නැගෙනහිරත් බටහිරත්, යෙහෝවඃ වහන්සේ ස්වකීය ජනයා ශක්තිමත් කරන සේක
දේශනා වැඩකටයුතු තහනම් කර ඇති ප්‍රදේශයන්හිත්, ප්රචණ්ඩ ක්‍රියාවන්ගෙන් කොටස්වලට ගොස් ඇති රටවලත්, එමෙන් ම මෑත කාලවල තහනම ඉවත් කර ඇති රටවලත්—ඇත්ත වශයෙන් ම, ලෝක ව්‍යාප්ත ක්ෂේත්රය පුරා ම—යෙහෝවඃ වහන්සේ ස්වකීය සාක්ෂිකරුවන්ට “සාමාන්‍යය ඉක්මවා යන බලයක්” දිගට ම සපයමින් සිටින සේක.—2 කොරින්ති 4:7, NW.
තහනම යටතේ සමෘද්ධිය
ඈත පෙරදිග පිහිටි දූපත් සමූහයක, දේශනා කිරීමේ වැඩය දැන් වසර 17ක් පුරා තහනමට ලක් ව තිබේ. එහි සාක්ෂිකරුවෝ අධෛර්යයට පත් වී සිටිත් ද? කොහෙත් ම නැත! ගත වූ මැයි මාසයේ, ප්‍රචාරකයන් 10,756ක නව ඉහළ සංඛ්‍යාවක් කරා ඔවුන් ළඟා වූ අතර, මෙයින් 1,297 දෙනෙක් සේවය කරමින් සිටින්නේ පූර්ණ-කාලීන දේව සේවකයන් හැටියට ය. ලෝක තත්ත්වයන් පිරිහෙත් ම, දූපතේ වැසියෝ සත්‍යයට සවන් දීමට පෙරට වඩා වැඩි කැමැත්තක් දක්වති. එබැවින් උනන්දුව දක්වන අයගේ නිවාසවල පවත්වන ලද බයිබල් පාඩම් 15,654ක් ඔවුන් වාර්තා කර ඇත. ඊට කලින්, යේසුස් වහන්සේගේ මරණය සිහි කිරීමට රහසින් පවත්වන ලද රැස්වීම්වලට 25,397 දෙනෙක් පැමිණියෝ ය.
“දිව්‍ය ඉගැන්වීම” දිස්ත්‍රික්ක සමුළු—නැවතත්, පළාතේ තත්ත්වයන්ට අනුව නැණවත් ආකාරයකට—පවත්වනු ලැබූ විට, එක්සත් ජනපදයේ සකසා තිබූ, තමන්ගේ ම භාෂාවෙන් වූ සමුළු මුදාහැරීම්වල පිටපත් ලබා ගැනීමට සහෝදරයෝ මහත් සේ සතුටු වූහ. පිටු සිය ගණනකින් යුත් එහි ප්‍රධානතම මුදාහැරීම නියමිත වේලාවට තමන් විසින් සකස් කරලීමට හැකි වන පරිදි, පරිවර්තකයෝ, සෝදුපත් කියවන්නෝ හා වෙනත් අය අමතර පැය ගණනක් වැඩ කරන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ. තව ද සහයෝගී ව කටයුතු කරන්නට කැමැත්ත පළ කළ බාහිර මුද්‍රණාලයක්, මුද්‍රණයේ හා පොත් බැඳීමේ කටයුත්ත සම්බන්ධයෙන් අලංකාර වැඩ කොටසක් කරන්නට සතුටු විය. සමුළුවට පැමිණි අය, වර්ණවත් චිත්‍ර දහසකට වඩා වැඩි ප්‍රමාණයකින් යුත්, එම ප්රකාශනය ලැබීමට අතිශයින් සතුටු වූහ. රජයේ නිලධාරින් බොහෝ දෙනෙක් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට ගරු කරන අතර, විරුද්ධවාදීකම මූලික ව පැමිණෙන්නේ ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන්ගෙනි. එම තහනම ඉක්මනින් ම ඉවත් කරනු ලැබේ යයි බලාපොරොත්තු තිබේ.
අමෙරිකාවන් පිළිබඳ ව කුමක් කිව හැකි ද?
මෙම බටහිර රටවල වාසය කරන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් නැගෙනහිරෙහි වාසය කරන තමන්ගේ සහෝදරයන්ගේ ගැටලු ධෛර්යයෙන් යුක්ත ව නිරාකරණය කිරීමෙහි ලා ඔවුන් සමඟ එක්සත් ව සිටින අතර දුෂ්කර තත්ත්වයන් මැඩ පැවැත්වීමට යෙහෝවඃ වහන්සේගේ ශුද්ධාත්මය ඔවුන්ට උපකාර කරයි. උදාහරණයක් වශයෙන්, කැලෑවල මත් ද්‍රව්‍ය වෙළඳාම් කටයුතු කෙරෙන එක් ලතින් අමෙරිකානු රටකින් පැමිණෙන මතු වාර්තාව සැලකිල්ලට ගන්න.
සාක්ෂිකරුවන් කණ්ඩායමක් බස් රියකින් හුදකලා ප්‍රදේශයකට ගමන් කළහ. ඔවුන් බසයෙන් බසිත් ම, ගමෙන් පිටතට ඇදී යන්නා වූ කුඩා මාර්ගයක් ඔවුන්ගේ සැලකිල්ලට යොමු විය. එබැවින්, සහෝදරියන්ටත් දරුවන්ටත් ගමේ සේවය කරන්නට පැවරුම් දී, සහෝදරයන් පස්දෙනා එම කුඩා ගුරු පාර මඟ පෙන්වන තැන බලන්නට ගියහ. එක් සහෝදරයෙක් සිදු වූ දෙය මෙසේ විස්තර කරයි:
“එම පාර දිගේ අප පැය දෙකක් ගමන් කළත් හමුවුණේ ගෙවල් කීපයක් පමණයි. එවිට, හිස් වැසුම් පැළඳි අවි ගත් මිනිසුන් අට දෙනෙක් හදිසියේ ම කැලයෙන් පිටතට ආවා. සමහරෙකුට මැෂින් තුවක්කු ද සමහරෙකුට මන්න පිහි ද තිබුණා. අප කොටු වූයේ මොන කරදරයකට ද? ඔවුන්ට ඕනෑ කුමක් දැයි අප අසන්නට පටන් ගත්තත්, නිශ්ශබ්ද ව සිට, කථා නොකරන හැටියට—එනම් නිකම් ඉදිරියට ගමන් කරන හැටියට—අපට කියනු ලැබුවා. අප එලෙසින් ම කළා! තවත් පැය දෙකක් ගන ලඳු කැලෑව මැදින් ගමන් කළ අප පැමිණියේ එළි පෙහෙළි කළ, පෙනෙන හැටියට අවි ඇති කඳවුරකටයි. සෑම තැනක ම තුවක්කු අතැති මුරකරුවන් සිටියා. ඒ මැද විනීත ආකාරයකට තනා තිබූ ගෙයක් තිබුණ අතර එයට යන හැටියට අපට විධාන කරනු ලැබුවා.
“අප අසුන් ගත් විට, අපට කථා කළේ, පෙනෙන හැටියට එම කඳවුරේ ප්‍රධානියා ය. ඔහු පිරිසිදු ව ඇඳ පැළඳ සිටි, උගත්, ඉතා ගෞරවනීය කෙනෙක් විය. ඔහු අපගේ සහෝදර කණ්ඩායමේ එක් සහෝදරයෙකුට ඇඟිල්ල දික් කර ඔහුට හිටගන්න යයි කීවේ ය. ‘ඔබ [අපගේ] කණ්ඩායම ගැන හිතන්නේ කුමක් ද?’ කියා ඔහු අනතුරුව අපගේ සහෝදරයාගෙන් ඇසුවේ ය. අප සිටි ස්ථානය හොඳින් තේරුම් ගෙන, එම සහෝදරයා මෙසේ පිළිතුරු දුන්නේ ය: ‘ඇත්තෙන් ම අපි දන්නවා ඔබගේ කණ්ඩායම ගැන, එහෙත් අප ඒ ගැන හෝ වෙනත් යම් දේශපාලන කණ්ඩායමක් ගැන උනන්දුවක් නැහැ. අප මෙහි සිටින එක ම හේතුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් වූ යෙහෝවඃ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කිරීමයි. එය ඉක්මනින් ම මේ දේවල පිළිවෙළේ සියලු ම දේශපාලන ආණ්ඩු විනාශ කර, පාරාදීස තත්ත්වයන් යටතේ මෙම පොළොව මත මිනිසුන්ට කියා නිම කළ නොහැකි ආශ්චර්යවත් ආශීර්වාදයන් ගෙනෙනවා ඇත—මෙය කිසි ම මිනිසෙකුටවත් මිනිස් කණ්ඩායමකටවත් කළ නොහැකි යමකි.’
“එම මිනිසාගේ ආකල්පය වෙනස් වුණා. ඔහු ප්‍රශ්න අසන්නට පටන් ගත්තා. ‘මේ සියල්ල ඔබ ඉගෙන ගත්තේ කොතැනින් ද? එයාකාරයෙන් කථා කරන්නට ඔබ සූදානම් ව සිටියේ කෙසේ ද?’ පැය එකහමාරක් පුරා, අපට ලෝක තත්ත්වයන් ගැන හොඳ සාක්ෂියක් දී, මනුෂ්‍ය වර්ගයා සඳහා ඇති එක ම බලාපොරොත්තුව බයිබලය ඉදිරිපත් කරන බව පෙන්වන්නට අපට පුළුවන් වුණා. රෝම 13වන පරිච්ඡේදය—එනම්, අප බලයේ සිටින අධිකාරින්ට කීකරු වුවත්, යෙහෝවඃ වහන්සේගේ වචනය හා ඔවුන්ගේ වචනය අතර ගැටුමක් ඇති වන අවස්ථාවන්හි, අප මුලින් ම කීකරු වන්නේ අපගේ දෙවියන් වන, යෙහෝවඃ වහන්සේට බව—අප පැහැදිලි කළා. අවසානයේ අප ළඟ තිබූ පොත් අප ඔහුට ඉදිරිපත් කළා. ඔහු ඉන් තුනක් හා බයිබලයක් ලබා ගත් අතර, අප ව මවිතයට පත් කරමින් ඔහු අපට සම්මාදමකුත් ඉදිරිපත් කළා. තමා ඒවා කියවන්නට යන බව ඔහු කිව්වා.
“ඉන් අනතුරුව, අප ව කඳවුරෙන් පිටතට ගෙන යන්නැයි නායකයා මිනිසුන්ගෙන් කෙනෙකුට කිව්වා. සාක්ෂි දැරීමේ වෙනත් ක්ෂේත්රයක අප ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් යෙහෝවඃ වහන්සේට ස්තුති කරමින්, ඉක්මනින් ම අප හැරී එන්නට විය.
ආරාවුල්වලින් පහර ලද අප්‍රිකාවේ
අප්‍රිකානු මහාද්වීපය පිහිටා ඇත්තේ ඈත නැගෙනහිර හා ඈත බටහිර ගමන් සීමාවේ මැද ය. ගෝත්‍ර අතර පවතින යුද්ධ, එහි සමහරක් රටවල් ප්‍රචණ්ඩකාරිත්වයෙන් පිරුණු ස්ථාන බවට පත් කර ඇත. ලයිබීරියාවේ හට ගෙන ඇති සිවිල් යුද්ධය උග්රවීම එහි වසන යෙහෝවඃ වහන්සේගේ ජනයාට යළිත් වරක් මහත් බලපෑම් සිදු කර ඇත. මුලින් ම 1992 ඔක්තෝබර් හා නොවැම්බර් මාස තුළ එහි අග නගරයේ හා ඒ අවට සටන් ඇති විය. අනතුරුව, එම යුද්ධය උඩ රටට පැතිර යත් ම, සහෝදරයන් ඉතිරි ජනගහණයත් සමඟ කැලෑ පෙදෙස්වලට පලා ගිය බැවින්, සම්පූර්ණයෙන් ම සභා ක්‍රියා විරහිත විය. කෙසේ වෙතත්, ඔවුන්ගේ ජ්වලිතය නොඅඩු ව පැවතුණි. ඔවුන් පලා යත් ම, ඔවුන් දේශනා කළ අතර, මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රට අභ්‍යන්තරයේ දුරස්තර ම කොටස්වලට ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් වී ඇත.
එසේ උන් හිටි තැන් අහිමි ව පලා ගිය එක් සභාවක සහෝදරයෝ රබර් වත්තක් මැද තාවකාලික රාජ්‍යය ශාලාවක් ඉදි කළහ. යුද පෙරමුණ අසල නගරයක වාසය කළ ජනයා, ගුවනින් දමන බෝම්බවලින් ආරක්ෂා වීමට දිවා කාලයේ දී අවට පිහිටි රබර් වතුවලට පලා යනු ඇත. පළාතේ සහෝදරයන් (අග නුවර වූ, මොන්රොවියාවෙන් පැමිණි උන් හිටි තැන් අහිමි වූ ප්‍රචාරකයන් ද ඇතුළු ව) ක්ෂේත්‍ර සේවය සංවිධානය කළ අතර රබර් ගස් යට ලැගුම් ගත් දහස් සංඛ්‍යාත අයට දේශනා කරනු නිතර දැකිය හැකි විය! ගුවන් යානයක් සමීප වූ ඕනෑ ම අවස්ථාවක, සහෝදර සහෝදරියෝ අසල අගලකට රිංගන අතර, අනතුර ඉවත් වූ පසු, යළිත් තමන්ගේ සාක්ෂිදැරීමේ නියැලුනහ.
සමිතිය වෙත වාර්තා ඉදිරිපත් කරන්නට හැකියාවක් ලැබූ දහසකට වැඩි ප්රචාරක සංඛ්‍යාව, සිවිල් යුද්ධ තත්ත්වයන් තිබියදීත්, ක්ෂේත්‍ර සේවයේ පැය 18.1ක සාමාන්‍යයක් දමමින් මාසික ව බයිබල් පාඩම් 3,111ක් පවත්වමින් සිටීම පුදුම සහගත කාරණයකි.
අප්‍රිකාවේ පසුගිය වසර හතර තුළ, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩ කෙරෙහි පනවා තිබූ තහනම රටවල් 18ක ඉවත් කර ඇත. මොනතරම් ප්‍රීතියක් ද! වර්ෂ 1967 ඔක්තෝබර් මස මලාවි හි පනවා තිබූ වැඩ තහනම අගෝස්තු මස 12 දා ඉවත් කරන ලදි. මේ යටතේ රහසින් කරන ලද ශුභාරංචිය දේශනා කිරීමේ වැඩය සෑම විටක ම සමෘද්ධිමත් විය, නමුත් දැන් සාක්ෂිකරුවන්ට, විරුද්ධවාදීන් විසින් ඝාතනය කරනු ලැබූ තමන්ගේ හිතවත් සහායකයන් ව යළි පිළිගැනීමට නැවත නැගිටීම සිදුවන තුරු බලා සිටීමට සිදු වෙතත්, නිදහසේ තම වැඩකටයුතු ඉදිරියට කර ගෙන යාමට ඔවුන්ට හැකි වී තිබේ.
මොසැම්බික් රටේ, 1992 ඔක්තෝබර් 4වන දින සාම ගිවිසුමක් ක්‍රියාත්මක විය. වසර 16 පුරා පැවති විනාශකාරී යුද්ධය නිසා මීට පෙර ළගා වීමට නොහැකි වූ ප්‍රදේශ කරා දැන් යාමට හැකියාවක් තිබේ. පසුගිය වසර හත පුරා සංවිධානය සමඟ සියලු සබඳතා අහිමි වී සිටි සහෝදර සහෝදරියන් 375 දෙනෙක් සමඟ අදහස් හුවමාරුව යළි පිහිටුවන ලදි. මීලාස්හ් නගරයේ විශේෂ එක් රැස්වීමේ දිනයක් පවත්වන ලදි. මෙම නගරය වධක සිරකඳවුරක් හැටියටත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් හට “යළි අධ්‍යාපනයක්” ලබා දෙන මධ්‍යස්ථානයක් හැටියටත් හඳුන්වන ලද දිස්ත්‍රික්කයක අගනුවර වේ, මෙම සාක්ෂිකරුවන් බොහෝ දෙනෙක් මලාවි රටින් පැමිණි සරණාගතයන් වූහ. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව මීලාස්හ් නගරයට සාදරයෙන් පිළිගත් නගර පරිපාලකයා ද ඇතුළු ව, මවිතයට පත් කරවන 2,915 දෙනෙක් ඊට පැමිණියහ. මෙසේ කලින් “යළි අධ්‍යාපනය” දෙන මධ්‍යස්ථානයක් ව තිබූ ස්ථානය, දිව්‍ය ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් බවට පත් විය.
මිෂනාරිවරයෙක් මෙසේ ලියයි: “ටේටේ පළාතේ සරණාගත කඳවුරුවල සිටි අපගේ සහෝදරයන් සම්බන්ධයෙන් UNHCR (සරණාගතයන් සඳහා එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්) ආයතනයේ නියෝජිතයෙක් විසින් සිත්ගන්නා නිරීක්ෂණයක් කරනු ලැබී ය. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වෙනත් කණ්ඩායම්වලින් බැහැර ව තමන්ගේ කඳවුරු සංවිධානය කොට තිබූ බව ඔහු කීවා. ‘නිසි ලෙස පාලනයක් තිබුණේ ඔවුන්ගේ කඳවුරේ පමණයි’ යයි පැවසූ ඔහු, තවදුරටත් කියා සිටියේ ‘යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් පිරිසිදු, සංවිධානය වූ හා උගත් පිරිසක්’ යනුවෙනි. අනතුරුව එය මා විසින් ම නරඹනු පිණිස කැලෑව හරහා ඔහුගේ ගුවන් යානයෙන් මා ව කැඳවාගෙන යාමට හෙතෙම කැමැත්ත පළ කළේ ය. ගුවනේ සිට ගුවන් නියමුවා කඳවුරු දෙකක් පෙන්වී ය. ඉන් එකක් කිසිඳු සැලැස්මකින් තොර ව, ළඟින් ළඟ තනන ලද මැටි නිවාසවලින් යුත්, අපිරිසිදු හා කිලුටු එකක් විය. අනෙක, මාර්ගවලින් පේළි බවට වෙන් කරන ලද නිවාසවලින් යුත් මනාව සැලසුම් කරන ලද එකක් විය. එම නිවෙස්වල පෙනුම පිරිසිදු ව තිබූ අතර මිදුල අතු ගා තිබුණි. නිවසේ දී ම සාදා ගන්නා ලද තීන්තවලින් ඇතැම් නිවෙස් පින්තාරු කිරීමක් ද කර තිබුණි. ‘ඔයගොල්ලන්ගේ කට්ටියට අයත් වන්නේ කොයි එක ද කියා සිතාගත හැකි ද?’ යයි ගුවන් නියමුවා කීවා. මෙම කඳවුරේ සිටි සහෝදරයන් ව හමුවීමට ලැබීම මට මහත් සතුටක්. මෙම සාක්ෂිකාර ගම්මානයේ දැන් සභාවන් අටක් තිබෙනවා.
“රාජාලියාගේ දේශයේ”
මේ කථා කරන්නේ එක්සත් ජනපදයේ රාජාලියා ගැන නොවේ! නැගෙනහිර හා බටහිර අතර ඇල්බේනියාව නම් යුරෝපීය රටක් ඇති අතර ෂකයීපරීය නම් නිල භාෂාවෙන් එහි අර්ථය “රාජාලියාගේ දේශය” යන්නයි. මෙම දේශයේ සිටින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් කෙරෙහි වසර 50කට කලින් පනවන ලද කුරිරු තහනමක් මෑතක දී ඉවත් කරන ලද අතර එනයින් ඔවුනට නමස්කාරයේ නිදහස භුක්ති විඳීමෙහි ලා නැගෙනහිරෙහි හා බටහිරෙහි වෙසෙන සිය සහෝදරයන් සමඟ එක්සත්වීමට හැකියාව ලැබී තිබේ. ඔවුහු සැබවින් ම ‘ප්‍රස්තාව අල්ලා ගනිමින්’ සිටින්නාහ. (එපීස 5:16) ඇල්බේනියා ඉතිහාසයේ පවත්වන ලද මුල් ම එක් රැස්වීම, එනම් එක් දින එක් රැස්වීමක් එහි අග නුවර වූ ටිරානේ නගරයේ පිහිටි ජාතික නෘත්‍ය ශාලාවේ මාර්තු 21වන ඉරු දින පවත්වනු ලැබී ය. සෙනසුරාදා පස්වරුවේ ක්‍රියාත්මක වූ ස්වේච්ඡා සාක්ෂිකරුවන් 75කින් සමන්විත කණ්ඩායමක්, ජරාවාස තත්ත්වයක තිබූ එම රැස්වීම් ශාලාව, දීප්තිමත්, පවිත්‍ර එක් රැස්වීමේ ශාලාවක් බවට පරිවර්තනය කළහ. එහි කළමනාකාර මණ්ඩලය මේ ගැන මවිත විය! තව ද එම ස්වේච්ඡා සේවකයන් 75 දෙනාගෙන් බව්තීස්මය ලබා තිබුණේ 20 දෙනෙකු බව සැලකිල්ලට ගත යුත්තකි!
කාලගුණය ඉතා ම උචිත තත්ත්වයක තිබුණි. විදේශ රටවලින් පැමිණි නියෝජිතයන් එතැනට ළඟා වූ අවස්ථාවේ, ආචාර කිරීම්—බොහෝ දුරට අතට අත දීම හා සිප වැළඳ ගැනීම්—එම විශේෂ එක් රැස්වීමේ දිනය වඩාත් සුවිශේෂී අවස්ථාවක් බවට පත්කළේ ය. ස්වර්ගය දෙසට විහිදන ලද දෑත්වලින් යුක්ත ව, සහෝදර නෂෝ ඩෝරි ආරම්භක යාච්ඤාව කළේ ය. ඔහු 1930 දී බව්තීස්මය ලද අතර දැන් බොහෝ දුරට අන්ධ තත්ත්වයක සිටී. එම වැඩසටහන ඇල්බේනියා භාෂාවෙන් ඉදිරිපත් කරන ලද අතර කොටස් වැඩියෙන් ම පියවනු ලැබුවේ විදේශික විශේෂ පුරෝගාමින් විසිනි. ආගන්තුක ග්‍රීක සහෝදරයන් විසින් ප්‍රදේශයේ රාජ්‍යය ශාලාවේ තනන ලද තටාකය වෙත සහෝදර සහෝදරියන් 41 දෙනෙක් ගමන් කරත් ම, ඊට සහභාගි වූ 585 දෙනා—එම එක් රැස්වීම සඳහා ම පරිවර්තනය කරන ලද ගීතිකා හයෙන් එකක් වන—“ක්‍රිස්තියානි කැප වීම” නම් ගීතිකාව ගායනා කළහ. කොතරම් වෙනසක් ද! කලින්, බයිබලයක් ඇති ව සිටීම කම්කරු කඳවුරුවලට යාම අදහස් කළ අතර රැස්වීම් දෙදෙනෙකුගෙන් හෝ තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට සීමා කර තිබුණි.
එක් රැස්වීමෙන් පසු දිනයේ, එම ශාලාවේ අධ්‍යක්ෂකගෙන් වොච් ටවර් කාර්යාලයට දුරකථන ඇමතුමක් ලැබුණි. සාමාන්‍යයෙන් එම ශාලාව කවරෙක් පාවිච්චි කරන්නේ දැයි ඔහු එතරම් සැලකිලිමත් වන්නේ නැත. එය සහකාර අධ්‍යක්ෂකගේ කටයුත්තකි. එහෙත් ඔහු මෙසේ පැවසුවා: “මම ඔබට කථා කළේ ඔබට ස්තුති කරන්නයි. මේ ස්ථානය මෙතරම් පවිත්‍ර ව තිබෙනවා මා කිසිදිනක දැක නැහැ. එය මා විස්තර කරනවා නම්, මා කියන්න කැමතියි, ඊයේ අපගේ ශාලාව මතට ස්වර්ගයෙන් සුළඟක් බැස ආවා කියලා. අපගේ පහසුකම් පාවිච්චි කරන්නට ඔබට වුවමනා කරන ඕනෑ ම වේලාවක, කරුණාකර අප අමතන්න, අපි ඔබගේ ඉල්ලීමට ප්‍රමුඛත්වය දී සලකනවා. ඇත්තෙන් ම කියනවා නම්, කිසිඳු අයකිරීමකින් තොර ව සෑම මාස තුනකට ම වරක් අප ඔබ ව ගෙන්වා ගත යුතුයි.”
සාක්ෂිකරුවෝ ශක්තිමත් ව හා ස්තුති පූර්වක ව තමන්ගේ නගර වෙත හැරී ගිය අතර යේසුස් වහන්සේගේ මරණය සිහි කිරීම සඳහා සූදානම් වන්නට පටන් ගත්හ. ඉන් දින 15ක් වැනි කෙටි කලකට පසු, අප්‍රියෙල් 6වන අඟහරුවාදා, පළමු විවෘත සිහි කිරීමේ උත්සවය ස්ථාන හතක පවත්වනු ලැබී ය.
බෙරාට් නම් නගරයේ රැස්වීම්වලට පැමිණෙන සංඛ්‍යාව 170ක් පමණ දක්වා වැඩි වී ඇති අතර ප්‍රදේශයේ පූජකයා අතිශයින් කෝප වූ තත්ත්වයක සිටී. බෙරාට් හි වසන රාජ්‍යය ප්‍රචාරකයන් 33 දෙනාගෙන්, 21 දෙනෙක් එම එක් රැස්වීමේ දී බව්තීස්මය ලැබූහ. සිහි කිරීමේ උත්සවයට 472 දෙනෙක් පැමිණි බව බෙරාට් වාර්තා කළේ ය. වෙනත් තැන්වල පවත්වන ලද සිහි කිරීමේ උත්සවයන්ට පැමිණි සංඛ්‍යාවන් ද කැපී පෙනුණු අතර මෙය මූලික ව සිදු වූයේ විශේෂ පුරෝගාමින් කදිම අයුරින් පෙරමුණ ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
ඇල්බේනියාවේ බැසිලිකාවක් ඇති අතිශයින් කතෝලික නගරය වන ෂ්කෝඩර් හි පිහිටි පල්ලිය, මාසික පුවත් පත්‍රිකාවක් මුද්‍රණය කරන්නට පටන් ගත් අතර එහි සෑම කලාපයක ම “යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් වැළකී සිටිය හැකි ආකාරය” සඳහන් ව තිබුණි. එහි අන්තිම කලාපයේ මෙසේ සඳහන් විය: “යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ෂ්කෝඩර් ආක්‍රමණය කර ඇත.” සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් යුත් එහි සිටින විශාල හමුදාව, මනාව හැසිරුනු හා කාරණා බරපතළ ලෙස කල්පනාවට ගන්නා 74 දෙනෙක් සිහි කිරීමේ උත්සවය සඳහා එක් රැස් කළේ ය. සිහි කිරීමේ උත්සවයේ කථාව ඇසීමෙන් පසු, පවුල් 15ක් නිවාස බයිබල් පාඩම් ඉල්ලා සිටියහ! සාක්ෂිකරුවන් 4 දෙනෙකුගෙන් යුත් හමුදාවක් වසන, ඩුරෙස් නම් තවත් නගරයක, 79ක කදිම සංඛ්‍යාවක් පැමිණියහ.
ගල් ගසා සාක්ෂිකරුවන් ව පන්නා දමන බව තර්ජනය කළ, කතෝලික යෞවනයන්ගේ විරුද්ධවාදිකම් නිසා, කල්මෙටී ඊ ෆෝගෙල් නම් කඳුකර ගමේ සිහි කිරීමේ රැස්වීම, ප්‍රදේශයේ සහෝදරයෙකුගේ නිවසට ගෙනයන ලද අතර එයට 22ක් සාමකාමී අයුරින් පැමිණියහ. ප්‍රචාරකයන් පස් දෙනෙක් මෙම කණ්ඩායමට අයත් වන අතර ඔවුන්ගෙන් තිදෙනෙක් බව්තීස්ම වූයේ ටිරානේ හි පැවති එම එක් රැස්වීමේ දී ය.
ෆ්ලෝරේ හි වසන යෞවන පුරුෂයන් දෙදෙනෙකුට මුරටැඹ සඟරාවේ පිටපතක් ලැබුන අතර, එය කියවා, ඔවුන් සමිතියට ලීවේ මෙසේ ය: “අප මුරටැඹ සඟරාවෙන් ඉගෙන ගත් සත්‍යය නිසා අපි දැන් අප ව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් හැටියට හඳුන්වා ගන්නවා. කරුණාකර අපට උපකාරය එවන්න!” විශේෂ පුරෝගාමින් දෙදෙනෙක් එතැනට යවන ලද අතර මෙම යෞවන පුරුෂයන්ගෙන් කෙනෙක් ඉක්මනින් ම ප්‍රචාරකයෙක් හැටියට සුදුසුකම් ලැබුවේ ය. ෆ්ලෝරේ හි සිහි කිරීමේ උත්සවයට පැමිණි 64 දෙනා අතර සිටීමට ඔහු සතුටු විය.
එක්සත් ජනපදයේ සත්‍යය උගත් ඇල්බේනියානු සහෝදරයෙක් 1950 ගණන්වල සිය උපන් ගම වූ, ගිරකාස්ටර් වෙතට හැරී පැමිණි අතර සිය මරණය දක්වා ඔහු හැකි පමණින් එහි සේවය කළේ ය. ඔහු තමාගේ පුත්‍රයාගේ හෘදයේ සත්‍යයේ බීජ වැපිරුවේ ය. තහනම ඉවත් කරන ලද විට, මෙම පුත්‍රයා වොච් ටවර් සමිතියෙන් උපකාර ඉල්ලා සිටියේ ය. ඉන් මදක් උතුරු දිසාවට වූ ගමක වාසය කරන උනන්දුමත් වෙනත් පුද්ගලයෙක් ද ලිඛිත ව උපකාරය ඉල්ලා තිබූ බැවින්, විශේෂ පුරෝගාමින් හතර දෙනෙක් එහි යවනු ලැබූහ. මරණය සිහි කිරීමේ උත්සවයෙන් පසු බදාදා උදෑසන, ඔවුන්ගෙන් කෙනෙක් ටිරානේ හි පිහිටි සමිතියේ කාර්යාලයට දුරකථනයෙන් අමතා මෙසේ පැවසුවේ ය: “යෙහෝවඃ වහන්සේගේ ආත්මය කර ඇති දෙය ඔබට නොපවසා මට ඉන්නට බැරි තරම් ය! අපි ඉන්නේ කොතරම් සතුටින් ද! සිහි කිරීමේ උත්සවය සාර්ථකයි!” ඔවුන්ගේ රාජ්‍යය ප්රචාරක කණ්ඩායමට අයත් හත් දෙනා ද ඇතුළු ව, 106 දෙනෙක් ඊට පැමිණියහ.
සිහි කිරීමේ උත්සවයට පැමිණි මුළු සංඛ්‍යාව ගැන කුමක් කිව හැකි ද? එහි රාජ්‍යය ප්‍රචාරකයන් 30 දෙනෙක් පමණක් සිටි 1992 දී, ඊට පැමිණි සංඛ්‍යාව 325ක් විය. වර්ෂ 1993 දී, ප්‍රචාරකයන් 131 දෙනා, 1,318 දෙනෙක් ඊට එක්රැස් කර තිබුණි. එම වර්ෂ දෙකේ දී ම, පැමිණි සංඛ්‍යාව ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව මෙන් දස ගුණයක් වී තිබේ! මෙතරම් කෙටි කාලයක් තුළ “කුඩා තැනැත්තා දහසක්” වනු දැකීම කොතරම් හද දනවන යමක් ද!—යෙසායා 60:22.
‘නුඹේ කූඩාරමේ ලණු දිගු කරන්න’
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දේශනා කටයුත්ත පොළොවේ සියලු කොන්වලට ව්‍යාප්ත වෙත් ම, මතු සඳහන් ඇරයුම ඉදිරිපත් වේ: “නුඹේ [උදාර, NW] කූඩාරම තිබෙන ස්ථානය විශාලකරපන්න, ඔව්හු නුඹේ වාසස්ථානවල තිර දිගහරිත්වා; වලක්වා නොගනින්න. නුඹේ ලනු දික්කර නුඹේ ඇණ සවිකරපන්න. මක්නිසාද නුඹ දකුණටත් වමටත් පැතිරයනවා ඇත.” (යෙසායා 54:2, 3) දෙවියන් වහන්සේගේ—නමස්කාරකයන්ගේ ලෝක ව්‍යාප්ත සභාවන්ගෙන් නියෝජනය කරනු ලබන—‘උදාර කූඩාරමේ’ මෙම පැතිර යාම, ඇත්ත වශයෙන් ම නැගෙනහිර යුරෝපයේ, විශේෂාකාරයෙන් පැරණි සෝවියට් සංගමයේ දේශයන්හි කැපී පෙනෙන ආකාරයකට සිදු වී ඇත. ස්වකීය සේවකයන් ව තහංචි තිබූ දශකයන් පුරා ඉසිලීමෙන් පසු, සංවිධානය පුළුල් හා ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රබල ශක්තිය යෙහෝවඃ වහන්සේ දැන් ස්වකීය සාක්ෂිකරුවන්ට සපයමින් සිටින සේක.
රුසියාවේ, මොස්කව් හි පිහිටි ලොකොමොටීෆ් ක්‍රීඩාංගනයේ ජූලි 22-25 දක්වා පවත්වන ලද, පසුගිය වසරේ “දිව්‍ය ඉගැන්වීම්” මාලාවට අයත් ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර සමුළුවකට 23,743 දෙනෙකුගේ ඉහළ සංඛ්‍යාවක් පැමිණියහ. දැනට වසර දෙකකට කලින් පවා, මෙවැන්නක් පැවැත්විය හැකි යයි කල්පනා කළේ කවුද? එහෙත් ඔවුහු එහි රැස් වී සිටියහ! දහසකට වැඩි සංඛ්‍යාවක් ජපානයෙන් හා කොරියාවෙන් ද, 4,000ක් පමණ එක්සත් ජනපදයෙන් හා කැනඩාවෙන් ද, එමෙන් ම තවත් දහස් සංඛ්‍යාවක් දකුණු පැසිෆික්, අප්‍රිකානු, යුරෝපා, එමෙන් ම වෙනත් ප්‍රදේශවලට අයත් රටවල් 30කට වැඩි සංඛ්‍යාවකින් ද එහි පැමිණ සිටියහ—මෙය සැබවින් ම නැගෙනහිර හා බස්නාහිරේ හමුවීමකි. ඉතා නිදහස් ආකාරයකට රුසියානු සහෝදර සහෝදරියන් 15,000ක් සමඟ කටයුතු කරන්නට ලැබීම මොවුන් සියල්ලන්ට ම කොතරම් දිරිගැන්වීමක් වුණි ද! ඉන් ඇති වූ ප්‍රීතියට සීමාවක් නොතිබූ තරම් ය.
මවිතය දනවන සංඛ්‍යාවක් වන අලුත් සාක්ෂිකරුවන් 1,489 දෙනෙක් බව්තීස්මය ලැබූහ. එම බව්තීස්මයට ජනමාධ්‍යයන් විසින් අතිමහත් ප්‍රසිද්ධියක් දෙන ලද අතර, ද නිව් යෝක් ටයිම්ස් නම් පුවත් පතේ මුල්පිටේ සිත් ගන්නා චිත්‍රයක් ද මීට ඇතුළත් විය. බව්තීස්මය තුළ මහත් අත් පොළසන් නාදයක් පැවතියත්, අවසාන කථාවේ දී කථිකයා සමුළුවේ මෙවන් සාර්ථකත්වයක් ලැබීමට උපකාර කළ ස්වේච්ඡා සේවකයන් 4,752 දෙනාට හා නිලධාරින්ට ස්තුති කළ පසු, “ඒ සියල්ලට ම වඩා, අපි යෙහෝවඃ වහන්සේට ස්තුති කරනවා!” යයි පැවසූ විට, දෙන ලද අත් පොළසන් හඬ එම ක්‍රීඩාංගනය ඉක්මවා ගියේ ය. එසේ ය, යෙහෝවඃ වහන්සේගේ ආත්මය ඕතොඩොක්ස් ආගමට අයත් අයගේ දැඩි විරෝධය මැඩ පවත්වා ගත් අතර මෙම සමුළුව විස්මය ඇති කරන යථාර්ථයක් කිරීමට අත්‍යවශ්‍ය ශක්තිය සපයා තිබුණි.
කෙසේ වෙතත්, යුකේනියානු නගරය වන කියේව් හි, අගෝස්තු 5-8 දක්වා කාලය තුළ වැඩි යමක් සිදු වන්නට තිබුණි. යළිත් වරක්, ස්වේච්ඡා සේවකයන් එහි ඇති ක්‍රිඩාංගනය සහමුලින් ම අලුත්වැඩියා කළ අතර මෙම අතිවිශාල රාජ්‍යය ශාලාවට පැමිණ සිටි 64,714ක ඉහළ සංඛ්‍යාවකට ඉඩකඩ සැපයී ය. නැගෙනහිරෙන් හා බටහිරෙන් ද ඒ අතර ඇති වෙනත් තැන්වලින් ද සාක්ෂිකරුවෝ යළිත් වරක් එහි පැමිණියහ. මූලික කථා, භාෂා 12කට අර්ථකථනය කරනු ලැබී ය. ප්‍රධාන ප්‍රවාහන ක්‍රම මගින් එහි පැමිණි, 53,000ක් පමණ වූ නියෝජිතයන් ව දුම්රිය පොළවල හා ගුවන් තොටු පොළවල හමු වී, හෝටල්, පාසල්, පුද්ගලික නිවාස මෙන් ම, කුඩා නැව් මත සිය රැඳවුම් ස්ථාන කරා ප්‍රවාහනය කරන්නට සිදු විය. මේ සියල්ලක් ම ප්‍රිය උපදවන හා නිපුණ සංවිධානය කිරීමකින් යුක්ත ව අඩු ම වියදමකින් ඉටු කරනු ලැබූ අතර ඊට නගර පොලීසියේ මවිතය හා ප්‍රශංසාව පළ වුණි.
විස්මය ජනක සමුළු වැඩසටහනේ උච්ච අවස්ථාව බව්තීස්මය විය, ඒ සඳහා පැය දෙකහමාරක කාලයක් ගතවිය.
නවක සහෝදර සහෝදරියන් 7,402ක් යෙහෝවඃ වහන්සේට වූ තමන්ගේ කැප වීම සංකේතවත් කළ අතර, අත් පොළසන් හඬ එම විශාල ක්‍රීඩාංගනය පුරා රැව් පිළිරැව් දුණි. මෙය 1958 දී නිව් යෝක් නගරයේ සමුළු සාමාජිකයන් 2,53,922ක් එක් රැස් වූ විට වාර්තා වූ, මෙතෙක් එකවර බව්තීස්මය ලද ඉහළ ම සංඛ්‍යාව වන 7,136ට වඩා වැඩි විය.
මෙම විනිශ්චයේ කාල පරිච්ඡේදය එහි නිමාව කරා ඇදී යත් ම, නැගෙනහිරෙන්, බටහිරෙන් මෙන් ම, ‘පොළොවේ සීමාවෙන්’ පවා වූ බැටළු ගුණැති අය ව මුළු මනුෂ්‍ය ඉතිහාසයේ සම කළ නොහැකි එක්සත්භාවයකට එක් රැස් කරමින් පවතී. ඇත්ත වශයෙන් ම, “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත් . . . මහත් සමූහයක්” යෙහෝවඃ වහන්සේගේ පරමාධිපති පාලනය නිදොස් කිරීමෙහි ලා ඉටු කරනු ලබන සියල්ලේ අත්තිවාරම වන යේසුස් වහන්සේගේ අනභිභවනීය මිදීමේ මිලය කෙරෙහි තමන්ගේ ඇදහිල්ල ප්‍රකාශ කිරීමෙහි ලා ආත්මික ඊශ්‍රායෙල් හා එක් වෙමින් සිටිත්.—ක්‍රියා 1:8; එළිදරව් 7:4, 9, 10.
[8, 9වන පිටුවේ පින්තූර]
මොස්කව් හා කියේව් හි නැගෙනහිර බටහිර හමුවේ