ගෙන්ද නායක පූජකයන්ගෙන්ද ලියන්නන්ගෙන්ද බොහෝ දේ විඳින්ටත් මරනු ලබන්ටත් තුන්වෙනිදා නැගුටුවනු ලබන්ටත් ඕනෑ බව ගෝලයන්ට දන්වන්ට පටන්ගත්සේක.”—මතෙව් 16:21; මාර්ක් 8:31, 32.
2. යේසුස් වහන්සේ අනාගතයේ දී දුක් විඳීම ගැන උන් වහන්සේ පැවසූ වදන්වලට පේතෘස් ප්‍රතික්‍රියා කළේ කෙසේ ද, එමෙන් ම යේසුස් වහන්සේ ප්‍රතිචාර දැක්වූයේ කෙසේ ද?
2 යේසුස් වහන්සේගේ සිය ජීවිතයේ අවසාන අදියරට පැමිණ තිබේ. එහෙත් එවන් භයංකර මෙන් පෙනෙන සිතිවිල්ලකට විරුද්ධ ව පේතෘස් ඇවිස්සෙයි. මෙසියස් වහන්සේ ව සැබවින් ම මරනු ලබන බව ඔහුට පිළිගන්නට බැරි ය. එමනිසා, තම ස්වාමියාට තරවටු කරන්නට තරම් පේතෘස් හට එඩිතර බවක් පහළ වෙයි. හොඳ චේතනාවෙන් පෙලඹී යන ඔහු ඉවක් බවක් නැති ව උදක් ම ඉල්ලා සිටින්නේ මෙසේ ය: “ස්වාමිනී, ඔබ ගැනත් කරුණාවෙන් සිතනු මැනවි, මේ ඉරණම කොහෙත් ම ඔබ මත නොපැමිණේවා.” එහෙත් යේසුස් වහන්සේ සැනෙකින් පේතෘස්ගේ එම නොහොබිනා කරුණාව ප්‍රතික්ෂේප කරන්නේ, යමෙක් විසකුරු නාගයෙකුගේ හිස එඩිතර ව පොඩි කරන්නාක් මෙනි: “සාතන් මා පස්සට යව. නුඹ මට බාධාවක්ය. මක්නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණ මිස දෙවියන්වහන්සේගේ කාරණ කල්පනාකරන්නේ නැත.”—මතෙව් 16:22, NW, මතෙ 16:23.
3. (අ) පේතෘස් නොදැනුවත් ව ම තමා ව ම සාතන්ගේ නියෝජිතයෙක් කර ගත්තේ කෙසේ ද? (ආ) ආත්ම පරිත්‍යාගි ක්‍රියා මාර්ගයකට පේතෘස් බාධාවක් වූයේ කෙසේ ද?
3 පේතෘස් නොදැනුවත් ව ම වාගේ තමා ව ම සාතන්ගේ නියෝජිතයෙකු කර ගෙන තිබුණි. යේසුස් වහන්සේ පෙරළා දුන් පිළිතුර, උන් වහන්සේ කාන්තාරයේ දී සාතන්ට දුන් පිළිතුර මෙන් තීරණාත්මක ය. පහසු ජීවිතයක්, එනම් දුක් විඳීමකින් තොර රජකම් කිරීමක් සමඟින් යේසුස් වහන්සේ ව ආකර්ෂණය කිරීමට යක්ෂයා එහි දී උත්සාහ කළේ ය. (මතෙව් 4:1-10) දැන් පේතෘස්, තමාගේ ම සැප පහසුව බලන ලෙස උන් වහන්සේ ව දිරිගන්වයි. මෙය තම පියාණන් වහන්සේගේ කැමැත්ත නොවන බව යේසුස් වහන්සේ දන්නා සේක. උන් වහන්සේගේ ජීවිතය වූකලී ආත්ම පරිත්‍යාගයේ ජීවිතයක් මිස, ආත්ම පිනවීමේ ජීවිතයක් නොවේ. (මතෙව් 20:28) එවන් ක්‍රියා මාර්ගයකට පේතෘස් පැකිලීමට ඉවහල්වන බාධාවක් බවට පත් වෙයි; හොඳ චේතනාවෙන් යුතු ව වුවද ඔහු දක්වන දයානුකම්පාව උගුලක් බවට පත් වෙයි.a එනමුත්, යේසුස් වහන්සේ පැහැදිලි ව දකින දේ නම්, පරිත්‍යාගයෙන් තොර ජීවිතයක් පිළිබඳ ව යම් අදහසක් තමා තුළ වර්ධනය වීමට ඉඩ දෙන්නේ නම්, තමා සාතන්ගේ උගුලේ මාරාන්තික ග්‍රහණය තුළට හසු වී දෙවියන් වහන්සේගේ අනුමැතියෙන් ඇද වැටෙනු ඇති බව ය.
4. තමා ව ම පිනවා ගෙන සුඛවිහරණාත්මක ජීවිතයක් ගත කිරීම යේසුස් වහන්සේ සඳහාවත් උන් වහන්සේගේ අනුගාමිකයන් සඳහාවත් නොවූයේ මන්ද?
4 එමනිසා, පේතෘස්ගේ සිතුවිලි යළි සකස් කිරීමට අවශ්‍ය විය. යේසුස් වහන්සේට ඔහු පැවසූ වදන් නියෝජනය කළේ, දෙවියන් වහන්සේගේ අදහසක් නොව මිනිසාගේ අදහසකි. තමා ව ම පිනවා ගෙන සුඛවිහරණාත්මක ජීවිතයක් ගත කිරීම, එනම් දුක් විඳීමෙන් මඟ හැරීමට පහසු වූ මඟක් යේසුස් වහන්සේ සඳහා නොවී ය; ඇරත් එවන් ජීවිතයක් උන් වහන්සේගේ අනුගාමිකයන් සඳහාවත් නොවී ය. මක්නිසාදයත්, පේතෘස් සහ අනෙකුත් ගෝලයන් හට යේසුස් වහන්සේ ඊළඟට මෙසේ පවසන සේක: “යමෙක් මා පසු පස එන්ට කැමති නම්, ඔහු තමාට තමා ව ම අහිමි කර ගෙන, තමාගේ වධ කණුව උසුලා ගෙන, නිරන්තරයෙන් මා ව අනුගමනය කරාවා.”—මතෙව් 16:24, NW.
5. (අ) ක්‍රිස්තියානි ජීවිතය ගත කිරීමේ අභියෝගය කුමක් ද? (ආ) ක්‍රිස්තියානියෙක්, අනිවාර්යයෙන් ම කිනම් දේවල් තුනකට සූදානම් විය යුතු ද?
5 යේසුස් වහන්සේ යළි යළිත් මෙම ප්‍රධාන තේමාව වෙතට හැරෙන සේක: එනම් ක්‍රිස්තියානි ජීවිතය ගත කිරීමේ අභියෝගය ය. යේසුස් වහන්සේගේ අනුගාමිකයන් වීමට නම්, ක්‍රිස්තියානිහු තම නායකයා මෙන් ආත්ම පරිත්‍යාගි ස්වභාවයකින් යුතු ව යෙහෝවඃ වහන්සේට සේවය කළ යුතු ය. (මතෙව් 10:37-39) මෙසේ, ක්‍රිස්තියානියෙකු විසින් කිරීමට සූදානම් විය යුතු අවශ්‍යතා තුනක් උන් වහන්සේ ලයිස්තු ගත කරන සේක. (1) තමාට තමා ව ම අහිමි කර ගැනීම, (2) තමාගේ වධ කණුව උසුලා ගැනීම, සහ (3) නිරන්තරයෙන් ම උන් වහන්සේ ව අනුගමනය කිරීම.
“යමෙක් මා පසු පස එන්ට කැමති නම්”
6. (අ) පුද්ගලයෙක් තමාට තමා ව ම අහිමි කර ගන්නේ කෙසේ ද? (ආ) අප අපට වඩා සතුටු කළ යුත්තේ කාව ද?
6 යමෙක් තමාට තමා ව ම අහිමි කර ගැනීම යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? ඉන් අදහස් කරන්නේ, පුද්ගලයෙක් තමා සම්බන්ධ ව මුළුමනින් ම පරිත්‍යාග කිරීමකි, එනම් තමා සම්බන්ධයෙන් මිය යාමේ ආකාරයකි. මෙහි “අහිමි කර ගැනීම” යනුවෙන් පරිවර්තනය කොට ඇති ග්‍රීක් වචනයෙහි මූලික අරුත නම්, “නැත යයි පැවසීම” ය; ඉන් අදහස් වන්නේ, “සම්පූර්ණයෙන් ම පරිත්‍යාග කිරීම” ය. එමනිසා, ඔබ ක්‍රිස්තියානි ජීවිතයේ අභියෝගය භාර ගන්නවා නම්, ඔබ ඔබගේ ම අභිලාෂයන්, සුවපහසුව, ආශාවන්, සන්තෝෂය, වින්දනය අත්හැරීමට කැමැත්තෙන් සිටින්නෙහි ය. මෙහි සාරය වශයෙන් ගත් කළ, සැමවිට ම ඔබ ඔබගේ මුළු ජීවිතය ම සහ ඊට ඇතුළත් සියල්ල යෙහෝවඃ දෙවියන් වහන්සේට දෙන්නෙහි ය. යමෙක් තමා අහිමි කර ගැනීම යන්නට, තමා විසින් කලින් කලට එක්තරා වින්දනයන් පරිත්‍යාග කිරීමට වඩා වැඩි යමක් අදහස් කරයි. ඒ වෙනුවට, ඉන් අදහස් කරන්නේ, පුද්ගලයෙක් තමා සම්බන්ධයෙන් තමාට තිබෙන අයිතිය යෙහෝවඃ වහන්සේ වෙතට අත්හැරිය යුතු බව ය. (1 කොරින්ති 6:19, 20) තමා ව ම අහිමි කර ගෙන සිටින පුද්ගලයෙක් ජීවත්වන්නේ තමා ව ම සතුටු කිරීමට නොව, නමුත් දෙවියන් වහන්සේ ව සතුටු කිරීමට ය. (රෝම 14:8; 15:3) තමාගේ ජීවිතයේ සෑම මොහොතක දී ම, ඔහු ආත්මාර්ථකාමී ආශාවන්ට එපා කියන බවත් යෙහෝවඃ වහන්සේට එසේ ය කියා පවසන බවත් ඉන් අදහස් කෙරේ.
7. ක්‍රිස්තියානියෙකුගේ වධ කණුව යනු කුමක් ද, තව ද ඔහු එය රැගෙන යන්නේ කෙසේ ද?
7 එමනිසා, ඔබගේ වධ කණුව උසුලා ගැනීමට බැරෑරුම් ඇඟවීම් තිබේ. කණුවක් රැගෙන යාම පීඩාකාරී බරක් වන අතර, එය මරණයේ සංකේතයකි. තමා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙකු වීම නිසා, ක්‍රිස්තියානියෙක් අවශ්‍ය නම්, දුක් විඳීමට, නැතහොත් ලජ්ජා කරනු ලැබීමට, හෝ වධ කරනු ලැබීමට හෝ මරණයට පවා යටත්වීමට කැමැත්තෙන් සිටී. යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “තමාගේ වධ කණුව භාරගෙන මා අනුගමනය නොකරන කිසිවෙක් මා අනුව යාමට යෝග්‍ය නොවේ.” (මතෙව් 10:38, NW) දුක් විඳින සියල්ලන් වධ කණුව රැගෙන යනවා නොවේ, දුෂ්ටයන්ට බොහෝ “වේදනාවන්” තිබේ, නමුත් ඔවුන්ට වධ කණුවක් නොමැත. (ගීතාවලිය 32:10) කෙසේ වුවද, ක්‍රිස්තියානියෙකුගේ ජීවිතය වනාහි, යෙහෝවඃ වහන්සේට කරන පරිත්‍යාගි සේවය නමැති වධ කණුව රැගෙන යාමේ ජීවිතයකි.
8. යේසුස් වහන්සේ සිය අනුගාමිකයන් හට තැබූ ජීවන රටාව කුමක් ද?
8 යේසුස් වහන්සේ සඳහන් කළ අන්තිම අවශ්‍යතාවය නම් අප විසින් නිරන්තරයෙන් ම උන් වහන්සේ ව අනුගමනය කිරීම ය. යේසුස් වහන්සේට අවශ්‍ය කරන්නේ, අප උන් වහන්සේ ඉගැන්වූ දෙය පිළිගෙන විශ්වාස කිරීම පමණක් නොව, නමුත් උන් වහන්සේ තැබූ ජීවන රටාව අපගේ මුළු ජීවිතය පුරා නිරන්තරයෙන් ම අනුගමනය කිරීම ය. උන් වහන්සේගේ ජීවන රටාව තුළ දක්නට ලැබෙන බල පවත්වන අංග ලක්ෂණ සමහරක් මොනවා ද? තම අනුගාමිකයන් හට ඔවුන්ගේ අවසාන බල පැවරුම දෙන විට උන් වහන්සේ මෙසේ පැවසූ සේක: “එබැවින් නුඹලා ගොස් . . . ගෝලයන් කරපල්ලා. . . . මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා.” (මතෙව් 28:19, 20) යේසුස් වහන්සේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කොට ඉගැන්වූ සේක. උන් වහන්සේගේ සමීප ගෝලයෝ එසේ ම කළෝ ය, ඇත්තෙන් ම, මුල් සකල ක්‍රිස්තියානි සභාව ම එසේ කරන්නට විය. ඔවුන් ලෝකයේ කොටසක් නොවීමට අමතර ව, මෙම ජ්වලිත ක්‍රියාකාරකම ලෝකයාගේ වෛරය හා විරුද්ධවාදිකම් ඔවුන් වෙත එල්ල කළ හෙයින්, ඔවුන්ගේ වධ කණුව මතට තවත් බර ගෙන දුණි.—යොහන් 15:19, 20; ක්‍රියා 8:4.
9. යේසුස් වහන්සේ වෙනත් අය ව සැලකුවේ කෙසේ ද?
9 යේසුස් වහන්සේගේ ජීවිතය තුළ දක්නට ලැබෙන තවත් ප්‍රධාන විලාශයක් නම්, උන් වහන්සේ වෙනත් ජනයා හට සැලකූ ආකාරයයි. උන් වහන්සේ කරුණාවන්ත වූ අතර, “මොළොක් ගතියෙන් යුක්ත ව හදවතින් යටහත් ව” සිටි සේක, මෙසේ, උන් වහන්සේට සවන් දෙන්නන්ට නව පණක් ලැබුණු අතර, උන් වහන්සේ අසල සිටීමෙන් දිරිගැන්වීමක් ලැබූහ. (මතෙව් 11:29) තමා ව අනුගමනය කරන ලෙස උන් වහන්සේ ඔවුන්ට සැරවැර වී බල කළේවත්, ඔවුන් එසේ කළ යුතු ආකාරය ගැන එක පිට එක නීති පැනවූවේවත් නැත; ඔවුන් තම ගෝලයන් බවට පත්වීමට බල කරනු ලැබීම සඳහා ඔවුන් තුළ වරද සහිත බවේ හැඟීමක්වත් ඇති කළේ නැත. තම ආත්ම පරිත්‍යාගි ජීවිත අභිමුවේ ඔවුහු අව්‍යාජ ප්‍රීතියක් විහිදුවාලූවෝ ය. මෙම “අන්තිම දවස්” කැපී පෙනෙන්නට සලස්වන, තමා ව ම පිනවීමේ ලෞකික ස්වභාවයකින් යුත් අය සමඟ සසඳන කළ මොනතරම් කැපී පෙනෙන වෙනසක් ද!—2 තිමෝති 3:1-4.
යේසුස් වහන්සේගේ ආත්ම පරිත්‍යාගි ස්වභාවය වර්ධනය කර ගෙන පවත්වා ගන්න
10. (අ) පිලිප්පි 2:5-8ට අනුව, ක්‍රිස්තුස් වහන්සේ තමාට තමා ව ම අහිමි කර ගත්තේ කෙසේ ද? (ආ) අප ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් නම්, අප විදහා පෑ යුත්තේ කිනම් මානසික ආකල්පය ද?
10 තමාට තමා ව ම අහිමි කර ගැනීමේ ආදර්ශය යේසුස් වහන්සේ විසින් ම තබන ලදි. තම වධ කණුව උසුලා ගත් උන් වහන්සේ, තම පියාණන්ගේ කැමැත්ත කිරීම මගින් නිරන්තරයෙන් ම එය රැගෙන ගිය සේක. පිලිප්පියේ විසූ ක්‍රිස්තියානින් හට පාවුල් මෙසේ ලීවේ ය: “ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම [මානසික ආකල්පය ම NW] නුඹලා තුළත් තිබේවා. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා, එය ඉවත්කර දාසයෙකුගේ [වහලෙකුගේ NW] ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, [යටත් වී NW] මරණය, එසේය, කුරුසියේ [වධ කණුවක NW] මරණය දක්වා කීකරුවූසේක.” (පිලිප්පි 2:5-8) මීටත් වඩා වැඩියෙන් මුළුමනින් ම තමාට තමා ව ම අහිමි කරගන්නට පුළුවන් කාට ද? ඔබ ක්‍රිස්තුස් යේසුස් වහන්සේට අයත් නම්, ඔබ උන් වහන්සේගේ අනුගාමිකයන්ගෙන් කෙනෙකු නම්, ඔබ මෙම මානසික ආකල්පය පවත්වා ගත යුතු ය.
11. ආත්ම පරිත්‍යාගි ජීවිතයක් ගත කිරීම යන්නෙන් අදහස් කරන්නේ කාගේ කැමැත්ත උදෙසා ජීවත්වීම ද?
11 යේසුස් වහන්සේ අප වෙනුවෙන් මිය ගිය නිසා, හොඳින් සූදානම් වූ සොල්දාදුවන් මෙන්, ක්‍රිස්තියානින් වන අපත් ක්‍රිස්තුස් වහන්සේට තිබූ එම ස්වභාවයෙන් ම සන්නාහ සන්නද්ධ විය යුතු බව තවත් ප්‍රේරිතවරයෙකු වූ පේතෘස් අපට පවසයි. ඔහු මෙසේ ලියයි: “ඉතින් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් (අප උදෙසා) වධවින්ද බැවින්, මාංසයේ ඉතිරිව තිබෙන කාලයෙහි තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව, දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත්වෙන පිණිස එම සිත [මානසික ස්වභාවය NW] ආයුධයක් කොට පැළඳ ගනිල්ලා. මක්නිසාද මාංසයෙන් වධවින්ද තැනැත්තේ පාපයෙන් නිදහස්වී සිටියි.” (1 පේතෘස් 3:18; 4:1, 2) යේසුස් වහන්සේගේ ආත්ම පරිත්‍යාගි ක්‍රියා මාර්ගය, උන් වහන්සේට ඒ ගැන හැඟුණු ආකාරය පැහැදිලි ව පෙන්වී ය. තම භක්තිය තුළ තනි මනසකින් යුක්ත ව සිටි උන් වහන්සේ, තමාගේ කැමැත්තට ඉහළින් සෑම විට ම තම පියාණන්ගේ කැමැත්ත තැබුවේ, නින්දිත මරණයකට පවා පාත්‍ර වෙමිනි.—මතෙව් 6:10; ලූක් 22:42.
12. ආත්ම පරිත්‍යාගි ජීවිතයක් යේසුස් වහන්සේ හට අප්‍රියජනක එකක් වී ද? පැහැදිලි කරන්න.
12 යේසුස් වහන්සේගේ ආත්ම පරිත්‍යාගි ජීවිතය උන් වහන්සේට අනුගමනය කිරීමට තිබූ මාර්ගය දුෂ්කර එකක් කළ ද, අභියෝගාත්මක එකක් කළ ද, උන් වහන්සේ එය අප්‍රියජනක එකක් ලෙස සැලකුවේ නැත. ඒ වෙනුවට, දිව්‍ය කැමැත්තට තමා ව ම යටත් කර ගැනීමේ ලා උන් වහන්සේ සතුට භුක්ති වින්ද සේක. උන් වහන්සේ හට, තම පියාණන් වහන්සේගේ වැඩ ආහාර මෙන් විය. යමෙකු හොඳ ආහාරයකින් වින්දනයක් ලබනවාක් සේ, උන් වහන්සේ එයින් සැබෑ තෘප්තියක් ලැබූ සේක. (මතෙව් 4:4; යොහන් 4:34) මේ අයුරින්, ඔබට ඔබගේ ජීවිතය තුළ සැබවින් ම පිරී තිබෙන බවක් දැනීමට වුවමනා නම්, යේසුස් වහන්සේගේ මානසික ස්වභාවය වර්ධනය කර ගැනීම මගින් උන් වහන්සේගේ ආදර්ශය අනුගමනය කරනවාට වඩා හොඳ කිසිවක් ඔබට කළ නොහැක.
13. ප්‍රේමය, ආත්ම පරිත්‍යාගි ස්වභාවය පිටුපස තිබෙන පොලඹවන සුලු බලය වන්නේ කෙසේ ද?
13 ඇත්තෙන් ම, ආත්ම පරිත්‍යාගි ස්වභාවය පිටුපස තිබෙන පොළඹවන බලය කුමක් ද? එක් වචනයකින් කියතොත්, ප්‍රේමය ය. යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “තාගේ මුළු හෘදයෙන්ද තාගේ මුළු ආත්මයෙන්ද තාගේ මුළු බුද්ධියෙන්ද තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] ප්‍රේම කරව. මේක උතුම්වූ පළමුවෙනිවූ අඥාවය. මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, තට මෙන් තාගේ අසල්වාසියාට ප්‍රේම කරව යනුය.” (මතෙව් 22:37-39) තමාගේ ම කැමැත්ත කිරීමට සොයන අතර ම මෙම වචනවලට කීකරු වීමට ද ක්‍රිස්තියානියෙකුට කළ නොහැක. ඔහුගේ ම සන්තෝෂය සහ ප්රියමනාපයන් පළමු කොට හා ප්‍රධාන කොට පාලනය විය යුත්තේ, යෙහෝවඃ වහන්සේට ඔහු තුළ තිබෙන ප්‍රේමයත්, ඒ සමඟ ම, අසල් වාසියා කෙරෙහි ඔහුට තිබෙන ප්‍රේමයත් මගින් ය. යේසුස් වහන්සේ සිය ජීවිතය ගත කළ ආකාරය මෙයයි, උන් වහන්සේ සිය අනුගාමිකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ ද මෙයයි.
14. (අ) හෙබ්‍රෙව් 13:15, 16 හි කිනම් වගකීම් පැහැදිලි කර තිබේ ද? (ආ) ජ්වලිතකමින් යුතු ව ශුභාරංචිය දේශනා කිරීමට අප ව පොලඹ වන්නේ කුමක් ද?
14 ප්‍රේරිත පාවුල් මෙම ප්‍රේමයේ ව්‍යවස්ථාව වටහා ගත්තේ ය. ඔහු මෙසේ ලීවේ ය: “දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු. නුමුත් යහපත්කම් කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත් මතකනැති නොකරල්ලා. මක්නිසාද එයාකාර පූජාවලට දෙවියන්වහන්සේ ප්‍රසන්නවනසේක.” (හෙබ්‍රෙව් 13:15, 16) ක්‍රිස්තියානිහු, සත්ත්ව පූජා හෝ ඒ හා සමාන දේවල් යෙහෝවඃ වහන්සේට පූජා නොකරති; මේ නිසා, ලී ගල්වලින් සෑදුණු දේවමාලිගාවක සේවය කරන මිනිස් පූජකයන් ඔවුන්ගේ නමස්කාරයේ දී ඔවුන්ට අවශ්‍ය නැත. අපගේ ප්රශංසාවේ පූජාව ඔප්පු කරනු ලබන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළිනි. ඇරත් දෙවියන් වහන්සේ උදෙසා අපගේ ප්‍රේමය අප පෙන්වන්නේ, ප්‍රධාන වශයෙන්, එම ප්රශංසාවේ පූජාව, එනම් උන් වහන්සේගේ නාමය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම මගිනි. විශේෂයෙන්, ප්‍රේමය තුළ මුල් බැස ගත් අපගේ පරාර්ථකාමි ස්වභාවය, ජ්වලිතකමින් යුතු ව ශුභාරංචිය දේශනා කිරීමටත්, අපගේ තොල්වල ඵල දෙවියන් වහන්සේට පුද කිරීමටත් ඕනෑ ම මොහොතක සූදානම් ව සිටීමට දැඩි පරිශ්‍රමයක් දැරීමටත් අප ව දිරිගන්වයි. මේ මාර්ගයෙන් අපි අසල්වැසි ප්‍රේමය ද පෙන්වන්නෙමු.
ආත්ම පරිත්‍යාගය මහඟු ආශීර්වාද ගෙන එයි
15. ආත්ම පරිත්‍යාගය සම්බන්ධයෙන් සෝදිසි කරවන සුලු කිනම් ප්‍රශ්න අපට අපගෙන් ම ඇසිය හැකි ද?
15 මොහොතකට නැවතී, පහත සඳහන් ප්‍රශ්න ගැන කල්පනා කර බලන්න; මගේ වත්මන් ජීවන රටාව, ආත්ම පරිත්‍යාගයේ ස්වභාවයක් විදහා පෙන්වනවා ද? එවන් ජීවිතයක් ගත කරන බවට මාගේ ඉලක්කවලින් පෙනේ ද? මගේ පවුලේ සාමාජිකයන් මගේ ආදර්ශයෙන් ආත්මික ලාභ ප්‍රයෝජන නෙලා ගනිමින් සිටිනවා ද? (1 තිමෝති 5:8 සසඳන්න.) මව්පිය නැති දරුවන් හා වැන්දඹුවන් ගැන කුමක් කිව හැකි ද? මගේ ආත්ම පරිත්‍යාගි ස්වභාවයෙන් ඔවුනුත් ප්‍රයෝජන ලබනවා ද? (යාකොබ් 1:27) මගේ ප්‍රසිද්ධ ප්රශංසාවේ පූජාවට මා ගත කරන කාලය පුළුල් කිරීමට මට හැකි ද? පුරෝගාමි, බෙතෙල් හෝ මිෂනාරි සේවයේ වරප්‍රසාදය අත්කර ගැනීම සඳහා මට වීර්ය කළ හැකි ද, එසේ නැතහොත්, රාජ්‍යය ප්‍රකාශකයන් සඳහා අවශ්‍යතාවය වැඩි ප්‍රදේශයක සේවය කිරීමට මට යා හැකි ද?
16. ආත්ම පරිත්‍යාගි ජීවිතයක් ගත කිරීමට උපාය දක්ෂ භාවය අපට කෙසේ උපකාරවත් වේවි ද?
16 ආත්ම පරිත්‍යාගි ස්වභාවයකින් යුතු ව යෙහෝවඃ වහන්සේට සේවය කිරීමේ ලා අපගේ පූර්ණ හැකියාව කරා ළඟා වීම සඳහා අවශ්‍ය වනුයේ උපාය දක්ෂ බවක් දැක්වීම පමණකි. නිදසුනක් වශයෙන්, ඉක්වදෝරයේ එක් ස්ථාවර පුරෝගමියෙකු ලෙස සේවය කළ ජැනට්, පූර්ණ කාලීන ව ලෞකික රැකියාවක නියැලුණා ය. වැඩිකල් යන්නට මත්තෙන්, ඇගේ වැඩ කාල සටහන නිසා ප්‍රියමනාප ස්වභාවයකින් යුතු ව ඇගේ ස්ථාවර පුරෝගාමි පැය අවශ්‍යතාවය සපුරාලීම දුෂ්කර කාර්යක් විය. තම ගැටලුව ගැන තම ස්වාමියාට පැහැදිලි කරන්නට තීරණය කළ ඈ, තම සේවා පැය අඩු කරන ලෙස ඉල්ලා සිටියා ය. ඇගේ සේවා කාලය අඩු කරන්නට ඔහු අකමැති වූ නිසා, ඈ ඊළඟට, පුරෝගාමි සේවයේ යෙදීමට හැකිවන පරිදි අර්ධ කාලීන රැකියාවක් සොයමින් සිටි මරියා ව තමා සමඟ රැගෙන ගියා ය. සම්පූර්ණ දවසක වැඩ බෙදා ගනිමින්, එක් අයෙක් දවසේ අඩක් බැගින් වැඩ කරන්නට දෙදෙනා ම කැමති බව ඉදිරිපත් කර සිටියහ. ස්වාමියා යෝජනාවට එකඟ විය. දැන් සහෝදරියන් දෙදෙනා ම ස්ථාවර පුරෝගාමින් ය. මෙම පුදුමාකාර ප්‍රතිඵලය දැකීමෙන්, එම සමාගමේ ම තම පූර්ණ කාලීන රැකියාවෙන් විඩාවට පත් ව සිටි, එමෙන් ම පුරෝගාමි සේවයට කාලය ලබා ගන්නට පොර බදමින් සිටි කාෆා, මාගාලි ව ද රැගෙන ගොස් එම අදහස ම ඉදිරිපත් කොට සිටියා ය. එය ද භාර ගැණිනි. මෙසේ, දෙදෙනෙක් පූර්ණ කාලීන සේවයෙන් ඉවත් ව යන තැනට පැමිණෙනවා වෙනුවට, දැන් සහෝදරියන් හතරදෙනෙකුට පුරෝගාමි සේවය කරන්නට හැකි වී තිබේ. උපාය දක්ෂ බව සහ මුල් පියවර ගැනීම ප්‍රයෝජනදායක ප්‍රතිඵල ලබා දුණි.
17-21. එක් විවාහක යුවළක්, තම ජීවිතයේ අරමුණ යළි විභාග කර බැලුවේ කෙසේ ද, තව ද කිනම් ප්‍රතිඵල සහිත ව ද?
17 තවදුරටත්, පසුගිය වසර දහය තුළ ඉවොන් විසින් අනුගමනය කළ ආත්ම පරිත්‍යාගි ස්වභාවය ගැන සලකා බලන්න. වර්ෂ 1991 මැයි මාසයේ දී ඈ වොච් ටවර් සමිතිය වෙත මෙසේ ලීවා ය:
18 “වර්ෂ 1982 ඔක්තෝබර් මාසයේ දී, මගේ පවුලේ අය සහ මම බෘක්ලින් හි බෙතෙල් නිවාසය පුරා සංචාරය කළා. එය දැකීමෙන් එහි ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට මා තුළ ආශාවක් ඇති වුණා. මා ඒ සඳහා වූ අයදුම් පතක් කියෙවූ අතර, එහි සැලකිය යුතු ප්‍රශ්නයක් තිබුණා. එය නම්, ‘පසුගිය හය මාසය පුරා ක්ෂේත්‍ර සේවයේ ඔබගේ සාමාන්‍ය පැය ගණන කොපමණ ද? සාමාන්‍ය පැය ගණන දහයකට වඩා අඩු නම්, ඊට හේතු පැහැදිලි කරන්න.’ කිසිදු වලංගු හේතුවක් ගැන සිතන්නට මට බැරි වුණා. එමනිසා මා ඉලක්කයක් තැබූ අතර මාස පහකින් එය වෙත එළැඹීමට හැකි වුණා.
19 “පුරෝගාමි සේවය නොකිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු කිහිපයක් ගැන සිතන්නට මට හැකි වුවත්, මා 1983 යියර් බුක් ඔෆ් ජෙහෝවාස් විට්නසස් [1983 යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත] කියෙව්වායින් පසු, පුරෝගාමි සේවය කිරීම සඳහා වෙනත් අය මටත් වඩා විශාල බාධාවන් ජය ගෙන තිබෙන බව මට ඒත්තු ගියා. එමනිසා, 1983 අප්‍රියෙල් 1දා මම මගේ ලාභ උපයන පූර්ණ කාලීන රැකියාව අත්හැර, උපකාරික පුරෝගාමියෙකු බවට පත් වුණා, ඉන් පසු 1983 සැප්තැම්බර් මස 1දා මා ස්ථාවර පුරෝගාමින්ගේ ශ්‍රේණියට ඇතුලත් වුණා.
20 “පසු ව, 1985 අප්‍රියෙල් මාසයේ දී කදිම උපස්ථායක සේවකයෙකු සමඟ විවාහ වීමට ලැබීම මට සතුටක් වුණා. වසර තුනකට පසු, එක් දිස්ත්‍රික්ක සමුළුවක පුරෝගාමි සේවය පිළිබඳ ව ඉදිරිපත් වුණු කථාවකින් පොලඹවනු ලැබූ මගේ සැමියා මගේ කනට කොඳුරා මෙසේ කීවා, ‘මා සැප්තැම්බර් 1දා සිට පුරෝගාමි සේවය ආරම්භ නොකළ යුතු යම් හේතුවක් ඔබට පෙනෙනවා ද?’ ඊළඟ වසර දෙකට මෙම සේවය කරන්නට ඔහු මා සමඟ හවුල් වුණා.
21 “මගේ සැමියා සති දෙකකට බෘක්ලින් හි බෙතෙල් ඉදිකිරීමේ කටයුතු සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර, ජාත්‍යන්තර ගොඩනැගීමේ වැඩසටහන සඳහා අයදුම් කළා. ඉතින් 1989 මැයි මාසයේ දී, අපි ශාඛා කාර්යාල ඉදිකිරීම් කටයුතු සඳහා මාසයකට නයිජීරියාව බලා ගියා. හෙට, අපි ජර්මනිය බලා පිටත් ව යනවා. එහිදී අපට පෝලන්තයට ඇතුල් වන්නට වීසා පිළියෙළ කෙරෙනවා. එවැනි මතකයේ රැඳෙන ඓතිහාසික ගොඩනැගීමේ ව්‍යාපෘතියක නියැලීමට ලැබීම ගැනත්, පූර්ණ කාලීන සේවයේ මෙම නව මුහුණුවරේ කොටසක් වීමට ලැබීම ගැනත් අපි ඉතා සතුටට පත් වෙනවා.”
22. (අ) පේතෘස් මෙන්, අප නොදැනුවත් ව ම වාගේ පැකිලීමට තුඩු දෙන බාධාවක් විය හැක්කේ කෙසේ ද? (ආ) ආත්ම පරිත්‍යාගි ස්වභාවයකින් යුතු ව යෙහෝවඃ වහන්සේට සේවය කිරීම කුමක් මත නොරැඳේ ද?
22 පුරෝගාමි සේවය කිරීමට ඔබට හැකියාවක් නැත්නම්, පූර්ණ කාලීන සේවයේ යෙදී සිටින අය ව ඔවුන්ගේ වරප්‍රසාදයට ඇලී සිටින ලෙස දිරිගන්වන්නටත්, සමහරවිට එසේ කිරීම සඳහා ඔවුන්ට උපකාර කරන්නටත් ඔබට හැකි ද? නොඑසේනම්, ඔබ, පූර්ණ කාලීන සේවයේ නියැලී සිටින්නෙකුට එය පැකිලීමට තුඩු දෙන බාධාවක් වන බවට වටහා නොගනිමින්, පහසු ගන්නා මෙන්, තමා ගැනත් සිතන මෙන් හොඳ චේතනාවෙන් යුතු ව පවසන, පේතෘස් වැනි පවුලේ සාමාජිකයෙක් හෝ මිතුරෙක් හා සමාන වන්නෙහි ද? පුරෝගාමියෙකුගේ සෞඛ්‍ය බරපතළ උවදුරු තත්ත්වයක තිබේ නම්, හෝ ඔහු තම ක්‍රිස්තියානි වගකීම් නොසලකා හරිමින් සිටින්නේ නම්, ඔහුට යම් කලකට තම පූර්ණ කාලීන සේවය නතර කරන්නට සිදු විය හැකි ය. ආත්ම පරිත්‍යාගි ස්වභාවයකින් යුතු ව යෙහෝවඃ වහන්සේට සේවය කිරීම, පුරෝගාමියෙකු, බෙතෙල් සාමාජිකයෙකු, හෝ වෙන අයෙකු ලෙස සේවය කිරීමේ යම් ලේබලයක් මත රඳා පවතින්නේ නැත. ඒ වෙනුවට, එය රඳා පවතින්නේ, අප කුමන අය ද යන්න මතයි—එනම් අප සිතන ආකාරය, අප කරන දේ, අප අන්‍යයන්ට සලකන ආකාරය හා අප අපගේ ජීවිත ගත කරන ආකාරය මත ය.
23. (අ) දෙවියන් වහන්සේ සමඟ හවුල් වැඩකරුවෙකු වීමේ ප්‍රීතිය දිගට ම තබා ගැනීමට අපට හැක්කේ කෙසේ ද? (ආ) හෙබ්‍රෙව් 6:10-12 හි අපට දක්නට ඇත්තේ කිනම් සහතිකය ද?
23 අපට සැබවින් ම ආත්ම පරිත්‍යාගි ස්වභාවයක් තිබේ නම්, දෙවියන් වහන්සේගේ හවුල් වැඩකරුවන් වීමේ ප්‍රීතිය අපට තිබෙනු ඇත. (1 කොරින්ති 3:9) අප යෙහෝවඃ වහන්සේගේ හෘදය සතුටු කරන බව දැනගැනීමේ තෘප්තිය අපට තිබෙනවා ඇත. (හිතෝපදේශ 27:11) තව ද අප යෙහෝවඃ වහන්සේට ඇදහිලිවන්ත ව සිටින තාක්කල්, උන් වහන්සේ කිසිවිටෙකත් අප ව අමතක නොකරන බවටත් අප ව අත්හැර නොදමන බවටත් වූ සහතිකය අපට තිබේ.—හෙබ්‍රෙව් 6:10-12.
[පාදසටහන්වල]
a ග්‍රීක් භාෂාවෙන්, “පැකිලීමට ඉවහල්වන බාධාව” (σκʹανδαλον, ස්කන්ʹඩා·ලොන්) මුල දී, “ඇම අටවා තිබූ උගුලක කොටසක නමකි, එබැවින්, එය උගුල හෝ මලපත ම” වූයේ ය.—වයින්ස් එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් ඕල්ඩ් ඇන්ඩ් න ටෙස්ටමන්ට් වර්ඩ්ස්.
ඔබගේ සිතුවිලි මොනවා ද?
◻ පේතෘස් නොදැනුවත් ව ම ආත්ම පරිත්‍යාගි ක්‍රියා මාර්ගයකට පැකිලීමට තුඩු දෙන බාධාවක් වූයේ කෙසේ ද?
◻ තමාට තමා ව ම අහිමි කර ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?
◻ ක්‍රිස්තියානියෙක් තමාගේ වධ කණුව උසුලාගෙන යන්නේ කෙසේ ද?
◻ අප ආත්ම පරිත්‍යාගි ස්වභාවයක් වර්ධනය කර ගෙන පවත්වා ගෙන යන්නේ කෙසේ ද?
◻ ආත්ම පරිත්‍යාගි ස්වභාවය පිටුපස ඇති පොලඹවන බලය කුමක් ද?
[10වන පිටුවේ පින්තූරය]
ඔබ, ඔබට ඔබ ව ම අහිමි කර ගෙන, ඔබගේ වධ කණුව උසුලා ගෙන, නිරන්තරයෙන් ම යේසුස් වහන්සේ ව අනුගමනය කරන්නෙහි ද?