දානියෙල්ගේ අනාවැකිමය දවස් හා අපගේ ඇදහිල්ල
“එක්දාස් තුන්සිය තිස්පස් දවස දක්වා බලාසිට, ඒ කාලයට පැමිණෙන තැනැත්තේ වාසනාවන්තයෙක්ය [සන්තෝෂවත් ය NW]”!—දානියෙල් 12:12.
1. බොහෝ දෙනෙක් නියම සන්තෝෂය ලබා ගැනීමට අසමත් වන්නේ මන්ද, එමෙන් ම සැබැ සන්තෝෂය කුමක් සමඟ බැඳී පවතී ද?
සෑම කෙනෙකුට ම සන්තෝෂ වීමට වුවමනා ය. එනමුත් අද දින සන්තෝෂයෙන් සිටින්නේ ස්වල්ප දෙනෙකි. ඒ මන්ද? බොහෝසෙයින් ඊට හේතු වී ඇත්තේ බොහෝ දෙනෙක් සන්තෝෂය වැරදි තැන්වල සොයන නිසා ය. අධ්‍යාපනය, ධනය, රැකියාවක් හෝ බලය පසු පස හඹා යාම වැනි දේ තුළ සන්තෝෂය සොයනු ලැබේ. එහෙත්, යේසුස් වහන්සේ, සිය කන්ද උඩ දේශනාවේ ආරම්භයේ දී, සන්තෝෂය සම්බන්ධ කළේ, යමෙකුගේ ආත්මික අවශ්‍යතාවය ගැන සැලකිලිමත්වීම, දයාව, හෘදයෙන් නිර්මල ව සිටීම සහ ඒ හා සමාන ගුණාංගවලට ය. (මතෙව් 5:3-10, NW) යේසුස් වහන්සේ විසින් කථා කළ මෙයාකාරයේ සන්තෝෂය සැබෑ ය, කල් පවතියි.
2. අනාවැකිවලට අනුව, අන්තිම කාලයේ දී සන්තෝෂයට තුඩු දෙනු ඇත්තේ කුමක් ද, තව ද මේ සම්බන්ධයෙන් කිනම් ප්‍රශ්න පැන නගිනු ඇත් ද?
2 අන්තිම කාලයේ සිටින ආලේප ලත් ඉතිරි කොටස සම්බන්ධයෙන්, සන්තෝෂය වෙනත් අමතර යමක් සමඟ සම්බන්ධ වී තිබේ. දානියෙල් පොතේ අපට මෙසේ කියවීමට තිබේ: “දානියෙල්, නුඹ පලයන්න. මක්නිසාද අන්තිම කාලය දක්වා මේ වචන වසා මුද්‍රකොට තිබේ. එක්දාස් තුන්සිය තිස්පස් දවස දක්වා බලාසිට, ඒ කාලයට පැමිණෙන තැනැත්තේ වාසනාවන්තයෙක්ය [සන්තෝෂවත් ය NW]”! (දානියෙල් 12:9, 12) මෙම දවස් 1,335 ආවරණය කළේ කිනම් කාල පරිච්ඡේදය ද? එම දවස් තුළ ජීවත් වෙමින් සිටි අය සන්තෝෂවත් වූයේ මන්ද? අද දින අපගේ ඇදහිල්ල සමඟ මෙයට යම් සම්බන්ධයක් තිබේ ද? ඊශ්‍රායෙල්වරුන් ව බබිලෝනියේ වහල් භාවයෙන් මුදවා ගැනීමෙන් පසු, වැඩිකලක් ගත වන්නට මත්තෙන්, එනම් පර්සියාවේ කෝරෙෂ් රජුගේ තුන්වන අවුරුද්දේ දී, දානියෙල් විසින් මෙම වචන ලියන ලද කාලයට අප ආපසු හැරී බලන්නේ නම්, මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමට අපට එය ඉවහල් වේ.—දානියෙල් 10:1.
යළි පිහිටුවනු ලැබීම සන්තෝෂය ගෙන එයි
3. පොදු යුගයට පෙර 537 දී. ඇදහිලිවන්ත යුදෙව්වන් හට මහත් සන්තෝෂයක් ගෙනාවේ කෝරෙෂ් රජුගේ කුමන ක්‍රියාව ද, නමුත් කෝරෙෂ් යුදෙව්වන් හට නොදුන්නේ කිනම් වරප්‍රසාදය ද?
3 බබිලෝනියෙන් නිදහස් වීම යුදෙව්වන්ට නම්, සැබවින් ම ප්‍රීති ඝෝෂා කිරීමට අවස්ථාවක් විය. යුදෙව්වන් මෙම වහල් භාවයේ වසර 70ක් පමණ විඳදරා ගැනීමෙන් පසු, මහා කෝරෙෂ්, යෙහෝවඃ වහන්සේගේ දේව මාලිගාව නැවත ගොඩනැගීමට නැවත යෙරුසලමට පැමිණෙන මෙන් ඔවුන්ට ආරාධනා කළේ ය. (එස්රා 1:1, 2) මීට ප්‍රතිචාරය දැක්වූ අය, මහත් බලාපොරොත්තු ඇතුව, පො.යු.පෙ. 537 දී තම මව් රටට ළඟා වූහ. කෙසේ වුවද, දාවිත් රජුගේ පැවතෙන්නෙකු යටතේ රාජ්‍යයක් නැවත පිහිටුවන ලෙස කෝරෙෂ් ඔවුනට ආරාධනා කළේ නැත.
4, 5. (අ) දාවිත්ගේ රාජ්‍ය තන්ත්රය පෙරළා දමනු ලැබුවේ කවදා ද? ඒ මන්ද? (ආ) දාවිත්ගේ රාජ්‍ය තන්ත්රය යළි පිහිටුවනු ලබන බවට යෙහෝවඃ වහන්සේ දුන් සහතිකය කුමක් ද?
4 එය අති විශේෂ යමක් විය. මීට සියවස් පහකට පමණ පෙර, යෙහෝවඃ වහන්සේ දාවිත්ට මෙසේ පොරොන්දු කොට තිබුණි: “නුඹේ වංශයද රජකමද නුඹ ඉදිරියෙහි සදාකාලේටම ස්ථිරකරනු ලබන්නේය. නුඹේ සිංහාසනයද සදාටම පිහිටුවනු ලබන්නේය.” (2 සාමුවෙල් 7:16) දාවිත්ගේ රාජකීය පැවතෙන්නන් බොහෝ දෙනෙක් කැරලිකාරයන් බවට ඔප්පු වීම කනගාටුවට හේතුවක් වූ අතර, ජාතියේ ලේ වරද කොතරම් මහත්වූවා ද යත් පො.යු.පෙර 607 දී, දාවිත්ගේ රාජ්‍ය තන්ත්රය පෙරළා දමනු ලැබීමට යෙහෝවඃ වහන්සේ ඉඩ හැරිය සේක. මකබිවරුන් යටතේ වූ කෙටි කාල පරිච්ඡේදය හැරෙන්නට, යෙරුසලම, පො.යු. 70 වූ එහි දෙවෙනි විනාශය දක්වා පැවතුණේ විදේශීය ආධිපත්‍යය යටතේ ය. මෙසේ, පො.යු.පෙ. 537 දී, දාවිත්ගේ කිසි ම පුත්‍රයෙක් රජෙකු ලෙස පාලනය නොකරන, “ජාතීන්ගේ නියම කරන ලද කාලවල්” තවදුරටත් ඉදිරියට ඇදී යමින් තිබුණි.—ලූක් 21:24, NW.
5 එනමුත්, යෙහෝවඃ වහන්සේ දාවිත්ට කළ ස්වකීය පොරොන්දුව අමතක නොකළ සේක. බබිලෝනිය මගින් ලෝක ආධිපත්‍යය දැරූ කාලයේ පටන්, දාවිත්ගේ පෙළපතින් එන රජකෙනෙක් යළිත් වරක් යෙහෝවඃ වහන්සේගේ ජනයාගේ රාජ්‍යයක් කෙරෙහි පාලනය කරන කාලය දක්වා සියවස් ගණනාවක් පුරා විහිදී යන අනාගත ලෝක සිද්ධීන් පිළිබඳ සවිස්තර තොරතුරු දර්ශන හා සිහින පෙළක් මගින් උන් වහන්සේ ස්වකීය අනාගතවක්තෘ දානියෙල් තුළින් හෙළි කළ සේක. දානියෙල් 2, 7, 8 පරිච්ඡේදවල සහ දානි 10-12 පරිච්ඡේද දක්වා, වාර්තා වී ඇති මෙම අනාවැකි මගින්, අවසානයේ දී දාවිත්ගේ සිංහාසනය සැබවින් ම, “සදාකාලේට ම ස්ථිරකරනු” ලබන බවට ඇදහිලිවන්ත යුදෙව්වන් හට සහතික කළේ ය. හෙළි කරන ලද එවැනි සත්‍යතාවයන්, පො.යු.පෙ. 537 දී තම මව් රටට නැවත හැරී ආ එම යුදෙව්වන් හට සන්තෝෂය ගෙන දුන්නාට කිසිඳු සැකයක් නැත!
6. දානියෙල්ගේ අනාවැකිවලින් සමහරක් අපගේ කාලයේ දී ඉෂ්ට වීමට තිබෙන බව අප දන්නේ කෙසේ ද?
6 දානියෙල්ගේ අනාවැකි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පෙර මුළුමනින් ම පාහේ ඉටු වූ බවට බයිබල් විචාරකයෝ බොහෝ දෙනෙක් කියා සිටිති. එහෙත් තත්ත්වය එය නොවන බව සහතික ය. දානියෙල් 12:4 හි දේව දූතයෙක් දානියෙල්ට මෙසේ පවසයි: “මේ වචන වසා, අන්තිම කාලය දක්වා පොත මුද්‍රකර තබාපන්න. බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත, දැනගැන්මද වැඩිවන්නේය.” දානියෙල්ගේ පොතේ මුද්‍රා හැරීමට තිබුණේ—එනම් එහි අර්ථය මුළුමනින් ම හෙළි කරනු ලැබීමට තිබුණේ—අන්තිම කාලයේ දී පමණක් නම්, ස්ථිර වශයෙන් ම, එහි අනාවැකිවලින් සමහරක් එම කාල පරිච්ඡේදයට අදාළ විය යුතු ය.—බලන්න, දානියෙල් 2:28; 8:17; 10:14.
7. (අ) ජාතීන්ගේ නියම කරන ලද කාලවල් අවසාන වූයේ කවදා ද, තව ද එම අවස්ථාවේ දී කිනම් හදිසි ප්‍රශ්නයකට පිළිතුරක් අවශ්‍ය වී ද? (ආ) “විශ්වාසවූ නුවණ ඇති දාසයා” නොවූයේ කවුරුන් ද?
7 වර්ෂ 1914 දී ජාතීන්ගේ නියම කරන ලද කාලවල් අවසන් වූ අතර, මෙම ලෝකයේ අවසාන කාලය ආරම්භ විය. දාවිත්ගේ රාජ්‍යය, භූමික යෙරුසලම තුළ නොව, නමුත් “අහසේ වලාකුල්වලද” අදෘශ්‍යමාන ව යළි පිහිටුවන ලදි. (දානියෙල් 7:13, 14) ඒ කාලයේ දී, ව්‍යාජ ක්‍රිස්තියානි ධර්මයේ “කිරිඳි” සරුවට වැඩෙමින් තිබූ නිසා, සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ තත්ත්වය—අඩු තරමින් මිනිස් ඇස්වලට—පැහැදිලි ව පෙනුණේ නැත. එහෙත්, වැදගත් ප්‍රශ්නයකට පිළිතුරු ලැබිය යුතු ව තිබිණි. එනම් සැබවින් ම “විශ්වාසවූ නුවණ ඇති දාසයා කවුද?” යන්න ය. (මතෙව් 13:24-30; 24:45) යළි පිහිටුවන ලද දාවිත්ගේ රාජ්‍යය පොළොව මත නියෝජනය කරනු ඇත්තේ කවුද? දානියෙල්ගේ මාංසික සහෝදරයන් වන යුදෙව්වන් නොවේ. ඇදහිල්ල මඳකමින්, මෙසියස් වහන්සේ සම්බන්ධයෙන් ඔවුන් පැකිළ සිටි නිසා, ඔවුන් ව ප්‍රතික්ෂේප කර තිබුණි. (රෝම 9:31-33) ක්‍රිස්තියානි ලෝකයේ සංවිධාන අතර විශ්වාසවන්ත දාසයෙක් කිසි ම ආකාරයකින්වත් සිටියේ නැත! යේසුස් වහන්සේ ඔවුන් ව දැන නොසිටි බව ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවලින් ඔප්පු විණි. (මතෙව් 7:21-23) එසේ නම්, ඒ කවුරුන් වී ද?
8. අන්තිම කාලය අතරතුරේ දී “විශ්වාසවූ නුවණ ඇති දාසයා” කවුරුන් බව ඔප්පු වී ඇත් ද? අප දන්නේ කෙසේ ද?
8 කිසිඳු සැකයක් නොමැති ව, ඒ නම්, 1914 දී බයිබල් ශිෂ්‍යයන් ලෙස හඳුන්වනු ලැබූ, නමුත් 1931 සිට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස හැඳින් වූ, යේසුස් වහන්සේගේ ආලේප ලත් සහෝදරයන්ගේ කුඩා මණ්ඩලය විය. (යෙසායා 43:10) දාවිත්ගේ පෙළපත තුළ යළි පිහිටුවන ලද රාජ්‍යය ගැන ප්‍රසිද්ධ කර ඇත්තේ ඔවුන් පමණි. (මතෙව් 24:14) ලෝකයෙන් වෙන් ව සිට යෙහෝවඃ වහන්සේගේ නාමය මහිමවත් කර ඇත්තේ ඔවුන් පමණි. (යොහන් 17:6, 14) අන්තිම දවස්වල දී දෙවියන් වහන්සේගේ ජනයාට සම්බන්ධ වෙන බයිබල් අනාවැකි ඉෂ්ට වී ඇත්තේ ඔවුන් හා සම්බන්ධ ව පමණි. මෙම අනාවැකි අතර, දානියෙල් 12 වෙනි පරිච්ඡේදයේ සඳහන් අනාවැකිමය කාල පරිච්ඡේද පෙළක් තිබෙන අතර, සන්තෝෂය ගෙන එන දවස් 1,335 මීට ඇතුළත් වේ.
දවස් 1,260
9, 10. දානියෙල් 7:25 හි සඳහන් “කාලයකට, කාලවලටද, කාලභාගයකටද” යන්න කිනම් සිදුවීම් මගින් හඳුන්වා දෙනු ලැබී ද, තව ද මීට සමාන්තර කාල පරිච්ඡේදයක් සඳහන් වන්නේ වෙනත් කිනම් ශුද්ධ ලියවිලි පදවල ද?
9 දානියෙල් 12:7 හි, පළමු අනාවැකිමය කාල පරිච්ඡේදය ගැන අපට කියවීමට තිබේ: “[නියම කරන ලද NW] කාලයකටත් [නියම කරන ලද NW] කාලවලටත් කාල භාගයකටත් එය පවතිනවා ඇත; ශුත්ටධවන්ත සෙනගගේ බලය විසිරවීම තීන්දුකළාම මේ සියල්ල තීන්දුවන්නේය.”a මෙම කාල පරිච්ඡේදය ම, එළිදරව් 11:3-6 දක්වා සඳහන් වන අතර, දෙවියන් වහන්සේගේ සාක්ෂිකරුවන් හණ රෙදි හැඳගෙන, වසර තුනහමාරකට දේශනා කර ඉන් පසු මරනු ලබන බව එහි පවසයි. යළිත්, දානියෙල් 7:25 හි අපි මෙසේ කියවමු: “ඔහු මහෝත්තමයාණන්ට විරුත්ටධව කාරණා කියන්නේය, මහෝත්තමයාණන්ගේ ශුත්ටධවන්තයන්ට පීඩාකරන්නේය. ඔහු කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස්කරන්ට සිතන්නේය; කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔව්හු ඔහු අතට භාරදෙනු ලබන්නෝය.”
10 පසු ව සඳහන් වූ මෙම අනාවැකියේ, “ඔහු” වනාහි බබිලෝනිය සිට ගණින ලද පස්වෙනි ලෝක බලයයි. එය “කුඩා අඟ” වන අතර, මෙම තැනැත්තාගේ කාල පරිච්ඡේදය තුළ දී, මනුෂ්‍ය පුත්‍රයා, “ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද” ලබා ගන්නාවූ කාලයයි. (දානියෙල් 7:8, 14) ආරම්භයේ දී මෙම සංකේතාත්මක අඟ, අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය විය, පළමු ලෝක යුද්ධ කාලය තුළ දී එංගලන්ත අමෙරිකානු ද්විත්ව ලෝක බලය දක්වා එය වර්ධනය වූ අතර, දැන් එක්සත් ජනපදය ප්රමුඛ ව එය කටයුතු කරයි. කාල තුනහමාරක් හෙවත් වසර තුනහමාරකට, මෙම බලය ශුද්ධවන්තයන්ට පීඩා කොට කාලවල් සහ නීතිය වෙනස් කිරීමට උත්සාහ ගනී. අවසානයේ දී, ශුද්ධවන්තයන් ඔවුන්ගේ හස්තයට යටත් වනවා ඇත.—එළිදරව් 13:5, 7 ද බලන්න.
11, 12. අනාවැකිමය දවස් 1,260 ආරම්භ වීමට තුඩු දුන් සිද්ධීන් මොනවා ද?
11 මෙම සමාන්තර අනාවැකි සියල්ල ඉටු වූයේ කෙසේ ද? වර්ෂ 1914, ජාතීන්ගේ නියම කරන ලද කාලවල සමාප්තිය දකිනු ඇතැයි, යේසුස් වහන්සේගේ ආලේප ලත් සහෝදරයෝ Iවන ලෝක යුද්ධයට පෙර වසර ගණනාවක සිට, ප්‍රසිද්ධ ලෙස අනතුරු ඇඟවූහ. යුද්ධය පුපුරා ගිය විට, මෙම අනතුරු ඇඟවීම නොසලකා හැර තිබූ බව දිස්විණි. සාතන් තම ‘වනමෘගයා ව’ එනම්, එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය මගින් පාලනය වූ ලෝක දේශපාලන සංවිධානය යොදා ගනිමින්, දේව රාජ්‍යය පාලනය කරනු ඇති කාලය කල් දැමීම සඳහා, “කාලවල් සහ නීතිය වෙනස් කිරීමට” යත්න දැරුවේ ය. (එළිදරව් 13:1, 2) ඔහු ඉන් අසමත් විය. මිනිසාගේ ග්රහණයෙන් බොහෝ දුරස් ව දෙවියන් වහන්සේගේ රාජ්‍යය ස්වර්ගයේ ස්ථාපිත කෙරිණි.—එළිදරව් 12:1-3.
12 බයිබල් ශිෂ්‍යයන් හට, මෙම යුද්ධය පරීක්ෂණාත්මක කාලයක් අදහස් කළේ ය. වර්ෂ 1914 ජනවාරි මස සිට, දානියෙල්ගේ අනාවැකිවලට අවධානය යොමු කොට ගත්, ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන් නම් බයිබලය මත පදනම් ඉදිරිපත් කිරීම ඔවුහු පෙන්වමින් සිටියහ. එම අවුරුද්දේ ග්‍රීෂ්ම ඍතුවේ, උතුරු ගෝලාර්ධයේ යුද්ධය පටන් ගැණිනි. ඔක්තෝබර් මාසයේ දී, නියම කරන ලද කාලවල් අවසන් විණි. එම අවුරුද්දේ අවසානය වන විට, ආලේප ලත් ඉතිරි කොටස පීඩාවන් අපේක්ෂාවෙන් සිටි අතර, මතෙව් 20:22 හි, යේසුස් වහන්සේ සිය ගෝලයන්ගෙන් අසන ලද ප්‍රශ්නයක් වූ ‘මාගේ කුසලානෙන් බොන්ට නුඹලාට පුළුවන් ද?’ යන්න මත පදනම් ව 1915 වාර්ෂික පදය තෝරනු ලැබීමෙන් මෙය දැකිය හැකි විය.
13. දවස් 1,260 අතරතුරේ දී, බයිබල් ශිෂ්‍යයන් හණ රෙදි හැඳගෙන දේශනා කළේ කෙසේ ද, තව ද එම කාල පරිච්ඡේදය අවසානයේ දී කුමක් සිදු වී ද?
13 මෙබැවින්, 1914 දෙසැම්බර් මාසයේ සිට, ‘හණ රෙදි හැඳ දේශනා කළ’ සාක්ෂිකරුවන්ගේ මෙම කුඩා කණ්ඩායම, යෙහෝවඃ වහන්සේගේ විනිශ්චයන් නිවේදනය කරමින්, යටහත් පහත් ලෙස පීඩා විඳදරා ගත්හ. වර්ෂ 1916 දී, බොහෝ දෙනෙක් ව කම්පිත කරවූ සිද්ධියක් වූයේ, වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි හි පළමු සභාපති වූ සී. ටී. රසල්ගේ මරණයයි. යුද්ධ උමතුව පැතිරී යාමත් සමඟ ම, එකිනෙක පිට ගොඩ ගැසුණු විරුද්ධවාදිකම්වලට ඔවුහු මුහුණ දුන්හ. එංගලන්තයේ ෆ්රෑන්ක් ප්ලැට් සහ කැනඩාවේ රොබට් ක්ලෙග් වැනි පුද්ගලයන් ව කුරිරු පාලකයන් විසින් දරුණු වධ හිංසාවලට පමුණුවන ලදි. අවසානයේ දී, 1918 ජූනි 21 දා, නව සභාපති වූ ජේ. එෆ්. රදෆර්ඩ් සමඟ වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි හි අධ්‍යක්ෂකවරුන් ව බොරු චෝදනා මත දිගු කලකට සිර භාරයට නියම විණි. මෙසේ, අනාවැකිමය කාල පරිච්ඡේදයේ අවසානයේ දී, “කුඩා අඟ” සංවිධානාත්මක ප්‍රසිද්ධ දේශනා සේවය මරා දැමුවේ ය.—දානියෙල් 7:8.
14. වර්ෂ 1919 දී සහ ඉන් පසු ව ආලේප ලත් ඉතිරි අය සඳහා දේවල් වෙනස් වූයේ කෙසේ ද?
14 එළිදරව් පොත ඊළඟට සිදු වූ දෙය ගැන අනාවැකි කියයි. වීථියේ මැරී වැතිරී සිටින දවස් තුනහාමාරක් ලෙස පුරෝකථනය කරන ලද, අක්‍රියාශීලී වූ කෙටි කාල පරිච්ඡේදයකට පසු ව, ආලේප ලත් ඉතිරි කොටස පණ ලැබ, යළිත් ක්‍රියාශීලී වූහ. (එළිදරව් 11:11-13) වර්ෂ 1919 මාර්තු 26දා, වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි හි සභාපති සහ අධ්‍යක්ෂකවරුන් ව නිදහස් කරනු ලැබූ අතර, පසු ව ඔවුනට එරෙහි ව නගා තිබූ බොරු චෝදනාවලින් මුළුමනින් ම ඔවුන් ව මුදවා හැරිණි. ඔවුන් නිදහස් වූ සැණින්, ආලේප ලත් ඉතිරි කොටස, තවදුරටත් ක්‍රියාකාරකම් නැවත සංවිධානය කිරීමට පටන් ගත්හ. මෙසේ, එළිදරව්වේ පළමු දුක් පීඩාවේ ඉෂ්ට කිරීමක් වශයෙන්, තද දුමක් සමඟ ආත්මික පළඟැටියන් මෙන් අක්රියාශීලීබවේ පාතාලයෙන් පිටතට ආ ඔවුහු බොරු ආගම කෙරෙහි අඳුරු අනාගතයක පෙර නිමිත්තක් පළ කළහ. (එළිදරව් 9:1-11) ඊළඟ වසර කිහිපය තුළ, ආත්මික ව පෝෂණය කරනු ලැබූ ඔවුහු, ඉදිරියට තිබෙන දේ ගැන සූදානම් කරනු ලැබ සිටියෝ ය. වර්ෂ 1921 දී, ඔවුන් හාප් ඔෆ් ගෝඩ් නමැති නව පොත ප්‍රකාශයට පත් කළ අතර, මෙය නවකයන්ට හා දරුවන්ට මූලික බයිබල් සත්‍යයන් ඉගෙන ගැනීමට උපකාරයක් සඳහා සකස් කොට තිබුණි. (එළිදරව් 12:6, 14) මේ සියල්ල ම සිදු වූයේ, වෙනත් විශේෂ කාල පරිච්ඡේදයක් තුළ ය.
දවස් 1,290
15. දවස් 1,290 හි ආරම්භය අපට ගණනය කළ හැක්කේ කිනම් ආකාරයෙන් ද? මෙම කාල පරිච්ඡේදය අවසන් වූයේ කවදා ද?
15 දේව දූතයා දානියෙල්ට මෙසේ පැවසුවේ ය: “දවස්පතා පූජාව [“නිරන්තර,” පාද සටහන NW] පහකර පාළුකරන පිළිකුල පිහිටුවන කාලය පටන් එක්දාස් දෙසිය අනූ දවසක් වන්නේය.” (දානියෙල් 12:11) මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ, “දවස්පතා පූජාව” යෙරුසලමේ දේව මාලිගාවේ පූජාසනය මත දවනු ලැබී ය. ක්‍රිස්තියානින් දවන පූජා ඔප්පු කරන්නේ නැත, නමුත්, ඔවුහු ආත්මික නිරන්තර පූජා සැබවින් ම ඔප්පු කරති. පාවුල් මෙසේ පැවසූ විට, මීට යොමු දැක්වූයේ ය: “දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.” (හෙබ්‍රෙව් 13:15; සසඳන්න හොෂෙයා 14:2.) මෙම නිරන්තර පූජාව 1918 ජූනි මාසයේ දී ඉවත් කර දමන ලදි. එසේ නම්, අවධානය දිය යුතු වූ දෙවන අංගය හෙවත් “පිළිකුල” කුමක් වී ද? එය, Iවන ලෝක යුද්ධයේ අවසානයේ දී ජයග්රාහික බලවේග මගින් අනුග්‍රහ දක්වන ලද ජාතීන්ගේ සංගමය විය.b එය පිළිකුල් වූයේ මන්දයත්, ක්‍රිස්තියානි ලෝකයේ නායකයන්, එම සංගමය සාමය සඳහා මිනිසාගේ එක ම බලාපොරොත්තුව ලෙස ඉදිරිපත් කරමින්, එය දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අයිති ස්ථානයේ තැබූ නිසා ය. මෙම සංගමය යෝජනා කරනු ලැබුවේ 1919 ජනවාරි මාසයේ දී ය. අප, මෙම කාලයේ පටන් දවස් 1,290ක් (අවුරුදු තුනයි, මාස හතක්) ගණින්නේ නම්, අප පැමිණෙන්නේ 1922 සැප්තැම්බර් මාසයට ය.
16. දවස් 1,290 අවසානයේ දී, ආලේප ලත් ඉතිරි අය ක්‍රියා කිරීම සඳහා සූදානම් ව සිටි බව විද්‍යමාන වූයේ කෙසේ ද?
16 ඊළඟට කුමක් සිදු වී ද? මහා බබිලෝනියෙන් නිදහස් වී, දැන් ප්‍රකෘතිමත් කරන ලද බයිබල් ශිෂ්‍යයන්, ප්‍රහාරාත්මක ලෙස ක්‍රියාත්මක වීමට සූදානම් විණි. (එළිදරව් 18:4) වර්ෂ 1922, එ. ජ. ඔහයෝ, සීඩර් පොයින්ට් හි පැවති සමුළුවක දී, ඔවුහු ක්‍රිස්තියානි ලෝකය කෙරෙහි දෙවියන් වහන්සේගේ විනිශ්චයන් නිර්භීත ලෙස ප්‍රකාශ කිරීමට පටන් ගත්හ. (එළිදරව් 8:7-12) පළඟැටියන්ගේ දළ පහරවල් සැබවින් ම වේදනා ගෙන දුණි! එපමණකුදු නොව, එළිදරව්වේ දෙවෙනි දුක් පීඩාව ද ආරම්භ විය. ආරම්භයේ දී ආලේප ලත් ඉතිරි අයගෙන් පමණක් සැකසුණු සහ පසු ව මහත් සමූහය සමඟින් පිරී ඉතිරී ගිය ක්‍රිස්තියානි අසරු සේනාවක්, පොළොව පුරා ආක්‍රමණය කරන්නට විය. (එළිදරව් 7:9; 9:13-19) එසේ ය, දවස් 1,290 අවසානය, දෙවියන් වහන්සේගේ ජනයා හට ප්‍රීතිය ගෙනාවේ ය.c එහෙත් තවත් දේවල් ඉදිරියට තිබිණි.
දවස් 1,335
17. දවස් 1,335 ආරම්භ වී අවසන් වූයේ කවදා ද?
17 දානියෙල් 12:12 මෙසේ කියයි: “එක්දාස් තුන්සිය තිස්පස් දවස දක්වා බලාසිට, ඒ කාලයට පැමිණෙන තැනැත්තේ වාසනාවන්තයෙක්ය [සන්තෝෂවත් ය NW].” පෙනෙන විදිහට, මෙම දවස් 1,335 හෙවත්, වසර තුනයි, මාස අටහාමාර පටන් ගත්තේ පළමු කාල පරිච්ඡේදය අවසානයේ දී ය. වර්ෂ 1922 සැප්තැම්බර් මාසයේ සිට ගණින විට, මෙය 1926 (උතුරු ගෝලාර්ධයේ) වසන්ත සමයේ අවසානයට අප ව ගෙන යයි. එම දවස් 1,335 අතරතුර සිදු වූයේ කුමක් ද?
18. එදා 1922 දී, තවමත් ප්‍රගතියක් ඇති කිරීමට තිබූ බව කුමන කරුණුවලින් ඇඟවේ ද?
18 වර්ෂ 1922 දී වූ සිදුවීම් කොතරම් විශිෂ්ට ඒවා ලෙස දිස් වුවද, පෙනෙන ආකාරයට, ඇතමෙක් තවමත් අතීතය දෙස ආශාවෙන් බැලූහ. චාර්ල්ස් ටී. රසල් රචිත ස්ටඩීස් ඉන් ද ස්ක්‍රිප්චර්ස් තවමත් මූලික පාඩම් උපකරණය විය. තවදුරටත්, පුළුල් ලෙස බෙදා හරිනු ලැබූ මිලියන්ස් නව් ලිවිං විල් නෙවර් ඩයි (දැන් ජීවත්වන මිලියන ගණන් කිසිදා මිය නොයනු ඇත) නමැති පොත් පිංචය මගින් පොළොව පාරාදීසයක් බවට යළි පිහිටුවීමෙහි ලා සහ ඉපැරණි ඇදහිලිවන්තයන් නැවත නැගිටුවනු ලැබීම සම්බන්ධ දෙවියන් වහන්සේගේ අරමුණු ඉටු වීම ආරම්භ වීමට තිබූ බවට වූ දෘෂ්ටිය, ඉදිරිපත් විණි. ආලේප ලත් අයගේ විඳදරා ගැනීම නිමාවීමට ආසන්න ව තිබූ බවක් පෙනෙන්ට තිබිණි. ඒ කෙසේ වෙතත්, බයිබල් ශිෂ්‍යයන් සමඟ ඇසුරු කළ ඇතැම් අයට, ශුභාරංචිය අන්‍යයන් සමඟ බෙදා ගැනීමට තමන් පෙලඹිය යුතු බවක් හැඟුණේ නැත.
19, 20. (අ) දවස් 1,335 අතරේ දී, දෙවියන් වහන්සේගේ ජනයා උදෙසා බොහෝ දේවල් වෙනස් වූයේ කෙසේ ද? (ආ) දවස් 1,335 හි කාල පරිච්ඡේදය කුමන සිද්ධීන් මගින් ලකුණු කරනු ලැබී ද, තව ද යෙහෝවඃ වහන්සේගේ ජනයා සම්බන්ධයෙන් ඒවායින් ඇඟවූයේ කුමක් ද?
19 දවස් 1,335 සම්පූර්ණ වනවාත් සමඟ ම, මේ සියල්ල වෙනස් විය. සහෝදරයන් ව ශක්තිමත් කිරීම සඳහා, විධිමත් මුරටැඹ පාඩම් කණ්ඩායම් සංවිධානය කෙරිණි. ක්ෂේත්‍ර සේවය අවධාරණය කෙරිණි. වර්ෂ 1923 මැයි මාසයේ පටන්, සෑම මසක ම පළමු අඟහරුවාදා ක්ෂේත්‍ර සේවයේ යෙදෙන ලෙස සෑම කෙනෙකුට ම ආරාධනා කරනු ලැබූ අතර, මෙම සේවයට ඔවුන් ව දිරිගැන්වීම සඳහා, සති මැද සභා රැස්වීමෙහි දී කාලය වෙන් කෙරිණි. වර්ෂ 1923 අගෝස්තු මාසයේ, අ.එ.ජ. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් හි එක්රැස්වීමක දී, බැටළුවන් හා එළුවන් පිළිබඳ යේසුස් වහන්සේගේ උපමාව, දහස් අවුරුදු පාලනයට පෙර ඉෂ්ට වන බවට පෙන්වා දෙන ලදි. (මතෙව් 25:31-40) වර්ෂ 1924 දී, WBBR ගුවන් විදුලි මධ්‍යස්ථානය විවෘත කෙරුණු අතර, ගුවන් තරංග තුළින් ශුභාරංචිය විකාශනය කිරීමට මෙය යොදා ගන්නා ලදි. වර්ෂ 1925 මාර්තු 1, ද වොච් ටවර් කලාපයේ “බර්ත් ඔෆ් ද නේෂන් [ජාතියේ උපත]” නම් ලිපිය, එළිදරව් 12 වෙනි පරිච්ඡේදය පිළිබඳ යළි සකස් කරන ලද අවබෝධයක් දුණි. අවසානයේ දී, 1914-19 දක්වා සිදු වූ මහත් කලබල සහිත සිදුවීම් නිසි ලෙස අවබෝධ කර ගැනීමට ඇදහිලිවන්ත ක්‍රිස්තියානින්ට හැකි විය.
20 වර්ෂ 1925 දී එය නිමාවට පැමිණියේ ය, නමුත් අවසානය තවමත් පැමිණියේ නැත! එක්දහස් අටසිය සැත්තෑ ගණන්වල පටන්, බයිබල් ශිෂ්‍යයෝ යම් දිනයක් මනසේ තබාගෙන සේවය කරමින් සිට තිබුණි—ඒ, පළමු ව 1914 සහ ඉන් පසු 1925 විය. දැන්, යෙහෝවඃ වහන්සේ කැමති තාක්කල් තමන් සේවය කළ යුතු බව ඔවුහු වටහා ගත්හ. වර්ෂ 1926 ජනවාරි 1, ද වොච් ටවර් කලාපයේ, දෙවියන් වහන්සේගේ නාමයේ වැදගත්කම වෙන කවරදාකටත් වඩා කැපී පෙනෙන්ට සලස්වමින්, “හූ විල් ඔනර් ජෙහෝවා? [යෙහෝවඃ වහන්සේට ගෞරව කරනු ඇත්තේ කවුද?]” යන තේමාවෙන් යුත් අති විශේෂ ලිපිය පළ විණි. තව ද අවසානයේ දී, 1926 මැයි මාසයේ, එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති සමුළුවේ දී, “අ ටෙස්ටමනි ටු ද රූලස් ඔෆ් ද වර්ල්ඩ් [ලෝක පාලකයන්ට සාක්ෂියක්]” යන මැයෙන් ඒකමතික ප්‍රකාශයක් සහතික කර ගන්නා ලදි. මෙය, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ සත්‍යය සහ සාතන්ගේ ලෝකයට පැමිණෙන්නට යන විනාශය ගැන නොවළහා ප්‍රකාශ කළේ ය. එම සමුළුවේ දී ම, දැඩි පහර එල්ල කළා වූ ඩිලිවරන්ස් නම් පොත මුදාහරිනු ලැබූ අතර, එය ස්ටඩීස් ඉන් ද ස්ක්‍රිප්චර්ස් අනුයුක්ත කළා වූ පොත් පෙළේ පළමුවැන්න විය. දෙවියන් වහන්සේගේ ජනයා දැන් පසු පස නොව ඉදිරිය බලමින් සිටියහ. දවස් 1,335 නිමා විය.
21. එවකට විසූ දෙවියන් වහන්සේගේ ජනයාට, දවස් 1,335ක් තුළින් විඳදරා ගැනීම කුමක් අදහස් කළා ද, මෙම කාල පරිච්ඡේදය සම්බන්ධයෙන් අනාවැකියේ ඉටු වීම අප හට අදහස් කරන්නේ කුමක් ද?
21 ඇතැම්හු මෙම වෙනස්වීම්වලට සකස් වන්නට අකමැති වූ නමුත් විඳදරාගත් අය සැබවින් ම සන්තෝෂවත් වූහ. එපමණක් ද නොව, මෙම අනාවැකිමය කාල පරිච්ඡේදවල ඉටු වීම ගැන අප ආපස්සට බලන විට, අපිත් සන්තෝෂ වන්නෙමු, මන්දයත්, මෙම කාලවල් තුළින් ජීවත් වුණාවූ ආලේප ලත් ක්‍රිස්තියානින්ගේ කුඩා මණ්ඩලය සැබවින් ම විශ්වාසවූ නුවණ ඇති දාසයා බවට අපගේ නිසැකකම ශක්තිමත් වන බැවිනි. එම වසරවල පටන්, යෙහෝවඃ වහන්සේගේ සංවිධානය අති මහත් සේ ව්‍යාප්ත වී තිබෙන අතර ම විශ්වාස නුවණ ඇති දාසයා එහි මැද සිට තවමත් එය මෙහෙයවමින් සිටී. එසේ නම්, ආලේප ලත් අය සහ වෙනත් බැටළුවන් සඳහා තවමත් තව බොහෝ සන්තෝෂයන් ගබඩා කර තිබෙන බවට දැනගැනීමට ලැබීම මොනතරම් ප්‍රමුදිත සතුටක් ද! දානියෙල්ගේ අනාවැකිවල තවත් එකක් සලකා බලන විට අප මෙය දකිනු ඇත.
[පාදසටහන්වල]
a මෙම අනාවැකිමය කාල පරිච්ඡේදයන් ගණින ආකාරය දැනගැනීමට, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්යූ යෝර්ක්, ඉන්ක්., මගින් පළ කරන ලද අවර් ඉන්කමිං වර්ල්ඩ් ගවන්මන්ට්—ගෝඩ්’ස් කිංඩම්, පොතේ 8 වෙනි පරිච්ඡේදය බලන්න.
b 1986 මාර්තු 1, මුරටැඹ පිටු 22-27 ද 1986 අප්‍රියෙල් 1, මුරටැඹ පිටු 7-12 ද බලන්න.
c වර්ෂ 1991 අප්‍රියෙල් 1, මුරටැඹ 12 පිටුව සහ 1975 යියර් බුක් ඔෆ් ජෙහෝවාස් විට්නසස් හි 132 පිටුව බලන්න.
ඔබට පහදා දිය හැකි ද?
◻ දානියෙල්ගේ අනාවැකිවලින් සමහරක් අපගේ කාලයේ දී ඉෂ්ට වීමට තිබුණු බව අප දන්නේ කෙසේ ද?
◻ ආලේප ලත් ඉතිරි අය “විශ්වාස වූ නුවණ ඇති දාසයා” බව සහතික වීමට අපට හැක්කේ කෙසේ ද?
◻ දවස් 1,260 ආරම්භ වී අවසන් වූයේ කවදා ද?
◻ දවස් 1,290 ආලේප ලත් ඉතිරි අය සඳහා කිනම් ප්‍රකෘතිමත් හා යළි ප්‍රාණවත් කරනු ලැබීමක් ගෙන ආවේ ද?
◻ දවස් 1,335 අවසානය දක්වා විඳදරා ගත් අය සන්තෝෂවත් අය වූයේ මන්ද?
[11වන පිටුවේ කොටුව]
දානියෙල්ගේ අනාවැකිමය කාල පරිච්ඡේද
දවස් 1,260:
1914 දෙසැම්බර් සිට 1918 ජූනි දක්වා
දවස් 1,290:
1919 ජනවාරි සිට 1922 සැප්තැම්බර් දක්වා
දවස් 1,335:
1922 සැප්තැම්බර් සිට 1926 මැයි දක්වා
[8වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1919 සිට, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” ආලේප ලත් ඉතිරි අය බවට පැහැදිලි වී තිබේ
[10වන පිටුවේ පින්තූරය]
ස්විස්ටර්ලන්තයේ, ජිනීවා හි ජාතීන්ගේ සංගමයේ මූලස්ථානය
[හිමිකම් විස්තර]
UN Photo