සහෝදර ස්නේහයේ යතුර සොයා ගැනීම
‘ඔබගේ දේව භක්තියට සහෝදර ස්නේහය සපයා ගන්න.’—2 පේතෘස් 1:5-7, NW.
1. යෙහෝවඃ වහන්සේගේ ජනයා එකට රැස්වෙන විට ඒවා එතරම් ම සන්තෝෂවත් අවස්ථාවන් වීමට එක හේතුවක් කුමක් ද?
එක් අවස්ථාවක, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙකු නොවූ එක් වෛද්‍යවරයෙක්, තම දියණිය මිෂනාරි පුහුණුව ලැබ සිටි වොච් ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් හි උපාධි ප්‍රදානෝත්සවයට පැමිණ සිටියේ ය. රැස් ව සිටින සන්තෝෂවත් ජනකාය දකින විට ඔහුගේ සිත කොතරම් ඇදී ගියේ ද යත්, මේ පිරිස අතර අසනීප ඇත්තේ ඉතා අල්ප ප්‍රමාණයෙන් යයි ඔහු කල්පනා කළේ ය. රැස්ව සිටි එම ජනකාය එතරම් ම සන්තෝෂයට පත් කළේ කුමක් ද? එම කාරණය සලකා බලන අතර ම, සභාවන්හි, චාරිකා එක්රැස්වීම්වල සහ දිස්ත්‍රික්ක සමුළුවල යෙහෝවඃ වහන්සේගේ ජනයා එක්රැස් වෙන විට ඒවා සන්තෝෂවත් අවස්ථාවන් බවට පත්කරන්නේ කුමක් ද? ඒ ඔවුන් එකිනෙකා කෙරෙහි විදහා දක්වන සහෝදර ස්නේහය නොවේ ද? යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ලබන තරම් බොහෝ ආස්වාදයක්, සන්තෝෂයක් සහ තෘප්තියක් වෙනත් කිසිදු ආගමික කණ්ඩායමක් විසින් නොලබන බව පවසා තිබීමට එක ම හේතුව ඔවුන් අතර වූ සහෝදර ස්නේහය බවට කිසිදු සැකයක් නැත.
2, 3. අප එකිනෙකා ගැන හැඟී යා යුතු ආකාරය හා සම්බන්ධ ව අදහස් දක්වන ග්‍රීක් වචන දෙක මොනවා ද, තව ද ඒවායේ විශේෂිත අංග ලක්ෂණ කවරේ ද?
2 පළමුවෙනි පේතෘස් 1:22 හි [NW] ප්‍රේරිත පේතෘස්ගේ වචන සලකා බලන විට, එවන් සහෝදර ස්නේහයක් දැකීමට අප අපේක්ෂා කළ යුතු ය: “කුහකකමින් තොර සහෝදර ස්නේහයේ ප්‍රතිඵලයක් වශයෙන්, සත්‍යයට කීකරු වීම මගින් ඔබ, හෘදයෙන් ම එකිනෙකාට දැඩි සේ ප්‍රේම කරන්න.” මෙහි “සහෝදර ස්නේහය” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයේ මූලිකාංගවලින් එකක් නම් ෆි·ලිʹයා (ස්නේහය) ය. එහි අර්ථය, “ප්‍රේමය” යනුවෙන් සාමාන්‍යයෙන් පරිවර්තනය කර ඇති අ·ගාʹපේ, අර්ථයට සමීප ව සම්බන්ධ වී තිබේ. (1 යොහන් 4:8) සහෝදර ස්නේහය සමඟින් ප්‍රේමය බොහෝ විට හුවමාරු කරමින් යොදා තිබුණ ද, ඒවාට විශේෂ වූ අංග ලක්ෂණ තිබේ. වෙනත් බොහෝ බයිබල් පරිවර්තකයින් කරන්නාක් මෙන්, අප මේවා එකිනෙක පටලවා නොගත යුතුයි. මෙම ලිපියේ සහ ඊළඟ ලිපියේ, මෙම වචන එකිනෙක අප විසින් සාකච්ඡා කරනවා ඇත.
3 මෙම ග්‍රීක් වචන දෙක අතර තිබෙන වෙනස සම්බන්ධයෙන් බලන කල, ෆි·ලිʹයා යන්න, “ස්ථිර වශයෙන් ම, උණුසුම හා සමීප බව සහ ස්නේහයට සම්බන්ධ වචනයකි” යයි එක් විශාරදයෙක් සටහන් කළේ ය. අනෙක් අතට, අ·ගාʹපේ බොහෝ සෙයින් සම්බන්ධ වී ඇත්තේ මනස සමඟ ය. මේ අයුරින්, අපගේ සතුරන්ට ප්‍රේම (අ·ගාʹපේ) කරන මෙන් අපට පවසා තිබෙන අතර ම අපට ඔවුන් උදෙසා ස්නේහයක් තිබෙනවා නොවේ. එසේ නොවේ ද? එසේ නැත්තේ මන්ද? මක්නිසාදයත් ‘නපුරු සමාගමෙන් හොඳ චරිත නරක් වෙන’ නිසා ය. (1 කොරින්ති 15:33) මෙම වචන අතර වෙනසක් තිබෙන බව තවදුරටත් පෙන්වන දෙයක් නම් ප්‍රේරිත පේතෘස්ගේ මෙම වචනයි, එනම්: “සහෝදර ස්නේහය සමග ප්‍රේමයද සපයාගනිල්ලා.”—2 පේතෘස් 1:5-7; සසඳන්න යොහන් 21:15-17.a
ඉතා විශේෂ වූ සහෝදර ස්නේහය පිළිබඳ ආදර්ශ
4. යේසුස් වහන්සේ සහ යොහන් අතර එකිනෙකා කෙරෙහි විශේෂ ස්නේහයක් තිබුණේ මන්ද?
4 ඉතා විශේෂ වූ සහෝදර ස්නේහය පිළිබඳ ආදර්ශ ගණනාවක් දේව වචනය අප හට දෙයි. මෙම විශේෂ ස්නේහය සිතේ පහළ වූ යම් හදිසි අදහසක් නිසා ඇති වන දෙයක් නොවේ, නමුත් එය පදනම් වී ඇත්තේ කැපී පෙනෙන ගුණාංග අගය කිරීම මත ය. මේ සම්බන්ධයෙන් වඩාත් ම ප්‍රසිද්ධ උදාහරණය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේරිත යොහන් හට තිබූ ස්නේහය බවට නිසැක ය. යේසුස් වහන්සේට තම ඇදහිලිවන්ත ප්‍රේරිතයින් සියල්ලන් කෙරෙහි සහෝදර ස්නේහයක් තිබූ බවටත්, එසේ තිබුණේ හොඳ හේතු ඇති ව බවටත් කිසිදු සැකයක් නැත. (ලූක් 22:28) උන් වහන්සේ මෙය පෙන් වූ එක් මාර්ගයක් වූයේ ඔවුන්ගේ පාද සේදීම මගින් ය, මින් යටහත් පහත්කම ගැන ඔවුනට පාඩමක් දෙන ලදි. (යොහන් 13:3-16) එහෙත්, යේසුස් වහන්සේට යොහන් කෙරෙහි විශේෂ ස්නේහයක් තිබූ අතර, යොහන් මෙය යළි යළිත් සඳහන් කළේ ය. (යොහන් 13:23; 19:26; 20:2) තම ගෝලයින් හා තම ප්‍රේරිතයින් වෙත ස්නේහය විදහා පෙන්වීමට යේසුස් වහන්සේ හට හේතු තිබුණාක් මෙන්, යොහන් ද යේසුස් වහන්සේ කෙරෙහි වඩාත් ගැඹුරු අගයකින් යුක්ත ව සිටි නිසා ඔහු කෙරෙහි විශේෂ ස්නේහයක් දැක්වීමට ඔහු යේසුස් වහන්සේ හට බෙහෙවින් හේතුවක් දුන්නා විය හැකි ය. යොහන්ගේ ලියවිලි වන, ඔහුගේ සුවිශේෂයෙන් හා දේවානුභාවය ලත් ඔහුගේ ලිපිවලින් යන දෙකෙන් ම අපට මෙය දැකිය හැකි ය. එම ලියවිලිවල ඔහු ප්‍රේමය ගැන කොතරම් වාර ගණනක් සඳහන් කරන්නේ ද! යේසුස් වහන්සේගේ ආත්මික ගුණාංග කෙරෙහි යොහන්ට තිබුණා වූ වඩාත් වැඩි අගය කිරීම, යොහන් පොතේ 1 වෙනි පරිච්ඡේදයේ සහ යොහ 13 සිට 17 දක්වා පරිච්ඡේදවල ඔහු විසින් ලියූ දේවලින් ද, එමෙන් ම යේසුස් වහන්සේගේ පූර්ව මිනිස් පැවැත්ම වෙත ඔහු යළි යළිත් කරන යොමු දැක්වීම්වලින් ද දැකිය හැක.—යොහන් 1:1-3; 3:13; 6:38, 42, 58; 17:5; 18:37.
5. පාවුල් සහ තිමෝති අතර එකිනෙකා කෙරෙහි තිබූ විශේෂ ස්නේහය ගැන කුමක් කිව හැකි ද?
5 ඒ හා සමාන ව, ප්‍රේරිත පාවුල් සහ ඔහුගේ ක්‍රිස්තියානි සහායක තිමෝති අතර, නිසැක ව ම එකිනෙකාගේ ගුණාංග අගය කිරීම මත පදනම් වූ එකිනෙකා කෙරෙහි තිබූ ඉතා විශේෂ සහෝදර ස්නේහය ද අප අමතක නොකළ යුතු ය. පාවුල්ගේ ලිපිවල තිමෝති ගැන මෙවැනි කදිම ප්‍රකාශනයන් සඳහන් කොට තිබේ: “මක්නිසාද නුඹලාගේ කාරණ ගැන ඔහු වාගේ සැබෑලෙස සලකන්නාවූ වෙන කෙනෙක් මට නැත. . . . ඔහු නම් දරුවෙක් පියෙකුට සේවයකරන්නාක්මෙන් ශුභාරංචියේ වර්ධනය සඳහා මා සමග සේවයකළේය යන ඔහුගේ ඔප්පුව නුඹලා දනිහුය.” (පිලිප්පි 2:20-22) තිමෝති උදෙසා පාවුල්ගේ උණුසුම් ස්නේහය හෙළි කරන්නාවූ පෞද්ගලික යොමු දැක්වීම් ගණනාවක් ඔහුගේ ලිපිවල තිබේ. නිදසුනක් වශයෙන්, 1 තිමෝති 6:20 හි සඳහන් දෙය සලකා බලන්න: “තිමෝතියස්නි, . . . නුඹට භාරදුන් දෙය ආරක්ෂාකරපන්න.” (එමෙන් ම 1 තිමෝති 4:12-16; 5:23; 2 තිමෝති 1:5; 3:14, 15 ද බලන්න.) විශේෂයෙන් ම, පාවුල් තිමෝතිට ලියන ලද ලිපිය හා තීතස් හට ලියන ලද ලිපිය අතර සැසඳීමක් කරන කල, මෙම යෞවනයා කෙරෙහි පාවුල්ට විශේෂ ස්නේහයක් තිබූ බවට තවත් තහවුරුවක් ලැබේ. තිමෝතිට ද තම මිත්‍ර සම්බන්ධකම ගැන එසේ ම හැඟුණා විය හැකි ය, මන්ද, 2 තිමෝති 1:3, 4 හි පාවුල්ගේ වදන්වලින් එය දැකිය හැක: “මම රෑ දාවල් කඩනැතුව මාගේ යාච්ඤාවලදී නුඹ සිහිකරමින්, . . . නුඹේ කඳුළු සිහිකර, . . . මම ප්‍රීතියෙන් පූර්ණවන පිණිස නුඹ දකින්ට ආශාවෙමි.”
6, 7. දාවිත් සහ යොනාතාන් අතර එකිනෙකා කෙරෙහි කිනම් හැඟීමක් තිබුණි ද, තව ද ඒ මන්ද?
6 හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල ද, දාවිත් සහ යොනාතාන් අතර සම්බන්ධය වැනි කදිම ආදර්ශ සැපයේ. දාවිත් ගොලියත් ව මරා දැමූ පසු, “යොනාතාන්ගේ ප්‍රාණය දාවිත්ගේ ප්‍රාණයට බැඳී, යොනාතාන් තමාගේම ප්‍රාණයට මෙන් ඔහුට ආදරේ” වූ බව අපට කියවීමට තිබේ. (1 සාමුවෙල් 18:1) යෙහෝවඃ වහන්සේගේ නාමය උදෙසා වූ ජ්වලිතය පිළිබඳ දාවිත්ගේ ආදර්ශය අගය කිරීම හා යෝධ ගොලියත්ගේ පෙර මඟට නොබිය ව යාම, දාවිත් කෙරෙහි යොනාතාන්ට විශේෂ ස්නේහයක් ඇති වීමට හේතු කරවූ බවට කිසිදු සැකයක් නැත.
7 දාවිත් කෙරෙහි යොනාතාන්ට කොතරම් ස්නේහයක් තිබුණා ද කිවහොත්, සාවුල් රජ ඉදිරියේ දාවිත් ව ආරක්ෂා කර ගැනීමට යාමෙන් ඔහු තම ජීවිතය පවා අවදානමට ලක් කර ගත්තේ ය. යෙහෝවඃ වහන්සේ විසින් දාවිත් ව ඊශ්‍රායලයේ ඊළඟ රජ බවට පත් කර ගැනීම ගැන යොනාතාන් කිසි ම විටෙක අමනාප වූයේ නැත. (1 සාමුවෙල් 23:17) දාවිත්ට ද ඒ හා සමාන ගැඹුරු ස්නේහයක් යොනාතාන් කෙරෙහි තිබූ අතර, යොනාතාන්ගේ මරණයේ දී වැළපෙන විට ඔහු පැවසූ දෙයින් එය පිළිබිඹු වෙයි: “මාගේ සහෝදරවූ යොනාතාන්, නුඹ ගැන මට ශෝකය ඇත්තේය. මා කෙරෙහි වූ නුඹේ ආදරය පුදුමය, ස්ත්‍රීන්ගේ ආදරයට වඩා මහත්ය.” ඇත්තට ම, ඔවුන්ගේ සම්බන්ධයේ විශේෂ ලක්ෂණයක් වූයේ තියුණු අගය කිරීමයි.—2 සාමුවෙල් 1:26.
8. එකිනෙකා කෙරෙහි විශේෂ ස්නේහයක් දැක්වූ ස්ත්‍රීන් දෙදෙනා කවුරුන් ද, තව ද ඒ මන්ද?
8 නයෝමි සහ ඇගේ වැන්දඹු ලේලිය වූ රූත් නම් ස්ත්‍රීන් දෙදෙනෙක් සම්බන්ධ විශේෂ ස්නේහයක් ගැන හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ තවත් කදිම ආදර්ශයක් අපට දක්නට ලැබේ. රූත් නයෝමිට පැවසූ වදන් සිහි කරන්න: “නුඹ අත්හැර හැරීයන ලෙස මට පෙරැත්තනොකරන්න. මක්නිසාද නුඹ යන තැනට මමත් යමි; නුඹ නවතින තැන මමත් නවතිමි. නුඹේ සෙනග මාගේ සෙනග වන්නේය, නුඹේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක.” (රූත් 1:16) රූත් විසින් මෙම අගය කරන සුලු ප්‍රතිචාරය දැක්වීමට පෙලඹවීම් ලැබුවේ නයෝමි තම හැසිරීම මෙන් ම යෙහෝවඃ වහන්සේ පිළිබඳ ව ඈට කථා කිරීම නිසාත් යයි අප නිගමනය කළ යුතු නොවේ ද?—ලූක් 6:40 සසඳන්න.
ප්‍රේරිත පාවුල්ගේ ආදර්ශය
9. සහෝදර ස්නේහය සම්බන්ධයෙන් පාවුල් ආදර්ශවත් වූ බව පෙන්වන්නේ කුමකින් ද?
9 අප දැක ඇත්තාක් මෙන්, ප්‍රේරිත පාවුල්ට තිමෝති කෙරෙහි ඉතා විශේෂ සහෝදර ස්නේහයක් තිබුණි. එහෙත්, පොදු වශයෙන් තම සහෝදරයින් කෙරෙහි උණුසුම් සහෝදර ස්නේහයක් පළ කිරීමේ පුදුමාකාර ආදර්ශයක් ඔහු විසින් තබන ලදි. “[තමා] තුන් අවුරුද්දක් මුළුල්ලෙහි රෑ දාවල් දෙකේ කඳුළුවලින් යුක්තව සියල්ලන්ට නිරතුරු අවවාද දුන් බව” ඔහු එපීසයේ වැඩිමහල්ලන්ට පැවසුවේ ය. උණුසුම් සහෝදර ස්නේහය ද? නිසැක ව ම! තව ද ඔවුනට පාවුල් ගැන හැඟුණෙත් ඒ ආකාරයට ම ය. තමන් ඔහු ව තවදුරටත් දකින්නට යන්නේ නැති බව ඇසීමෙන්, “ඔවුන් සියල්ලෝ, . . . කනගාටුවෙමින්, අතිශයෙන් හඬා, ඔහුගේ බෙල්ල වැළඳගන ඔහු සිඹගත්තෝය.” (ක්‍රියා 20:31, 37) මෙය අගය කිරීම මත පදනම් වූ සහෝදර ස්නේහයක් ද? එසේ ය! ඔහුගේ සහෝදර ස්නේහය, 2 කොරින්ති 6:11-13 හි සඳහන් ඔහුගේ වචනවලින් ද දැකිය හැකි ය: “එම්බා කොරින්තිවරුනි, අපේ මුඛය නුඹලාට කථා කරන පිණිස ඇරී තිබේ, අපේ සිත [හෘදය NW] විශාලවී තිබේ. නුඹලා හිරවී සිටින්නේ අප තුළ නොවේ. නුඹලාගේම සිත් [මෘදු ස්නේහය NW] තුළ නුඹලා හිරවි සිටිහුය. එබැවින් එම ආකාර ප්‍රතිඵලයක් පිණිස නුඹලාත් සිතින් විශාලවෙයල්ලා; දරුවන්ට මෙන් මෙසේ කියමි.”
10. දෙවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ පාවුල්ගේ පරීක්ෂාවන් ගැන ඔහු විසින් විස්තර කිරීමට හේතු වූයේ සහෝදර ස්නේහය සම්බන්ධ ව තිබූ කිනම් ඌනතාවය ද?
10 පැහැදිලි ව ම, කොරින්තිවරුන් බොහෝ දෙනෙක්, ප්‍රේරිත පාවුල් කෙරෙහි අගය කරන සුලු සහෝදර ස්නේහයකින් හීන ව සිටියහ. මෙසේ, ඔවුන්ගෙන් ඇතමෙක් පැමිණිලි කළේ: “ඔහුගේ ලියුම් නම් බරපතළය, බලවත්ය; නුමුත් ළඟ සිටින විට ශරීරාකාරය දුර්වලය, කථාවද සුළුයයි” යනුවෙනි. (2 කොරින්ති 10:10) ඔවුන්ගේ “උත්කෘෂ්ට ප්‍රේරිතයන්” ගැන කීමටත්, 2 කොරින්ති 11:5, 22-33 හි වාර්තා කර ඇති පරිදි, තමා විඳදරා ගත් පරීක්ෂා ගැන කීමටත් ඔහු පෙලඹුණේ ඒ නිසා ය.
11. තෙසලෝනිකයේ විසූ ක්‍රිස්තියානින් උදෙසා පාවුල්ට තිබූ ස්නේහය පිළිබඳ ව කිනම් සාක්ෂි තිබේ ද?
11 පාවුල් සේවය කළ අය කෙරෙහි ඔහුට තිබුණා වූ උණුසුම් ස්නේහය, 1 තෙසලෝනික 2:8 හි සඳහන් සිය වචන තුළ විශේෂයෙන් දක්නට ලැබේ: “එලෙස අපි නුඹලාට ප්‍රේමාන්විත ඇලුම්කමකින් [මෘදු ස්නේහයකින් NW] යුක්තව සිටිය බැවින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නොව නුඹලා අපට ඉතා ප්‍රියවූ නිසා අපේම ප්‍රාණත් නුඹලාට දෙන්ට සතුටුව සිටියෙමුව.” මෙම නව සහෝදරයින් කෙරෙහි දැක්වූ ස්නේහය කොතරම් ද යත්, ඔවුන්ගේ දුක සැප සොයා බැලීමට තවදුරටත් එහි රැඳී සිටින්නට තමාට නොහැකිවූ විට—ඔවුන් පීඩා විඳදරා ගන්නේ කෙසේ ද කියා දැනගැනීමට ඔහු කොතරම් උනන්දු වූවාද යත්—ඔහු තිමෝති ව ඒ සඳහා පිටත් කර හැරිය අතර, ඔහු හොඳ වාර්තාවක් දුන්නෙන් ඒ තුළින් මහත් සැනසීමක් ලැබී ය. (1 තෙසලෝනික 3:1, 2, 6, 7) ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් මනා අයුරින් මෙසේ නිරීක්ෂණය කරයි: “පාවුල් සහ ඔහුගේ සේවය ලද අය අතර සහෝදර ස්නේහයේ සමීප බැම්මක් පැවතුණි.”
අගය කිරීම—සහෝදර ස්නේහයේ යතුර
12. අපගේ සහෝදරයින් උදෙසා උණුසුම් ස්නේහය පෙන්වීම සඳහා අපට තිබෙන හේතු මොනවා ද?
12 නිසැක ව ම, සහෝදර ස්නේහයේ යතුර නම් අගය කිරීමයි. යෙහෝවඃ වහන්සේට කැප වූ සියලු සේවකයින් හට අප විසින් අගය කරන, අපගේ ස්නේහය දිනාගන්නා වූ, අප විසින් ඔවුන් ව මහත් සේ ප්‍රිය කිරීමට ඉවහල් වන ගුණාංග තිබෙනවා නොවේ ද? අපි සියලු දෙනා ම, පළමු කොට, දෙවියන් වහන්සේගේ රාජ්‍යය සහ උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම සොයමින් සිටින්නෙමු. අපි සියලු දෙනා ම, අපගේ පොදු සතුරන් තිදෙනාට, එනම් සාතන් සහ ඔහුගේ භූතයින්ට, සාතන්ගේ පාලනය යටතේ තිබෙන දුෂ්ට ලෝකයට සහ අපගේ පව්කාර මාංසයේ උරුම වූ ආත්මාර්ථකාමී නැඹුරුවාවන්ට විරුද්ධ ව දැඩි සටනක යෙදී සිටින්නෙමු. මුහුණ දීමට තිබෙන තත්ත්වයන් සලකා බලන කල අපගේ සහෝදරයින් තමන්ට කළ හැකි උපරිමය කරමින් සිටිනවා ය යන ස්ථාවරය අප විසින් ගත යුතු නොවේ ද? යම් යම් තත්ත්වයන් යටතේ තමන්ට හැකි උපරිමය කරමින් සිටින බව අප සෑම විට ම මතක තබා ගත යුතු නොවේ ද? මේ ලෝකයේ සිටින සෑම කෙනෙක් ම, යෙහෝවඃ වහන්සේගේ පැත්තේ හෝ සාතන්ගේ පැත්තේ හෝ සිටී. අපගේ කැප වූ සහෝදර සහෝදරියන් සිටින්නේ යෙහෝවඃ වහන්සේගේ පැත්තේ ය, එසේ ය, අපගේ පැත්තේ ය, එමනිසා, ඔවුහු අපගේ සහෝදර ස්නේහය ලබන්නට වටිති.
13. අපට වැඩිමහල්ලන් උදෙසා උණුසුම් ස්නේහයක් තිබිය යුත්තේ මන්ද?
13 අපගේ වැඩිමහල්ලන් ව අගය කිරීම ගැන කුමක් කිව හැකි ද? සභාවේ වැඩකටයුතු සම්බන්ධයෙන් ඔවුන් ගන්නා වෙහෙස මහන්සිය ගැන කල්පනා කරන කල, ඔවුනට අපගේ හදවත් තුළ උණුසුම් ස්ථානයක් තිබිය යුතු නොවේ ද? අප සියල්ලන් මෙන්, ඔවුන්ට ද තමන්ට හා තම පවුල්වලට අවශ්‍යතා සපයා ගැනීමට තිබේ. පුද්ගලික පාඩම කිරීමටත්, සභා රැස්වීම්වලට පැමිණීමටත්, ක්ෂේත්‍ර සේවයේ හවුල්වීමටත්, සෙසු අප සියල්ලන් මෙන්, ඔවුහු ද බැඳී සිටිත්. ඊට අමතර ව, රැස්වීම්වල කොටස් සූදානම් වීමට ද, ප්‍රසිද්ධ කථා ඉදිරිපත් කිරීමට ද, ඇතැම් විට පැය ගණනාවක් පුරා විනිශ්චමය කමිටුවල කාලය ගත කිරීමට සිදුවන සභාව තුළ පැන නගින ගැටලු සමඟ කටයුතු කිරීමට ද, ඔවුන් බැඳී සිටී. සැබවින් ම, “එම ආකාරයේ පුරුෂයන් ව හිතවත් ව අගයෙන් යුක්ත ව තබා ගැනීමට” අපට වුවමනා ය.—පිලිප්පි 2:29, NW.
සහෝදර ස්නේහය පළ කිරීම
14. සහෝදර ස්නේහය පෙන්වන ලෙස අපට අණ කරන ශුද්ධ ලියවිලි පද මොනවා ද?
14 යෙහෝවඃ වහන්සේ ව ප්‍රසන්න කිරීමට නම්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ පාවුල් කළාක් මෙන් ම, අප අපගේ සෙසු ඇදහිලිවන්තයින්ට සහෝදර ස්නේහයේ උණුසුම් හැඟීම පළ කළ යුතු ය. අපි මෙසේ කියවමු: “[සහෝදර ස්නේහය] තුළ එකිනෙකා කෙරෙහි මුදු මොළොක් ස්නේහය ඇතුව සිටින්න.” (රෝම 12:10, කිංඩම් ඉන්ටර්ලීනියර්) “[සහෝදර ස්නේහය] සම්බන්ධයෙන් ඔබට ලිවීමට අවශ්‍ය නැත, මක්නිසාද එකිනෙකාට ප්‍රේම කිරීමට දෙවියන් වහන්සේ විසින් ඔබට ම උගන්වනු ලැබ තිබේ.” (1 තෙසලෝනික 4:9, ඉන්ට්) “ඔබගේ [සහෝදර ස්නේහය] දිගට ම පවතීවා.” (හෙබ්‍රෙව් 13:1, ඉන්ට්) අප අපගේ ස්වර්ගික පියාණන්ගේ භූමික දරුවන් සඳහා සහෝදර ස්නේහය පෙන්වන විට උන් වහන්සේ සතුටුවන බවට ස්ථිර ය!
15. සහෝදර ස්නේහය පළ කිරීමට තිබෙන මාර්ග සමහරක් මොනවා ද?
15 ප්‍රේරිතයන්ගේ කාලවල දී, ක්‍රිස්තියානිහු එකිනෙකාට, “ශුද්ධවූ සිඹීමකින්” හෙවත් “ප්‍රේමයේ සිඹීමකින්” ආචාර කිරීමට පුරුදු වී සිටියහ. (රෝම 16:16; 1 පේතෘස් 5:14) සැබවින් ම, සහෝදර ස්නේහයේ ප්‍රකාශ කිරීමක් ය! අද දින, පොළොවේ බොහෝ ප්‍රදේශවල, වඩාත් උචිත ප්‍රකාශ වීමක් වනු ඇත්තේ අවංක මිත්‍රශීලී සිනහවක් හා තදින් අතට අත දීමකි. මෙක්සිකෝව වැනි ලතින් අමෙරිකානු රටවල, වැළඳගන්නා ආකාරයේ ආචාර කිරීමක් තිබේ, ඇත්තට ම මෙය ද ස්නේහයේ ප්‍රකාශ කිරීමකි. මෙම සහෝදරයින්ගේ පැත්තෙන් දක්වනු ලබන මෙම උණුසුම් ස්නේහය, එම රටවල සිදුවෙමින් තිබෙන අති මහත් වර්ධනයට බොහෝ සෙයින් දායක වනවා විය හැකි ය.
16. අපගේ රාජ්‍යය ශාලාවල දී සහෝදර ස්නේහය පෙන්වීමට අපට තිබෙන ප්‍රස්තාවන් මොනවා ද?
16 අප රාජ්‍යය ශාලාවට ඇතුළු වන විට, අපගේ සහෝදර ස්නේහය පළ කිරීමට අපි විශේෂ වෑයමක් දරන්නෙමු ද? විශේෂයෙන් ම මානසික පීඩනවලට ලක්වී සිටින බවට පෙනෙන්ට සිටින අයට දිරිගැන්වන වචනවලින් කථා කිරීමට එය අපට අවස්ථාව සලසයි. විෂාදයට හෙවත් ‘මානසික පීඩනයට පත් ආත්මවලට සැනසිලිදායක අන්දමින් කථා කරන’ ලෙස අපට පවසා තිබේ. (1 තෙසලෝනික 5:14, NW) සහතික ව ම, එය සහෝදර ස්නේහයේ උණුසුම පළ කිරීමට තිබෙන එක් මාර්ගයකි. තවත් කදිම මාර්ගයක් නම්, කදිම ප්‍රසිද්ධ කථාවකට, හොඳින් මෙහෙයවනු ලැබූ වැඩසටහනේ කොටසකට, දිව්‍යාණ්ඩු සේවා පාසලේ ශිෂ්‍ය කථිකයෙකු විසින් දක්වන ලද හොඳ වෑයමකට, යනාදියට අගය පළ කිරීම ය.
17. එක් වැඩිමහල්ලෙක් සභාවේ ස්නේහය අත්කර ගත්තේ කෙසේ ද?
17 විවිධ අය ව ආහාර වේලකට හෝ සමහරවිට රැස්වීමකට පසු, කාල වේලාව තිබේ නම්, තේ පානයක් සඳහා ආරාධනා කිරීම ගැන කුමක් කිව හැකි ද? ලූක් 14:12-14 හි සඳහන් යේසුස් වහන්සේගේ උපදෙස අප ව පාලනය කිරීමට අප ඉඩ හැරිය යුතු නොවේ ද? එක් කලෙක, කලින් සිටි මිෂනාරිවරයෙකු ව සභාවක මුලසුන භාර අවේක්ෂක ලෙස පත්කරනු ලැබූ අතර, සභාවේ සෙසු සියල්ලෝ ම වෙනස් ජාතියකට අයත් වූහ. සහෝදර ස්නේහයේ ඌනතාවයක් ඔහුට හැඟුණෙන්, තත්ත්වය සමනය කිරීමට ඔහු මේ සඳහා පිළියමක් යෙදෙව්වේ ය. කෙසේ ද? ඔහු ඉරිදාවක් පාසා ඉරිදාවක්, ආහාර වේලක් සඳහා පැමිණෙන මෙන් එක් එක් පවුල බැගින් ආරාධනා කළේ ය. වසරක් අවසන් වන විට, සියල්ලෝ ම ඔහු කෙරෙහි උණුසුම් සහෝදර ස්නේහය පෙන්වමින් සිටියහ.
18. අසනීප ව සිටින අපගේ සහෝදර සහෝදරියන් වෙත සහෝදර ස්නේහය පෙන්වීමට අපට හැක්කේ කෙසේ ද?
18 සහෝදරයෙක් හෝ සහෝදරියක, නිවසේ හෝ රෝහලක අසනීප ව සිටින විට, අප ඔහු හෝ ඈ ගැන සැලකිල්ල දක්වන බව එම තැනැත්තාට දැනගැනීමට සැලැස්වීමට සහෝදර ස්නේහය, අප හට හේතු කරවයි. නැතහොත් සාත්තු නිවාසවල ජීවත් වන අය ගැන කුමක් කිව හැකි ද? පෞද්ගලික ව බැහැ දැකීමක් හෝ දුරකථනයෙන් කථා කිරීම හෝ උණුසුම් හැඟීම් පළ කරන කාඩ් පතක් යැවීම හෝ නොකරන්නේ මන්ද?
19, 20. අපගේ සහෝදර ස්නේහය පුළුල් වී ඇති බව අපට පෙන්විය හැක්කේ කෙසේ ද?
19 සහෝදර ස්නේහයේ එවැනි පළ කිරීම් කරන විට, අපට අපගෙන් ම මෙසේ ඇසිය හැක, ‘මගේ සහෝදර ස්නේහය පක්ෂග්‍රාහි ද? මා සහෝදර සනේහය පෙන්වන විට, හමේ පාට, අධ්‍යාපනය හෝ ද්‍රව්‍යමය දේපොළ බලනවා ද? ප්‍රේරිත පාවුල් කොරින්තිවරුන්ගෙන් උදක් ම ඉල්ලා සිටියාක් මෙන්, මගේ සහෝදර ස්නේහය පුළුල් කර ගැනීමට මට අවශ්‍ය ද?’ අපගේ සහෝදරයින්ගේ හොඳ ගති ගුණ අගය කරමින්, ඔවුන් ව ඒකාන්ත ලෙස සැලකීමට සහෝදර ස්නේහය අපට හේතු කරවයි. අපගේ සහෝදරයින්ගේ ආත්මික දියුණුවට ඊර්ෂ්‍යා කරනවා වෙනුවට, ඒ ගැන ප්‍රීති වීමට ද අප හට උපකාර වන්නේ සහෝදර ස්නේහයයි.
20 දේව සේවයේ දී අපගේ සහෝදරයින්ට උපකාර කිරීමට ද සහෝදර ස්නේහය අප ව අවදි ව තැබිය යුතු ය. එය අපගේ ගීතිකාවක (අංක 92) සඳහන් වෙනවාක් මෙන් විය යුතු ය:
“උ-දව් වෙ-මු දු-ර්ව-ල-වුන්-ට
නිර්-භී-තෙන් දේ-ශ-නා ක-රන්-ට
පි-හි-ට මා-රේගන් බා-ල වූ-වන්
බි-ය හැ-ර ශක්-ති-මත් ක-ර-ලන්”
21. අප සහෝදර ස්නේහය පෙන්වන විට අපට කිනම් ප්‍රතිචාරයක් අපේක්ෂා කළ හැකි ද?
21 එසේ නම්, සහෝදර ස්නේහය ප්‍රකාශ කිරීමේ දී, යේසුස් වහන්සේ සිය කන්ද උඩ දේශනාවේ දී සඳහන් කළ ප්‍රතිපත්තිය අදාළ වන බවට අපි අමතක නොකරමු: “දීපල්ලා [දීම පුරුද්දක් හැටියට කරන්න NW ], එවිට නුඹලාටත් දෙනු ලැබෙන්නේය; ඔව්හු ඔබමින් සොලවමින් උතුරුවමින් නුඹලාගේ ඔඩොක්කුවලට හොඳාකාර මැනදෙන්නෝය. මක්නිසාද නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත නුඹලාටත් මැනදෙනු ලැබෙන්නේය.” (ලූක් 6:38) අප මෙන් ම යෙහෝවඃ වහන්සේගේ සේවකයින් වන අය ව උසස් ලෙස අගය කොට සලකා අප සහෝදර ස්නේහය දක්වන විට, අපි අපට ම ප්‍රයෝජන සලස්වා ගන්නෙමු. සහෝදර ස්නේහය විදහාපෑමෙහි ලා සන්තුෂ්ටිමත් වන අය සැබවින් ම සන්තෝෂවත් වන්නෝ ය!
[පාදසටහන්වල]
a “ප්‍රේමය (අගාපේ)—එය කුමක් නොවේ ද, කුමක් වේ ද යන වග” යන මීළඟ ලිපිය බලන්න.
ඔබ කෙසේ පිළිතුරු දෙනු ඇත් ද?
◻ අපගේ චිත්ත වේගයන් සමඟ සම්බන්ධ වී ඇත්තේ කිනම් ග්‍රීක් වචන ද, තව ද ඒවා එකිනෙකට වෙනස් වන්නේ කෙසේ ද?
◻ සහෝදර ස්නේහයේ යතුර කුමක් ද?
◻ විශේෂ සහෝදර ස්නේහය පිළිබඳ ව අපට කිනම් ශුද්ධ ලියවිලිමය ආදර්ශයන් තිබේ ද?
◻ අපගේ සහෝදරයින් හා වැඩිමහල්ලන් උදෙසා අපට උණුසුම් ස්නේහයක් තිබිය යුත්තේ මන්ද?
[15වන පිටුවේ පින්තූරය]
තම ඇදහිල්ලට සහ අනෙකුත් ක්‍රිස්තියානි ගුණාංගවලට සහෝදර ස්නේහය සපයා ගන්නා මෙන් ප්‍රේරිත පාවුල් තම සහෝදරයන්ගෙන් උදක් ම ඉල්ලා සිටියේ ය