යෙහෝවඃ වහන්සේ, යෞවන කාලයේ පටන් මගේ විශ්වාසයයි
බැසිල් ට්සාටොස් පැවසූ පරිදි
වර්ෂය 1920 ය; ස්ථානය, ග්‍රීසියේ, සුන්දර පෙලොපොන්නිසොස් හි ආකේඩියා කඳු ය. ලොව මුළුල්ලේ පැතිර යමින් තිබූ මාරාන්තික ස්පාඤ්ඤ සෙම්ප්රතිශ්යාවෙන් බරපතළ ලෙස රෝගාතුර වී, මා ඇඳේ සිටියා.
පල්ලියේ සීනුව නාද වූ සෑම වතාවක ම, එය තවත් රෝගියෙකුගේ මරණය නිවේදනය කළ බව මම තේරුම් ගත්තා. ඊළඟට මැරෙන්නේ මම ද? භාග්‍යයකට මෙන්, මම සුවය ලැබුවත්, මිලියන සංඛ්‍යාවක් එසේ සුවය ලැබුවේ නැහැ. එවකට මා අවුරුදු අටක් පමණක් වයස් ව සිටිය ද, මෙම භයංකර අත්දැකීම තවදුරටත් පැහැදිලි ව මගේ මතකයේ රැඳී තිබෙනවා.
ආත්මික දේ ගැන මුලින් දැක් වූ සැලකිල්ල
ඉන් කෙටි කලකට පසු, සීයා මිය ගියා. අවමඟුලෙන් පසු මගේ නංගි හා මා අපගේ නිවසේ සඳලු තලයේ සිටි විට අම්මා අපට එකතු වුණා මට මතකයි. එහිදී ඇය “ඇත්තට ම, දරුවෙනි, අපි සියලු දෙනා ම මහලු වී මිය යා යුතුයි” කියා නිසංසල ව පැවසුවේ, නිසැක ව ම අපගේ ශෝකය තුනී කිරීමට වෑයමක් වශයෙනුයි.
ඇය එම වදන් ඉතා මෘදු ලෙස පැවසුව ද, ඒවා මට කරදර කරන්නට වුණා. ‘කොතරම් කනගාටුදායක ද! කොතරම් අසාධාරණ ද!’ කියා මම කල්පනා කළා. එහෙත් කොහොමවුණත්, “ස්වාමින් වහන්සේගේ ඊමේ දී, උන් වහන්සේ මළවුන් ව නැවත නැගිටුවයි, ඒ වගේ ම අප තවදුරටත් මැරෙන්නට යන්නේ නෑ!’ යන වදන් අම්මා ඊට එකතු කළ විට, අප දෙදෙනා ම ප්‍රබෝධවත් වුණා. ඇත්තෙන් ම, ඉන් දැනුන සහනය!
එවක් පටන් එම සන්තෝෂදායක කාලය කවදා සිට උදා වනු දැයි සෙවීමෙහි මා දැඩි උනන්දුවක් දක්වන්නට පටන් ගත්තා. මම බොහෝ දෙනාගෙන් එය විමසුව ද, කිසිවෙකුට එය මා හට කියන්නට පුළුවන්කමක් තිබුණේවත්, එම විෂය ගත් විට ඒ ගැන කථා කරන්නට යමෙක් උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබුණේවත් නැහැ.
මට අවුරුදු 12ක් ව සිටිය දී, දිනක්, එක්සත් ජනපදයේ ජීවත් වූ තම සොයුරාගෙන් මගේ පියාට පොතක් ලැබුණා. එහි නාමය ද හාප් ඔෆ් ගෝඩ් වූ අතර, එය ප්‍රකාශයට පත් කර තිබුණේ වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි විසිනි. මා පටුන කියවා බලා, “අපගේ ස්වාමීන් වහන්සේගේ ඊම” යන පරිච්ඡේදය දුටු කල මම ප්‍රීතියෙන් ඉපිල ගියා. මම මහත් උනන්දුවෙන් එය කියෙව්ව ද, එම ඊම වෙනුවෙන් වසරක් සඳහන් නොකිරීම ගැන මා කලකිරීමට පත් වුණා. කෙසේ වෙතත්, එය එතරම් දුරස්තර නොවන බව එම පොත ඇඟෙව්වා.
වැඩිකලක් යන්ට පෙර මා උසස් පාසලට යන්නට පටන් ගත් අතර මගේ පාඩම්වල සහමුලින් ම යෙදෙන්නට වුණා. කෙසේ වෙතත්, අමෙරිකාවේ වෙසෙන මගේ මාමා කලින් කලට මුරටැඹ සඟරාවේ පිටපත් එවූ අතර මා ඒවා ප්‍රීතියෙන් කියෙව්වා. මීට අමතර ව, සෑම ඉරු දිනක ම මා ඉරිදා පාසලට ගියා. බොහෝ අවස්ථාවන්හි මෙයට පැමිණි බිෂොප් අප හා කථා කළා.
එක් නිශ්චිත ඉරු දිනක බිෂොප් මහත් කලබලයට පත් ව “ආගන්තුකයන් මිථ්‍යාමතික ප්රකාශනයන්ගෙන් අපගේ නගරය පුරවනවා” යයි පැවසුවා. ඉන් අනතුරුව මුරටැඹ සඟරාවේ පිටපතක් ඔසවා “ඔබගෙන් යමෙකුට මෙවන් ප්‍රකාශන නිවසේ තිබී හමු වුණොත්, ඒවා පල්ලියට ගෙනෙන්න, මම ඒවා පුලුස්සා දමන්නම්” කියා කෑ ගැසුවා.
ඔහුගේ කට හඬේ ස්වරය මා ව කලබලයට පත් කළ ද, ඊටත් වඩා මා ව කලබලයට පත් කළේ ඔහුගේ පළිගන්නා සුලු ස්වභාවයයි. එබැවින් මම ඔහුගේ ඉල්ලීම අනුව කටයුතු කළේ නැහැ. කෙසේ වෙතත්, වැඩිදුරටත් වොච් ටවර් ප්‍රකාශන නොඑවන ලෙස මම මගේ මාමාට ලියා දැන්නුවා. එහෙත්, මම දිගට ම ක්‍රිස්තුස් වහන්සේගේ ඊම පිළිබඳ කාරණය මෙනෙහි කරන්නට වුණා.
ආත්මික රුචිය වර්ධනය වේ
ග්‍රීෂ්ම නිවාඩු කාලය පැමිණි විට, මගේ ඇඳුම් අහුරන්නට මම මගේ සූට්කේස් එක එළියට ගත්තා. එහි ඇතුලේ වොච් ටවර් සමිතිය මගින් මුද්‍රණය කරන ලද පොත් පිංච තුනක් තිබුණා. කෙසේ හෝ, ඒවා ඊට පෙර මගේ අවධානයට යොමු වුණේ නැහැ. ඉන් එකක නම වෙයා ආ ද ඩෙඩ්? (මළ අය කොතැනක ද?) යන්න ය.
‘එය සිත්ගන්නා බව පෙනේ,’ යයි මම කල්පනා කළා. බිෂොප් දුන් අනතුරු ඇඟවීම සිහිපත් වුව ද, ඒවායේ අඩංගු වූයේ යයි මා කල්පනා කළ වැරදි සෙවීමේ අදහසින් එම පොත් පිංචය පරිස්සමෙන් කියවන්නට මම තීරණය කළා. මම පැන්සලක් රැගෙන මගේ සෙවිල්ල පරීක්ෂාකාරී ව ඇරඹුවා. මා ව මවිතයට පත් කරවමින්, එම පොතේ අඩංගු සියල්ල සාධාරණ යයි පෙනුන අතර පාඨකයාට බයිබලය පරීක්ෂා කළ හැකි ලෙසින් සෑම ප්‍රකාශයක් සඳහා ම ශුද්ධ ලියවිලි පාඨ සඳහන් කර තිබුණා.
අපට බයිබලයක් නොතිබුණ නිසා, සඳහන් කර තිබූ ශුද්ධ ලියවිලි පාඨ ලේඛකයාගේ අදහසට ඔබින ලෙස වැරදි ලෙස යොදා ගෙන තිබුණේ දැයි මම කල්පනා කළා. එබැවින් මම මගේ මාමාට ලියා සම්පූර්ණ බයිබලයේ පිටපතක් මට එවන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා. ඔහු අප්‍රමාද ව පිටපතක් එව්වා. මම මුල සිට අග දක්වා ම එය දෙවරක් කියෙවූ අතර මට තේරුම් ගත නොහැකි බොහෝ දේවල් එහි තිබුණ ද, දානියෙල් හා එළිදරව් පොත් පිළිබඳ ව මා තුළ කුතුහලයක් ඇති වුණා. ඒවා පුරෝකථනය කළ දේවල් මට තේරුම් ගන්නට උවමනා වුවද, මට උපකාර කළ හැකි කිසි කෙනෙක් අවට සිටියේ නැහැ.
මා 1929 දී පාසලෙන් අස් වූ අතර ඉන් මද කලකට පසු අමෙරිකාවේ සිටින මගේ මාමා යළිත් මුරටැඹ සඟරාවේ පිටපත් මට එව්වා. මම වැඩි වැඩියෙන් ඒවා ප්‍රීතියෙන් කියවන්නට පටන් ගත් අතර ක්‍රමවත් ව මට ඒවා එවන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා. මා සඟරාවලින් ඉගෙන ගනිමින් සිටි අනාගතය පිළිබඳ බලාපොරොත්තුව ගැන මම අන්‍යයන් සමඟ කථා කරන්නට ද පටන් ගත්තා. නමුත් ඉන් පසු ව මගේ ජීවිතය අරුම පුදුම අයුරින් වෙනස් වන්නට වුණා.
බුරුමයේ ආත්මික ප්‍රගතිය
මගේ මවගේ සහෝදරයාත් බුරුමයේ (දැන් මයන්මාර් හි) පදිංචියට ගොස් සිටි අතර මා ඔවුන් සමඟ එක් වුණොත්, එය මගේ අත්දැකීම් වැඩි කරනු ඇතැයි ද, ඇතැම් විට මට ව්‍යාපාරික ප්‍රස්තාවන් උදා කරනු ඇතැයි ද පවුලේ අය තීරණය කළා. ප්‍රාචීන දේශ නිතර මගේ සිත් ගත් බැවින්, එහි යාමේ බලාපොරොත්තුව මා කෙරෙහි උද්දීපනයක් ඇති කළා. බුරුමයේ සිටියදීත්, මා දිගට ම මගේ මාමාගෙන් මුරටැඹ සඟරා ලදමුත්, එවකට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව හඳුන්වන ලද ආකාරයට, බයිබල් ශිෂ්‍යයන් ව මට කවදාවත් පුද්ගලික ව හමු වුණේ නැහැ.
ලයිට් නමැති පොත් සඳහා මුරටැඹ සඟරාවේ නිවේදනයක් දැකීමෙන් දිනක් මා බලවත් ප්‍රීතියට පත් වුණා. මෙය එළිදරව් පොත විස්තර කළ පොත් කාණ්ඩ දෙකකි. මීට අමතර ව, බුරුමයේ බයිබල් ශිෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම් සඳහා බොම්බායේ ඇති වොච් ටවර් සමිතියේ ඉන්දියානු ශාඛාවේ භාරය යටතේ තිබුණු බව ද මම ඉගෙන ගත්තා. මම ලයිට් පොත් ඉල්ලා සිටීමටත්, බුරුමයේ දේශනා කිරීමට ඉන්දියාවේ බයිබල් ශිෂ්‍යයන් ව එවන ලෙස ඉල්ලා සිටීමටත් වහා ම ලිපියක් ලිව්වා.
එම පොත් පමාවකින් තොර ව තැපෑලෙන් ලැබුණු අතර සතියක් පමණ ගත වීමෙන් පසු, ප්‍රදේශයේ විසූ බුරුම ජාතික බයිබල් ශිෂ්‍යයන් මා ව බලන්නට ආවා. මා වාසය කළ බුරුමයේ අග නගරය වන රැංගූන් හි (දැන් යැංගන් හි) ඔවුන්ගේ කුඩා කණ්ඩායමක් සිටින බව දැනගැනීම මා ව සතුටට පත් කළා. ඔවුන්ගේ විධිමත් බයිබල් පන්තියට සහභාගි වන්නටත්, ගෙයින් ගෙට දේශනාවේ ඔවුන් සමඟ හවුල් වන්නටත් ඔවුන් මට ආරාධනා කළා. මුලදී මම යම් ප්‍රමාණයක අකැමැත්තක් පෙන්නුව ද, ඉක්මනින් ම බයිබල් දැනුම බෞද්ධයන්, හින්දුවරුන් හා මුස්ලිම්වරුන් මෙන් ම නාමික ක්‍රිස්තියානින් සමඟ ද බෙදා ගැනීමේ ප්‍රීතිය භුක්ති විඳින්නට පටන් ගත්තා.
ඉන් අනතුරුව යුවට් ෆ්‍රැන්සිස් හා රැන්ඩල් හොප්ලි යන නම් දරන (පුරෝගාමින් යයි හඳුන්වනු ලබන) පූර්ණ කාලීන දේව සේවකයන් දෙදෙනෙක් ඉන්දීය ශාඛාව රැංගූන් වෙත එව්වා. මේ දෙදෙනා ම මුල දී එංගලන්තයෙන් පැමිණිය ද, වසර ගණනාවකට ඉන්දියාවේ සේවය කර තිබුණි. ඔවුන් මා ව මහත් සේ දිරිගැන් වූ අතර 1934 දී, යෙහෝවඃ වහන්සේට මගේ කැප වීමේ සංකේතයක් වශයෙන් මම බව්තීස්ම ලැබුවා.
නිර්භීත සාක්ෂියක්
කල් යත් ම ඉන්දීය ශාඛාව වැඩි පුරෝගාමින් සංඛ්‍යාවක් බුරුමයට යැව්වා. ඔවුන්ගෙන් දෙදෙනෙක් වන, ක්ලෝඩ් ගුඩ්මන් හා රොන් ටිපින් දුම්රිය ස්ථානයකට ගොස් එහි දුම්රිය ස්ථානාධිපති ව සිටි සිඩ්නි කූට්ට කථා කළා. හෙතෙම එම පොත් ලබා ගෙන, ඒවා හොඳින් කියවා, මැන්ඩලේ හි විසූ තමාගේ විවාහක සහෝදරිය වන ඩේසි ඩිʹසූසාට ලියන්නට පටන් ගත්තා. එම පොත් සිත් ගන්නා බව ඇයටත් හැඟුණ බැවින් ඇය තවත් වැඩියෙන් ඉල්ලා සිටියා.
ක්‍රියාශීලී කතෝලිකයෙක් ව සිටි ඩේසි, අසාමාන්‍ය ධෛර්යයකින් යුත් තැනැත්තියක් වූවා. ඇය තමාගේ අසල් වැසියන් බැහැදැක තමා ඉගෙන ගනිමින් සිටි දේවල් කියන්නට පටන් ගත්තා. තව ද තමා පල්ලියට පැමිණීම නැවැත්වූයේ මන්දැයි විමසූ මීසමේ පූජකයා ඇය ව බලන්නට පැමිණි අවස්ථාවේ, දැවෙමින් පවතින නිරය වැනි, හෙතෙම උගන්වමින් සිටි දේවලට බයිබලය අනුබල නොදුන් බව ඇය පෙන්වා දුන්නා.
අවසාන වශයෙන්, ඔහු ඇයගෙන් මෙසේ ඇසුවා: “මෙතරම් කාලයක් ඔවුන්ට දැවෙමින් පවතින නිරයක් ගැන කීමෙන් පසු, එවන් ස්ථානයක් නැති බව මා ඔවුන්ට කියන්නේ කොහොම ද? කවරෙකුටවත් පල්ලියට එන්නට ආශාවක් නැති වේවි.”
“ඔබ අවංක ක්‍රිස්තියානියෙක් නම්, ප්‍රතිඵලය කුමක් වුවත්, ඔබ ඔවුන්ට සත්‍ය උගන්වනු ඇත” කියා ඩේසි පිළිතුරු දුන්නා. අනතුරුව ඇය වැඩිදුරටත් කියා සිටියේ: “ඔබ එසේ නොකළොත්, මම කරනවා!” යනුවෙනි. තව ද ඇය එසේ කළා.
ඩික්, ඩේසි හා ඔවුන්ගේ වැඩිමහල් දියණියන් දෙදෙනා මා බව්තීස්මය ලැබූ අවස්ථාවේ දී ම රැංගූන් හි බව්තීස්ම කරනු ලැබුවා. ඉන් වසර තුනකට පසු, 1937 දී, මම ඔවුන්ගේ දෙවන දියණිය වූ, ෆිලිස් ව විවාහ කර ගත්තා.
ඉන්දියාවට පලායාම
දෙවන ලෝක යුද්ධය තුළ ජපන් හමුදාවන් බුරුමය අල්ලා ගත් අතර රැංගූන් නගරය 1942 මාර්තු 8වන දින ඔවුන් අතට පත් වුණා. එහි පදිංචි ව සිටි විදේශිකයන්ට ඉක්මනින් ම ඉන්දියාවට පලා යාමට සිදු වුණා. සිය ගණනක් දෙනා කැලෑ මැදින් එහි යෑමට වෑයම් කළමුත් බොහෝ දෙනෙක් අතර මඟ මිය ගියා. පිටත් කිරීමේ කාර්ය භාර ව සිටි නිලධාරියා ව මා පුද්ගලික ව දැන සිටි නිසා, රැංගූන් සිට බලා ගමන් කරන්නට තිබූ අන්තිම බඩු නැව්වලින් එකක ටිකට් ලබා ගැනීමට මට හැකි වුණා. මෙතරම් කඩිනමින් අපගේ නිවස හා අප සන්තක දේවලින් වැඩි ප්‍රමාණයක් අත්හැර යාම අප සියලු දෙනාට ම කනගාටුදායක අවස්ථාවක් වුණා. වර්ෂ 1942 සිට 1945 දක්වා බුරුමය ජපන් ජාතිකයන්ගේ බලය යටතේ පැවතුණා.
අපි ඉන්දියාවට ගිය විට අප අතේ එතරම් මුදල් නොතිබුණ අතර රැකියාවක් සොයා ගැනීම ද පහසු වූයේ නැහැ. මෙය ඇදහිල්ල පිළිබඳ පරීක්ෂාවක් වුණා. මට බ්‍රිතාන්‍ය ජාතික නිලධාරියෙක් හමු වී, හෙතෙම ලාභ ඉපයිය හැකි සිවිල් රැකියාවක් මට ඉදිරිපත් කළ ද, යුද්ධ හමුදාවට සම්බන්ධ අංශයක සේවය කිරීම ඊට අයත් වුණා. යෙහෝවඃ වහන්සේගේ උපකාරය ඇති ව මට එම රැකියාව ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් වූ අතර එසේ මට පිරිසිදු ක්‍රිස්තියානි හෘදය සාක්ෂියක් පවත්වා ගන්නට පුළුවන් වුණා. (යෙසායා 2:2-4) වෙනත් ක්‍රමවලින් ද අපට යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමනීය හස්තයෙන් උපකාර ලැබුණා.
නවාතැන් පහසුකම් සොයා ගැනීම අපහසු ව තිබූ ඉන්දියාවේ අග නගරය වන නවදිල්ලියේ අප පදිංචි වුණා. එසේ වුවත්, නගරයේ මැද තිබූ ඉඩකඩ ඇති නවාතැනක් අපට සොයා ගන්නට පුළුවන් වුණා. වෙන් වූ ඇතුල්වීමේ දොරටුවක් ඇති විශාල සැප පුටු සහිත ශාලාවක් ඊට අයත් වූ අතර මෙම කාමරය ඊළඟ වසර කීපය තුළ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දිල්ලි සභාවේ රාජ්‍යය ශාලාව හැටියට ප්‍රයෝජනයට ගනු ලැබුවා. කෙසේ වෙතත්, වොච් ටවර් සමිතියේ සියලු පොත් පත් මත 1941 දී ඉන්දියාවේ පනවන ලද තහනම නිසා, අපට බයිබල් ප්‍රකාශන ලබා ගත නොහැකි වුණා.
තහනම ඉවත් කරනු ලැබූ ආකාරය
වර්ෂ 1943 එක් ඉරිදා දවසක, දිල්ලි නගරයේ පල්ලිවල මෙහෙයන්ට සහභාගි වෙමින් සිටි අයට විවිධ පල්ලි 13ක පූජකයන් විසින් අත්සන් තබන ලද පත්‍රිකාවක් ලැබුණා. එය අනතුරු ඇඟවූයේ, “දිල්ලි නගරයේ පුරවැසියෙනි යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රවේසම් වන්න” යනුවෙනි. චෝදනාව වූයේ දේශපාලන හේතු නිසා ඉන්දියාව අප ව තහනම් කර තිබුණු බවයි.
බොම්බායේ ශාඛා කාර්යාලයේ අනුමැතිය ඇති ව, පූජකයන් ව හෙළි කළා වූ පත්‍රිකාවක් අපි ඉක්මනින් ම මුද්‍රණය කර බෙදා හැරියා. මා මුලසුන භාර අවේක්ෂක ව සිටි නිසා, දැඩි ව අදහස් ප්‍රකාශ කරන ලද එම පත්‍රිකාව පහළින් මගේ නම හා ලිපිනය මුද්‍රණය කරනු ලැබුවා. ඊට පසු මාග්රිට් හොෆ්මන්නුත් මාත් එම පත්‍රිකාවේ පිටපත් බෙදා දෙමින් සිටිනවා පොලීසිය දුටු විට, අප ව අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලැබුවා. කෙසේ වෙතත්, ඉක්මනින් ම ඇප මත අප ව නිදහස් කළා.
පසු ව, තමාගේ සේවය තුළ, මාග්රිට්, ඉන්දීය ප්‍රතිරාජයාගේ අමාත්‍ය මණ්ඩලයේ සුප්‍රසිද්ධ ඇමතිවරයෙක් වූ ශ්‍රීමත් ශ්රීවස්ටාවා මහතාගේ නිවසට ගියා. හෙතෙම ඇය ව ආගන්තුක සත්කාරශීලී ව පිළිගත් අතර සාකච්ඡාව තුළ, අපගේ පොත් පත් අයුක්ති සහගත ආකාරයකට ඉන්දියාවේ තහනම් කර තිබෙන බව ඇය ඔහුට කියා සිටියා. එම දිනයේ ම මාග්රිට්ට මදුරාසි ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ව ද හමු වුණා. පාර්ලිමේන්තු රැස්වීමකට සහභාගි වීමට ඔහු නගරයට පැමිණ සිටියා. අපගේ පොත් පත් කෙරෙහි පනවා තිබූ තහනමේ අයුක්ති සහගත භාවය ඇය ඔහුට කියා සිටි අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත රැස්වීමේ දී එම ප්රශ්නය ඉදිරිපත් කරන බවට ඔහු පොරොන්දු වුණා.
ඒ අවස්ථාවේ දී, මම ප්‍රදේශයේ රෝහලක භෞතචිකිත්සකයෙක් හැටියට වැඩ කරමින් සිටියා. ඇත්තෙන් ම, ශ්‍රීමත් ශ්රීවස්ටාවා මහතා තුවාල වීමකට ගොදුරු වූ අතර භෞතචිකිත්සාව ඔහුට උපකාරවත් වනු ඇත්දැයි බැලීමට රෝහලෙන් මා ව එහි යැව්වා. ශ්‍රීමත් ශ්රීවස්ටාවා මහතා ගුණවත් පුද්ගලයෙක් බව මට හැඟුණ අතර අප කථා කරමින් සිටිය දී, හොෆ්මන් මෙනවියත් මාත් ඇප මත හිරගෙදරින් නිදහස් කර සිටින බව මම නිකමට වගේ කිව්වා. බයිබලය මත පදනම් අපගේ ප්‍රකාශන දේශපාලන හේතූන් නිසා තහනම් කර ඇත්තේ පූජකයන් විසින් කරන ලද බලපෑම් නිසා බවත්, අප සහමුලින් ම දේශපාලනයට සම්බන්ධ නොවන බවත් මම පැහැදිලි කළා. අපගේ ශාඛා නියෝජිත එඩ්වින් ස්කිනර්, අපගේ තත්ත්වය පැහැදිලි කිරීමට සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලා සිටිමුත් ඒ සඳහා ඔහුට ඉඩ නොදුන් බවත් මම තවදුරටත් කියා සිටියා.
ඉන් දින කීපයකට පසු, ශ්‍රීමත් ශ්රීවස්ටාවා මහතා මට මෙසේ කිව්වා: “ජෙන්කින්ස් මහතා [අපගේ වැඩ ගැන අහිතකර ආකල්පයක් තිබූ රජයේ නිලධාරියා] දින කීපයකින් විශ්‍රාම ගන්නවා. ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මූඩි මහතා ඔහුගේ තැනට පත් වෙනවා ඇති. ස්කිනර් මහතාට එන්න කියන්න. මම ඔහු ව ශ්‍රීමත් ෆ්රැන්සිස්ට හඳුන්වා දෙන්නම්.”
ශ්‍රීමත් ශ්රීවස්ටාවා මහතා පොරොන්දු වූ ආකාරයට එම හමුවීම පිළියෙළ කළා. එහි දී, ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මූඩි සහෝදර ස්කිනර්ට කියා සිටියේ, “ඔබට මොකුත් පොරොන්දු වෙන්න මට බැහැ, ඒත් මම කරුණ සලකා බලන්නම්” යනුවෙනි. දින කීපයකින් පාර්ලිමේන්තුව විවෘත වීමට තිබූ නිසා, ප්‍රතිඵලය බැලීමට සහෝදර ස්කිනර් නැවතී සිටියා. තමා පොරොන්දු වූ ආකාරයට ක්‍රියා කරමින්, මදුරාසිය වෙතින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නැගී සිට, “වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සමිතියේ ප්‍රකාශන දේශපාලන හේතු නිසා තහනම් කර තිබෙන බව සැබෑ ද?” යයි ඇසුවා.
“නැහැ, තහනම පනවන ලද්දේ ආරක්ෂා හේතු නිසා” යයි පිළිතුරු දුන් ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මූඩි, “එහෙත් එම තහනම අවලංගු කිරීමට රජය දැන් තීරණය කර තිබෙනවා” යයි ද කීවේ ය.
අපි එම පුවත ඇසුවා ම එය අපගේ සිතේ කොතරම් බලවත් සතුට උපදවන හැඟීම් ඇති කළා ද! ඉන් සතියකට පසු බොම්බායේ පිහිටි ශාඛා කාර්යාලයට, තහනම අවසන් කිරීම සහතික කරන ලිපියක් ලැබුණි.
යුද්ධයෙන් බැට කෑ බුරුමයට නැවතත්
දෙවන ලෝක යුද්ධයෙන් පසු බුරුමය නැවතත් බ්‍රිතාන්‍ය පාලනයට යටත් වූ අතර ඉන් මාස කීපයකට පසු සාක්ෂිකරුවන් වන අප දහ දෙනෙක් නැවතත් හැරී රැංගූන් වෙතට ගියා. එහි ඉතිරි ව සිටි දේශීය සාක්ෂිකරුවන් ව යළිත් දැකීමට අප සතුටු වුණා. මුළු රට ම දුක්බර ව ගරාවැටුණු තත්ත්වයක තිබුණා. විදුලි බලය හා පොදු ප්‍රවාහනය ද ඇතුළු පොදු සේවාවන් තිබුණේ නෑ. එබැවින් අප හමුදාවෙන් ජීප් රථයක් මිල දී ගෙන, අපගේ පැමිණීමත් සමඟ අප සංවිධානය කළ රැස්වීම්වලට සෙනඟ ගෙන ඒමේ ක්‍රියාවට එය හොඳින් පාවිච්චි කළා.
උනන්දුව දක්වන තැනැත්තෙක් අපට ඉඩමක් ලබා දුන් අතර ප්‍රදේශයේ හිතවත් අයගේ උපකාරය ඇති ව අප සෑහෙන ප්‍රමාණයක රාජ්‍යය ශාලාවක් ගොඩනැගුවා. එය සාදනු ලැබුවේ උණ ගස්වලින්. බිත්ති හැටියට උණ ගස් සැකිල්ලක් මත පැදුරු සවි කළා. වහලට පිදුරු සෙවිලි කළා. එවකට වොච් ටවර් සමිතියේ සභාපති ව සිටි නේදන් එච්. නෝර් හා ඔහුගේ ලේකම්, මිල්ටන් ජී. හෙන්ෂල්, 1947 අප්‍රියෙල් මාසයේ රැංගූන් වෙත පැමිණි විට සිය කථා ඉදිරිපත් කළේ මෙතැනයි. ඒ අවස්ථාවේ අපට මුලු බුරුමයේ ම සිටියේ සාක්ෂිකරුවන් 19 දෙනයි. එහෙත් න්යූ එක්සල්සියර් නෘත්‍ය ශාලාවේ පවත් වන ලද සහෝදර නෝර්ගේ ප්‍රසිද්ධ කථාවට 287 දෙනෙක් පැමිණියා!
අපි ඕස්ට්‍රේලියාවේ පදිංචි වුණා
වර්ෂ 1948 ජනවාරි මස 4වන දින, මහා බ්‍රිතාන්‍යයෙන් බුරුමයට නිදහස දෙනු ලැබූ අතර රටින් ඉවත්වීම වඩාත් හොඳ යයි යුරෝපියයන් බොහෝ දෙනෙකුට හැඟී ගියා. යාච්ඤා පූර්වක මෙනෙහි කිරීමකින් පසු, අපගේ දුවත් රැගෙන ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට ෆිලිස් හා මා තීරණය කළා. බටහිර ඕස්ට්‍රේලියාවේ අග නගරය වන පර්ත් හි අපි පදිංචි වුණා.
යළිත් බුරුමය හැර යාම, එමෙන් ම මෙවර යළිත් හැරී නොඑන්නට හැර යාම, අපට ඉතාම කනගාටුදායක අවස්ථාවක් වුණා. කලින් කලට, අපට එහි සිටින හිතවත් අය ගැන තොරතුරු අසන්නට ලැබුණු අතර එම රටේ රාජ්‍යය කටයුතු ප්‍රවර්ධනය වෙමින් පැවතුණු බව අසන්නට ලැබීම ගැන අප අතිශයින් සතුටු වුණා.
වර්ෂ 1978 දී පටන්, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල ග්‍රීක් කථා කරන සභාවන් සියල්ලේ ම පාහේ සේවය කිරීමේ ප්‍රීතිය අපි භුක්ති වින්ඳා. මෙම විශාල රටේ බටහිර වෙරළේ සිට නැගෙනහිර වෙරළට යාම සඳහා සැතපුම් 2,600කට වැඩි දුරක් ගමන් කළ යුතු නිසා, පුළුල් ව සංචාරය කිරීම මින් අදහස් කළා. යම් කාලයකට පසු, එක් ප්‍රාන්තයක සිට තවත් ප්‍රාන්තයකට සැලකිය යුතු ආකාරයකට වෙනස් වන මෙහි දේශගුණය අපගේ සෞඛ්‍ය දුර්වල කිරීමට හේතුවක් ද වුණා. එනිසා අප යළිත් පර්ත් හි පදිංචියට ගිය අතර, එහි දී මම එහි ඇති සභාවන් 44න් එකක වැඩිමහල්ලෙක් ලෙස සේවය කරන්නට වුණා.
කාලය ගෙවී යත් ම, මගේ ඇස් පෙනීම දුර්වල වූ අතර කියවීම අපහසු වුණා. එහෙත්, සෞඛ්‍ය ගැටලු තිබුණත් අපගේ හෘදයන් තවමත් යෞවන තත්ත්වයක තිබෙනවා. අප දෙදෙනා ම විශ්වාසයෙන් යුක්ත ව එම සන්තෝෂවත් දිනය බලා සිටිනවා. එදින යෙහෝවඃ වහන්සේට භය වන සියල්ලන් කෙරෙහි උන් වහන්සේගේ කරුණාවේ සූර්යයා, “ස්වකීය පියාපත්වල සුවකිරීම ඇතුව උදාවන්නේය; [අප] නික්ම ගොස් ගාලේ [තර කරන ලද NW] වස්සන් මෙන්” පනිනවා ඇත.—මලාකී 4:2.a
[පාදසටහන්වල]
a මෙම ජීවිත කථාව සම්පූර්ණ කරනු ලබමින් තිබිය දී, එනම් 1992 දෙසැම්බර් 13වන දින සහෝදර ට්සාටොස් මරණය නමැති නින්දෙහි සැතපුණේ ය.
[24වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1947 බුරුමයේ (මයන්මාර් හි) සිටිය දී සහෝදර හෙන්ෂල් හා නෝර් සමඟ මගේ පවුල
[25වන පිටුවේ පින්තූරය]
ඕස්ට්‍රේලියාවේ සිටිය දී බැසිල් ට්සාටොස් හා ඔහුගේ භාර්යාව වන ෆිලිස්