රජෙක් යෙහෝවඃ වහන්සේගේ ශුද්ධස්ථානය කෙලෙසයි
“තම දෙවියන් වහන්සේ ව දැන ගෙන සිටින ජනයා, සමර්ථ වන්නෝ ය.”—දානියෙල් 11:32, NW.
1, 2. වසර 2,000කට වැඩි කාලයක් පුරා මිනිස් ඉතිහාසයේ සනිටුහන් වී ඇති චමත්කාරජනක ගැටුම කුමක් ද?
ශ්‍රේෂ්ඨත්වය සඳහා පොර බදන තරඟකාරී රජවරු දෙදෙනා දැඩි වෙර යොදා සටන් වදිති. පළමු වැන්නා, ඉන් පසු දෙවැන්නා තම බලපෑම වැඩි කර ගනිමින්, වසර දෙදහසක් මුළුල්ලේ දිගට ම සටනේ නියැලී සිටිත්. අපගේ දවස්වල, මෙම පොරය, පොළොව මත සිටින බොහෝ ජනකායකට බලපා ඇති අතර, දෙවියන් වහන්සේගේ ජනයාගේ අඛණ්ඩතාවයට අභියෝග කර තිබේ. මෙම බලයන් එකකටවත් කලින් දැකිය නොහැකි සිදුවීමකින් එය නිමා වෙයි. මෙම චමත්කාරජනක ඉතිහාසය පුරාණ අනාගතවක්තෘවර දානියෙල් හට කලින් හෙළි කරන ලදි.—දානියෙල්, පරිච්ඡේද 10 සිට 12.
2 මෙම අනාවැකිය, උතුරේ රජ සහ දකුණේ රජ අතර දිගට ම ඇවිලෙමින් යන සතුරුකමට සම්බන්ධ වන අතර, එය “යෝර් විල් බී ඩන් ඔන් අර්ත්” [ඔබගේ කැමැත්ත පොළොවෙහි සිදුවේවා] පොතේ විස්තරාත්මක ව සාකච්ඡා කර තිබුණි.a උතුරේ රජ වනාහි ආරම්භයේ දී, ඊශ්රායෙලයට උතුරින් වූ සිරියාව බව එම පොතේ පෙන්වන ලදි. ඉන් පසු ව, රෝමය විසින් මෙම චරිතය හෙවත් භූමිකාව රඟ දැක්විණි. ආරම්භයේ දී, දකුණේ රජ වූයේ මිසරයයි.
අන්තිම කාලයේ දී සිදුවන ගැටුම
3. දේව දූතයා පවසන පරිදි, උතුරේ රජ සහ දකුණේ රජ පිළිබඳ අනාවැකිය වටහා ගනු ලැබීමට තිබෙන්නේ කිනම් අවදියේ ද, එමෙන් ම කෙසේ ද?
3 මෙම දේවල් හෙළි කරමින් සිටින දේව දූතයා දානියෙල්ට මෙසේ පැවසී ය: “දානියෙල්, නුඹ මේ වචන වසා, අන්තිම කාලය දක්වා පොත මුද්‍රකර තබාපන්න. බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත [සෑම තැන ඇවිදිනවා ඇත NW]. දැනගැන්මද වැඩිවන්නේය.” (දානියෙල් 12:4) එසේ ය, මෙම අනාවැකිය සම්බන්ධ වී ඇත්තේ අන්තිම කාලයට ය—එනම් 1914 දී ආරම්භ වූ කාල පරිච්ඡේදයට ය. එම ලකුණු කරන ලද කාලයේ දී, බොහෝ දෙනෙක්, ශුද්ධ ලියවිල්ල තුළ “සෑම තැන ඇවිදිනවා ඇත,” තව ද ශුද්ධාත්මයේ උපකාරය ඇතුව, බයිබල් අනාවැකිවල අවබෝධය ඇතුළු සැබෑ දැනුම, බහුල වනවා ඇත. (හිතෝපදේශ 4:18) අප එම කාලයේ තව තවත් ගැඹුරට යනවාත් සමඟ ම, දානියෙල්ගේ අනාවැකිවල වඩ වඩාත් විස්තර පැහැදිලි කරනු ලැබ ඇත. එසේ නම්, “යෝර් විල් බී ඩන් ඔන් අර්ත්” නම් ප්රකාශනය නිකුත් කර වසර 35කට පසු, දැන් 1993 දී, උතුරේ රජ සහ දකුණේ රජ සම්බන්ධ එම අනාවැකිය අප කෙසේ තේරුම් ගත යුතු ද?
4, 5. (අ) උතුරේ රජ සහ දකුණේ රජ පිළිබඳ ව දානියෙල්ගේ අනාවැකියේ 1914 වසර පිහිටා ඇත්තේ කොතැන ද? (ආ) දේව දූතයා පවසන පරිදි, 1914 දී කුමක් සිදු වනු ඇත් ද?
4 වර්ෂ 1914 දී වූ අවසාන කාලයේ ආරම්භය, පළමු ලෝක යුද්ධය මගින් හා යේසුස් වහන්සේ විසින් පුරෝකථනය කරන ලද අනෙකුත් ලෝක ගාවිනාවල් මගින් සනිටුහන් කරන ලදි. (මතෙව් 24:3, 7, 8) දානියෙල්ගේ අනාවැකිය තුළ එම වසර අපට සොයා ගත හැකි ද? එසේ ය. අන්තිම කාලයේ ආරම්භය වනාහි, දානියෙල් 11:29 හි [NW] යොමු දක්වා ඇති “නියම කරන ලද කාලයයි” (“යෝර් විල් බී ඩන් ඔන් අර්ත්” හි පිටු 269-70 බලන්න.) දානියෙල් 4 වෙනි පරිච්ඡේදයේ අතිවිශේෂ අනාවැකිමය සිදුවීම් මගින් අඟවන ලද අවුරුදු 2,520 අවසානයේ දී එය පැමිණි හෙයින්, එය දානියෙල්ගේ දවසේ දී යෙහෝවඃ වහන්සේ විසින් ඒවනවිටත් නියම කරන ලද කාලයක් වූයේ ය.
5 දානියෙල්ගේ යෞවන අවදියේ පො.යු.පෙ. 607 යෙරුසලමේ විනාශයේ පටන්, පො.යු. 1914 දක්වා වූ එම අවුරුදු 2,520, “ජාතීන්ගේ නියම කරන ලද කාලවල්” ලෙස හැඳින්විණි. (ලූක් 21:24, NW) ඒවායේ අවසානය සනිටුහන් කරන්නේ කිනම් දේශපාලනමය සිදුවීම් ද? දේව දූතයා දානියෙල්ට මෙය හෙළි කළේ ය. දේව දූතයා මෙසේ පැවසී ය: “නියම [කරන ලද NW] කාලයේදී ඔහු [උතුරේ රජ] නැවත දකුණු දිශාවට එන්නේය; නුමුත් අන්තිම ගමන පළමුවෙනි ගමන මෙන් නොවන්නේය.”—දානියෙල් 11:29.
රජු යුද්ධයකින් පරාජය වෙයි
6. වර්ෂ 1914 දී, උතුරේ රජ වූයේ කවුද, තව ද දකුණේ රජ වූයේ කවුද?
6 වර්ෂ 1914 වන විට, උතුරේ රජුගේ චරිතය හෙවත් භූමිකාව, ජර්මනිය විසින් පවරා ගෙන තිබූ අතර, එහි පාලකයා වූයේ කයිසර් විල්හෙම් ය. (කයිසර් යන්න රැගෙන ඇත්තේ “කායිසර්” නමැති රෝම පදවි නාමයෙනි.) යුරෝපයේ දී සටන් ඇරඹීම, උතුරේ රජ හා දකුණේ රජ අතර සිදු වූ ගැටුම් පෙළේ තවත් කොටසක් විය. පසු ව සඳහන් වූ රජුගේ චරිතය හෙවත් භූමිකාව, එනම් දකුණේ රජුගේ චරිතය හෙවත් භූමිකාව, දැන් භාර ගෙන තිබුණේ, මුල දී දකුණේ රජුගේ රාජ විෂය වූ මිසරය සැණෙකින් අල්ලාගෙන සිටිය බ්‍රිතාන්‍යය විසිනි. යුද්ධය ඉදිරියට ඇදී යනවාත් සමඟ ම, බ්‍රිතාන්‍යට, පළමු ව එහි යටත් විජිතයක් වූ අමෙරිකා එක්සත් ජනපද සම්බන්ධ විණි. එංගලන්ත-අමෙරිකානු බලවේගය, දකුණේ රජ බවට පත් වූ අතර, එය ඉතිහාසයේ වඩාත් බලවත් ම අධිරාජ්‍යය විය.
7, 8. (අ) පළමු ලෝක යුද්ධයේ දී, දේවල් “පළමු දේවල්” මෙන් සිදු නොවූයේ කිනම් ආකාරයෙන් ද? (ආ) පළමු ලෝක යුද්ධයේ අවසාන ප්‍රතිඵලය වූයේ කුමක් ද, නමුත් අනාවැකිය සඳහන් කරන පරිදි, රජ ප්‍රතික්‍රියා කළේ කෙසේ ද?
7 මෙම රජවරුන් දෙදෙනා අතර කලින් පැවති ගැටුම්වල දී, උතුරේ රජ වශයෙන් රෝම අධිරාජ්‍යය නොකඩවා ජයග්‍රහණය ලබා තිබුණි. මෙම අවස්ථාවේ දී, ‘දේවල් පළමු අවස්ථාවේ දී මෙන් නොවී ය.’ එසේ නොවූයේ මන්ද? මක්නිසාදයත් උතුරේ රජ යුද්ධයෙන් පරාජය වූ නිසා ය. එක් හේතුවක් නම්, “කිත්තීම් නැව්” උතුරේ රජට විරුද්ධ ව පැමිණීමයි. (දානියෙල් 11:30) මෙම නැව් මොනවා ද? දානියෙල්ගේ කාලයේ දී, කිත්තීම් සයිප්‍රසය වූ අතර, පළමු ලෝක යුද්ධයේ දී, සයිප්‍රසය බ්‍රිතාන්‍ය යටතට ඈඳාගෙන තිබුණි. එපමණක් නොව, සෝන්ඩර්වැන් පික්ටෝරියල් එන්සයික්ලෝපීඩියා ඔෆ් ද බයිබල් විශ්වකෝෂයට අනුව, මෙම කිත්තීම් යන නාමය, “සාමාන්‍යයෙන් බටහිර පෙදෙස අදහස් කිරීමට යොදවා ඇති නමුත්, විශේෂයෙන් ම මුහුදුබඩ බටහිරට යොමු දක්වයි.” න ඉන්ටර්නැෂනල් වර්ෂන් “කිත්තීම් නැව්” යන යෙදුම “බටහිර මුහුදු තීරයේ නැව්” ලෙස දක්වයි. පළමු ලෝක යුද්ධය තුළ, කිත්තීම් හි නැව් වනාහි යුරෝපයේ බටහිර වෙරළේ රඳවා තිබූ බ්‍රිතාන්‍යයේ නැව් බවට ඔප්පු විය. පසු ව බ්‍රිතාන්‍ය නාවුක හමුදාව, උතුරු අමෙරිකාවේ මහාද්වීපයේ බටහිරින් පැමිණි නැව් මගින් ශක්තිමත් කරනු ලැබිණි.
8 මෙම ප්‍රහාරය යටතේ, උතුරේ රජ “කලකිරී” 1918 දී පරාජය භාර ගත්තේ ය. එහෙත් ඔහු අවසන් වූයේ නැත. “ඔහු හැරී ගොස්, ශුත්ටධ ගිවිසුමට විරුත්ටධව කෝපවී, තමාගේ කැමැත්ත ඉෂ්ටකොට [ප්‍රබල ලෙස ක්‍රියා කොට NW], ශුත්ටධ ගිවිසුම අත්හරින්නන් නැවත සලකනවා ඇත.” (දානියෙල් 11:30) දේව දූතයා පුරෝකථනය කළේ එසේයි, සිදු වූයේ ද එයයි.
රජ ප්‍රබල ලෙස ක්‍රියා කරයි
9. ඇඩොල්ෆ් හිට්ලර්ගේ නැගී සිටීමට තුඩු දුන්නේ කුමක් ද, ඔහු “ප්‍රබල ලෙස” ක්‍රියා කළේ කෙසේ ද?
9 වර්ෂ 1918 යුද්ධයේ අවසානයට පසු, ජයග්‍රාහී මිත්‍ර පාක්ෂික හමුදා, ජර්මනිය මත දඬුවම් සහිත සාම ගිවිසුමක් ඇති කළ අතර, මෙය, නියම නොවන අනාගත කාලයකට ජර්මන් ජනතාව සාගත තත්ත්වයෙන් තබන්නට සැලසුම් කරන ලද්දක් බව පෙනේ. ප්‍රතිඵලයක් වශයෙන්. දැඩි පීඩාකාරී තත්ත්වයෙන් අවුරුදු ගණනාවක් අමාරුවෙන් ගත කළ පසු, ජර්මනිය, ඇඩොල්ෆ් හිට්ලර්ගේ අවදි වීමට සූදානමින් සිටියේ ය. වර්ෂ 1933 දී පූර්ණ බලතල ලබා ගත් ඔහු, සැණෙකින්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආලේප ලත් සහෝදරයන් විසින් නියෝජනය කරන ලද “ශුද්ධ ගිවිසුමට” එරෙහි ව දැඩි ප්‍රහාරයක් එල්ල කළේ ය. මෙහි දී, ඔහු මෙම පක්ෂපාත ක්‍රිස්තියානින්ට එරෙහි වෙමින්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට දරුණු ලෙස පීඩා කරමින් ප්‍රබල ලෙස ක්‍රියා කළේ ය.
10. හිට්ලර් අනුබලය සොයමින්, සම්බන්ධකම් පැවැත්වූයේ කා සමඟ ද, තව ද කුමන ප්‍රතිඵල සහිත ව ද?
10 ආර්ථික සමත්වීම් හා වෙනත් රටවල රාජ්‍යයන්ගෙන් අනුග්‍රහය ලැබීමෙන් සාර්ථකත්වය දිනාගත් හිට්ලර්, එම ක්ෂේත්රවල ද ප්‍රබල ලෙස ක්‍රියා කළේ ය. වසර කිහිපයක දී, ඔහු ජර්මනිය සැලකිය යුතු බලවේගයක් දක්වා ගෙනා අතර, මෙම ප්රයත්නයේ දී, “ශුද්ධ ගිවිසුම අත්හරින්නන්” විසින් උපකාර කරනු ලැබිණි. මේ අය කවුරුන් වී ද? පෙනෙන හැටියට, මොවුන් නම්, දෙවියන් වහන්සේ සමඟ ගිවිසුම් සබඳතාවක් තිබෙන බව කියා සිටි නමුත්, බොහෝ කලකට පෙර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන්වීම නවතා තිබූ ක්‍රිස්තියානි ලෝකයේ නායකයන් ය. හිට්ලර්, තමාගේ අනුබලය සඳහා මෙම “ශුද්ධ ගිවිසුම අත්හරින්නන්“ ව සාර්ථක අයුරින් කැඳවා ගත්තේ ය. රෝමයේ පාප්, ඔහු සමඟ ගිවිසුමක් ඇති කර ගත් අතර, රෝමානු කතෝලික සභාව, එමෙන් ම ජර්මනියේ රෙපරමාදු සභාවන්, වසර 12ක් පුරා තිබූ හිට්ලර්ගේ භීෂණ සමයට අනුබල දුන්නෝ ය.
11. උතුරේ රජ “ශුත්ටධස්ථානය කෙලහා” “දවස්පතා පූජාව [නිරන්තර අංගය NW] පහ” කළේ කෙසේ ද?
11 හිට්ලර් කොතරම් සාර්ථක වී ද යත්, දේව දූතයා නිවැරදි ලෙස පුරෝකථනය කළාක් මෙන් හේ යුද්ධයට ගියේ ය. “ඔහු විසින් නැගුටුවන සේනා පැමිණ, බලකොටුව වන ශුත්ටධස්ථානය කෙලහා, දවස්පතා පූජාව [නිරන්තර අංගය NW] පහකරන්නේය.” (දානියෙල් 11:31අ) පැරණි ඊශ්‍රායෙලයේ, ශුද්ධස්ථානය වනාහි යෙරුසලමේ දේව මාලිගාවේ කොටසක් විය. කෙසේ වුවද, යුදෙව්වන් යේසුස් වහන්සේ ව ප්‍රතික්ෂේප කළ විට, යෙහෝවඃ වහන්සේ ඔවුන් ව සහ ඔවුන්ගේ දේව මාලිගාව ප්‍රතික්ෂේප කළ සේක. (මතෙව් 23:37–24:2) පළමු සියවසේ පටන්, යෙහෝවඃ වහන්සේගේ මාලිගාව, ඇත්තෙන් ම, ආත්මික එකක් වී තිබෙන අතර, එහි අති ශුද්ධස්ථානය ස්වර්ගයේ උත්තම පූජකයාණන් වන යේසුස් වහන්සේගේ ආලේප ලත් සහෝදරයන් සේවය කරන ආත්මික මළුව පොළොව මත පිහිටා ඇත. එක්දහස් නවසිය තිස් ගණන්වල සිට, මහත් සමූහය, ආලේප ලත් ඉතිරි අය සමඟ අසුරු කරමින් නමස්කාරයේ යෙදී සිටී; මෙබැවින්, ඔවුන් ‘දෙවියන් වහන්සේගේ මාලිගාවේ’ සේවය කරනවා යයි කියැවේ. (එළිදරව් 7:9, 15; 11:1, 2; හෙබ්‍රෙව් 9:11, 12, 24) උතුරේ රජුගේ ආධිපත්‍යය පැතිර තිබූ රටවල සිටි ආලේප ලත් ඉතිරි අය වෙත සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් වෙත එල්ල කරන ලද කෲරතර පීඩා මගින්, මාලිගාවේ භූමික මළුව කෙලෙසන ලදි. පීඩාව කොතරම් දරුණු වී ද යත්, දවස් පතා පූජාව හෙවත් නිරන්තර අංගය—එනම් යෙහෝවඃ වහන්සේගේ නාමයට කරන ලද ප්‍රශංසාව නමැති ප්‍රසිද්ධ පූජාව—ඉවත් කරන ලදි. (හෙබ්‍රෙව් 13:15) එහෙත්, මෙම භයානක දුක් පීඩා අභිබවා, ඇදහිලිවන්ත ආලේප ලත් ක්‍රිස්තියානින්, “වෙනත් බැටළුවෝ” සමඟ තහනම යටතේ රහසින් දේශනා කරමින් සිටි බව ඉතිහාසය පෙන්වයි.—යොහන් 10:16.
“පිළිකුල් දෙය”
12, 13. “පිළිකුල් දෙය” වූයේ කුමක් ද? තව ද, විශ්වාස වූ නුවණ ඇති දාසයා කලින් දුටුවාක් මෙන්, එය යළි පිහිටුවනු ලැබුවේ කවදා ද, එමෙන් ම කෙසේ ද?
12 දෙවන ලෝක යුද්ධයේ නිමාව ආසන්න වූ විට, තවත් දෙයක් සිදු විණි. “[ඔවුන් සහතික ව ම NW] පාළුකරන පිළිකුල [පාළු කිරීමක් සිදු කරන පිළිකුල් දෙය NW] පිහිටුවනවා ඇත.” (දානියෙල් 11:31ආ) මෙම “පිළිකුල් දෙය” යේසුස් වහන්සේ විසින් ද සඳහන් කරනු ලැබූ අතර, එය එළිදරව් පොතේ පවසන පරිදි පාතාලයට ගිය රතු වනමෘගයා වන ජාතීන්ගේ සංගමය ලෙස ඒවනවිටත් හඳුනා ගෙන තිබිණි. (මතෙව් 24:15; එළිදරව් 17:8; ලයිට් දෙවෙනි පොතේ 94 පිට බලන්න_) දෙවන ලෝක යුද්ධය ඇරඹූ විට මෙය සිදු විය. කෙසේ වුවද, 1942 දී පැවති යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ නව ලෝක දිව්‍යාණ්ඩු එක්රැස්වීමෙහි දී, වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි හි තුන්වන සභාපති වූ නේදන් එච්. නෝර් එළිදරව් 17 වෙනි පරිච්ඡේදයේ අනාවැකිය සාකච්ඡා කොට, මෘගයා නැවත පාතාලයෙන් නැගී එනු ඇති බවට අනතුරු ඇඟවී ය.
13 ඔහුගේ වචනවල සත්‍යතාවය ඉතිහාසයෙන් තහවුරු වෙයි. වර්ෂ 1944 අගෝස්තු සහ ඔක්තෝබර් මාස අතරතුර, එක්සත් ජනපදවල ඩම්බාර්ටන් ඕක්ස් මන්දිරයෙහි එක්සත් ජාතීන් ලෙස නම් කරනු ඇති සංවිධානයේ සන්නස් පත්‍රයක වැඩ ආරම්භ විය. මෙම සන්නස් පත්‍රය, කලින් සෝවියට් සංගමය ඇතුළු ජාතීන් 51ක් මගින් ස්ථිර කරනු ලැබූ අතර, 1945 ඔක්තෝබර් 24දා එහි බලය ක්‍රියාත්මක වූ විට, අභාවයට ගිය ජාතීන්ගේ සංගමය යළිත් පාතාලයෙන් ඉවතට ආවා හා සමාන ය.
14. උතුරේ රජුගේ අනන්‍යතාවය වෙනස් වූයේ කවදා ද, එමෙන් ම කෙසේ ද?
14 ලෝක යුද්ධ දෙක අතරතුරේ දී දකුණේ රජගේ ප්‍රධාන සතුරා වී සිටියේ ජර්මනියයි. දෙවන ලෝක යුද්ධයට පසු, ජර්මනියේ කොටසක්, දකුණේ රජුගේ මිත්‍ර පාක්ෂිකයෙක් ලෙස යළි සම්බන්ධකම් ඇති කර ගත්තේ ය. එහෙත්, ජර්මනියේ අනෙක් කොටස, දැන් තවත් ප්‍රබල අධිරාජ්‍යයක් සමඟ සම්බන්ධ විය. දැන් ජර්මනියෙන් කොටසක් ඇතුළත් වූ කොමියුනිස්ට් හවුල, එංගලන්ත-අමෙරිකානු මිත්‍ර සන්ධානයට දැඩි සේ විරුද්ධ ව නැගී සිටි අතර, රජවරුන් දෙදෙනා අතර පැවති විරෝධය සීතල යුද්ධයක් බවට පත් විය.—“යෝර් විල් බී ඩන් ඔන් අර්ත්,” පිටු 264-84 බලන්න.
රජු සහ ගිවිසුම
15. ‘ගිවිසුමට එරෙහි ව දුෂ්ට ලෙස ක්‍රියාකරන’ අය කවරහු ද, ඔවුන් උතුරේ රජ සමඟ පවත්වාගෙන ඇති සම්බන්ධය කුමක් ද?
15 දේව දූතයා දැන් මෙසේ කියයි: “ගිවිසුමට එරෙහි ව දුෂ්ට ලෙස ක්‍රියා කරමින් සිටින්නන් ව, ඔහු ඉච්චා වචන මගින් ඇදහිල්ල අත්හැරයාම වෙතට මෙහෙයවන්නේ ය.” (දානියෙල් 11:32, NWආ) ගිවිසුමට එරෙහි ව දුෂ්ට ලෙස ක්‍රියා කරමින් සිටින්නේ කවරහු ද? යළිත්, ඔවුහු වනාහි ක්‍රිස්තියානින් යයි කියා සිටින නමුත්, තම ක්‍රියා මගින් ක්‍රිස්තියානි ධර්මයේ නාමය ම කෙලෙසන ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන් පමණක් විය හැකි ය. දෙවන ලෝක යුද්ධය අතරතුරේ දී, “සෝවියට් රජය, තම මවුබිමේ ආරක්ෂාව සඳහා පල්ලිවල ද්‍රව්‍යමය සහ සදාචාරමය සහාය ලබා ගැනීමට යත්න දැරුවේ ය.” (වෝල්ටර් කොලාර්ස් විසින් රචිත රිලිජන් ඉන් ද සෝවියට් යූනියන්) යුද්ධයට පසු, දැන් උතුරේ රජ ව සිටි බලවේගයේ අදේවවාදී ප්‍රතිපත්ති තිබිය දී, පල්ලි නායකයෝ එම මිත්‍රත්වය පවත්වා ගෙන යාමට උත්සාහ කළහ.b මෙසේ, ක්‍රිස්තියානි ලෝකය වෙන කවර කලකටත් වඩා, මේ ලෝකයේ කොටසක් බවට ක්‍රම ක්‍රමයෙන් පත්විය.—මෙය, යෙහෝවඃ වහන්සේගේ ඇස් හමුවෙහි පිළිකුල් සහගත ඇදහිල්ල අත්හැර යාමකි.—යොහන් 17:14; යාකොබ් 4:4.
16, 17. “තීක්ෂ්ණ බුද්ධිය ඇති අය” කවරහු ද, තව ද උතුරේ රජ යටතේ ඔවුන් කටයුතු කර ඇත්තේ කෙසේ ද?
16 එහෙත්, අව්‍යාජ ක්‍රිස්තියානින් ගැන කුමක් කිව හැකි ද? “නුමුත් තමුන්ගේ දෙවියන්වහන්සේ හඳුනන්නෝ වන සෙනග බලවත්වී, සමර්ථකම් කරන්නෝය. සෙනග අතරෙන් නුවණ [තීක්ෂ්ණ බුද්ධිය NW] ඇත්තන් විසින් බොහෝ දෙනෙකු ඥානයට පමුණුවනවා ඇත. නුමුත් දවස් ගණනක් කඩුවෙන්ද ගින්නෙන්ද දාසකමෙන්ද කොල්ලකෑමෙන්ද ඔවුන් වැටෙනවා ඇත.” (දානියෙල් 11:32ආ, 33) නිසි අයුරින්, “බලයලත් මුලාදෑනින්ට යටත්” වී තිබෙන අතරේ දී, උතුරේ රජ යටතේ ජීවත් වන ක්‍රිස්තියානින් මේ ලෝකයේ කොටසක් වී නොමැත. (රෝම 13:1; යොහන් 18:36) කායිසර්ගේ දේ කායිසර්ට ආපසු ගෙවීමට ප්‍රවේසම් වී සිටින ඔවුන්, “දෙවියන්වහන්සේගේ දේ දෙවියන් වහන්සේට” දී ඇත. (මතෙව් 22:21) මේ නිසා, ඔවුන්ගේ අඛණ්ඩතාවයට අභියෝග එල්ල විණි.—2 තිමෝති 3:12.
17 ප්‍රතිඵලය කුමක් වී ද? ඔවුහු ‘බලවත් වූහ,’ එමෙන් ම ‘වැටුණෝ ය.’ ඔවුන් වැටුණේ, ඔවුන්ට පීඩා කරනු ලැබ, දැඩි දුක් පීඩා කරනු ලැබ ඇතැම් අය ව මරණයට පවා පත් කරනු ලැබීමෙන් ය. එහෙත් ඔවුන් බලවත් වූයේ, බොහෝ දෙනෙක් විශ්වාසනීය ව සිටීමෙන් ය. එසේ ය, යේසුස් වහන්සේ ලෝකය ජය ගත්තාක් මෙන්, ඔවුහු ද ලෝකය ජය ගත්හ. (යොහන් 16:33) එපමණක් නොව, ඔවුන් සිරගෙවල හෝ වධක කඳවුරුවල පවා සිටිය ද, ඔවුන් කිසිවිටෙකත් දේශනා කිරීම නතර කළේ නැත. මෙසේ කිරීමෙන්, ඔවුහු ‘බොහෝ දෙනෙකු ව ඥානයට හරවා ගත්හ.’ උතුරේ රජ විසින් පාලනය කරනු ලැබූ බොහෝ රටවල, පීඩා අභිබවා යමින් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව වැඩි විය. ‘තීක්ෂ්ණ බුද්ධිය ඇති’ අයගේ ඇදහිලිවන්ත භාවයට ස්තුති වේවා, මන්ද, එම රටවල, “මහත් සමූහයේ” කිසිදා නොවූ විරූ වර්ධනයක් දක්නට ලැබෙන හෙයිනි.—එළිදරව් 7:9-14.
18. උතුරේ රජ යටතේ ජීවත් වන ආලේප ලත් ඉතිරි කොටස, ලබා තිබෙන ‘ස්වල්ප වශයෙන් උපකාර’ කිමෙක් ද?
18 දෙවියන් වහන්සේගේ ජනයාගේ පීඩාවන් ගැන කථා කරමින්, දේව දූතයා මෙසේ පුරෝකථනය කළේ ය: “ඔවුන් වැටෙන කල ස්වල්ප වශයෙන් ඔවුන්ට උපකාර ලැබේ.” (දානියෙල් 11:34අ) මෙය සිදුවූයේ කෙසේ ද? එක් දෙයක් නම්, දෙවන ලෝක යුද්ධයේ දී දකුණේ රජුගේ ජයග්‍රහණය නිසා, සතුරුවාදී රජු යටතේ ජීවත් වෙමින් සිටි ක්‍රිස්තියානින් හට මහත් සහනයක් ලැබීමයි. (එළිදරව් 12:15, 16 සසඳන්න.) එවිට, උතුරේ අනුප්‍රාප්තික රජු විසින් පීඩා කරනු ලැබූ අය, කලින් කලට යම් සහනයක් අත්දුටු අතර, සීතල යුද්ධය ටිකෙන් ටික නිමාවට පත් වෙනවාත් සමඟ ම, බොහෝ දේශපාලන නායකයන් වටහා ගත් දෙයක් නම්, ඇදහිලිවන්ත ක්‍රිස්තියානින් තමන්ට තර්ජනයක් නොවන බවයි, තව ද මේ අයුරින්, ඔවුන් ව නීත්‍යානුකූල ව පිළිගන්නා ලදි.c මතෙව් 25:34-40 හි විස්තර කර ඇති පරිදි, ආලේප ලත් අයගේ ඇදහිලිවන්ත දේශනා සේවයට ප්‍රතිචාර දක්වා ඇති මහත් සමූහයේ වැඩිවෙමින් පවතින සංඛ්‍යාව විසින් ලැබෙන මහඟු උපකාරය ඔවුන් හට ප්‍රබල පිටුවහලක් වී තිබේ.
දෙවියන් වහන්සේගේ ජනයා සඳහා පිරිසිදු කරනු ලැබීමක්
19. (අ) ඇතැමුන්, “ඉච්චාවලින් ඔවුන්ට එකතු” වූයේ කෙසේ ද? (ආ) “අන්තිම කාලය තෙක්” [NW] යන ප්රකාශනයේ අර්ථය කුමක් ද? (පාද සටහන බලන්න.)
19 මෙම කාලයේ දී දෙවියන් වහන්සේට සේවය කිරීමෙහි ලා උනන්දුවක් දැක් වූ සියලු දෙනා ම, හොඳ චේතනාවෙන් යුතු ව එසේ කළා නොවේ. දේව දූතයා මෙසේ අනතුරු ඇඟවී ය: “බොහෝ දෙනෙක්ද ඉච්චාවලින් ඔවුන්ට එකතුවෙනවා ඇත. තීන්දුවේ කාලය දක්වා [අන්තිම කාලය තෙක් NW] ඔවුන් පිරිසිදුකර ශුත්ටධපවිත්රකරන්ට ඔවුන්ගෙන් නුවණ [තීක්ෂ්ණ බුද්ධිය NW] ඇති සමහරු වැටෙන්නෝය. මක්නිසාද නියම කාලය තව ප්‍රමාදවන්නේය [මන්දයත් එය තවමත් නියම කරන ලද කාලය සඳහා බලා සිටින බැවිනි NW].”d (දානියෙල් 11:34ආ, 35) ඇතැම් අය සත්‍යය තුළ උනන්දුවක් දැක් වූ නමුදු, දෙවියන් වහන්සේට සේවය කිරීමට අව්‍යාජ ලෙස කැපවීමට අකමැති වූහ. ශුභාරංචිය පිළිගත්තා සේ පෙන්වූ වෙනත් අය, සැබවින් ම බලධාරීන්ගේ ඔත්තුකරුවන් වූහ. එක් රටකින් පැමිණි වාර්තාවක මෙසේ කියවීමට තිබේ: “මෙම දුෂ්ට පුද්ගලයන්ගෙන් ඇතමෙක් ස්වාමීන් වහන්සේගේ සංවිධානයට රිංගා ගත් ප්‍රසිද්ධියේ පිළිගන්නා ලද කොමියුනිස්ට් වාදීන් ය. මොවුන් ජ්වලිත බව දැඩි සේ විදහා දක්වා ඇති අතර, සේවා තත්ත්වයන්හි ඉහළ තනතුරු පවා ලබා ගෙන තිබේ.”
20. කුහක ලෙස රිංගා ගත් අය නිසා, ඇතැම් ඇදහිලිවන්ත ක්‍රිස්තියානින් ව ‘වැටී යාමට’ යෙහෝවඃ වහන්සේ විසින් ඉඩ හරිනු ලැබුවේ මන්ද?
20 මෙසේ රිංගා ගත් ඇතැම්හු, ඇදහිලිවන්තයන් සමහර දෙනෙක් ව බලධාරීන්ගේ අත්වලට පාවා දුන්හ. එවැනි දෙයක් සිදුවීමට යෙහෝවඃ වහන්සේ ඉඩ හැරියේ මන්ද? ශෝධනය කිරීමකට ය, පිරිසිදු කිරීමකට ය. යේසුස් වහන්සේ ‘තමන් විඳි දේවලින් කීකරුකම ඉගෙන ගත්තාක්’ මෙන්, එසේ ම මෙම ඇදහිලිවන්ත පුද්ගලයෝ තමන්ගේ ඇදහිල්ලේ පරීක්ෂණවලින් විඳදරා ගැනීම ඉගෙන ගත්හ. (හෙබ්‍රෙව් 5:8; යාකොබ් 1:2, 3; සසඳන්න මලාකී 3:3.) මෙසේ, ඔවුන් ‘ශෝධනය කරනු ලැබ, පිරිසිදු කරනු ලැබ, ශුද්ධ පවිත්‍රකරනු ලැබේ.’ එවන් ඇදහිලිවන්ත අයගේ විඳදරා ගැනීමට විපාක ලැබෙන කාලය පැමිණෙන විට ඔවුන් මහත් ප්‍රීතිවීමක් බලා සිටී. දානියෙල්ගේ අනාවැකිය තව තවත් සාකච්ඡා කරන විට, අප මෙය දකිනවා ඇත.
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්යූ යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශයට පත් කොට, 1958 දී පැවති “ඩිවයින් විල්” නමැති, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර එක්රැස්වීමේ දී ඉංග්‍රීසි භාෂාවෙන් මුදා හරින ලදි.
b වර්ෂ 1992 නොවැම්බර් මස වර්ල්ඩ් ප්‍රෙස් රිවීව්, ද ටොරොන්ටෝ ස්ටාර් හි තිබූ ලිපියකින් මෙසේ හුවා දැක්වී ය: “පසුගිය වර්ෂ කිහිපය පුරා, රුසියන්වරුන් තම රටේ ඉතිහාසය පිළිබඳ ව වරක් පැවති බිඳ හෙලිය නොහැකි මායාවන් බොහොමයක් සැබෑ සිදුවීම් හමුවේ බිඳ හෙලනවා දැක තිබේ. එහෙත් කොමියුනිස්ට් පාලන තන්ත්රය සමඟ පල්ලිය ගෙන ගිය මිත්‍ර සබඳතා පිළිබඳ ව හෙළිවීම, වඩාත් ම ප්‍රබල පහර නියෝජනය කරයි.”
c වර්ෂ 1991 දෙසැම්බර් 1, මුරටැඹ පිටු 8-11 බලන්න.
d “අන්තිම කාලය තෙක්” යන්න “අන්තිම කාලය අතරතුර” අදහස් කළ හැකි ය. මෙහි “තෙක්” යනුවෙන් පරිවර්තනය කර ඇති වචනය, දානියෙල් 7:25 හි ඇරමෙයික් පාඨයේ දක්නට ඇති අතර, එහි අර්ථය නම්, “අතරතුර” හෝ “සඳහා” යන්නයි. හෙබ්‍රෙව් පාඨයේ 2 රාජාවලිය 9:22, යෝබ් 20:5 සහ විනිශ්චයකාරයන් 3:26 හි ද මේ හා සමාන අරුතක් මෙම වචනයට තිබේ. කෙසේ වෙතත්, දානියෙල් 11:35 හි බොහෝ පරිවර්තනවල, එය “තෙක්” ලෙස පරිවර්තනය කොට ඇති අතර, මෙහි හරි අවබෝධය නම්, මෙහි සඳහන් “අන්තිම කාලය” යන්න, දෙවියන් වහන්සේගේ ජනයාගේ විඳදරා ගැනීමේ කාලය අවසන්වීම විය යුතු ය.—“යෝර් විල් බී ඩන් ඔන් අර්ත්” 286 පිට සසඳන්න.
ඔබට මතක ද?
◻ දානියෙල්ගේ අනාවැකිය පිළිබඳ ව වඩාත් පැහැදිලි අවබෝධයක් තිබීම අප අපේක්ෂා කළ යුත්තේ මන්ද?
◻ උතුරේ රජ ‘චෝදනා එල්ල කොට ප්‍රබල ලෙස ක්‍රියා කළේ’ කෙසේ ද?
◻ “පිළිකුල් දෙය” නැවත පෙනී සිටීම දාස පංතිය විසින් කලින් දුටුවේ කෙසේ ද?
◻ ආලේප ලත් ඉතිරි කොටස, ‘වැටී, ප්‍රාණවත් වී, ස්වල්ප උපකාර’ ලැබුවේ කෙසේ ද?
[15වන පිටුවේ පින්තූරය]
හිට්ලර් යටතේ, උතුරේ රජ, 1918 දී දකුණේ රජ අතින් තමන්ට අත් වූ පරාජයෙන් මුළුමනින් ම නැගී සිටියේ ය
[16වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානි ලෝකයේ නායකයෝ උතුරේ රජ සමඟ සම්බන්ධයක් ගොඩනැගීමට යත්න දැරූහ
[හිමිකම් විස්තර]
Zoran/Sipa Press