පුරෝගාමි සේවයේ ආශීර්වාද
1, 2. පුරෝගාමි සේවයෙන් ලබන ආශීර්වාද මොනවාද? මෙවැනි ආශීර්වාද ලැබීමට හේතුව කුමක්ද?
1 “අනිත් අයත් එක්ක සත්‍යය බෙදාගැනීමෙන් ලැබෙන තෘප්තිය වෙනත් කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ කියලා මම දන්නවා” කියා එක් පුරෝගාමියෙක් පැවසුවේය. තවත් පුරෝගාමි සහෝදරියක් මෙසේ පැවසුවාය. “හැම දවසක්ම අවසානයේදී, මට හොඳට නින්ද යනවා. මගේ සිත ප්‍රීතියෙන් පිරිලා තියෙනවා.” මෙම පුරෝගාමීන් දෙදෙනා කතා කරන්නේ පුරෝගාමි සේවයේ ආශීර්වාදවල රස බලා තිබෙන ලොව නන් දෙස සිටින සහෝදර සහෝදරියන්ව නියෝජනය කරමිනි.—හිතෝ. 10:22.
2 දේවවචනයේ සඳහන් ජීවිත ගලවන දැනුම ලබාගැනීමට අන් අයට උපකාර කිරීමෙන් නියම තෘප්තියක් ලැබේ. (ක්‍රියා 20:35; 1 තෙස. 2:19, 20) “මිනිසුන්ට ඔවුන්ගේ ජීවිතවල වෙනස්කම් කිරීමට පෙලඹීමක් ඇති කරන්න තරම් දේවවචනයේ තියෙන බලය දකිනකොට, මහත් ප්රබෝධයක් දැනෙනවා වගේම ඇදහිල්ලත් ශක්තිමත් වෙනවා” කියා දිගු කාලයක සිට පුරෝගාමි සේවය කරන සහෝදරයෙක් පැවසුවේය. ජනයාට උපකාර කරමින් බයිබල් පාඩම් පැවැත්වීම සඳහා තමන්ගේ කාලය හා ශ්‍රමය වැය කිරීමෙන් පුරෝගාමීහු එවන් ආශීර්වාද අද්දකිති.
3, 4. පුරෝගාමි සේවය මගින් යෙහෝවා මත රඳා සිටීමට යමෙකුට උගන්වන්නේ කෙසේද? ආත්මිකව වර්ධනය වීමට එය යමෙකුට උපකාරවත් වන්නේ කෙසේද?
3 යෙහෝවා මත රඳා සිටීම: පුරෝගාමීන් ඔවුන්ගේ සේවය කරගෙන යන විට සෑම දවසකම යෙහෝවාගේ ආත්මය මත රඳා සිටී. මෙය ‘ආත්මයේ පල’ වගා කරගැනීමට ඔවුන්ට උපකාරවත් වන අතර, ඔවුන්ට ආරක්ෂාවක්ද ලබා දෙයි. (ගලා. 5:16, 22, 23) මීට අමතරව, ඔවුන් දේවවචනය නිතරම භාවිත කරන නිසා සත්‍යය තහවුරු කිරීම සඳහා කරුණු ඉදිරිපත් කිරීමටත් අන් අයව ශක්තිමත් කිරීමටත් ශුද්ධ ලියවිල්ල නිතරම දක්ෂ ලෙස යොදාගැනීමේ හැකියාව ඔවුන්ට ලැබේ. (2 තිමෝ. 2:15) දශක ගණනාවක සිට පුරෝගාමි සේවය කරන සහෝදරයෙක් මෙසේ අදහස් දැක්වුවේය. “බයිබලය ගැන ගැඹුරු දැනුමක් ලබාගන්නත්, යෙහෝවා ගැන හා ඔහුගේ අරමුණු ගැන ඉගෙනගන්න හුඟදෙනෙකුට උපකාර කිරීමට එම දැනුම යොදා ගන්නත් පුරෝගාමි සේවය මට උපකාරවත් වෙලා තියෙනවා.” ඉන් ලැබෙන තෘප්තිය මොනතරම්ද!
4 ස්ථාවර පුරෝගාමීන් තවත් බොහෝ ආකාරවලින් යෙහෝවා මත රඳා සිටිය යුතුයි. තමන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාගැනීම සඳහා දරන වෑයම්වලට යෙහෝවා ආශීර්වාද කරන ආකාරය දකින විට ඔවුන්ගේ ඇදහිල්ල තවත් ශක්තිමත් වේ. අවුරුදු 55ක් තිස්සේ පුරෝගාමි සේවය කරන 72හැවිරිදි ස්ථාවර පුරෝගාමියෙක් මෙසේ පැවසුවේය. “යෙහෝවා කවදාවත් මගේ බලාපොරොත්තු කඩ කරලා නැහැ.” එමෙන්ම ඔවුන්ගේ ජීවිත සරල කරගැනීමෙන් පුරෝගාමීහු ජීවිතයේ බොහෝ සිත්තැවුල්වලින් නිදහස් වී සිටිති. මෙවන් ජීවිතයකට ඇල්මක් ඔබටත් ඇති වෙනවාද?—මතෙ. 6:22; හෙබ්‍රෙ. 13:5, 6.
5. යෙහෝවාට ළංවීමට පුරෝගාමි සේවය උපකාරවත් වන්නේ කෙසේද?
5 දෙවිට ළංවීම: යෙහෝවා සමඟ තිබෙන අපේ සබඳතාව ඉතා අනර්ඝ දෙයකි. (ගීතා. 63:3) යෙහෝවා කෙරෙහි තිබෙන ප්‍රේමයෙන් පෙලඹී දේවසේවයේ අප හවුල් වන විට එම සබඳතාව තවත් වර්ධනය වේ. (යාකො. 4:8) අවුරුදු 18ක් තිස්සේ පුරෝගාමි සේවය කරන සහෝදරයෙක් මෙසේ පැවසුවේය. “පුරෝගාමි සේවය ‘යෙහෝවා යහපත් බව රස බලා දැනගන්න’ අපට ඉඩ සලසා දෙන අතර, දවසක් දවසක් පාසා අපේ මැවුම්කරු එක්ක වඩාත් ශක්තිමත් සබඳතාවක් ගොඩනඟා ගන්න එය උපකාරවත් වෙලා තියෙනවා.”—ගීතා. 34:8.
6. පුරෝගාමීන්ට තිබිය යුත්තේ කුමක්ද? පුරෝගාමීන්ට අමතරව, පුරෝගාමි සේවයෙන් ප්‍රයෝජන ලබන්නේ කවුද?
6 පුරෝගාමි සේවය කිරීම සඳහා තමන්ගේ තත්වයන් යෝග්‍ය පරිදි සකස් වී තිබීමට අමතරව ශක්තිමත් ඇදහිල්ලක්ද, දෙවි හා අසල්වැසියන් කෙරෙහි අව්‍යාජ ප්‍රේමයක්ද, කැප කිරීම් කිරීම සඳහා කැමැත්තක්ද පුරෝගාමීන්ට තිබිය යුතුයි. (මතෙ. 16:24; 17:20; 22:37-39) කෙසේවෙතත්, ලොව පුරා සිටින පුරෝගාමීන්ගේ සන්තෝෂවත් මුහුණුවලින් අපට පෙනී යන්නේ පුරෝගාමි සේවයේ ආශීර්වාද, ඒ සඳහා කරන ඕනෑම කැප කිරීමක් ඉක්මවා යන බවයි. (මලා. 3:10) මෙම ආශීර්වාද අද්දකින්නේ පුරෝගාමීන් පමණක් නොව, ඔවුන්ගේ පවුල්වල අයද සභාවද ඔවුන් පෙන්වන කදිම ස්වභාවයෙන් ඉමහත් ප්‍රයෝජන ලබති.—පිලි. 4:23.