පුරෝගාමි සේවයේ දිගට ම නියැලෙන්න
ප්‍රමාණයෙන් 45,00,000ක් පමණ වන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සංඛ්‍යාවක් ශුභාරංචිය ලොව පුරා ප්‍රකාශ කරමින් සිටිති. ඔවුන් අතුරින් 6,00,000කට වඩා වැඩි සංඛ්‍යාවක් පුරෝගාමින්, නැතහොත් පූර්ණ-කාලීන රාජ්‍යය ප්‍රචාරකයන් වෙති. පුරෝගාමින්ගෙන් සමන්විත මෙම හමුදාවට නවයොවුන් වියට පෙර අවුරුදුවල පටන් 90 ගණන්වල විශ්‍රාමිකයන් දක්වා වයස්වල අය අයත් වන්නාහ. ඔවුන් පැමිණ සිටින්නේ විවිධාකාර පසුබිම්වලින් හා ජීවිතයේ සියලු තරාතිරම්වලිනි.
මේ පූර්ණ-කාලීන දේශකයින් සියල්ලන් හට පුරෝගාමි සේවයේ සාර්ථක වීමට උවමනාවක් ඇති බවට කිසිදු සැකයක් නැත. මෙය තමන්ගේ ජීවිත කාලය පුරා ම කරන වෘත්තිය කර ගැනීමට බොහෝ දෙනෙක් කැමති වෙති. යම් යම් හේතු නිසා ඇතැමෙකුට එසේ කළ නොහැකි වී ඇත. එහෙත්, ආර්ථික දුෂ්කරතා, දුර්වල සෞඛ්‍යයන්, අධෛර්ය වීම්, මෙන් ම වෙනත් ගැටලු තිබියදීත් තවත් අයට දිගට ම පුරෝගාමි සේවයේ යෙදෙන්නට පුළුවන් වී ඇත. එබැවින් පූර්ණ-කාලීන දේශකයින්ට එවන් ගැටලු සමඟ කටයුතු කරමින් වැඩිදුරටත් පුරෝගාමි සේවයේ දිගට ම නියැලිය හැක්කේ කෙසේ ද?
මූල්‍ය අවශ්‍යතාවයන්ට මුහුණ දීම
ප්‍රේරිත පාවුල් කළාක් මෙන්, පොදුවේ තමන්ගේ වියදම් පියවීමට පුරෝගාමිහු බාහිර රැකියාවක් කරති. (1 තෙසලෝනික 2:9) ලෝකයේ බොහෝ පෙදෙස්වල, ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස හා ප්‍රවාහනය සඳහා දැරිය නොහැකි තරම් ඉහළ නැග ඇති මිල ගණන්වලට ඔවුහු මුහුණ දෙති. බොහෝ විට ඔවුනට අවශ්‍ය කරවන අර්ධ කාලීන බාහිර රැකියාවක් ලබා ගැනීම දුෂ්කර ය. එසේ ලබා ගත හැකි ව තිබුණත්, එම රැකියාවන් බොහෝ විට සෞඛ්‍යය රක්ෂණ පහසුකම් නොමැති අඩු වේතනයක් ගෙවන ඒවා ය.
අප ‘පළමුකොට දෙවියන් වහන්සේගේ රාජ්‍යය ද උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ද සොයන්නේ’ නම්, යෙහෝවඃ වහන්සේ අපගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සපයනු ඇති බව අපට නිසැක ව ම විශ්වාස කළ හැකි ය. එබැවින්, මූල්‍ය පීඩනයට ලක් ව සිටින විට, පුරෝගාමින් ‘හෙට දවස ගැන කනස්සලු නොවිය’ යුතු ය. (මතෙව් 6:25-34) එවන් ගැටලු විසඳා ගැනීමට ඔවුන් අවංක වෑයමක් දරන අතර යෙහෝවඃ වහන්සේ කෙරෙහි පවතින දැඩි විශ්වාසය නුවුවමනා කාංසාවන්ගෙන් ඔවුන් ව වළක්වාලනු ඇත.
පුද්ගලයෙක් මූල්‍ය දුෂ්කරත්වයන්ට මුහුණ දී සිටින විට, වියදම් අඩු කරන්නට හැකියාවක් තිබෙන්නට පුළුවන. අයවැයේ ඇතැම් වෙනස්කම් කිරීමෙන්, හුදු ද්‍රව්‍යමය ඕනෑකම් ලබා ගත නොහැකි වුවත්, අවශ්‍යතාවන් ලබා ගැනීමට ඇතැම් විට හැකියාවක් තිබෙන්නට පුළුවන. වියදම් අඩු කර ගැනීමට, සමහරක් පුරෝගාමින් එක ම නිවසේ වෙනත් ක්‍රිස්තියානින් සමඟ හවුලේ වාසය කරති. සිය දරුවන්ට පුරෝගාමින් වීමට උපකාර කිරීමෙහි ලා, මව්පියෝ ඇතැම් අවස්ථාවන්හි නොමිලේ නැතහොත් අවම මුදලකට ඉඳුම් හිටුම් පහසුකම් සපයති. වෙනත් අය ආහාර හා ප්‍රවාහනය සැපයීමෙන් පුරෝගාමින්ට උපකාර කරති. එහෙත් තමන් ව නඩත්තු කර ගැනීමේ ශුද්ධ ලියවිලිමය වගකීමක් පුරෝගාමින්ට ඇති නිසා, අන්‍යයන්ට බරක් වීමට ඔවුන් කැමති නැත.—2 තෙසලෝනික 3:10-12.
වෙනත් පුරෝගාමින් සමඟ වියදම හවුලේ බෙදා ගැනීමෙන් ප්‍රවාහන වියදම් අඩු කර ගන්නට පුළුවන. පුරෝගාමින් දෙදෙනෙකුට කාර් තිබෙනවා නම්, ඔවුන් එක ම ප්‍රදේශයේ දේශනාවෙහි නියැලීමෙන් ද, ඒ සඳහා එක කාරයක් පාවිච්චි කිරීමෙන් ද වාහන දෙකක් පාවිච්චි කිරීමේ වියදම මඟ හැරිය හැක. රථවාහන නොමැති පුරෝගාමින්ට, වාහන තිබෙන අය සමඟ හවුල් වී, වියදම බෙදා ගත හැකි ය. කිට්ටු ප්‍රදේශයන්ට පයින් ගමන් කර ඒවා පියවීමෙන් ගමන් වියදම් තවදුරටත් අඩු කර ගන්නට පුළුවන. බොහෝ රටවල පුරෝගාමින් අඩු ගාස්තු අය කරනු ලබන මහජන ප්‍රවාහන සේවා පාවිච්චි කරති.
නිව්ටන් කැන්ට්වෙල් හා ඔහුගේ බිරිඳ මූල්‍ය ගැටලු මැඩපවත්වා පූර්ණ-කාලීන සේවයේ දිගට ම නියැලුණු අය අතර සිටිති. ඔවුහු තමන්ගේ ගොවිපොළ විකුණා, සිය දරුවන් හත් දෙනාගෙන් හය දෙනෙක් සමඟ 1932 දී, මහත් ආර්ථික පරිහානිය තිබූ අවධියේ පුරෝගාමි සේවය පටන් ගත්හ. “අපගේ ගොවිපොළ විකුණා අප ලැබූ මුළු මුදල ම වාගේ වැඩි කලක් යන්නට මත්තෙන්—මූලික ව වෛද්‍යවරුන්ගේ බිල්පත් ගෙවීමට—අපට වියදම් වුණා” කියා සහෝදර කැන්ට්වෙල් ලියයි. “අපි අපගේ දෙවන පැවරුම් ස්ථානයේ පදිංචියට ගිය විට, අපගේ මුදල් ප්‍රමාණවත් වුනේ සති දෙකක කුලිය, අත්තිකාරම් වශයෙන් ගෙවන්නට පමණයි, ඉතිරි වියදම් සඳහා ඉතිරි ව තිබුණේ ඩොලර් පහක් බව අපට මතකයි. එහෙත්, අප නොපිරිහෙළා අපගේ සේවය කරනතාක් කල් යෙහෝවඃ වහන්සේ සපයනු ඇති බව අපි දැන සිටියා. . . . විවිධ ක්‍රමවලින් වියදම් අඩු කර ගැනීමට අපි ඉගෙන ගත්තා. අලුත් ප්‍රදේශයක පදිංචියට යාමෙන් පසු, උදාහරණයක් වශයෙන්, මම ඉන්ධන පිරවුම් පොළවල්වල අයිතිකරුවන්ට කථා කර අපගේ ක්‍රිස්තියානි වැඩ සම්බන්ධයෙන් සෑම දවසක ම අප කාර් තුනක් ක්‍රියා කරවන බව පැහැදිලි කළා. මෙය සාමාන්‍යයෙන් ඉන්ධන අඩු ගාස්තු ප්‍රමාණයකට ලබා ගැනීමට දායක වුණා. ඒවායේ අලුත්වැඩියා ගාස්තු අඩු කරවමින්, අපගේ පුත්‍රයන් ඉක්මනින් ම අපගේ වාහන අලුත්වැඩියා කරන්නට ඉගෙන ගත්තා.” මෙසේ කැන්ට්වෙල් පවුල මූල්‍ය අභියෝගයන්ට සාර්ථක ව මුහුණ දීමටත් පූර්ණ-කාලීන සේවයේ දිගට ම නියැලීමටත් ඉගෙන ගත්හ. අවුරුදු 103 දී ඔහු මිය යන විටත් සහෝදර කැන්ට්වෙල්ගේ නාමය පුරෝගාමි ලැයිස්තුවේ තිබුණි.
අර්ධ-කාලීන රැකියා ලබා ගැනීම
පුරෝගාමින් බොහෝ දෙනෙක් තමන් ව නඩත්තු කරන්නේ අර්ධ-කාලීන රැකියාවන් කිරීමෙනි. කොරින්තියේ දී තමා ව සේවයේ රඳවා තබා ගැනීමට, පාවුල්, තමාගේ සෙසු ඇදහිලිවන්තයින් වන අකිලා හා ප්‍රිස්කිලා සමඟ කූඩාරම් සාදන්නෙක් හැටියට වැඩ කළේ ය. (ක්‍රියා 18:1-11) අද දින, පුරෝගාමින්ට අර්ධ-කාලීන ලෞකික රැකියාවන් ඉදිරිපත් කිරීමට ආත්මික සහෝදරයෝ බොහෝ විට සතුටින් සිටිති. වෙනත් පුරෝගාමිහු තාවකාලික රැකියාවන් ඉදිරිපත් කරන රැකියා ආයතන තුළින් එවන් රැකියා ලබා ගනිති. රැකියා පිළිබඳ තීරණ ගැනීමේ දී දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම සඳහා, උන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලත්, එමෙන් ම උනන්දුමත් යාච්ඤාවත් අත්‍යවශ්‍ය වන්නේ ය.—හිතෝපදේශ 15:29.
එක් පුරෝගාමියෙක් මෙසේ පැවසී ය: “යාච්ඤා පූර්වක සලකා බැලීමෙන් මහත් ධෛර්යක් ලැබීමෙන් අනතුරුව, මගේ දේව සේවය බැරෑරුම් පෞද්ගලික වගකීමක් බවත්, මට පූර්ණ-කාලීන රැකියාව පිළිගත නොහැකි බවත් මගේ වැඩ පරීක්ෂකට මම දැනුම් දුන්නා. ඊළඟ බදාදා දින, මා රැකියාව අර්ධ-කාලීන පදනමක් මත යළි සලකා බලනවා දැයි මගෙන් අසනු ලැබුවා. එවිට මම මහත් සතුටින් එය පිළිගත්තා.” යාච්ඤාවේ බලය අවතක්සේරු නොකරන්න. අනතුරු ව ඔබගේ යාච්ඤාවට එකඟ ව ක්‍රියා කරන්න.
අර්ධ-කාලීන රැකියා සෙවීමේ සිය අරමුණ තමන් ව සේවයේ දිගට ම පවත්වා ගැනීම බව තම සේව්‍යයන් වන්නට සිටින අයට පැවසීම යෝග්‍ය බව පුරෝගාමින්ට හැඟෙන්නට පුළුවන. තමන් සේවය සඳහා පැමිණෙන දිනයන් ද, සතියක් තුළ රැකියාව සඳහා තමන්ට වැය කළ හැකි පැය ගණන ද ඔවුනට සඳහන් කළ හැකි ය. එක ම පවුලේ සහෝදරියන් දෙදෙනෙකුට නීතිමය උපදෙස් ලබා දෙන ආයතනයක එක් පූර්ණ කාලීන රැකියාවක්, ඒ එක් එක් තැනැත්තියට සතියකට දින දෙකහමාරක් බැගින් වන පරිදි දෙකට බෙදා ගත හැකි විය. ඔවුන් වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් පාසලට ඇතුළත් වී මිෂනාරි පැවරුම් ලබා ගන්නාතෙක් මෙය ඔවුන් ව පුරෝගාමින් වශයෙන් රඳවා තබා ගත්තේ ය.
සෙසු ඇදහිලිවන්තයින් හා වෙනත් අය සමඟ කථා කිරීමෙන් හෝ පුවත් පත් දැන්වීම් සොයා බැලීමෙන් විවිධාකාර වූ ශුද්ධ ලියවිලිමය වශයෙන් පිළිගත හැකි රැකියා සොයා ගන්නට පුළුවන. පුරෝගාමින් කරන්නට යන රැකියාවේ ආකාරය පමණ ඉක්මවා තෝරා බේරා සෙවීම වළක්වාලිය හැකි බැවින්, යටහත් පහත් භාවය උපකාරවත් විය හැකි ය. (යාකොබ් 4:10 සසඳන්න.) දිගට ම පුරෝගාමි සේවයේ නියැලෙනු පිණිස, ඇතැම් අය පහත් නැතහොත් අධම යයි සලකන බාහිර රැකියා කිරීම ඔවුන් ව අවශ්‍ය කරවන්නට පුළුවන. වෙනත් ආකාරයක රැකියාවකට ආශාවක් තිබිය දී එවන් රැකියාවක් පිළිගනු ලැබුවත්, කාලයාගේ ඇවෑමෙන් රැකියාවේ වෙනස්කමක් කරන්නට පුළුවන් විය හැකි ය.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හා අධෛර්ය වීම
බරපතළ සෞඛ්‍ය ගැටලු නිසා ඇතැම් අයට පුරෝගාමි සේවය නැවැත්වීමට සිදු වේ. පුරෝගාමින් මේ සම්බන්ධයෙන් ඉක්මන් නොවී කටයුතු කළොත්, ඔවුන් පුරෝගාමි සේවයේ දිගට ම නියැලිය හැකි ලෙසින් රෝගය සුවකර සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කර ගත හැකි බව ඔවුන් සොයා ගනු ඇත. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම, උචිත ආහාර දිගට ම ගැනීම හා අවශ්‍ය විවේකය හා ව්‍යායාමය ලබා ගැනීම යනාදි කරුණු නිසා බොහෝ දෙනෙකුට සෞඛ්‍ය ගැටලු තිබියදීත් පුරෝගාමි සේවයේ නියැලෙන්නට පුළුවන් වී තිබේ. එක් පුරෝගාමි සහෝදරියකට සන්ධිප්රදාහය කොතරම් ප්‍රමාණයකට වැළඳී තිබුණේදයත්, සේවයේ ගෙයින් ගෙට ඇවිදීම සඳහා ඇයට උපකාරය අවශ්‍ය ව තිබූ බව එක් සංචාරක අවේක්ෂකයෙක් නිරීක්ෂණය කළේ ය. (ක්‍රියා 20:20) එහෙත්, ඇයත් ඇගේ ස්වාමිපුරුෂයාත් නිවාස බයිබල් පාඩම් 33ක් පැවැත් වූ අතර දෙවියන් වහන්සේගේ සත්‍යය පිළිගැනීමට 83 දෙනෙකුට උපකාර කර තිබුණි. කලකට පසු ඇගේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු වී, ඉන් වසර 11කට පසු ඇය පුරෝගාමි සේවා පාසලට සහභාගි වූවා ය.
අධෛර්යට පත්වීම් සමහරක් අයට පුරෝගාමි සේවය අත්හැර දැමීමට සලස්වන්නට පුළුවන. (හිතෝපදේශ 24:10) “මම පුරෝගාමි සේවය නවත්වන්නට යනවා . . . මට ගෙවිය යුතු බිල්පත් තිබෙනවා” කියා එක් පුරෝගාමියෙක් සංචාරක අවේක්ෂකයෙකුට පැවසී ය. ඩොලර් 20ක් වැය වන ඇස් කණ්ණාඩි ඔහුට අවශ්‍ය වී තිබුණා. “අවශ්‍ය කරවන ඩොලර් 20ක් නිසා ඔබ පුරෝගාමි සේවය අත්හරින්නට යනවා ද?” කියා එම අවේක්ෂකයා ඇසී ය. දිනකට පළාතේ කෝපි වත්තේ වැඩකර, ඩොලර් 20 උපයා, ඇස් කණ්ණාඩි මිල දී ගෙන, දිගට ම පුරෝගාමි සේවයේ නියැලෙන්නැයි පුරෝගාමියාට යෝජනා කරනු ලැබී ය. වැඩිදුරටත් සාකච්ඡා කිරීමේ දී මූලික ගැටලුව වී තිබුණේ, වියදම් අධික වාහන අලුත්වැඩියා ව බව අනාවරණය විය. වැඩි දුර ප්‍රමාණයක් වාහනය පදවනු වෙනුවට සීමිත ප්‍රදේශයක වාහනය දින පතා පැදවීමෙන් වියදම් අඩු කරන්නැයි නිර්දේශ කරනු ලැබී ය. තමාගේ ආත්මිකත්වය පවත්වා ගන්නා ලෙසත් ඔහුට අවවාද කරනු ලැබී ය. පුරෝගාමියා එම අවවාද අදාළ කරගත් අතර මාස හයකට පසු ගිලියඩ් පාසලට ඇතුළත් වන්නට ඔහු තම ඇමතුම ලැබී ය. උපාධි ලැබීමෙන් පසු ඔහු ව විදේශ රටකට පවරනු ලැබූ අතර තමාගේ මරණය දක්වා වසර ගණනාවකට එහි ඇදහිලිවන්ත ව සේවය කළේ ය. එසේ ය, අධෛර්ය වීම්වලට යටත් නොවී යෙහෝවඃ වහන්සේ අප සමඟ සිටින බව අප මනසේ දරා සිටින්නේ නම්, බොහෝ විට මහත් ආශීර්වාදයන් ලැබේ.
ඔබගේ සේවයේ වරප්‍රසාද වස්තුවක් සේ රැකගන්න
හිඟකම් හා ආහාර නොමැති අවස්ථා වැනි පරීක්ෂා තිබියදීත්, පාවුල් සිය දේව සේවය දෙස බැලුවේ නිධානයක් හැටියට ය. (2 කොරින්ති 4:7; 6:3-6) අද දවසේ ඇති වන දුෂ්කරතා හා පීඩාවන් හමුවේ, අප්‍රිකාවේ, ආසියාවේ, නැගෙනහිර යුරෝපයේ මෙන් ම, වෙනත් තැන්වල සිටින යෙහෝවඃ වහන්සේගේ බොහෝ සේවකයින් පුරෝගාමින් මෙන් ක්‍රියා කිරීමේ සිය වරප්‍රසාදය පවත්වාගෙන ඇත්තාහ. එබැවින්, පීඩාවන්ට මුහුණ දෙන විට, යෙහෝවඃ වහන්සේගේ ප්‍රශංසාවට දායක වන, මෙම සේවා වරප්‍රසාදයේ දිගට ම නියැලෙන්නට සෑම වෑයමක් ම දරන්න.
පුරෝගාමින් වැඩි දෙනෙකුට පූර්ණ-කාලීන දේශනා සේවයට ඇතුළත් වන්නට පුළුවන් වුනේ ඔවුන් සිය ජීවිත-රටාව සරල කරගත් නිසා පමණකි. පාවුල් මෙන්, ඔවුහු ද්‍රව්‍යමය ලුහුබැඳීම් මර්දනය කර “කෑම ඇඳීම්” සමඟින් සෑහීමට පත්වීම වර්ධනය කර ගත්තෝ ය. පුරෝගාමි සේවයේ දිගට ම නියැලෙනු පිණිස, අත්‍යවශ්‍ය දේවල් සමඟින් ඔවුන් සෑහීමට පත් විය යුතු ය. (1 තිමෝති 6:8) ප්‍රීතිය ලැබෙන්නේ දෙවියන් වහන්සේ අපට දී ඇති වරප්රසාදයන් රැකබලා ගැනීමෙනුත්, ඒවා ද්‍රව්‍යමය වස්තූන්ට ඉහළින් ම තැබීමෙනුත් ය.
මෙය විස්තර කරමු: ඇන්ටන් කර්බර්, වොෂිංටන් ඩී.සී. හි රජයේ නිලධාරීන්ට රාජ්‍ය කාරණා පැහැදිලි කිරීමේ වරප්‍රසාදය ලැබී ය. ඔහු පුරෝගාමියෙක් හැටියට යම් කලකට සේවය කළ අතර 1950 ගණන්වල චාරිකා අවේක්ෂකයෙක් වූයේ ය. ඔහු සමඟ කලින් ව්‍යාපාරික කටයුතු කළ අය, ඔහුට ඩොලර් මිලියන ගණනක ශුද්ධ ලාභයක් අත්වන යෝජනාවක් සමඟින් වරක් ඔහු ව හමු වූහ. එසේ කිරීමට, කෙසේ හෝ, වසරකට පමණ ඔහුගේ මුළු කාලය ම ව්‍යාපාර කටයුතුවලට ඔහු වැය කිරීම අවශ්‍ය වනු ඇත. මඟ පෙන්වීම හා නැණවත් ව ක්‍රියා කළ හැකි මනසක් සඳහා යාච්ඤා කිරීමෙන් පසු, ඔහු මෙසේ පැවසී ය: “ලෝකයේ ඇති මුළු මුදල් ප්‍රමාණය මට ඉදිරිපත් කළත් වසරකට පවා, යෙහෝවඃ වහන්සේට මා මෙහි කරන සේවයේ පුදුමාකාර වරප්‍රසාදය මට අත්හැරිය නොහැකියි. වොෂිංටනයේ සිටින මාගේ සහෝදරයින්ට සේවය කිරීම මට වැඩි වටිනාකමකින් යුක්ත වන අතර මෙහි යෙහෝවඃ වහන්සේගේ ආශීර්වාදය මට ඇති බව මා දන්නවා. මම ඩොලර් මිලියනයක් උපයා ගන්නා බව නිසැක ය. එහෙත් එයාකාර ජීවිතයක් ගත කරන එම වසර අවසානයේ දී, මා ආත්මික වශයෙන්, නැතහොත් ශාරීරික වශයෙන් පවා කොයි ආකාර වන්නට පුළුවන් ද?” එනිසා එම යෝජනාව ඔහු ප්‍රතික්ෂේප කළේ ය. සමානාකාරයෙන් සිය වරප්රසාදයන් වස්තුවක් සේ රැකබලා ගැනීම බොහෝ දෙනෙකුට පුරෝගාමි සේවයේ දිගට ම නියැලෙන්නට උපකාරවත් වේ.
පුරෝගාමිහු කොතරම් ආශීර්වාදයන් ප්‍රීතියෙන් භූක්ති විඳින්නෝ ද! යෙහෝවඃ වහන්සේගේ මහිමාන්විත රජකම පිළිබඳ ව කථා කරමින් පැය ගණනාවක් වැය කිරීම ආශීර්වාදයකි. (ගීතාවලිය 145:11-13) දේව සේවය සඳහා මෙතරම් කාලයක් කැප කිරීම නිසා, දිළිඳු හා පීඩා විඳින අයට, රෝගී නැතහොත් වියෝ දුකෙන් සිටින අයට, එමෙන් ම සහමුලින් ම සිත් තැවුලට පත් ව සැබෑ බලාපොරොත්තුවක් අවශ්‍ය ව සිටින අයට ආත්මික සහනයක් ගෙන ඒමේ ආශීර්වාදය පුරෝගාමින්ට ඇත්තේ ය. එබැවින්, පූර්ණ-කාලීන දේශනා සේවයේ නියැලෙන්නට තත්ත්වයන් අපට ඉඩ දෙනවා නම්, අප ඇත්ත වශයෙන් ම බොහෝ ආශීර්වාදයන් භුක්ති විඳිනු ඇත. ඇත්තෙන් ම ‘පොහොසත්කම ලබා දෙන්නේ යෙහෝවඃ වහන්සේගේ ආශීර්වාදය ය.’ (හිතෝපදේශ 10:22) තව ද රාජ්‍යය ප්රචාරකයින් බොහෝ දෙනෙක් ප්‍රීතියෙන් පුරෝගාමි සේවයේ දිගට ම නියැලී සිටින්නේ උන් වහන්සේගේ උපකාරය හා ආශීර්වාදය ඇති ව ය.