සැබෑ ආරක්ෂාවක් ඒවායින් ලැබිය හැකි ද?
රචක රැල්ෆ් වැල්ඩො එමර්සන් වරක් මෙසේ පැවසී ය: “අඥාන අය වාසනාව කෙරෙහි විශ්වාස කරති . . . ආත්ම ශක්තිය ඇති අය හේතුව හා ඵලය කෙරෙහි විශ්වාස කරති.” එසේ ය, මායාකාරී යන්තර හා ශාන්ති-කර්මයන්ගේ ගුරුකම්වල බලය කෙරෙහි විශ්වාසය තබන අය, නුදුටු බලයන්ට තමාගේ ජීවිතයේ පාලනය පාවා දෙති. ඔහු තර්ක ශාස්ත්‍රය හා විචාර බුද්ධිය ප්‍රතික්ෂේප කර මෝඩ, මිථ්‍යා විශ්වාසයෙන් යුත් භීතීන්ට යටත් වෙයි.
කෙසේ වෙතත්, බයිබලයට, එවන් භයවලින් කෙනෙකු ව නිදහස් කළ හැකි ය. යන්තර හා ගුරුකම් දුර්වල, බල රහිත ඒවා බව එය පෙන්වයි. ඒ කෙසේ ද? හොඳයි, ද න එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා පවසන පරිදි “යන්තර බලය ඈඳා ගන්නේ [විවිධ දෑ අතුරින්] ස්වාභාවික බලවේගයන් සමඟ ඊට ඇති සබඳතාවය තුළින් බවට කල්පනා කෙරේ.” මෙම බලවේගයන් ‘මළවුන්ගේ ආත්ම’ හෝ ‘වාසනාවේ බලය’ වන්නට පුළුවන. එහෙත් මළාහු “කිසිවක් නොදනිති” යයි බයිබලය පැහැදිලි ව ම පෙන්වයි. (දේශනාකාරයා 9:5) මෙසේ, ජීවත් ව සිටින අයට උපකාර හෝ හානි කරන්නට පුළුවන්කමක් ඇති මළවුන්ගේ ආත්මයන් කිසිත් නැත; එසේ ම ඔබ වෙනුවෙන් ක්‍රියා කළ හැකි වාසනාව වැනි නොපෙනෙන බලවේගයන් ද කිසිත් නැත.
බයිබල් කාලවල, දෙවියන් වහන්සේ ව අත්හරින්නා වූ, ස්වකීය ශුද්ධ කන්ද සිහි නැති කරන්නා වූ, “ශ්‍රීකාන්තාවට [වාසනාවේ දේවතාවීට] මේසයක් පිළියෙළ කරන්නාවූ, මිශ්‍ර වූ මද්‍යපානය ඉරණම නම් දේවතාවීට පුරවා දෙන්නාවූ” අය වැරදිකරුවන් බව උන් වහන්සේ දෝෂාරෝපණය කළ සේක. ආරක්ෂාවක් අත්කර ගනු වෙනුවට, වාසනාවට පක්ෂ ව කථා කළවුන් ව විනාශයට නියම කර තිබුණි. “නුඹලා මම කඩුවට නියමකරන්නෙමි” යයි යෙහෝවඃ දෙවියන් වහන්සේ වදාළ සේක.—යෙසායා 65:11, 12.
මායාකාරී ක්‍රියාවන් ව්‍යවහාර කිරීමෙන්, පුරාතන බබිලෝනීය දේශය සමානාකාරයෙන් ගුප්ත බලයන්හි ආරක්ෂාව කෙරෙහි විශ්වාසය තැබී ය. එහෙත් බබිලෝනිය කෙසේ හෝ විනාශයට පාත්‍ර විය. “නුඹේ මන්ත්‍ර ගුරුකම් හා යෝධ මායම් දිගට ම භාවිතා කරන්න” කියා දිවැස්වර යෙසායා අභියෝග කළේ ය. “සමහර විට ඒවායින් නුඹට යම් වාසියක් ලැබෙනු ඇත . . . එහෙත් නැත! නුඹට බොහෝ ප්රයෝගයන් තිබියදීත් නුඹ බලරහිත ය.” (යෙසායා 47:12, 13, ද න ඉංග්ලිෂ් බයිබල්) කාලයාගේ ඇවෑමෙන් එම දේශය සහමුලින් ම නැති වී ගියේ ය. ගුප්ත දේවල් කෙරෙහි විශ්වාසය තැබීම නිෂ්ඵල බව සනාථ වුණි. සමානාකාරයෙන් ම, කිසිඳු මායාකාරී යන්තරයකට, ගුරුකමකට හෝ සුරයකට වැනි කිසිවකට ඔබට උපකාර කරන්නට හෝ ආරක්ෂාව සපයන්නට නොහැකි ය.
පිළිම වන්දනාවේ ආකාරයකි
එහෙත් පළිඟුවක්, හාවෙකුගේ කුරයක් හෝ ආගමික පදක්කමක් රැගෙන යාමේ හානියක් නැතැයි ඇතැමෙකුට පෙනෙන්නට පුළුවන. මේවා නිකම් හානි රහිත ඉතා සුළු ආභරණ නොවේ ද? බයිබලයට අනුව නම්, එය එසේ නොවේ. ගුප්ත උපකරණ නිශ්චිත වශයෙන් ම හානිකර බව එය පවසයි.
යන්තර පාවිච්චිය පිළිම වන්දනාවේ එක් ආකාරයකි—දේව වචනයේ වැරදි සහගත බවට හෙලා දැක ඇති යමකි. (නික්මයාම 20:4, 5) තමා කෙළින් ම යන්තරයකට හෝ සුරයකට නමස්කාර නොකරන බවක් කෙනෙකුට හැඟෙන්නට පුළුවන් බව සැබෑ ය. එහෙත් යමෙක් එවැන්නක් අයිතිකර ගෙන සිටින්නේ නම්, එය ගුප්ත නොපෙනෙන බලයන් කෙරෙහි භක්තිමත්, නමස්කාර පූර්වක ආකල්පයක් විදහා නොපෙන්වයි ද? එමෙන් ම ශාන්ති-කර්මවලට බොහෝ විට (සිඹීම වැනි) නමස්කාරමය සත්කාරයක් දෙන බව සැබෑවක් නොවේ ද? එහෙත් 1 යොහන් 5:21 හි බයිබලය ක්‍රිස්තියානින්ට උපදෙස් දෙන්නේ, “දේවතා රූපවලින් දුරුව සිටපල්ලා” යනුවෙනි. ශාන්ති-කර්ම හෝ යන්තර හැටියට සලකනු ලබන දේවල් මෙයට ඇතුළත් වන්නේ නැද්ද?
ගුප්ත බලයේ මලපත
යන්තර භාවිතයෙන්, බොහෝ දෙනෙක් මලපතට ද අසුවෙති. ඇතැමෙක් පළිඟුවක් හෝ මායාකාරී ද්‍රව මිශ්‍රණයක් ස්ථිර විශ්වාසයකට වඩා චාරිත්‍රයක් හැටියට රැගෙන යනවා විය හැකි බව සැබෑවකි. එහෙත් වේශ්‍යාවක් සමඟ ඉඟි බිඟි පෑම ඒඩ්ස් වැළඳීමට මඟ පෑදිය හැකි ලෙසින්, ගුප්ත බලයන් සමඟ සැහැල්ලුවෙන් හැසිරීමෙන් ද හානිදායක විපාක ඇති විය හැක. මායාවෙන්, පේන කීමෙන් හා නිමිති බැලීමෙන් දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල්වරුන් ව වැළැක් වූයේ හොඳ හේතු ඇති ව ය. “මේ දේ කරන කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] පිළිකුලක්ය” යනුවෙන් බයිබලය අනතුරු අඟවයි.—ද්විතීය කථාව 18:10-14.
මෙම දැඩි තහනම මක්නිසා ද? ඊට හේතුව එවන් පුරුදු පසු පස සිටින බලවේගය මළවුන්ගේ ආත්ම හෝ වාසනාවේ බලය නොව සාතන් නම් යක්ෂයා හා ඔහුගේ භූතයන් වීම ය.a එමෙන් ම යන්තර භාවිතය කෙළින් ම භූත නමස්කාරයට ද සම්බන්ධ වී ඇත. වයින්’ස් එක්පොසිටොරි ඩික්ෂනරි ඔෆ් ඕල්ඩ් ඇන්ඩ් න ටෙස්ටමන්ට් වර්ඩ්ස් මෙසේ පවසයි: “මන්ත්‍ර ගුරුකම්වල දී, දුබල හෝ ප්‍රබල වුව ද, මත් කරන ද්‍රව්‍ය භාවිතය, විවිධ ශාන්ති-කර්ම, යන්තර, යනාදිය සැපයීම සමඟින්, සාමාන්‍යයෙන් ජපකිරීම් හා ගුප්ත බලවේගයන්ට අයදීම්වලින් යුක්ත විය.”
එබැවින් ගුප්ත යන්තරයක් ළඟ තබා ගෙන සිටින කෙනෙක් භූත විද්‍යාවත් සමඟ සම්බන්ධ වෙමින් සිටී. ඔහු “මේ ලෝකයේ දෙවියා” වන සාතන් නම් යක්ෂයාගේ දුෂ්ට බලපෑම හා පාලනය යටතට පත්වීමේ අවදානමට මුහුණ දෙයි. (2 කොරින්ති 4:4) එනිසා, සියලු ආකාරයේ භූත විද්‍යාත්මක දේවලින් වැළකී සිටින්නැයි බයිබලය අපට ආඥා කරන්නේ හොඳ හේතු ඇති ව ය.—ගලාති 5:19-21.
මිථ්‍යා විශ්වාසයන්ගේ ග්රහණයෙන් ඉවත්වීම
කෙසේ වෙතත් ද වර්ල්ඩ් බුක් එන්සයික්ලෝපීඩියා මෙසේ නිරීක්ෂණය කරයි: “මනුෂ්‍යයන් එකිනෙකාට භයෙන් හා අනාගතය පිළිබඳ අවිනිශ්චිත ව සිටිනතාක් කල්, මිථ්‍යා විශ්වාසයන්ට බොහෝ දුරට ජීවිතයේ කොටසක් ව තිබෙනු ඇත.” එහෙත් හානිදායක මිථ්‍යා විශ්වාසයන්ගෙන් නිදහස් වීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ බොහෝ දෙනෙකුට උපකාර කරමින් සිටිති. “දුෂ්ට ආත්මවලින් මා හිරිහැර ලැබූ අතර එයින් මා ව ආරක්ෂා කිරීමට මගේ නිවස මියුටිවලින් පිරී තිබුණා” යයි දකුණු අප්‍රිකානු කාන්තාවක් මතකයට නගන්නී ය. ගුප්ත බලයන් සමඟ සෙල්ලම් කිරීමේ අන්තරාය දැකීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ ඇයට උපකාර කළහ. ඇගේ ප්‍රතිචාරය? “භූත ආත්ම හා සම්බන්ධ මා සතු ව තිබූ සෑම දෙයක් ම මම ඉවත් කරන්නට පටන් ගත්තා” යයි ඈ පවසයි. “මගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු වුණා. යෙහෝවඃ වහන්සේට සේවය කරන්නට මම මගේ ජීවිතය කැප කොට බව්තීස්මය ලැබුවා.” දැන් ඇය මිථ්‍යා විශ්වාසයන් හා භූත විද්‍යාවෙන් නිදහස් ව සිටින්නී ය.
තමාගේ සුව කිරීමේ ක්‍රියා සමඟ ආත්ම බන්ධන ක්‍රියා සම්බන්ධ කළ නයිජීරියානු වෙදමහතා ද සැලකිල්ලට ගන්න. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ඔහු ව හමුවීමට පැමිණි විට ඔහු සාමාන්‍යයෙන් තර්ජන හා ශාපයන් පාවිච්චි කරමින් ඔවුන් ව පලවා හරී. වරක් ඔහු විශේෂ ද්‍රව මිශ්‍රණයක් සාදා, ඊට මතුරා, සාක්ෂිකරුවෙකුගේ මුහුණට එය පිම්බා! එපමණක් නොව “දින හතකින් නුඹ මැරෙයි!” කියා ඔහු කෑ ගැසුවා. දින හතකට පසු එම සාක්ෂිකරුවා නැවත පැමිණි අතර එම සාක්ෂිකරුවා ව බැලීමට ඔහු ඉක්මනින් සිය නිවසෙන් පිට ව ගියේ, තමා හොල්මනක් දැක්කේ යයි විශ්වාස කරමිනි! මෙහිදී තමාගේ මායාවන් නොවටිනා බව අනාවරණය වූයෙන්, ඔහු බයිබල් පාඩමකට කැමැත්ත ප්‍රකාශ කර, අවසානයේ දී ඔහු සාක්ෂිකරුවෙකු බවට පත් වූයේ ය.
බිය ජනක හා මිථ්‍යා විශ්වාසයන්හි විලංගුවලින් ඔබටත් මිදෙන්නට පුළුවන. මෙය පහසු නොවන බව පිළිගත යුත්තකි. යන්තර යා ගුරුකම් පාවිච්චිය සාමාන්‍ය දෙයක් හැටියට පවත්නා සංස්කෘතියක ඇතැම් විට ඔබ හැදී වැඩුණා වන්නට පුළුවන. පුරාතන එපීසයේ සිටි ක්‍රිස්තියානීහු එවන් අභියෝගයකට මුහුණ දුන්හ. ආත්ම බන්ධන ක්‍රියාවන්ගේ දැඩි බලපෑමට ලක් වූ සංස්කෘතියක ඔවුහු ජීවත් ව සිටියහ. දේව වචනයේ සත්‍යතා ඔවුන් ඉගෙන ගත් විට, ඔවුන් කළේ කුමක් ද? “යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාස කළ බොහෝ දෙනෙක්ද තමුන්ගේ පොත් එක්කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමුවෝය. ඒවායේ මිල ගණන් බලා, රිදීමිල පනස් දහසක් බව දැනගත්තෝය” කියා බයිබලය පවසයි.—ක්‍රියා 19:19.
දෙවියන් වහන්සේගේ ආරක්ෂාව අත්කර ගැනීම
ගුප්ත බලවේගයන්හි සියලු අල්පමාත්රයන්ගෙන් ම ඔබ ඔබ ව ම නිදහස් කර ගත්තෙහි නම්, ආරක්ෂාවක් නොමැති තත්ත්වයකට ඔබ පත් වෙනවා නොවේ ද? මීට පටහැනි ව, “දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය.” (ගීතාවලිය 46:1) දෙවියන් වහන්සේ මෙම දුෂ්ට දේවල පිළිවෙළ විනාශ කරන විට උන් වහන්සේගේ ආරක්ෂාව විශේෂාකාරයෙන් ම ප්‍රකාශ වනු ඇත. “භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන් . . . [විනාශය පිණිස NW] විනිශ්චය දවස දක්වා තබන්ටත් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] දන්නාසේක.”—2 පේතෘස් 2:9, 10; සසඳන්න ගීතාවලිය 37:40.
මේ අතර, ‘කාලයත් හදිසි කාරණත් අප සියල්ලන්ට සිද්ධ වේ.’ (දේශනාකාරයා 9:11) ස්වකීය සේවකයින් “දුෂ්කරත්වයන්ගෙන් ආරක්ෂිත” ජීවිතයක් ගත කරනු ඇතැයි නැතහොත් සියලු පුද්ගලික හිංසාවන්ගෙන් උන් වහන්සේ ඔවුන් ව ආරක්ෂා කරන්නේ යයි දෙවියන් වහන්සේ පොරොන්දු නොවන සේක. එහෙත්, උන් වහන්සේ සමඟ ඇති අපගේ ආත්මිකත්වය හා අපගේ සම්බන්ධතාව ආරක්ෂා කිරීමට උන් වහන්සේ පොරොන්දු වන සේක. (ගීතාවලිය 91:1-9) ඒ කෙසේ ද? එක් දෙයක් නම්, සාතන්ගේ දූෂ්‍යකාරක බලපෑමෙන් අප ව ආරක්ෂා කර ප්‍රයෝජන ලබා දිය හැකි නීති හා ප්‍රතිපත්ති උන් වහන්සේ අපට දෙන සේක. (යෙසායා 48:17) යෙහෝවඃ වහන්සේගේ මාර්ග පිළිබඳ ව අප දැනුම ලැබීමෙන්, උදාහරණයක් හැටියට, අවාසිදායක හා හානිදායක ක්‍රියාවලින්—‘සිතීමේ හැකියාව අප ව රැකවල් කරන්නේ ය, විචාර බුද්ධිය ද අප ආරක්ෂා කරන්නේ ය.’—හිතෝපදේශ 2:11.
දෙවියන් වහන්සේ අප ව ආරක්ෂා කරන තවත් විධි වනුයේ, පීඩා සහිත අවස්ථාවන්හි “සාමාන්‍ය ඉක්ම වූ බලය ලබා දීම” තුළිනි. (2 කොරින්ති 4:7, NW) තව ද තත්ත්වයන් ක්‍රිස්තියානියෙකු ව යටපත් කිරීමට තර්ජනය කරන විට, උන් වහන්සේ හෘදය හා මානසික බලයන් ආරක්ෂා කිරීමට “කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය” දෙන සේක. (පිලිප්පි 4:7) එසේ ය, ක්‍රිස්තියානියෙකු ව “යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට” සන්නාහ සන්නද්ධ කර තිබේ—එපීස 6:11-13.
ඔබට එවන් රැකවරණයක් අත්කර ගත හැක්කේ කෙසේ ද? යෙහෝවඃ වහන්සේ හා උන් වහන්සේගේ පුත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ව දැනුම රැස් කිරීමෙනි. (යොහන් 17:3) මේ කාරණා සම්බන්ධයෙන් ඔබට උපකාර කිරීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවනට බොහෝ දෑ කළ හැකි ය. යෙහෝවඃ වහන්සේ සමඟ ඔබ උණුසුම් සම්බන්ධතාවයක් ගොඩනගත් ම, උන් වහන්සේගේ කාරුණික ආරක්ෂාව ඔබ අත්දකින්නට පටන් ගනු ඇත. ගීතාවලිය 91:14 හි අප කියවන ආකාරයට, දෙවියන් වහන්සේ මෙසේ පවසන සේක: “ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි [ආරක්ෂා කරන්නෙමි NW].”
ඇත්ත වශයෙන් ම, ඔබ දෙවියන් වහන්සේට ඇදහිලිවන්ත ව සිටින්නේ නම්, පැමිණෙන්නා වූ නව ලෝකයේ සදාකාලික ජීවිතය සමඟින් උන් වහන්සේ අවසානයේ දී ඔබට ආශීර්වාද කරනු ඇත. ඒ කාලයේ ජීවත් වන අය සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේ සහතික කරනුයේ මෙසේ ය: “ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, . . . වාසයකරනවා ඇත. මක්නිසාද සේනාවල ස්වාමීන් වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] මුඛය එය වදාළේය.” (මීකා 4:4) රෝග හා මරණය තවදුරටත් නොපවතිනු ඇත. (එළිදරව් 21:4) ඔබ යෙහෝවඃ වහන්සේ සමඟ කිට්ටු සබැඳියාවක් ගොඩනගා ගන්නෙහි නම්—දැන් පවා, ඔබට යම් ප්‍රමාණයක ආරක්ෂාවක් භුක්ති විඳින්නට පුළුවන් වනවා ඒකාන්ත ය. ගීතිකාකරු මෙන්, ඔබටත් මෙසේ පවසන්නට හැකි වනු ඇත: “මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමීන්ගෙන්මය [යෙහෝවඃ වහන්සේගෙන් ම ය NW].—ගීතාවලිය 121:2
[පාදසටහන්වල]
a වැඩිමනත් තොරතුරු සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්යූ යෝක් මගින් ප්‍රකාශිත මළ අයගේ ආත්ම—ඔබට උපකාර හෝ හානි කිරීමට ඔවුන්ට හැකි ද? ඔවුන් සැබවින් ම පවතී ද? නම් විවරණිකාව බලන්න.
[6වන පිටුවේ පින්තූරය]
ගුප්ත බලවේගයන්ට අයත් සියලු දෑ එපීසයේ ක්‍රිස්තියානිහු ඉවත් කළහ
[7වන පිටුවේ පින්තූරය]
දෙවියන් වහන්සේගේ රාජ්‍යය යටතේ, භය තවදුරටත් නොපවතිනු ඇත