යෙහෝවඃවහන්සේ කිසිදා අපව අත්හැරියේ නැහැ
නාෂො ඩොරි පැවසූ පරිදි
ම්බ්රෙෂ්ටන් වනාහි ග්‍රීසියෙන් වැඩි ඈතක නොවූ දකුණු ඇල්බේනියාවේ කුඩා කඳු සහිත ගම්මානයකි. මා එහි ඉපදුණේ 1907දීයි. මට අවුරුදු පහක් වූ විට, මා ග්‍රීක් පාසැලකට යෑමට පටන්ගත් නමුත්, 1වන ලෝක යුද්ධය අතරතුරේදී ඉතාලියානු හමුදා ආක්‍රමණය කළ විට මගේ පාසැල් ගමනට බාධා පැමිණුණා. යුද්ධයෙන් පසු, මා යළිත් පාසැල් ගොස් ඉගෙනීමට පටන්ගත් නමුත්, ඉගෙනගත්තේ ඇල්බේනියානු භාෂාවෙන්.
මගේ දෙමාපියන් ආගමට එතරම් ලැදි වූවන් නොවූවත්, ඔවුන් ඇල්බේනියානු ඔර්තඩොක්ස් පල්ලියේ සම්ප්‍රදායන් පිළිපැද්දා. මගේ ඥාති-සීයා ම්බ්රෙෂ්ටන්හි පූජකයෙකුව සිටියා, ඒ නිසා පල්ලියේ වැඩ කළ මා එහි සිදුවෙමින් තිබුණ දේ පිළිබඳව හොඳින් දැනගත්තා. වත්පිළිවෙත්වල දැඩි හිස්බවක් පෙනෙන්ට තිබුණ අතර, එහි තිබූ කුහකකම මගේ සිතට වදයක් වුණා.
ප්‍රාදේශීය සිරිත් විරිත් අනුගමනය කළ මගේ දෙමව්පියන්, මට විවාහ කර දීමට ළා බාල ස්ත්‍රියක තෝරාගත්තා. අජීරෝ, ග්රැබොවා අසල පිහිටි ගම්මානයක තැනැත්තියක් වූ අතර, ඇයට අවුරුදු 18ක්ව සිටියදී, 1928දී අප විවාහ වුණා.
බයිබල් සත්‍යය ඉගෙනගැනීම
ඒ කාලයේදී එක්සත් ජනපදයෙන් පැමිණි ඥාති සහෝදරයෙකුට මා ඔර්තඩොක්ස් පල්ලිය ගැන දොස් පැවරුවා. “අමෙරිකාවේ මගේ ගෙවල් පැත්තේ කණ්ඩායමක් ඉන්නවා, ඒගොල්ලන්ට පල්ලියක් නෑ, හැබැයි ඔවුන් බයිබලය පාඩම් කරනවා,” යයි ඔහු පිළිතුරු දුන්නා. පල්ලියක් නැතුව බයිබලය පාඩම් කරන බව ඇසීමෙන් මගේ සිත ඇදී ගියා. ඒ නිසා මට බයිබල් පොත් පත් ටිකක් එවන්න පුළුවන්දැයි මා ඔහුගෙන් ඇසුවා.
අවුරුද්දකට පමණ පසුව, විස්කොන්සින්, මිල්වොකීවලින් බඩුමිටියක් ලැබෙන තෙක්, අපේ සංවාදය ගැන මට සම්පූර්ණයෙන්ම අමතක වී තිබුණා. එතුළ ඇල්බේනියන්වලින් ද හාර්ප් ඔෆ් ගෝඩ් පොතද, ග්රීක්වලින් මුරටැඹද තිබුණා. මා එහෙන් මෙහෙන් පොත කියෙවූ අතර, සැබෑ පල්ලිය වෙත යොමු දැක්වීමක් කර තිබූ බව දැක්කා. එය මාව කලබලයට පත් කළා. ‘පල්ලියට සම්බන්ධ කිසි දෙයක් මට ඕනෙ නෑ,’ යයි මම මටම කියාගත්තා. එනිසා මා සැලකිල්ලකින් පොත කියෙව්වේ නෑ.
වර්ෂ 1929දී, මා හමුදාවට බැඳුණ අතර, ඇල්බේනියාවේ අගනුවර වන ටිරාන නගරය වෙත මාව යවනු ලැබුවා. එහිදී මට ග්‍රීක් බයිබලයක් කියවමින් සිටි ස්ටාති මූසි හමුවුණා. “ඔබ පල්ලි යනවාද?” මා ඇසුවා. “නෑ,” ඔහු උත්තර දුන්නා. “මා පල්ලියෙන් අයින් වුණා. මා ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන්ගෙන් කෙනෙක්.” තවත් සොල්දාදුවෙකු හා මා, ස්ටාති සමඟ ඉරිදා රැස්වීමකට ගියා. සැබෑ සභාව ගොඩනැඟිල්ලක් හෝ ආගමක් නොව, නමුත් එය ක්‍රිස්තුස්වහන්සේගේ ආලේප ලත් සේවකයන්ගෙන් සෑදී තිබෙන බව මා ඉගෙනගත්තා. ද හාර්ප් ඔෆ් ගෝඩ් නමැති පොත පවසමින් සිටිය දේ මෙවිට මා තේරුම්ගත්තා.
එක්දහස් නවසිය විසිගණන්වල මැදභාගයේදී එක්සත් ජනපදයෙන් ඇල්බේනියාවට යළි පැමිණ සිටි නාෂො ඉඩ්‍රිසි සහ ස්පයිරො රුහො, එහිදී ඔවුන් ඉගෙනගෙන තිබූ බයිබල් සත්‍යයන් ප්‍රචලිත කරමින් සිටියා. බයිබල් ශිෂ්‍යයන් අතළොස්සක් සමඟ මා ටිරානවල රැස්වීම්වලට යන්න පටන්ගත්තා. මා යෙහෝවඃවහන්සේගේ සංවිධානය සොයාගෙන තිබෙන බව වැඩිකල් නොගොස් මට පැහැදිලි වුණා. මෙනිසා 1930 අගෝස්තු 4වනදා මා අසල තිබෙන ගඟක බව්තීස්ම වුණා.
පසුව මා පාවහන්-අලුත්වැඩියා කිරීමේ මගේ වෘත්තිය සඳහා ම්බ්රෙෂ්ටන් වෙත යළි ගියා. එහෙත් මා ඉගෙනගෙන තිබුණු බයිබල් සත්‍යයන් වෙනත් අයට පැවසීමටද මා පටන්ගැනීම ඊටත් වඩා වැදගත් වුණා. මා ඔවුන්ට මෙසේ පවසන්ට යෙදුණා: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පල්ලියේ ප්‍රතිමා මෙන් නොවෙයි. උන්වහන්සේ ජීවමානයි!”
විරුද්ධවාදිකම් මධ්‍යයේ දේශනා කිරීම
ආක්මෙඩ් බේ සෝග්ය 1925දී බලයට පැමිණ, 1928දී සෝග් රජ බවට තමාවම පත් කර, 1939 දක්වා රජකම් කළා. මානව අයිතිවාසිකම් පිළිබඳ ඔහුගේ ඇමතිවරයා අපේ ක්‍රිස්තියානි වැඩයට අනුමැතිය දුන්නා. කෙසේනමුත්, අපට ගැටලු තිබුණා. මෙසේ සිදු වුණේ දේශීය කටයුතු පිළිබඳ ඇමති මූසා ජූකා රෝමයේ පාප්වරයා සමඟ සමීප සබඳතා පැවැත්වූ නිසයි. මුස්ලිම්, ඔර්තඩොක්ස් සහ රෝමානු කතෝලික යන ආගම් තුන පමණක් පිළිගත හැකි බවට ජූකා නියෝග කළා. අපේ පොත් රාජසන්තක කර, අපේ දේශනා සේවය නැවැත්වීමට පොලිසිය තැත් කළත් ඔවුන් සාර්ථක වුණේ නෑ.
එක්දහස් නවසිය තිස්ගණන්වලදී, ඇල්බේනියාවේ විශාල නගරයක් වූ බරාට් වෙත මා බොහෝවිට ගිය අතර, එහිදී මිහාල් ස්වෙචි අපේ දේශනා සේවය මෙහෙයෙව්වා. අප රට පුරාම දේශනා සංචාරයන් පිළියෙළ කළා. වතාවක මාව සති දෙකකට ෂ්කෝඩර් නගරයට යැවූ අතර, මට පොත් පත් රාශියක් තැබීමට හැකියාව ලැබුණා. වර්ෂ 1935දී දේශනා කිරීම සඳහා කෙල්සිරේ නගරය වෙත යෑමට අපෙන් කණ්ඩායමක්, බස් රථයක් කුලියට ගත්තා. ඉන්පසු පර්මෙට්, ලෙස්කොවික්, එර්සෙකි, කොර්ච, පොග්රාඩෙට්ස් සහ එල්බසාන් යන ඇල්බේනියාවේ නගරවල වඩා පුළුල් සංචාරයක් සඳහා වැඩකටයුතු පිළියෙළ කළා. ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිහිකිරීම පැවැත්වීමට හරියටම කාලය පැමිණි විට අප ටිරානවල සංචාරය අවසන් කළා.
අපට ආත්මිකව ශක්තිමත්ව සිටීමට ආත්මික ආහාර සම්භාරයක් උපකාර කළ බැවින්, අපව කිසිදා අත්හැරදමා තිබෙන බවක් හැඟුණේ නෑ. වර්ෂ 1930 සිට 1939 දක්වා, මට නිතිපතා ග්‍රීක් මුරටැඹ ලැබුණා. දවසකට අඩුම තරමින් පැයක්වත් බයිබලය කියවීමද මගේ ඉලක්කය වුණා, මගේ ඇස් පෙනීම දුර්වල වීමට පෙර අවුරුදු 60ක පමණ කාලයක් පුරා මා එය කළා. මුළු බයිබලයම ඇල්බේනියන් භාෂාවෙන් ලබාගත හැකි වුණේ මෑතකදීයි, එනිසා ළමාවියේදී මට ග්‍රීක් භාෂාව ඉගෙනීමට ලැබීම ගැන මා සතුටු වෙනවා. එම මුල් කාලයේදී වෙනත් ඇල්බේනියානු සාක්ෂිකරුවන්ද ග්‍රීක් කියවීමට ඉගෙනගත් බැවින්, ඔවුන්ටද බයිබලය කියවීමට හැකි වුණා.
අජීරෝ 1938දී බව්තීස්ම වුණා. වර්ෂ 1939දී අපේ දරුවන් දහදෙනාගෙන් හත්දෙනෙක් ඉපදී සිටියා. අපේ මුල් දරුවන් හත්දෙනාගෙන් තුන්දෙනෙක්ම යෞවනවියේදී මියයෑම කනගාටුවට හේතු වුණා.
දෙවන ලෝක යුද්ධයේදී දුෂ්කරතා
දෙවන ලෝක යුද්ධය පටන්ගන්න ආසන්නයේ, 1939 අප්‍රියෙල්වලදී, ඉතාලියානු ෆැසිස්ට් හමුදා කණ්ඩායම් ඇල්බේනියාවට පහර දුන්නා. ඉන්පසු නොබෝ කලකින් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කළා, නමුත් රාජ්‍ය ප්‍රචාරකයන් 50දෙනෙකුගෙන් පමණ සමන්විත වූ අපේ කුඩා කණ්ඩායම දිගටම දේශනා සේවයේ යෙදුණා. දෙවන ලෝක යුද්ධයේදී අපේ පොත් සහ පොත්පිංච 15,000ක් පමණ රාජසන්තක කර, IIවන ලෝක යුද්ධයේදී විනාශ කර දැමුවා.
ජානි කොමිනෝට පොත් පත් ගබඩා කිරීම සඳහා තම නිවසට සම්බන්ධ වූ විශාල ගබඩා කාමරයක් තිබුණා. පොත් මුද්‍රණය කර තිබෙන්නේ එක්සත් ජනපදයේ බව ඉතාලි හමුදා දැනගත් විට, ඔවුන් කලබලයට පත් වුණා. “ඔබලා ආගම් ප්‍රචාරකයන්! එක්සත් ජනපදය ඉතාලියට විරුද්ධයි!” කියා ඔවුන් පැවසුවා. තොමෙයි සහ වසිලි කාමා යන ජ්වලිතවත් යෞවන සහෝදරයන්ව අත්අඩංගුවට ගත් අතර, ඔවුන් බෙදාහරිමින් සිටියේ කොමිනෝ එවන පොත් බව දැනගත් විට ඔහුවද අත්අඩංගුවට ගත්තා. වැඩි කල් නොගොස් ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය මගින් මට සිතාසි එව්වා.
“ඔබ මේ මිනිස්සුන්ව දන්නවාද?” ඔවුන් ඇසුවා.
“ඔව්,” මා උත්තර දුන්නා.
“ඔබ ඔවුන් සමඟ වැඩ කරනවාද?”
“ඔව්,” මා උත්තර දුන්නා. “අපි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්. අපි ආණ්ඩුවලට විරුද්ධ නෑ. අපි මධ්‍යස්ථයි.”
“ඔබ මේ පොත් පත් බෙදාහැර තිබෙනවාද?”
මා ඔව් කියා ප්‍රතිචාරය දැක්වූ විට, ඔවුන් මට විලංගු ලා, 1940 ජූලි 6වනදා බන්ධනාගාරයට දැමුවා. එහිදී මගේ ගමෙන් පැමිණි ජෝසෆ් කාසි, ලුකන් බාර්කෝ, ජානි කොමිනෝ සහ කාමා සහෝදරයන් යන තවත් පස්දෙනෙක් මා හා එකතු වුණා. බන්ධනාගාරයේ සිටින අතරේදී අපට තවත් සාක්ෂිකරුවන් තුන්දෙනෙක් හමු වුණා—ගෝරි නාසි, නිකොඩිම් ෂියිටි සහ ලිආනඩස් පෝප්. අප නවදෙනාවම පළලින් මීටර් 1.8කද දිගින් මීටර් 3.7කද කුටියක් තුළ තද බද කොට දමා තිබුණා!
දවස් කීපයකට පසු, අපව එකට මාංචු දමා, පර්මෙට් නගරයට ගෙන ගියා. මාස තුනකට පසු අපව ටිරානවල බන්ධනාගාරයට මාරු කළ අතර, නඩු ඇසීමකින් තොරව තවත් මාස අටක් එහි තබාගත්තා.
අන්තිමේදී, අප හමුදා අධිකරණයක් ඉදිරියේ පෙනී සිටියා. සහෝදර ෂියිටි සහ මට මාස 27කටත්, සහෝදර කොමිනෝට මාස 24කටත් සිරදඬුවම් නියම වූ අතර, මාස 10කට පසු අනික් අයව නිදහස් කර හැරියා. අපව ජිරකාස්ටර් බන්ධනාගාරයට මාරු කළ අතර, එහිදී සහෝදර ගෝල් ෆ්ලෝකෝ 1943දී අපේ නිදහස් වීමට උපකාර කළා. ඉන්පසු අපේ පවුල පර්මෙට් නගරයේ පදිංචි වූ අතර මා එහි කුඩා සභාවක අවේක්ෂකයෙක් බවට පත් වුණා.
අපේ වැඩ තහනම් වුවත්, අප අවට රටවල IIවන ලෝක යුද්ධය පැතිරෙමින් තිබුණත්, රාජ්‍ය පණිවිඩය දේශනා කිරීම පිණිස අපේ වැඩය ඉටු කිරීමට අපට දිගටම කළ හැකි දේ අප කළා. (මතෙව් 24:14) වර්ෂ 1944දී සාක්ෂිකරුවන් 15ක් බන්ධනාගාරයෙහි සිටියා. එහෙත් මෙම දුෂ්කර කාලවල, යෙහෝවඃවහන්සේ අපව අත්හැර දමා තිබෙන බවක් අපට කිසිදා හැඟුණේ නෑ.
මධ්‍යස්ථභාවය පිළිබඳ ප්රශ්නය සම්බන්ධයෙන් පරීක්ෂා
වර්ෂ 1945දී යුද්ධය අවසන් වුවත්, අපේ දුෂ්කරතා දිගටම පැවතුණ අතර වඩාත් නරක තත්වයකට පවා හැරුණා. වර්ෂ 1946 දෙසැම්බර් 2වනදා මැතිවරණයේදී ඡන්දය දැමීම අනිවාර්ය කළා. එයින් වැළකීමට නිර්භීත වූ ඕනෑම කෙනෙකු රජයේ සතුරෙක් ලෙස ගණන් ගැනුණා. පර්මෙට්හි අපේ සභාවේ අය “අපි කළ යුත්තේ කුමක්ද?” යයි අසන්ට පටන්ගත්තා.
“ඔබ යෙහෝවඃවහන්සේ තුළ විශ්වාසය තබනවා නම්, කරන්නේ කුමක්දැයි ඔබ මගෙන් ඇසිය යුතු නෑ. ඔබ දැනටමත් දන්නවා යෙහෝවඃවහන්සේගේ ජනයා මධ්‍යස්ථ බව. ඔවුන් ලෝකයේ කොටසක් නොවේ,” යයි මා උත්තර දුන්නා.—යොහන් 17:16.
මැතිවරණ දිනය පැමිණි අතර ආණ්ඩුවේ නියෝජිතයෝ අපේ නිවසට පැමිණියා. ඔවුන් සන්සුන් ලීලාවෙන් පටන්ගත්තා, “අපි කෝපි කෝප්පයක් බීලම කතාව පටන්ගමුකො. අද දිනේ මොකක්ද කියලා ඔබ දන්නවාද?”
“ඔව්, අද මැතිවරණෙ පැවැත්වෙනවා,” මම උත්තර දුන්නා.
“ඔබ ඉක්මන් කළොත් වැඩිය හොඳයි, නැත්නම් ප්‍රමාද වැඩි වෙයි,” එක් නිලධාරියෙක් පැවසුවා.
“නෑ, මගේ අදහසක් නෑ යන්න. අපි ඡන්දය දෙන්නෙ යෙහෝවඃවහන්සේට,” මා උත්තර දුන්නා.
“හරි, එහෙනම් ඇවිත් විරුද්ධ පක්ෂයට ඡන්දෙ දෙන්න.”
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සම්පූර්ණයෙන්ම මධ්‍යස්ථ බව මා පැහැදිලි කළා. අපේ ස්ථාවරය හොඳින් ප්‍රසිද්ධ වූ විට, අපව වැඩි පීඩනයකට පත් කළා. අපේ රැස්වීම් පැවැත්වීම නතර කිරීමට අපට නියෝග කළ නිසා අප රහසිගතව හමුවීමට පටන්ගත්තා.
යළි අපගේ ගමට යෑම
වර්ෂ 1947දී මගේ පවුල සහ මා ම්බ්රෙෂ්ටන් වෙත යළි ගියා. ඉන් ටික කලකට පසු, ශීතාධික දෙසැම්බරයේ දවාලක, සිගුරිමි (රහස් පොලිසිය) කාර්යාලයට මාව කැඳෙව්වා. “මා ඔබව කැඳෙව්වේ ඇයි කියලා ඔබ දන්නවාද?” නිලධාරියා ඇසුවා.
“මම හිතන විදිහට ඔබ මට විරුද්ධ චෝදනා අහල තියෙන නිසා වෙන්න ඕනෙ. නමුත් ලෝකය අපට වෛර වනු ඇතැයි බයිබලය පවසන නිසා, චෝදනාවලින් මා පුදුමයට පත්වෙන්නේ නෑ,” යයි මා උත්තර දුන්නා.—යොහන් 15:18, 19.
“මට බයිබලය ගැන කියන්න එන්න එපා. වැඩිය කතා කළොත් ඔළුව පලනවා,” යයි ඔහු බැණ වැදුණා.
නිලධාරියා සහ ඔහුගේ මිනිස්සු පිට වී ගිය නමුත්, මට සීතලේ එළියට වී ඉන්න කිව්වා. ටික වේලාවකින් පසු ඔහු නැවතත් මාව ඔහුගේ කාර්යාලයට කැඳවූ අතර, අපේ නිවසේ රැස්වීම් පැවැත්වීම නවත්වන්නැයි මට නියෝග කළා. “ඔබේ ගමේ කීදෙනෙක් ජීවත් වෙනවාද?” ඔහු ඇසුවා.
“එකසිය විසිදෙනෙක්,” මා පැවසුවා.
“ඔවුන් මොන ආගමේද?”
“ඇල්බේනියානු ඔර්තඩොක්ස්.”
“එතකොට ඔබ?”
“මම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක්.”
“එකසිය විසිදෙනෙක් එක දිශාවකට යනවා, ඔබ තව දිශාවකට යනවා?” එවිට පල්ලියේ ඉටිපන්දම් පත්තු කරන්න කියා ඔහු මට නියෝග කළා. මම ඒක කරන්නේ නෑ කියා මා පැවසූ විට, ඔහු මට පොල්ලකින් ගහන්න පටන්ගත්තා. අන්තිමේදී මාව නිදහස් කරන විට පාන්දර එකට විතර ඇති.
පොත් පත් සැපයුම කපා හැර
දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු, අපට නැවතත් තැපෑලෙන් මුරටැඹ ලැබෙන්න පටන්ගත් නමුත්, පසු කලකදී තවදුරටත් සඟරා අපට බාර දෙනු ලැබුවේ නැහැ. ඉන්පසු, එක් රාත්‍රියක දහයට, රහස් පොලිසිය මගින් මගෙන් ප්‍රශ්න කිරීමට පටන්ගත්තා. “ග්‍රීක් සඟරාවක් ඇවිල්ලා, ඒකෙ මොනවද තියෙන්නෙ කියලා ඔබ අපට පැහැදිලි කරනවා නම් අපි කැමතියි.”
“මම ඒ තරම් හොඳට ග්‍රීක් දන්නෙ නෑ,” මා පැවසුවා. “මගේ අසල්වැසියා මට වඩා හොඳට දන්නවා. සමහරවිට ඔබට උපකාර කරන්න ඔහුට පුළුවන් වෙයි.”
“නෑ, අපිට ඕනෙ ඔබ මෙය අපිට පැහැදිලි කිරීමටයි,” කියමින් නිලධාරියෙක් ග්‍රීක් මුරටැඹ පිටපත් කීපයක් එළියට ගත්තා.
“ආ, මේවා මගේනේ!” මා පුදුමයෙන් පැවසුවා. “සැබවින්ම, මට පුළුවන් මේක පැහැදිලි කරන්න. ඔබ දන්නවද, මේ සඟරා පැමිණෙන්නේ නිව් යෝර්ක්, බෘක්ලින්වලින්. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ එතැනයි. මම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක්. නමුත් පෙනෙන විදිහට ලිපිනය සම්බන්ධයෙන් ඔවුන්ට මොනවා හරි වැරදීමක් වෙලා තියෙනවා. මේ සඟරා එවිය යුතුව තිබුණේ ඔබට නොවේ මටයි.”
ඔවුන් මට සඟරා නොදී ඇරිය අතර එදා පටන් 1991 වන තුරු, එනම් අවුරුදු 40කට වඩා ගත වන තුරුම ඇල්බේනියාවේ අපට කිසිම බයිබල් පොත පතක් ලැබුණේ නෑ. මේ මුළු අවුරුදු ගණනාව පුරාම අප දිගටම දේශනා සේවයේ යෙදුණේ අපේ බයිබල් පමණක් යොදාගනිමින්. වර්ෂ 1949දී සාක්ෂිකරුවන් 20දෙනෙකු පමණ බන්ධනාගාරයෙහි සිටියා; සමහරුන්ට අවුරුදු-පහක සිරදඬුවමක් ලැබී තිබුණා.
දුෂ්කරතා වැඩිවර්ධනය වේ
එක්දහස් නවසිය පණස්ගණන්වලදී, තමන් හමුදාවට සහය වන බවට දක්වන ලියකියවිලි රැගෙන යෑමට ජනයාට නියෝගයක් පැනෙව්වා. නමුත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් එවැනි ලියකියවිලි රැගෙන යෑමට ප්‍රතික්ෂේප කළා. මේ නිසා, සහෝදර කොමිනෝ සහ මා තවත් මාස දෙකක් හිරේ හිටියා.
එම කාලයේදී යම් ආගම්වලට පැවතීමට රජය අවසර දුන් නිසා, අපට තරමක් දුරට නිදහස තිබුණා. කෙසේවුවද, 1967දී ඇල්බේනියාව නිල වශයෙන් සම්පූර්ණයෙන්ම අදේවවාදී රටක් කරමින් සියලු ආගම් තහනම් කළා. සාක්ෂිකරුවෝ දිගටම රැස්වීම් පැවැත්වීමට උත්සාහ කළ නමුත්, එය ඉතා දුෂ්කර දෙයක් බවට පත් වුණා. අපගෙන් සමහරෙක් අපේ ජැකට්ටුවේ පෝරුව ඇතුළෙන් විශේෂ සාක්කුවක් මසාගත්තා, එනිසා කුඩා බයිබලයක් සඟවාගැනීමට අපට පුළුවන් වුණා. එවිට අපි පිට්ටනියකට ගිහින් එය කියවනවා.
ටිරානවල සාක්ෂිකරුවන්ව අහුවුණා, තුන්දෙනෙක් ඉතා ඈත ප්‍රදේශයක පිහිටි, ශ්‍රම කඳවුරුවල අවුරුදු පහකට සිරදඬුවම් ලැබුවා. ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ගේ පවුල් දුක්වින්දා. අප දරුණු තර්ජනයක් වෙන එකක් නැති බව සලකා, කුඩා, පාළු ගම්මානවලින් පැමිණ සිටි අපව ඈතට යැව්වේ නෑ. නමුත් අපේ මධ්‍යස්ථභාවය, ආහාර ලැයිස්තුවලින් අපේ නම් ඉවත් කර දැමීමට මඟ පෑදුවා. මෙබැවින්, ජීවිතය ඉතා දුෂ්කර වුණා. එමෙන්ම, අපේ තවත් දරුවන් දෙදෙනෙක් මියගියා. එහෙත් යෙහෝවඃවහන්සේ අපව අත්හැර තිබෙන බවක් අපට කිසිදා හැඟුණේ නෑ.
ඇල්බේනියාව තුළ බිය පැතිර පැවතුණා. සෑමදෙනෙක් ගැනම සෝදිසියෙන් සිටියා, ඒවගේම පාලන බලයේ පක්ෂයට විරුද්ධව යම් මතයක් පළ කිරීමට නිර්භීත වන ඕනෑම කෙනෙකු ගැන රහස් පොලිසිය මගින් වාර්තා කරගනු ලැබුවා. ඒ නිසා අපේ සේවය සම්බන්ධ වාර්තා ලිවීමේදී අප ඉතා පරෙස්සම් වුණා. අපට ආත්මික දිරිගැන්වීම සඳහා දෙදෙනෙකුට හෝ තුන්දෙනෙකුට වැඩි විශාල කණ්ඩායම් වශයෙන් මුණගැසීමට හැකි වුණේ නෑ. එහෙත්, අපි කිසිවිටකත් දේශනා කිරීම නැවැත්තුවේ නෑ.
සහෝදරයන් අතර වියවුලක් ඇති කිරීමේ ප්රයත්නයක් ලෙස, රහස් පොලිසිය, ටිරානවල ප්‍රධාන සාක්ෂිකරුවෙක්, ඔත්තුකාරයෙක් බවට බොරු ආරංචියක් පැතිරෙව්වා. මෙය සමහරුන්ට විශ්වාසය අහිමි කරගැනීමට සැලැස්වූ අතර, යම් ආකාරයකින් අපේ එක්සත්කමට බාධා පැමිණෙව්වා. වත්මන් බයිබල් පොත් පත් කිසිවක් නොමැතිකමත්, යෙහෝවඃවහන්සේගේ දෘශ්‍යමාන සංවිධානය සමඟ සම්බන්ධකම් නොමැතිකමත් නිසා, ටිකදෙනෙක් බියෙන් යටපත් වුණා.
ඊට අමතරව, අධිකාරීන් විසින් ඇල්බේනියාවේ ඉතා ඉහළින් ගෞරවයට පාත්‍ර වූ ස්පිරෝ ව්රූහෝ සිය දිවි නසාගෙන යන බොරු ප්‍රවෘත්තිය පතළ කළා. “ඔබ දන්නවාද, ව්රූහෝ පවා අත්හැර දාලා,” යයි ඔවුන් පැවසුවා. ඇත්තෙන්ම සහෝදර ව්රූහෝව මරල දාලා තිබූ බව පසුව පැහැදිලි වුණා.
වර්ෂ 1975දී, අජීරෝ සහ මා, ටිරානවල අපේ පුතා සමඟ මාස කීපයකට නැවතුණා. මැතිවරණය කාලයේදී, නගරයේ අධිකාරීන් මෙසේ තර්ජනය කරමින් අපට බල කළා: “ඔබ ඡන්දෙ දාන්නේ නැත්නම්, ඔබේ පුතාව අපි රැකියාවෙන් පහ කරනවා.”
“මගේ පුතා අවුරුදු 25ක් පුරා ඔහුගේ රැකියාවේ නියැලී සිට තිබෙනවා,” මා උත්තර දුන්නා. “ඔහු ගැන සහ ඔහුගේ පවුල ගැන පෞද්ගලික වාර්තා විස්තරය ඔබ ළඟ තිබෙනවා. මා අවුරුදු 40ක්ම ඡන්දෙ දාලා නෑ. මෙම තොරතුරු සාමාන්‍යයෙන්ම පුද්ගලයන් පිළිබඳ වාර්තාවල තියෙනවා. එසේ නොවේ නම්, ඔබේ වාර්තා පිළිවෙළකට තබාගෙන නෑ. එය ඔබේ වාර්තාවල තිබෙනවා නම්, ඔහුට එතරම් අවුරුදු ගණනක් වැඩ කරන්න ඉඩහැරීමෙන් ඔබ පක්ෂයට අපක්ෂ වෙලා.” මෙයට සවන් දීමෙන් පසු, අප ම්බ්රෙෂ්ටන් වෙත යළි යනවා නම් ඔවුන් එය පසුපස එළවන්නේ නැති බව අධිකාරීන් පැවසුවා.
විශාල වෙනස් වීම්
වර්ෂ 1983දී අපි ම්බ්රෙෂ්ටන්වලින් ලාක් නගරය වෙත ගියා. ඉන් ටික කලකට පසු, 1985දී ආඥාදායකයා මියගියා. වර්ෂ 1946දී අනිවාර්යය කරන ලද එම මුල් මැතිවරණ කාලයේ සිටම ඔහු පාලනය කර තිබුණා. කල් යත්ම, ටිරානවල ප්‍රධාන චතුරස්රයේ විශේෂ තැනක් ගෙන තිබූ ඔහුගේ ප්‍රතිමාව හා ස්ටාලින්ගේ ප්‍රතිමාව ඉවත් කරනු ලැබුවා.
අපේ සේවය තහනම් කර තිබූ දශක ගණන්වලදී, සාක්ෂිකරුවන් බොහෝදෙනෙකුට කෲර ලෙස සලකා තිබුණු අතර, සමහරෙකුව මරණයට පත් කළා. එක් මිනිසෙක් වීදියේදී සමහර සාක්ෂිකරුවන්ට මෙසේ කිව්වා: “කොමියුනිස්ට්වාදීන්ගේ කාලයේදී, අපි සියලුදෙනාම දෙවියන්වහන්සේව අත්හැර තිබුණා. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පමණක් පරීක්ෂා සහ දුෂ්කරතා මැද ඇදහිලිවන්තව සිටියා.”
වැඩි නිදහසක් ලැබුණ විට, 1991 ජූනි මාසයේදී ක්‍රිස්තියානි සේවයේ යෙදුණ බවට නවදෙනෙක් වාර්තා කළා. තහනම ඉවත් කළායින් මසකට පසු 1992 ජූනි මාසයේදී, 56දෙනෙක් දේශනා වැඩයේ හවුල් වුණා. එම අවුරුද්දේ මුල්භාගයේදී ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිහිකිරීමට 325දෙනෙක් පැමිණීමෙන් අපේ ප්‍රීතිය ඉහවහා ගියා. එදා පටන් දේශනා සේවයේ යෙදෙන්නන්ගේ සංඛ්‍යාව 600ට වඩා වැඩි වුණ අතර, 1995 අප්‍රියෙල් 14දා 3,491දෙනෙක් සිහිකිරීමට පැමිණියා! මෑත වර්ෂවලදී අපේ සභාවලට යෞවනයන් බොහෝදෙනෙක් පැමිණෙනවා දැකීම මට කියා නිම කළ නොහැකි සන්තෝෂයක්.
අජීරෝ මෙම මුළු අවුරුදු ගණන පුරාම යෙහෝවඃවහන්සේට විශ්වාසවන්තවද, මට පක්ෂපාතවද සිටියා. මා සිරේ සිටිය හෝ දේශනා සේවයේ යෙදී සිටිය අතරතුරේදී, ඇය මැසිවිලි නඟන්නේ නැතුව ඉවසිලිවන්තව අපේ පවුලේ අවශ්‍යතාවන් බලාගත්තා. අපේ එක පුතෙක් හා ඔහුගේ භාර්යාව 1993දී බව්තීස්ම වුණා. එය අපව ඉමහත් සතුටට පත් කළා.
දෙවියන්වහන්සේගේ රාජ්‍යයට පමණයි
ඇල්බේනියාවේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය එතරම් එකමුතුව හා ආත්මික සමෘද්ධියක් ලබමින් සිටිනවා දැකීම මට ඉමහත් ප්‍රීතියක්. බොහෝ කලකට පෙර පොරොන්දු කර තිබුණු මෙසියස්වහන්සේව තම මරණයට පෙර දැකීමේ අගනා වරප්‍රසාදය ලැබූ, යෙරුසලමේ සිටි වයසක සිමියොන්ට මෙන් මට හැඟෙනවා. (ලූක් 2:30, 31) මා වඩා කැමති මොන ආකාරයේ ආණ්ඩුවකටදැයි මගෙන් අසන විට, මා මෙසේ පවසනවා: “කොමියුනිස්ට්වාදයටවත්, ඒකාධිපතිවාදයටවත් මම කැමති නෑ. රට අයිතිව තිබෙන්නේ ජනයාටද, රජයටද යන්න වැදගත් දේ නෙවෙයි. ආණ්ඩු පාරවල් තනනවා, දුරබැහැර ගම්මානවලට විදුලි බලය සපයනවා, තවද තරමක් දුරට පිළිවෙළක් සපයනවා. කෙසේවුවත්, ඇල්බේනියාවේ මෙන්ම ලෝකයේ වෙනත් තැන්වල තිබෙන දුෂ්කර ගැටලුවලට එකම විසඳුම යෙහෝවඃවහන්සේගේ ආණ්ඩුව, උන්වහන්සේගේ ස්වර්ගික රාජ්‍යය.”
දෙවියන්වහන්සේගේ සේවකයන් පොළොව පුරා සිදු කරන දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳව දේශනා කිරීම කිසි මිනිසෙකුගේ වැඩක් නොවේ. මෙය දෙවියන්වහන්සේගේ වැඩයයි. අපි උන්වහන්සේගේ සේවකයන්. අපට ඇල්බේනියාවේ බොහෝ කරදර තිබුණා වුවත්, බොහෝ කලකට යෙහෝවඃවහන්සේගේ දෘශ්‍යමාන සංවිධානයෙන් ඈත් වී සිටියත්, අපව උන්වහන්සේ කිසිදා අත්හැර නෑ. උන්වහන්සේගේ ආත්මය සැමවිටම මෙහි තිබුණා. උන්වහන්සේ අපේ මඟෙහි සෑම පියවරකටම මඟ පෙන්නුවා. මගේ ජීවිත කාලය පුරාම මා මෙය අද්දැක තියෙනවා.