ආත්ම-පරිත්‍යාගි ස්වභාවයක් ඇතුව සිටින්න!
රොල්ෆ්a වනාහි අගය කරන ලද සේවකයෙකු ව සිටියේ ය. තම ක්‍රිස්තියානි දේව සේවය තුළ හවුල්වීම පුළුල් කිරීමට හැකි වන පිණිස, අර්ධ-කාලීන රැකියාවක් ලබා ගැනීමට ඔහු තීරණය කළ විට, ඔහුගේ ස්වාමියා වහා ම ඊට සහයෝගය දැක්වී ය. එමනිසා රොල්ෆ් හට වසර ගණනාවකට පුරෝගාමි සේවය භුක්ති විඳින්නට හැකි විය. එනමුත්, එක් දිනක් වැඩවල තත්ත්වය වෙනස් විණි. රොල්ෆ් තමාගේ වැඩවල දක්ෂ බව කොතරම් ඔප්පු කර තිබුණා ද කියා කිවහොත්, සමාගමේ අලෙවි කළමනාකරුගේ තත්ත්වය ඔහු හට ඉදිරිපත් කරනු ලැබිණි. මේ රැකියාව ඔහු කරා පැමිණියේ සිත් ඇදගන්නා සුලු වැටුපක් හා තවත් දියුණු වීමේ හොඳ අභිලාෂයන් ද සහිතවයි. කෙසේ වෙතත්, තවදුරටත් අර්ධ-කාලීන වැඩ කිරීමට නොහැකි වනු ඇත.
රොල්ෆ්ට නඩත්තු කිරීම සඳහා භාර්යාවක් සහ දරුවන් දෙදෙනෙකු සිටි අතර, ලැබෙන අතිරේක මුදල් ප්‍රයෝජනවත් වන්නට තිබිණි. කෙසේ නමුත්, මෙම ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළ ඔහු, තමාගේ ආත්මික හා මූල්‍යමය වගකීම් සපුරාලීමට තමන්ට ඉඩ දෙනු ඇති වෙනත් රැකියාවකට අයදුම් කළේ ය. රොල්ෆ්ගේ තීරණය ගැන ඔහුගේ ස්වාමියා මවිත විය. වඩා වැඩි වැටුපක් ඉදිරිපත් කිරීම පවා නිෂ්ඵල දෙයක් වනු ඇති බව වටහා ගත් ස්වාමියා මෙසේ නිගමනය කළේ ය: “මට පේන හැටියට නම්, ඔබගේ ස්ථිර විශ්වාසය සමඟ මට තරඟ කරන්නට බැහැ.”
එසේ ය, රොල්ෆ් හට ස්ථිර විශ්වාසයක් තිබිණි. එහෙත් ඔහුට තවත් ගුණාංගයක් තිබිණි—එය නම් ආත්ම-පරිත්‍යාගි ස්වභාවයයි. එවන් ස්වභාවයක් අප ජීවත් වන මෙම ආත්ම-වින්දන ලෝකයේ දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. එහෙත්, එය ප්‍රයෝජනදායක සහ තෘප්තිය ගෙන දෙන ජීවිත රටාවකට තුඩු දිය හැකි ය. ආත්ම-පරිත්‍යාගි ස්වභාවය යනු කුමක් ද? එයට ඇතුළත් වන්නේ මොනවා ද? තව ද එය පවත්වා ගෙන යාම සඳහා අප කළ යුත්තේ කුමක් ද?
බයිබල් අවශ්‍යතාවයකි
පරිත්‍යාගය යනු වටිනා යම් දෙයක් අත්හැරීම ය නැතහොත් පවරා දීම ය. පරිත්‍යාගය වනාහි, පළමු ඇදහිලිවන්ත සාක්ෂිකරුවා වූ ආබෙල්, “තමාගේ රැළේ කුලුඳුලන්ගෙන්” දෙවියන් වහන්සේට යාගයක් ඔප්පු කළ දා පටන් නිර්මල නමස්කාරයේ කොටසක් වී තිබේ. (උත්පත්ති 4:4) ඇදහිල්ලේ මිනිසුන් වූ නෝවා සහ යාකොබ් වැනි අය, ඊට ම ගැළපෙන සේ ක්‍රියා කළහ. (උත්පත්ති 8:20; 31:54) සත්ත්ව පූජා ද මෝසෙස්ගේ ව්‍යාවස්ථාවේ වැදගත් අංගයක් විය. (ලෙවී කථාව 1:2-4) එනමුත්, තමන් සතු ඉතා හොඳ ම දේ පූජා කරන ලෙස ව්‍යවස්ථාව යටතේ සිටින්නන්ට අනුශාසනා කරන ලදි. පූජාවක් වශයෙන් යම් කැලලක් ඇති සතෙකු ව ඔප්පු කිරීමට ඔවුන් හට ඉඩ ලැබුණේ නැත. (ලෙවී කථාව 22:19, 20; ද්විතීය කථාව 15:21) ධර්මභේදී ඊශ්‍රායෙලිතයන් මෙම නීතිය උල්ලංඝණය කළ විට, දෙවියන් වහන්සේ මෙසේ ඔවුන්ට තරවටු කළ සේක: “ඔබ කොර සතෙකු [පූජාවක් සඳහා] ඔප්පු කරන කල, ‘එහි කිසි වරදක් නැත’ [යයි ඔබ කියයි], කරුණාකර, එය ඔබගේ ආණ්ඩුකාරයා ළඟට ගෙන යන්න. ඔහු ඔබ ගැන සතුටු වනු ඇත් ද? එසේ නැතහොත් ඔහු ඔබ ව කාරුණික ව පිළිගනු ඇත් ද? . . . එය ඔබගේ අත්වල තිබිය දී මට සතුටු විය හැකි ද?”—මලාකි 1:8, 13, NW.
පරිත්‍යාගයේ ප්‍රතිපත්තිය ක්‍රිස්තියානි නමස්කාරය තුළට ගෙන යන ලදි. කෙසේ වෙතත්, ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ මිදීමේ මිලය ගෙවා තිබූ හෙයින්, සත්ත්ව පූජා තවදුරටත් දෙවියන් වහන්සේට පිළිගත නොහැකි විය. එසේ නම්, පිළිගත හැකි ලෙස ක්‍රිස්තියානින්ට පූජා කළ හැක්කේ කුමක් ද? රෝම 12:1 හි පාවුල් මෙසේ ලියයි: “එබැවින්, සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුත්ටධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.” මොනතරම් විස්මපත් කරවන වෙනසක් ද! මළ සිරුරු පූජා කරනවා වෙනුවට, ක්‍රිස්තියානින්ට පූජා කිරීමට තිබුණේ තමන් ව ම ජීවමාන ව ඔප්පු කිරීමට ය, එනම් ඔවුන්ගේ ශක්තීන්, සම්පත්, හා කුසලතාවයන් ඔප්පු කිරීම ය. ඊශ්රායලයෙහි මෙන්, “කොර” හෙවත් අඩ හෘදයකින් යුත්, පූජාවන් යෙහෝවඃ වහන්සේ භාර නොගන්නවා ඇත. ස්වකීය සේවයකයන් තමන්ගේ හොඳ ම දේ තමන් වහන්සේට දෙන මෙන් ද, ඔවුන්ගේ මුළු හෘදයෙන්, ආත්මයෙන්, බුද්ධියෙන් සහ ශක්තියෙන් තමන් වහන්සේට සේවය කරන මෙන් ද උන් වහන්සේ උදක් ම ඉල්ලා සිටින සේක.—මාර්ක් 12:30.
මේනයින්, ආත්ම-පරිත්‍යාගි ස්වභාවයකට ඇතුළත් වන්නේ යමෙක් රැස්වීම් සටහනකට සහ ක්‍රිස්තියානි දේව සේවයේ කටයුතුවලට තමා ව ම යොදවා ගැනීමට වඩා බොහෝ සෙයින් වැඩි යමකි. ඉන් අදහස් කරන්නේ, දරන්නට සිදු වන වියදම කුමක් වුවත්, දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමට අධිෂ්ඨාන කිරීමයි. ඉන් අදහස් කරන්නේ, අමාරුකම් සහ අපහසුතාවයන් දරා ගැනීමට සූදානම් ව සිටීමයි. යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය [වධ කණුව NW] රැගෙන, මා අනුව [දිගට ම NW] ඒවා.” (මතෙව් 16:24) ක්‍රිස්තියානිවරයෙක්, පුද්ගලික අභිලාෂයන් හෝ ද්‍රව්‍යවාදී ඉලක්කයන් තමාගේ ජීවිතයේ ප්‍රධාන දේ යයි සලකන්නේ නැත. ඔහුගේ ජීවිතය කේන්ද්‍රගත වී ඇත්තේ, පළමු ව දෙවියන් වහන්සේගේ රාජ්‍යය සහ උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම සෙවීම මත ය. (මතෙව් 6:33) අවශ්‍ය වුවහොත්, ඔහු තමාගේ “වධ කණුව ඉසිලීම,” එනම් දුක් පීඩා, ලජ්ජාව හෝ මරණය පවා විඳීමට සූදානම් ය!
ආත්ම-පරිත්‍යාගයෙන් පැමිණෙන ආශීර්වාද
එවන් බැරෑරුම් දේවලට මුහුණ පෑමට සිදු වන හෙයින් ආත්ම-පරිත්‍යාගයෙහි යම් වටිනාකමක් ඇත්දැයි යමෙකුට ස්වභාවික ව හැඟෙන්නට පුළුවන. යෙහෝවඃ දෙවියන් වහන්සේට ප්‍රේම කරන සහ උන් වහන්සේගේ නාමය ගෞරවයට පත් වනවා දැකීමට කැමති අයට, සහතික ව ම එය එසේ ය. (මතෙව් 22:37) යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් තබන ලද පරිපූර්ණ ආදර්ශය සලකා බලන්න. මේ පොළොවට පැමිණීමට පෙර, ආත්ම මැවිල්ලක් වශයෙන් උන් වහන්සේ ස්වර්ගයේ උදාර තත්ත්වයක් භුක්ති වින්ද සේක. කෙසේ වුවද, උන් වහන්සේ සිය ගෝලයන්ට වදාළාක් මෙන් උන් වහන්සේ සෙව්වේ, ‘තමාගේ ම කැමැත්ත නොව, නමුත් තමන් ව එවන ලද දෙවියන් වහන්සේගේ කැමැත්ත ය.’ (යොහන් 5:30) එබැවින්, උන් වහන්සේ කැමැත්තෙන් ම “තමා ව ම මුළුමනින් ම නොසලකා, වහලෙකුගේ ස්වරූපය ගෙන, මිනිසා හා සමාන වීමට පැමිණි සේක. ඊටත් වඩා, තමා මිනිසෙකුගේ ආකාරයෙන් සිටිනවා දුටු විට, උන් වහන්සේ තමා ව ම යටත් කර ගෙන, මරණය, එසේ ය, වධ කණුවක් මත මරණය දක්වා කීකරු වූ සේක.”—පිලිප්පි 2:7, 8, NW.
එවන් පරිත්‍යාගයන් ඵල රහිත බවට ඔප්පු වූයේ නැත. යේසුස් වහන්සේ, “තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට” කැමැත්තෙන් සිටි නිසා, අසම්පූර්ණ මිනිසුන් හට ස්වර්ගයේ අමරණීයත්වය හෝ පොළොව මත සදාකාල ජීවනය ලබා ගැනීමට හැකි කරවමින් මිදීමේ මිලය ගෙවීමට උන් වහන්සේට හැකි විණි. (යොහන් 3:16; 15:13; 1 යොහන් 2:2) සිය අඛණ්ඩතාවය පූර්ණ ලෙස පවත්වා ගැනීම මගින්, උන් වහන්සේ, යෙහෝවඃ වහන්සේගේ නාමය මහත් සේ ප්‍රශංසාවට ලක් කළ සේක. (හිතෝපදේශ 27:11) උන් වහන්සේගේ ආත්ම-පරිත්‍යාගි ක්‍රියා මාර්ගයට යෙහෝවඃ වහන්සේ ආශීර්වාද කිරීම ගැන පුදුම වන්නට දෙයක් නැත! “දෙවියන් වහන්සේ උන් වහන්සේ ව සුපිරි තත්ත්වයකට උසස් කොට, වෙනත් සෑම නාමයකට ම වඩා උසස් නාමයක් කාරුණික ව උන් වහන්සේට දානය කළ සේක.”—පිලිප්පි 2:9, NW.
ඇත්ත වශයෙන් ම, යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ඒක-ජාතක පුත්‍රයාණන් වූ සේක. තමන් වහන්සේ උදෙසා පරිත්‍යාගයන් කරන වෙනත් අයටත් දෙවියන් වහන්සේ විපාක දෙන සේක් ද? එසේ ය, තව ද පුරාණ සහ නවීන කාල යන දෙකේ ම බොහෝ ආදර්ශ මගින් මෙය පෙන්නුම් කෙරේ. මෝවබ් ජාතික රූත්ගේ බයිබල් වාර්තාව සලකා බලන්න. ඈ ඇගේ ඊශ්‍රායෙල් ජාතික සැමියාගෙන් යෙහෝවඃ වහන්සේ ගැන ඉගෙන ගෙන තිබූ බවක් පෙනෙන්නට තිබේ. ඔහු මිය ගියායින් පසු, ඈට තීරණයක් ගන්නට සිදු විය. ඈ උපන් මිථ්‍යාදෘෂ්ටික දේශයේ නවතින්නට යනවා ද, නැතහොත් ඈ ඇගේ වයසක නැන්දම්මා වූ නායොමි සමඟ පොරොන්දු දේශය කරා ගමන් කරන්නට යනවා ද? තම දෙමාපියන්ගේ ඇසුර සහ සමහරවිට යළි විවාහ වීමේ අපේක්ෂාව පවා පරිත්‍යාග කරන්නට ඉඩ තිබුණත්, ඈ දෙවෙනු ව සඳහන් දේ කරන්නට තෝරා ගත්තා ය. එහෙත්, රූත් යෙහෝවඃ වහන්සේ ව දැන සිටි අතර, උන් වහන්සේගේ තෝරා ගත් සෙනඟ සමඟ උන් වහන්සේට නමස්කාර කිරීමට වූ ආශාව නායොමි සමඟ ඇලී සිටීමට ඈ ව පෙලඹ වූයේ ය.
එවන් ආත්ම-පරිත්‍යාගයකට රූත්ට විපාක ලැබුණි ද? ඇත්තෙන් ම ඈට ලැබුණි! නියමිත කාලයේ දී, ඉඩම් හිමියෙකු වූ බෝවස් ඈ ව භාර්යාව කොට පාවා ගත් අතර, රූත්, ඔබෙද් නම් පුත්‍රයාගේ මව් බවට පත්වීමෙන්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුතුන් මිත්තනියක් වූවා ය.—මතෙව් 1:5, 16.
නවීන කාලවල දෙවියන් වහන්සේගේ ආත්ම-පරිත්‍යාගශීලී සේවකයන් ද මේ හා සමාන ආශීර්වාද භුක්ති විඳ තිබේ. නිදසුනක් වශයෙන්, 1923 දී, “බයිබල්” බ්‍රවුන් ලෙස වඩාත් ප්‍රසිද්ධ වී ඇති, විලියම් ආර්. බ්‍රවුන්, බටහිර අප්‍රිකාවේ දේශනා කටයුතු සඳහා පෙරමුණ ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වල තම නිවස හැර ගියේ ය. ඔහුගේ බිරිඳ සහ දියණිය ද ඔහු කැටුව ගියෝ ය. ඔහු අවසානයේ දී, දේශනා වැඩයේ ඵල දරන්නට පටන් ගෙන පමණක් තිබූ නයිජීරියාවේ පදිංචිය සඳහා ගියේ ය. වින්සන්ට් සැමුවෙල්ස් නම් කළු ජාතික අමෙරිකානුවෙකු සහ වෙනත් බටහිර ඉන්දීයකොදෙව් සාක්ෂිකරුවෙකු සමඟ, “බයිබල්” බ්‍රවුන්, බටහිර අප්‍රිකාවේ වූ වැඩයේ මුල් අවදියේ ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කළේ ය.
අද දින, “බයිබල්” බ්‍රවුන් සහ ඔහුගේ ආශ්‍රිතයන් පුරෝගාමි ව වැඩ කළ, සියරා ලියොන්, ලයිබීරියා, ඝානා, සහ නයිජීරියාවේ ප්‍රචාරකයෝ 1,87,000කට වඩා සේවය කරමින් සිටිත්. වර්ෂ 1967 දී, සිය මරණයට පෙර, “බයිබල්” බ්‍රවුන් මෙසේ පැවසී ය: “මිනිසුන් සහ ස්ත්‍රීන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචියට කීකරු වෙනවා දැකීම මොනතරම් ප්‍රීතියක් ද!” එසේ ය, තමාගේ ආත්ම-පරිත්‍යාගි ක්‍රියා මාර්ගයට ඔහු බොහෝ සෙයින් ආශීර්වාද ලැබුවේ ය.
ආත්ම පරිත්යාගිශීලී වීමට මාර්ග
අද දින එම ස්වභාවය ම පෙන්වීමට අපට හැකි ඇතැම් මාර්ග මොනවා ද? එක මාර්ගයක් නම්, ගෙයින් ගෙට දේව සේවයේ සති පතා විධිමත් ව හවුල්වීම ය. (ක්‍රියා 20:20) විශේෂයෙන් ම, බාහිර රැකියාවක නියැලීමෙන් සති අන්තයේ වෙහෙසට පත් වී සිටින විට, එසේ කිරීම පහසු නොවිය හැක. හික්ම වීම සහ හොඳින් කාල සටහනක් තබා ගැනීම ඊට අවශ්‍ය කරවිය හැක. විඳීමට සිදුවන ඕනෑ ම අපහසුතාවයන් සලකා බලන කල, ලැබෙන ප්‍රීතිය ඊට වඩා බොහෝ ය. මන්ද, “තීන්තවලින් නොව ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයෙන්ද ගල්ලෑලිවල නොව මාංසවූ සිත [හෘදයන් NW] නැමැති ලෑලිවලද ලියා තිබෙන ක්‍රිස්තුස්වහන්සේගේ පත්‍රයක්” වීමට යමෙකුට උපකාර කිරීමේ වරප්‍රසාදය ඔබට ලබා ගත හැකියි.—2 කොරින්ති 3:3.
සමහරවිට බාහිර රැකියාවෙන් සහ විනෝදාංශවලින් ප්‍රවේසමෙන් “ප්‍රස්තාවේ කාලය මිල දී ගැනීම” මගින්, ඇතැම්හු දේශනා සේවය තුළ තමන්ගේ හවුල්වීම වැඩි කොට තිබේ. (එපීස 5:16, NW) අඩුතරමින් වසරකට එක් වරක්වත් උපකාරික පුරෝගාමි සේවය භුක්ති විඳින්නට හැකි පරිදි බොහෝ අය තම කාල සටහන සකස් කර ගනිති. උපකාරික පුරෝගාමින් ලෙස දිගට ම සේවය කරන්නට හෝ ස්ථාවර පුරෝගාමින් ලෙස සේවය කරන්නට තවත් අයට හැකි වී තිබේ. සලකා බැලීමට තිබෙන තවත් පරිත්‍යාගයක් නම්, වඩාත් රාජ්‍යය ප්‍රචාරකයන් අවශ්‍ය වී ඇති ප්‍රදේශවල පදිංචිය සඳහා යාම ය. ජීවන රටාවේ ප්‍රබල වෙනස්කම්, අපහසුතාවයන් විඳදරා ගැනීම, නව සංස්කෘතීන්ට හා සිරිත් විරිත්වලට හැඩ ගැසීම මේ සඳහා බොහෝ විට අවශ්‍ය කරවයි. එහෙත්, ජීවනය අත්කර ගැනීම සඳහා අන්‍යයන්ට උපකාර කිරීමේ පූර්ණ පංගුකාරකමක ආශීර්වාදයන්, එවන් පරිත්‍යාගයන් වටිනා ඒවා බවට පත් කරයි.
කැනඩාවේ උපත ලද ජෝන් කට්ෆෝර්ත් මෙය පුද්ගලික ව සොයා ගත්තේ ය. වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් හි උපාධිය ලැබුවායින් පසු, ඕස්ට්‍රේලියාවේ මිෂනාරිවරයෙකු වශයෙන් ඔහුට පත්වීමක් ලැබිණි. “එය නිවසෙන් මොනතරම් විශාල දුරක් වුණා ද!” යයි සහෝදර කැට්ෆෝත් සිහි කළේ ය. “මගේ දෙමාපියන් ව මිතුරන් ව අර්මගෙදොනයට පෙර දැක ගැනීමට යළි මට කැනඩාවට එන්ට ලැබේ වි ද? සොයා බැලීමට තිබෙන එක ම මඟ වූයේ යාමයි.” සහෝදර කට්ෆෝත් ගියේ ය, තමා කළ පරිත්‍යාගයන් ගැන ඔහු කනගාටු වුයේ නැත. පසු වසරවල දී, ඔහු පැපුවා න්යූ ගිනියාවේ සාක්ෂිදැරීමේ වැඩයේ පෙරමුණ ගත් අතර, තවමත් ජ්වලිත ව සේවය කරමින් පූර්ණ කාලීන සේවයේ වසර 50ක් සම්පූර්ණ කොට ඇත. වරෙක ඔහු මෙසේ පැවසී ය: “සෑම විට ම යෙහෝවඃ වහන්සේගේ මඟ පෙන්වීම අනුගමනය කිරීමට සෙවීමත්, දීමට සුදුසු යයි උන් වහන්සේට පෙනෙන ඕනෑ ම පැවරුමක් භාර ගැනීමත්, ප්‍රීතිය, සන්තෝෂය, සෑහීම, සහ ගණන් කළ නොහැකි මිතුරන් ගෙන දෙයි.”
ඇත්තෙන් ම, සෞඛ්‍යය, මුදල් තත්ත්වය, සහ පවුල් වගකීම්, ඔබට කළ හැකි දේ සීමා කරනවා වන්නට පුළුවන; පුරෝගාමින් හෝ මිෂනාරිවරුන් ලෙස සේවය කරන්නට සියල්ලන්ට නොහැක. එහෙත්, අයහපත් කාලගුණය වැනි සුළු අපහසුතාවයන්ට ඔබ ව බාධාවට ලක් කිරීමට ඉඩ නොදී, රැස්වීම් සහ ක්ෂේත්‍ර සේවයේ හැකි තරම් දුරට හවුල්වීමට අධිෂ්ඨානයක් ඇතුව සිටින්න. (හෙබ්‍රෙව් 10:24, 25) දෙවියන් වහන්සේගේ වචනය පුද්ගලික ව පාඩම් කිරීම සඳහා ද වඩා වැඩි කාලයක් පරිත්‍යාග කිරීමට ඔබට පුළුවන් විය හැක. ඇතැම් පවුල් එසේ කරන්නේ, රූපවාහිනි වැඩසටහන් බලන වේලාව සීමා කිරීමෙනි, සමහරවිට, සෑම සතියක ම “රූපවාහිනියෙන් තොර රාත්‍රියක්” ඇති ව සිටීමෙනි. නැතහොත් කොහෙත් ම රූපවාහිනියක් නැතු ව සිටීමෙනි. පුද්ගලික පාඩමට කාලය සොයා ගැනීමෙන්, රැස්වීම්වල දී සහ ක්ෂේත්‍ර සේවයේ දී, “උන් වහන්සේගේ නාමය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම” සමඟ ඔබ කරන “ප්‍රශංසාව නැමැති පූජාව” ගුණාත්මක අතින් උසස් පූජාවක් වීමට වඩාත් ඉඩකඩ තිබේ.—හෙබ්‍රෙව් 13:15.
දේශනා වැඩය දැන් එහි අවසාන අදියරවල පවතින බව මතක තබා ගන්න. වැඩිකල් යන්නට මත්තෙන්, දෙවියන් වහන්සේ ස්වකීය විනිශ්චය මෙම ගිජු සහ ස්වයං-පිනවන ලෝකය මත ගෙන එනවා ඇත. (ශෙපනියා 2:3) දෙවියන් වහන්සේගේ අනුමැතිය දිනාගන්නට නම්, අපට ඇඟ බේරා ගෙන වැඩ කරන්නට නොහැක. අපි අපේ ‘ශරීර ජීවමාන වූ, ශුද්ධ වූ, දෙවියන් වහන්සේට පිළිගත හැකි වූ පූජාවක් කොට’ ඔප්පු කළ යුතු ය. (රෝම 12:1) එවන් ස්වභාවයක් මහත් සන්තෝෂයක් සහ සෑහීමක් ගෙන එයි. අපගේ දේව සේවය තුළ වඩාත් ඉතා මහත් ප්‍රීතියක් අත්කර ගැනීමට එය අපට උපකාරී වනු ඇත. තව ද එය යෙහෝවඃ දෙවියන් වහන්සේගේ හදවත සතුටු කරනු නියත ය!—හිතෝපදේශ 27:11.
එමනිසා, ආත්ම-පරිත්‍යාගි ස්වභාවයක් පවත්වා ගන්න! අන්‍යයන් වෙනුවෙන් ඔබ ව ම යෙදවීමටත් රාජ්‍යය කටයුතුවලට අනුබල දීමටත් පසුබට නොවන්න. පාවුල් මෙසේ අනුශාසනා කරයි: “යහපත්කම්කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත් මතකනැති නොකරල්ලා. මක්නිසාද එයාකාර පූජාවලට [පරිත්‍යාග ගැන] දෙවියන්වහන්සේ ප්‍රසන්නවනසේක.”—හෙබ්‍රෙව් 13:16. w92 2/1
[පාදසටහන්වල]
a නම වෙනස් කොට ඇත.
[28වන පිටුවේ පින්තූරය]
පුද්ගලික පාඩම සහ ක්ෂේත්‍ර සේවය සඳහා කාලය සොයා ගැනීමට පරිත්‍යාගය අවශ්‍ය කරවයි, නමුත් එය විපාකදායක ය
[30වන පිටුවේ පින්තූරය]
තම ආත්ම-පරිත්‍යාගි ක්‍රියා මාර්ගය නිසා, ඩබ්. ආර්. බ්‍රවුන් සහ ජෝන් කට්ෆෝත් මහත් සේ ආශීර්වාද ලැබූහ